Thursday, February 2, 2012

චතුරශ්‍රය

ඔහුට ඇය මුණ ගැසුනේ අහම්බෙනි. සෙනග තෙරපෙන බස් රථයට ගොඩ නැගුණු මොහොතේම අසුනක් හිස් වී හිඳ ගන්නට ලැබීම පවා සිකුරාදා ගම බලා ඇදෙන කෙනෙකුට ලොකු අහම්බයකි. අසුනේ හුන් සිහින් දිගු දෑස දුටුවේ තවත් කිලෝමීටර කිහිපයක් ගිය පසුවයි.

දහදිය ගඳ ගහන දවසේ මහන්සියෙන් අවුල් වුනු මිනිසුන් ගැහැණුන් අතර, නොයෙක් ආලේපනයෙන් පැහැබර වී සුවඳවත් වී හුන් ඇය ඔහුට පෙනුනේ රණමොනරියක් ලෙසිනි. බැලුම් සිනහ වී
, සිනහ කතා වී, කතා කෙඳිරිලි වී මුවට මුව ලං වන්න ගතවුයේ ද තවත් කිලෝ මීටර කිහිපයක් ම පමණි.

ඔහුට ඇය අතිශයින් ම ප්‍රසන්න කෙල්ලක යයි සිතුනි. ඇය ඔහුගේ උණුසුමෙන් මන්මත් වුවාය. දෙදෙනාගේ සල්ලාපයෙන් තුටු වූ බසය පසු අසුන හිස් කර බලා හුන්නේය.

"අපි යමු ද
?" ඔහු ඇසුවේ නැත. ඇය ද ඇසුවේ නැත. පසු අසුනට නැගිට ගියේ කතා බහකින් ද තොරවයි. සිහින් හිනාවක් පාගෙන බසය නැවතත් ගමන් ඇරඹීය.

වසර කිහිපයක් පෙමින් වෙලී හුන් යුවලක් සේ ඔවුන් පෙනුනි. ආදරයට කවදත් පොදු ගැරහුම් ද ඇතැම් සිතකට එන්නට ඇත. එහෙත් ඒ වනවිට ඔවුන් සිටියේ බසයේ නොවේ.

වරෙක සොඳුරු දිය ඇල්ලක සීතල මිහිදුමකින් ඔවුන් වෙලා ගැනුනි. ඈ ඔහුට ගුලි වූවාය. තවත් වරෙක පෙම්වතුන්ටම වෙන්වූ අනාගත උද්‍යානයක ඔවුහු තනිවූහ. ඔහු ඇයව පිරිමැද්දේය. සීමා මායිම් බිඳී  විවිධ ප්‍රේමාලිංගනයෙන් ඔවුහු මත් වූහ. බසය දෑස් පියාගෙන පෙරට ඇදේ. ඇතැම් සිත් ඔරවාගෙන අහක බලා ගනිති. එහෙත් ඒ බව දැනෙන්නට ඔවුන් බසයේ නැත.

ගතවූ ඒ දෙපැය තුල කතා නොකළ දෙයක් නැත. නොසිතු ආදර හැඟීමක් නැත. නැවුම් බව මෙන්ම හිතාදර බවත් ඒ පුංචි කැදැල්ලේ තිබුණි.

තම ආයතනයේ ගැටළු ගැන ඔහු ඇයට කීවේ දශකයක් ජීවිතය බෙදා ගත් සහකාරියකට කියන්නාක් මෙනි. තමන්ට අම්මා විවාහ යෝජනා ගෙනෙන සැටිත් තමන් ඒවා අවලාදයෙන් ඉවත දමන සැටිත් ඇය කීවේ උපහාසයෙනි. තමන් තවම විවාහ වෙන්න සිතා නැති බවත්, ජීවිතයට විවාහය අත්‍යාවශ්‍ය ද යන්න තවමත් සිතන බවත් ඔහු දාර්ශනිකව පැවසීය. තමන් කැමති ඒ වගේ කොල්ලන්ට බව ඇය විවෘතවම කීවාය. නූතනයේ සුළඟක් කවුළුව අතරින් විත් ඔවුන්ගේ සුවඳ ගෙන පිටව ගියේය.
බසය ගමනාන්තයට ලඟා විය.

ඔහු ඇයට සමු දුන්නේ දුරකථන අංක හුවමාරු කර ගනිමිනි. ඇය ඔහුට දුන් ප්‍රේමවන්ත සමුදීම පළමු දිනයකට වඩා බොහෝ සමීප වූවකි. ඇය නොපෙනී යන තුරු ඔහු බලා හුන්නේ ප්‍රේම වියෝගය පිරුණු දෑසින් බව හැරී හැරී ගිය ඇය සිතුවාය.

අනෙකා තමන් ගැන ආලයෙන් මත් වී ඇතැයි දෙදෙනාම සිතූහ.


++++++++++++++

ඔහු ආපහු හරවා එන එම බසයටම නැග්ගේ බැසිය යුතු තැන පසුවී බොහෝ දුර බැවිනි. ජීවිතය ආයෝජන සමූහයක්. කාර්යාලයෙන් එන විට ඔහුට සිතා තිබුණි. ජීවිතය ඇත්තේ විඳින්නයි කියා දැන්  ඔහුට සිතේ. වසරක දෙකක වින්දනයට ආයෝජනයක් සිදු කරන්නට යෙදුනු බැවිනි.

"
හරියට වැඩ තිබ්බා. සිකුරාදානේ" ගෙට ගොඩ වෙන ගමන් ඔහු බිරිඳට පැවසීය.

"
ඔය වැඩ කරන තරමට ඔයාට ප්‍රොමෝෂන් එකක් දෙන්නැති එක හරි අසාධාරණයි" බිරිඳ  පැවසුවාය. .

++++++++++++++
ඇය පැමිණියේ ත්‍රීරෝද රියකිනි. ඇයට ද ඔහුට මෙන්ම බහින තැන අමතකව ගොස් ඇත. ගෙට ගොඩ වී මොහොතින් නාන කාමරයට වැදුනේ මුවගට නැගෙන සිනහව සඟවා ගන්නටයි.

කන්නාඩියෙන් ඇයට ඇගේ රුව පෙනේ. පුංචි කොල්ලන් දැලේ වැටෙන තවමත් නොවැහැරුණු ලාබාල පෙනුම ගැන ඇය තුටු වූවාය.

"
අද ඕකෙන් එන්නේ නැද්ද?" රූපවාහිනියේ ක්‍රිකට් තරගය බලමින් හුන් සැමියා පැමිණ ඇගේ සොඳුරු දැහැන බිඳින ලදී.

++++++++++++++

තවත් දවසක තවත් තැනක තවත් ආදර කැදැල්ලකි. තවත් අහම්බයක් පමණක් නොව දෛවයේ අපූර්ව සරදමක් ද වූ ඒ හමුව මතු දිනයක සම්පුර්ණ වනු පිණිස ආදර චතුරශ්‍රයේ කොටසක් කලකට පෙර ම අඳින ලදී.

"බිරිඳ" "සැමියා"ට  ගුලි වූවාය. මේ කාමරය ඔවුන්ට හිමි වූවක් නොවේ. එයට ගෙවා ඇති කාලය නිමා වෙන්නට නියමිතයි. කලක් තිස්සේ සිදුවන ඔවුන්ගේ තවත් එක හමුවක අවසානයත් ලං වී ඇත.

"
වෙලාවකට මට වයිෆ් ගැන දුකයි" වරදකාරී හඬකින් "සැමියා" පැවසීය.

"
එයා මාව ඉම්ප්රෙස් කරන්න ගන්න මහන්සියක්. ඔෆිස් එකෙන් එලියට එන්නෙත් මේක් අප් දා ගෙන රූප රාජිනියක් වගේ"

"
බිරිඳ" ද සුසුමක් හෙළුවාය.

"
අනේ පව් අපේ හස්බන්ඩ් නම් කෙල්ලෙක් දිහාවත් බලන් නැතුව ඇති. එයාට මාරෙට වර්ක් මෙයා. ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. වහලෙක් වගේ වැඩ"

[පෙබරවාරි  03 දිනමිණේ "කෙටිම කෙටි කතා" තීරුවේ පලවූ කතාවකි. ස්තුතිය කාංචනාට]

[කතාවට වස්තු විෂය සැපයු බස් සෙක්ස් ගැන කියා දුන් පෝස්ට් හා කොමෙන්ට් ලියු හැමට "අති විශේෂ ස්තුතිය" හිමි විය යුතුය]

20 comments:

  1. මාස ගානකට පස්සෙ හොඳ කතාවක් ලියල තියෙන්නෙ. තව වතාවක් හෙමිහිට කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ඔබාගෙ රසේ අපි දන්නවානේ..

      Delete
  2. බොහොම ස්තුතියි අවාට මේ පැත්තේ.

    පහුගිය කාලේ හැල හැප්පීම් කෝටියයි. කියන්නේ "මට මාරෙට වරක් මෙයා" ඒ වගේම "මට මාරෙට ස්ටඩිත්" තිබ්බා. ප්‍රොමෝට් උනේ වත ඩිග්‍රියලබුනෙවත් නැහැ.

    හැබැයි ඉතින් වෙන මොකුත් නම් ආයෝජනය කර ගන්න බැරි වුනා :)

    ReplyDelete
  3. මේ කතාව සම්මත කෙටි කතා රාමුවෙන් වෙන් වන්නේ ඉතා කුඩා නිසා. කාංචනා මේ ගැන කිව්වම මට මාර අවුලක් ආවා කොහොමද මේ පුංචි ඉඩ කතාවකින් පුරවන්නේ කියා. මම සම්මත කෙටිකතා රාමුව ගැන විශ්වාස කරන්නෙක්.

    මේක අමාරුවෙන් ලියා ගත්තා. මේ කතා ආර වෙනස් නිසා කෙනෙකුගෙන් සාහිත්‍ය විචාරයක් [මගේ හැකියාවේ මට්ටමින් හොඳේ, අපි මහා ලොකු සාහිත්‍ය කාරයින් නොවේ] වෙනවනම් කැමතියි.

    කොහෝමත් මං ලියන හැම දෙයක්ම සාධාරණ [ද්වේශ සහගත නොවන/අගමුලක් නැති නොවන] විචාරයන්ට විවෘතයි.

    ReplyDelete
  4. [කතාවට වස්තු විෂය සැපයු බස් සෙක්ස් ගැන කියා දුන් පෝස්ට් හා කොමෙන්ට් ලියු හැමට "අති විශේෂ ස්තුතිය" හිමි විය යුතුය]

    ReplyDelete
  5. සුළු වචන සීමාවක් තුළ රැඳී හිඳගෙන ලිවීම පහසු දෙයක් නෙවෙයි. සමහරවිට සුජීව මුළින් කතාව ලියලා, ඊට පස්සෙ වචන ගැනලා, ආයෙම කෙටි කරන්නත් ඇති. විස්තර වර්ණනා, අලංකරණ, සංවාද ආදිය ඇතැම්විට කපා හරින්නට සිදුවෙන්නටත් ඇති. හැම දෙයක්ම ඉක්මණින් වෙනවා වගේ හැඟීමක් එන්නෙ ඒ නිසා වෙන්නට ඕන. නමුත් ඒ සීමාවෙ හිඳිමින් මුල මැද අග සහිත සම්පූර්ණ කතාවක් මෙතන තියෙනවා.
    ජය!

    ReplyDelete
    Replies
    1. නැහැ නලිනි කෙලින්ම මේකම තමා ලිව්වේ. හැබැයි අර සීමාව ඔලුවේ තියාගෙන විස්තර වර්ණනා හිතා මතාම නතර කරමින් අවශ්‍ය අදහස කෙටියෙන්ම ලිව්වා. සංවාද මුලින්ම කපා දැම්මා. අමු ගතියක් හෝ පොල්ලෙන් ගැහුවා වගේ තේරෙන ගතියක් එන එකට කරන්න දෙයක් නැහැ. ලස්සන සාවධාන කතාවකට ඔය ඉඩ මදියි.

      ඔන්න නොන්සේන්ස් ජෙන්රියට නම් ඔය ඉඩ වුනත් ඇති වෙයි. මොකද කතාවේ ෆැන්ටසිය තියෙන කොට ගොතා ගන්න ලෙහෙසියි. මට නැතිම හැකියාව තමා ඒක. ඉස්සරහට ඒ පැත්ත දියුණු කරගන්න මේ අවස්තාව පාවිච්චි කරන්න ඕනේ.

      ස්තුතියි

      Delete
  6. අනේ මන්ද මටත් සාහිත්‍ය විචාරය නම් බැහැ එහෙමකටම . සීමාවක් ඇතුලේ ලිව්ව නිසාදෝ වාර්තාමය ගතියක් දැනෙනවා . හැබැයි මොකක්දෝ අමුතු නිර්මාණශීලි ගතියකුත් තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දී දෙබස් වලින් කියන්න ඕනේ ඒවා වාර්තා වලින් ලිව්වම එහෙම වෙනවා ඇති. මටත් මේක අලුත්. මීට වඩා ලස්සන ඒවා පලවී තිබ්බා මේකේ. සයිබර් අවකාශයේ ලියන අය සැහෙන්න මේකේ ලියනවා.

      මාත් උත්සාහ ගන්නේ මේ කලාවේ අගමුල අහුලන්න.

      මේ කොටුවේ [12 ෆොන්ට් ඒකෙන වර්ඩ පිටු දෙකක්] ලියලා බලන්න කැමති අය [බින්දී ඇතුළුව] ඉන්නවනම් කාංචනාට ලියන්න. ඊ මේල් ලිපිනය ඕනෙනං දෙන්නම්.

      Delete
  7. කතාව කියවාගෙන යනකොට මටත් එකපාරටම මතකෙට ආවේ පහුගිය දවස්වල ගිය "බස් සෙක්ස්" කතා සෙට් එක...

    ReplyDelete
  8. ජෝඩු දෙකකගේ ප්‍රේම කතා හතරක් .ඒත් මට අන්තිම ප්‍රේම කතාව ගැන හිතුනේ ඒක් ටිකක් අභාව්‍ය දෙයක් වගේ . මුල් කතා නායකයන්ගේ බිරිඳ /සැමියා අතර ප්‍රේමය .ඒක අර මුල දෙක සෙට් කරලා ඒකෙම එක්ස්ටෙන්ඩෙඩ් වර්ශන් වගේ .මුල හරියේ ගලා යාමට කැමතියි .අග එක්ටෙන්ඩෙඩ් වර්ශන් එක වෙන්ස් වුනා නම් හොඳයි

    ReplyDelete
  9. අර මුල ජෝඩුවගෙම ඔරිජිනල් ජෝඩුව වෙන තැනක හමුවීම කියන්නෙ කතාවෙ යථාර්ථය සහ රිද්මය බිඳින අවස්ථාවක් වගෙයි!

    මේ අසම්මත පවුල් අද ලංකාවෙ නවතම ප්‍රවනතාවය වගෙයි අහන දකින කතා අනුවනම් හැඟෙන්නෙ!

    ReplyDelete
  10. කතාවෙ අමුතු ගතියක් තියෙනව. මේ වගේ එක විට සිදුවීමක් වෙන්න තියෙන ඇත්ත අවස්ථාවනම් සෑහෙන්න අඩුයි ඒක තමා එකම අවුල.

    ReplyDelete
  11. අවුරුදු 15කට විතර කලින් ලක්බිම පත්තරේ ගියා ටිකක් මීට සමාන කෙටි කතාවක් නගරාන්තර ප්‍රේමය කියලා. අවාසනාවට ඒක ලියපු කෙනාගෙ නම මතක නෑ. ඒකෙ තිබුණෙ කොළඹ ඉඳන් නුවර රාජකාරියට අධිවේගී කෝච්චියෙ යන 'සැමියෙක්' සහ 'බිරිඳක්' ගැන කතාවක්. අන්තිමේ ඒ දෙන්න කවදාවත් එලියට එන්න බැරි දිග බිංගෙයක හිරවෙනවා :D

    ReplyDelete
  12. තරමක් සමාන කතාවක්: http://www.divaina.com/2012/06/29/news23.html

    ReplyDelete
  13. hare :-)

    නගරාන්තර ප්‍රේමය ලිව්වේ - හෙන්රි වර්ණකුලසූරිය
    නමුත් එහි සඳහන් වෙන්නේ සැමියෙක් හා බිරිඳක් ගැන කතාවක් නෙමෙයි.
    ඔහුට අහඹු ලෙස හමුවුණු ගැහැනිය පිළිබඳව පසු අවස්ථාවක තම බිරිඳට ලියන පාපෝච්චාරණයක්.
    එම කතාවේ අවසානයට සටහන් වෙන්නේ මෙහෙමයි
    .......අපේ පවුලේ වගේම එයාගේ පවුලෙත් දරුවෝ නැහැ. ඉතින් මම ඔයාගෙන් ඉල්ලන්නේ මෙච්චරයි. මට මගේ ඒ දරුවා ඕනේ. මට ඔයත් ඕනේ. එයත් ඕනේ එච්චරයි.
    2005 දී කර්තෘ ප්‍රකාශනයක් ලෙස කතා 7 කින් යුක්තව නගරාන්තර ප්‍රේමය එළි දැක්වුණා.

    ReplyDelete
    Replies
    1. හොයාගෙන කියවනවා.

      Delete
    2. මම ඔය කතාවම තියෙන හින්දි ෆිල්ම් එකක් බලල තියෙනවා.“නගරාන්තර ප්‍රේමය වගේමයි ඒ කතාව.

      Delete
    3. සොසි මේක තරමක චැලේන්ජ් එකක් වුනා කාංචනා මුලින්ම කිව්වම. කුඩා කෙටිකතාවක් ලියන්න අමාරු නිසා. මම ලියන්නේ සැහෙන්න පසුබිමක් එක්ක. ෆැන්ටසි කතාවක් නම් කොටට ලියන්න පුළුවන් ඒත් මම ඒවා ලියන්නේ අඩුවෙන්.

      කොටම කොට කතාවක් තුල ප්‍රමාණවත් සිද්ධි කැටි කිරීමේදී මේ වගේ අතාත්වික බවකට යන්න වෙනවා.

      Delete
  14. ආසාවෙන් කියෙව්වා. ඔයවගේම විවාහයේ පැතිකඩවල් ගැන ලියවුන කෙටිකතා තියෙනවා නම් ලින්ක් එකක් පලකරන්න. තව කියවන්න කැමතියි.

    ReplyDelete