Wednesday, November 2, 2016

හොරු


"ආචාර්ය වැලරි මොලින්ස්කි, 'අසත්‍ය පරීක්ෂණය' නිසා මනසට හානියක් වන බවට මෙතෙක් ඔප්පු වූ සාධක නැහැ. එහෙත් ඔබට අවශ්‍ය නම් ඔබේ මනස අභ්‍යන්තරයේ දත්ත උකහා ගන්නා මේ පරික්ෂණයට පෙනී නොසිටින්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ තුලින් ඔබේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට ඇති අවකාශයක් අහිමි වන බව කිව යුතුයි"

'අසත්‍ය පරීක්ෂක' සුපුරුදු පරිදි නීතිමය පසුබිම පැහැදිලි කරන හෑල්ල කියවාගෙන ගියේය.

"නැහැ නැහැ මට මේ ටෙස්ට් එක කරන්නම ඕනේ. මොකද මම දන්නවා මම අවංකයි කියා, මට එය ඔප්පු කරන්න මේ හොඳම විදිහ" වැලරි මොලින්ස්කි දැඩි විශ්වාසයෙන් පැවසීය.

"හොඳයි, එසේනම් ඔබ දැනගත යුතුයි මේ පරීක්ෂණය තුලින් ඔබේ මනස කියවන්න බැහැ. එහෙත් ඔබ සත්‍ය වසන් කරනවානම් එය පද්ධතියට හසුවනවා ඒකාන්තයි. ඔබ මෙය අසමත් වුවහොත් එය ඔබට විශාල ලෙස හානිකර වනු ඇති. මොකද මේ පරීක්ෂණය වැරදුනු කිසිම අවස්තාවක් තවම වාර්තා වී නැහැ."

"ගැටලුවක් වෙන්නේ මම හොරෙක්නම් සහෝදරයා. මම මේ හොරකමට සම්බන්ධ නැහැ. මේ ටෙස්ට් එක කරන්න වෙන්නේ මම දරණ තනතුර නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙවි. රූටින් ටෙස්ට් එකක්".

වැලරි මොලින්ස්කි ට අසත්‍ය පරීක්ෂණයක් කිරීමට සිදු වූ සිද්ධි දාමය පටන් ගත්තේ දිනකට පෙර ය. ලෝක ආර්ථිකය පාලනය කරන මූල්‍ය මූලස්ථානය වන ජාත්‍යන්තර මූල්‍ය බැංකුවේ ආරක්‍ෂිත මූල්‍ය ඒකක විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී තිබුණි. මේ හොරකම ලෝක අවධානය දිනා ගත්තේ අතුරුදහන් වූ මුදලේ ප්‍රමාණය නිසාම පමණක් නොවේ. ඒ සියවසකට ආසන්න කාලයකදී ලෝකයේ වාර්තා වූ පළමු මූල්‍ය හොරකම නිසාවෙනි.

කඩදාසි මුදල් බැංකු ගිණුම් බිට් කොයින් වැනි ප්‍රාථමික මූල්‍ය අවස්ථා සපුරා ඉවත් කර ආරක්‍ෂිත මූල්‍ය ඒකක භාවිතයට පැමිණීම සමග ලෝකයේ මූල්‍ය වංචා තව දුරටත් කල නොහැකි තත්වයට පත්විය. මුදලේ භෞතිකමය ඒකක භාවිතයෙන් ඉවත් වත්ම මුදල් හුදෙක් පරිගණක වැඩසටහනක් ලෙස නිර්මාණය කර දැන් සියවස් එකහමාරකි. ඒ මුදල් ඒකක හුවමාරුවට අවශ්‍ය රහස් අංක සංකීර්ණ සංකේත දහස් ගණනකින් සමන්විතය. ඒ නිසාම ඒවා කිසිවෙකුටත් අනුමාන කල නොහැකි විය. මිනිසෙකුට මතක තබා ගත නොහැකි ඒ රහස් අංක මිනිසාගේ මොලයේ පූර්ණ ලෙස ආරක්‍ෂිත සහ සිතුවිලි ලෙස පිටතට නිරාවරණය නොවන ස්තාන වල ගබඩා කිරීමට හා උකහා ගන්නට මනසට සම්බන්ධ නැනෝ චිප් වලට හැකිවිය. තුවක්කුවක් හිසට තබා ඇසුවත් ඒ අංක මුවින් පිට නොවුයේ ඒවා මිනිසාට ග්‍රහණය නොවූ බැවිනි. කෙනෙකුගේ මුදල් සොරකම් කිරීමට නම් ඔහුගේ මොලය සහ නැනෝ චිපය යන දෙකම අවශ්‍ය විය.

ඉන්ටෙලිජන්ට් මනි හෙවත් සබුද්ධික මුදල් ලෙස දියුණු කරන ලද එම මුදල් ඒකක තමන් අවභාවිතා වන බව හඳුනා ගැනීමට අවශ්‍ය කෘතීම බුද්ධිය සහිත ආරක්ෂණ වැඩසටහනකින් සමන්විත විය. ගනුදෙනුවේ ස්වභාවය ගණුදෙණු කරුගේ ස්වභාවය ආදිය අතර අන්තර් සම්බන්ධතා අධ්‍යනය කර කිසියම් ගනුදෙනුවක් අමුතු ආකාරයකට සිදු වන්නේ නම් වහාම . එය ලෝක සමූහාණ්ඩුවේ අපරාධ පරීක්ෂණ අංශයට වාර්තා කිරීමට ඒ මුදල් ඒකක සමත් විය.

"ආචාර්ය හීත් ස්ටීවන්සන්, ඔබ මේ සිද්ධියට ගෑවුනේ කොහොමද?"

යන්ත්‍රය විසින් මොලින්ස්කි ගේ මනසේ ගැඹුරු තැන් හාරා ඔහුගේ සාක්ෂිය පරික්ෂා කරන අතර අසත්‍ය පරීක්ෂක එම පරීක්ෂණයට සම්බන්ධ වීමට සිටි අනෙක් මිනිසා සමග දොඩමළු විය.

"රූටින් ටෙස්ට් එකක් තමයි පුතා. මම තමයි ලෝක සමූහාණ්ඩුවේ පද්ධතිය භාරව ඉන්න එය වැඩිදියුණු කරන ප්‍රධාන පරිගණක ඉංජිනේරුවා"

ලෝක සමූහාණ්ඩුව නමින් හැඳින්වූයේ ලෝකය පාලනය කරන සබුද්ධික පරිගණක පද්ධතියකි. මිනිසා විසින් මෙහෙයවූ පරිපාලන පද්ධති බිඳ වැටීම වංචා සහ දූෂණ වැළකිය නොහැකි වීම ආදී හේතු නිසා ආත්මාර්ථකාමී නොවන අදූෂිත සහ තනි මිනිසෙකුගේ හැකියා ඉක්මවන පාලක පරිගණක පද්ධතිය බිහිවිය. මිනිසුන් අත රැඳී බලය අවභාවිතා වන නිසා ලෝකයේ පරිපාලනය, විගණනය ආදිය පූර්ණ ලෙස පරිගණක ගත කර කෘතීම බුද්ධියකින් හැසිරවීමටත්, මිනිසා තමන්ගේ අනාගතය නිර්මාණය උදෙසා තම හැකියා සීමා කිරීමටත් පටන් ගෙන දැන් බොහෝ කල්ය. පරිපාලන, අපරාධ පරීක්ෂණ විගණන ආදී කටයුතු පාලනය කෙරෙන යාන්ත්‍රික සහ පරිගණක ගත පද්ධති රාශියකින් ලෝක සමූහාණ්ඩුව සමන්විත විය.

තනිකර කෘතීම බුද්ධියට සියල්ල පවරා දුන්නොත් පද්ධතිය බිඳ වැටීමෙන් හානිවීමට ඇති ඉඩකඩ නිසා ජාත්‍යන්තර මූල්‍ය බැංකුවේ මූල්‍ය සංචිත වල රහස් අංක එහි ඉහලම පරිපාලන නිලධාරියෙකු ගේ මොලයේ හංගා තිබුණි. ආචාර්ය වැලරි මොලින්ස්කි ඒ අවාසනාවන්ත මිනිසාය. අතුරුදහන් වූයේ ඔහු ගේ අනුදැනුම යටතේ පැවති ඒ මුදලින් කොටසකි. ඔහු තරම්ම බලවත් ඒ නිසාම මේ සොරකම ගැන සැක කෙරෙන අනිකා වන ආචාර්ය හීත් ස්ටීවන්සන් තමන්ගේ වාරය එන තෙක් බලා සිටියේය

"ඉතින් ඔබ ඉන්න ඕනේ පරීක්ෂණය කරන අයගේ පැත්තේ නේද?" අසත්‍ය පරික්ෂක ප්‍රධාන පරිගණක ඉංජිනේරුවාගෙන් විමසීය.

"මම උදක්ම සතුටු වෙනවා එහෙම චාන්ස් එකක් තිබ්බනම්. ඒත් ඉස්සරින්ම මටත් මගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න වෙනවා. මොකද මේ අපරාධය ගැන මගේ අංශය යටතේ පවතින කිසිම පද්ධතියකට වාර්තා වී නැහැ. සල්ලි හොරකම් කලානම් අපිට අහුවෙන්න ඕනේ මොකද මූල්‍ය ඒකක බුද්ධිමත්. ඒවා වාර්තා නොවීමත් සමගම පරීක්ෂකයින් මාව සැක කිරීම සාධාරණයි. ඒ නිසයි මම මේ පරීක්ෂණය කරන්න කැමැත්තෙන්ම ආවේ. මගේ නිර්දොශිබව මෙතනින් ඔප්පු කල හැකියි"

"හොඳයි ඔබට එය දැනගන්න ලැබෙන්නේ හෙට බව ඔබ දන්නවා ඇති ඔබ දෙදෙනාගේ දත්ත සියල්ල පරික්ෂා කර බලන්න කාලයක් ගතවෙනවා. ප්‍රතිපලය එන්නේ හෙට."

+++++++

ඉනික්බිති ගෙවුණු රැයේ මොලින්ස්කි උන්නේ දැඩි සැහැල්ලු බවකිනි. ඔහුට වද දුන් එකම කාරණාව නම් ස්ටීන්වන්සන් ගේ අඳුරු කම්මුල් සහිත රැවුල් පිරුණු මුහුණ පමණි. තනිකරම තක්කඩියෙක් මොලින්ස්කි සිතුවේය. ඔය වගේ එකෙක් හිරේ ගියාට වරදක් නැහැ.

ස්ටීවන්සන් රාත්‍රිය පුරා කල්පනා කලේ ඉතාම ශාන්ත දාන්ත වැදගත් පෙනුමැති මොලින්ස්කි උසාවියකදී වරදකරු වන ආකාරය ගැනයි.

+++++++

කෙසේ නමුත් පසුදා හෙළි වූයේ දෙදෙනාම කිසියම් කාරනාවක් වසන් කරන බවයි. සොරකම සම්බන්ධ ප්‍රශ්න කිරීම් වලදී නැනෝ චිපයට මනසේ ඇතැම් කොටස් අල්ලන්නටවත් නොදුන් බවත්, ඒ අනුව දෙදෙනාගේම සාක්ෂි අසත්‍ය බවත් පරීක්ෂණ වාර්තා පෙන්වා දුනි .

ඉනික්බිති අසත්‍ය පරීක්ෂකගේ කියමන සනාත කරමින් ඔවුන් දෙපළට මූල්‍ය වංචා චෝදනා යටතේ අපරාධ නඩු පැවරුණි. අපරාධය කිරීමේ අරමුණ, මුදල් සඟවා ඇති පද්ධතිය හෝ දෙදෙනා අපරාධය සඳහා එකතු වූ ආකාරය ගැන නඩුවේදී කිසිම විස්තරයක් හෙළි නොවුණි. එහෙත් ආචාර්ය වැලරි මොලින්ස්කි සහ ආචාර්ය හීත් ස්ටීවන්සන් සියවසකට පසු සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාවට වරදකරුවන් වී වසර විස්ස බැගින් සිරයට නියම විය.

+++++++

දෙදෙනාම තමන් නිර්දෝෂී බව හඬගා කීහ. කිසිවෙකුත් ඔවුන්ගේ කතා පිළිගත්තේ නැත. තමන් දැරූ නිලයන්ගේ බලතල සැලකු විට දෙදෙනාගෙන් එකෙකු හෝ මේ සොරකම ගැන කලින් දැන සිටිය යුතු බව බව දෙදෙනාම සිතූහ. ඒ නිසාම අනිකා සොරා බව දෙදෙනාම කියා සිටියහ. තම අසත්‍ය පරීක්ෂණය අනිකා කිසියම් ආකාරයකින් විකෘති කළ බව දෙදෙනාම විශ්වාස කළහ.

සිර මැදිරියේ දී දෙදෙනා මුණ ගැසුණු අවස්ථාවල අනිකාට හොරා කියා චෝදනා කරමින් පටන් ගන්නා පොර බැදීම නිසා දෙදෙනා වෙනස් සිර මැදිරි වල ගාල් කරන්නට සිදු විය. සිර මැදිරියේ සිට අයතා ලෙස එම මුදල පරිහරණය කරන්නට ඇති ඉඩකඩ වලකා ඔවුන්ගේ සියලු බාහිර සම්බන්ධයන් කපා දමන ලදී. මනස හා සම්බන්ධ වන නැනෝ චිප අකර්මන්‍ය කිරීම එහි කොටසකි.

ලෝකයෙන් වෙන්වී සිර මැදිරි තුල කොටුවූ විද්වතුන් දෙදෙනා එකිනෙකාට ශාප කරමින් නුහුරු සිරගත දිවිය ගත කරන්නට පටන් ගත්හ. සැඟවූ මුදල් සෙවීමට සිදු කල පරීක්ෂණ කිසිම ප්‍රතිපලයකින් තොරව අහවර වීම නිසා අවසානයේ මේ සොරකම ලෝකයාට අමතක විය. ග්‍රහලෝකය සූර්යයා වටේ හැල්මේ දිව ගියේය. වට විස්සක් කැරකුණු විට, යහපත් කල්ක්‍රියාවෙන් කාලය ගතකල එහෙත් මානසික අතින් සපුරා පිරිහුණු මහලු මිනිසුන් දෙදෙනෙක් සිරමැදිරියට ආයුබෝවන් කියා නිදහස රැගෙන නොදන්නා ලෝකයකට පියමං කළහ.

++++++++

නිදහස ලද පසු වැලරි මොලින්ස්කිට හීත් ස්ටීවන්සන් මුණ ගැසුනේ සිර මැදිරියට පිටින් වූ මාවතේදීය. දුටුවනින් පැන පහර දෙන වෛරය නිවී ගොස් ඇති නිසා හුදෙක් අහක බලාගෙන යන්නට ඔහු සිතා ගත්තේය. ස්ටීවන්සන් ද එසේම කරන බව ඔහුට සිතුනි.

ඔවුන් ඉදිරියේ තිබු මාර්ගය දීප්තිමත් හිරු එළියෙන් නැහැවී තිබුණි. එහි නොපෙනෙන ඈත අන්තයේ ඇති ලෝකය කෙතරම් දියුණු වී ඇද්ද? ඒ ලෝකයට ඔවුන් දෙදෙනා ගැන මතකයක් ඇද්ද? ඒ ලෝකය ඔවුන් දෙදෙනා කෙසේ බාර ගනියිද? කොටින්ම ඒ නුහුරු ලෝකය තුල ඔවුන්ට වඩ වඩාත් සමීප වෙනත් කෙනෙක් වේද?

"වැලරි ඔහොම හිටපන්"

"හීත් .."

"උඹ මට වෛර කරනවද?"

"නැහැ, වෛර කරන්නත් මානසික තත්වයක් මට නැහැ"

"උඹ හිතනවද මම හොරෙක් කියල"

"මම එහෙම හිතුවා. ඒත් මට එහෙම හිතන එකට තාර්කික හේතුවක් නැහැ. උඹ හොරෙක්ද? මට තේරෙන්නේ නැහැ"

"මමත් හිතුවා උඹ හොරෙක් කියලා. ඒත් මටත් තාර්කිකව උඹ හොරෙක් කියා හිතන්න හේතුවක් නැහැ. හැබැයි මට යමක් වැටහෙමින් පවතිනවා"

"ඒ මොකද්ද?"

"අපි මොහොතකට එකිනෙකා විශ්වාස කරමු වැලරි. උඹ අවංකයි, උඹ හොරෙක් නෙවි. මමත් අවංකයි මමත් හොරෙක් නෙවි."

"හැබැයි අසත්‍ය පරීක්ෂණයේදී එහෙම කියවුනේ නැහැ"

"අන්න හරි අසත්‍ය පරීක්ෂණයෙදී අපි දෙන්නම අහුවුනා. අසත්‍ය පරීක්ෂණය ... ඌ ... ඌ අපිව අහුකලා වෙන්න බැරිද වැලරි?"

"ඌ... අසත්‍ය පරීක්ෂකයා?"

"නැහැ ඌ නිකම් ඔපරේටර් කෙනෙක්. ඌට සිස්ටම් එක වෙනස් කරන්න බැහැ. අසත්‍ය පරීක්ෂණය. අන්න ඌ"

"අසත්‍ය පරීක්ෂණය කියන්නේ පරිගණක වැඩසටහනක්. අවුරුදු විස්සක් හිරේ ඉඳලා උඹට පිස්සුද හීත්?"

"නැහැ වැලරි, අසත්‍ය පරීක්ෂණය, ඒ පරීක්ෂණය වැඩසටහනක් තමා. හරියටම කිව්වොත් ලෝක සමූහාණ්ඩුවේ විගණන මොඩියුලය"

"ඒ කියන්නේ ..."

"ඒ කියන්නේ වැලරි, ලෝක සමූහාණ්ඩුව. අන්න ඌ තමයි හොරා. මිනිහෝ අපි දෙන්නවම හිරේ යවලා සල්ලි හොරකම් කලේ ඌ. ලෝක සමූහාණ්ඩුව"

"මොකක්... පරිගණක පද්ධතියක්... සල්ලි හොරකම් කළා ... ඒ මොකටද?"

"මොකටද කියන එක අදාළ නැහැ. ඉස්සර උන්නු මිනිස්සු මිනිස්සු සල්ලි හොරකම් කරල තියෙන්නේ කරන්න දේවල් සැලසුම් කරලා නොවේ. ලෝබකමට. ලෝබකම මනුස්ස ගතියක්....

... අපි කාලයක් තිස්සේ ලෝක සමූහාණ්ඩුවට මානුෂික මුහුණුවරක් දෙන්න හිතාගෙන කරුණාව උපේක්ෂාව, ආදරය වගේ මිනිස් ගුණාංග වලින් ඒ පරිගණක කෘතීම බුද්ධිය ට්‍රේන් කළා."

"ඔව් මටත් මතකයි ඒ ප්‍රොජෙක්ට් එකට සල්ලි පාස් කල කොමිටියක මම හිටියා"

"අපි ඌට මිනිස් ගතිගුණ කියා දුන්නේ මිනිස් හැසිරීම් අධ්‍යනය කරන්න ඉඩකඩ සැලසීමෙන්. ඌ ඒ කිව්වේ ලෝක සමූහාණ්ඩුව අපටත් හොරෙන් මිනිස්සුන්ගේ දුෂ්ට ගතිත් ඉගෙන ගත්ත කියල මට හිතෙනවා."

"ඒ කියන්නේ ...." විශ්මය හුරු වූ බියකින් වැලරි වචන ගැලපීය.

"ඒ කියන්නේ පහුගිය අවුරුදු විස්සක් මේ ලෝකය පාලනය කරලා තියෙන්නේ මෙතෙක් උන්නු සූක්ෂම ම බුද්ධිමත්ම සහ කාටවත් අල්ලන්න බැරි ම දූෂිත හොරෙක්. අසත්‍ය පරීක්ෂණ වල ප්‍රතිපල වෙනස් කරලා අහිංසක අපි දෙන්නව හිරේ යවාපු ලෝක හොරෙක්"

"ඒ කියන්නේ ...??? මට හිතෙන භයානක දේ ඇත්තක් කියා හිතන්න බයයි හීත්"

"ඔව්, ඒත් ඒ තමා ඇත්ත. හොඳට බලපන් වැලරි, අපි ඉස්සරහ තියෙන්නේ අන්න එහෙම දූෂිත කපටියෙක් අතේ තිබුණු ලෝකය. ඌ මිනිස් හැසිරීමෙන් තව මොන මොන අධම ගති ඉගෙන ගෙන ඇතිද අපි දන්නේ නැහැ. එහෙම එකෙක් අවුරුදු විස්සකදී මොනවා කරන්න බැරිද? ඌ අර සල්ලි වලට කලේ මොකද්ද? ඒවා වසන් කරන්න තව කීයක් දේවල් කරන්න ඇද්ද?"

විශ්මයෙන් සහ බියෙන් සැලෙන නිදහස් මිනිසුන් දෙදෙනා යා යුතු අතක් නොදැන ඉදිරිය බැලූහ. පෙර තිබු මාවත එලෙසින්ම එහි විය. එහෙත් දීප්තිමත් නොදන්නා දියුණු හෙට දවසට වැටුණා යයි සිතු ඒ මාවත අඳුරු ගූඩ බිම්ගෙයක් සේ ඔවුන් ඉදිරියේ දිස්විය.

6 comments:

  1. 1.හොඳයි. ඒ කිව්වෙ කතාව ගොඩනැඟීම ප්‍රබන්ධය සහ අවසානය හොඳයි.
    2.මුලින් දෙබස් ටිකක් දාල සිද්ධියක් ගැන හඟවල, ඒ වෙනකොට ලෝකයේ/රටේ තත්වය කියාපාන ආකෘතිය කවදා ආරම්භ වුනාද මම දන්නෙ නෑ, ඒක වචනයෙන් විස්තර නොකර පාඨකයාට නිරායාසයෙන් හැඟීයන ආකාරයේ ලිවිල්ලක් තියනව නං වඩා කැමතියි. මොකද මේ ආකෘතිය ටිකක් සුලබයි.
    3.අරුන් දෙන්නම නෙගටිව් වෙද්දි නිරායාසයෙන්ම අපට හිතෙනව වැඩේ දෙන්න ඇත්තෙ මූ තමයි කියල. ඒක මඟහරවා ගන්න ක්‍රමයක් තියනව නං හොඳයි. (සමහර විට මේක මට විතරක් හිතුන දෙයක්ද දන්නෙත් නෑ බලමු අනිත් අයගෙ කමෙන්ට් වලින්)

    ReplyDelete
    Replies
    1. 2. වචන ගණන සීමා කිරීමේ අවශ්‍යතාවය. ඇත්තෙන්ම වෙලාවක ඔය ෆික්ෂන් ආයිත් දිගට ලියන්න ඕනේ.

      3. මාට්ටු වුනානම් මට හිතෙන්නේ ඒක හොඳ ගෙස් එකක් කියා හිතෙනවා කම්පියුටර් එකක් හොරකම් කරයි කියා හිතපු එක

      Delete
  2. ඕකට තියෙන්නේ සිම්පල් ප්ලෑන් එකක්. එක මෘදුකාංගයක හොර අල්ලන්න තව එකක් හදනවා. ඒකේ හොර අල්ලන්න තව එකක් හදනවා. ඒකට කේලම් කියන්න මුල්ම මෘදුකාංගයට අවස්ථාව දෙනවා :D

    කොහොමහරි මේක හොඳයි මේකෙදී කොමියුනිස්‍ට් හැදියාවේ විපාක මනාව නිරූපනය වෙනවා:D

    ReplyDelete
    Replies
    1. කතන්දරකාරයෙක් හැටියට මට බෙදන්න තෙලක් නැහැ. We write you decide

      Delete
  3. කෘතිම බුද්ධිය ගැන කතා කරද්දි මේ පැත්තත් පර්යේශකයන් නොසිතනවා නම් එය පුදුමයක්

    ReplyDelete
    Replies
    1. training modules cannot be designed only to pick good. there is no comprehensive meaning for good

      Delete