Tuesday, July 20, 2021

ප්‍රින්ස්ටන්

1982 වසරේ එක හැන්දෑවක, ෆ්ලොරීඩාවේ ද්විතීයික පාසලක් හෙවත් හයි ස්කූල් එකක  අවසන් සහතික  ප්‍රධානෝත්සවය හෙවත් එයාලගෙ බසින් ග්‍රැජුවේශන් එක. සම්මාන  සහතික  බරගානක් ශිෂ්‍යත්වයන්  සමග දිනාගත් මුළු ඉස්කෝලෙම  දන්න මුළු පළාතම  දන්න  අති  දක්ශ  ශිෂ්‍යයා හෙවත් පාසලේ  හොදම සිසුවා කතා  කරමින්;


“මට ඕනෙ අභ්‍යවකාශයේ  හෝටල් හදන්න. මන් ආසයි පියාසර යොට් යානා  හදන්න. ආකාසේ ජනාවාස හදන්න.”


“මට ඕනෙ භෞතික  විද්‍යාව හදාරන්න.  හදාරලා මානව වර්ගයාගෙ  ලොකුම ප්‍රශ්න  විසදන්න. මහ පොළොව වඩාත් සුන්දර තැනක් කරන්න”


“මිනිස්සු  ටික ආකාසෙට ගෙනියන්න.  ආකාසෙ  ජනාවාස හදන්න. මිනිස්සු  ඒවට ගෙනිහින් මහපොළොවෙ ඉන්න සත්තුන්ට  නිදහසේ ඉන්න වාතාවරණයක් හදන්න”


“ඔව් මන් අභ්‍යවකාශයේ  ජනපද හදනවා.  මිලියන කීපයක්  ඒවයෙ පදින්චි කරනවා.  දවසක  මේ ලෝකෙ  ඉන්න  බිලියන  හතරාමාරම  එතනට ගන්නවා.  අරගෙන ලෝකයම තනි  වනෝද්‍යානයක් කරනවා. මිනිසා මෙතෙක්  හිරකරගෙන ඉන්න සතුන්ට  මිනිසාගෙන් තොරව නිදහසේ  වැඩෙන්න  අවකාශයක්  සපයනවා.”


නියම කතාවක්.  පාසල්  ශිෂ්‍යයෙකුගෙ  මට්ටමින් බොහොම අනාගතවාදි කතාවක්. ෆ්ලොරීඩාවේ  පත්තරකාරයින්ටත් හිතුණා. ඒ නිසාම  මේ කතාව මයාමි හෙරල්ඩ් පත්තරේටත්  ගියා. මේ  සිසුවා  පත්තරේට  ගිය පළමු  වතාව නොවේ.  ඊට කළින් ඔහු තම පෙම්වතිය  සමග  ඩ්‍රීම් ඉන්ස්ටිටියුට් කිය්ල  පොඩි උන්ට  උගන්වන  අධ්‍යාපන  ආයතනයක් හදන්නෙ තමන්ගෙම  ගෙදර. සම්ප්‍රදායික අධ්‍යාපන රාමුවෙන් පිටස්තරව මේ ආයතනයේ  උගන්වන අතරම ඔවුන්ගේ උනන්දුව වර්ධනය වන  විද්‍යාත්මක තාක්ශණික කතන්දර  ඔවුන් එක්ක බෙදාගන්නවා.  ඒක සැහෙන  දියුණු  වැඩක් කියල මයාමි හෙරල්ඩ් වාර්තා කළේ.  ඒත් ඉතින් මේ දක්ශ  ශිෂ්‍යයට  ෆ්ලොරීඩාවෙ ඉන්න  එකේ  තේරුමක් නෑ. ටික කාලෙකින්ම ඔහු ප්‍රින්ස්ටන්  විශ්ව විද්‍යාලයේ  භෞතික  විද්‍යාව  හදාරන්න ගියා.


*******


“ඔන්න  ඔහොමයි  මන් ඔබ ගැන කියවල තියෙන්නෙ, හරිද?” ගගනගාමින් හදුනා ගන්න දවසෙ මහාචාර්‍යවරයාට  නියමුවා මුලින්ම  කිව්වෙ මේක. 


“බොහෝ දුරට හරි” මහාචාර්‍යවරය  හිනාවෙවි  ඉන්නව. 


ලෝකෙ වටේ  මේ රවුම යන්න මහාචාර්‍යතුමා  හීන මැව්ව  ඒ  දවසෙ ඉදල ඒ හීනය හැබෑවෙන්න යන මේ  මොහොත වෙනකොට ලෝක බෝලෙ සූරයය වටේ   වට තිස් නවයක් දුවල තියෙනවා. ඉස්කෝලෙ  දක්ශම සිසුවා  ඒ  කාලෙ වවාගෙන හිටිය කොණ්ඩෙ  එක  ගහක්වත් දැන් නෑ.  ඒ කෙස් ටික පැලෙනකම් කළ  භෞතික විද්‍යාත්මක තර්ක මුලින්ම  ප්‍රින්ස්ටන් වලින් පටන්ගෙන ලෝකෙ පුරාම ගියා.  ඒවායේ  පර්‍යේශණ පත්‍රිකා ප්‍රකට ජර්නල් වලින් පත්තරවලට පත්තර වලින් ටීවී එකට  ඇවිත්  අන්තිමේ  ඒ තට්ටය  ලෝකෙම  දන්න ප්‍රකට ම මොළයක හිස්වැස්මක් වුණා. අන්තිමේදී නොබෙල් තෑග්ග දක්වා.  


“හදුනා  ගන්න ලැබීමත් ප්‍රීතියක් මහාචාර්‍ය තුමා.  මන් ඔබ  ගැන කියෙව්වෙ  ඔබ  විශ්ව  විද්‍යාලයේ ඉන්න කාලෙමයි.  ඔබතුමා  මට  සෙලිබ්‍රිටියක්. මම  ඔබේ  රසිකයෙක් කිව්වනම් නිවැරදියි. නොබෙල් තෑග්ග දිනාගත්ත  මනුස්සයෙක්  අභ්‍යවකාශයට යන පළමු වතාව මේ. ගමන පුරාම ඔබ හොදින් බලාගෙන ඉතාම උපරිමයෙන් ඔබෙ කටයුතු වලට උපකාරි වෙන්න අපි  හැමෝම සැදි පැහැදී ඉන්නවා”.  


ආයෙත්  හිනාව. “ස්තුතියි” බෝම ලජ්ජාශීලි ප්‍රතිචාරය. ඒත් ඒ  මූණෙ  ඊට වඩා  අධිශ්ටාන පූර්වක  බවක්  නියමුවා දකිනවා. 


මේ  ගමන මානව  ඉතිහාසෙ සුවිශේශි  එකක්. නීල්  ආම්ස්ට්‍රෝන් එයාගෙ පියවර ගැන කිව්ව එක  ආයෙත් අලුත් කරන්න පුලුවන් අවස්තාවක්. මේකත්  තව පියවරක් තැබෙනවා, මහාචාර්‍ය තුමාට එක පියවරක් වන එය ලෝක වාසියාට යෝධ පිම්මක්.


1982 අභ්‍යවකාශයේ  ජනාවාස කිව්වම  ෆ්ලොරීඩාවෙ  ඒක  සිනා කතාවක් පමනයි.  කැන්වරල් තුඩුවෙන් එහෙම එකක් උඩට යවන එක හිතාගන්නවත් බෑ.  මහද්වීපයක් අනිත්  පැත්තෙ හොලිවුඩයෙන් ඒක  ෆිල්ම් එකකට  නගන එක පමණයි  කෙරුණෙ. මේ  තට්ට මහාචාරියා  නො ඉන්න. 


අභ්‍යවකාශෙ  ජනාවාස?  ඒ කිව්වෙ අපිට ඉන්න වෙන්නෙ පාවි පාවි ද?  මිනිස්සු හිනා වුනා.  


වැඩිම වුනොත් ටුවරිස්ම් ආතල් එකක් වෙයි. මිනිස්සු කෝමද පා වෙවි ඉන්නෙ? විද්වත්තු ඇහුවා.


අභ්‍යවකාශෙ  නොවැටි ඉන්න නම් පොලොවේ  ආකර්ශණය  කේන්ද්‍රාපසාරි බලයෙන් කැන්සල්  කරන්න වෙනවා.  එහෙම කළාම  ඒ  යානය තුල  ගුරුත්ව  බලපෑම නෑ. ඉන්න අය  පාවෙනවා. ශුන්‍ය ගුරුත්වය කියන්නෙ ඒකට.  මේක ඉතින් විද්‍යා පර්‍යේශණ  වලට  සහ  ගගනගාමි වැඩවලට  නම් ඕකේ.  ඒත්  සාමාන්‍ය මිනිසුන්ට  එහෙම ඉන්න බෑනෙ. සරීර බර එක්ක උපන් මිනිස්සු ඒ එක්ක  ජීවත් වෙල මියැදෙන මිනිස්සු කෝමද පාවෙමින් එදිනෙදා  වැඩකටයුතු කරගන්නෙ?


තට්ට මහාචාරියා  උත්තර දුන්නෙ නෑ.  එයා  වැඩට දක්ශයෙක්. එයා  වැඩට බැස්ස. යානයට  පිටින් ගුරුත්වය කැන්සල්  වෙද්දි  යානය තුල නැවත ගුරුත්වය හදන්න පුලුවන්නම්.  ගුරුත්වය කියන්නෙ මිනිසාට තාම කිසිම පාලනයක් නැති එකම මූලික  බලය.  ඒක මෙල්ල කරල  අපිට ඕනෙ තාලෙට  සකසා  ගන්න පුලුවන්නම් මේ ලෝකෙ  අනිත් පැත්ත ගහන්න පුලුවන් බව එයා  දන්නව.


කෲතිම ගුරුත්වය. භෞතික විද්‍යාවේ කලුනික.  මේක තමා  උත්තරේ. එයා  දන්නව.  ඒ නිසා  එයා  කලුනික හොයන්න පටන් ගත්ත.


මේ  ගමන එහි කූටප්‍රාප්තිය. පොළොව වටා  යන අර්ධ ගමන් වටයකදි අභ්‍යවකාශ යානයක තියෙන  ශුන්‍ය  ගුරුත්ව මැදිරියක  විනාඩි තිහක කාලෙකට කෲතිම  ගුරුත්වය හදන්න මහාචාර්‍ය වරයාට ඕනෙ කරල තිබ්බ. අන්න  ඒ  වැඩේ  කරන්න තමන්ම  අභ්‍යවකාශෙට යන්න ඔහු තීරනය  කරනවා.  


නොබෙල් තෑග්ගක්  ලැබුනට මදි වැඩේ  කරල පෙන්නන්න ඕනෙ.  එදාට පුලුවන් අභ්‍යවකාශෙ ජනාවාස හදන්න ලෝක වර්ගයා  යොමු කරන්න. මහ පොලොව  සෙසු සතුන්ගේ  අභය භුමියක් කරල එදා  බිලියන හතරාමාරක් වෙච්ච  දැන් බිලියන අටට  මදක් අඩු මිහිකතගෙ ඒ නොසන්ඩාල දරුවො ටික  ඒකෙන් අයින් කරදාන්න. 


අදයි  ඒ  ගමන.  අද මහාචාර්‍යවරයා යනවා පොලොව වටේ  අර්ධ  වටයක්. ඒ  ගමනේ  ස්වාභාවික  ශුන්‍ය  ගුරුත්වය තුල  කෲතිම  ගුරුත්වය හදල එයා  ඇවිදල පෙන්නනවා අභ්‍යවකාශයත්  මහපොලොවෙ වගේම ඉන්න පුලුවන් කියන එක. ඒ ගමනට  නාසාව  පහසුකම් සපයනවා. වැඩේට සල්ලි දාන්න ලොව පුරා කෝටිපතියො පුල පුලා  බලා ඉන්නෙ, හරි ගියොත්.


*******


ෆ්ලොරීඩාවට ප්‍රින්ස්ටන් වලට කිලොමීටර් දාස් ගානක් ඈත එක කෝටිපතියෙක් ඉන්නව බලාගෙන.   එයත් මේ වැඩේට සල්ලි දාන්න කැමති කෙනෙක්.   කැමති විතරක් නෙවි දාන්න පුලුවන් කෙනෙක්.  ඒ නැතත්  එයා මේ ගැන හරිම උනන්දුයි.  භෞතික  විද්‍යාව එයාගෙ  අහිමි වූ පළමු පෙම්වතිය.


ලන්කාවෙ  කොළඹ ප්‍රකට ව්‍යාපාරිකයගෙ  සුඛෝපභෝගි මන්දිරයක පත  ස්ක්‍රීන් එකේ  සැටලයිට් චැනල්  එකකින් ගන්න අභ්‍යවකාශ ගමනේ  සජීවි දර්ශන විකාශය වෙනව. ව්‍යාපාරිකයගෙ යාලුවො සෙට් වෙලා  ඉන්නෙ.  පොරගෙ  භෞතික  විද්‍යා  උනන්දුව සහ දැනුම  බොහෝ සෙයින් උසස්.  මේව තමයි මිනිහගෙ විනෝදාන්ශ.


“උඹ  කිව්ව නේද  උඹත් ප්‍රින්ස්ටන් යන්න හිටියෙ කියල”


“ඔව් මන් ඒ ලෙවල්ස් වලට පස්සෙ යු එස් ස්ටඩි කරන්න යන්න හිටියෙ. ප්‍රින්ස්ටන් මගෙ අත  ඇතුලට ඇවිත් ලිස්සල ගියෙ”


“එදා  ගියානම් යසා, යු ආ  ගොන්න බීට් දිස් ගයි. යු වර් බ්‍රිලියන්ට් දෝස් ඩේස්”

 

ඒ  කතාව ඇත්ත. ප්‍රකට ව්‍යාපාරික යසන්ත රාජකරුණානායක ට  ප්‍රින්ස්ටන් වලට යන අවස්තාව  අහිමි වන්නෙ නූලෙන්.  ඉගෙනීමට අතිශයින් දක්ශ  වුණත් ලන්කාවෙන් උපාධියක් කළත්  ඔහු ඉන් පස්සෙ ඒ මොළය  යොදවන්නෙ වෙන අතකට. ලොව පුරා පැතිරුණ ව්‍යාපාර ජාලයක් එක්ක පුන්චි දූපතෙන් මුලින්ම ලෝකෙට අඩිය තිබ්බ ධන කුවේරය වෙන්න ඔහු සමත් වෙනවා.


“උඹ ප්‍රින්ස්ටන් යාවි. ඒත් අරූ ඇවිල්ල ප්‍රින්ස්ටන් වල උන්නු ලොකුම  බුද්ධිමතා කියල කියන්නෙ”


“කවුද  ප්‍රොෆෙස  ජෙෆ් බේසොස් ද? කෲතිම  ගුරුත්වයේ පියා නෙ, ඒ කතාව හරි ඇති”


“ඔව් එහෙම තමා කියන්නෙ. අභ්‍යවකාශයට ගිය පළමු නොබෙල් ත්‍යාගලාභියා”


“ඒක වෙන්න පුලුවන්. ඒත්  මන් ප්‍රින්ස්ටන් ගියානම් ප්‍රොෆෙස බේසොස් ට එකම එකක් කියනව.”


යසන්ත හිනාවෙනව. 


“ඔබතුමා  ප්‍රින්ස්ටන් වල උන්නු ලොකුම බුද්ධිමතා  වෙන්න පුලුවන්. ඒත් ඔය  ගමන අභ්‍යවකාශෙට යන ගමනක් නෙවි.  ඔය සාමාන්‍ය අහසෙන් පොඩ්ඩක් එලියට විසික් වීමක් පමණයි.  අර්ධ වටයක් අභ්‍යවකාශ ගමනක් වෙන්නෙ නෑ  ලොක්කා.”


ප.ලි.  පළමු කතා   කොටස  ඇත්ත.  ඒ  තමයි ජෙෆ් බේසොස්  පාසල්  කාලෙ.  ඒත්  දෛවෝපගත ලෙස   යසන්ත  ප්‍රින්ස්ටන් ගිය නිසා බේසොස්  භෞතික  විද්‍යාවෙන් ඉවත් වෙනවා.  එතැන් සිට කතාව කවුරුත් දන්නව. මේ  සටහන ලියවෙන්නෙ බේසොස්  තමාගෙ පාසල් සමයේ  සිහිනයේ සැබෑව  කියන්න පුලුවන් බ්ලු ඔරිජින් ව්‍යාපෲතියේ  මුල්ම  පියවර ගන්න "අභ්‍යවකාශයට යන ගමන" හා  සමගාමිව.  ඒත්  ඔහු යන්නෙ අර්ධ වටයක්. විද්වතුන්ට අනුව ඒක  අභ්‍යවකාශ ගමනක් නොවේ.   මේකට නම දාන්නෙ බ්ලු ඔරිජින් ද ප්‍රින්ස්ටන් ද කියල හිතල අවසානෙ  වඩාත් උචිත නම දැම්ම.



3 comments: