Sunday, October 2, 2011

විප්ලවය

අනෝරා වැස්ස යන්තමින් තුරල් වී ඇති සෙයකි. රත්නප්‍රිය කුඩය ද ඉහලා ගෙන පය ඉක්මන් කළේය. තෙමීමෙන් පිළිවෙල අවුල් කර ගත නොහේ. එහෙත් සම්මේලනයට තව ඇත්තේ පැය කිහිපයකි. යා යුතු දුර බොහෝය.

රත්නප්‍රිය මේ ගමනට දින කිහිපයක පටන් සූදානම් විය. තියෙන හොඳම කලිසම හා කමිසය අබලන් අල්මාරියෙන් එලියට ගත් ඔහු හීනි ඉරක්වත් නොනගින සේ ඒවා යෙහෙන් මැද ගත්තේය.  වෙනදාට අල්මාරිය යට කැරපොත්තන් එක්ක තනි රකිනා පොල්කටු ඉස්තිරික්කයට එලි පහලියට එන්නට ලැබෙන මෙවැනි අවස්ථා සීමිතය. කොටින්ම බාබුලාගේ කඩෙන් ඉස්තිරික්කයට පොල්කටු ගෙනාවෙත් රත්නප්‍රිය යි. වෙනදා ඔහේ රූරා වැටෙන රැවුල් කොන් කපා, වසරක් පුරා වල් බිහිවූ කොණ්ඩය හන්දියේ බාබර් සාප්පුවෙන් කපා ගෙන පිළිවෙලක් වූයේ ද උදක් ම මේ ගමනටයි.

දැන් දැන් රැවුල බොහෝ සෙයින් ඉදී ගොස්ය. අඩ සියවසකටත් වැඩි ඉතිහාසයක් හිමි කොණ්ඩය ඇතැම් තැන් වල අවතැන් වී ඇත. රත්නප්‍රිය පනාවෙන් හිඩැස් පියවා ගන්නට යත්න දරයි.


ගුණවතී  මැණිකේ මේ අමුතු පිළිවෙල දකින්නීය. "පුතාගේ වැඩ කටයුත්තක්" ඕ තමාටම කියා ගන්නීය. පුතා මේ විදිහට වැදගත් වැඩ කටයුතු වලට  යනවාට ඇය කැමතියි. රැකියාවක් නොකරන රත්නප්‍රිය දේශපාලනය කරන්නේ යයි කියයි. එහෙත් ප්‍රසිද්ධ ක්‍රියාකාරකමකට ලෙහෙසියෙන් සහභාගී නොවන ඔහු බොහෝ විට කරන්නේ කාමරය පුරා අරක්ගෙන සිටින අපිළිවෙලට ගොඩ ගැසූ පොත් ගොඩින් එකක් ගෙන අඳුරු මුල්ලක හිඳ කියවීමයි. එහෙමත් නැතිනම් පුල්ස්කැප් කොලවල මොන මොනවදෝ කුරුටු ගාමින් තැපෑලට දැමීමයි. "ඔහොම හිටියට ළඟදීම කවුන්සිලේ" ගුණවතී  මැණිකේ සුභවාදීව සිතන්නීය.

"ඔහොම හිටියට රස්සාවකුයි පරස්සාවකුයි හරි යන්නේ නැතෑ" කලකට පෙර මෙලෙසින්ම ඇය රත්නප්‍රිය ගැන සිතුවාය.


මොකවත් හරියන්නට ඒ වෙනුවෙන් මහන්සි විය යුතුය. නොසොයන්නාට නොසම්භ වේ. නුවුවමනා නම් ලැබුනාට ද පලක් නැත. අද නිකම් ගෙදර උන්නාට රත්නප්‍රිය උපාධිධාරියෙකි. රස්සා කාඩ් තිබූ, රස්සා බැංකු තිබූ යුගයක ධීවර සංස්ථාවේ කාර්යාල නිළයක් ඔහුට අටවා දෙන්නට පොඩි රාලහාමි සමත් විය. එහෙත් ඔහුගේ අභාවයත් සමගම රස්සාවට ආයුබෝවන් කියූ රත්නප්‍රිය ගෙදර නතර විය. 

ගුණවතී මැණිකේ එතරම් කලබල වූයේ නැත. පුතා ගෙදර නතර වූ බවක් ද ඒ හැටි නොපෙනුණි. රස්සාවට නොගියාට මනාව හැඳගෙන උදෙන්ම පිටවන ඔහු ගෙදර එන්නේ රෑ දෙගොඩ හරි ජාමෙටය. ඉඳහිට ගෙට ගොඩ වන රැවුල් කාරයෝ කාමර මුල්ලේ කටු කුටු ගාමින් හිඳ පිටව යන්නේ පසුදා පාන්දරය. කාර්යාල පෙනුමින් විවිධ ලාංචන සහිතව ලියුම් ඔහු වෙත ලැබේ. පුතාගේ විරෝධාකල්ප දේශපාලනය ගැන ඉවක් දැනුනත්, දකුණේ වමට බර චින්තනය තුල ඕ එහි වරදක් නොදැක්කාය. මේ හරියේ ලේ ටිකක් වැඩිපුර රතු පාටය.


පුතා කිසියම් වැඩක නිරත වීම ඇයට යම් සතුටක් ගෙන දුනි. "පක්ෂ පූර්ණකාලිනයෙක්" ඔහු ඔහුවම හඳුන්වා ගත්තේය. මෙහි නිරවද්‍යතාවය සෙවීම හෝ අවබෝධ කර ගැනීම ඇයට අපහසු වුවත් පුතා තම විශ්‍රාම වැටුපේ පූර්ණකාලීන යැපෙන්නෙකු වීම මේ බර සාර වචන වලට හිලව් විය.


"ඔය නිකම් ගෙදර උන්නට මිනිහා බී ඒ කාරයෙක්" කඩ පිලේ උන් කියනු ඇයට විටෙක ඇසේ. "එයා දැන් පක්ෂේ වැඩ නේ" ඇය බර කර කියන්නීය. මෙයට ප්‍රති උත්තර දෙන්නට කිසිවෙකු නොපෙළඹෙති.


පුතාටත් තමන්ටත් ජීවත් වෙන්නට වත්ත පිටියේ ආදායමත් පැන්ෂන් පඩියත් ප්‍රමාණවත් ය. "හෙට අනිද්දා හොඳ දෑවද්දක් එක්ක කාව හෝ කසාද බන්දලා දෙන්නට පුළුවන්."  ඇයට ඒ කාලේ සිතුනි.

සිතුවා  පමණක් නොවේ, ඇය මේ ගැන මගුල් කපුවන්ට ද කීවාය. "ඉඩ කඩම් ඔක්කොම එයාටනේ. අනික ඔය දරුවට රස්සාවක් හොයා ගන්න බැරි කමක් කියලද?" එහෙත් මේ කිසිවකට එන්නේ රත්නප්‍රිය නොවේ. 


"අද දවසේ අපට තියෙන වැඩ කොටස ඕක නොවෙයි සහෝදරයා" අම්මා ට කෙලින් කියන්නට බැරි කම නිසා මාමාගේ පුතා ලවා මගුලක අවශ්‍යතාවය කියවූ විට රත්නප්‍රිය කිව්වේ එහෙමයි. "මගේ අනාගතය මං කැප කරලා තියෙන්නේ සටන වෙනුවෙන්"


මොන සටනක් ද? චන්ද කාලෙට රැස්වීම් තියනවා මිසක් ඒ කාලේ කල වෙනත් සටනක් නැත. මේ රත්නප්‍රිය ලාගේ දේශපාලනයේ රොමැන්තික සමයකි. උපන් ගෙයි මල විප්ලවය ජනයාට අමතක වී ගොසිනි. හිර ගත වූ නායකාදින් එලි පහලියට බැස ඇත. ඔවුහු ගම් දනව් වල රැස්වීම් වලට එති. ඒවා සංවිධානය කරන්නේ රත්නප්‍රිය ලා ය. වෙනසක් සමාජගත කරන්නට යත්න දරන මේ අය ඒ වෙනුවෙන් බොහෝ කැපවෙති. බත් පැකට්ටුවට මිනිසුන් ගෙන්නන සිරිතක් ඔවුන්ට නැත. පොරොන්දු දේශපාලනය ඔවුන්ට වහ කදුරුය.


"අද මේ රටේ දුප්පත් මිනිහට කන්න නැහැ. අරයා දෙනවා කිව්වා හඳෙන් හරි හාල්. අන්තිමට අපි නොමැරී උන්නේ බතල මයියොක්කා කාලා. මෙයාට දුන්නා කියලා වෙනසක් උනාද සහෝදර වරුනි?" රත්නප්‍රිය අසයි. පිට්ටනිය ළඟ තාප්පයේ හිඳගෙන අසන්නෝ සාවධානව ඇහුම් කම් දෙති. රත්නප්‍රිය චතුර ලෙස කතා කරයි. ගැඹුරු කරුණු ග්‍රහණය නොවනු ඇත. කතාව කල යුත්තේ මතු පිටිනි.


"...අන්න ඒකයි අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ" දිගු පැහැදිලි කිරීමකින් පසු ඔහු තාවකාලික සමාප්තියකට යොමු වේ. අසන්නෝ කිසිත් නොකියති. මේ පක්ෂ කේඩරය නොවේ. රත්නප්‍රියගේ ඇවිටිල්ලට විස්තර දැන ගන්නට පැමිණි  කොලු කුරුට්ටන් පිරිසකි. මේ තාරුණ්‍යය ජව ගැන්වීමෙන් මිසක සටන දිනිය නොහැක. විශේෂයෙන් ම චන්ද සටන දිනිය නොහැක.


එසේ එක්රැස් වූ තරුණ ජවයෙන් ඔහු රැස්වීම් සංවිධානය කළේය. පාක්ෂිකයන්ට වඩා මේවා පිරවුයේ කුතුහලයට එහි ආ තාරුණ්‍යයයි. ඔවුන්ගෙන් සමහරුන් මින් ඔබ්බට ගෙන ගොස් දේශපාලන බෞතීශ්මය ලබා දෙන්නට ඔහු සමත් විය.


කරුණාපාල එවන් එකෙකි. සමුපකාරේ ටැම්පරිය කරගෙන ඉන්නා තරුනයෙකු වූ ඔහු, රත්නප්‍රියගේ රැස්වීම් වලින් පැහැදී විප්ලවයේ මගට පිවිසියේය. මේ කාලේ රත්නප්‍රිය තරමක සංවිධාන වගකීම් දරා හුන් බැවින් පහල පෙලේ කටයුතු වලට ඔහුගේ සහයට කරුණාපාල බෙහෙවින් උදව් වුයේය. "රත්නේ මහත්තයා" කියා ඇමතු එකම සහෝදරයා ඔහුය. සිය පියාට දැක්වූ වැඩ වසම් ගෞරවය එහි තිබීම නිසා රත්නප්‍රිය අකමැත්ත පෙන්නුවත්, කරුණාපාල එය වෙනස් කර ගත්තේ නැත. කරුනාපාලට විප්ලවය යනු රත්නේ මහත්තයා දන්නා දෙයකි. එහෙත් ස්ථිරවම කල යුතු දෙයකි.

සියල්ල උඩු යටිකුරු වන්නට ගත වූයේ දින කිහිපයකි. රටපුරා රුදුරු ජාතිවාදී කලබල පැතිරුණි. රත්නප්‍රියලාගේ ගමෙහි කිසිත් සිදු නොවුවද පත්තර වලින් හා ගුවන් විදුලියෙන් දැනුන පරිදි රට තිබ්බේ අරාජිකත්වයකයි. අහිංසක මිනිසුන් මහා මග පුළුස්සා දැමුණි.


ඒ සමගම මෙතෙක් අහිංසකව දේශපාලනය කරගෙන ආ රත්නප්‍රිය ලා එක රැයින් අව නීතික ත්‍රස්ත රැලක් ලෙස හංවඩු ගසන ලදී.

"උඹට අගේට කරන් කන්න තිබ්බ රස්සාවත් දාලා ගියේ" ගුණවතී මැණිකේ අවලාද නැගුවාය. "දැන්වත් ඕක නවත්තාපන්"

"අම්මේ මේ සටනට එන බාධක බොහොමයි. මේක සුළු දෙයක්. අපි මේක දිනනවා ස්ථිරයි" වෙනදා දහවලේ ප්‍රසිද්ධියේ දේශපාලනය කල රත්නප්‍රිය ක්‍රමයෙන් නිශාචර රහසිගත දිවියකට හුරු විය. පොලිසිය එම නිවසේ කාගේත් බිල්ලා බවට පත් විය. වරෙක දෙකක ප්‍රශ්න කිරීම් හා තාඩන පීඩන වලට ලක් වූ පසු ඔහු නිදහස් කෙරිණි. එහෙත් එන්න එන්නම රටේ තත්වය තවත් නරක අතට හැරෙමින් පැවතුනි.

"ජයපාල මාමා දන්න මහත්තයෙක් ඉන්නවා සවුදියේ. උඹව එව්වොත් ලොකු තනතුරක් දෙන්න පුළුවන් කිව්වා" කෙමෙන් වියපත් වන මව ගමන් මහන්සි හරිමින් කියන්නීය. ඇය දුර බැහැර ඉන්නා ඥාතියෙකු හමුවට ගියේ දිනෙන් දින වැඩිවන පුත්‍රයාගේ ජීවිත අවදානම නිසාවෙනි. වැඩි වියට පත් දුවකටත් වඩා පුතෙකු සුරැකිය යුතු යුගයක් එළඹෙමින් තිබිණ.

කෙමෙන් ගෙදරින් එල්ල වන පීඩනය හා අන්ධකාරයත් එක්කම හිස ඔසවන මරණයේ චායාව හමුවේ රත්නප්‍රිය යමක් කල යුතුව ඇත. අම්මා දෙන විසඳුම තම දේශපාලන දිවියේ අවසානයි. "සටන" පටන් ගත්තේ මෙලෙසින් අතහරින්නට නොවේ. දිවි හිමියෙන් පවත්වා ගන්නටයි.

"මාව පක්ෂෙන් රට යවනවා"

"ඇත්තෙයි" වියපත් අම්මා ඇසුවාය.

"ඔව්"

"කොහෙද?"

"ඒවා රහස්"

"වෙන කොහෙද රුසියාවට වෙන්ටෑ"

රත්නප්‍රිය කිසිත් කීවේ නැත.

ටික දිනකින් ම අම්මාගෙන් සමුගෙන අන්ධකාරයේ ඔහු අතුරුදන් විය. පුතා රට ගිය නිසා අම්මා සැනසුම් සුසුමක් හෙළුවාය. ගුණවතී මැණිකේ විසල් ගෙදර තනි වුනාය.

එදා පටන් උන්නු ගමේ මහා ලොකු තනියක් නම් නැති. අහල පහල අය දුක සැප බැලූහ. වත්ත පිටියේ වැඩ කුලී කාරයින් දමා කෙරුණි. කොහොමත් රත්නප්‍රිය උන්නු කාලෙත් මේවා ඉටු කලේ ඔවුන් විසිනි. රට ගිය පුතා නිතර ලිපි එවමින් අම්මා දැනුවත් කළේය. එහෙත් ඒ සෑම ලිපියක් ම පාහේ ලංකාවේ තැපෑලෙන් තැපැල් කල ඒවා වීය. වෙනස වුයේ තැපැල් කන්තෝරුව වෙනස් වීම පමණි.

පුතා නැති පාලු ගෙදර අම්මාට පෙනුනේ අන්ධකාරය විසින් වෙලා ගන්නා බවයි. ඊට පිටින් මුළු රටම දැවැන්ත අන්ධකාර භීෂණයකින් වෙලා ගති. රත්නප්‍රිය වැනි කොලු කෙල්ලන් ටයර් මත මිය යද්දී පොඩි රාලහාමි වැනි පළාතේ නම ගිය මිනිස්සු නාඳුනන තුවක්කු වලින් වෙඩි කා දනිස්සට පහලින් එල්ලී අවසාන ගමන් ගියහ. පුතා නම් දිගටම ලියුම් එවන බැවින් අම්මා මේ ගැන එතරම් බිය වූයේ නැත. "මේ රටෙන් ඔහෙට එන අය අතේ එවන්නේ තැපැල් ගාස්තුව අඩු කරන්න" රත්නප්‍රියට ඕනෑම දෙයක් පැහැදිලි කළ හැක. අම්මා කාටවත් හසු නොවන සේ ලිපි පුළුස්සයි.

මරණයේ ගොම්මන් චායාවෙන් පටන් ගත් භීෂණ රාත්‍රිය රුධිර ගංගාවක සලකුණු සමග අහවර විය. දැවැන්ත ජීවිත හා දේපොළ විනාශයකි. දෙපැත්තේම ලොකු ලොක්කෝ බොහොමයක් මිය පරලොව ගියහ. උන්ගේ අණ පනත් යට පොඩි සොක්කෝ නොගිනිය හැකි තරම් විශාල ගණනින් වැනසුනි. වනයේ නීතියෙන් ඇරඹු සටන වනයේ සම්මතයෙන් සමාප්ත විය. රත්නප්‍රියගේ  පාර්ශ්වයේ සියලු නායකත්වය සුන්නද්දුලි වී තිබුණි. සාමයේ ඉර පායා ආවේ මරණයේ ලේ උණුහුම සමගයි.

අම්මාට දිගටම ලිපි ලැබේ. රටේ තත්වය සමනය වූ විට පුතා ඉක්මනින් එන බවක් කියවේ.

මුලින්ම රත්නප්‍රිය ආවේ ගියේ රෑ පානේ ය. පසුව කෙමෙන් එය සාමාන්‍ය සිද්ධියක් විය. තවත් එක දවසක ඔහු නැවත ස්ථිර පදිංචියට පැමිණුනි. අම්මා බෙහෙවින් ම තුටු වූවාය.

"ඔය හැත්තෑ එකේ එවුන් ඉන්නේ අගේට කසාදයක් එහෙම බැඳලා" කඩේ මුදලාලි කියයි. "මිනිහට වෙන මොකුත් ඕනේ නැහැ. ටියුෂන් එකක් දා ගත්තනම් ඇති. ඉන්ග්ලිෂ් කාරයෝ නේ".

අලුත් බලාපොරොත්තු අම්මාගේ හිතේ මෝදු වේ. තවම හතලිහයි. කසාදයක් කර ගන්නත් ගැටලුවක් නැහැ.

"මේක මගේ පුද්ගලිකත්වය ගැන ප්‍රශ්නයක්. අම්මට අයිතියක් නැහැ මට බල කරන්න" මුරන්ඩුභාවය එන්න එන්න ම වැඩි වේ.

"හප්පා මං අහ ගත්ත හරියක්" මුදලාලි පවසන්නේ සිනහ සෙමිනි. "සුළු ධනේශ්වරයා කියලා මටත් බැන්න. අපි හදන්නේ කසාදයක් කරලා දීලා එයාගේ විප්ලවය අවුල් කරලා මේ ක්‍රමය දිගටම තියා ගන්නලු" ගුණවතී මැණිකේ නෑසුනා සේ උන්නාය.

"මිනිහ දැන් ඉස්සරට වඩා ගුප්තයි නේද? මොන විදිහේ වැඩකට ලක ලැහැස්ති වෙනවද දන්නේ නැහැ"

"වෙන මොනවාද? දැන් ඒ මිනිස්සු පාර්ලිමේන්තුවේත් ඉන්නේ" ඇය නුරුස්නා ස්වරයෙන් කියයි.

රත්නප්‍රිය ඇත්තෙන්ම ගුප්ත චරිතයක් වී ඇත. වෙනදා මෙන් ගම පුරා බයිසිකල් පදිමින් රැස්වීම් සංවිධානය නොකරයි. කොටින්ම ඔහු කා සමගවත් කතා බහක් නොකරයි. කාමරය කෙමෙන් පොත් ගුලක් බවට පත් වේ. ඔහු බොහෝ විට කරන්නේ මුල්ලකට වී ඒවා කියවීමයි. විටින් විට අම්මාට කියා ගෙන්වා ගන්න පුල්ස්කැප් කොළ වල ලියන ලිපි අම්මාගෙන් මුදල් ඉල්ලා ගෙන තැපෑලට දැමේ. ඉඳහිට බොහොම ජැන්ඩියට ඇඳගෙන කොළඹ යන ඔහු එන්නේ පොත් මිටියක් සමගයි. අම්මාට මේ බර පැන වැඩි වියදමක් වුවද දරාගත නොහැක්කක් නොවුනි. ඉඳහිට හෝ පුතා සමාජයට යාම ඇයට සතුට උපදවන්නක් විය.

"පාර්ලිමේන්තුවේ ඉන්න අය තෝරන්නේ මනාපෙන් නෙවේ. ඒවා ඉහළින් ලු තෝරන්නේ." ඇය ගමේ උන්ට නොකියා කියන්නීය. "අපේ පවුල් වල ඔය දේශපාලනේ එදා ඉඳං ම තිබ්බා. අපේ මාමා ඒ කාලේ ගම් සබාවේ උන්නේ. පොඩි රාලහාමිගේ අයියා තමයි සමුපාකාරේ සබාපති. මැතිනිගේ මිනිස්සුනේ" ළඟදී ගමට ආ පවුලකට ඇය පැහැදිලි කරයි.

ක්‍රමයෙන් රත්නප්‍රිය දැවැන්ත ප්‍රහේලිකාවක් විය. ඉඳහිට හෝ එකෙකු කතා බහ කලත් වැඩිම වුනොත් සිනහවෙන් ඔබ්බට යන උත්තරයක්‌ නම් නොලැබේ.

"පිස්සුද කොහෙද? නැන්දේ කාට හරි පෙන්නන්න." කට පුරා හිනා වූ විට අහක බලාගෙන ගිය බැවින් පොඩි කොල්ලෙක් අවලාද නගයි.

"ඔය පක්ෂේ ඉන්නවලු සැඟවුණු ක්‍රියාකාරීන්. උඹ සද්ද නොකර හිටහන්" කඩ පිලේ උන් තරවටු කරති.

"කාටද දන්නේ නැහැ ඔය ලියුම් යවන්නේ" තවත් එක් ඕපාදූප සොයයි.

"අනේ මන්දා පුතේ. මං හිතන්නේ අපේ ළමයාගේ උපදෙස් වලින් තමයි මේ කට්ටිය වැඩ කරන්නේ. දැන් මේ ගොල්ලෝ පරණ කට්ටිය නේ. ඒ කාලේ ඉඳං වැඩ කරපු අයගෙන් කී දෙනා ද බේරිලා ඇත්තේ"

මේ කතා වලින් සිදු වූයේ රත්නප්‍රිය තවත් ගුප්ත ලෙස දැකීමට ගම්මුන් පෙළඹීමත් ඔහුට යම්කිසි බය පක්ෂපාත කමක් පෙන්නුම් කිරීමත් ය.

කරුනාපාල ගමේ ආවේ මේ කාලයේය. භීෂණ සමයේ රැයක  ආ කළු හැඳගත් පිරිසක් විසින් රැගෙන ගිය ඔහු එවකට උන් වෙනස් වමක පළාත් සබා මන්ත්‍රී වරයෙකු නොසිටින්නට අද ජීවතුන් අතර නැත. විප්ලවයේ කොඩිය මාරු කල හේ අලුත් වමේ දේහාරක්ෂකයෙක් වුවේය. වම දකුණ මාරු කරන දේශපාලන රැල්ලට හසුව ඉහල පහල ගිය දේහාරක්ෂකයා දැන් පාලක පක්ෂයේ ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ධුරයෙන් පිදුම් ලබා ඇත.

"මෙහෙමයි නැන්දේ. ඇමතිතුමාට මං කියලා බලන්නම්" රත්නප්‍රිය ට රස්සාවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටි විට ඔහු කීය. "හැබැයි රත්නේ එන්න ඕනේ අපේ පැත්තට"

"පාලකයින්ට කඩේ යන නිවට හැත්ත..." රත්නප්‍රිය බුරාගෙන කාමරයට වැදුනි. තවත් බොහෝ දේ කීවද ගුණවතී මැණිකේ ට ඒවා වැටහුනේ නැත.

කාලයේ සුළඟ ජීවිත පොතේ පිටු පෙරලාගෙන ගියේය. ගුණවතී මැණිකේ බොහෝ සෙයින් වියපත් වුවාය. ගමෙන් පිට ගමනක් යාමට නොහැකි තරමට ඇද වැටෙන විට ක්‍රමයෙන් වත්ත පිටිය ද අයාලේ යන්නට විය. ආදායම් ද පිරිහුණි.

වයසට යාම හිරිහැර කලේ ඇයට පමණක් නොවේ. කොන්ඩය සහ රැවුල රත්නප්‍රිය මහල්ලෙකු මෙන් වෙස් ගැන්වීය. කොහොමත් ඔහු දැන් මැදි විය පසු කරමින් සිටියි.

"මැණිකේ නැන්දේ මං කියන්න උන්නේ" පහල ගෙදර නන්දනී ගුණවතී මැණිකේ ව පැත්තකට කර යම්කිසි රහසක් කුටු කුටු ගායි.

"මොකක්? සමන්තිකාට? ලියුමක්?"

සමන්තිකා යනු වයස විසි පහක පමණ කෙල්ලකි. නන්දනී ගේ දුවනියයි. නන්දනී රත්නප්‍රියට වඩා වසර කිහිපයක් ඉහළින් ඒ පාසලේම උන්න කෙනෙකි. රත්නප්‍රිය සමන්තිකාට ආදරය පවසා ලිපයක් දී ඇත.

"ඒත් අපේ කෙල්ල කිව්වේ, අම්මේ ඒ මාමා එහෙම කලාට මං තරහ නැහැ කියල"

"කෙල්ල කැමති නැහැ. හැබැයි නැන්දේ මල්ලි දැන් ලොක්කෙක් ලු නේද? හෙට අනිද්දා හදන අලුත් දේශයකට මග පෙන්වන්න  එයාට අත දෙන්න කියලයි කියා තිබ්බේ"

මේ සිද්ධියත් එක්ක දෙගොල්ල අතර කතා බහ අඩු විය, ගුණවතී මැණිකේ විපිළිසර ව උන්නාය. ඇය මේ ගැන පුතාගෙන් අහන හැටියක් හිතුවාය. මේ තරම් ලොක්කෙක් නම් බැන වැදීම නොහොබී. සමන්තිකා නම් ආයෙත් ඒ පැත්තේ වත් පස් පෑගුවේ නැත.

තිරිංග  විරහිත නන්දනී ගේ කට වැට පැන්න නිසා හන්දියේ මේ කතාව ප්‍රසිද්ධ රහසක් බවට පත් වුනි.

"ඇයි අර ඒ කාලේ මොන මහත්තයා ද කියලා හැංගිලා උන්නේ. පොලිසියෙන් අල්ල ගන්නකම් අහල පහල උන් වත් දන්නේ නැහැ මිනිහා තමයි නායකයා කියලා"

එකෙක් අඩු වැඩිය දමයි.

"ලව් සික් ගහලා බයිලා ලියන්න ඇති බං" අලුත් ගැටයෙක් එය බිඳ දමන්නට සැරසේ. 

රත්නප්‍රිය තවදුරටත් ප්‍රහේලිකාවකි.


"උඹල කරන දේ වලින් අපට තමයි පාරේ බැහැලා යන්න බැරි" ගුණවතී මැණිකේගේ ඉවසීමේ සීමාව පැන ගොස් ඇත.

"අම්ම දන්නවද මාඕ සහෝදරයාගේ කෙල්ලගේ වයස? එයාට එකකට වඩා හිටියා කොටින්ම"

"දැන් උඹත් එහෙමද කොර ගන්න යන්නේ. කල වයස තියෙනකම් උඩ බලන් ඉඳලා. දැන් එනවා එක එකාගෙන් බලු වෙන්න. නව නින්ගිරාවේ බැහැ"

පක්ෂයේ මහා පිපිරුම ආවේ ඔය කාලයේය. විවිධ රහසිගත නායකයින් එලියට එන්නට විය. රත්නප්‍රිය හිටි ගමන ගමේ ජනප්‍රිය චරිතයක් විය. මේ ඇහෙන කතා එක්ක නම් ඔය කියන ලොකු නායකයෙක් රත්නප්‍රිය වීමට බොහෝ ඉඩක් ඇති බව ගම්මුන්ගේ මතයයි.

වෙනදා නැති වෙනසක් රත්නප්‍රියගෙන් පෙනුනි. තැපෑලට දමන ලිපි ගණන වැඩි විය. ඒවා බොහොමයක් පක්ෂයේ ප්‍රධානින් වෙත යොමු වන බව ලියුම් එකතු කරන කෙනෙක් පවසා ඇත. මෙතෙක් ගේ මුල්ලේ හුන් විප්ලවවාදියා එලි පහලියට යන්නට විය. වෙනදා මෙන් නිහඬව ගුප්තව නොසිට කොයි කාටත් විප්ලවීය කතා කියා දේ.

"රත්නේ ඇත්ත කියන්න. ඔයා නේද රහසිගත නායකයා" දිනක් මුදලාලි අසයි.


"නායකයා මා ද කවුද කියන එක තීරණය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව." ඔහු කියයි.


"අපිට කියයිද බං" පසු පෙලින් මිමිනේ.


"හරි දැන් ඔය පක්ෂෙට මොනවාද කියලා යවන්නේ?"


"කරන්න තියෙන දේවල්. මේ රටේ මේ ලෝකේ දුක විඳින මිනිසුන් වෙනුවෙන්"


මහා සම්මේලනය කැඳවා සියල්ල සමතයකට පත් කරන්න පක්ෂය සිතුවේ මෙන්න මේ මොහොතේය. සම්මේලන කතාව දුටු වහාම මිනිස්සු රත්නප්‍රිය වට කර ගති.


"සහෝදරයා යනවා නේද මේකට?" දැන් හැම එකාම විප්ලව කාරයෙකි.


"ඔයා නේ ඔය වැඩේ පස්සේ ඉන්නේ?"


"ගිහිල්ල මොනවාද කියන්නේ?"


"ඔව් මං යනවා. ගිහින් උන්ට කියා දෙනවා මේ සටන කරන හැටි. ඒ විතරක් නොවේ සහෝදර වරුනි අපි මේ ක්‍රමය වෙනස් කරනවා"


කවුදෝ ජයවේවා කියා කියනවා ද යන්තමින් පසුපසින් ඇසුනි.


ලැහැස්තිය  පටන් ගත්තේ එතන සිටයි. දින කිහිපයක් පේවී සැරසුණු ඔහු අද මේ වැසි ද නොබලා දුවන්නේ මහා සමුළුවටයි.


අම්මාගෙන් ගත් මුදලින් රත්නප්‍රියට සමුළුව ලඟට යා නොහැක. දැන් දැන් අම්මා ළඟ සල්ලිත් හිඟයි. කෝච්චියේ උපරිම දුර ගිය පසු ඔහු ඉතිරිය පා ගමනින් යන්නට තීරණය කළේය. මුළු නගරය ම පිම්මේ පෙරට දුවයි. රත්නප්‍රිය පය ඉක්මන් කළේය. ශාලාව ආසන්න වත්ම රතු කමිස කාරයින් වැඩි වේ. රත්නප්‍රිය ලා ඒ කාලේ පටන් අඳින ගොරෝසු ප්ලේන් රතු කමිස වලට වඩා බෙහෙවින් සුමට කමිස වල රතු ඉරි හා රතු කොටු වලින් විප්ලවය සටහන් වී ඇති සෙයකි. විටෙක මෝටර් රියක ආ සාමාජිකයෙක් එය ඈත කොනක නවත්තා පයින් ගාටයි. මේවා නම් තවමත් පක්ෂයට හුරු නැති දේවල්ය.


අද මේ කතාව ඉවරයක්‌ කර ගත යුතුවේ. වසර විස්සකට පමණ පෙර අළු ගොඩේ නිවී ගිය ගිනි අඟුරක් මෙන් හුන් මේ පිරිස මෙහෙය වන්නට කවුරුත් උන්නේ නැත. එය තම වගකීම ලෙස රත්නප්‍රිය සිතීය. පක්ෂය මුලින්ම මතු වන විටම විප්ලවයේ පාඩම කියා දෙන්නට ලිපි ලිවීම ඔහු ඇරඹුවේ එබැවිනි. මේ තාරුණ්‍යයට වඩා තම අත්දැකීම් ප්‍රබලය.


එහෙත් ඔහුගේ කතාවට කිසි දා ඉඩක් ලැබුනේ නැත. එකදු ලිපියකට වත් පිළිතුරක් නොලැබුණි.


වේගයෙන් පැමිණි දෙපා ගේට්ටුම ලං වත්ම කෙමෙන් කම්මැලි විය. ගේට්ටුව ළඟ අලුත් සාමාජිකයෙක් හිඳියි. පක්ෂ සාමාජිකත්වය කියා පෙන්නන්නට දෙයක් නැතත් එන යන අය ගැන ඔහු විමසිලිමත් වේ. ඇතුලට යාමට අවහිරයක් නොමැති මුත් රත්නප්‍රිය සෙමෙන් නතර විය. 


පක්ෂය ඔහු දමා බොහෝ දුර ගොස්‌ ය. පක්ෂය තුල තමා දැරිය යුතු නායකත්වය තමාට දෙනවා තියා ලිපියකට වත් උත්තර එවා නැත.  පක්ෂයේ උන් කල කී දේ හා තමා ලියු දේ අතර ලොකු වෙනසක් තිබුණි. එහෙත් ඔවුන් වැරදිය. නිවැරදි විප්ලවයේ පාර දන්නේ තමා පමණි.

කියන්නට බොහෝ දේ සිතෙහි ඇත. එහෙත් ඒ සඳහා මේ ගේට්ටුව පැන ගොස් අනවසරයෙන් අර පෙනෙන වේදිකාවේ මයික්‍රෆෝනය කරා යා යුතුය. එය සිතන තරම් ලෙහෙසි නැත. ගමේ කඩ පිලේ වහසි බස් කියූ තරම් ලෙහෙසි ද නැත.


එහෙත් එය අවශ්‍ය ද නැත. ශාලා පරිශ්‍රයට පිටතින් වූ මාර ගහ යට ඇති කොට තාප්පය උඩට ඇතුලේ වන දේ මැනවින් ඇසේ. රත්නප්‍රිය එතනට නැග්ගේය.


පහලින් හිඟන්නෙක් කොහෙන්දෝ ලැබුණු බත්පතක් ගිජුව ගිල දමයි.


"ඔය සහෝදරයා දන්නවද ලෙනින් සහෝදරයා ගැන?"


රත්නප්‍රිය දේශනාව ඇරඹීය.

26 comments:

  1. ලංකා ඉතිහාසයේ එක්තරා පරිච්ඡේදයක් සුජීව බොහොම අපූරුවට කෙටි කතාවකට ගොනු කර තිබෙනවා. මුල සිට අගට එක හුස්මට කියෙව්වා. එකතරා කාලයක අපත් ජීවිත කැප කළ යුතුයැයි සිතු සංකල්පයකට මුළු දිවියම කැප කරන්නට උත්සාහ කල චරිතයක්. පොළොවේ පය ගසා ජීවත් නොවන පාවෙන චරිතයක්. මට ගුණදාස අමරසේකරයන්ගේ කතා පහක් මතක් උනා. අමරසේකරයන් නවත්තපු තැනින් එහාට සුජීව ගොස් ඇති බවයි මට සිතෙන්නේ.
    සාර්ථකයි!

    ReplyDelete
  2. විශිෂ්ඨයි!
    ජීබී ගේ කෙටිකතා සිහිපත් කරයි.

    ReplyDelete
  3. උපරිමයි සුජීව.. මේකට මෙහෙම කියලා මදි කියලා මං දන්නවා.. ඒත් දැන් මං ගෙදර යන්න ඕන..වැඩ ඇරෙන වෙලාව..තව පොඩ්ඩකින් මගේ අනුප්‍රාප්තිකයා එනවා මාව සේවයෙන් මුදවන්න. ඊට පස්සේ මං ගෙදර ගිහින් කරන්න ඕන කටයුතු බොහෝමයක් තියෙනවා.. මොකද මට ගුණවතී මැණිකෙගේ ජාතියේ අම්මා කෙනෙක් නැති හින්දා පින් බත් කෙලින්න විදියක් නැහැ.. මුලින් මම යැපිලා එපැයි විප්ලවය කරන්න...:D

    කොහොම උනත් අත ගාන්න ඕන හැම මුල්ලම අතගාලා කතාව ලියලා තියෙන බව නම් පේනවා... එක අතකින් තමන්ගේ විශ්වාසය වෙනුවෙන් හැමදාමත් පෙනී ඉන්න මිනිස්සු උතුම් අය කියලා කියන්න පුළුවන් අතරම ප්‍රායෝගිකත්වය ගැන නොහිතාම හා තමා හදන්න යන රාජ්‍යයේ පදනම තිබිය යුතු තැන ගැන නිරන්තර අධ්‍යයනය හා අවබෝධය නොමැති වීමත් ඒ ගැන දැක්විය යුතු අවධානයට වඩා සිහින රා්‍ජ්‍යයේ ප්‍රාකාර සඳළුතල ගැන අවධානය යොමු කිරීම වැඩි වීමත් මේ දේශපාලනය තුල හැමදාම තියෙන ගැටළුවක් කියන එකයි මගේ අවබෝධය...

    විප්ලවය කා සඳහාද..? තම තාරුණ්‍යය කාමර මුල්ලකට වී සිහිනයක ගත කරනා තරුණයෙක් වෙනුවෙන් හැමදාම පින්බත් ගිල්ලවන අම්මා කෙනෙක් වෙනුවෙන් සැලකීමක් නැති විප්ලවය... කාටද මේකෙන් සෙතක් වෙයි කියලා හිතෙන්නේ...

    අර සමන්තිකාට දුන්න ලිපිය හරහා සුජීව ගහන්න හැදුවේ විප්ලවයේ අසහාය නායකයින්ගේ සුඛෝපභෝගී ජීවිතවලටද..එහෙමත් නැත්තං විප්ලවවාදියාගේ විශ්වාසයටද..?

    අවසාන වශයෙන් කාලීනව ගත්තහම අද වගේ දවසක ලියවුන වැදගත්ම ලිපියක් මේක... හෙට අනිද්දට රත්නප්‍රියලා තාප්ප උඩ ඉඳගෙන කතා අහයිද.. එහෙමත් නැත්තං අර කාර් වලින් ආව සහෝදරයින්ට අකුලගෙන යන්න සලස්වයිද..?

    ReplyDelete
  4. මේකට ෂෝර්ට් කතා කියන එක අසාධාරණයි සුජීව . ලංකික විප්ලවයේ ගමන්මග ...අපුරුවට ලියල තියෙනවා . සුජීවට තරම් හොඳට අදහස් දෙන්න දන්නේ නැහැ . ඒත් ඔය අතීතය අතපත ගා ආ අපේ පරම්පරාවට මේක අපුරු ජිවන විවරණයක් .
    උපරිමයි .
    ගැණු ළමයාටලියුමක් දෙන එකෙන් මේ යන්ත්‍රයක් වැනි මිනිසා තුල සංවේදී මනුස්සයෙක් ජිවත්ව් එන බව පෙන්නනවා . තමන් ගිලි ගිය මතවාදයන්ගෙන් එලියට විත් පරිණාමය වීමට නොහැකි වූ මිනිසෙක්. ඇත්තටම එක මිනිස්සෙක් ගැන කියල කොටු කරන්න බැහැ. එක සමාජ පැති කඩක් . ජය වේවා

    ReplyDelete
  5. එක මිනිහෙකුගේ චරිතය මගින් ලොකු පරාසයක සිදුවීම ලස්සනට එළිදක්වන මේ කතාව රසවින්දා. විප්ලවය අපුරුවට ගලාගෙන යනවා..

    ReplyDelete
  6. සුජීව ලියන්නෙ ඉඳල හිටල වුනාට, දැනට මට කියවන්න ලැබුන ලිපි කීපය නැවත, නැවත කියවල රස වින්දා. කියවන හැම වතාවෙම අලුතෙන් රස වින්දා. හදවත පත්ලෙන්ම ස්තුතිය්, මෙවැනි ලිපි අපට ඉදිරිපත් කිරීම ගැන. තව තවත් ලිවීමට, ඔබට කාල වේලාව සහ ධයිර්යය ලැබේවා.

    ReplyDelete
  7. රත්නප්‍රිය වගේ ප්‍රයෝගික නොවන, පොත් වලින් විතරක් ඉගෙනගත් සමාජ වාදය වපුරපු , තමන් වත් හරි හැටි නොදන්නා අලුත් ලෝකයක් ගැන හීන පෙන්වමින් තරුණ හිත් මුලා කරපු විප්ලව කාරයන් නිසා තරුණ ජීවිත දාස් ගානක් ජීවිත අපට නැති උනා. සුජීවගේ කතාව දිගේ මම ආපහු ඒ අදුරු යුගයට ගියා. තාරුණ්‍යයේ එළිපත්තේ ඉන්නකොට අපිත් විස්වාස කල විප්ලවය, ප්‍රයෝගික නොවන බව තේරුම් ගන්න අපිට ඒහැටි කාලයක් ගත නොවුනත් රත්නප්‍රිය වගේ පරිණාමය නොවූ අය එදවස් වල අපි අතරත් හිටියා. නිර්මාණය නම් විශිෂ්ටයි!

    ReplyDelete
  8. අමු වැඩියි. ඒත් රසයි.
    -W3Lanka

    ReplyDelete
  9. විශිෂ්ට කතාවක් සුජීව. මටත් ලංකාවේ සුප්‍රසිද්ධ ලේඛකයන් ගනනාවක් හිතට ආවා. රුසියානු සාහිත්‍යයේ ආරයට යාමකුත් දැනෙනවා. රත්නප්‍රිය, තරුන අසහනය නිසා විප්ලවවාදී අදහස්වලට නැඹුරු වෙන තරුනයන්ට වඩා අසාමාන්‍ය චරිතයක්. අපේ සිහින අපි කෙතරම් දුරට ගෙන යා යුතුදැයි යන්න ගැන පුංචි පහේ පාඩමකුත්මේ කතාවෙන් නොකියා කියවෙනවා.

    දකින දේවල් ලියන එක ලේසී කියන එක මම හැමදාම හිතන දෙයක්. ලංකාවේ එක්තරා කාලෙක තිබුනා යයි කියන යුගයක් ආශ්‍රය කරගෙන කතාව නිර්මානය කර තිබුනත්, එහි භීෂනය ගැන කියනවාට වඩා එක් චරිතයක් දෙස සංවේදීව බැලීමකුත් මෙයින් දැක්වෙනවා. අවසානය හිතට තදින් කාවදිනවා.

    //අඩ සියවසකටත් වැඩි ඉතිහාසයක් හිමි කොණ්ඩය// ඔයා එක තැනක මෙහෙම සඳහන් කරලා තිබුනත්,
    තවත් තැනක, //තවම හතලිහයි. කසාදයක් කර ගන්නත් ගැටලුවක් නැහැ.//කියා ලියා තිබෙනවා.

    වැරැද්දක් පෙන්නුවා කියලා හිතන්ට එපා. සමහර විට මගේ නොතේරුම්කමට මම වැරදියට තේරුම් ගත්තා වෙන්ට පුලුවන්. කතාවට ඉන් කිසිම හානියක් වෙලා නෑ. මම දැක්ක දෙයක් සඳහන් කලේ.

    වටිනා කතාවක්. පහසුවෙන්ම නවකතාවකුත් ගොඩ නගන්ට තිබුනා.

    ReplyDelete
  10. බොහොම අපූරු මාතෘකාවක්! වර්ථමානෙ ඇහෙන දේ වලින් පොඩි උත්තේජනයක් ඇවිල්ල ලියල වගේ කියලයි හිතෙන්නෙ.
    මේක අමරසිකරගෙ මට්ටමේද ජීබී ගෙ මට්ටමේද කියන්න යන්නෙ නෑ මොකද මම සාහිත්‍ය විචාරකයෙක් නෙමෙයි නිසා. ඒත් දැක්ක අඩුපාඩු කීපයක් කියන්නං, ඒකත් හිතහොඳින් මීට වඩා දියුණු නිර්මාණයක් දැකීමෙ ස්ද්භාවයෙන් මිස කිසිම වෙන අදහසකින් නම් නෙමෙයි.

    රත්නප්‍රියට අනූ දෙකේදි හතලිහනම් හැත්ත එකේදි දහ නමයයි. ඒත් කැරැල්ලට සම්භන්ධයක් නෑ. මිනිහ විප්ලවවාදියෙක් වෙන්නෙ භද්‍ර යෞවනයෙදි, ඒ කියන්නෙ තිස් හතරෙ විතර. මේක ටිකක් අභව්‍යයි නේද?

    රතනප්‍රියලා ඉංග්‍රීසි කරයන් නොවීය. ඔවුන් පනස් හයේ සිංහල දරුවන් විය.

    කිසිම දේශපාලන පක්ෂයක මහා සම්මේලනයට ඇතුළු වීමට ලේසි නැත. විප්ලවාදී පක්ෂයක එය කොහෙත්ම ලෙහෙසි නැත.

    කෙසේ නමුත් එකක් කිව යුතුමය. කතාව එක හුස්මට කියැවිය හැකි තාලයට පෙළගස්වා ඇත.සුභ පැතුම්!

    ReplyDelete
  11. සුජීව ලොකු හදිසියකින් මේ කතාව ලියාගෙන ලියාගෙන ගිහින් ඇති බවට සලකුණු මුළු කතාව පුරාම තියෙනවා. එහෙම වුණත්, ස්පර්ශ කළ යුතු හැම අහුමුල්ලක්ම ස්පර්ශ කිරීමටත් අමතක වී නැහැ.

    මවු හා පුතු අතර වෙනස් වෙමින් යන සම්බන්ධය..
    රටේ දේශපාලනය පොඩි මිනිහෙකුගෙ ජීවිතය තුළින්..
    තරුණ වියේදී තමන් විශ්වාස කරන මතය වෙනුවෙන් දෙවරක් නොහිතා ජීවිතය ඔට්ටු අල්ලන මිනිසෙකුගේ පරාජය..
    පරාජය භාර ගැන්මට සූදානම් නැති විප්ලවීය ගතිගුණ...
    කාලයේ තාලයට වෙනස් වෙන බාහිර පුද්ගලයන්ගෙ සැළකිලි; තමන්ට නොවැටහෙන දේ පිළිබඳව, තමන්ගෙ සම්මතයෙන් බාහිර දේ ගැන "පොදු" මිනිසුන්ගෙ මතය..


    මුල් යුගයේ, පුතා ප්‍රයෝජනවත් යමක් කරනු ඇතැයි සිතන අම්මාගේ සිතේ ඔහු කෙරෙහි ඇති වෙන්නෙ ගෞරවයක්. පුතුගෙ ජීවිතයට උචිත පරිදි අම්මා හැඩ ගැහෙනවා වගෙයි. ඒත් කාලයත් එක්ක, ජීවිතේ හැලහැප්පුම් එක්ක ඒ හැඟීම වෙනස් වෙන හැටි.... ඒ සියල්ල මැද්දෙත් නැති නොවන මවකගෙ බලාපොරොත්තු ගොන්න, කතාව පුරාම පෙන්වනවා.

    රත්නප්‍රියගෙ ජීවිතය හා සසඳනු පිණිස අපට ඉදිරිපත් කරන අනෙක් චරිතය- කරුණාපාල. වඩාත් "ප්‍රායෝගික" ලෙස අත්තෙන් අත්තට පනින කරුණාපාලට මුළින් "රත්නේ මහත්තයා" දන්නා විප්ලවය කළ යුතුම එකක් වුණාට, පස්සෙ "නැන්දේ" කියලා කොන්දේසි ඉදිරිපත් කරන්නටත් හය්යක් හම්බ වෙලා.
    වඩාත් රතු ලේ...වෙනස් වම....මාරු වෙන වම දකුණ. බෙහෙවින්ම උචිත යෙදුම්. කිසිම පක්ෂයක නමක් සඳහන් නොකර මෙහෙම යෙදීමෙන්, කතාව ඕනෑම සංස්කෘතියකට ආදේශ කිරීමේ හැකියාව ලබනවා.

    මේ කතාවෙ වඩාත්ම මගේ හිත කම්පා කළ කොටස- අම්මගෙ හිත සැනසීම පිණිස, පක්ෂයෙන් තමන්ව රට යවන බව පැවසීම. සමහරවිට මේ හා සමගාමී සිද්ධියක් මගෙ හිතවතියකට වුණු නිසාද මන්දා.
    ඒ එක්කම අර අවසානය: "කියන්නට බොහෝ දේ සිතෙහි ඇත." කියන තැනින් පටන් ගෙන නිමාව තෙක් ගෙවෙන කොටස, හිතට තදින් දැනෙනවා.

    මට හිතෙන්නෙ, මේක කෙටි නවකතාවකින් කියන්නට ඕනෙ දෙයක්. චිත්‍රපටියක් වගේ හිතේ ගලාගෙන යන්නෙ.

    ReplyDelete
  12. "පහලින් හිඟන්නෙක් කොහෙන්දෝ ලැබුණු බත්පතක් ගිජුව ගිල දමයි.

    "ඔය සහෝදරයා දන්නවද ලෙනින් සහෝදරයා ගැන?"

    රත්නප්‍රිය දේශනාව ඇරඹීය."

    මට දැණුන මේ කතාවේ 'හදවත'වන්නේ මේ කොටසයි.
    එතනින් යුග දෙකක් යා කෙරේ.

    මේක පිළිගත් කෙටිකතා රචනයේ මූලික ස්වරූපයට වෙනස්. මොකද විකාශන පරාසය කෙටිකතාවකට හසු කරගන්නවාට වඩා පුඵල් වූවක්. ඒත් මේ ලක්ෂණය මුල් යු‍ගයේ කෙටිකතා වල දකින්න පුඵවන්. ඒ මොනව වුණත් මේව කෙටිකතා නෙවෙයි ෂෝට් කතානෙ.

    ReplyDelete
  13. ආසාවෙන් කියවීමි... නමුත් මෙවැනි දැවැන්ත කතාවකට කමෙන්ට් කිරීමට මම පොඩිහිටියෙක්මි... හැම කතාවටම කමෙන්ට් කල නිසා මේකටත් කරලාම යමි... :)

    ReplyDelete
  14. ස්තුතියි හැමෝටම. මං වැඩියෙන් ම කැමති ඔක්කොම මේ ගැන සංවාදයක් ඇති කරන කරුණු ඉදිරිපත් කිරීමත් ඒ වගේම මෙහි ඇති අඩුපාඩු ගොන්නක් ඉස්මතු කිරීමත් ගැන.

    W3Lanka කියන්නා වගේ මේක අමු වැඩියි තමා. මෙතන කියන පසුබිම් කතාව නොදන්නෙක් නැහැ. ඉතින් මේ ඒ කතාව මත රෝල් වෙන හුරු පුරුදු චරිතයක්. කතාව තුලට ෆැන්ටසියක් හෝ ඉමජිනේෂන් එකක් මීට වඩා ආරෝපණය කර ගන්නේ කොහොමද කියන එකට මට තව පර්යේෂණ කරන්න වෙයි.

    ඒ එක්කම එන අනික දුර්වලතාවයක් වාර්තාමය ගතියෙහි වැඩි කම. එහෙම නොවුනා නම් හොඳයි එත මීට වඩා එහෙම කරන්න ගියා නම් මේ මැරතන් එක තවත් දිගු වෙනවා. නලිනි හරියටම හරි මම මේක ලිව්වේ පුදුම කලබලයකින්. ඔය පොස්ට් කල වෙලාව වෙද්දීත් මං ඇහැරිලා [මුළු රෑම]. ඔය අදහස හිතට ආ ගමන් මට හරි වදයක් වුනා මගේ හිතේ ඉන්න ඇතුළු චරිතයක් ලියාපිය කියා බල කළා කිව්වොත් නිවැරදියි. ඒ වේගය විසින් මෙහි වාර්තාමය භාවය ඇති කළා කියා මට හිතෙනවා.

    පොඩ්ඩි සහ ඉන්දික කියන වයස පිලිබඳ සටහනෙන් මට දැනෙන සතුට ඔබ මේ කතාවට කොච්චර ඇතුළු වුනාද කියලා. මං පටන් ගත්තේ රත්නප්‍රිය 1955 උපන්නෙක් කියා හිතාගෙන. 1995 දී එයා ආයිත් එන්නේ. ඔබ දන්නවද දන්නේ නැහැ අසාර්ථක විප්ලවයට පස්සේ හැංගිලා උන්නු කට්ටිය එලි පහලියට ආවේ මේ සන්දියේ. ඔය කතාවෙත් මං කියන්නේ "වෙන මොනවාද? දැන් ඒ මිනිස්සු පාර්ලිමේන්තුවේත් ඉන්නේ" මොකද 94 තමයි ඔවුන් යන්නේ පාර්ලිමේන්තුවට. ඉතින් මේ මනුස්සයට 71 දී 16 යි. වැඩිමහලු තල්ලුවක් නැතිව 16 දී කෙනෙක් කැරැල්ලට සහබාගි වෙන්නේ නැහැනේ. මං හිතුවේ මෙයා 75-80 කාලේ කැම්පස් ගිහින් එහෙන් මේකට එකතු වුනා කියලා. ඊට පස්සේ ධීවර සන්ස්තාවෙත් වැඩ කරලා තමයි ඔන්‍න‍ 81/82 කාලේ තිබ්බ චන්ද වැඩට බහින්නේ. දැන් මේ රාමුව කතාව තුල කියන්නේ නැහැ. ඒ කොටස කියවන්නා විසින් ගන්න හැටියට තමයි. ඒ නිසා ඔබ දෙදෙනාම නැගු ප්‍රශ්න වල වරදක් නැහැ. මා ඒවා තදින් පැහැදිලි නොකිරීමේ වරදකුත් මා දකින්නේ නැහැ.

    මාරයාගේ කෙටි උත්තරේ කිව්ව හැටියට [දිගු උත්තරය ලැබෙන තුරු බලා සිටිමි] අර සමන්තිකාට දුන්න ලිපිය හරහා ගහන්න හැදුවේ විප්ලවයේ අසහාය නායකයින්ගේ සුඛෝපභෝගී ජීවිතවලට හෙම නොවේ. මේ කතාවේ කාටවත් ම ගහන්න හිතුවේ නැහැ. එළියේ අපි ප්‍රතිවාදී ව වාද කලාට මේ කට්ටිය අපේම සමාජයේ කොටසක්. කෘතීම හෝ ඔපපාතිකයින් නොවේ. මොවුන් නිකම් හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සුන්ට ගැහුවා කියලා වැඩකුත් නැහැ. දෙවැන්න නම් හැමදාම වගේ මං පරමාදර්ශය සොයා යන්නෙක් නොවේ. මිනිසා නම් සතාගේ පරිනාමික දුර්වලතා එලෙසටම බාර ගන්න කැමති කෙනෙක්. ඒ නිසා ඔය කියන සුඛෝපභෝගී ජීවිතවලට මගේ විරෝධයක් නැහැ. ඔය සුඛෝපභෝගී ජීවිත කියන්නේ චිකන් කන එකයි [කොපි රයිට් වීරවංශ අජිත් කුමාර [පළමු] සමග ප්‍රසිද්ධ වලියේදී] මරුටි ලඩියක යන එකයි එහෙමනේ.

    ඊට වඩා මට පෙන්නන්න ඕන කලේ මිනිස් හිතේ පවතින විසංවාදය. ඒ වගේම ඉචසලා ඉවසලා ඉන්න බැරිම තැන හිත වෙනස් වෙන හැටි. එහෙම මානසික තත්වයකදී කෙලින පිස්සු. ඒ වගේම බින්දී කිව්වා වගේ විප්ලවකාරයා තුල ඉන්න සම් මස් නහර තියෙන මිනිසා.

    මං දන්නා රත්නප්‍රිය ලා [විප්ලවය නොකරන] කොච්චර ඉන්නවද? එක එක ලොකු සීන් අල්ලාගෙන ඉඳලා පස්සේ වෙනස් වන, එතකොට ප්‍රමාද වැඩි, ඒ නිසා මානසික රෝගීන් වගේ හැසිරෙන, පිස්සු කෙලින. ඒ අතරින් එකෙක් - මා උපන් හැදුනු ගමේ අවුරුදු 50+ අවිවාහක කෙනෙක් කල දෙයක් ම නේ මේ වැඩේ. එ කතාව මේකට ඉබේම සෙට් වුනා. පොරත් මාර විප්ලවකාරයා.

    [ඊළඟ කොමෙන්ටුවට]

    ReplyDelete
  15. [පෙර කොමෙන්ටුවෙන්]


    මේ රත්නප්‍රිය ඔය විප්ලවකාරී පක්ෂේ ඇතුලේ නොවේ ඉන්නේ. ඉතින් එයා අද තියෙන අර්බුධයට උඩින වත් යටින් වත් සම්බන්ධ නැහැ. ඒ නිසා මෙයාට ඉන්දික කිව්වා වගේ සම්මේලනයට යන්නත් බැරි වෙයි. එහෙත් පක්ෂේ අය අස්සේ රිංගලා යන්නත් පුළුවන් වෙයි. කෝකටත් මිනිහා ගියේ නම් නැහැ.

    Chandy VIC ඔය කතාවේ ඉන්න හැම දුෂ්ටයා ම අතීතයේ එහි වීරයා. ඒ කාලේ හිටිය දුෂ්ටයා විසින් වීරයාව දුෂ්ටයා කරනවා. හරියට රැගින් වගේ. පළමු වසර අහිංසකයින්ගේ අයිතීන් කොල්ල කන්නේ දෙවන වසර ඉන්න ගිය වසරේ අහිංසකයින්. රත්නප්‍රියත් වික්ටීම් කෙනෙක්.

    පොඩ්ඩිට මේක තරමක් නුහුරු ඇති. අනෙකුත් අපි බොහෝ දෙනෙක් මේ සිද්ධි කට පාඩමින් දන්නේ අපි මේකේ අස්සෙම ජීවත් වුන නිසා. පස්සේ උපන්න අයට මේ කැරැල්ල අපිට 71 වගේ ඇති.

    ඉන්දික පොරට ඉන්ග්ලිෂ් කාරයා කියන්නේ මුදලාලි නේ. මේකත් මං හැදුනු ගමේ ගැමියන් තිස්සෙම කියන එකක්. තනිකර සිංහලෙන් කතා කරන ඒ ගමේ අය ඉංග්‍රීසි වචන දෙකක් කියෙව්වොත් කියන්නේ "මාර ඉන්ග්ලිෂ්. එයාට නම් රස්සාවක් හම්බු වෙයි" වගේ කතා. ඔක්කෝම කැම්පස් අය "මාර ඉන්ග්ලිෂ්" කියලයි ඒ ගොල්ලෝ හිතුවේ. මේ එක අසරණ සමාජයක්. [අද මේ ගම නැහැ. මැරිලා. අද ඒ ගමේ රස්තියාදු කාරයොත් ඩොයිෂ් ෆ්‍රෙන්ච් එහෙම දන්නවා. ඒකත් එක විප්ලවයක් :)]

    නලිනි මං හිතුවා වගේම කතාවේ කොඳු නාරටිය දකිනවා. මේ කතාවේ මගේ හදවත තියෙන්නේ ගුණවතී මැණිකේ එක්ක. කෙලින් නොලිව්වට මේ ඇයගේ කඳුළු කතාව. ඇය කේන්ද්‍ර කලාට වඩා එය ඔබට දැනෙන්න අරින්නයි මට ඕන කලේ. ඒ අම්මා පව්. ඒ වගේ අම්මලා ගොඩක් පව්.

    කතන්දර පොත් ගුල්ලා හා පොඩ්ඩි බය හිතෙන නම් කියනවා. ඒ සමහරවිට මේ ලේඛකයින්ගෙන් කියවූ කතා වල යම් හුරුවක් හිතේ තියෙන නිසා වෙන්න ඇති. කලකට කලින් ටී ජී ගේ පෝස්ට් එකක අපි කතා කළා වගේ, අද අපි ලියන්නේ එදා මේ අය අපට ලියු නිසා. මේ අපේ ගුරු පරපුර. හැබැයි එතනට නම් තව තියෙන දුර බොහොම වැඩි බවයි මගේ මතය. ඒත් මේ සියලු සටහන් මට දැවැන්ත දිරියක්. ඔබ්සර්වර් කරන දිරි ගැන්වීමත් ඊට එක් කල යුතුයි.

    අන්තිම මොහොතේ දැක්කේ පිටස්තරයා හා බීටල්. පිටස්තරයා කියන කතාව ඇත්ත. කෙටි කතා බොහෝ විට විකාශනය වන්නේ පුංචි සිද්ධියක් වටේ. මා ලියු කතා දෙකම දිගු ඉතිහාසයක් පුරා දුවනවා. එහෙම කරන්න මේ කතා දෙකම බලර්කරනවා. ඉතින් මං සීමා නැතුව ලිව්වා. හැබැයි මේ ශයිලියේ ම එල්ලිලා ඉන්න අදහසක් නැහැ.

    බීටල් ලියන්න දේවල් ඔබට නාට්ය්හි වෙන්නේ කොහොමද? ස්තුතියි ඇවිත් දුන්නු දිරි දීමට.

    ඔබ හැමගේම අදහස් වලට මගේ ස්තුතිය.

    ReplyDelete
  16. "බීටල් ලියන්න දේවල් ඔබට නැති වෙන්නේ කොහොමද?" ටයිපෝවක්.

    ReplyDelete
  17. මට මතක් වුනා මං සඳහන් කරපු ජීබී ගේ කෙටිකතාව ගැන කරුණු ටිකක්. ඒකේ ඉන්න පොර පොත් ගුල්ලෙක්. වයිෆ්ට සාරියක් ගන්න ගිහින් ගන්නේ පොතක්.

    කවුරුහරි කියවලා තියෙනවද?

    ReplyDelete
  18. @කතන්දර...

    මට මතක්යි ඔය කියන එක..මෑන් ලිපිකරුවෙක්ද කොහේද නේද..? නමනං නිකං සිරිමෙවන් වගේ මොකක් හරි කියලයි මතකේ තියෙන්නේ...

    ReplyDelete
  19. ගොඩක් හොඳයි ලකුණු 7/10 දෙන්න පුළුවන්. කතාව එපා වෙන්නේ නැතිව කියවන්න පුළුවන්. මට සුජීවගේ මුල් කතාව ඉවර වෙන කම කියවන්න බැරිවුනා. මේක එහෙම නොවෙයි. ඒත් මේක නිර්මාණශීලි මදි. මොකද ඉතිහාස කතාවක් වගේ, කෙටි කතාවකට වැඩ. සුඑඑවගේ කලින් කතාවෙත් ඒ දුර්වල කම තිබුනා. සමහර වෙලාවට හිතෙනවා මේක පෞද්ගලික අත්දැකීම් වලින් වලටත් සම්බන්දයි කියලා

    ReplyDelete
  20. Thalagoya;

    17 විතර වෙනකම් මාත් ඔය රත්නප්‍රිය කෙනෙක් වෙන්න හිතන් හිටිය බව දන්නවනේ. ඊට අමතරව අර කෙල්ලට ලියුම් දුන්නු නාකි අවිවාහක විප්ලවකාරයා උන්නේ අපේ ගමේ. ඉතිරිය ඉතින් අපි කවුරුත් දන්නා පොදු අත්දැකීම. අපිට රත්නප්‍රියලාත් එක්ක කොයි තරම් ගනු දෙනු කරන්න උනාද? කතාවට නිමිත්ත ලැබුනෙත් එයාලා මේ දවස් වල කරන වැඩ හින්දා තමයි. ඇතැම් වැසුනු මුහුණු පොත් කණ්ඩායම් තුල [අහම්බෙන් මාවත් ඇතුලට දාගෙන] ඒ ගොල්ලන් දුක්වෙන හඬන හැටි දැක්කම වලිය අමතක වෙලා හිත උණු වුනා.

    අඩුපාඩු පිලිගන්නවා. ඉස්සරහට ඔයිට වඩා හොද නිර්මාණයක් කරන්න මට ඒ විවේචන හරි වටිනවා. අපි හෙමි හෙමින් යමු.

    ReplyDelete
  21. bayanakama dea mama dakinne,sihina pala karagena duppath kamae agadayata gilenawa,mudhal walin karaganna puluwan samajayaka idagena ekata virudawa yanakota kohen nathara wenna wenawada danne nea.Mokada ekek wath athmarthayen midila nathi nisa.Ape agam pasu pasa duwana minisunui,oya vipplawa karayangei wadi wenasak nea.paw loke ratawal deka thunai oya yana krama yata gihin kramayak hada gena thiyenne,eath aea ratawala sampath thiyana hinda.ulau vipplawa karanna gihin marichcha un num bohoi.Unwa maranna kotasakuth innawa.Ganu ona tharaum loke mudhal thiyanawa num,eka hamba karanna ganna margayai wada gath...Justice in the barral of a loaded gun...

    ReplyDelete
  22. නලින්;

    කෙටියෙන් කිව්වොත් පරමාදර්ශ පස්සේ දුවන්න තරම් මෝඩ මිනිස්සුන් හිඳීමයි ප්‍රශ්නේ. වානරයාගෙන් පරිනාමය වී ස්වාභාවික වරණයට අවශ්‍ය ගතිගුණ වලින් වැඩි දියුණු වූ මිනිසා කියන සතා අස්සේ හොයනවා දෙවියන් වැනි චරිත. තියෙන දේ තව ටිකක් හරි හොඳට හදන්නේ නැතුව හිතන්නෙම මේක කඩලා අලුත් හොඳ එකක් හදන හැටි ගැනමයි. ඒ ෆැන්ටසියට මෙහෙ යකා නටනවා.

    ReplyDelete
  23. අලුත් එකක් දැම්මෝ.

    ReplyDelete
  24. කතාව ඊයේ රෑ තමයි දැක්කේ. ඒක කියවලා කොමන්ට් කරන්න ව්දියකුත් තිබ්බේ නෑ.
    මටත් අතීත මතක බොහොමෙයක් මේ කියන කාලේ මීට පස්සේ කාලෙයි තියෙනවා. ගුණවතී හාමිනේලා බොහෝමයක් හිටියා එදත් අදත්. ඒ අය ගැන මටත් ලොකු දුකක් දැනෙනවා. දරුවන්ගේ සතුට හින්දා ඕනෙවට වඩා එයාලගේ ජීවිත වෙනුවෙන් බලාපොරොත්තු තියා ගන්න අම්මලා කොයි තරම්ද. ඒ දරුවො අම්මලාගේ දුක තේරුම් ගන්නවත් අඩුයි කියලායි මට හිතෙන්නේ.

    ලිවීමේ රටාව ඉහලයි සුජීව. හදිස්සියෙන් ලීවට අවුලක් නෑ කතාව මට නම් දැනුනා ඔන්න.

    ReplyDelete
  25. නියමයි......
    මරුවා

    ReplyDelete