Saturday, May 7, 2016

අතීතය

[මැයි මස අටවන දින දිනමිණේ පළ වූ විශේෂාංගයක්]

සැක් රිචඩ්සන් යනු මේ මොහොතේ ලෝකයේ ජනප්‍රියම නමයි. එහෙත් සැක් රිචඩ්සන් මේ මොහොතේ කොයිබක දැයි කිසිවෙකුත් දන්නේ නැහැ. පෙම්වතිය සැලී හෝ සැක්ගේ දෛනික කටයුතු මෙහෙයවන බාබරා හෙවත් Holo-2097 හොලොග්‍රමික රෝබෝවරියවත් ඔහු සිටි තැන දැන සිටියේ නැහැ.

කාලය මාස තුනක් ආපස්සට ගෙන ගියොත් සැක් රිචඩ්සන් වැඩිපුර හිටියේ මාධ්‍ය කැමරා ඉදිරියේ. ප්‍රසිද්ධ දේශනා, මාධ්‍ය සාකච්චා, සම්මාන ආදිය එපාවෙන තරමට ඔහු පස්සේ ආවා.

ඒ මාස තුන පටන් ගත්තේ ඔහු ලෝක සංගමයේ හොඳම අනාගතවාදී මිනිසා ලෙස සම්මානයට පාත්ර වෙමින්. මිනිසෙකු ලබන උපරිම සම්මානය. එදිනම ඔහුව ගූගල් සමාගමේ ප්‍රධානියා ලෙස එහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තෝරාගෙන තිබුණා.

කාලය තවත් මාසයකින් ආපස්සට කැරකුවොත් 2098 සැප්තැම්බරයේ ගූගල් සමාගම බිහිකර සියවසක් ගෙවෙන උළෙලේ ප්‍රධාන දේශනය කරන සැක් රිචඩ්සන් දැකිය හැකියි. එම උළෙල වඩාත් ලෝක අවධානය දිනා ගන්නේ ශතවර්ෂ පූර්ණයට ඔවුන් මුදාහල Google Past හෙවත් ගූගල් අතීතය නම් මෙවලම නිසා. සැක් රිචඩ්සන් යනු එම අදහස ලෝකයට ගෙන ආ මිනිසා යි.

අද සැක් රිචඩ්සන් ලෝකයෙන් සැඟවී අභ්‍යවකාශ හෝටලයක තෙමස් නිවාඩුවක් ගතකරමින් සිටින නමුත් ඔහු ගැන තවමත් මුළු ලෝකයාම කතා වෙනවා. අතීතය සොයා දී අනාගතවාදියෙක් වූ මිනිසා කියා.

කාලය වසර හතරක් ආපස්සට කැරකුවොත් තරමක් කෙස් තියෙන සැක් රිචඩ්සන් ගූගල් අතීතය පිලිබඳ සිය ඉතිහාසගත පළමු දේශනය කරනු දැකිය හැකි යි. නම තරමටම ප්‍රකට මෙම දේශනය ලොවපුරා රැළි පිට රැලි නගමින් තවමත් යනවා. සැක් කතාව පටන්ගන්නේ අතීතයේ වැදගත් සන්ධිස්ඨාන කීපයක් සිහි කරමින්.

"වසර 2024 - හැම මිනිහෙකුටම අන්තර්ජාල ලිපිනයක් හෙවත් අයි පී ඇඩ්රස් එකක්"

"වසර 2030 - හැම මිනිහෙක්ම ඉන්නේ කොහෙද කරන්නේ මොකද්ද කියන හැම දෙයක්ම ලෝකයේ කොහේ හෝ දත්ත ගබඩාවක තියෙන්න ඕනේ. ඒ කාලේ කිව්වේ බිග් ඩේටා කියලා"

"වසර 2039 - දෙවැනි චීන විප්ලවය. දැනුම හා ලෝකයට නිරාවරණය වීම සමග බුද්ධිමත් චීනුන් පවතින අධිකාරි රජය ඉවත් කර නව දේශපාලන සම්ප්‍රදායක් හදනවා. රාජ්‍යය පරිපාලනය ගිණුම්කරණය හා විගණනය පරිගණක වලට පවරා චීන මිනිස්සු අනාගතය හැදීම කියන මාවතට යොමු වනවා. ක්‍රමයෙන් යුරෝපා ඇමරිකා ඕෂනියා සහ සමහර ආසියානු රටවල් මේ ක්‍රමවේදය එක්ක අනුගත වෙලා යුරෝපා සංගමය වැනි ලෝක සංගමය බිහි කරනවා"

"වසර 2040 - හැම මිනිහෙකුම පූර්ණකාලීන ශරීර ආභරණ ඉලෙක්ට්‍රොනික මෙවලමක් පළඳිනවා. ලෝක සංගමයට එකතු නොවූ නොදියුණු ස්වාධීන රාජ්‍ය වල අහුමුල්ලක ඉන්න හිඟන්නෙක් පවා."

"වසර 2045 - මහා දත්ත ලෙස එකතු වුනු ගොඩවල් සහ තැන තැන ඇති කුඩා දත්ත එකතු කර තනි දත්ත පද්ධතියක් හදන්න ගූගල් ඉදිරිපත් වෙනවා. හැබැයි අපිට හරි පින්තුරයක් නැහැ කල හැකි දේ ගැන"

"වසර 2052 - කෙලින්ම මනසට සම්බන්ධ වන නැනෝ චිප් මොලයට ට්‍රාන්ස්ප්ලාන්ට් කිරීමත් සමග මොලයට දුබල ශරීර අවයව වල උදව්වකින් තොරව ජාලයට එකතු විය හැකියි."

"වසර 2066 - මුළු ලෝකයේ සියලු මැනිය හැකි ක්‍රියාකාරකම් මැනුම්ගත වන බව කියවෙනවා. මිනිස්සු මේ මත අනාවැකි කියන්න ගන්නවා. භූ කම්පන සුළි සුළං ආදිය ගැන අනාවැකි කීම ටක්කෙටම හරි, අවශ්‍ය දත්ත හැසිරවීම පමණයි."

සැක් කතාව අවසාන කරන්නේ මෙහෙම.

"මිනිස්සු කාල තරණය ගැන කතා කළා. එහෙත් එය කරන හැටි තවම දන්නේ නැහැ. අතීතය කියන්නේ මොකද්ද? අතීතය කියන්නේ අප කළ ක්‍රියාකාරකම්, ගැවසුණු ස්ථාන, සිතු පැතු දේ. ඒ සියල්ල මේ වෙද්දී ලෝකයේ කොහේ හෝ තැනක දත්ත ලෙස එකතුවෙලා තියෙනවා. ඉස්සර ජීපීඑස්, සෙල්ෆි, යුටියුබ් ආදියේ සිට අද කෙලින්ම මොලය එක්ක ගනුදෙනු කරන වීඩියෝ ක්‍රමවේද වන බ්‍රේන්ෆීඩ්ස් දක්වා අපේ අතීතය සම්පුර්ණයෙන්ම ගබඩා වෙලා තියෙනවා."

"ඉතින් කාල තරණය කරන්න භෞතිකව යන්නම ඕනෙද? මේ තියෙන දත්ත ඇසුරෙන් ඕනෑම කෙනෙක් අහවල් දවසේ කලේ මොකද්ද කියා හොයාගන්න පුළුවන්. අපි පරිගණක ඇසුරෙන් ඒ දත්ත බ්‍රේන්ෆීඩ් බවට පත්කරනවා. දෑස පියාගන්න. ඔබ අතීතයේ."

මේ වචන එම සියවසේ ඇසුණු ලොකුම පෙරළිකාර වචන කිහිපයක් බව ඔහු පවා ඒ වෙද්දී දැන සිටියේ නැහැ. සීමා සහ විවේචන සැක් රිචඩ්සන් ටත් එල්ල වෙනවා. මූලිකවම ආ විවාදය නම් පුද්ගලිකත්වය ගැන කතිකාවයි. ගූගල් නම් දැවැන්තයා හිස ඔසවන දා සිට පුද්ගලිකත්වය ගැන කතිකාව ඉස්මතු වුණා. අවසානයේ වෙනත් කෙනෙකුගේ දත්ත තවෙකුට සොරකම් කිරීම හෝ අවසරයකින් තොරව නැරඹීම නොහැකි වන ලෙස සකසන පොරොන්දුව පිට ගූගල් ඒ ගැටලුවත් විසඳා ගත්තා.

ගූගල් අතීතය සිතු ලෙසම සාර්ථක වුනා. ගූගල් සෙවුම් මගින් ඔබට ඔබ මීට වසර විස්සකට පෙර කල දෙයක් එතැන ඉන්න ලෙසින්ම විඳින්න පුළුවන් බ්‍රේන් ෆීඩ් එකකින්. බ්‍රේන් ෆීඩ් එක මොලයට කෙලින්ම කාවදින නිසා ඔබ ඒ මොහොතේ භෞතිකව ජීවත්වන ලෙසටයි ඔබට වැටහෙන්නේ.

මිනිස්සු දෑස් පියා ගත්තා. අතීතයේ සිරි නරඹන්න.

එතකොට සැක් රිචඩ්සන් පැනලා ගියා. මුළු ලෝකෙන්ම. කාටත් හොරෙන් සැක් ගේ අලුත්ම වැඩ සටහන අභ්‍යවකාශ හෝටලයක මනසින් පරිගණකයට සම්බන්ධව ඔහු කරගෙන යනවා. යතුරු පුවරු දර්ශන තිර නැති මෙය බොහොම වේගවත් ලෙස කෙරෙන ප්‍රෝග්‍රෑම්කරණයක්.

සැක් රිචඩ්සන්ට වයස හැට දෙකයි. වර්තමාන සම්මුතියෙන් තවම ඔහු තරුණයෙක්. අතිශය දියුණු ජීවන රටාව සහ කළල වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා සාමාන්‍ය ජීවිත කාලයක් වසර එකසිය පනහකට ආසන්නයි. ඔවුන් උපදින්න ඉන්න කළල කෘතිමව වෙනස් කරන නිසා තරුණ පෙනුම ක්ෂය වෙන්න ගන්නේ වයස සියය ඉක්මවා ගියාමයි. ඒ වගේම බොහෝ රෝගවලට ඇති සම්බන්ධකම් කළල අවස්ථාවේම ඉවත් කරනවා.

එහෙත් හැට දෙකේ තරුණයෙකු ලෙස සැක් රිචඩ්සන් ටිකක් වයසයි වගේ. දැනටම කොන්ඩේ ගිහින් තනිකර තට්ටයෙක්. හම ටිකක් රැලි වැටිලා. සැක් ගේ කුතුහලය වැඩිවෙන්න ගත්තේ මෙන්න මේ නිසා. වෛද්‍යවරුත් පුදුම වුණා.

"මේක වෙන්නේ කොහොමද? ඔබේ ජාන කළල අවදියේ වෙනස් කිරීමකට පත් වෙලා නැහැ. ඔබ නිකම්ම ස්වාභාවික මිනිහෙක්."

ඊට වඩා බය හිතෙන කතාවක් වෙන නැහැ. ඒක වුනේ කොහොමද? මේ අභිරහස හොයා ගන්න ඕනේ. කෙසේ වෙතත් සැක් රිචඩ්සන් තම පනස් තුන් වියැති තරුණ පෙම්වතිය සැලීගෙන් ඈත්වෙන්න ගත්ත. "මරණය" සැක් රිචඩ්සන්ව බිය කළා. ලෝක මාධ්‍ය ඉස්සරහ හිනා වෙද්දී සැක් රිචඩ්සන් උන්නේ බයේ.

මේ කතාව හොයන්න සැක් ට තමන්ගේ මව්පියන් ගැන හොයන්න ඕනේ. දෙන්නම මිය ගිහින්. සැක් රිචඩ්සන් ගේ අම්මා ලෝක සංගමයේ හිටපු මන්ත්‍රී කෙනෙක්. ඇය සැලකුනේ සංගමයට ප්‍රතිවාදී ලෙස. ඇය දිගටම ලෝක සංගමය හා සෙසු නොදියුණු රටවල් අතර වැඩිවන පරතරය ගැන චෝදනා කල නිසා.

ලෝක සංගමයට නොබැඳුනු සමහර රටවල් තම ස්වාධීනත්වය අගය කළා. ඉන්දියාව පකිස්තානය අප්‍රිකාව වගේ රටවලට ලෝක සංගමය කියන දියුණුවේ මූලික ඉලක්ක ලබා ගන්න අමාරු වුණා. ඛනිජ ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම එක්ක වැහැරී ගිය අරාබිය හා අප්‍රිකාව දිගටම මිනි මරාගන්නවා. තවමත් ලෝක සංගමය තුල ඉන්නේ මුළු ලෝක ජනගහනයෙන් බාගේකටත් අඩුවෙන්.

සැක් ගේ අම්මා කතා කලේ ඒ ස්වාධීන රටවල මිනිසුන් දිගින් දිගටම දිළිඳු කරමින් තමන් සැප විඳින්න ලෝක සංගමය කරගෙන ගිය සූරාකෑම ගැන.

සැක් වැඩසටහන් පටන් ගනිද්දිම අනුන්ගේ දත්ත හොයන්න බැහැ කියල ලෝකයාට දීපු පොරොන්දුව කැඩුවා. මේක හොර වැඩක්. මෙතන සම්මුති නැහැ. අම්මගේ අතීත දත්ත ඔස්සේ තමා පිලිබඳ විස්තර එලියට ගන්න අතීතයට ලියු ගූගල් සෙවුම් පද්ධති සැක් වෙනස් කළා. මේ ඔක්කොම ඔහුගේ පුද්ගලික අවකාශයක ස්ථිර ආරක්ෂණය දාලා කරගෙන යන්නේ.

බ්‍රේන් ෆීඩ් එන ගානට තනියම වැඩසටහන් ලියා ගන්න මාසයක් විතර ගියා. දැන් බ්‍රේන් ෆීඩ් එනවා. වැඩසටහන තවමත් දුර්වලයි. සමහර ෆීඩ් ඒ හැටි වැඩක් නැහැ. ගූගල් අතීතය තුල සෙවුම් වලින් එන ෆීඩ් සැක් විසින් බලලා හරි පාර දිගේ යනවනම් එය දැනුම් දෙන්න ඕනේ. සැක් හොඳයි කියන තරමට සෙවුම් ඒ දිහාට යනවා. මුලින්ම ලැබුණු හොඳම සෙවුම තමා තාත්තගේ මරණය. අම්ම තාත්ත ළඟ හිටියා ඒ වෙලාවේ.

"බ්‍රිනී අපි පුතාට කියන්නේ නැද්ද අර කතාව" තාත්තා දුර්වල හඬකින් අහනවා.

"නැහැ ස්ථිරවම නැහැ" අම්මා තමයි තීරණ ගත්තේ හැමදාම.

"එයාට ඒක දැනෙයි. ශරීරය වැහැරෙන කොට"

"කරන්න දෙයක් නැහැ. අපි කිව්වත් වැඩක් නැහැ"

ඊට පස්සේ වෙනත් කතා. දෙන්න බොහොම ආදරෙන් සමු ගෙන වෙන්වුණා. අම්මගේ වෙනත් කිසිම කතාවක මොනම සඳහනක්වත් නැහැ සැක් ගැන.

සැක් ඒ සෙවුමට ලොකු ප්‍රියතාවයක් පෙන්නුවා. ඕක තමයි පාර.

ඒ පාර ලෝක සංගමයේ අම්මගේ විවාදයක්.

"... මේ ආකාරයට ලෝකය බෙදපු අපි මෙතෙක් කල නරුමම සූරාකෑම කලේ 2057 දී. අපි ස්වාධීන රාජ්‍යය වලින් බුද්ධිය කොල්ල කෑවා . අද ඔවුන් හිඟමනට වැටිලා ඉන්නේ ඒ නිසා. හෙට ඔවුන් කැරලි ගහයි"

මේ කියන්නේ මහා බුද්ධි මංකොල්ලය කියන එක ගැන. ස්වාධීන රටවල් එකතු නොවෙන කොට ලෝක සංගමය ඔවුන්ගේ සියලු විද්වතුන්ට ඉක්මන් වීසා ලබා දෙන්න තීන්දු කළා. වසර දහයකට පස්සේ ඒ රටවල් උගතෙක් කියලා හිටියේ එහෙමත් එකෙක් විතරයි.

"බ්‍රිනි ඔබ අපිව බය කරනවද? කැරලි ගහන්න පටන් ගන්න මොහොතේම අපි කොහේ හෝ ඒ දත්තය දකිනවා. අපේ පද්ධති ඒ ගැන අවදියෙන් ඉන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ"

"ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම්... " අම්මා ආවේගයෙන් කියවනවා. මේක සැක් ගේ අතීතයට තියෙන සම්බන්ධය මොකද්ද? පරිගණකයට වැරදුනාද?

"මීට දශක හතරකට පෙර අපි හොලිඩේ එකකට ගියා දකුණු ආසියාවේ ස්වාධීන රටකට. පුදුම සුන්දර රටක්. එකම වරද ඔවුන් තමාගේ ස්වාධීනත්වය පාවා දෙන්න කැමති නැහැ. අද බලන්න ඒ රට අමු අපායක්."

"දකුණු ආසියාවේ? අර අමු මුඩුක්කුවේ? එහෙ කොහෙද සුන්දර රටක්"

"බලන්න පුංචි දූපතක් තියෙනවා ශ්‍රී ලංකාව කියලා. අපි එහෙ ගියේ 2036 වසරේ. ඒ කාලේ ලස්සන සුන්දර රටක්. අදනම් බලන්න එපා. අපි වසර එකසිය පනහක් ඉන්න පුළුවන් කියලා පම්පෝරි ගැහුවට ඔවුන්ගේ ආයු කාලය තවම හැටයි හැත්තාවයි. අපේ වයස හැටක තරුණයෙක් එහෙ මහල්ලෙක්. හම රැලි ගැහුණු කොන්ඩේ ඉදුණු. තවම ළදරු මරණ වෙනවා. කළල ස්වාභාවිකව උපද්දන්නේ. තවම හැදෙනවා පිළිකා, හර්දයාබාධ දියවැඩියා වගේ කළල වෛද්‍ය විද්‍යාව තුලින් අපි සපුරා නැති කළ රෝග"

සැක් ට ඇහුනේ එකම දෙයයි. 2036. ඒ තමා සැක් රිචඩ්සන් ගේ උපන් වසර.

"හරි ඔය පාර හරි ඔහොම දිගටම සොයන්න" සැක් විධානය දුන්නා. මුළු අවධානයම ඒ පාරට වැටෙන්න වැඩසටහන් පවා වෙනස් කළා.

2036 වෙද්දී ඒ වගේ රටවල දත්ත අඩුයි. එක දිගට දුවන බ්‍රේන් ෆීඩ් නැහැ. සෙල්ෆි පින්තූර, යු ටියුබ් අභාවයට යන්න ආසන්න කාලේ වීඩියෝ, පවුල් පින්තූර, තව ෆේස් බුක්.

අවසානේ සැක් රිචඩ්සන් හරි තැනට ආවා. ඒක ශ්‍රී ලංකාවේ ගහපු සෙල්ෆි ෆොටෝ එකක්. එතන උන්නේ අම්මයි තාත්තයි තරුණ වයසේ. පසුබිමේ අමුතු විදිහක නිවස්නයක්, පෙනුමෙන් දිළිඳුයි. පැහැපත් බවින් අඩු තව ගැහැනියක් හිටියා. ඒ ගැහැණිය චූටි බබෙක් අම්මට දෙනවා. අම්මා වඩාගන්න දෑත දිගු කරනවා.

"හෙට පටන් අපේ ලෝකය මෙයා. අපි මෙයාට නම දැම්මේ සැක් කියලා. ජාන හදන්න බැරි වුනා. ඒත් අපේ මැණික අපිට සම්පතක්"

සැක් රිචඩ්සන් සෙවුම නතර කළා.

"අම්මා" ඒ හැගීමත් එක්ක ඔහුගේ මනසේ අවධානය ඉලක්ක වන්නේ පින්තුරේ උන්නු සුදු ගැහැණියට නොවේ, එතන උන්නු කෙට්ටු පැහැපත් බවින් අඩු දිළිඳු ගැහැණියට. මේ තමා ඒ අම්මා ඔහුට දැකගන්න තියෙන එකම පින්තුරය.

ඔහු වික්ෂිප්තව තරමක වෙලාවක් බලාගෙන හිටියා. ඊට පස්සේ ලෝකයේ හොඳම අනාගතවාදී මිනිසා හෙවත් ගූගල් සමාගමේ ප්‍රධානි සැක් රිචඩ්සන් තමන්ගේ අන්තිම කැමති පත්‍රය සකසන්න පටන් ගත්තා.