Friday, November 25, 2016

ඩක්කුවේ ගැටලුව

[නොවැම්බර්  දහ  නවය  සහ  නොවැම්බර්  විසි හය  දිනමිණ  විශේෂාංග  දෙකක්  ලෙස  පලවූ  ප්‍රබන්ධයකි]

"කන්ද පල්ලමෙහි පිහිටි දුම්රිය හන්දියේ පාලක කුටිය තනා තිබ්බේ මදක් ඈතිනි. එහි සිටින මාර්ග පාලක හරවන ආකාරය අනුව ප්‍රධන මාර්ගය අතු දෙකෙන් ඕනෑම එකකට සම්බන්ධ කල හැකිය.

හන්දිය කරා ප්‍රධාන මාර්ගයේ පාලනයකින් තොරව වේගයෙන් පහලට ඇදෙන ඩක්කුවකි.. එය නැවතිය නොහැකි අතර ස්ථිරවම හන්දියෙන් බෙදෙන දුම්රිය මාර්ග දෙකෙන් එකක යා යුතුමය.

දැනට ඩක්කුව ගමන් කරන මගෙහි පාසල නිමාවී ගෙදර යන දරුවන් දහ පහලොවක් ඇවිද යති. ඩක්කුව එන්නේ ඔවුන් පසුපසින් නිසාත් මාර්ග පාලකයා සිටින ස්ථානය බොහෝ ඈත නිසාත් දරුවන් බේරා ගත හැකි එකම ආකාරය නම් ලීවරය ඇද මාර්ගය අනෙක් අතට හැරවීමයි.

වැඩිපුර දුම්රිය ගමන් නොගන්නා අනික් මගෙහි සාජ්ජයක් දමන බේබද්දන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ද බමන මත නිසා ඩක්කුව නොදකිනු ඇත. එම මගට හැරෙව්වොත් දරුවන් දහ පහලොවකගෙ ජීවිත බේරුණත් බේබද්දන් දෙදෙනා ඉතිරි නොවනු ඇත.

මේ සියල්ල දකින්නෙ මාර්ග පාලක පමණි. තීරණයක් ගැනීමට ඔහුට ඇත්තේ සුළු තත්පර කීපයකි. ඔහු අනෙක් මගට හැරෙව්වත්, නොදැක්කා මෙන් සිටියත්, මනසෙහි වාද කරමින් සිටියත්, මොන දෙයක් කලත් කවුරුන් හෝ ජීවිතයෙන් වන්දි ගෙවනු එකාන්තය. ඔහු විසින් කළ යුත්තේ කුමක්ද?

දෛවය විශ්වාස කරන්නේ නම් මේ පාසල් දරුවන්ගෙ දෛවයයි, මාර්ග පාලක ඒ වෙනුවෙන් කරදර නොවිය යුතුය. ඔහු මේ සිද්ධියට කොහෙත්ම සම්බන්ධ නොවිය යුතුය.

එහෙත් ඒ මගෙහි දරුවන් දහ පහලොවකි. අනෙක් මගෙහි බේබද්දන් දෙදෙනෙකු පමනි. දහ පහලොවක් වෙනුවෙන් දෙදෙනෙකු බිලි දීම අනතුරේ හානිය අඩු කිරීමකි. එහෙත් එවිට මාර්ග පාලකයා හිතාමතාම මිනිසුන් දෙදෙනෙකු ගෙ ජීවිත වනසා දමයි. කිනම් යහපත් අරමුණින් කල ද මේ මිනිසුන් දෙදෙනාගේ මරණවල වගකීමෙන් ඔහු විඳවනු ඇත."

1967 වසරේ දර්ශනවාද අධ්‍යන කණ්ඩායමක් ඉදිරියේ ෆිලිපා ෆූට් විසින් ඉදිරිපත් කළ 'ඩක්කුවේ ගැටලුව' මෙයයි. සරල අර්ථයෙන් ගත්කළ එය ව්‍යසනයකදී කලයුතු දේ ගැන කතිකාවකි. කිසිවක් නොකර සිටියොත් හානිය වැඩිය. වැඩි හානිය වළකන්නට ඇති එකම පිළියම වෙනත් කාට හෝ ඒ ව්‍යසනය හරවා යැවීමයි. එසේ කල විට විශාල පිරිස බේරෙන මුත් අහක හිටි කුඩා පිරිස වැනසෙයි. යුක්ති ධර්ම අනුව එසේ අනුන්ගේ යහපත වෙනුවෙන් කාව හෝ බිලිදීම නිවැරදිද? මේ ගැටලුවට පිළිතුරක් නොතිබුණ මුත් ඇති තරම් කතා කරන්නට කරුණු පැවතුනි.

එක අතකට මුළු ශිෂ්ටාචාරයේම පදනම වනුයේ මේ පැනයයි. ප්‍රබල හෝ විශාල පිරිසකගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් දුබල හෝ කුඩා පිරිසක් නිරපරාදේ බිලිදීමයි. එහෙත් එය ගැටලුවක් ලෙස කතාවට ගැනුණේ දර්ශනවාද කතා කරන තේ මේස වල පමණි. ඒ නිසාම එය ඒ හැටි ලොකු ප්‍රශ්නයක් ලෙස කිසිවෙකුත් සැලකුවේ නැත.

සෝවියට් වරුන් ගැන ඔත්තු බලන්නට ගුවන් ගතකළ වේලා නම් චන්ද්‍රිකාව ගැමා කිරණ පිපිරුමක් නිරීක්ෂණය කළේ ද 1967 වසරේ ම ය. මුලින් මොස්කව් කෙරෙහි ඇති වූ සැකය මන්දාකිණි ගණනක් දුරගොස් අවසානයේ ඒවා විශ්වයේ ඈත කෙලවරේ දුරස්ථ මන්දාකිණිවල මියයන තාරකා විසින් මුදා හරින ගැමා කිරණ පිපිරුම් ලෙස හඳුනා ගැනුණි. ෆිලිපා ෆුට් ගේ ඩක්කුවේ ගැටලුවට ගැමා කිරණ පිපිරුමක් සමග සම්බන්ධයක් ඇති වේ යයි කිසිවෙකුත් සිතුවේ නැත.
_______________________________________________

යශ්වාන්ත් පටෙල් ගැමා කිරණ පිපිරුම් ගැන අහම්බෙන් කියවා තිබුණ නමුත් ඩක්කුවේ ගැටලුව දැන සිටියේ නැත. ඔහු එය දැන සිටියා නම් මේ කතාව මෙසේ නොලියවෙනු ඇත.

සැන් හොසේ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීටයේ අවසන් වසර සිසුන් අතර අසාර්ථකම සිසුවා ඔහු විය. සම්මුඛ පරීක්ෂණ කීපයකට පෙනී සිටියත් දිගටම අසාර්ථක වූ ඔහු ඒ ගැන නො තැවුනේ ඔහුගේ ප්‍රියතම සම්මුඛ පරීක්ෂණය තවමත් ඉතිරි නිසාය. එහෙත් එයට මුහුණ දෙන දිනයේ ඔහු ප්‍රියකළ මයික්‍රොසොෆ්ට් සමාගමේ පරීක්ෂක ඔහු ගැන එතරම්ම පැහැදුනේ නැත. ඒ බව යශ්වාන්ත් හට ද වැටහී තිබුණි.

"හොඳයි යශ්වාන්ත් මේ ඔබේ අවසාන ප්‍රශ්නය. ඔබ මෙයට දෙන පිළිතුර මත බොහෝ දේ තීරණය වෙනවා. ගැටලුව තමයි ...."

යශ්වාන්ත් ඩක්කුවේ ගැටලුව ඇසුවේ එදාය. යශ්වාන්ත් දහ අතේ කල්පනා කළේය. කොහෙන් ගියත් කවුරුන් හෝ මිය යයි. ඇත්තෙන්ම පරික්ෂකයාට අවශ්‍ය වූයේ උත්තරයක් නොවේ, ඉල්ලුම්කරුවා ගැටලුවට මුහුණ දෙන ආකාරය නිරීක්ෂණය කිරීමයි. එහෙත් ලෝකයේ සෑම ප්‍රශ්නයක්ම එකවර විසඳීමට තතනන අවසන් වසර සිසු මානසිකත්වයෙන් යශ්වාන්ත් ට එය නොවැටහුනි.

"හරි මම දන්නවා කරන දේ. ඩක්කුව හන්දිය පහු කරන කොටම අදිනවා ලීවරේ. ඩක්කුව පීලි පනිනවා. ඔක්කොම බේරෙනවා"

මෙය පරීක්ෂක නොසිතු උත්තරයකි. ඔහුට අවශ්‍ය බුද්ධිමය සංවාදයට වඩා මේ තක්කඩි ඉන්දියානුවා කලේ ගොඩ වෙදකමකින් ප්‍රශ්නයෙන් පලා යාමයි. මේ ආකාරයටම ඔහු මයික්‍රොසොෆ්ට් කේතන වල ගැටළු විසඳුවොත් සමාගමට අත්වන ඉරණම එතරම් හොඳ නොවනු ඇත.

"ඒක මාර ලස්සන උත්තරයක් එහෙත් අවාසනාවට මම බලාපොරොත්තු වුනේ එය නොවේ. ස්තුතියි යශ්වාන්ත් අපි ඔබට දැනුම් දෙන්නම් ඔබ සාර්ථක වුනානම්"

යශ්වාන්ත් පටෙල් නැවත නේවාසිකාගාරයට ගියේ ලකුණු බින්දුවට දැවී ගිය පිතිකරුවෙකු ලෙසිනි.

"ගොනෝ උඹ කෙල්ලන්ට චැට් කරන වෙලාවේ නිකම් ඊමේල් ජෝක් එකක් බැලුවනම් ඕක දකින්න තිබ්බ"

නේවාසිකාගාරයේ මිතුරෝ කියති.

"මේක මගේ කරුමේ. දෙයියෝ මට දුන්නේ මෙච්චරයි"

"දැන් උඹ මොකද කරන්නේ?"

"මම යනවා හයිදරාබාද්. ගිහින් එහෙන් ජොබ් එකක් හොයා ගන්නවා. අම්මලා මට කසාදෙකුත් කතා කරලා තියෙන්නේ"

"යන්න එපා බන් පිස්සුද?"

"මෙහෙ ඉඳල මොනවා කරන්නද? මම හරි අසාර්ථක මිනිහෙක්. මට මෙහෙ ජොබ් නැහැ"

"හරි උඹ මේක ට්‍රයි කරපන්. මේක මගේ යාලුවෙක් මට සෙට් කලේ, ඒත් මම යන්නේ නැහැ. මේක පොඩි ස්ටාටප් කොම්පැනියක්. ටිකක් පිස්සු වගේ වැඩක්. උන් හදන්නේ මිනිස්සු පදවන්නේ නැතුව තනියම දුවන ෆුලි ඉලෙක්ට්‍රිකල් කාර් එකක් හදන්න. "

"ඕක හරියන වැඩක්ද?"

"දන්නේ නැහැ. සල්ලි තියෙන පොරකගේ වැඩක්. ටෙස්ලා ද කොහෙද කොම්පැනියේ නම. උඹ මේකට කතා කරපන් හයිදරාබාද් යනවට වඩා පොඩි එකකට හරි සෙට් වෙන එක හොඳයිනේ"

එය දෛවය විය. එහෙත් කවුරුන් හෝ රේල් පීල්ල මාරු කළේය. යශ්වාන්ත් සිතුවේ දෙවියන් කළා කියා ය. වසර පහළොවකට පසු නිෂ්පාදන සැලසුම්කරු යශ්වාන්ත් පටෙල් සිටියේ ටෙස්ලා සමාගමේ අතිශය වැදගත් සාකච්චාවකට සහබාගි වෙමිනි.

"දැන් අනිත් හැම දෙයක්ම සූදානම්. අපිට අවශ්‍යනම් කිසිම මිනිහෙකුගෙන් තොරව වාහනය යවන්න පුළුවන්. එකම එක ගැටලුවයි ඉතුරු"

"ඒ මොකද්ද?"

"හරිම ටෙක්නිකල් වචනයෙන් කිව්වොත් ' ඩක්කුවේ ගැටලුව'. ...."

ඉතා කෙටියෙන් එහෙත් තාර්කිකව ඔහු ගැටලුව පැහැදිලි කළේය.

"... දැන් ඔය ගැටලුව මේ දක්වා උත්තරයක් නැති දාර්ශනික ගැටලුවක්. එහෙත් අපි මේක විසඳන්න ඕනේ. ඕක අපිට බලපාන්නේ ස්වයං ධාවක මෝටර් රථයක් අනතුරකට ලක්වෙන විට. නිකමට හිතන්න වාහනේ මිනිස්සු ගොඩක් යටකරගෙන යන්නයි හදන්නේ. එහෙත් එයට පුළුවන් එහි ඉන්න හිමිකරුවා පමණක් මියයන සේ අසල පල්ලමකට පෙරලා මාර්ගයේ ඉන්න මිනිස්සු බේරන්න. ඔය දෙකෙන් එකක් තෝරන්න වෙනවා."

"යශ් ඔබට පිස්සුද? ඔතන තේරීමක් නැහැ. අපි අපේ පාරිභෝගිකයා මරන්නේ නැහැ"

"සමාවන්න මිස්ට පීටර්ස්. ඔතන තමයි කට්ටියම වරද්ද ගත්තේ. ස්වයං ධාවක වාහන හදපු සමාගම් ඔක්කොම හිතුවේ ඔහොම එහෙත් ඇමරිකාවේ ෆෙඩරල් රජය මෙය සලකන්නේ මාර්ගස්ථ ප්‍රජාව අනතුරට ලක් කිරීමක් ලෙස. ඕනෑම වෙලාවක වාහනය හිමිකරු බේරන්න මිනිස්සු ඕනෑම ගානක් මරනවා. ඒ නිසාම වෙනත් වාහනයක දෘෂ්ටි කෝණයෙන් මේ වාහනයේ හිමිකරුත් අනතුරුදායක තත්වයට එනවා. මේ නිසා මාර්ගයේ අනතුරු දායක බව වැඩිවෙනවා. ෆෙඩරල් රජය ස්වයං ධාවක වාහන වලට ඉඩ දෙන්නේ නැත්තේ ඒකයි"

"මේක ආණ්ඩුවේ පිස්සුවක්, එතකොට මිනිහෙක් එලෙව්වොත් කරන්නෙත් ඕකමනේ "

"ඔව් හැබැයි මිනිහට නඩු දාන්න පුළුවන්. වරදින්නත් පුළුවන්. කාර් එකට වරදින්න බැහැ. වැරදුනත් නඩු නැහැ"

"ඒ වුනාට . මොන කස්ටමර් ද අපේ කාර් එකක් ගන්නේ අපි මිනිහව මරන්න තීන්දු කරනවා කියල දැනගෙන"

"අන්න ඒකයි මේ ගැන පර්යේෂණ කල යුතු. අපි මේක ගැඹුරින් අධ්‍යනය කරන්න ඕනේ. මේ ප්‍රශ්නයේ පතුලේ හැමෝම එකඟ වෙන උත්තරයක් ඇති. ඕක මුලින්ම විසඳන කෙනා තමයි ස්වයං ධාවක මෝටර් රථ නිෂ්පාදන සටන දිනන්නේ"

"හොඳයි යශ් ඔබ මේකට පෙරමුණ ගන්න. ඔබ මේ ගැන තීරණය කිරීමට ලෝකේ ඉන්න ඉහලම දාර්ශනිකයින් විද්වතුන් සමන්විත තින්ක් ටෑන්ක් එකක් හයර් කරගන්න. ඒ වෙනුවෙන් මුදල් දෙනවා. ඔබ වසරක් ගන්න. කෙසේ හෝ වාහන මගියා සහ මාර්ගස්ථ මිනිසුන් කියන දෙන්නගෙම අතරමැදි සුදුසු තැනක මේ ගැටලුව විසඳන්න ඕනේ. ඒක කරන්න මේ ලෝකේ ඉන්න හොඳම මිනිහෙක් ඔබ"

_______________________________________________

අභ්‍යවකාශ ගත වී හුන් සති කීපය මුළුල්ලේ ෆිලිපා ස්නේහා පටෙල්-ස්මිත් කලේ ගැමා කිරණ පිපිරුම් ගැන අධ්‍යනය කිරීමයි. අභ්‍යවකාශ විද්‍යාව හෝ භෞතික විද්‍යාව ඇයගේ විෂය පථයට අයත් ඒවා නොවේ. එහෙත් මේ මෙහෙයුම උදෙසා ඒ දැනුම අත්‍යාවශ්‍ය වේ.

දර්ශනවේදය ගැන ප්‍රකට ෆිලිපා අභ්‍යවකාශ මෙහෙයුමක ප්‍රධාන නිලධාරිනිය වීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. එහෙත් ඇයගේ පසුබිම විමසන ඕනෑම කෙනෙක් ඇය හරහා ඇගේ පියා ගැන කියවා ඩක්කුවේ ගැටලුව ළඟ නතර විය.

ටෙස්ලා සමාගමේ සම්පත් දායකත්වයෙන් විශාල විද්වතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකල පර්යේෂණ වල ප්‍රතිපලයක් ලෙස යශ්වාන්ත් පටෙල් නම් මිනිසෙකු විසින් නිර්මාණය කල ඩක්කුවේ ගැටලුව පිලිබඳ පටෙල් මූලධර්මය සියවරක් කියෙව්වද නොවැටහුනි. මේ වනවිට කල් ඉකුත් වූ ටෙස්ලා සමාගමේ පේටන්ට් ගත පර්යේෂණ වාර්තා පිටු දහස් ගණන් වලින් ලියවුනු නීරස පොත් විය. ඒවා දර්ශන වාදය, කෘතීම බුද්ධිය, යුක්ති ධර්ම, මිනිස් හැසිරීම්, මනෝ විද්යාව, ඥාන බුද්ධි විද්‍යාව ආදී මෙකි නොකී විෂය ධාරා සමූහයක ප්‍රතිපලයකි. එයින් බිහිවූ පරිගණක වැඩසටහන මෙතෙක් ලියවුනු සංකීර්ණම වැඩසටහනකි. එහි ප්‍රතිපලයක් ලෙස ඉන්දියානු සම්භවය ඇති මිනිසෙක් නොබෙල් සම්මානයක් දිනා ගත්තේය. ස්වයං ධාවක මෝටර් රථ මානව ගමනාගමනය නව මං පෙතකට ගෙන ගියේය. අම්මලාගේ විවාහ යෝජනා විශාල ගණනකට පයින් ගැසූ මැදිවිය ආසන්න යශ්වාන්ත් පටෙල් සහ පර්යේෂණයට සහබාගි වූ ආචාර්ය ට්‍රේසි ස්මිත් විවාපත් වී ෆිලිපා ස්නේහා පටෙල්-ස්මිත් නම් සුපිරි මොළය ලෝකයට දායාද කළහ.

අද ඒ සුපිරි මොළය සිය පියා මූලිකව බිහි කල පටෙල් මූලධර්මය හොඳින්ම අවබෝධ කරගත් අතලොස්සෙන් කෙනෙකි. එසේම මිනිස් මනෝ විද්‍යාව ඇතුළු මිනිසාට ආවේනික වූ දැනුම මත පදනම් ව කාර් දුවන්නට හැදු එම මූලධර්මය ඕනෑම ජීව ප්‍රජාවකට සාපේක්ෂව ඕනෑම අවස්තාවකට යොදාගතහැකි දර්ශනවාදයේ මූලධර්මයක් කරා දිගු කළේ ඇය විසිනි.

"ගැමා කිරණ පිපිරුමක් කියන්නේ මියයන තාරකාවක් හෝ එකිනෙක හා වෙන නියුට්‍රිනෝ තාරකා යුග්මයක් තමන්ගේ ගුරුත්ව සීමා බිඳලන මොහොතක නිකුත් කරන සුවිශාල ශක්ති කදම්භයක්. එය ගමන් කරන්නේ අදාළ පද්ධතියේ භ්‍රමණ අක්ෂය දිගේ ඉතා සිහින් කදම්භයක් ලෙස ආසන්නව ආලෝකයේ ප්‍රවේගයෙන්. මෙතෙක් අප නිරීක්ෂණය කළ විශාලම පිපිරුම් වර්ගය වන මෙයින් තත්පර කිහිපයකදී නිකුත්වන ශක්තිය තාරකාවක් තම ජීවිත කාලයක් තුල මුදා හරින ශක්තියට සමානයි. ක්ෂිරපථය තුල සිදු වූ ගැමා කිරණ පිපිරුමක ගමන් පථය ට හසු වූ නිසා වසර මිලියන හාරසිය ගණනකට පෙර පොළොවේ ගොඩබිම සහ නොගැඹුරු මුහුදේ සියලු ජීව ප්‍රජාවන් විනාශ වූ බවට සැක කෙරෙනවා"

ෆිලිපා ට අවශ්‍ය මූලික දැනුම සපයන පරිගණක මොඩියුලය පැහැදිලි කරයි.

"ඒ කදම්භයේ ගමන් මගෙහි පවතින බොහෝ දේවල් විනාශ කරන්න එය සමත්වෙනවා. ඉතාම ආසන්නයේ එනම් ආලෝක වර්ෂයක් දෙකක් වගේ දුරින් පිහිටි ග්‍රහලෝකයක් ඒ මාවතට ආවොත් එය සපුරා ධූලි බවට පත්වන්න පුළුවන්. ආලෝක වර්ෂ සිය ගණනක් දුර සිදුවන පිපිරුමකින් පවා ගොඩබිම් සහ නොගැඹුරු ජලයේ වෙසෙන ජීවින් සපුරා වඳ වෙන්න පුළුවන්. ආලෝක වර්ෂ දස දහස් ගණන් ඈතින් එන කදම්භයක් පවා කිසියම් හෝ සලකුණක් ඉතිරි කරන්න තරම් ප්‍රබලයි."

ෆිලිපා අභ්‍යවකාශ ගතකල අසාමාන්‍ය සිද්ධි පටන් ගැනෙන්නේ මෙතෙක් හඳුනා නොගත් වස්තුවක් පොලොවට ආසන්න කක්ෂයක නිරීක්ෂණය වීමත් සමගය. ඉන්පසු ඉතා පැහැදිලි පෘථිවි භාෂාවලින් ඒ ආගන්තුකයෝ මිනිසුන්ට පණිවුඩයක් ලබා දුන්හ. තමන් මන්දාකිණියේ වෙසෙන වඩාත් දියුණු ජීවින් පිරිසක් බවත්, තමන් පැමිණියේ විශාල ව්‍යසනයක් සම්බන්ධයෙන් තම උපරිම වැඩ කොටස සිදු කිරීමට බවත් පවසා සිටියහ. පෘථිවියට ආලෝක වර්ෂ සිය ගණනක් දුරින් දැනටමත් සිදුවී ඇති ගැමා කිරණ පිපිරුමක කදම්භයක් 'නොවැලැක්විය හැකි හේතුවක් නිසා' පොලොව දෙසට හරවා යැවීමට තමන් මෙම කලාපයට පැමිණි බවත් බවත් ඒ නිසා ම පොළොවේ සියලු ජීවය විනාශ වන බවත්, තමන් මේ ගැන කනගාටු වන බවත් ඔවුන්ගේ පණිවුඩයේ අන්තර්ගතයයි.

ආලෝකයේ ප්‍රවේගය ඉක්මවා පණිවුඩ හුවමාරු කරගන්නා නිසා ඔවුන් කදම්භයට වඩා වේගයෙන් පැමිණ මේ පණිවුඩය ලබාදෙන බව සඳහන් විය. ඔවුන්ගේ ගණනය අනුව තවත් වසරක කාලයකින් එම කදම්භය පෘථිවිය පසු කර යමින් එහි සියලු ජීවය දවාලනු ඇති බවයි කියවෙන්නේ.

මිනිසා මේ පණිවුඩය ග්‍රහනය කර ගත්තේ අසීරුවෙනි. එහෙත් නොවැලැක්විය හැකි ව්‍යසනයක් නිසාත්, එය හිතාමතා තමන් දෙසට හැරවූ බවක් කියවෙන නිසාත්, මිනිස් පරිගණක පද්ධති විසින් මෙය ඩක්කුවේ ගැටලුව සහ පටෙල් මූලධර්මය සමග සම්බන්ධ කරන ලදී. ෆිලිපා ස්නේහා පටෙල්-ස්මිත් මෙහෙයුම භාර නිලධාරිනිය ලෙස පත් කෙරෙන්නේ මේ සම්බන්ධය නිසා ය.

මිනිස් ග්‍රහලෝකය අසල කක්ෂයක කක්ෂගත කර ඇති 'අභ්‍යවකාශ දොරටුව' ඉදිරියේ තම යානය කුහුඹුවෙකු මෙන් දිස්වේ යයි ඇය සිතුවාය. එහෙත් ඒ දොරටුව ට ඔබ්බෙන් සිටින ජීව ප්‍රජාව ඉදිරියේ මිනිස් වර්ගයා ම කුහුඹු කොළනියකි. මිනිසා තවම දැක නැති, එහෙත් මිනිසාට ග්‍රහණය වන උපකරණ වලින් මිනිසා සමග කතාබස් කරන මේ අතිශයින් දියුණු පිටසක්වල ජීවින් මෙතෙක් මිනිසා දැනගන්නා හිතවත්ම සහ හොඳම ප්‍රජාව බව ඇය දැන සිටියාය. බුද්ධියෙන්ද දැනුමෙන්ද ගතිගුණයෙන් ද මිනිසාට ගව් ගණනක් එහා ගිය මේ ප්‍රජාව තමන් වෙත ව්‍යසනයක් තල්ලු කර ඇත්තේ මන්දැයි මිනිසා ට නොවැටහුණි. එහෙත් එම ප්‍රජාව මිනිසා සමග කතාබස් කරන බවක් දැනුණු නිසා ෆිලිපා ගේ ගමනේ අරමුණ වූයේ ඒ කිරණ කදම්භය පිලිබඳ එකඟතාවයකට ඒමයි.

"ඔබ පවසන පරිදි ම ගැමා කිරණ කදම්භය ස්වාභාවිකව එල්ල වන්නේ අප දෙසට නොවේ නේද?"

"ඔව් ඔබ නිවැරදියි. එහි ස්වාභාවික මග වැටී ඇත්තේ ඔබේ ග්‍රහ පද්ධතියට මදක් දුරින්"

"එහෙනම් ඇයි ඔබ එය අප දෙසට හරවන්න කටයුතු කරන්නේ?"

"ස්වාභාවිකව එය යාමට නියමිත දිහාවේ වෙනත් දියුණු ශිෂ්ටාචාර පවතිනවා. යන්න දුන්නොත් ඒ ශිෂ්ටාචාර සපුරා විනාශ වීමට නියමිතයි"

"ඔවුන් කොපමණ දියුණුද?"

"ඔවුන් සැහෙන්න දියුණුයි. ඔබේ චක්රාවාටයේ මේ අවට තාරකා වල දියුණු ජීවින් සුලබයි. ඔබට ඇත්තම කිව්වොත් ඒ බොහෝ ප්‍රජාවන් ඔබට වඩා ජනගහනයෙන් විශාල ඔබට වඩා දියුණු ජීවින්"

"ඔබ අපව අවතක්සේරු කරනවා නේද?"

"නැහැ ෆිලිපා, අපි ඉතාම සාධාරණ ප්‍රජාවක්. මේ අතිශයින් මධ්‍යස්ත කියවීමක්. තවම මව් ග්‍රහලෝකය ඉක්මවා ජනාවාසයක් හදාගන්න බැරි, තවම යුද්ධ කරන, අන්‍ය ජීවීන් ගේ ශරීර අනුභව කරන එකම දියුණු ප්‍රජාව ඔබ පමණයි."

"ඉතින් ..."

"ඉතින් අපි අපේ උපරිම තාක්ෂණ හැකියාව යෙදුවත් ඒ කිරණ නිකුතුව නවතන්න බැහැ, හැබැයි අපේ උපරිම හැකියාව යෙදුවොත් අපට එය හරවන්න පුළුවන්."

"ඕනෙම අතකට?"

"නැහැ ෆිලිපා ඕනෙම අතකට නොවේ. කිරණ කදම්භයේ ස්වභාවය සහ මේ සඳහා අප යොදා ගන්නා ස්කන්ධ වල විසිරිය අනුව අනුව අපිට හැරවිය හැකි දිශා කීපයයි තියෙන්නේ. එයින් අඩුම හානියක් - මම කියන්නේ පොදුවේ සලකා - අඩුම හානියක් වන්නේ එය ඔබ දෙසට හැරෙව්වොත්. මොකද අනෙක් ඕනෑම මාර්ගයක ඔබට වඩා ජනගහනයෙන් වැඩි සහ සාපේක්ෂව දියුණු බුද්ධිමත් ජීවින් ඉන්නවා"

"එතකොට අපි සම්පුර්ණයෙන්ම ඉවරයි"

"මට කනගාටුයි ෆිලිපා එයට ඔව් කියන්න වීම ගැන. මේ උහතොකෝටික ගැටලුව ගැන අපේ බුද්ධි මණ්ඩල ඉන්නෙත් විවාදයක. එක්කෝ අපි මොකුත් නොකර ඉන්න ඕනේ. එහෙම වුනොත් හොඳම ශිෂ්ටාචාර කීපයක් ඉවරයි. නැතිනම් අපි කදම්භය හරවනවා. එහෙම වුණොත් ඔබේ මරණ වලට අපි වග කියන්නේ ඕනේ. කොහොම ගියත් කාට හරි හානියක් වෙනවා. අපි අපේ උපරිම බුද්ධියෙන් හිතුවත් මීට එහාට ගලපා ගන්න බැහැ"

"ඔබ බුද්ධිමත් ජීව ප්‍රජාවක්. ඔබ මේ වගේ දේවල් ගැන කවදාවත් අධ්‍යනය කර නැද්ද?"

"නැහැ ෆිලිපා. අපි මේ වගේ සංකීර්ණ ගැටලුවකට කවදාවත් මුහුණ දී නැහැ"

"එහෙමනම් හිතවත් බුද්ධිමත් සහෝදරවරුනි අප වැනි එතරම් දියුණු නොවූ ප්‍රජාවක් විසින් - මගේ පියා හෙවත් යශ්වාන්ත් පටෙල් මූලිකව - බිහිකළ දැනුම් පද්ධතියක් තියෙනවා. අපි ඒකට කියන්නේ ඩක්කුවේ ගැටලුව කියලා. ඔබ සූදානම්ද මට සවන් දෙන්න"

"ඔව් ෆිලිපා මේ වෙනුවෙන් ඇහුම්කන්දෙන්න ඔබත් සමග පර්යේෂණ කරන්න අපි ඕනෑම මොහොතක සූදානම්"

ඉනික්බිති සිදු වූ සංවාදය බොහෝ දිගු එකකි. මිනිස් දින කීපයක් තිස්සේ ගැඹුරු දාර්ශනික කරුණු කතාවට ගැනුනි. කතාව අවසානයේ සියල්ල අධ්‍යනය කරන ලද වඩාත් බුද්ධිමත් ජීව ප්‍රජාව පටෙල් මූලධර්මය පිළිගත්හ.

"මට තියෙනවා සුබදායක දෙයක් දැනුම් දෙන්න" ෆිලිපා නැවත පාලක මැදිරිය ඇමතුවාය.

"පටෙල් මූලධර්මය අනුව යමින් හානිය දෙපාර්ශ්වයට බෙදා දෙන්නට ඔවුන් එකඟ වුනා. එයින් කියන්නේ නැහැ අපි බේරෙනවා කියලා. අපිටත් විශාල හානියක් වෙයි, එහෙත් ඔවුන් අපේ ශිෂ්ටාචාරය විනාශ වන්න දෙන එකක් නැහැ..."

".. ඒ වගේම ඔවුන් අප ගැන පැහැදුනා. තමන් අපේ බුද්ධිය මනින ලද ක්‍රමය ගැන නැවත සලකා බලන බව ඔවුන් කිව්වා. ඔවුන්ගේ දැනුමට මේ තරම් දෙයක් එකතු කල වෙනත් ප්‍රජාවක් නැහැ කියලත් කිව්වා. අපිට හැකිතරම් පිරිසක් බේරාගන්න ඔවුන් උපකාර කරනවා. එහෙත් අවාසනාවකට අපිට ඔක්කොම බේරාගන්න වෙන්නේ නැහැ."

"ෆිලිපා අපි සතුටු වෙන්නද දුක් වෙන්නද? අපි කොහොමද මැරෙන කොටස තෝරන්නේ?"

"මේක හරිම සංවේදී මොහොතක්. දැන් අපි හානිය අවම කිරීම වෙනුවෙන් කාව හෝ බිලිදෙන්න වෙන අවස්තාවක ඉන්නේ. අප අතරින් කවුරු හෝ විශාල පිරිසක් මිය යන්න නියමිතයි. ඉතින් අපි පටෙල් මූලධර්මය ම යොදාගෙන ඉන්න ඕනේ අය සහ මියයන අය තෝරමු"

"මෙය අසීරු මොහොතක් ෆිලිපා. ඔබ දන්නවා ඇති අපට අපේ හොඳම හිතවතුන් ගෙන් කොටසක් මියයන්න කැප කරන්න වෙන බව. පවුලක මව පියා දරුවන් අතරින් සමහරු බේරෙන ගොඩට හා සමහරු මියයන ගොඩට තේරෙන්න පුළුවන්. ඒ පවුල්වල ආදරය කරන්නන් එකිනෙකාට සමුදෙන මොහොතක දැනෙන වේදනාව ගැන හිතන්න පවා අමාරුයි"

"ඔව් එපමණක් නෙවි, සමහර අහිංසක ප්‍රජාවන් සතු සම්පත් ඔවුන්ගෙන් වෙන්කර 'තෝරාගත් ප්‍රජාවන්' වෙනුවෙන් යොදවන්න වෙන්න පුළුවන්. යශ්වාන්ත් පටෙල් මගේ පියා සොයාගත් මූල ධර්මයට මුළු මිනිස් වර්ගයාම ශාප කරාවි"

"මහලු යශ්වාන්ත් මෙයට මොකක් කියයිද?"

"ඔහු හින්දු දෙවියන් අදහන මිනිහෙක්. මිනිස් වර්ගයාගෙන් ලොකු කුට්ටියක ජීවිත වැනසීමේ වගකීම ඔහුට එල්ල වීම දරාගන්න බැහැ ඔහුට. මගේ පියා මට තර්ජනය කළා ඉන්නේ කවුද මිය යන්නේ කවුද කියා තීන්දු කරන්න ඔහුගේ මූලධර්මය යොදාගත්තොත් ඔහු සියදිවි හානි කරගන්නවා කියලා"

"ෆිලිපා ඔහු අපට කතා කළා. ඔහු බොරුවට නොවේ එය කියන්නේ"

"ඔව්, මම දන්නවා. ඔහු මගේ පියා. ඔහු මේ ලෝකේ මම දන්නා හොඳම මනුස්සයා. මට වාවා ගන්න බැහැ මට මෙහෙම කියන්න වුණාට. පටෙල් මූලධර්මයට අනුවම සිතුවොත් ඔහුගේ හිතේ ඇතිවන සියදිවි හානි කරගන්න සිතිවිල්ල වලකන්න අපි මේ විනාශයට ඉඩ දීලා බලා ඉන්න එකේ තේරුමක් නැහැ. අපිට තියෙන්නේ කෙටි කාලයක්. ඔබ ඉක්මනට වැඩ පටන් ගන්න..."

මෙතෙක් පාලනය කල කඳුළු දෝරේ ගලන්නට ඉඩදුන් ෆිලිපා ඉකිගසමින් කතාව නිම කළාය.

"... අපි ශිෂ්ටාචාරය බේරගම්මු. යශ්වාන්ත් පටෙල් සියදිවි නසා ගත්තදෙන්"

17 comments:

  1. සුපිරියි කොකා. කියන්න වදන් නැත!

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නෑ හැඟුම් සිතේ ගොළුවෙලා... ද?

      Delete
  2. කියවූ හැමට ස්තුතියි. ඉතිරි ටිකත් කියවන්න. සැහෙන ෆික්ෂන් තොගයක් ලියවුනා දිනමිණ විසින් විවර කළ අවකාශය සහ කියවන්නන්ගේ දිරි ගැන්වීම් නිසා

    ReplyDelete
  3. මේක එළ සුජීව, මේක කියවද්දී මට මතක් වුනේ අපේ මල්ටිපල් ට්‍රොමා සීන් එකකදී ෆීල්ඩ් එකේදී අපි තීරණ ගන්න විදිහ.

    ReplyDelete
  4. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  5. මට තාම හිතා ගන්න බෑ මම ඉන්නෙ රේල් පාරෙද අඅභ්‍යවකාශයෙද කියල

    ReplyDelete
  6. අපූරුයි

    ReplyDelete