Monday, June 1, 2015

කුටුම්බ

කුඩා  දරුවන්  රැගෙන  යන  ප්‍රෑම්  එකක  දරුවාට  අමතරව එළවළු  මල්ලක්  පාන්  ගෙඩියක් ටිෂූ  පෙට්ටියක්  එහෙමත්  අරගෙන  යන්න  පුලුවන්ද?

බැරි වෙන්න  බැහැ  මොකද කෙනෙක්  එහෙම  ගෙනාපු  නිසා. හැබැයි  ඊට  අමතරව  ප්‍රෑම්  එක  උඩ හයිය  රාමුව  හරියේ  කාමර  රත්  කරන්න ගන්න අලුත්ම  අලුත්  ඔයිල් හීටරයක් සහිත  පෙට්ටියත්  පටවලා  මදිවට  බබාගේ  ඔළුවට  උඩින්  නිදහස්  රෙද්දේ  අයිසින්  කේක්  එකකුත්  සස්පෙන්ෂන්  එකට තියාගෙන යන්න  පුළුවන්  කිව්වම.  එහෙමත්  තිබ්බ. ඒ  අම්මගේ අතේ  තඩි බෑග්  එකකුයි  මොප්  කරන්න ගන්න  අලුත් කොස්සක්  හා  භාජනයකුයි.

අවුරුද්දක  එකහමාරක  විතර  චූටි  එකී  ප්‍රෑම්   බෙල්ට්  එකේ  විතන්‍යතාවය උපරිමයට  ටෙස්ට්  කරමින්  අයිසින්  කේක්  එක  ගන්න  පොරේ.

එතකොට තව  අම්මෙක්  එතනම  ඒ  වගේම  බඩු  ගොඩක්  එයාගේත්  ප්‍රෑම්  එකේ. එයාගේ  මාසගානක  චූටි  එකා  හරිම  හුරතලයා  වගේම  මහා  ඇට්ටරයා.  ප්‍රෑම්  එකට  කැමති  නැහැ.  ඒ  නිසා ඔක්කොම  අස්සේ  ඒ  අම්මා  එයාවත්  කරගහගෙන.

බස්  එක  ආවේ  එතකොට.

ඔෆිස් ඉවර  වෙච්ච  වෙලාවත්  පහු  වෙලා, හැබැයි  තාමත්  දුර  නගරයෙන්  එන  මිනිස්සු  ගෙවල්  බලා  ඇදෙනවා.  මහා රාත්තිරියේ  පුංචි  එවුනුයි  "නිවසකට  අවශ්‍ය සියලු  දේත්"  උස්සගෙන  යන  එක  ලෙහෙසි  නැහැ. ඒකත් ඇට  මිදුළු  හෑරෙන  සීතලේ. හුඟක්  දුරට  අම්මලා  සේවා මුරය  ඉවර  වෙනකම්  කොහේ  හෝ  තැනක  රඳවා  තිබ්බ  පුංචි පැටව් දෙන්නෙක්.  සීතල  කාලේ  නිසා  හීටර්  එක  බබාට  අවශ්‍ය  දෙයක්. පොඩි  එකෙක්  ඉන්න  ගෙදරකට  මොප්  එකකුත් ඕනේ තමා. තනි අම්මෙකුට  මෙව්වා  ගේන්න  සිය  පාරක්  එන්න  අමාරුයි.

සමහරවිට  පඩි  දවස  වෙන්නැති  දෙන්නටම. හම්බු  කරන  තුට්ටු  දෙකෙන්  දරුවාගේ  ඕනා  එපාකම්  බලලා  මාසේ අන්තිම  වෙද්දී  සතේ  නැතුව  ඉන්න තත්වය  නුහුරු  දෙයක්  නොවේ  මේ  පළමු  ලෝකයේ  පිටත  පෙනුමට ධනයෙන් ආඩ්‍ය සමාජයටත්.  මාසයක්  පොඩි  එකා  හීතලේ  ඉන්නවා  බලා ඉන්න බැරි අම්මෙකුට  සල්ලි  ලැබුන  ගමන් හදිස්සියට  හීටරයක්  ගන්න ඕන  වෙන  එක  පුදුමයට  හේතුවකුත්  නොවේ.

කෝ  හැබෑටම  තාත්තලා?  කවුරුත්  ඇහුවේ  නැහැ.  ගැහැණියට  පවතින්න  පිරිමියාගේ  සහයක්  ආරක්ෂාවක්  ඕනේ  කියන  කතාව නම්  බයිලාවක්.  හැබැයි  ළමයෙකුත්  අතට  දීලා මාරු  වුනාම?

මිනිස්සු  හැකි  පමණින්  උදව්  කලත්  බඩු  ටික  පටව  ගන්න  අම්මල  දෙන්නට  සැහෙන  ෆයිට්  එකක්  දෙන්න  වුනා.  කීප  පාරක් බැහැලා  නැගලා  පටවන  අතරේ  චූටි  බබී  අම්ම  දාල  ගියා  කියලා බයවෙලා,  කෑ  ගහලා,  එක  නාට්ටියයි.


දැන්  මේ  නාට්ටිය  නරඹන්න  සහ  බඩු ඔසවා  උදව්වෙන්න ඉබේ  ම  සෙට් වුණ ප්‍රේක්ෂක  ප්‍රජාව  හෙවත්  බසයේ  සෙසු  මගීන්ට මේක  නොබලා තමන්ගේ  වැඩක්  බලාගෙන  යන  ආකාරය  ගැන  පුද්ගලිකත්වයන්  සුරැකීම  ගැන  විශේෂඥ උපදෙස්  දෙන  කෙනෙකුගෙන්  උපදෙස්  ගන්න වෙයි.  කාට  නැතත්  අපි  දෙන්නට.  මොකද  ඔෆිස්  ඇරිලා  ගෙදර  යන  මා යි මගේ  යාළුවයි  දෙන්නට  ඉඩ ලැබුණේ  හරියටම  එයාලට  පස්ස  සීට්  එකේ.

"පිස්සු  පීකුදු  යකෝ. පොඩි  එවුනුයි  ගෙදරකට  ඕනේ  ඔක්කොමයි"  ඌට  වැඩේ  ටිකක්  අවුල්  වගේ.  දැන්  මෙතන  සිංගල්  අම්මලාගේ  අර්බුද  ගැන  මූත්  එක්ක  වාද  කරනවට  වඩා  ගෙදර  ඇවිත්  බ්ලොග්  එකේම  ලියනවා  කියලා  මම  හිත  හදා  ගත්තා.

බසය හිමීට  ඉස්සහරට  ඇදුනා.  ගැහැණු  දෙන්නා  කතාව  පටන්  ගත්ත.

සාමුහික  වානර  පවුලේ  එකාලා  ඔලුවේ  උකුණෝ  බලබලා  වානර  බාසාවෙන්  තමන්ගේ  ආගත  නාගත  ඕපාදූප  කියවපු  එක අපේ  ජානවල  තියෙනවා.  ශිෂ්ටාචාරේ  පුද්ගලිකත්වය වගේ  එව්වා පස්සේ  ආවට.  දැන්  මේ  දෙන්නට  ඔහේ  කියවගෙන  යනකොට  උන්ගේ  පුද්ගලික  කතාද  වටේ  උන්ට  ඇහෙනවද  කියලා  ගානක්  නැහැ.

"මට  ඒ  යකා  පෙන්නන්න  බැහැ.  සුපවයිස්  කරනවා  කිව්වට  කිසිම  සහනයක්  දෙන්නේ  නැහැ.  පොඩි  හරි  ස්ටේන්  එකක්  තිබ්බොත්  ආයිත්  සුද්ද  කරන්න ඕනේ"

"මොකද්දෝ  එකකට  මට  නම්  ශේප්"

"ඔව්  ඌ  මූණු  බලලා  තමා  සුපවයිස්  කරන්නේ"

ඔන්න ඔහොම  එදිනෙදා  ජීවිතයේ  ප්‍රශ්න.  පොඩි  එකීට  මේක  අල්ලන්නේ  නැතුව  අනිත්  කොලු පැටියට  සමාන  අයිතිය  හෙවත්  අම්මගේ  උකුලට  එන්න  ඕනෙලු.  බැරිම  තැන  ඒක  පිළිගන්න  වුණා  ඒ  අම්මට. පොඩි  එකී  බස්  එකටම  කතා  කරනවා.  තේරෙන්නැති  බාසාවෙන්  මොනවදෝ  කියනවා.  වටේට   කැරකෙනවා . බස්  එකේ  සීනුවේ  ස්විච් එක  එබීම තමා  සැලසුම.  උස  පොඩ්ඩක්  මදි.

අම්මලා  ඔපාදූපේ.

"ඔය  ළමයා  අල්ලගන්න"  ඩ්‍රයිවර්  බෙල්ල  දාලා  කිව්වා.  ඒත් ඒක  ඇහුනේ අපිට  විතරයි.

"මටනම් තේරෙන්නේ  නැහැ  බං  හදාගන්නත්  අමාරුවේ  මොකට  ළමයි  හදනවද  කියලා" ඒ  අස්සේ  මගේ  ළඟ ඉන්න එකා කියවනවා.  වැඩේ  තියෙන්නේ  ඕක  ඒ  දවස්වල වැටහෙන්නේ  නැහැ.  කොහොමත්  දෙන්නෙක්  ඕනේ  ළමයෙක්  හදාගන්න.  හැබැයි  කොච්චර එකට  කිව්වත්  මිනිස්සු  කොහොමත්  සිංගල්.  එකෙක්  දාලා  ගියාම  අනිකා  අනාතයි.

එතැන්සිට ඒක  පුද්ගල  නාට්‍යයක්. ගමරාලගේ  චරිතෙයි  ගමමහගේගේ  චරිතෙයි  දෙකම  කරන්නේ  එක්කෙනක්.  ඒ  පීඩනයත්  එක්ක  දරුවෙක්  ආදරෙන්  බලාගන්න  එකට  තෑගී  දෙන්න  ඕනේ.

"එකත්  එකටම  ආණ්ඩුවෙන්  සල්ලි  දෙන  නිසා.  ෂුවර්  එකටම  ඇෆ්ගනියෙක්  වෙන්න  ඇති  තාත්තා"

ඔය  කතාවේ  පොඩි  ඇත්තක්  තියෙනවා.  දරුවන්  කීපයක්  ඉන්න  තනි  අම්මෙකුට  රජයෙන්  ටිකක්  වැඩි  [ඒත්  මේ  නගරේ  පොළොවේ  හැප්පෙන්න නම්  මදි]  ආධාරයක්  දෙනවා.  සමහර  ඇෆ්ගානි  සරනාගාත පිරිමින්  [සමහරවිට  වෙන  රටවල  උනුත්  කරනවා  ඇති]  ගෑනු තුන  හතරක්  සෙට්  කරගෙන  උන්ට  ළමයි  සෙට්  එකක්  හදා  දීලා  උන්ට  සිංගල්  මදර්  බෙනිෆිට් අරගෙන  දීලා  උනුත්  ගානක්  කපාගෙන  ඒකෙන්ම  යැපෙනවලු. ඒත්  මේ  බබා  බ්ලොන්ඩ්  බබෙක්.

කොහොම  උනත්  මම  ඒ  ගැන මොකුත්  කිව්වේ  නැහැ.  ඇෆ්ගානි  කිව්වා  ගමන්  ඒ  අම්මා හැරිලා  බැලුවා.  අම්මලා  දෙන්නා  ටික  වෙලාවකට  නිහඬ  වුනා.

"සල්ලි  තාම  ලැබුනේ  නැද්ද?"  ටිකකින්  එක්කෙනෙක්  ඇහුවා.

"නැහැ.  එක  ලැබෙන  එකක්  නැද්ද  මන්දා.  ඒ මිනිහ  සුයිසයිඩ්  කලේ  යුද්ධෙට  ගිය  වෙලාවේ  නෙවෙයි.  හමුදාවෙන්  අයින්  වෙලා බේබදුකමට  වැටිලා.  ඒක  ඔප්පු  කරගන්න  බැහැ."

"බැරිවෙන්න  බැහැ.  වන්දිය  ලොකු  ගානක්"

"අනේ  මන්දා.  තව  මෙව්වෙකක්  අඩුයි"

"මොකද්ද?"

"ඔෆිස්  එකේ  ගෑනි  කිව්වේ  තව  මෙව්වෙකක්  අඩුයි  කියලා.  මෙව්වෙකක්,  මං  දන්නේ  නැහැ  හරියට.  අනේ  මට  මේ  වැඩ  එක්ක  ඔව්වට  වෙලාවක්  නැහැ.  ඒ  ඔෆිස්  වල  ඉන්නේ  උන්ගේ  අම්මලට  *$@#$@#$  ගෑණු"

"හ්ම්ම්ම්"

 "ඒ මිනිහගෙන්  ගැලවීමම  මදැයි. අන්තිම  කාලේ  බබයි  මමයි  අමාරුවෙන්  උන්නේ"

ලෝක  බාගයක්  එහා පැත්තේ  අර්බුද  වල  මානසික  පීඩනය  සමාජයට  කරන  බලපැමක  හැටි.  පුංචි  කාරනාවක්  එහා  මෙහා වෙලා  ත්‍රස්තවාදී  උණ්ඩයකින්  මළානම්  මිනිහා  රණවිරුවෙක්.  විරු  බිරියටයි  විරු  දියණියටයි  වන්දි.

දැන්  මගේ  යාලුවගේත්  කට  වැහිලා.

"ඉන්න  බැරිනම්  පොඩි  එකත්  අරගෙන  යන  එක  ලේසියි.  පුලුවන්නම්  එළවලා  දාන්න මේ  මම  වගේ" අනිත්  අම්මා  ටිකක්  හයේ  හතරේ  ගෑණි.

"ඒක  තමා"

"මං  උන්දැට  අන්තිමට  කිව්වේ,  තමුසේ  මෙතන  ළමයෙකුටයි  මටයි  වදයක්  වේවි  ඉන්නවට  වඩා වෙන  තුත්තුකුඩියක  ඕන  බැල්ලියෙක්  එක්ක  යනවා  මගෙන්  බාධාවක්  නැහැ  කියලා. මට  පුළුවන්  ළමයා  හදාගන්න කොහොම හරි"

අම්මලාගේ  කතාවේ  ගෑස්  පවර්  එක  අඩුවෙද්දී  බබ්බු  දෙන්නගේ  කතාවේ  පවර්  එක  වැඩිවුනා.  සාමානයෙය්න්  පුංචි  ළමයි  කියන්නේ  අනුනාද  දෙන  කට්ටිය.  මේ  දෙන්නත්  කෑ  ගැසීමේ  තරගයක.

"වෙලාවකට  ඔක්කොම  එපා වෙනවා.  දවසකට  පැය  දහයක්  විතර  වැඩ.  එහෙන්  ළමයින්ගේ  දේවල්"

"ඔව්ව  ඔහොම තමා.  මාත් ඒ  කට්ට  තමා  කන්නේ"

මෙතැනදී  ලංකාවේ  ආච්චිලා  සීයලාගේ  කාර්යභාරය  කතාවෙන්  ඉවත්  කලාම  තමයි දිග  පළල  තේරෙන්නේ. මමවත්  මගේ  යාලුවවත්  එහෙම  කිව්වෙනම්  නැහැ.

හිටිගමන්  අම්මලා  දෙන්නා  බහින  තැනට  ආවා.  සීනුව ගහලා  දැන්  ආපහු  බඩු  ටික  බාගන්න  සැලසුම.

"කෝ  දෙන්න මට  කේක්  එක" අනිත්  අම්ම උදව්වට  කේක් එක  අතට  ගත්තා.  එයාගේ  බබා  අනිත්  අතේ.

මේ  වගේ  කතන්දර  සුඛාන්ත  වලින්  ඉවර  වෙන්නේ  නැහැ.  සමහර  ඛේදාන්ත  වලට පොඩි  පැටලවිලි  ප්‍රමාණවත්.  අර  උදව්වට  කේක්  එක ගත්ත  අම්මගේ  අතේ  වැදුණේ  අනිත්  අම්මගේ ම  අතේ  තිබ්බ  කොස්ස.  ඒ  වැදුන  පාර  අයිසින්  කේක්  එක  බිමට  වැටුනා.

"මොකද්ද  ඒ  කල  වැඩේ.  ළමයාගේ  උපන්දිනේට  ගත්ත  කේක් එක"  වැටිච්ච  කේක්  එක  අහුලන්නෙත්  නැතුවම  ඒ  අම්මා  අනිත්  අම්මට  කඩා  පැන්නා.

"මම  උඹට  උදව්වක්  කරන්න ගියේ"

ඒ  වුනාට  අනිත්  අම්මා  විනාඩි  පහක්  විතර  ආඩපාලි  කිව්වා.  කරන්න  දෙයක්  නැතුව  ඩ්‍රයිවර්  බලා උන්නා. හැබැයි  අන්තිමේ  බැණුම්  අහපු  ගෑණි  ගිල්ට් එකටත්  එක්ක  අහුලලා  බලද්දී  කේක්  එකේ  ලොකු  අවුලක්  නැහැල්ලු. ඊට  පස්සේ  ආයෙත්  පෙර  සුහදාතාවය  වර්ධනය  වෙන්න  ගියේ  සුළු  තප්පර  ගානක්.

ලොකු  බරක්  හෑල්ලු  කරගත්ත  පාරට  ඩ්‍රයිවර්  බොහොම  වේගයෙන්  ඇදෙන්න වුණා.  මිනිහටත්  නියමිත  වෙලාවක්  ඇතිනේ.

වෙච්ච  කලබල වලට ද කොහෙද  වමට  හරවන්න  ඕනේ හන්දියකින්  මිනිහා  දකුණට  හරෝගෙන. දැන් ඉතින් මේ  පටු  පාර දිගේ බස්  එක  රිවස්  කරනකම් ඉන්න වෙනවා.

සිංගල්  පේරන්ට්  කෙනෙක්  නොවුනට  මම  එනකනුත්  කෙනෙක්  බලා  ඉන්නවා. ඉක්මනට රිවස්  කරමු.

3 comments:

  1. නිතර ඇහෙන කතා... මම නම් ඒ වෙලාවට මට නොඇසේන නොපෙණෙන විදියටයි ඉන්නේ.

    ReplyDelete
  2. ලංකාවේ වුණත් ගැහැනු අය සිංගල් / ඩබල් කියල නෑ සෑහෙන බරක් අදින්නේ..
    ආච්චිලගෙ සීයලගෙ ඇඟේ දරුවන් ගහල [පුලුවන් කමට හෝ බැරිකමට] එන අයට වුණත් සති අන්තයක් විවේකයට ඉතිරි වෙන්නනෙ නෑ...
    ඒත් සන්තෝසෙට කාරණයක් තියනව මටනම්... මොකද ලංකාවේ මගේ හිතවතුන් අතර ඉන්න අලුතෙන් විවාපත් වුණු ගොඩාක් තරුණයෝ තමන්ගේ පාට්නර්ට සෑහෙන්න සහයෝගයක් දෙනව... පවුලේ වැඩ කටයුතු නිසා එක්කෙනෙක් විතරක් ලෝඩ් වෙන්න දෙන්නේ නෑ.... වැඩ බෙදාගැනිල්ලක් නෑ කොයි දේත් අවශ්‍ය අවශ්‍ය විදීහට කරගන්නව... කුලමල, දෑවැදි කතා ඉන්දියාවට වඩා ලංකාවේ තුරන් වෙලා යන්නෙත් මේ ලංකාවේ මිනිස්සුන්ගෙ කාලයට අනුව වෙනස්වීමේ හැකියාවද කියලත් හිතෙනව...
    අනේ අප්පේ ඉතින් මට නම් මෙව්වා අහන හැම තිස්සෙම හිතෙන්නේ පෝරුමස්තකප්‍රාප්ත වෙලා හතර වරිගේ ඉස්සරහ තැලි පිලි අන්දෝලා, කිරිබත් කවලා, කිරිපොවලා, නැන්දම්මට කිරිකඩ හේලයක් එහෙම දීලා කැන්දන් යන්නේ දුකේදීත් සැපේදීත් එක ලෙස බලාගන්නව කියල පොරොන්දුවෙන්නේ...
    එහෙව් කෙනා දරුවෙක් එක්ක ගැහැණු කෙනෙක් අසරණ කරන්නේ මොන හිතකින්ද :-(

    ReplyDelete
  3. හ්ම්ම්.. ලෝකෙ කොතනත් අම්ම කෙනෙක් තනියම හැමදේම කරගහද්දි, එන ප්‍රශ්න එක සමානයි.

    ReplyDelete