Saturday, June 18, 2016

ම්ලේච්ඡයෝ

[ජුනි 25 දිනමිණේ පළ වූ විශේෂාංගයක්]  

ඩෙන්වර් නිවසේ සාමයට බාධා කෙරුණු නොහොබිනා ප්‍රශ්නය අසනු ලැබුවේ රාත්‍රී ආහාර මේසයේදී එකොලොස් හැවිරිදි මැක්ස් ඩෙන්වර් විසිනි.

ඊට තරමක වෙලාවකට පෙර ඩෙන්වර් මහතා දවසේ රාජකාරි නිමවා කන්තෝරු කාමරයෙන් නික්ම සිය පවුල සමග රාත්‍රී ආහාරයට එකතු විය. ශිෂ්ටාචාරය පුරා විසිරි ජාලගත දැනුම් පද්ධතියක් පැවතී නිසා තවදුරටත් සේවයට වාර්තා කිරීමට කාර්යාල නොවීය. ඒ වෙනුවට ශිෂ්ටාචාරයේ ඕනෑම තැනක් සමග සම්බන්ධ වී එම ස්ථානයේ සිටින ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තාක්ෂනය සහිත කන්තෝරු කාමර සෑම නිවෙසකම පැවතුනි.

ඩෙන්වර් නිවස ශිෂ්ටාචාර යුග පස්වැන්නේ එකකි. එය පැවතියේ සැහෙන පිටත කක්ෂයකය. පහළ කක්ෂ සියල්ල ජනාකීර්ණ වීම නිසා දැන් ඒ ප්‍රදේශවල නිවාසයක් ලබා ගැනීම අපහසුය. ග්‍රහ ලෝකයට අවම හිරු එලිය ලබා දීමේ සීමා නිසා සමහර කක්ෂ වල තවත් ජනපද බිහි නොකරන්නට තීන්දු කර තිබුණි. කොහොමත් නිස්කලන්කෙ ඉන්න කැමති ඩෙන්වර් පවුල මෙතනට මනාපය. සංචරණය තව දුරටත් කාලය හෝ මහන්සිය වැයවන ක්‍රියාවක් නොවන බැවින් නිවස පිහිටි ස්ථානය එතරම්ම ගැටලුවක් නොවේ.

මිනිසා සිය තිඹිරිගෙය හැර එය වටා කක්ෂ ගතවීමට තීරණය කළේ, භුමියේ පාරිසරික අර්බුද තව දුරටත් තම පාලනයට නතු නොවන බව ඒත්තු යාම නිසාය. එසේම තම බලපෑම් නිසා ග්‍රහලෝකයේ සෙසු ජෛව පද්ධති විනාශ වී යාමේ අර්බුදය ගැන තමා තුලම උපන් වරදකාරී චින්තනය ඒ ගමනට දිරි දුන්නේය. තාක්ෂණයේ දියුණුවත් සමගම ගුරුත්වාකර්ෂණය කෘතිමව නිෂ්පාදනය කිරීම, සංචරණය ගුරුත්වයෙන් නිදහස් වීම සහ ත්‍රිමාන මුද්‍රණ ශිල්පය විසින් අභ්‍යවකාශය ජයගැනීම නිසා, ජීවයට වාසභවන නොවන වෙනත් ග්‍රහලෝකවලින් හාරාගත් ලෝහ භාවිතයෙන් කක්ෂගත ජනපද විශාල ප්‍රමාණයක් ග්‍රහලෝකය වටා ත්‍රිමාන ලෙස මුද්‍රණය කිරීමට මිනිසා සමත්විය. නව ජනපදවල ජීවන තත්වය ඉහල යත්ම මිනිසා තමන්ට පාලනය කල නොහෙන තිඹිරිගෙය අනෙකුත් ජීව ප්‍රජාවන්ට බාරදී තම අවශ්‍යතා උදෙසා ප්‍රමාණවත් සම්පත් රැගෙන නික්ම ගියේය.

මෙම ක්‍රියාවලිය තුල නිර්මාණය කරගත් සංකීර්ණ පද්ධතිය පාලනය කිරීම මිනිසාගේ හැකියා සීමාවට බොහෝසෙයින් එහා වූවකි. ඒ නිසා බොහෝ අභ්‍යවකාශ පද්ධති තුල සිදු වූ පරිද්දෙන්ම පරිපාලනය බුද්ධිමත් කෘතීම පද්ධතියකට බාරදෙන ලදී. කාලයත් සමග මේ පද්ධතියේ කාර්යභාරය පුළුල් වී වර්තමානයේ මිනිසාගේ පාලකයා ලෙස සිය කැමැත්තෙන් පවත්වාගෙන යන්නේ මෙම මධ්‍යම පාලක පද්ධතියයි. තවදුරටත් බල ලෝභය හෝ ධන ලෝභය ගැන සිතන ආත්මාර්ථකාමී පාලකයින් නොමැති වූ අතර, පද්ධතිය මානව සංවර්ධනය උදෙසා විවිධ ඉලක්ක තීරණය කරමින් මිනිසාගේ සහය සමග ඒවා සාර්ථක ගත්තේය. ශිෂ්ටාචාරය මෙසේ යුගයෙන් යුගයට කක්ෂ තුල වර්ධනය වද්දී අභයභූමියක් බවට පත්වූ ග්‍රහලෝකය වනගහනයෙන් වැසෙමින් මිනිසාගේ සංචාරක අවශ්‍යතා සපුරන ලදී

ග්‍රහලෝකයෙන් එන කෝණික අඳුරු සෙවනැල්ල රාත්‍රිය සටහන් කළේය. ඩෙන්වර් මහත්මිය කෑම කාමරයේ ඇති ආහාර නිෂ්පාදන යන්ත්‍රයට අලුත්ම වට්ටෝරුවක් ඇතුළු කරමින් උන්නාය.

"නතාලියා ඔයා කන්න එන්නේ නැද්ද?"

"ඔයාලා පටන් ගන්න බිල් . මම මේ වට්ටෝරුව ඇතුළු කරලා එන්නම් .... තව එතකොට කොත්තමල්ලි කොළ ... මොනවාද බිල් මේ කොත්තමල්ලි කොළ කියන්නේ? කොහෙන්ද ඒවා එන්නේ"

"වට්ටෝරුව ඔහොම දැම්මට නතාලි ඕවයේ සන්ඝටකනේ එන්නේ. මැෂිම ඔව්ව ඔක්කොම ගන්නේ ප්‍රතිචක්‍රීකරණ පද්ධතියෙන්. ඒ කිව්වේ අපේම අපරි ද්‍රව්‍ය වලින්. ජනගහනය නොවෙනස් නිසා මිනිස් අවශ්‍යතා වෙනුවෙන් වැයවන සම්පත් ප්‍රමාණය නියතයි. අලුතෙන් යමක් ගන්න ඕනේ නැහැ. අවශ්‍යමනම් අවට ග්‍රහලෝක වලින් ගෙනෙන මූල ද්‍රව්‍ය වලින් ඒ රසායනික සංඝටක පර්යේෂනාගාර වල හදන්න පුළුවන්"

"එතිකල් මයිනින් කියන්නේ ඒකද තාත්තා"

"ඔව් ජීවය නොපවතින ස්ථාන වලින් සම්පත් නිස්සරණය කර ගැනීම තමයි එතිකල් මයිනින් කියන්නේ"

"තාත්තා මෙයා කන එකනම් මැෂිමට පාඩම් ඇති. හැමදාම ඉල්ලන්නේ එකම දේ" ඉල්ලන ඕනෑම වට්ටෝරුවක ආහාර ඒවායේ සංඝටක වල ත්‍රිමාන මුද්‍රණයක් ලෙස නිමැවීමට යන්ත්‍රයට හැකි නමුත් මැක්ස් ඩෙන්වර් හැමදාමත් කෑවේ එකම දේ ය. ඔහු තරමක් වෙනස් දරුවෙකි. වෙනත් දරුවන් නොදන්නා අසාමාන්‍ය කාරණා කෙරෙහි අනවශ්‍ය අවධානයක් දීම ඔහුගේ ස්වභාවයයි.

"අද කොහොමද දවස පුතා. කොහොමද අනිත් යාළුවන්"

සෑම පවුලකම ඇත්තේ දරු දෙදෙනෙකි. ඒ අනුව ජනගහනය පවත්වා ගන්නේ ආසන්න නියතයකය. ස්ථාවර ශිෂ්ටාචාරයක මූලික ලක්ෂණයක් ලෙස සංඛ්‍යාත්මකව ස්ථාවර ජනගහනය සැලකුණි.

වට්ටෝරුව ඇතුළු කල ඩෙන්වර් මහත්මියත් පවුලේ අයට එකතු වූවාය. අල්ලාප සල්ලාපයෙන් විසුළු කතාවෙන් සහ ප්‍රීතියෙන් රාත්‍රී ආහාරය නිමාවන්නට විය. ශිෂ්ටාචාරයේ පාලක පද්ධති විසින් ඉලක්ක ගත කල පරිද්දෙන්ම මේ යුගය "සන්තුෂ්ටියේ යුගයයි". එය එසේම සිදු විය.

එහෙත් ඒ මොහොතේ නොඇසිය යුතු වූත් නොදැන සිටිය යුතු වූත් නොහොබිනා පැනය මැක්ස් ඩෙන්වර් ගේ මුවින් ගිලිහුණි.

සුළු වෙලාවකට කිසිවෙකුත් කිසිත් නොකීහ. තත්වයේ බරපතලකම තේරෙන්නට ඩෙන්වර් මහත්මියටත් තරමක වෙලාවක් ගතවිය. ඩෙන්වර් මහතා එක්වනම අසුනින් නැගිට ඉක්මන් අඩි තබමින් නිදන කාමරය දිහාට ගමන් කළේය. ඩෙන්වර් මහත්මිය ඉවෙන් මෙන් ඔහු පසුපස ගමන් කළාය.

"නතාලියා එයා ඒ කතාව දන්නේ කොහොමද? ඒ විස්තර වාරණයට ලක් කරලා තියෙන්නේ. ඒවා මනස නොමේරු කුඩා දරුවෙකුට තියා වැඩිහිටියෙකුටත් දෙන්නේ කාරනා දරාගන්න හැකිදැයි පරීක්ෂණයක් කරලා"

"බිල් මමත් එක හරියට දන්නේ නැති කතාවක්. කොහෙන් මෙයා හොයා ගන්නවද මන්දා"

"එක්කෝ මට මධ්‍යම පද්ධතිය දැනුවත් කරන්න වෙනවා එහෙම වුනොත් මැක්ස් ව එයාලා ටික කාලෙකට ඇතුළට ගනියි. මනස ශෝධනය කරන්න"

"ඔයාට පිස්සුද? අපි මේක ගෙදර මට්ටමින් බේරා ගම්මු"

"එහෙම බැහැ. කොහෙන් හරි අතීත දත්ත ලීක් වෙනවා"

"ඒවා මකා දාලා නැද්ද?"

"නැහැ ග්‍රහලෝකේ උන්නු ම්ලේච්ඡ යුගය ගැන තවම අධ්‍යනය කරන නිසා ඒවා මකන්නේ නැහැ. සම්පත් අද වගේ පූර්ණ ලෙස ප්‍රතිචක්‍රීකරණය නොකළ, ජනගහනය වර්ධනය වෙච්ච, පරිසරය විනාශකළ ඒ මානසිකත්වයන් අද දැඩි ලෙස පර්යේෂණය කරනවා. කෑදර කමට ස්වාභාව ධර්මය වනසපු, මුදල් මූලික ඉලක්කය වූ ඒ කාලයේ සියලු දත්ත පර්යේෂණාගාර වල තවම තියෙනවා"

"මාත් ටිකක් අහලා තියෙනවා ඒ කාලේ ගැන. මිනිස්සුලු නේද ශිෂ්ටාචාරයේ පාලනය ගෙනිච්චේ. පවුලක ළමයි පෝලිමක් හැදුවලු ඒ කාලේ මිනිස්සු"

"ඔව් ඒ කාලේ මිනිස්සුමයි සිස්ටම් එක පාලනය කරලා තියෙන්නේ. ඉතින් හිතන්නකෝ පාලක මිනිහෙක් කියන්නේ වැරදීම්, දුරාචාර, අර්බුද කොපමණ ගණනක් ද?"

"ඒ කාලේ මිනිස්සු ග්‍රහලෝකයේ අනිකුත් ජීවිත වලට විශාල තර්ජනයක් වුණා. ඒ නිසයි ග්‍රහලෝකය හැර ගිහින් කක්ෂ වල නිර්මාණය කරපු ජනපදවල ජීවත් වෙන්න පටන් ගත්තේ. අපි අද ජීවත් වන්නේ සන්තුෂ්ටියේ යුගයේ. මේ ඔක්කොම සියවස් ගණනක මධ්‍යගත පාලක පද්ධතියක් නිසා කෙරුණු දෙයක්. අපිට ආපහු ඒ කුණු කන්දල් ගන්න බැහැ ජීවිත වලට"

"දැන් අපි මොකද්ද කරන්නේ බිල්. මැක්ස් ව සෙන්ටර් එකට යවන්න වෙයිද?"

"මම හිතන්නේ. මොකද එයා එහෙම අහනවා කියන්නේ කොහෙන් හෝ ඒවා දැනගෙන. ඇහුව වගේ එයාට එහෙම කරන්නත් හිතුනොත්. ඔයාගේ දරුවා ම්ලේච්ඡයෙක් වෙනවා දකින්න ඔයා කැමතිද නතාලියා?"

"කොහොමද දෙයියනේ මෙහෙම වෙද්දී අපි මේකට සන්තුෂ්ටිය කියන්නේ?" නතාලියා දෑතෙහි මුහුණ හොවා ගත්තාය.


"ඇයි  බිල්  ඒ  කතාව  මේ  තරම්  හංගන්නේ?  ඇයි  මේක  අපිට  මැක්ස්  එක්ක  කතා  කරලා  බේරා  ගන්න  බැරි?"

"අවු  20  පහල  වයසේ  කෙනෙකුගේ  අවබෝධය  තුල  ඔය  වගේ  දෙයක්  පැලපදියම්  වුනොත්  එය  ධාවනය  වන්නේ කුතුහලය  නිසා. ඒ  වයසේදී  ඕනෑම  දෙයක්  කරලා  බලන්න  හිතෙනවා.  ඒ  නිසා තමයි  ඒ  වගේ  ම්ලේච්ඡ  හැසිරීම්  පොදු  සමාජයට  විශේෂයෙන්ම  දරුවන්ට  දැනගන්න  දෙන්නේ  නැත්තේ.  වර්තමානයේ  අපිට  එහෙම  දේවල් කරන්න වුවමනාවක්  එන්නේ නැහැ. අපේ  මනස  නිසි  හික්මීමකට  ලක්  කරලා  තියෙන්නේ  අධ්‍යාපනය  හරහා.  අපි  වයස  විස්සේදී  අපේ  මානසික  හැකියාවන්  ගැන  කරන  පරීක්ෂණ  වලදී  අපේ  මනසට  මේ වගේ  දෙයක්  දරන්න  හැකිද  කියා  පද්ධතිය  පරික්ෂා  කරනවා.  ඒ  ටෙස්ට්  එක  පාස්  වෙච්ච  කෙනෙකුට පමණයි  මේ  වගේ  දෙයක්  දැනගන්න  ලැබෙන්නේ.  ස්වයං  විනය  තුලින්  මිසක්  මේවා නීති  දාලා  පාලනය  කරන්න  බැහැ"
   

"ඒ  කියන්නේ  මැක්ස්  ගේ  මනසින්  මේ  අදහස  ඉවත්  කරන්නම  වෙනවා"

"ඔව්, මැක්ස් විතරක් නෙවි. අපිට නටාෂා ත් යවන්න වෙයි. ඒ වගේම එයාලගේ යාළුවන්. කුඩා කාලයේ මේ වගේ ම්ලේච්ඡ දේවල් ගැන දැන ගැනීමෙන් මනසේ ඊට ආශාවක් ඇතිවෙන්න පුළුවන්. මේ කාරණා දැනගන්න කලින් පුද්ගලයා පූර්ණ ලෙස හික්මවන්න ඕනේ"


ඈතින් ඇසෙන මවගේ ඉකිබිඳුම දරුවන් මීට පෙර අසා ඇති දෙයක් නොවේ. මොකක් හෝ නොවිය යුතු යමක් සිදු වූ බව තේරී නටාෂා වික්ෂිප්තව තම සොයුරා දෙස බලයි. මැක්ස් ගේ මුහුණ පිරී ඇත්තේ ඇය දකින්නට අකමැති දඟකාර ළමයාගේ හැඩ රුවිනි.

"මැක්ස්, මොකද්ද ඒ අහපු කතාව?"

"මම වැරදි දෙයක් ඇහුවද? මම ඇහුවේ ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් ජීවත් වුනේ සත්තුන්ගේ මස් සහ ගහකොලවල කොටස් කාලා නේද කියලා. හැමදාම ආහාර නිෂ්පාදන යන්ත්‍ර තිබුණා වෙන්න බැහැනේ. යන්ත්‍රය හදන්න කළින් හිටි ම්ලේච්ඡයොත් මොනවා හරි කන්න ඕනේ නේද?"

22 comments:

  1. මේකෙ ජනගහනය ස්ථාවර කරගෙන සතුටු දායක ජීවිතයක් ගත කරන්න මානව වර්ගයා හදාගත්ත සිස්ටම් එක නිර්මාණශීලියි - එතකොට අර ආහාර නිෂ්පාදනය කරන විදිහත් - අර දරුවාට කරන්න යන දෙය ගැන නම් තරමක හුරු ගතියක් තියනවා - විදුසර පාඨකයන් විදිහට එහි ගිය විද්‍යා ප්‍රබන්ධ අපේ මනස්වල තැන්පත් වෙලා තියන නිසා වෙන්න ඇති (1996 - 2000 period maybe)

    ReplyDelete
    Replies
    1. [[එතකොට අර ආහාර නිෂ්පාදනය කරන විදිහත් - අර දරුවාට කරන්න යන දෙය ගැන නම් තරමක හුරු ගතියක් තියනවා]]

      මගේ අවංක මතය කිව්වොත් මම කියවූ ප්‍රබන්ධ වල කොටස් මම ලියන ප්‍රබන්ධ ඇතුලට එන එක නවත්තන්න බැහැ. මම ෆිල්ම් නොබලන නිසා ඒ පැත්තෙන් මට දේවල් එන්නේ නැහැ. එහෙත් ක්ලාක් ඇසිමෝව් වගේ කීපයක් මගේ ඔලුවෙන් ගලවගන්න බැහැ.

      ආහාර නිෂ්පාදන යන්ත්‍රය ඔහොමම තියෙනවා ක්ලාක් ගේ The Road to the Sea හෙවත් Seeker of the Sphinx ප්‍රබන්ධයේ. එහි ඔහු උත්සහ කරන්නෙත් මම කරන මාතෘකාව ඇඩ්රස් කරන්න එනම්, ශිෂ්ටාචාරය දීර්ඝ කාලීනව ස්ථාවර කරගන්න හැටි කතාවට ගන්න. එකම ප්‍රබන්ධයක මිනිස් වර්ගයා දෙකට බෙදිලා අ ක්‍රම දෙකක් ට්‍රයි කරනවා. ඒ ක්‍රම දෙකම මගේ කතාවට සමාන නැහැ එහෙත් ආහාර පමණක් නොව සියලු දේ නිෂ්පාදනය කරන යන්ත්‍රය ඒ කතාවෙත් තියෙනවා. ත්‍රිමාන මුද්‍රණයක් තමා. මට ඒ කොටස නැතුව මේ කතාව් ලියන්න බැහැ වගේම මගේ පරිකල්පනය ඒකෙන් ගලවෙන්නෙත් නැහැ.

      ළමයාගේ මොලේ සුද්ද කිරීමනම් ඉතින් දැනුත් කරන දෙයක්නේද? අපිට හොඳ මනෝ විද්‍යා ශක්‍යතාවයක් තියේනම් ත්‍රස්තවාදීන් හොරුන් වගේ උන්ට දඬුවම් නොදී ඔහොම ගොඩ දාගන්න ඉඩ තියෙනවා. ඒකනම් ලියවිලා ඇති ඕනේ තරම්.

      කක්ෂගත ජනපද ක්ලාක්ගේ 3001 ප්‍රබන්ධයේ තියෙන මූලිකම දෙයක්. කක්ෂගත ජනපද මහා පොලොවට වඩා විශාලයි හැදුවොත් මිනිස්සු ආයිත් පොලොවට බහින්නේ නැහැ කියලා මට ඒත්තු ගියේ එතනින්.

      කතාව, ප්‍රශ්නය සහ මගේ විසඳුම පමණක් මා දන්නා තරමින් යුනික්. මට ඇඩ්රස් කරන්න ඕනේ කලේ වර්තමානයේ ශිෂ්ටාචාරය කියන එක නොවේ සත්‍ය ශිෂ්ටාචාරයක්, ඒ වගේම මේ යන එක තාවකාලිකයි කියන මතය. ස්ථාවර වෙන්නනම් මේ කරුණු ටිකවත් තෘප්ත වෙන්න ඕනේ.

      1. ජනගහනය ස්ථිර අගයක් වීම [ආසන්න ලෙස - පොඩ්ඩක් එහෙමෙහෙ වුනාට කමක් නැහැ හැබැයි දිගටම එක පැත්තකට නොයා]
      2. මූලික සම්පත් පරිභෝජනය වත් අඩුම තරමින් ප්‍රතිචක්‍රීකරණය වීම.
      3. සෙසු සම්පත් අවශ්‍යතා ග්‍රහලෝකයට පිටින් සපයා ගැනීම.

      Delete
  2. කාලෙකට පස්සේ කියවන්න ලැබුණු හොඳ සයන්ස් ෆික්ෂන් එකක්.

    බොහොම සන්තෝසයි.
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඉතිරි කතා ටිකත් කියවන්න. පහුගිය මාස කීපයේ ලිව්වේ විද්යාප්‍රබන්ධ ගොඩක්

      Delete
  3. //හිතන්නකෝ පාලක මිනිහෙක් කියන්නේ වැරදීම්, දුරාචාර, අර්බුද කොපමණ ගණනක් ද?"// තව වෙන මොනවද?

    සුපිරි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය අදහස මේ ෆික්ෂන් එකෙන් එලියට යන එකක් [මීට කළින් ලිව්වා එකෙත් මම ඒ ගැන සඳහනක් කළා]. රාජ්‍ය පාලනය, කළමනාකරණය, ආර්ථික සංවර්ධනය ගිණුම්කරණය ආදියේ වැඩි හරියක් ඔටෝමේට් කරන්න අපිට අද තියෙන තාක්ෂණයෙන් පුළුවන්. ආණ්ඩුව මාරු වෙලා අ පොලිසි වෙනස් කරද්දී සිස්ටම් එක රි කන්ෆිගර් කරන්නයි තියෙන්නේ. මිනිස් සම්බන්ධය අවශ්‍ය අලුතෙන් හිතන අනාගතය නිර්මාණය කරන දේවල් වලට පමණයි.

      අනිත් එව්වා ඔටෝ දුවන එක හොඳයි.

      Delete
  4. Lassanyi. Mamath vidyaprabanda kiyavanda, patta manapayi.

    ReplyDelete
    Replies
    1. කලින් ලිව්ව ටිකත් කියවන්න

      Delete
  5. මේ කක්ෂගත ජනපද සහ ඒවා එසේ පවතින්නේ කොහොමද යන ආකාරය නිර්මාණශීලීයි, මම ඔය කක්ෂගත ජනපද ගැන මීට කලින් විද්‍යා ප්‍රබන්ධයක කියවපු බවක් මතක නැහැ.

    //එසේම තම බලපෑම් නිසා ග්‍රහලෝකයේ සෙසු ජෛව පද්ධති විනාශ වී යාමේ අර්බුදය ගැන තමා තුලම උපන් වරදකාරී චින්තනය ඒ ගමනට දිරි දුන්නේය//

    මේක පොඩ්ඩක් ප්‍රශ්න කරන්න පුළුවන් ප්‍රකාශයක්. පරිභෝජනය සහ සම්පත් සීමිත බව වගේ දෙයක් තමයි මෙතන වඩාත් ප්‍රායෝගික වෙන්නේ. මිනිස්සුන්ටම තමන්ගේ ක්‍රියාකාරකම් ගැන වරදකාරී හැඟීමක් ඇතිවුණා කිව්වහම නිකං මොකද්දෝ නොගැලපෙන ගතියක් තියනවා :)

    //ශිෂ්ටාචාරය මෙසේ යුගයෙන් යුගයට කක්ෂ තුල වර්ධනය වද්දී අභයභූමියක් බවට පත්වූ ග්‍රහලෝකය වනගහනයෙන් වැසෙමින් මිනිසාගේ සංචාරක අවශ්‍යතා සපුරන ලදී //

    මේ වගේ දෙයක් පවතිනකොට මැක්ස් ගේ ප්‍රශ්නය ඔච්චර 'අවුල්' එකක් වෙන්නේ කොහොමද? රසායනික නාමයකින් නැතුව 'කොත්තමල්ලි කොල' කියලා හඳුන්වන දෙයක් තියනකොට ආහාර වල මූලය කොහෙද කියන එක ගැන ඇඟවීමක් තියනවා නේද? අනික ඒ 'ම්ලේච්ඡ යුගය' රහසිගතව තියාගන්න ඕනේ කියන්න තරම් හේතු කතාවේ හම්බවෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. [[මේ කක්ෂගත ජනපද සහ ඒවා එසේ පවතින්නේ කොහොමද යන ආකාරය නිර්මාණශීලීයි, මම ඔය කක්ෂගත ජනපද ගැන මීට කලින් විද්‍යා ප්‍රබන්ධයක කියවපු බවක් මතක නැහැ]]

      කක්ෂගත ජනපද මම කොහෙවත් කියවා නැහැ, හැබැයි පොලොවට සම්බන්ධ කිමි 38000 උස ටවර් උඩ [ජියෝ ස්ටේෂනරි ඕබිට් එකේ] නිර්මිත වළල්ලක් ගැන ඔඩිසි 3001 කියනවා. මට ඒවා මෙතරම්ම විශාලයි පොලොවට වඩා උසස් ජීවන තත්වයක් දෙන්න පුළුවන් කියා තේරුම් ගියේ ඒ විස්තරේ එක්ක. 3001 මස් කන එක ගැන එම වගේම අප්‍රසාදයක් පෙන්නා තිබුන කියලා තව කෙනෙක් කොමෙන්ට් එකක කියල තිබ්බ. මට ඒ සීන් එක ලාවට මතකයි.

      [[මේක පොඩ්ඩක් ප්‍රශ්න කරන්න පුළුවන් ප්‍රකාශයක්. පරිභෝජනය සහ සම්පත් සීමිත බව වගේ දෙයක් තමයි මෙතන වඩාත් ප්‍රායෝගික වෙන්නේ. මිනිස්සුන්ටම තමන්ගේ ක්‍රියාකාරකම් ගැන වරදකාරී හැඟීමක් ඇතිවුණා කිව්වහම නිකං මොකද්දෝ නොගැලපෙන ගතියක් තියනවා :)]]

      පැය විසි හතරේම ඇහෙන්නේ "ජීවය වනසන මිනිසා" ගැන අවලාද. මේ මොහොතේත් මිනිස්සු පසු තැවෙනවා, මහා පොළොවේ වේගවත්ම ජෛව විනාශය කරගෙන යන අය හැටියට. තව කාලය යද්දී මිනිස්සු තවත් ඔයගැන ඉගෙන ගන්නවා. පසුතැවීම අනිවාර්යයි.

      [[මේ වගේ දෙයක් පවතිනකොට මැක්ස් ගේ ප්‍රශ්නය ඔච්චර 'අවුල්' එකක් වෙන්නේ කොහොමද? රසායනික නාමයකින් නැතුව 'කොත්තමල්ලි කොල' කියලා හඳුන්වන දෙයක් තියනකොට ආහාර වල මූලය කොහෙද කියන එක ගැන ඇඟවීමක් තියනවා නේද? අනික ඒ 'ම්ලේච්ඡ යුගය' රහසිගතව තියාගන්න ඕනේ කියන්න තරම් හේතු කතාවේ හම්බවෙන්නේ නෑ.]]

      මේක වෙනත් තැනකත් මතුකළ සාධාරණ ප්‍රශ්නයක්. ෆික්ෂන් එකේ දුබලතාවයක් කිව්වත් වරදක් නැහැ. හැබැයි ප්‍රධාන කතාව තියෙන්නේ ඒ මත.

      මගේ පොයින්ට් එකනම් ඔවුන් සංඝටක වලින් හදලා කන්නෙත් අර සාමාන්‍ය කෑමමයි. උදාහරනෙකට ඔවුන් කෘතීම චිකන් එකක් කන්න පුළුවන්. එව්වට කියන නම් ඔක්කොම වාරණය කරන්න බැහැනේ. ඉතින් එව්වට චිකන් කියනවා වුනාට ළමයි දන්නේ නැහැ ඒ ඇත්තෙන්ම චිකන් කියන සතාගේ මස් වලින් හැදුනු එකේ අනුරුවක් කියලා. ඔය සෝයි ජාති තියෙන්නේ මාළු රස බීෆ් රස වගේ.

      එහෙත් කෙනෙක් ඇත්තෙන්ම දැනගත්තොත් සත්තුන්ගේ මස් වලින් හෝ ගස් වලිනුත් ඒ දේම කලහැකියි කියලා එය අ නිසි හික්මීමකට ලක්වී නැතිනම් එය අ පොලොවට ගිහින් ඒ දේ කරන එක නවතන්න බැහැ.

      Delete
  6. I asked the same question from another view lately...

    ReplyDelete
    Replies
    1. http://drackey.blogspot.com/2016/05/blog-post_16.html
      මං ඊයෙමයි මේ පැත්තෙ ආවෙ. ෆේස්බුක් එකේ දැක්කට, බිලොග් එකක් ලියනව කියල දැනං උන්නෙ නෑ. රහ වැටුණ පාර ෆෝන් එකේ බැටරි බහිනකං ආපස්සට කියෝගෙන කියෝගෙන ගියා. හිතට අල්ලපු හොඳම එක තමා අයින්ස්ටයින් වන්දනාව. බුදුන් ගැනත් අපි ඕකම වෙන්නැති කරන්නෙ කියල හිතුණ.

      Delete
    2. [[හිතට අල්ලපු හොඳම එක තමා අයින්ස්ටයින් වන්දනාව. බුදුන් ගැනත් අපි ඕකම වෙන්නැති කරන්නෙ කියල හිතුණ.]]

      මං ඒ ප්‍රබන්ධයේ අදහස පටන් ගත්තේ එතනින්. බුදුන් එක්ක මෙහෙම පිස්සු නටන ලෝකයක් දවසක අයින්ස්ටයින් එක්කත් මේ පිස්සුවම නටයි නේද? කියන තැනින්

      Delete
  7. මම නම් මචං විද්‍යාප්‍රභන්ද කියවද්දි ගොඩක් වචන මඟ හැරෙනව....නෑ නෑ...ඊට වැඩිය හොඳයි මඟ හරිනව කීවනන්...මොකද මට ඕව කියවද්දි පට්ට නිදිමතක් එනව...මේකනන් පොඩි රහක් දැනුන....ලියමු දිගටම...කියවන්ඩ එන්නම්..

    ReplyDelete
    Replies
    1. කළින් ලියපු ටිකත් කියවන්න කම්මැලි නොහිතුනොත් .

      Delete
  8. ම්ලේච්ඡයෝ තමයි ඉතින් බලාගන යනකොට.භෞතිකත්වය ඇතුලෙ ඉන්නකන් ශිෂ්ඨාචාර කියන වචනෙට හරි තේරුමක් දෙන්න පුළුවන් වෙයිද මන්දා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේක තම අ මූලිකම පොයින්ට් එක මට කියන්න ඕනේ කරපු.

      1. අපි ශිෂ්ටාචාරයක් නෙවි

      2. මේක ස්ථාවර නැහැ

      Delete
  9. ඔබට තියෙන්නේ කොමියුනිස්ට් හැදියාව

    ReplyDelete
    Replies
    1. හෆොයි.

      ප්‍රබන්ධයකින් අපි ගැන කියවන්න එපා. ප්‍රබන්ධකාරයා කියන්නේ බොරු කාරයෙක්. අපේ බොරුව ගොතන්න ඕනේ වුනාම අපි පසුතලය හදනවා. දැන් මේ කතාවේ කියන යුතෝපියාව [සමහරු මෙය ඩිස්ටෝපියාවක් ලෙසත් ගන්නවා] මම කැමතිම විදිහද? කොහෙත්ම නැහැ. හැබැයි මේ තමා මගේ ප්‍රබන්ධයේ අදහස නිර්මාණය කරන්න සුදුසුම පසුබිම. මම ඒ පසුබිම හදද්දී ඒකාධිපති වෙනවා නැත්නම් කොහොමද මා ප්‍රබන්ධය ලියන්නේ.

      ආතර් සී ක්ලාක් අනාවකිකාරයෙක් නොවන්නේ ඒකයි. මිනිහා ප්‍රබන්ධ වලට අවශ්‍ය පසුතල හැදුවම මිනිස්සු ඔහු "අනාවැකි කියන්නෙක්" ලෙස ගත්ත. ක්ලාක් වරක් කියනවා මගේ කතාවලින් 50% ඇත්ත ඉතිරි 50% බොරු, වැඩේ තියෙන්නේ කොයි කොටසද බොරු කියල මටත් ෂුවර් නැහැ කියල. ක්ලාක් තම උවමනාවට බ්‍රහස්පතිගේ චන්ද්‍රයින් එහෙ මෙහෙ කළා. ශ්‍රී ලංකා දූපත සමකය උඩට ගෙන ගියා. :)

      කෙසේ වෙතත් ඔබ මට දුන්නේ ක්‍රෙඩිට් එකක්. ස්තුතියි.

      Delete
    2. මට අරුණි නෝනාගේ මනෝකාය ආවේස වෙලාද මන්දා එයාගේ වචන ලියවෙනවා:) මාතලන් බ්ලොග් අඩවියේ දෙමල අවුරුද්ද කියලා ලිපියක් ගියා ඒකට කොමෙන්ට් එකක් දානකොට ඒකීය කතාව ලියවුනා. එදා ඉඳන් තමයි ඔය ලෙඩේ හැදුනේ:)

      මෙහෙම දෙයක් තියෙනවා ආතර් සී ක්ලාර්ක් සිංහල ජාතිය සහ මුස්ලිම් ජාතිය වඳ කරපු කෙනෙක්. එයා ගේ කතාවල පෙන්වන ලංකාවේ සිංහලයෝ සහ මුස්ලිම්වරු නෑ. ඉන්න තරමක් ඉන්නේ දෙමළ, ලංසි සහ සුද්දෝ
      ඒක ලංකාවේ දෙමළ ප්‍රශ්ණයේ මුල තේරුම් ගන්න ආධාරයක්.

      Delete
    3. ලංකාවට ආවට ක්ලාක් සෙට් වෙන්නේ කොලොම්බියන් ලෝකෙට. 1950 1960 දශක වල. ඒ කාලවල එහි සක්‍රියව උන්නේ බර්ගර් වරුන්ට අමතරව සිංහල සහ දෙමල නමුත් තනිකරම ඉංග්‍රීසි පන්නෙට හැදුනු කළු සුද්දෝ. ඉතින් ක්ලාක් ඇන්කර් එක දාගන්න ඇත්තෙත් ඒ සමාජයට. ක්ලාක්ගේ ලංකාව පාදකව ලියු Fountains of Paradise පොතේ සිංහල සංස්කෘතිය තරමක් වර්නනීයව ඉදිරිපත් කරනවා. ඔහු සීගිරිය හරහා ඒ ශිෂ්ටාචාරය ගැන ලෝකයට ඉදිරපත් කරනවා. එහි එක ප්‍රධාන චරිතයක් රාජසිංහ කියා සිංහල කෙනෙක්. ඒකෙ ඉන්නවා අ සයන්ටිස්ට් කෙනෙක් මහන වෙලා. ප්‍රබන්ධයේ චරිත ඒ හාමුදුරුවන් එක්ක පැටලෙනවා සිරිපාදේ විද්‍යාත්මක පර්යේෂණයකට අරගන්න හැබැයි බොහොම ගෞරවනීයව බුද්ධිමතෙක් ලෙස සලකන්නේ.

      හැබැයි ක්ලාක් ඉන්න ඇත්තේ පෙර කී ලෙස කළුසුද්දන් එක්ක තමා. ඒ වෙද්දී ගම සම්පුර්ණයෙන් වසා අහක දාපු එකක්.

      තව තියේද ක්ලාක් ගේ ලාංකීය රාමුවේ ප්‍රබන්ධ?

      Delete