Monday, June 1, 2015

කුටුම්බ

කුඩා  දරුවන්  රැගෙන  යන  ප්‍රෑම්  එකක  දරුවාට  අමතරව එළවළු  මල්ලක්  පාන්  ගෙඩියක් ටිෂූ  පෙට්ටියක්  එහෙමත්  අරගෙන  යන්න  පුලුවන්ද?

බැරි වෙන්න  බැහැ  මොකද කෙනෙක්  එහෙම  ගෙනාපු  නිසා. හැබැයි  ඊට  අමතරව  ප්‍රෑම්  එක  උඩ හයිය  රාමුව  හරියේ  කාමර  රත්  කරන්න ගන්න අලුත්ම  අලුත්  ඔයිල් හීටරයක් සහිත  පෙට්ටියත්  පටවලා  මදිවට  බබාගේ  ඔළුවට  උඩින්  නිදහස්  රෙද්දේ  අයිසින්  කේක්  එකකුත්  සස්පෙන්ෂන්  එකට තියාගෙන යන්න  පුළුවන්  කිව්වම.  එහෙමත්  තිබ්බ. ඒ  අම්මගේ අතේ  තඩි බෑග්  එකකුයි  මොප්  කරන්න ගන්න  අලුත් කොස්සක්  හා  භාජනයකුයි.

අවුරුද්දක  එකහමාරක  විතර  චූටි  එකී  ප්‍රෑම්   බෙල්ට්  එකේ  විතන්‍යතාවය උපරිමයට  ටෙස්ට්  කරමින්  අයිසින්  කේක්  එක  ගන්න  පොරේ.

එතකොට තව  අම්මෙක්  එතනම  ඒ  වගේම  බඩු  ගොඩක්  එයාගේත්  ප්‍රෑම්  එකේ. එයාගේ  මාසගානක  චූටි  එකා  හරිම  හුරතලයා  වගේම  මහා  ඇට්ටරයා.  ප්‍රෑම්  එකට  කැමති  නැහැ.  ඒ  නිසා ඔක්කොම  අස්සේ  ඒ  අම්මා  එයාවත්  කරගහගෙන.

බස්  එක  ආවේ  එතකොට.

ඔෆිස් ඉවර  වෙච්ච  වෙලාවත්  පහු  වෙලා, හැබැයි  තාමත්  දුර  නගරයෙන්  එන  මිනිස්සු  ගෙවල්  බලා  ඇදෙනවා.  මහා රාත්තිරියේ  පුංචි  එවුනුයි  "නිවසකට  අවශ්‍ය සියලු  දේත්"  උස්සගෙන  යන  එක  ලෙහෙසි  නැහැ. ඒකත් ඇට  මිදුළු  හෑරෙන  සීතලේ. හුඟක්  දුරට  අම්මලා  සේවා මුරය  ඉවර  වෙනකම්  කොහේ  හෝ  තැනක  රඳවා  තිබ්බ  පුංචි පැටව් දෙන්නෙක්.  සීතල  කාලේ  නිසා  හීටර්  එක  බබාට  අවශ්‍ය  දෙයක්. පොඩි  එකෙක්  ඉන්න  ගෙදරකට  මොප්  එකකුත් ඕනේ තමා. තනි අම්මෙකුට  මෙව්වා  ගේන්න  සිය  පාරක්  එන්න  අමාරුයි.

සමහරවිට  පඩි  දවස  වෙන්නැති  දෙන්නටම. හම්බු  කරන  තුට්ටු  දෙකෙන්  දරුවාගේ  ඕනා  එපාකම්  බලලා  මාසේ අන්තිම  වෙද්දී  සතේ  නැතුව  ඉන්න තත්වය  නුහුරු  දෙයක්  නොවේ  මේ  පළමු  ලෝකයේ  පිටත  පෙනුමට ධනයෙන් ආඩ්‍ය සමාජයටත්.  මාසයක්  පොඩි  එකා  හීතලේ  ඉන්නවා  බලා ඉන්න බැරි අම්මෙකුට  සල්ලි  ලැබුන  ගමන් හදිස්සියට  හීටරයක්  ගන්න ඕන  වෙන  එක  පුදුමයට  හේතුවකුත්  නොවේ.

කෝ  හැබෑටම  තාත්තලා?  කවුරුත්  ඇහුවේ  නැහැ.  ගැහැණියට  පවතින්න  පිරිමියාගේ  සහයක්  ආරක්ෂාවක්  ඕනේ  කියන  කතාව නම්  බයිලාවක්.  හැබැයි  ළමයෙකුත්  අතට  දීලා මාරු  වුනාම?

මිනිස්සු  හැකි  පමණින්  උදව්  කලත්  බඩු  ටික  පටව  ගන්න  අම්මල  දෙන්නට  සැහෙන  ෆයිට්  එකක්  දෙන්න  වුනා.  කීප  පාරක් බැහැලා  නැගලා  පටවන  අතරේ  චූටි  බබී  අම්ම  දාල  ගියා  කියලා බයවෙලා,  කෑ  ගහලා,  එක  නාට්ටියයි.


දැන්  මේ  නාට්ටිය  නරඹන්න  සහ  බඩු ඔසවා  උදව්වෙන්න ඉබේ  ම  සෙට් වුණ ප්‍රේක්ෂක  ප්‍රජාව  හෙවත්  බසයේ  සෙසු  මගීන්ට මේක  නොබලා තමන්ගේ  වැඩක්  බලාගෙන  යන  ආකාරය  ගැන  පුද්ගලිකත්වයන්  සුරැකීම  ගැන  විශේෂඥ උපදෙස්  දෙන  කෙනෙකුගෙන්  උපදෙස්  ගන්න වෙයි.  කාට  නැතත්  අපි  දෙන්නට.  මොකද  ඔෆිස්  ඇරිලා  ගෙදර  යන  මා යි මගේ  යාළුවයි  දෙන්නට  ඉඩ ලැබුණේ  හරියටම  එයාලට  පස්ස  සීට්  එකේ.

"පිස්සු  පීකුදු  යකෝ. පොඩි  එවුනුයි  ගෙදරකට  ඕනේ  ඔක්කොමයි"  ඌට  වැඩේ  ටිකක්  අවුල්  වගේ.  දැන්  මෙතන  සිංගල්  අම්මලාගේ  අර්බුද  ගැන  මූත්  එක්ක  වාද  කරනවට  වඩා  ගෙදර  ඇවිත්  බ්ලොග්  එකේම  ලියනවා  කියලා  මම  හිත  හදා  ගත්තා.

බසය හිමීට  ඉස්සහරට  ඇදුනා.  ගැහැණු  දෙන්නා  කතාව  පටන්  ගත්ත.

සාමුහික  වානර  පවුලේ  එකාලා  ඔලුවේ  උකුණෝ  බලබලා  වානර  බාසාවෙන්  තමන්ගේ  ආගත  නාගත  ඕපාදූප  කියවපු  එක අපේ  ජානවල  තියෙනවා.  ශිෂ්ටාචාරේ  පුද්ගලිකත්වය වගේ  එව්වා පස්සේ  ආවට.  දැන්  මේ  දෙන්නට  ඔහේ  කියවගෙන  යනකොට  උන්ගේ  පුද්ගලික  කතාද  වටේ  උන්ට  ඇහෙනවද  කියලා  ගානක්  නැහැ.

"මට  ඒ  යකා  පෙන්නන්න  බැහැ.  සුපවයිස්  කරනවා  කිව්වට  කිසිම  සහනයක්  දෙන්නේ  නැහැ.  පොඩි  හරි  ස්ටේන්  එකක්  තිබ්බොත්  ආයිත්  සුද්ද  කරන්න ඕනේ"

"මොකද්දෝ  එකකට  මට  නම්  ශේප්"

"ඔව්  ඌ  මූණු  බලලා  තමා  සුපවයිස්  කරන්නේ"

ඔන්න ඔහොම  එදිනෙදා  ජීවිතයේ  ප්‍රශ්න.  පොඩි  එකීට  මේක  අල්ලන්නේ  නැතුව  අනිත්  කොලු පැටියට  සමාන  අයිතිය  හෙවත්  අම්මගේ  උකුලට  එන්න  ඕනෙලු.  බැරිම  තැන  ඒක  පිළිගන්න  වුණා  ඒ  අම්මට. පොඩි  එකී  බස්  එකටම  කතා  කරනවා.  තේරෙන්නැති  බාසාවෙන්  මොනවදෝ  කියනවා.  වටේට   කැරකෙනවා . බස්  එකේ  සීනුවේ  ස්විච් එක  එබීම තමා  සැලසුම.  උස  පොඩ්ඩක්  මදි.

අම්මලා  ඔපාදූපේ.

"ඔය  ළමයා  අල්ලගන්න"  ඩ්‍රයිවර්  බෙල්ල  දාලා  කිව්වා.  ඒත් ඒක  ඇහුනේ අපිට  විතරයි.

"මටනම් තේරෙන්නේ  නැහැ  බං  හදාගන්නත්  අමාරුවේ  මොකට  ළමයි  හදනවද  කියලා" ඒ  අස්සේ  මගේ  ළඟ ඉන්න එකා කියවනවා.  වැඩේ  තියෙන්නේ  ඕක  ඒ  දවස්වල වැටහෙන්නේ  නැහැ.  කොහොමත්  දෙන්නෙක්  ඕනේ  ළමයෙක්  හදාගන්න.  හැබැයි  කොච්චර එකට  කිව්වත්  මිනිස්සු  කොහොමත්  සිංගල්.  එකෙක්  දාලා  ගියාම  අනිකා  අනාතයි.

එතැන්සිට ඒක  පුද්ගල  නාට්‍යයක්. ගමරාලගේ  චරිතෙයි  ගමමහගේගේ  චරිතෙයි  දෙකම  කරන්නේ  එක්කෙනක්.  ඒ  පීඩනයත්  එක්ක  දරුවෙක්  ආදරෙන්  බලාගන්න  එකට  තෑගී  දෙන්න  ඕනේ.

"එකත්  එකටම  ආණ්ඩුවෙන්  සල්ලි  දෙන  නිසා.  ෂුවර්  එකටම  ඇෆ්ගනියෙක්  වෙන්න  ඇති  තාත්තා"

ඔය  කතාවේ  පොඩි  ඇත්තක්  තියෙනවා.  දරුවන්  කීපයක්  ඉන්න  තනි  අම්මෙකුට  රජයෙන්  ටිකක්  වැඩි  [ඒත්  මේ  නගරේ  පොළොවේ  හැප්පෙන්න නම්  මදි]  ආධාරයක්  දෙනවා.  සමහර  ඇෆ්ගානි  සරනාගාත පිරිමින්  [සමහරවිට  වෙන  රටවල  උනුත්  කරනවා  ඇති]  ගෑනු තුන  හතරක්  සෙට්  කරගෙන  උන්ට  ළමයි  සෙට්  එකක්  හදා  දීලා  උන්ට  සිංගල්  මදර්  බෙනිෆිට් අරගෙන  දීලා  උනුත්  ගානක්  කපාගෙන  ඒකෙන්ම  යැපෙනවලු. ඒත්  මේ  බබා  බ්ලොන්ඩ්  බබෙක්.

කොහොම  උනත්  මම  ඒ  ගැන මොකුත්  කිව්වේ  නැහැ.  ඇෆ්ගානි  කිව්වා  ගමන්  ඒ  අම්මා හැරිලා  බැලුවා.  අම්මලා  දෙන්නා  ටික  වෙලාවකට  නිහඬ  වුනා.

"සල්ලි  තාම  ලැබුනේ  නැද්ද?"  ටිකකින්  එක්කෙනෙක්  ඇහුවා.

"නැහැ.  එක  ලැබෙන  එකක්  නැද්ද  මන්දා.  ඒ මිනිහ  සුයිසයිඩ්  කලේ  යුද්ධෙට  ගිය  වෙලාවේ  නෙවෙයි.  හමුදාවෙන්  අයින්  වෙලා බේබදුකමට  වැටිලා.  ඒක  ඔප්පු  කරගන්න  බැහැ."

"බැරිවෙන්න  බැහැ.  වන්දිය  ලොකු  ගානක්"

"අනේ  මන්දා.  තව  මෙව්වෙකක්  අඩුයි"

"මොකද්ද?"

"ඔෆිස්  එකේ  ගෑනි  කිව්වේ  තව  මෙව්වෙකක්  අඩුයි  කියලා.  මෙව්වෙකක්,  මං  දන්නේ  නැහැ  හරියට.  අනේ  මට  මේ  වැඩ  එක්ක  ඔව්වට  වෙලාවක්  නැහැ.  ඒ  ඔෆිස්  වල  ඉන්නේ  උන්ගේ  අම්මලට  *$@#$@#$  ගෑණු"

"හ්ම්ම්ම්"

 "ඒ මිනිහගෙන්  ගැලවීමම  මදැයි. අන්තිම  කාලේ  බබයි  මමයි  අමාරුවෙන්  උන්නේ"

ලෝක  බාගයක්  එහා පැත්තේ  අර්බුද  වල  මානසික  පීඩනය  සමාජයට  කරන  බලපැමක  හැටි.  පුංචි  කාරනාවක්  එහා  මෙහා වෙලා  ත්‍රස්තවාදී  උණ්ඩයකින්  මළානම්  මිනිහා  රණවිරුවෙක්.  විරු  බිරියටයි  විරු  දියණියටයි  වන්දි.

දැන්  මගේ  යාලුවගේත්  කට  වැහිලා.

"ඉන්න  බැරිනම්  පොඩි  එකත්  අරගෙන  යන  එක  ලේසියි.  පුලුවන්නම්  එළවලා  දාන්න මේ  මම  වගේ" අනිත්  අම්මා  ටිකක්  හයේ  හතරේ  ගෑණි.

"ඒක  තමා"

"මං  උන්දැට  අන්තිමට  කිව්වේ,  තමුසේ  මෙතන  ළමයෙකුටයි  මටයි  වදයක්  වේවි  ඉන්නවට  වඩා වෙන  තුත්තුකුඩියක  ඕන  බැල්ලියෙක්  එක්ක  යනවා  මගෙන්  බාධාවක්  නැහැ  කියලා. මට  පුළුවන්  ළමයා  හදාගන්න කොහොම හරි"

අම්මලාගේ  කතාවේ  ගෑස්  පවර්  එක  අඩුවෙද්දී  බබ්බු  දෙන්නගේ  කතාවේ  පවර්  එක  වැඩිවුනා.  සාමානයෙය්න්  පුංචි  ළමයි  කියන්නේ  අනුනාද  දෙන  කට්ටිය.  මේ  දෙන්නත්  කෑ  ගැසීමේ  තරගයක.

"වෙලාවකට  ඔක්කොම  එපා වෙනවා.  දවසකට  පැය  දහයක්  විතර  වැඩ.  එහෙන්  ළමයින්ගේ  දේවල්"

"ඔව්ව  ඔහොම තමා.  මාත් ඒ  කට්ට  තමා  කන්නේ"

මෙතැනදී  ලංකාවේ  ආච්චිලා  සීයලාගේ  කාර්යභාරය  කතාවෙන්  ඉවත්  කලාම  තමයි දිග  පළල  තේරෙන්නේ. මමවත්  මගේ  යාලුවවත්  එහෙම  කිව්වෙනම්  නැහැ.

හිටිගමන්  අම්මලා  දෙන්නා  බහින  තැනට  ආවා.  සීනුව ගහලා  දැන්  ආපහු  බඩු  ටික  බාගන්න  සැලසුම.

"කෝ  දෙන්න මට  කේක්  එක" අනිත්  අම්ම උදව්වට  කේක් එක  අතට  ගත්තා.  එයාගේ  බබා  අනිත්  අතේ.

මේ  වගේ  කතන්දර  සුඛාන්ත  වලින්  ඉවර  වෙන්නේ  නැහැ.  සමහර  ඛේදාන්ත  වලට පොඩි  පැටලවිලි  ප්‍රමාණවත්.  අර  උදව්වට  කේක්  එක ගත්ත  අම්මගේ  අතේ  වැදුණේ  අනිත්  අම්මගේ ම  අතේ  තිබ්බ  කොස්ස.  ඒ  වැදුන  පාර  අයිසින්  කේක්  එක  බිමට  වැටුනා.

"මොකද්ද  ඒ  කල  වැඩේ.  ළමයාගේ  උපන්දිනේට  ගත්ත  කේක් එක"  වැටිච්ච  කේක්  එක  අහුලන්නෙත්  නැතුවම  ඒ  අම්මා  අනිත්  අම්මට  කඩා  පැන්නා.

"මම  උඹට  උදව්වක්  කරන්න ගියේ"

ඒ  වුනාට  අනිත්  අම්මා  විනාඩි  පහක්  විතර  ආඩපාලි  කිව්වා.  කරන්න  දෙයක්  නැතුව  ඩ්‍රයිවර්  බලා උන්නා. හැබැයි  අන්තිමේ  බැණුම්  අහපු  ගෑණි  ගිල්ට් එකටත්  එක්ක  අහුලලා  බලද්දී  කේක්  එකේ  ලොකු  අවුලක්  නැහැල්ලු. ඊට  පස්සේ  ආයෙත්  පෙර  සුහදාතාවය  වර්ධනය  වෙන්න  ගියේ  සුළු  තප්පර  ගානක්.

ලොකු  බරක්  හෑල්ලු  කරගත්ත  පාරට  ඩ්‍රයිවර්  බොහොම  වේගයෙන්  ඇදෙන්න වුණා.  මිනිහටත්  නියමිත  වෙලාවක්  ඇතිනේ.

වෙච්ච  කලබල වලට ද කොහෙද  වමට  හරවන්න  ඕනේ හන්දියකින්  මිනිහා  දකුණට  හරෝගෙන. දැන් ඉතින් මේ  පටු  පාර දිගේ බස්  එක  රිවස්  කරනකම් ඉන්න වෙනවා.

සිංගල්  පේරන්ට්  කෙනෙක්  නොවුනට  මම  එනකනුත්  කෙනෙක්  බලා  ඉන්නවා. ඉක්මනට රිවස්  කරමු.

Monday, April 14, 2014

ලෙජර පොත

අරක්කුවත්ත දිහාවෙන් පොසොන් කාලෙට කැරකෙන හුළඟ සුබෝධියට දූවිලි බිඳක් පිම්බේය. අත් කොස්සක් ගෙන වහා දිව ආ ජයසිරි වීදුරු පිස දැම්මේ දේවකාරියක් මෙනි. සුබෝධියට වදින හැම දූවිලි පාරක් ගානේම මකුළු දැලක් සෙලවුනු විට දුව එන මකුළුවෙකු මෙන් ජයසිරි දුව එයි. ඒ එන හැම ගමනකදීම ලාච්චුවේ ඇති පඬු පැහැ  ගැනුන බොහොම ගනකම පොතක් අතට ගන්නට අමතක නොකරයි. ඒ පොතේ ඉදිරි පිටේ ගැලවීගිය පතුරු අතර කළු පාට ප්ලැටිග්නම් පෑනකින් "ලෙජර පොත" කියා ලියා තියේ.

ජයසිරිගේ උනන්දුව නිසාම සුබෝධිය කඩ වීදියේ බැබලේ. කොහොමත් සුබෝධිය කඩ වීදියට අමුත්තකි. දුරාචාරයටම පමණක් ප්‍රසිද්ධ වූ අරක්කුවත්ත අයිනේ කඩ වීදියක පිරිකර හා පූජා භාණ්ඩ කියා බෝඩ් ලැල්ලක් දැකීම පුදුමයට කරුණකි. කඩ දෙකක් එහායින් ඇත්තේ අස්වර් ගේ මස් කඩයයි. තව දෙක තුනක් එහායින් රේස් බුකියයි. අතර මැද්දේ ඇත්තේ ගිනි ගානට බඩු විකුණන සිල්ලර කඩ කීපයකි. තව උකස් බඩු එකතු කරන කඩයක් සහ පත්තර තට්ටුවක් කෙලවරට වන්නට තිබේ. පත්තර තට්ටුව කිව්වට දුවන්නේ පත්තර මිටි අස්සේ හැංගු පනහේ සීයේ කෑලි වලිනි.

සුබෝධිය වැජඹෙන්නේ මෙහෙම තැනකය. කඩේ වීදුරු පෙට්ටි පුරවා ඇත්තේ පිරිකර, කුඩ, සුවඳ දුම් ආදී විවිධ පූජා භාණ්ඩ වලිනි. සුබ නැකතට ගෙට මුල්ගල තියන තැන සිට ගෙහිමියාගේ පාංශුකූලය දක්වා සෑම පූජා භාණ්ඩයක්ම මේ වහල යටින් ගත හැකිය.

සුබෝධියට නොදෙවැනි අමුත්ත ජයසිරිය. අරක්කු වත්ත අයිනේ තිබ්බට කඩ වීදියේ සෙල්ලම් කරන්නෝ පිටස්තරයෝය. ගාල්ල මාතර දිහාවෙන් ද නුවර මාතලේ දිහාවෙන් ද යාපන මන්නාරම් දිහාවෙන්ද ආ වෙළෙන්දෝ කඩ වීදිය පාලනය කරති. අරක්කුවත්තෙන් එකෙක් ඒ දිහාට එන්නේ එක්කෝ බඩු ගන්නටය. නැතිනම් කප්පම් ගන්නටය. ඒ දෙකටම නැතුව අරක්කුවත්තෙන් කඩ වීදියට ආවේ ජයසිරිම පමණි.

ජයසිරි අඳින්නේ සුදු සරම හා සුදු කමිසයකි. කොළඹ යන දවසක් වෙතොත් සුදු කලිසමක් අඳියි. හීනි රවුල් පේලියක් හනු දිගේ ඉතුරු කර හෙළි පෙහෙළි කල දෙකම්මුල ශේෂ කඳු ගහන කලාපයකි. නිදිබර වන්නට තතනන නමුත් හැමවිටම අවදියෙන් ඉන්න දෑස් සියවස් හතරකට වඩා දිග දශක හතරක කතාවක් සඟවා ගන්නට වෙර දරයි. තවම හිසකේ සුදු වී නැති තට්ටය ද පෑදී නැති ජයසිරි තමන්ට වඩා දස වසක් බාල තරුණයෙකු හා රූ සිරියෙන් තරග කරයි. තවම පිළිවෙලක් වී නැති මුත් අම්මා ළඟදීම සහකාරියක් සොයා දෙනු ඇති බවට ජයසිරිට විශ්වාසය. ඔහු කරන්නේ දන්නා දේවල් පමණි. නොදන්නා දේ අම්මා සොයා දෙනු ඇත.

"අපේ මුදලාලි මහත්තයෝ තමන්ගේ දේ තමන් රැක බලා ගන්න ඕනේ"

පිණ්ඩපාතේ වඩින අත්තදස්සි හාමුදුරුවෝ කතාබහක් පටන් ගන්නට තතනති.

"හාමුදුරුවනේ පොඩ්ඩක් ඔහොම ඉන්න." ජයසිරි කඩය තුලට දුවයි. සීයේ නෝට්ටුවක් ගෙන විත් පාත්තරයට දමයි. පිණ්ඩපාතේ වඩින්නේ දානය බලාගෙන වුවද  අත්තදස්සි හාමුදුරුවන්ට දන් බෙදන්නට කවුරුවත් අරක්කු වත්තේ නොමැත. ඒ නිසා ලද දෙයින් තුටු වී සංඝ සීලයක අහුමුල්ලක් පලුදු කර ගන්නට සිදු වීම පාපයක් ලෙස උන් වහන්සේ නොතකති. පන්සලේ වැඩ වලට දෙන්න වෙන්නේ සල්ලිය. ටවුන් වල පන්සල් වගේ මේවාට සල්ලි දෙන්න කවුරුවත් නැත. කොටින්ම පන්සලේ වැඩ කටයුතු වලින් බාගෙකට පිරිවැය දරන්නේ හැමදාම නොවැරදී ලැබෙන ජයසිරිගේ නෝට්ටුවයි. ඒ නිසාම විනාඩි පහක කෙටි බනකින් තම අනේ පිඬු සිටු වරයාව තුටු කරන්නට උන් වහන්සේට අමතක නොවේ. කඩේ එලි පත්තේ සිමෙන්ති පඩියේ ඇන තියාන දොහොත් මුදුන් දී ඒ බන අහන්නට ජයසිරි කැමතිය. බණ කියා හාමුදුරුවන් නික්ම ගිය පසු හෙමිහිට කවුන්ටරය දිහාට යන ජයසිරි හොරෙක් මෙන් ලෙජර පොත දිග හරියි.

ලෙජර පොත කීවාට ජයසිරි දන්නා ලෙජරයක් නැත. ලෙජර නොදත් මුත් ඔහු බිස්නස් දනියි. ඒ නිසා සෑම භාන්ඩයකටම පොතේ පේලි දෙකක් ඇත. වැය වූ මිල එක පෙළකි. අය වූ මිල අනික් පෙළයි. වෙනස පහලින් එකතු වේ.

පන්සලට - 100/-

ඒකට පේලි දෙකක් නැත. දානය දෙනුවකි. ගනුවක් නැත.

දුරකථනය නාද වේ. පොඩි අක්කා හෑල්ලක් කියවයි. දිගු කතාව කෙටි කරන්නට ජයසිරි තතනයි.

"හරි බං දැන් කීයක් ඕනෙද?"

අනුන්ගේ ෆෝන් එකකින් ගත්තත් අක්කගේ උවමනා දිගය. පියරත්න අයියා දරුවන් තිදෙනෙකු සමග පාරට දමා ගිය පසු අක්කාට කොට කතා නැත. කාලයක් පාර අයිනේ ලයිට් කණු යට රස්තියාදු වුණත් වයසට දෙගුණයක් මහලු අක්කාට දැන් ඒ හැටි අවධානයක් නොලැබේ. ඒ අඩුව පියවන්නේ  ලෙජර පොතයි.

අක්කට - 2500/-

තවත් තනි පේලියකි.

සෑම ව්‍යාපාරිකයෙකුටම මැණිකක් සේ රකින රහසක් ඇත. ජයසිරිගේ රහස  ලෙජර පොතයි. කවුන්ටරයෙන් එහාට යන හැම වෙලාවකම පොත අතට ගනියි. කඩය වසා ගෙදර යන හැම මොහොතකම පොත දැඩි ගෞරවයෙන් මල්ලේ දමා ගනියි. කිසිවෙකු තමා අසල ගැවසේ නම් පොත විවර නොකරයි.

සෑම ව්‍යාපාරිකයෙකුටම අනියත බියක් ඇත. ජයසිරිගේ බිය කවදා හෝ ආදායම් බදු නිලධාරියෙකු හෝ වෙනත් නිලමක්කරුවෙකු පැමිණ මේ  ලෙජර පොත විවර කරයි ද යන්නයි. ඒ නිසාම ඔහු කල්පනාවෙන් ගනුදෙනු සටහන් කර ගනියි.

දවස ගෙවෙන්නේ හෝන්දු මාන්දු ආකාරයටය. නාගරික පැල්පත් ආශ්‍රිත අරක්කු වත්ත අවට පළාතේ කඩවීදී ජනී ජනයාගෙන් පිරී පවතියි. එහෙත් සුබෝධියට ගොඩ වදින්නේ එහෙමත් එකෙකි. මිනිසුන්ගේ ඉපයුම වියදමට ළඟාවන තරමට පින දහම සුබ අසුබ දේවල් වලට දරන පිරිවැය අඩුය. එන සුළු පිරිසෙන් වැඩිම පිරිසක් එන්නේ අට පිරිකර ගන්නටය.

"ඔය අට පිරිකර කෙරුවාව කොරන්න නම් එපා ගොයියෝ" කොළඹ තොග වෙළෙන්දෙක් අනතුරු ඇඟවූ හැටි ජයසිරිට මතකය. "ඔව්ව තමුසේ කීයට දුන්නත් අහල පහල පන්සලේ දෙන ගානට එන්න බැහැ"

මේ වගේ කතා වලින් පසු බලන්නේ ජයසිරි නොවේ. එහෙම පස්සට හැරුනා නම් මේ සුබෝධියත් නැත. අරක්කුවත්තෙන් ඇවිත් පූජා භාණ්ඩ කඩයක් දැමීම ම සෙල්ලමක් නොවේ. එහෙත් හැම ඉරිදාම දහම් පාසල් ගිය පෝයට නොවරදි පන්සල් ගිය ජයසිරිට ඕනේ කම තිබ්බේ මේ සුබෝධියම දාන්නය.

ඉරිදාට දහම් පාසල් ගියාට ජයසිරි පාසල් ගියේ හතේ පන්තියට පමණි. එතැන් පටන් ජීවිත රෝදේ ස්පෝක් කම්බි තල්ලු කරන්නට ඔහුට සිදු විය. කඩේක බේකරියක දර මඩුවක ආදී ලෙස නොයෙකුත් ශිල්පයෙන් කෙල පැමිණි මුත් ලද අවසරයකින් දුටු පත්තර කෑල්ලක් කියවන්නට ඔහු පැකිලුනේ නැත. එමෙන්ම අඩුම ගානේ දහම් පාසලට නොවරදි යන්නට ඔහු කාලය වෙන් කර ගත්තේය. ඒ නිසාම නිසි පාසල් අධ්‍යාපනයකින් තොරව අරක්කුවත්තේ ඇසු පිරු ඇත්තෙකු වීමට ඔහුට හැකි විය. වෙන එකක් තියා සුබෝධියට නම දැම්මේද ඔහුය. අම්මා කේන්දර කාරයින්ගෙන් ගෙනා අකුරු ගලපා ගැලපෙන නමක් දාන්නට ඔහුට හැකි වීම සුබෝධිය තරම්ම ජයසිරිට ආඩම්බරයකි.

කිව්වා වාගේම අට පිරිකර අර්බුදය වෙළඳාම වසා ගත්තේය. විකුණන සෑම අට පිරිකරක් ම රවුමේ යන බව ජයසිරිට වැටහුණි. පන්සල හා දායකයා අතර ඒ රවුම කැරකෙන්නේ තමා ඊට පිටින් තබාය. බිස්නස් කාරයෙකු හැටියට මෙය දරා ගත හැකි දෙයක් නොවේ. ඒ නිසා ජයසිරි අපූරු සටන් මගකට වන්නේය.

"පන්සලෙන් ඔබ මිලදී ගන්නා මිලට වඩා අඩුවෙන් අපෙන් අට පිරිකර"

බැනරයක් සුබෝධිය උඩින් පළ විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සුරැකි ඔහු කිසියම් පන්සලක විකුණන මිලක් වෙතොත් ඊට අඩුවෙන් පිරිකර වික්කේය. පිරිකර නොවිකිනී ගොඩ ගැහෙන නිසා පන්සල් වලට ගොස් ඒවා අඩුවට ගත්තේය. ලාබ ද පාඩු ද කියා නිනව්වක් නැති මුත් ටික කලකින් පළාතේම පන්සල් වලින් එකතු කරන සියලු පිරිකර ඉතාම අඩු මිලට සපයන එකම වෙළෙන්දා බවට ජයසිරි පත් විය.

ලාබ ද පාඩු ද කියා නිනව්වක් තියෙන්නේ ලෙජර පොතටයි. හොඳින් බැලුවොත් ජයසිරිට පාඩු වූ දින ගණන ලාබ වලට වඩා වැඩිය.

මෙසේ නිතර පාඩු ලැබූවද පළාතේ සියලු පොදු වැඩ සඳහා ඔහු නොමසුරුව දායක විය. පෝය දාට හිඟන්නන්ට දානයක් දෙයි. හදවතේ සිදුරක් ලියුකේමියා තැලසීමියා රෝගී දරුවෙකුට සම්මාදම් එකතු කලොත් ජයසිරි ඉදිරියෙන්ම සිටියි. පාසල් දරුවන්ට කොපි පොත් බෙදා දේ. හැම වෙසක් එකටම දන්සැලක් තනි වියදමෙන් කරයි. ගිය වර තොරණේ ප්‍රධාන අනුග්රාහකයාය. ඊළඟ පාර තනියම තොරණ කරන්නට ජයසිරි සිතා සිටියි.

මේ සෑම සමාජ සේවයකින්ම ලෙජර පොත වැහැරේ. එහෙත් ඔහුගේ කිතු ගොස පැතිරේ. සමිති සමාගම් වල ලොකුම පුටුව ලැබේ. අවුරුද්දට කොටහළු මගුලකට මේස ඉඳුල් කරන්නට ආරාධනා එමටය. වරක් සාර්ථක ව්‍යාපාරිකයින්ගේ රහස් පල කරන ව්‍යාපාරික පුවත්පතක ලේඛකයෙකු ජයසිරිගේ කතාව එහි පළකරන්නට ඉල්ලා සිටියේය. වෙන ඕනෑම දෙකට ඉඩ දෙන මුත් ඔහු මේකට ඉඩ දුන්නේ නැත. ජයසිරිගේ රහස ලෙජර පොතයි. ඔහු එය මැණිකක් සේ රකියි.

නගර සබා චන්දෙට චන්දය ඉල්ලන ලෙස පීරිස් මන්ත්‍රී තුමා කීප වතාවක්ම ඔහුට පැවසීය. එහෙත් ජයසිරි ඊට කැමති වුනේ නැත. ඊට හේතුව බූරුගොඩේ කපිල ය. තමා මෙන්ම පැල්පත් සමූහයකින් පැමිණ සල්ලිකාරයෙකු වූ කපිල ජයසිරිව නොරුස්සයි. දෙන්නටම ඉල්ලුම ඇත්තේ ආණ්ඩු පක්ෂයෙනි. එහෙත් ජයසිරිට කපිල හා තරගයක් නැත.

තමා හා සම වූවන් සමග තරග කිරීමට ජයසිරි කැමැත්තක් නොදක්වයි. එක වගේ දෙන්නෙකුට පැවැත්මක් නැත. එය ජයසිරිට කීවේ අරක්කු වත්තේ ගුණයා ය. පොඩි පොඩි කප්පම් එකතුවෙන් නමක් දිනා හුන් ගුණයා ඒ රස්සාවම කරගෙන ගිය ජයසිරිගේ තාත්තා සමග නිතර ගැටුනේය. ජයසිරි අම්මාගේ ගවුම පස්සේ හැංගී උන්නු පුංචි කාලයේ ගෙදරටම කුණුහරුප කියාගෙන ආ ගුණයා ඒ කතාව කියා යන්න ගියේය. බොහොම දිගට ඇවිලුණු ඒ කතාව අහවර වූයේ ජයසිරිගේ තාත්තා සුදු යකඩ අඟල් හයක් බස්සවා ගෙනය. ඒ ජයසිරි හතේ පන්තියට සමත් වූ වසරයි.

සම වූවන් හා තරග කිරීම ජයසිරි නුරුස්සන්නේ එහෙයිනි. ඒ නිසාම ඔහු කපිලට ඉඩ දී පස්සට විය. අපායට ගියත් ඉස්සර වන්න කියා ජයසිරි අසා තිබේ. එහෙත් මෝඩයින් ඉස්සර වන බවට පිටරට පිරුලක් පත්තරේක කියවා ඇත. ජයසිරි තේරුවේ දෙවැන්නයි. නගර සබාව ඉක්මවා බලය සහිත පළාත් සබා චන්දය ළඟ ඒ. කපිලයා නගර සබාවට ගිය පසු පීරිස් මහත්තයාට වතු පැත්තෙන් ඉන්නේ තමන් පමණි. ජයසිරි සිහින දකින්නේ පළාත් සබාවේ තව වසරකින් දිවුරුම් දෙන්නටය.

මේ සෑම දෙයකින්ම තව තවත් අඩු වන්නේ ලෙජර පොතේ එකතුවයි. දවසේ එකතුව ගණන් කලොත් රිණ දහස් බර ගානකි. ඒ නිසාම ජයසිරි දැන්ම එකතු නොකරයි. සියල්ල දවස ඉවර වෙන තුරු කල් දමයි.

වැඩිපුර සිදුවීමක් නොවී දවස හමාර විය. ජයසිරි සුබෝධිය වසා ලෙජර පොත  මල්ලේ දමා ගෙන මෝටර් බයිසිකලයේ නැගී අරක්කු වත්ත දිහාට පියඹා ගියේය. ලෙජර පොත කවුරුන් හෝ දකී යන බය හිත හොල්මන් කරයි. මේ වෙද්දී ශුද්ධ පාඩුව බර ගානකි. මෙහෙම බිස්නස් නොදුවන බව ඕනෑම එකෙකුට වැටහෙනු ඇත.

දවසේ ඉතිරිය ද හැමදාම ගෙවෙන්නේ එකම ආකාරයටය. ජයසිරි බයිසිකලය නවතා අම්මා හදා දෙන තේ එක බී කමිසය වැලට දමා බැනියම පිටින් පිළිකන්න දිහාට යයි. ඒ පැත්තට ගඟට වෙනකම් ඇත්තේ පුරන් වූ වෙල් යායකි.

"මුදලාලි මහත්තයා විවේකෙට වෙල දිහාට යනවා වගෙයි. අනේ හොඳයි හුස්මක් අරගෙන එන්න අපේ මහත්තයෝ" රේකොඩින් එකක් වගේ අම්මා කියවයි. අම්මා මෙහෙම කටපාඩමේ කියවන්නේ තමන් ව ම රවටා ගන්නට ද කියා ජයසිරි  සිතා නැත. අම්මා මේ කතාවේ දිග පළල දන්නේ නැතිවා වන්නට බැරිය. එහෙත් මේ වෙලාවේ තම පුතා වෙල් එළියේ විවේක සුවයෙන් ඉන්නා හැටි දකින්නට මේ අම්මා ආස ය. අඩුම ගානේ මෙහෙම කීමෙන් ඒ චිත්ත රූපය ක්ෂණයකින් සිතේ මැවීම ඇයට ප්‍රීතියකි. ඒ ප්‍රීතිය බිය පහ කරන නිසාවෙනි.

අම්මාගේ කතාව මෙන්ම වෙල් එළියේ ඇති සුවය ද පට්ටපල් බොරුවකි . තැන තැන පල් වූ නාගරික අපද්‍රව්‍ය ගහන මේ වෙළට පිටස්තරයෙක් එන්නේ එහෙමත් වෙලාවකටය. තැනින් තැන ඒ ඒ තැනට ආවේනික වූ දුගඳ හමයි. මහ රූස්ස පඳුරු බිමින් නැගී ගොම්මන් අඳුරේ හොල්මන් කරති. ඒවා අතර ජයසිරිට ලැබෙන විවේක සුවයක් නැත.

මීටර දෙතුන් සියයක් අමනුස්ස වාසය දිහාට යනවිට අඳුරු මුල්ලකින් හෙවනැල්ලක් මතුවේ. වෙනකෙකු දුටුවොත් බියේ සැලෙන රෞද්‍ර පෙනුමැති මිනිසෙක් ජයසිරි හා සිනාසේ.

"පියදාස අයියේ" ජයසිරි නතර වේ.

"ජයසිරි මහත්තයෝ මස්ත බාල්දුයි. බොරුවක් නෙවෙයි" පියදාස අතේ ඇති මිටියක් ජයසිරි අතට දේ. ජයසිරි මිටිය ගනියි. විසිපන්දාහකි.

"පාලම පනින කොටම බෝතල් දාගෙන ගිය වීල් එක ඇල්ලුවා. සෝමෙය මාළුවා වගේ ගැහෙනවා. වෙලාවට ජරාදිගොඩ යා හිටියේ පොලිසියේ. එතනම බාගයක් ඉවරයි"

"එකනේ බං උඹට කියන්නේ බෝතල් ගහන්න එපා කියලා. පොලිතීන් පැකට් ගහපන් අයියේ. එක ඕන අස්සක දාගෙන යන්න පුළුවන්"

"මහත්තයා කියනවා තමා. කොල්ලන්ට ඔව්ව පිළිවෙලක් කොර කොර ඉන්න බැහැ. මේවා දුවන සෙල්ලම්"

"හිටහන් මං පොලිතීන් පුරුද්දන මැසිමක් ගෙනත් දෙන්න"

"අන්න එහෙම එන්න"

"ජරාදිගොඩයා කාලකන්නියා. එත් ඌ නැත්නම් අපි මේක දුවන්නේ කොහොමද?" ලාබය අඩු වීම ජයසිරි සාධාරණය කරයි. ජනාධිගොඩ කියන්නේ පළාතේ පොලිසියේ සාජන් ටය.

"ආන් ඌවත් මාරු කරන්න යනවලු. මයෙන් ඇහුවා පීරිස් මහත්තයට කියලා පොඩි සප් එකක් දෙන්න බැරිද කියලා"

පළාත් සබාවේ වටිනාකම ඇත්තේ මෙතනය. ජයසිරි ඇතුලට ගියොත් පීරිස් අවශ්‍ය නොවේ.

"මං කතා කරලා බලන්නම්"

සමු දීමකින් තොරව දෙදෙනා වෙන් වේ. ජයසිරි ඉනතුරේ පැස සඟවයි. ඉනතුරේ සගවා හුන් ලෙජර පොත  එලියට ඒ.

පිරිකර (අය) - 25000/-

හිටි ගමන් ශේෂය ධන වේ. මෙතෙක් බියෙන් සලිත වූ සිත නිදහස් වේ. හොරෙක් මෙන් සැඟව හුන් ජයසිරි ගේ ආත්මය සිනා සී කතා කරන්නට පටන් ගනියි. දැන් මේ ලෝකයේ ඕනෑම ජගතෙකුට ලෙජර පොත  කියවන්නට හැකිය. මෙතැන් සිට හෙට උදෑසන දක්වා ජයසිරි අවංක මිනිසෙකි.

Sunday, September 9, 2012

හොරකම

සීලවතී උපාසක නැන්දා සිමෙන්ති පඩියේ ඇණ තියාන දෝමනස්ස කල්පනාවක ගිලී හුන්නාය. මේ මාසේ පාලොස් වැනිදා. ගේ සාවියේ තුට්ටු දෙකක් නැහැ. විසිහත් වැනිදාට මුර දානේ. නැන්දා ඔලුව කසන්නීය.

සීලවතී නැන්දා ට එක රස්සාවක් කියා නැත. බුලත් පුවක් ටිකක් අහු වුණු දාට විටක් දෙකක් හදාන පේව්මෙන්ටුවේ බිම තියාන විකුණයි. මහ මාරකැට්ටුවේ අහක දාන එළෝලු ඩිංගක් අහුවුණු දාට කපා කුණු ඉවත් කර වට්ටියක දාගෙන පාර දිගේ විකුණයි. අහල පහල ගෙදරක දානයක් මගුලක් ඇතොත් උයා පිහා කීයක්‌ හරි සොයා ගන්නට අවස්තාවක් ලැබේ. කොයි දේ කළත් ඇයට මුරදානය වරදින්නේ නැත.

මේ මාසයේ සිද්ධ වූ දෙය නම් සීලවතී නැන්දාට එකම රස්සාවක් වත් නැති වීමයි. වර්ණ ගඩොලින් හැඩවෙන පේව්මෙන්ටුවට ඇය ගේ පැමිණීම මදි පුංචි කමක් නිසා පේව්මෙන්ටුව කොස්තාපල් රාලහාමි අතේ එන්නට එපා කියා පයින්ඩයක් එවා තිබුණි. ප්ලාස්ටික් කූඩා පැමිණ නැන්දාගේ අහක දාන එළෝලු පංගුව නතර කර තිබුණි. මගුලක් ඇතොත් දැන් ඉන්න එවුන් ගන්නේ හෝටලයේය. දානයක් දෙන්නට මහා වත්කමක් ඒ හරියේ උන්ට නැත. ඔයිං මෙයින් නැන්දාගේ ගේ සාවියේ තුට්ටු දෙකක් නැත. දෙපැත්තට දමන තීන්දුව කිරියාවට යොදන්නට නැන්දා ඉටා ගත්තීය. මේ ඉවසුවා ඇති.

කොහොම උණත් නැන්දා වැඩේට පේවී උන්නාය. පාලොස්වකට සිල් නොගත්තීය. පහුගිය දොහේ වෙනදා නොකෑ හාල්මැස්සන් කරවලත් කෑවාය. හයි හත්තිය නැතුව මේ වැඩේ කරන්නට බැරිය. කරන්න හෝ නොකරන්න පෙර සූදානම කොහොමත් වටී.

සුන්දරී කෙල්ල වැඩ ඇරී ගෙදරට ගාටමින් හුන්නාය. සුන්දරී ගේ නම සුන්දරී නොවේ, සුන්දරී කිව්වේ රූප සුන්දරියක් වගේ ලස්සන නිසාය. ලස්සනයි කිව්වට ඒ තරම්ම නොවේ. ඒත් අව්වට වේලෙන දූවිල්ලට කුරුලෑ ගැහෙන නැන්දලාගේ සාවියේ මූණු අතර යන්තමින් හෝ පැහැපත් කෙල්ලක් නිකම්ම රූප රාජිනියකි. කොහොම නමුත් ගුවන් සමාගමක රස්සාවක් හොයා ගන්නට නිකම්ම අමාරුයි. ඒ සාවියේ එහෙමත් රස්සාවක් කරන්නේ සුන්දරී කෙල්ලම පමණි. "ප්ලේන් එකේ උඩ යන එකම මදෑ" අම්මා නිතර කීවද සුන්දරී තවම ඉන්නේ බිමය.

"සුන්දරියේ මේ පැත්තට පොඩ්ඩක් ගොඩ වෙයන්කෝ" නැන්දා ඇයට කතා කරයි. මේ සැලැස්ම කොරන්නට වෙනත් හොඳ එකියක් ගන් තුලානේ නැත. සුන්දරියට ඉන්ටෑනැට් තියේ.

"අරක නේද නැන්දේ?" දීකිරට බළල්ලුත් සාක්කිලු. ඒකිටත් වැඩේ රහ වැටිලා වගේ.

"මං තීන්දුවක් ඇන්න ඉන්නේ" නැන්දා කීවාය.

"කරමු කරමු" කෙල්ල අනුමත කළාය.

දෙන්නාම මොහොතකට කල්පනා කළෝය.

"වැඩේට කවුද ගන්නෙ නැන්දේ?"

"කොටිකැලයා ගම්මු"

"හරි. ඌ නම් ඕන අස්සකින් රිංගලා එයි"

"මං පණිවිඩේ කියන්නම්. උඹ ඉන්ටෑනැට් එක ඇන්න වරෙන්"

"හරි නැන්දේ මම ලැප්ටොප් එක ගේන්නම්"

"එහෙනම් හෙට රෑට හොඳේ"

"හරි"

කෙල්ල ගෙදර ගොහින් ළඟදී ගත්තු සැටලයිට් රූපවාහිනී චැනල වලින් ක්‍රයිම් වොච් බැලුවාය. නැන්දා උම්මග්ගේ දිග හරවාගෙන එහාටත් මෙහාටත් කියෙව්වාය. සැලසුම පංකාදුවට හිතේ ඇඳේ. හෙට රෑට කොටිකැලයා වැඩේ තිතට කරනු ඇත.

"හපොයි බුදු නැන්දේ උඹනම් පෙරලන්නෙ ම බාල්දියක්"

කොටිකැලයා කඩා ගෙන පැන්නේය.

"උඹට බැරි දෙයක් නැහැනේ මයේ පුතේ"

"බාර දීපන් බාර දීපන්. යන්නේ මගේ බෙල්ලනේ"

"ගැස්සුනොත් පුතේ උඹ විතරක් නෙවෙයි ඔක්කොම ඉවරයි"

"හරි බං නැන්දේ, මං මාට්ටු වෙන්නේ නැහැ. ඕන එකෙක් හිතන්නේ අර ඇමරිකාවේ ගොලුප් ගහන එකා ගේම දුන්නා කියලා"

කොටිකැලයා ට කොටිකැලයා කියා නම දැම්මේ සමරසේකර අන්කල් ය. ගෑණිත් දමා ගිය ගෙදෙට්ට වී බෝතලයට හා රේස් අස්පයින්ට විශ්‍රාමය කැප කරන අංකල් හවහට ෂොට් එකක් දාගෙන කොලු කුරුට්ටන් සමග හන්දියේ සිංගර් එකේ රෙස්ලින් බලන්නට සෙට් වන්නෙකි. රෙස්ලින් මැච් අස්සේ ක්‍රීඩා චැනලයේ වෙන වෙන ඇඩ් පෙන්නයි. ඒ අතර නිතරම මතුවන ලෝකප්‍රකට ගොල්ෆ් ක්‍රීඩකයා තමන් අසළ ඉන්න කොලු ගැටයාගේ නිවුන් සහෝදරයා වගෙයි කියා මුලින්ම දැක්කේ උන්නැහේ ය. ඉංගිරිස් ඇබින්දක් දන්නා සමරසේකර අංකල් ක්‍රීඩකයාගේ නම සිංහලට හරවා කොලුවාට බවුතීස්ම කළේය.

සුන්දරිය ලැප්ටොප් එකත් අරගෙන ගෙට ගොඩ වූවාය.

"අයියේ මේකයි ගේම් ප්ලෑන් එක"

ඈ බ්‍රව්සරයේ පින්තුර පෙන්නමින් කතා කරයි.

"මේන්න තැන. සුදුපාට පරණ බිල්ඩිම" නැන්දා පනින්නීය.

"අනේ බං නැන්දේ කියාපන්කෝ බැංකුවක් කඩන්න. මේ හොල්මන් මාලිගාවේ රිංගවන්නේ"

"බැංකු වලට සල්ලි නැහැ බං. උන් වේලෙනවා. ඉස්කෝලේ මහත්තයාගේ පුතාගේ ලෝන් එකත් ඕන් හරවලා එවලා."

"එහෙනම් රත්තරන් බඩු සාප්පුවක්"

"එව්වයේ හොරු එන්නේ පෝලිමේ බං. තරගකාරී සමාජේ"

"අනේ මන්දා, උඹටත් හිතෙන එව්වා"

"මේන්න අයියේ අයිටම් ටික" කෙල්ල පත්තර වලින් එකතු කල කොළ මිටිය අතට දුන්නාය.

"දැන් මට මොනවාද දෙන්නේ උඹලා"

"විකුණලා තුනෙන් පංගුවක් දෙනවා" නැන්දා කියයි.

"හරි මට තුනෙන් පංගුවක් එපා. හයෙන් පංගුවක් ඇති. හැබැයි මට මේකයි මේකයි ඕනේ"

"අර මක්කටෙයි?"

"අයියේ මේක බොහොම පරණ එකක්. කාටද මේක දෙන්නේ?"

"හපොයි බුදු නංගියේ ඒක විතරක් අහන්නෙපා. ඒක මේ කතාවේ නැහැ හොඳේ"

"එතකොට අනික?"

"ඒක මට මෙට්ටේ අස්සේ තියා ගන්න. මේ දවස්සල මට ගේමක් සෙට් කරන්න එකෙක් ඉන්නවා. මේවා ඉතින් පෞරාණික බඩු නෙ. මුවාත් තිබ්බොත් කපතෑකි මස්කට් වගේ."

"හරි එහෙනම් වැඩේ සැට්. හෙට හවහට මෙතනටම වරෙල්ලා" නැන්දා සබාව විසිරෙව්වාය.

කාලය ඉගිල ගියේ වික්ෂිප්ත තිදෙනෙකුගේ අවිනිශ්චිත සිතුවිලි වල බලයෙනි. වේලාව පැමිණියේය. සුන්දරිය කළු තුන් කාලේ කලිසමත් කළු අත් දිග ටී ෂර්ට් එකත් දාගෙන ඔලුවේ කෙස්ස කළු රෙද්දක ඔතා ගත්තාය. ඉස්සුණු ලැම නොපෙනෙන්නට බඩ වටේට ඇතුලෙන් තුවායක් බැඳ ගත්තාය. චැලියේ නැගී ඉද්ද ගැසුවාක් මෙන් සීලවතී නැන්දලාගේ දිහාට පියාඹා ආවාය. සුන්දරීට චැලි පදින්නට ලයිසමක් නැති. ඒත් ඒ සන්දියේ තාත්තාගෙන් පුරුදු වූ තරමට ඒකිට හදිස්සියට කොහේ හෝ යාගත හැක. මේක අනිවාර්ය හදිස්සියකි. කොහොමත් පොලිසියෙන් ඇල්ලුවොත් ලයිසොමට වඩා දේවල් මාට්ටු වේ.

සුන්දරී අම්මට කිව්වේ නයනලයි දිහා යන බවයි. නයනාට කිව්වේ අම්මලා ඇහුවොත් එහි ආපු වගත් චුට්ටකට හන්දියට ගිය වගත් කියන්නට කියාය.

කොටිකැලයා ආගත නාගත කියවයි.

"උඹල ඕන් උන්නාන්සේලා පාරට බස්සලා තමයි නවතින්නේ"

"ඉතින් බං උන්නාසේලාට දානේ පුදන්නෙත් අපිමනේ"

"ඒ වුණාට උන්නාන්සේ ලා කැමති යැ ඔව්වට"

"ඔව් ඉතින් පොඩ්ඩක් පාරට බහියි, ඒත් මේ මුරදානෙට කියා වැටහෙයි මයේ පුතේ"

"උන්නාසේලා වැඩේ දිගටම අදීද?"

නැන්දා මොහොතක් සිතුවාය.

"හ්ම්ම්... උඹට ඇත්තම කියන්න උන්නාන්සේ ලා කොරන්නේ අහවල් කෙන්ගෙඩියක් ද කියලා තේරෙන්නේ නැහැ බං. පාරට බහිනවා නම් මදැයි කල්. ඔව්වා හිතන්න ගියොත් මේක කෙරෙන්නේ නැහැ"

"ඔය කිව්වට උඹ ඉතින් ලබන පූජාවටත් දෙනවා උන්නාසේලාට කතිරේ"

නැන්දා මොකුත් නොකීවාය. උන්නාන්සේලාට ඉතිරිව සිටින සුළු හිතෙසිවන්ත පිරිසෙන් නැන්දා පළවෙනියෙකි.

මේ මුළු වෙලාවේම සුන්දරී පාරේ ලයිට් ඒක යට මල්පත්තරේ කියෙව්වාය. "සපුමලී" පත්තරේ "මිහිරාණි" කතාව ඇය නොවරදවා කියවයි. ඇය එහි අභිෂේක් ට කැමතියි. ඔහු හැන්ඩියෙකි. ඒත් ඉතින් අද නම් චැලියේ දාගෙන යන්න වෙන්නේ මල මුස්පේන්තුවෙකි.

නුහුරු බිය මිශ්‍ර හැගීමකින් තෙසිත ම සසැලේ. මේවා පුරුදු වැඩ නොවේ. ඒත් හිත ඇත්නම් පත කුඩා ද? නාකි උපාසකම්මෙකුට, මල් පත්තර කෙල්ලකට හා ආතක් පාතක් නැති රස්තියාදු කාරයෙකුට අධි ආරක්‍ෂිත කලාපයත් කජ්ජක්ද? යටි හිත දිරිය ගෙනේ.

වෙලාවට කොටිකැලයා චැලියේ නැග්ගේය. කෙල්ල එය පණ ගැන්නුවාය.

"රත්නත්තරේ පිහිටයි. හැම දෙයියොම ආරස්සා කොරන්න ඕනේ" සීලවතී නැන්දා ආරස්සා ජීවම් කල තෙල් ඇබින්ද බැගින් දෙන්නාගේම නළලේ ගෑවාය.

"හප්පොච්චියේ කෙල්ලේ තව නූලෙන් අමතක වෙනවා" යන්න ඔන්න මෙන්න තියා නැන්දා කීවාය.

"මොකද්ද නැන්දේ?"

"ඇයි බං වන් වන් නයින් කාරෙක"

වන් වන් නයින් කාරෙක මාර කාරෙකකි. ඇමරිකාවේ නයිට් රයිඩරයා අනුගමනය කර හදා ඇති එය අපරාධ ඇල්ලීමේ රුසියෙකි.

"හරි නැන්දේ ඒක මං බලා ගන්නම්. මම කෝල් එකක් දෙනවා ඉස්සරහ ගේට්ටුව ළඟ සැක කටයුතු කෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඉස්සරහට එන්නේ නැතෑ. කොටි අයියා පස්ස දොරෙන් එන්න. මම ඉන්නවා එතන"

කෙල්ල සැහෙන්න දියුණුයි. නැන්දා ආඩම්බර වූවාය.

"හැබැයි ඔය මක්කා කොලත් අපි අහු වෙනවා කෙල්ලේ. අපේ පොලෝසියේ ඇහැ වහන්න කාටවත් බැහැ බං" නැන්දා සුසුමක් හෙළුවාය.

"ගෙදරට එන්නේ හොයාගෙන ඔන්න. උන්නැහේලා අල්ලන හොරකම් වල හැටියට මේකත් කජ්ජක්ද? ඕං එදාට පත්තර පිටු පිරෙයි අපි ගැන" ඇය ඔහේ කියවයි.

"මට ඒත් වාවගන්න බැරි මුර දානේ බං. ඒක දීල හිරේ ගියත් සැපයි"

කෙල්ල වැලි කලම්බා ගෙන සුදු පාට පරණ බිල්ඩිම සොයා ඉගිලුණාය.

පස්සා දොරෙන් කොටිකැලයා බිල්ඩිමට යවා හිමීට අයිනක නවත්තා ගෙන ඉන්නා ඇයට සිකුරුට්ටා පෙනේ. ඌ ගොරෝද්දේ අදිමින් බුදිය. මොකද්දෝ අරුම හීනෙක ඌ හිරවී තිබේ. හෙට ඕකා උගේ හීනේ දුටු හොරකම ගැන පත්තරේ පස්ස පිටුව පුරවනු ඇත. කෙල්ල සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තාය.

[සත්‍ය සිද්ධියක් ඇසුරින් නොවේ. නම් ගම් හා චරිත වෛකල්පිතයි. වඩාත්ම වැදගත් දෙයනම් ලේඛකයා ගේ සිතේ උපන් කල්පිතයක් වන මේ කතාව අතිශයින්ම අතාත්වික බවයි]

Thursday, July 19, 2012

කවුන්ටර් මාකටින්

නිවසක් කුලියට දීමට තිබේ.

"හෙලෝ... ඔයාලගේ ගෙදරක් කුලියට දෙන්න තියෙනවද ... ... හරියේ?" කාන්තාවක් අසන්නීය.

" ආ ඔව්"

"කියන්නකෝ විස්තර"

"කාමර තුනයි. .... .... ... ලොකු වත්තක්. ලස්සන නිස්කලංක හරියක්"

"මෙහෙමයි, අපි හොයන්නේ මේක බිස්නස් එකකට. ආයුර්වේදයක් දාන්න. අවුලක් නැද්ද?"

මට ඒ ගැන හරියටම නොවැටහේ.

"ඒ කියන්නේ මොන වගේ බලපෑමක් ද ගෙදරට වෙන්නේ?"

"නැහැ මොකුත් වෙන්නේ නැහැ. අපිට ඔයාලගේ කැමැත්ත විතරයි අවශ්‍ය"

"බලපෑමක් නැතිනම් මට අවුලක් නැහැ"

"අපි එන්නද බලන්න එහෙනම්."

"හරි අවුලක් නැහැ"

හමුවට කාල නීර්ණය කරගෙන දුරකථනය විසන්ධි විය.

පළාත ගැන නොදන්නා බව කියූ නිසා එන්නට කීවේ දුර බැහැර හන්දියකටයි. එතන සිට යන හැටි අනාගත කුලී කාරිය දැන හුන්නේ නැත. බස් විස්තර ද නොවැටහෙන බවක් කී නිසා ද මා ද ඒ මගෙහිම යන නිසාද ලිෆ්ට් එකක් දීමට අවසානයේ එකඟ වීමි.

කියූ තැන රිය නවතා විපරමින් බැලුවද ආයුර්වේද වෙදෙකු හෝ එවැන්නෙකු පෙනෙන්නට නැත. අවසානයේ නැවත ඇය ඇමතුවෙමි.

හිඳ ගෙන හුන් තැනින් නැගිට කෙල්ලෝ තිදෙනෙක් සිනහවතින් ආහ. තරුණ වෙද කෙල්ලන්!!! කළු, සුදු, පුෂ්ටිමත්, කෙසඟ විවිධ ස්වරූප වලින් යුතු සියල්ලෝම ජැන්ඩි පහට හැඳපැළඳ හුන්හ. නිවසට යන පාරට රිය හැරවීමි.

එකියකගේ ජංගමය නදදෙන්නට විය.

"හලෝ, හානේ ඔයා ගාලු ගිහින් ආවාද? ඔච්චර ඉක්මනට. නැහැ අනේ. මට තව පැය එකාමාරක්‌ විතර යාවි. ඉවර වෙලා කෝල් කරන්නම්" ඇය කීවාය.

"ඔයාල හොඳට බලන්න මෙතැන ඔයාලාට ගැලපෙන තැනක් ද කියා. මොකද අපේ ගේ ප්‍රධාන පාරට කිලෝ මීටරයක්‌ විතර දුර තියෙන්නේ." කුකුස විසින් සිහි කැඳවන ලද මගේ කවුන්ටර් මාකටින් චින්තනය අවදි වූයේ එලෙසිනි.

"අපි පත්තරේ නේ ඇඩ් එක දාන්නේ. අවුලක් නැහැ සර්" වෙනත් එකියක් කියයි.

සර්? මේ මට?

"ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඔයාගේ ගේ ළඟ බෝඩ් එකක් දානවානේ." කෙල්ලන්ගේ ලොක්කිය පවසන්නීය.

තවත් ජංගමයක් හඬ දේ.

"ඔව් ඔව් ඉන්න කියන්න. තව පැය දෙකක් යාවි. ඉන්න කියන්න"

මෙයාකාරයෙන් සුළු කිලෝ මීටර ගණනට බොහෝ දෙනෙකු කතා කළහ. කෙල්ලන්ට වැඩ අධික හවසක්‌ වගෙයි.

"පාර අයිනේ නැති උනාම ආයුර්වේදෙට ලෙඩ්ඩු එන්නේ කොහොමද?" තවත් කවුන්ටර් මාකටින් පාරක් කරමි.

"අපේ ඉන්නේ එකම කස්ටමර්ස් ලා. එයාලා පුරුදු උනාම එනවා"

"කොහොමත් ගොඩක් අය අරගන්නේ නැහැ අපි" ලොක්කිය පැහැදිලි කරයි.

"ඔයාලා කරන්නේ පාරම්පරික වෙදකම ද?"

"මෙහෙමයි. මේ ඔක්කොම පාරම්පරික තමා. පංච කර්ම කියන්නේ. වෙදකම එක්කම අපි සම්බාහන ක්‍රම එහෙමත් කරනවා."

"ආහ්, ඇත්තද?"

සුපැහැදිලි කරුණ බොරුවට විස්මයට නගන්නට වෙර දැරීමි. හරි නැහැනේ මම මේක කෙලින් කියන එක. උදේ ආපු එක්කෙනෙක් ඇඩ්වාන්ස් කරපු බව අද රෑට කියනවා. ඉවරනේ කේස් එක.

"මෙන්න මේක තමා ගෙදර"

කෙල්ලෝ මා පසුපස එති. නිවස පරීක්ෂා කරති. එකිනෙකාට කුටු කුටු ගාති.

"මේකයි වැඩේ. මෙතන රෙසිඩේන්ෂල් තැනක්. ඔයාලාට පාඩුයි"

මම තවමත් උත්සාහ කරන්නේ ආපසු හැරෙන්නටයි.

"ඒක අපිට අවුලක් නැහැ. අපිට මේ වගේ දුර තැනක් තමා හොඳ. අනික මේ වත්තත් තියෙනවා එතන වෙයිකල් ඔක්කොම දාන්න පුළුවන්." ලොක්කි කියන්නීය.

"මෙහෙමයි සර්, අපේ කස්ටමර්ස් ලා කැමති නැහැ එයාලගේ වාහන කවුරුවත් දකිනවට. ඉතින් පාරේ තියන්න බැහැ"

"මෙතන හරියටම හරි තැන"

අනික් කෙල්ලෝද කියති.

කෙලින්ම කීමේ අපහසුව නිසා මම ඉවසා උන්නෙමි.

"මේ පැත්තේ තාප්පේ පාතයි මැඩම්"

යාන්තම් කොස්සක් හසු වී.

"එහෙ කවුද ඉන්නේ"

"අපේ හිතවත් ම පවුලක්"

"එ ගොල්ලෝ කැමති වෙයි ද මෙතන ආයුර්වේදයක් කරනවට"

"මම දන්නේ නැහැ. අහන්න ඕනේ"

ලොක්කි මැඩම් මා දිහා රවා බලයි. තමුසෙට තේරෙන්නේ නැද්ද ඕයි. මැඩම් ලා සැරයි.

"මේකයි අයියේ, අපේ කස්ටමර්ස් ලා ඇතුලට ගන්නේ ටවල් එකේ. ඉතින් අර කට්ටියට ඒක පේනවනේ."

"අනික පිරිමි කස්ටමර්ස් ලා විතරයි එන්නේ. මේක කරන්නේ අපි ගර්ල්ස් ලා සෙට් එකක්. ඉතින් මේල් අය විතරයි නේ එන්නේ."

කෙල්ලෝ ලොකු කළු ලෑල්ලේ තඩි පොල් ගෙඩි අකුරින් ලියා කියා දෙති. මේ වගේ දෙයක් තේරුණු බව මෙයාලට තේරුම් කරන්නේ කොහොමද?

"ඒක තමා මම කිව්වේ මෙතන හරි යන එකක් නැහැ කියා"

තරමක නිහැඬියාවකි.

"ඒත් අනික් ඔක්කොම ගානට ගැලපෙනවා. අපිට පිටි පස්සෙම පාකින් හදතැකි. එතකොට පේන්නෙම නැහැ."

"මම කියන්නම්, ඔයා එයාලගෙන් අහන්න. කෙලින්ම කියන්න පංච කර්ම මසාජ් කරන තැනක් කියලා. ඔයා හෙට උදේ කියන්න. අපි ගන්න කැමතියි" ලොක්කි මැඩම් තීන්දුව දුන්නාය.

"ඔයාට බැරිද තාප්පේ උස්සලා හදන්න?"

"අම්මෝ හෙන ගානක් යාවි. මේ දවස් වල වෙන වැඩ ගොඩකුත් හිර වෙලා" මම වහා කීවෙමි.

අන්තිමේදී කෙල්ලන් තිදෙනා නැවත පෙර හුන් තැනටම හැරලන්නට මට සිදු විය.

අපරාදේ කිසිම හෙට්ටුවක්‌ නැතුව සෙට් උන ටෙනන්ට්ස් ලා. ඔන්න ඔහේ හෙට උදේම බැහැ කියනවා, එන ගමන් හිත සැහැල්ලු කර ගත්තෙමි.

---------------------------------

ප.ලි. [දිග ප.ලි.යක්]

"හෙලෝ මේ කතා කරන්නේ අර ඔයාලා ඊයේ බලන්න ආපු ගෙදරින්"

"අර .... ගෙදරද?"

"ඔව් ඔව්"

"මෙහෙමයි ඇත්තම කිව්වොත්..."

"කියන්න"

"මම මේක ගෙදරත් කතා කළා"

"හා"

"අපි අහල පහල අයත් ගැනත් කතා වුනා."

"ඉතින්"

"මේකයි සීන් එක"

මේ වනවිට සැහෙන්න ලොකු වලක් මහපටගිල්ලෙන් හාරා තිබුනද තවම කියන හැටි නොතේරේ.

"කියන්න කියන්න" එයාට මාර බිසී ද කොහෙද?

"දැන් ඔයාලා කරන්නේ හරිම හරි ආයුර්වේද මසාජ් ම වුණාට..."

"ඔව් ..."

"දන්නවනේ අද කාලේ හැටි. ඉතින් ඒකයි මං කල්පනා කලේ"

"ඔයාගේ නේබර්ස් ලා අප්සෙට් යනවනේ නේද? ඔව් අපිත් ඕක ගැන හිතුවා. අපිටත් බිස්නස් එකට ප්‍රශනයක් කරගන්න ඕනේ නැහැනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අපි වෙන ගෙයක් හොයා ගන්නම්"

"ඒක තමා මම කියන්න හැදුවෙත්"

"හරි හරි අවුලක් නැහැ. එහෙනම් බොහොම ස්තුතියි"

"ඒක තමා... මොකද ඔයාල කොච්චර හරියට කලත් අදකාලේ ..."

දුරකථනය විසන්ධි විය.

Thursday, February 2, 2012

චතුරශ්‍රය

ඔහුට ඇය මුණ ගැසුනේ අහම්බෙනි. සෙනග තෙරපෙන බස් රථයට ගොඩ නැගුණු මොහොතේම අසුනක් හිස් වී හිඳ ගන්නට ලැබීම පවා සිකුරාදා ගම බලා ඇදෙන කෙනෙකුට ලොකු අහම්බයකි. අසුනේ හුන් සිහින් දිගු දෑස දුටුවේ තවත් කිලෝමීටර කිහිපයක් ගිය පසුවයි.

දහදිය ගඳ ගහන දවසේ මහන්සියෙන් අවුල් වුනු මිනිසුන් ගැහැණුන් අතර, නොයෙක් ආලේපනයෙන් පැහැබර වී සුවඳවත් වී හුන් ඇය ඔහුට පෙනුනේ රණමොනරියක් ලෙසිනි. බැලුම් සිනහ වී
, සිනහ කතා වී, කතා කෙඳිරිලි වී මුවට මුව ලං වන්න ගතවුයේ ද තවත් කිලෝ මීටර කිහිපයක් ම පමණි.

ඔහුට ඇය අතිශයින් ම ප්‍රසන්න කෙල්ලක යයි සිතුනි. ඇය ඔහුගේ උණුසුමෙන් මන්මත් වුවාය. දෙදෙනාගේ සල්ලාපයෙන් තුටු වූ බසය පසු අසුන හිස් කර බලා හුන්නේය.

"අපි යමු ද
?" ඔහු ඇසුවේ නැත. ඇය ද ඇසුවේ නැත. පසු අසුනට නැගිට ගියේ කතා බහකින් ද තොරවයි. සිහින් හිනාවක් පාගෙන බසය නැවතත් ගමන් ඇරඹීය.

වසර කිහිපයක් පෙමින් වෙලී හුන් යුවලක් සේ ඔවුන් පෙනුනි. ආදරයට කවදත් පොදු ගැරහුම් ද ඇතැම් සිතකට එන්නට ඇත. එහෙත් ඒ වනවිට ඔවුන් සිටියේ බසයේ නොවේ.

වරෙක සොඳුරු දිය ඇල්ලක සීතල මිහිදුමකින් ඔවුන් වෙලා ගැනුනි. ඈ ඔහුට ගුලි වූවාය. තවත් වරෙක පෙම්වතුන්ටම වෙන්වූ අනාගත උද්‍යානයක ඔවුහු තනිවූහ. ඔහු ඇයව පිරිමැද්දේය. සීමා මායිම් බිඳී  විවිධ ප්‍රේමාලිංගනයෙන් ඔවුහු මත් වූහ. බසය දෑස් පියාගෙන පෙරට ඇදේ. ඇතැම් සිත් ඔරවාගෙන අහක බලා ගනිති. එහෙත් ඒ බව දැනෙන්නට ඔවුන් බසයේ නැත.

ගතවූ ඒ දෙපැය තුල කතා නොකළ දෙයක් නැත. නොසිතු ආදර හැඟීමක් නැත. නැවුම් බව මෙන්ම හිතාදර බවත් ඒ පුංචි කැදැල්ලේ තිබුණි.

තම ආයතනයේ ගැටළු ගැන ඔහු ඇයට කීවේ දශකයක් ජීවිතය බෙදා ගත් සහකාරියකට කියන්නාක් මෙනි. තමන්ට අම්මා විවාහ යෝජනා ගෙනෙන සැටිත් තමන් ඒවා අවලාදයෙන් ඉවත දමන සැටිත් ඇය කීවේ උපහාසයෙනි. තමන් තවම විවාහ වෙන්න සිතා නැති බවත්, ජීවිතයට විවාහය අත්‍යාවශ්‍ය ද යන්න තවමත් සිතන බවත් ඔහු දාර්ශනිකව පැවසීය. තමන් කැමති ඒ වගේ කොල්ලන්ට බව ඇය විවෘතවම කීවාය. නූතනයේ සුළඟක් කවුළුව අතරින් විත් ඔවුන්ගේ සුවඳ ගෙන පිටව ගියේය.
බසය ගමනාන්තයට ලඟා විය.

ඔහු ඇයට සමු දුන්නේ දුරකථන අංක හුවමාරු කර ගනිමිනි. ඇය ඔහුට දුන් ප්‍රේමවන්ත සමුදීම පළමු දිනයකට වඩා බොහෝ සමීප වූවකි. ඇය නොපෙනී යන තුරු ඔහු බලා හුන්නේ ප්‍රේම වියෝගය පිරුණු දෑසින් බව හැරී හැරී ගිය ඇය සිතුවාය.

අනෙකා තමන් ගැන ආලයෙන් මත් වී ඇතැයි දෙදෙනාම සිතූහ.


++++++++++++++

ඔහු ආපහු හරවා එන එම බසයටම නැග්ගේ බැසිය යුතු තැන පසුවී බොහෝ දුර බැවිනි. ජීවිතය ආයෝජන සමූහයක්. කාර්යාලයෙන් එන විට ඔහුට සිතා තිබුණි. ජීවිතය ඇත්තේ විඳින්නයි කියා දැන්  ඔහුට සිතේ. වසරක දෙකක වින්දනයට ආයෝජනයක් සිදු කරන්නට යෙදුනු බැවිනි.

"
හරියට වැඩ තිබ්බා. සිකුරාදානේ" ගෙට ගොඩ වෙන ගමන් ඔහු බිරිඳට පැවසීය.

"
ඔය වැඩ කරන තරමට ඔයාට ප්‍රොමෝෂන් එකක් දෙන්නැති එක හරි අසාධාරණයි" බිරිඳ  පැවසුවාය. .

++++++++++++++
ඇය පැමිණියේ ත්‍රීරෝද රියකිනි. ඇයට ද ඔහුට මෙන්ම බහින තැන අමතකව ගොස් ඇත. ගෙට ගොඩ වී මොහොතින් නාන කාමරයට වැදුනේ මුවගට නැගෙන සිනහව සඟවා ගන්නටයි.

කන්නාඩියෙන් ඇයට ඇගේ රුව පෙනේ. පුංචි කොල්ලන් දැලේ වැටෙන තවමත් නොවැහැරුණු ලාබාල පෙනුම ගැන ඇය තුටු වූවාය.

"
අද ඕකෙන් එන්නේ නැද්ද?" රූපවාහිනියේ ක්‍රිකට් තරගය බලමින් හුන් සැමියා පැමිණ ඇගේ සොඳුරු දැහැන බිඳින ලදී.

++++++++++++++

තවත් දවසක තවත් තැනක තවත් ආදර කැදැල්ලකි. තවත් අහම්බයක් පමණක් නොව දෛවයේ අපූර්ව සරදමක් ද වූ ඒ හමුව මතු දිනයක සම්පුර්ණ වනු පිණිස ආදර චතුරශ්‍රයේ කොටසක් කලකට පෙර ම අඳින ලදී.

"බිරිඳ" "සැමියා"ට  ගුලි වූවාය. මේ කාමරය ඔවුන්ට හිමි වූවක් නොවේ. එයට ගෙවා ඇති කාලය නිමා වෙන්නට නියමිතයි. කලක් තිස්සේ සිදුවන ඔවුන්ගේ තවත් එක හමුවක අවසානයත් ලං වී ඇත.

"
වෙලාවකට මට වයිෆ් ගැන දුකයි" වරදකාරී හඬකින් "සැමියා" පැවසීය.

"
එයා මාව ඉම්ප්රෙස් කරන්න ගන්න මහන්සියක්. ඔෆිස් එකෙන් එලියට එන්නෙත් මේක් අප් දා ගෙන රූප රාජිනියක් වගේ"

"
බිරිඳ" ද සුසුමක් හෙළුවාය.

"
අනේ පව් අපේ හස්බන්ඩ් නම් කෙල්ලෙක් දිහාවත් බලන් නැතුව ඇති. එයාට මාරෙට වර්ක් මෙයා. ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. වහලෙක් වගේ වැඩ"

[පෙබරවාරි  03 දිනමිණේ "කෙටිම කෙටි කතා" තීරුවේ පලවූ කතාවකි. ස්තුතිය කාංචනාට]

[කතාවට වස්තු විෂය සැපයු බස් සෙක්ස් ගැන කියා දුන් පෝස්ට් හා කොමෙන්ට් ලියු හැමට "අති විශේෂ ස්තුතිය" හිමි විය යුතුය]

Friday, October 7, 2011

Beyond the Rock

There is a big Rock out there. Nobody ever reached it, because the terrain between us and the rock has not been manageable for our folks. The rock covers a great range of the panorama and we don't know what is there behind it.

Since we are unable to physically trek the terrain, there are so many people trying out different ways. Some try to meditate and send their hyper-physical mental footprint over the rock to see what is beyond. Some say that every night they view beyond the rock in their dreams. Another thinks at times some unknown force whispers about what is beyond the rock, for him being privileged to hear that. Also there are people who think that if they close their eyes and concentrate, they really can see it through the hard rock.

And there were scenes unfolding. Dorenjo has seen a shadow of a tail appearing in a side of it - a tail of a crocodile - and he thinks that there lives a big crocodile. Harp saw the trunk of an elephant in one blink of an eye and "it is a big elephant", he debated. Jintil heard a roar of a lion, at a time he was drunk very much. Each of them believes in their experience. Everyone thinks that what is beyond the rock is what either they experienced or their trusted buddy did.

But sadly, the rock is not in clear sunlight. It is covered in a blur of mist. Under the common enigmatic gloomy skies in this part of the world anything can be seen or imagined.

And they debated, quarreled and even fought wars to prove that it is Crocodile, Elephant or the Lion. They captured other's territory, put the inhabitants to the sward to accept it, or die. Some of them dressed in much civilized clothes and spent years traveling around explaining what - as they think - is beyond the rock, hence drawing many to believe it. When Dorenjo passed away, his descendants brought his diary and stated how clearly Dorenjo and his contemporary clan has written the eye-witness record of Crocodile, and hence that their belief is correct.

Later appeared another group that says that neither of the tail, trunk and roar are enough reasons to guess it. Yet they find no answer to explain what is beyond the Rock. Some even say, provided that we manage the terrain by any means, beyond the rock will be another bigger rock covering what is beyond - in fact a whole series of infinite rocks. And you will never experience or comprehend what is beyond.

Someone is suggesting that crocodile, elephant and lion must be living in harmony, and hence we also should. It is a sweet idea, hence all like to follow, but everyone is finding it hard to believe how the three animals co-exist at one place. And then another one states that it is a peculiar animal with tail, trunk and roaring power, called a Croco-Ele-Leo, which all the other parties consider as serious blasphemy.

There exists a knowledge base and derived technology which helps us to understand our local terrain and make our lives easy. Some people extend its logical horizon to interpret this unknown territory from what they know, hence deriving assumptions. Some debate that the role of the knowledge and technology is to find a way to cross the terrain and find out what is beyond the rock.

Sometimes I feel that we should have ignored the Rock altogether and got on with our daily life. But then most folks are unable to find a cause for the life - a reason why we are here, or the moral values of our life. Most of the folks find that life becomes void and hollow if not for the Rock. Hence some call what is Beyond the Rock as inspiration, cause, meaning, etc whereas some others call it addiction, craze or a mental virus.

One fine day, I dreamt a weird nightmare, which I could not understand. I consulted the educated people, and they gave me very different interpretations always mapping to Crocodile, Elephant, Lion or some other hypothesis previously known to them, after which my puzzle just deepened. Following is that nightmare, somebody please explain this if possible.

[as per the dream...] "Finally we developed what it takes us to the Rock. And when we reached there we saw something which is beyond our every expectation. Beyond the Rock lived another group of species separated from another tough terrain, hence equally puzzled of what it is behind their side of the rock. And hence believing, fighting, killing, preaching and debating just the same."

Sunday, October 2, 2011

විප්ලවය

අනෝරා වැස්ස යන්තමින් තුරල් වී ඇති සෙයකි. රත්නප්‍රිය කුඩය ද ඉහලා ගෙන පය ඉක්මන් කළේය. තෙමීමෙන් පිළිවෙල අවුල් කර ගත නොහේ. එහෙත් සම්මේලනයට තව ඇත්තේ පැය කිහිපයකි. යා යුතු දුර බොහෝය.

රත්නප්‍රිය මේ ගමනට දින කිහිපයක පටන් සූදානම් විය. තියෙන හොඳම කලිසම හා කමිසය අබලන් අල්මාරියෙන් එලියට ගත් ඔහු හීනි ඉරක්වත් නොනගින සේ ඒවා යෙහෙන් මැද ගත්තේය.  වෙනදාට අල්මාරිය යට කැරපොත්තන් එක්ක තනි රකිනා පොල්කටු ඉස්තිරික්කයට එලි පහලියට එන්නට ලැබෙන මෙවැනි අවස්ථා සීමිතය. කොටින්ම බාබුලාගේ කඩෙන් ඉස්තිරික්කයට පොල්කටු ගෙනාවෙත් රත්නප්‍රිය යි. වෙනදා ඔහේ රූරා වැටෙන රැවුල් කොන් කපා, වසරක් පුරා වල් බිහිවූ කොණ්ඩය හන්දියේ බාබර් සාප්පුවෙන් කපා ගෙන පිළිවෙලක් වූයේ ද උදක් ම මේ ගමනටයි.

දැන් දැන් රැවුල බොහෝ සෙයින් ඉදී ගොස්ය. අඩ සියවසකටත් වැඩි ඉතිහාසයක් හිමි කොණ්ඩය ඇතැම් තැන් වල අවතැන් වී ඇත. රත්නප්‍රිය පනාවෙන් හිඩැස් පියවා ගන්නට යත්න දරයි.


ගුණවතී  මැණිකේ මේ අමුතු පිළිවෙල දකින්නීය. "පුතාගේ වැඩ කටයුත්තක්" ඕ තමාටම කියා ගන්නීය. පුතා මේ විදිහට වැදගත් වැඩ කටයුතු වලට  යනවාට ඇය කැමතියි. රැකියාවක් නොකරන රත්නප්‍රිය දේශපාලනය කරන්නේ යයි කියයි. එහෙත් ප්‍රසිද්ධ ක්‍රියාකාරකමකට ලෙහෙසියෙන් සහභාගී නොවන ඔහු බොහෝ විට කරන්නේ කාමරය පුරා අරක්ගෙන සිටින අපිළිවෙලට ගොඩ ගැසූ පොත් ගොඩින් එකක් ගෙන අඳුරු මුල්ලක හිඳ කියවීමයි. එහෙමත් නැතිනම් පුල්ස්කැප් කොලවල මොන මොනවදෝ කුරුටු ගාමින් තැපෑලට දැමීමයි. "ඔහොම හිටියට ළඟදීම කවුන්සිලේ" ගුණවතී  මැණිකේ සුභවාදීව සිතන්නීය.

"ඔහොම හිටියට රස්සාවකුයි පරස්සාවකුයි හරි යන්නේ නැතෑ" කලකට පෙර මෙලෙසින්ම ඇය රත්නප්‍රිය ගැන සිතුවාය.


මොකවත් හරියන්නට ඒ වෙනුවෙන් මහන්සි විය යුතුය. නොසොයන්නාට නොසම්භ වේ. නුවුවමනා නම් ලැබුනාට ද පලක් නැත. අද නිකම් ගෙදර උන්නාට රත්නප්‍රිය උපාධිධාරියෙකි. රස්සා කාඩ් තිබූ, රස්සා බැංකු තිබූ යුගයක ධීවර සංස්ථාවේ කාර්යාල නිළයක් ඔහුට අටවා දෙන්නට පොඩි රාලහාමි සමත් විය. එහෙත් ඔහුගේ අභාවයත් සමගම රස්සාවට ආයුබෝවන් කියූ රත්නප්‍රිය ගෙදර නතර විය. 

ගුණවතී මැණිකේ එතරම් කලබල වූයේ නැත. පුතා ගෙදර නතර වූ බවක් ද ඒ හැටි නොපෙනුණි. රස්සාවට නොගියාට මනාව හැඳගෙන උදෙන්ම පිටවන ඔහු ගෙදර එන්නේ රෑ දෙගොඩ හරි ජාමෙටය. ඉඳහිට ගෙට ගොඩ වන රැවුල් කාරයෝ කාමර මුල්ලේ කටු කුටු ගාමින් හිඳ පිටව යන්නේ පසුදා පාන්දරය. කාර්යාල පෙනුමින් විවිධ ලාංචන සහිතව ලියුම් ඔහු වෙත ලැබේ. පුතාගේ විරෝධාකල්ප දේශපාලනය ගැන ඉවක් දැනුනත්, දකුණේ වමට බර චින්තනය තුල ඕ එහි වරදක් නොදැක්කාය. මේ හරියේ ලේ ටිකක් වැඩිපුර රතු පාටය.


පුතා කිසියම් වැඩක නිරත වීම ඇයට යම් සතුටක් ගෙන දුනි. "පක්ෂ පූර්ණකාලිනයෙක්" ඔහු ඔහුවම හඳුන්වා ගත්තේය. මෙහි නිරවද්‍යතාවය සෙවීම හෝ අවබෝධ කර ගැනීම ඇයට අපහසු වුවත් පුතා තම විශ්‍රාම වැටුපේ පූර්ණකාලීන යැපෙන්නෙකු වීම මේ බර සාර වචන වලට හිලව් විය.


"ඔය නිකම් ගෙදර උන්නට මිනිහා බී ඒ කාරයෙක්" කඩ පිලේ උන් කියනු ඇයට විටෙක ඇසේ. "එයා දැන් පක්ෂේ වැඩ නේ" ඇය බර කර කියන්නීය. මෙයට ප්‍රති උත්තර දෙන්නට කිසිවෙකු නොපෙළඹෙති.


පුතාටත් තමන්ටත් ජීවත් වෙන්නට වත්ත පිටියේ ආදායමත් පැන්ෂන් පඩියත් ප්‍රමාණවත් ය. "හෙට අනිද්දා හොඳ දෑවද්දක් එක්ක කාව හෝ කසාද බන්දලා දෙන්නට පුළුවන්."  ඇයට ඒ කාලේ සිතුනි.

සිතුවා  පමණක් නොවේ, ඇය මේ ගැන මගුල් කපුවන්ට ද කීවාය. "ඉඩ කඩම් ඔක්කොම එයාටනේ. අනික ඔය දරුවට රස්සාවක් හොයා ගන්න බැරි කමක් කියලද?" එහෙත් මේ කිසිවකට එන්නේ රත්නප්‍රිය නොවේ. 


"අද දවසේ අපට තියෙන වැඩ කොටස ඕක නොවෙයි සහෝදරයා" අම්මා ට කෙලින් කියන්නට බැරි කම නිසා මාමාගේ පුතා ලවා මගුලක අවශ්‍යතාවය කියවූ විට රත්නප්‍රිය කිව්වේ එහෙමයි. "මගේ අනාගතය මං කැප කරලා තියෙන්නේ සටන වෙනුවෙන්"


මොන සටනක් ද? චන්ද කාලෙට රැස්වීම් තියනවා මිසක් ඒ කාලේ කල වෙනත් සටනක් නැත. මේ රත්නප්‍රිය ලාගේ දේශපාලනයේ රොමැන්තික සමයකි. උපන් ගෙයි මල විප්ලවය ජනයාට අමතක වී ගොසිනි. හිර ගත වූ නායකාදින් එලි පහලියට බැස ඇත. ඔවුහු ගම් දනව් වල රැස්වීම් වලට එති. ඒවා සංවිධානය කරන්නේ රත්නප්‍රිය ලා ය. වෙනසක් සමාජගත කරන්නට යත්න දරන මේ අය ඒ වෙනුවෙන් බොහෝ කැපවෙති. බත් පැකට්ටුවට මිනිසුන් ගෙන්නන සිරිතක් ඔවුන්ට නැත. පොරොන්දු දේශපාලනය ඔවුන්ට වහ කදුරුය.


"අද මේ රටේ දුප්පත් මිනිහට කන්න නැහැ. අරයා දෙනවා කිව්වා හඳෙන් හරි හාල්. අන්තිමට අපි නොමැරී උන්නේ බතල මයියොක්කා කාලා. මෙයාට දුන්නා කියලා වෙනසක් උනාද සහෝදර වරුනි?" රත්නප්‍රිය අසයි. පිට්ටනිය ළඟ තාප්පයේ හිඳගෙන අසන්නෝ සාවධානව ඇහුම් කම් දෙති. රත්නප්‍රිය චතුර ලෙස කතා කරයි. ගැඹුරු කරුණු ග්‍රහණය නොවනු ඇත. කතාව කල යුත්තේ මතු පිටිනි.


"...අන්න ඒකයි අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ" දිගු පැහැදිලි කිරීමකින් පසු ඔහු තාවකාලික සමාප්තියකට යොමු වේ. අසන්නෝ කිසිත් නොකියති. මේ පක්ෂ කේඩරය නොවේ. රත්නප්‍රියගේ ඇවිටිල්ලට විස්තර දැන ගන්නට පැමිණි  කොලු කුරුට්ටන් පිරිසකි. මේ තාරුණ්‍යය ජව ගැන්වීමෙන් මිසක සටන දිනිය නොහැක. විශේෂයෙන් ම චන්ද සටන දිනිය නොහැක.


එසේ එක්රැස් වූ තරුණ ජවයෙන් ඔහු රැස්වීම් සංවිධානය කළේය. පාක්ෂිකයන්ට වඩා මේවා පිරවුයේ කුතුහලයට එහි ආ තාරුණ්‍යයයි. ඔවුන්ගෙන් සමහරුන් මින් ඔබ්බට ගෙන ගොස් දේශපාලන බෞතීශ්මය ලබා දෙන්නට ඔහු සමත් විය.


කරුණාපාල එවන් එකෙකි. සමුපකාරේ ටැම්පරිය කරගෙන ඉන්නා තරුනයෙකු වූ ඔහු, රත්නප්‍රියගේ රැස්වීම් වලින් පැහැදී විප්ලවයේ මගට පිවිසියේය. මේ කාලේ රත්නප්‍රිය තරමක සංවිධාන වගකීම් දරා හුන් බැවින් පහල පෙලේ කටයුතු වලට ඔහුගේ සහයට කරුණාපාල බෙහෙවින් උදව් වුයේය. "රත්නේ මහත්තයා" කියා ඇමතු එකම සහෝදරයා ඔහුය. සිය පියාට දැක්වූ වැඩ වසම් ගෞරවය එහි තිබීම නිසා රත්නප්‍රිය අකමැත්ත පෙන්නුවත්, කරුණාපාල එය වෙනස් කර ගත්තේ නැත. කරුනාපාලට විප්ලවය යනු රත්නේ මහත්තයා දන්නා දෙයකි. එහෙත් ස්ථිරවම කල යුතු දෙයකි.

සියල්ල උඩු යටිකුරු වන්නට ගත වූයේ දින කිහිපයකි. රටපුරා රුදුරු ජාතිවාදී කලබල පැතිරුණි. රත්නප්‍රියලාගේ ගමෙහි කිසිත් සිදු නොවුවද පත්තර වලින් හා ගුවන් විදුලියෙන් දැනුන පරිදි රට තිබ්බේ අරාජිකත්වයකයි. අහිංසක මිනිසුන් මහා මග පුළුස්සා දැමුණි.


ඒ සමගම මෙතෙක් අහිංසකව දේශපාලනය කරගෙන ආ රත්නප්‍රිය ලා එක රැයින් අව නීතික ත්‍රස්ත රැලක් ලෙස හංවඩු ගසන ලදී.

"උඹට අගේට කරන් කන්න තිබ්බ රස්සාවත් දාලා ගියේ" ගුණවතී මැණිකේ අවලාද නැගුවාය. "දැන්වත් ඕක නවත්තාපන්"

"අම්මේ මේ සටනට එන බාධක බොහොමයි. මේක සුළු දෙයක්. අපි මේක දිනනවා ස්ථිරයි" වෙනදා දහවලේ ප්‍රසිද්ධියේ දේශපාලනය කල රත්නප්‍රිය ක්‍රමයෙන් නිශාචර රහසිගත දිවියකට හුරු විය. පොලිසිය එම නිවසේ කාගේත් බිල්ලා බවට පත් විය. වරෙක දෙකක ප්‍රශ්න කිරීම් හා තාඩන පීඩන වලට ලක් වූ පසු ඔහු නිදහස් කෙරිණි. එහෙත් එන්න එන්නම රටේ තත්වය තවත් නරක අතට හැරෙමින් පැවතුනි.

"ජයපාල මාමා දන්න මහත්තයෙක් ඉන්නවා සවුදියේ. උඹව එව්වොත් ලොකු තනතුරක් දෙන්න පුළුවන් කිව්වා" කෙමෙන් වියපත් වන මව ගමන් මහන්සි හරිමින් කියන්නීය. ඇය දුර බැහැර ඉන්නා ඥාතියෙකු හමුවට ගියේ දිනෙන් දින වැඩිවන පුත්‍රයාගේ ජීවිත අවදානම නිසාවෙනි. වැඩි වියට පත් දුවකටත් වඩා පුතෙකු සුරැකිය යුතු යුගයක් එළඹෙමින් තිබිණ.

කෙමෙන් ගෙදරින් එල්ල වන පීඩනය හා අන්ධකාරයත් එක්කම හිස ඔසවන මරණයේ චායාව හමුවේ රත්නප්‍රිය යමක් කල යුතුව ඇත. අම්මා දෙන විසඳුම තම දේශපාලන දිවියේ අවසානයි. "සටන" පටන් ගත්තේ මෙලෙසින් අතහරින්නට නොවේ. දිවි හිමියෙන් පවත්වා ගන්නටයි.

"මාව පක්ෂෙන් රට යවනවා"

"ඇත්තෙයි" වියපත් අම්මා ඇසුවාය.

"ඔව්"

"කොහෙද?"

"ඒවා රහස්"

"වෙන කොහෙද රුසියාවට වෙන්ටෑ"

රත්නප්‍රිය කිසිත් කීවේ නැත.

ටික දිනකින් ම අම්මාගෙන් සමුගෙන අන්ධකාරයේ ඔහු අතුරුදන් විය. පුතා රට ගිය නිසා අම්මා සැනසුම් සුසුමක් හෙළුවාය. ගුණවතී මැණිකේ විසල් ගෙදර තනි වුනාය.

එදා පටන් උන්නු ගමේ මහා ලොකු තනියක් නම් නැති. අහල පහල අය දුක සැප බැලූහ. වත්ත පිටියේ වැඩ කුලී කාරයින් දමා කෙරුණි. කොහොමත් රත්නප්‍රිය උන්නු කාලෙත් මේවා ඉටු කලේ ඔවුන් විසිනි. රට ගිය පුතා නිතර ලිපි එවමින් අම්මා දැනුවත් කළේය. එහෙත් ඒ සෑම ලිපියක් ම පාහේ ලංකාවේ තැපෑලෙන් තැපැල් කල ඒවා වීය. වෙනස වුයේ තැපැල් කන්තෝරුව වෙනස් වීම පමණි.

පුතා නැති පාලු ගෙදර අම්මාට පෙනුනේ අන්ධකාරය විසින් වෙලා ගන්නා බවයි. ඊට පිටින් මුළු රටම දැවැන්ත අන්ධකාර භීෂණයකින් වෙලා ගති. රත්නප්‍රිය වැනි කොලු කෙල්ලන් ටයර් මත මිය යද්දී පොඩි රාලහාමි වැනි පළාතේ නම ගිය මිනිස්සු නාඳුනන තුවක්කු වලින් වෙඩි කා දනිස්සට පහලින් එල්ලී අවසාන ගමන් ගියහ. පුතා නම් දිගටම ලියුම් එවන බැවින් අම්මා මේ ගැන එතරම් බිය වූයේ නැත. "මේ රටෙන් ඔහෙට එන අය අතේ එවන්නේ තැපැල් ගාස්තුව අඩු කරන්න" රත්නප්‍රියට ඕනෑම දෙයක් පැහැදිලි කළ හැක. අම්මා කාටවත් හසු නොවන සේ ලිපි පුළුස්සයි.

මරණයේ ගොම්මන් චායාවෙන් පටන් ගත් භීෂණ රාත්‍රිය රුධිර ගංගාවක සලකුණු සමග අහවර විය. දැවැන්ත ජීවිත හා දේපොළ විනාශයකි. දෙපැත්තේම ලොකු ලොක්කෝ බොහොමයක් මිය පරලොව ගියහ. උන්ගේ අණ පනත් යට පොඩි සොක්කෝ නොගිනිය හැකි තරම් විශාල ගණනින් වැනසුනි. වනයේ නීතියෙන් ඇරඹු සටන වනයේ සම්මතයෙන් සමාප්ත විය. රත්නප්‍රියගේ  පාර්ශ්වයේ සියලු නායකත්වය සුන්නද්දුලි වී තිබුණි. සාමයේ ඉර පායා ආවේ මරණයේ ලේ උණුහුම සමගයි.

අම්මාට දිගටම ලිපි ලැබේ. රටේ තත්වය සමනය වූ විට පුතා ඉක්මනින් එන බවක් කියවේ.

මුලින්ම රත්නප්‍රිය ආවේ ගියේ රෑ පානේ ය. පසුව කෙමෙන් එය සාමාන්‍ය සිද්ධියක් විය. තවත් එක දවසක ඔහු නැවත ස්ථිර පදිංචියට පැමිණුනි. අම්මා බෙහෙවින් ම තුටු වූවාය.

"ඔය හැත්තෑ එකේ එවුන් ඉන්නේ අගේට කසාදයක් එහෙම බැඳලා" කඩේ මුදලාලි කියයි. "මිනිහට වෙන මොකුත් ඕනේ නැහැ. ටියුෂන් එකක් දා ගත්තනම් ඇති. ඉන්ග්ලිෂ් කාරයෝ නේ".

අලුත් බලාපොරොත්තු අම්මාගේ හිතේ මෝදු වේ. තවම හතලිහයි. කසාදයක් කර ගන්නත් ගැටලුවක් නැහැ.

"මේක මගේ පුද්ගලිකත්වය ගැන ප්‍රශ්නයක්. අම්මට අයිතියක් නැහැ මට බල කරන්න" මුරන්ඩුභාවය එන්න එන්න ම වැඩි වේ.

"හප්පා මං අහ ගත්ත හරියක්" මුදලාලි පවසන්නේ සිනහ සෙමිනි. "සුළු ධනේශ්වරයා කියලා මටත් බැන්න. අපි හදන්නේ කසාදයක් කරලා දීලා එයාගේ විප්ලවය අවුල් කරලා මේ ක්‍රමය දිගටම තියා ගන්නලු" ගුණවතී මැණිකේ නෑසුනා සේ උන්නාය.

"මිනිහ දැන් ඉස්සරට වඩා ගුප්තයි නේද? මොන විදිහේ වැඩකට ලක ලැහැස්ති වෙනවද දන්නේ නැහැ"

"වෙන මොනවාද? දැන් ඒ මිනිස්සු පාර්ලිමේන්තුවේත් ඉන්නේ" ඇය නුරුස්නා ස්වරයෙන් කියයි.

රත්නප්‍රිය ඇත්තෙන්ම ගුප්ත චරිතයක් වී ඇත. වෙනදා මෙන් ගම පුරා බයිසිකල් පදිමින් රැස්වීම් සංවිධානය නොකරයි. කොටින්ම ඔහු කා සමගවත් කතා බහක් නොකරයි. කාමරය කෙමෙන් පොත් ගුලක් බවට පත් වේ. ඔහු බොහෝ විට කරන්නේ මුල්ලකට වී ඒවා කියවීමයි. විටින් විට අම්මාට කියා ගෙන්වා ගන්න පුල්ස්කැප් කොළ වල ලියන ලිපි අම්මාගෙන් මුදල් ඉල්ලා ගෙන තැපෑලට දැමේ. ඉඳහිට බොහොම ජැන්ඩියට ඇඳගෙන කොළඹ යන ඔහු එන්නේ පොත් මිටියක් සමගයි. අම්මාට මේ බර පැන වැඩි වියදමක් වුවද දරාගත නොහැක්කක් නොවුනි. ඉඳහිට හෝ පුතා සමාජයට යාම ඇයට සතුට උපදවන්නක් විය.

"පාර්ලිමේන්තුවේ ඉන්න අය තෝරන්නේ මනාපෙන් නෙවේ. ඒවා ඉහළින් ලු තෝරන්නේ." ඇය ගමේ උන්ට නොකියා කියන්නීය. "අපේ පවුල් වල ඔය දේශපාලනේ එදා ඉඳං ම තිබ්බා. අපේ මාමා ඒ කාලේ ගම් සබාවේ උන්නේ. පොඩි රාලහාමිගේ අයියා තමයි සමුපාකාරේ සබාපති. මැතිනිගේ මිනිස්සුනේ" ළඟදී ගමට ආ පවුලකට ඇය පැහැදිලි කරයි.

ක්‍රමයෙන් රත්නප්‍රිය දැවැන්ත ප්‍රහේලිකාවක් විය. ඉඳහිට හෝ එකෙකු කතා බහ කලත් වැඩිම වුනොත් සිනහවෙන් ඔබ්බට යන උත්තරයක්‌ නම් නොලැබේ.

"පිස්සුද කොහෙද? නැන්දේ කාට හරි පෙන්නන්න." කට පුරා හිනා වූ විට අහක බලාගෙන ගිය බැවින් පොඩි කොල්ලෙක් අවලාද නගයි.

"ඔය පක්ෂේ ඉන්නවලු සැඟවුණු ක්‍රියාකාරීන්. උඹ සද්ද නොකර හිටහන්" කඩ පිලේ උන් තරවටු කරති.

"කාටද දන්නේ නැහැ ඔය ලියුම් යවන්නේ" තවත් එක් ඕපාදූප සොයයි.

"අනේ මන්දා පුතේ. මං හිතන්නේ අපේ ළමයාගේ උපදෙස් වලින් තමයි මේ කට්ටිය වැඩ කරන්නේ. දැන් මේ ගොල්ලෝ පරණ කට්ටිය නේ. ඒ කාලේ ඉඳං වැඩ කරපු අයගෙන් කී දෙනා ද බේරිලා ඇත්තේ"

මේ කතා වලින් සිදු වූයේ රත්නප්‍රිය තවත් ගුප්ත ලෙස දැකීමට ගම්මුන් පෙළඹීමත් ඔහුට යම්කිසි බය පක්ෂපාත කමක් පෙන්නුම් කිරීමත් ය.

කරුනාපාල ගමේ ආවේ මේ කාලයේය. භීෂණ සමයේ රැයක  ආ කළු හැඳගත් පිරිසක් විසින් රැගෙන ගිය ඔහු එවකට උන් වෙනස් වමක පළාත් සබා මන්ත්‍රී වරයෙකු නොසිටින්නට අද ජීවතුන් අතර නැත. විප්ලවයේ කොඩිය මාරු කල හේ අලුත් වමේ දේහාරක්ෂකයෙක් වුවේය. වම දකුණ මාරු කරන දේශපාලන රැල්ලට හසුව ඉහල පහල ගිය දේහාරක්ෂකයා දැන් පාලක පක්ෂයේ ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ධුරයෙන් පිදුම් ලබා ඇත.

"මෙහෙමයි නැන්දේ. ඇමතිතුමාට මං කියලා බලන්නම්" රත්නප්‍රිය ට රස්සාවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටි විට ඔහු කීය. "හැබැයි රත්නේ එන්න ඕනේ අපේ පැත්තට"

"පාලකයින්ට කඩේ යන නිවට හැත්ත..." රත්නප්‍රිය බුරාගෙන කාමරයට වැදුනි. තවත් බොහෝ දේ කීවද ගුණවතී මැණිකේ ට ඒවා වැටහුනේ නැත.

කාලයේ සුළඟ ජීවිත පොතේ පිටු පෙරලාගෙන ගියේය. ගුණවතී මැණිකේ බොහෝ සෙයින් වියපත් වුවාය. ගමෙන් පිට ගමනක් යාමට නොහැකි තරමට ඇද වැටෙන විට ක්‍රමයෙන් වත්ත පිටිය ද අයාලේ යන්නට විය. ආදායම් ද පිරිහුණි.

වයසට යාම හිරිහැර කලේ ඇයට පමණක් නොවේ. කොන්ඩය සහ රැවුල රත්නප්‍රිය මහල්ලෙකු මෙන් වෙස් ගැන්වීය. කොහොමත් ඔහු දැන් මැදි විය පසු කරමින් සිටියි.

"මැණිකේ නැන්දේ මං කියන්න උන්නේ" පහල ගෙදර නන්දනී ගුණවතී මැණිකේ ව පැත්තකට කර යම්කිසි රහසක් කුටු කුටු ගායි.

"මොකක්? සමන්තිකාට? ලියුමක්?"

සමන්තිකා යනු වයස විසි පහක පමණ කෙල්ලකි. නන්දනී ගේ දුවනියයි. නන්දනී රත්නප්‍රියට වඩා වසර කිහිපයක් ඉහළින් ඒ පාසලේම උන්න කෙනෙකි. රත්නප්‍රිය සමන්තිකාට ආදරය පවසා ලිපයක් දී ඇත.

"ඒත් අපේ කෙල්ල කිව්වේ, අම්මේ ඒ මාමා එහෙම කලාට මං තරහ නැහැ කියල"

"කෙල්ල කැමති නැහැ. හැබැයි නැන්දේ මල්ලි දැන් ලොක්කෙක් ලු නේද? හෙට අනිද්දා හදන අලුත් දේශයකට මග පෙන්වන්න  එයාට අත දෙන්න කියලයි කියා තිබ්බේ"

මේ සිද්ධියත් එක්ක දෙගොල්ල අතර කතා බහ අඩු විය, ගුණවතී මැණිකේ විපිළිසර ව උන්නාය. ඇය මේ ගැන පුතාගෙන් අහන හැටියක් හිතුවාය. මේ තරම් ලොක්කෙක් නම් බැන වැදීම නොහොබී. සමන්තිකා නම් ආයෙත් ඒ පැත්තේ වත් පස් පෑගුවේ නැත.

තිරිංග  විරහිත නන්දනී ගේ කට වැට පැන්න නිසා හන්දියේ මේ කතාව ප්‍රසිද්ධ රහසක් බවට පත් වුනි.

"ඇයි අර ඒ කාලේ මොන මහත්තයා ද කියලා හැංගිලා උන්නේ. පොලිසියෙන් අල්ල ගන්නකම් අහල පහල උන් වත් දන්නේ නැහැ මිනිහා තමයි නායකයා කියලා"

එකෙක් අඩු වැඩිය දමයි.

"ලව් සික් ගහලා බයිලා ලියන්න ඇති බං" අලුත් ගැටයෙක් එය බිඳ දමන්නට සැරසේ. 

රත්නප්‍රිය තවදුරටත් ප්‍රහේලිකාවකි.


"උඹල කරන දේ වලින් අපට තමයි පාරේ බැහැලා යන්න බැරි" ගුණවතී මැණිකේගේ ඉවසීමේ සීමාව පැන ගොස් ඇත.

"අම්ම දන්නවද මාඕ සහෝදරයාගේ කෙල්ලගේ වයස? එයාට එකකට වඩා හිටියා කොටින්ම"

"දැන් උඹත් එහෙමද කොර ගන්න යන්නේ. කල වයස තියෙනකම් උඩ බලන් ඉඳලා. දැන් එනවා එක එකාගෙන් බලු වෙන්න. නව නින්ගිරාවේ බැහැ"

පක්ෂයේ මහා පිපිරුම ආවේ ඔය කාලයේය. විවිධ රහසිගත නායකයින් එලියට එන්නට විය. රත්නප්‍රිය හිටි ගමන ගමේ ජනප්‍රිය චරිතයක් විය. මේ ඇහෙන කතා එක්ක නම් ඔය කියන ලොකු නායකයෙක් රත්නප්‍රිය වීමට බොහෝ ඉඩක් ඇති බව ගම්මුන්ගේ මතයයි.

වෙනදා නැති වෙනසක් රත්නප්‍රියගෙන් පෙනුනි. තැපෑලට දමන ලිපි ගණන වැඩි විය. ඒවා බොහොමයක් පක්ෂයේ ප්‍රධානින් වෙත යොමු වන බව ලියුම් එකතු කරන කෙනෙක් පවසා ඇත. මෙතෙක් ගේ මුල්ලේ හුන් විප්ලවවාදියා එලි පහලියට යන්නට විය. වෙනදා මෙන් නිහඬව ගුප්තව නොසිට කොයි කාටත් විප්ලවීය කතා කියා දේ.

"රත්නේ ඇත්ත කියන්න. ඔයා නේද රහසිගත නායකයා" දිනක් මුදලාලි අසයි.


"නායකයා මා ද කවුද කියන එක තීරණය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව." ඔහු කියයි.


"අපිට කියයිද බං" පසු පෙලින් මිමිනේ.


"හරි දැන් ඔය පක්ෂෙට මොනවාද කියලා යවන්නේ?"


"කරන්න තියෙන දේවල්. මේ රටේ මේ ලෝකේ දුක විඳින මිනිසුන් වෙනුවෙන්"


මහා සම්මේලනය කැඳවා සියල්ල සමතයකට පත් කරන්න පක්ෂය සිතුවේ මෙන්න මේ මොහොතේය. සම්මේලන කතාව දුටු වහාම මිනිස්සු රත්නප්‍රිය වට කර ගති.


"සහෝදරයා යනවා නේද මේකට?" දැන් හැම එකාම විප්ලව කාරයෙකි.


"ඔයා නේ ඔය වැඩේ පස්සේ ඉන්නේ?"


"ගිහිල්ල මොනවාද කියන්නේ?"


"ඔව් මං යනවා. ගිහින් උන්ට කියා දෙනවා මේ සටන කරන හැටි. ඒ විතරක් නොවේ සහෝදර වරුනි අපි මේ ක්‍රමය වෙනස් කරනවා"


කවුදෝ ජයවේවා කියා කියනවා ද යන්තමින් පසුපසින් ඇසුනි.


ලැහැස්තිය  පටන් ගත්තේ එතන සිටයි. දින කිහිපයක් පේවී සැරසුණු ඔහු අද මේ වැසි ද නොබලා දුවන්නේ මහා සමුළුවටයි.


අම්මාගෙන් ගත් මුදලින් රත්නප්‍රියට සමුළුව ලඟට යා නොහැක. දැන් දැන් අම්මා ළඟ සල්ලිත් හිඟයි. කෝච්චියේ උපරිම දුර ගිය පසු ඔහු ඉතිරිය පා ගමනින් යන්නට තීරණය කළේය. මුළු නගරය ම පිම්මේ පෙරට දුවයි. රත්නප්‍රිය පය ඉක්මන් කළේය. ශාලාව ආසන්න වත්ම රතු කමිස කාරයින් වැඩි වේ. රත්නප්‍රිය ලා ඒ කාලේ පටන් අඳින ගොරෝසු ප්ලේන් රතු කමිස වලට වඩා බෙහෙවින් සුමට කමිස වල රතු ඉරි හා රතු කොටු වලින් විප්ලවය සටහන් වී ඇති සෙයකි. විටෙක මෝටර් රියක ආ සාමාජිකයෙක් එය ඈත කොනක නවත්තා පයින් ගාටයි. මේවා නම් තවමත් පක්ෂයට හුරු නැති දේවල්ය.


අද මේ කතාව ඉවරයක්‌ කර ගත යුතුවේ. වසර විස්සකට පමණ පෙර අළු ගොඩේ නිවී ගිය ගිනි අඟුරක් මෙන් හුන් මේ පිරිස මෙහෙය වන්නට කවුරුත් උන්නේ නැත. එය තම වගකීම ලෙස රත්නප්‍රිය සිතීය. පක්ෂය මුලින්ම මතු වන විටම විප්ලවයේ පාඩම කියා දෙන්නට ලිපි ලිවීම ඔහු ඇරඹුවේ එබැවිනි. මේ තාරුණ්‍යයට වඩා තම අත්දැකීම් ප්‍රබලය.


එහෙත් ඔහුගේ කතාවට කිසි දා ඉඩක් ලැබුනේ නැත. එකදු ලිපියකට වත් පිළිතුරක් නොලැබුණි.


වේගයෙන් පැමිණි දෙපා ගේට්ටුම ලං වත්ම කෙමෙන් කම්මැලි විය. ගේට්ටුව ළඟ අලුත් සාමාජිකයෙක් හිඳියි. පක්ෂ සාමාජිකත්වය කියා පෙන්නන්නට දෙයක් නැතත් එන යන අය ගැන ඔහු විමසිලිමත් වේ. ඇතුලට යාමට අවහිරයක් නොමැති මුත් රත්නප්‍රිය සෙමෙන් නතර විය. 


පක්ෂය ඔහු දමා බොහෝ දුර ගොස්‌ ය. පක්ෂය තුල තමා දැරිය යුතු නායකත්වය තමාට දෙනවා තියා ලිපියකට වත් උත්තර එවා නැත.  පක්ෂයේ උන් කල කී දේ හා තමා ලියු දේ අතර ලොකු වෙනසක් තිබුණි. එහෙත් ඔවුන් වැරදිය. නිවැරදි විප්ලවයේ පාර දන්නේ තමා පමණි.

කියන්නට බොහෝ දේ සිතෙහි ඇත. එහෙත් ඒ සඳහා මේ ගේට්ටුව පැන ගොස් අනවසරයෙන් අර පෙනෙන වේදිකාවේ මයික්‍රෆෝනය කරා යා යුතුය. එය සිතන තරම් ලෙහෙසි නැත. ගමේ කඩ පිලේ වහසි බස් කියූ තරම් ලෙහෙසි ද නැත.


එහෙත් එය අවශ්‍ය ද නැත. ශාලා පරිශ්‍රයට පිටතින් වූ මාර ගහ යට ඇති කොට තාප්පය උඩට ඇතුලේ වන දේ මැනවින් ඇසේ. රත්නප්‍රිය එතනට නැග්ගේය.


පහලින් හිඟන්නෙක් කොහෙන්දෝ ලැබුණු බත්පතක් ගිජුව ගිල දමයි.


"ඔය සහෝදරයා දන්නවද ලෙනින් සහෝදරයා ගැන?"


රත්නප්‍රිය දේශනාව ඇරඹීය.