Saturday, June 18, 2016

ම්ලේච්ඡයෝ

[ජුනි 25 දිනමිණේ පළ වූ විශේෂාංගයක්]  

ඩෙන්වර් නිවසේ සාමයට බාධා කෙරුණු නොහොබිනා ප්‍රශ්නය අසනු ලැබුවේ රාත්‍රී ආහාර මේසයේදී එකොලොස් හැවිරිදි මැක්ස් ඩෙන්වර් විසිනි.

ඊට තරමක වෙලාවකට පෙර ඩෙන්වර් මහතා දවසේ රාජකාරි නිමවා කන්තෝරු කාමරයෙන් නික්ම සිය පවුල සමග රාත්‍රී ආහාරයට එකතු විය. ශිෂ්ටාචාරය පුරා විසිරි ජාලගත දැනුම් පද්ධතියක් පැවතී නිසා තවදුරටත් සේවයට වාර්තා කිරීමට කාර්යාල නොවීය. ඒ වෙනුවට ශිෂ්ටාචාරයේ ඕනෑම තැනක් සමග සම්බන්ධ වී එම ස්ථානයේ සිටින ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තාක්ෂනය සහිත කන්තෝරු කාමර සෑම නිවෙසකම පැවතුනි.

ඩෙන්වර් නිවස ශිෂ්ටාචාර යුග පස්වැන්නේ එකකි. එය පැවතියේ සැහෙන පිටත කක්ෂයකය. පහළ කක්ෂ සියල්ල ජනාකීර්ණ වීම නිසා දැන් ඒ ප්‍රදේශවල නිවාසයක් ලබා ගැනීම අපහසුය. ග්‍රහ ලෝකයට අවම හිරු එලිය ලබා දීමේ සීමා නිසා සමහර කක්ෂ වල තවත් ජනපද බිහි නොකරන්නට තීන්දු කර තිබුණි. කොහොමත් නිස්කලන්කෙ ඉන්න කැමති ඩෙන්වර් පවුල මෙතනට මනාපය. සංචරණය තව දුරටත් කාලය හෝ මහන්සිය වැයවන ක්‍රියාවක් නොවන බැවින් නිවස පිහිටි ස්ථානය එතරම්ම ගැටලුවක් නොවේ.

මිනිසා සිය තිඹිරිගෙය හැර එය වටා කක්ෂ ගතවීමට තීරණය කළේ, භුමියේ පාරිසරික අර්බුද තව දුරටත් තම පාලනයට නතු නොවන බව ඒත්තු යාම නිසාය. එසේම තම බලපෑම් නිසා ග්‍රහලෝකයේ සෙසු ජෛව පද්ධති විනාශ වී යාමේ අර්බුදය ගැන තමා තුලම උපන් වරදකාරී චින්තනය ඒ ගමනට දිරි දුන්නේය. තාක්ෂණයේ දියුණුවත් සමගම ගුරුත්වාකර්ෂණය කෘතිමව නිෂ්පාදනය කිරීම, සංචරණය ගුරුත්වයෙන් නිදහස් වීම සහ ත්‍රිමාන මුද්‍රණ ශිල්පය විසින් අභ්‍යවකාශය ජයගැනීම නිසා, ජීවයට වාසභවන නොවන වෙනත් ග්‍රහලෝකවලින් හාරාගත් ලෝහ භාවිතයෙන් කක්ෂගත ජනපද විශාල ප්‍රමාණයක් ග්‍රහලෝකය වටා ත්‍රිමාන ලෙස මුද්‍රණය කිරීමට මිනිසා සමත්විය. නව ජනපදවල ජීවන තත්වය ඉහල යත්ම මිනිසා තමන්ට පාලනය කල නොහෙන තිඹිරිගෙය අනෙකුත් ජීව ප්‍රජාවන්ට බාරදී තම අවශ්‍යතා උදෙසා ප්‍රමාණවත් සම්පත් රැගෙන නික්ම ගියේය.

මෙම ක්‍රියාවලිය තුල නිර්මාණය කරගත් සංකීර්ණ පද්ධතිය පාලනය කිරීම මිනිසාගේ හැකියා සීමාවට බොහෝසෙයින් එහා වූවකි. ඒ නිසා බොහෝ අභ්‍යවකාශ පද්ධති තුල සිදු වූ පරිද්දෙන්ම පරිපාලනය බුද්ධිමත් කෘතීම පද්ධතියකට බාරදෙන ලදී. කාලයත් සමග මේ පද්ධතියේ කාර්යභාරය පුළුල් වී වර්තමානයේ මිනිසාගේ පාලකයා ලෙස සිය කැමැත්තෙන් පවත්වාගෙන යන්නේ මෙම මධ්‍යම පාලක පද්ධතියයි. තවදුරටත් බල ලෝභය හෝ ධන ලෝභය ගැන සිතන ආත්මාර්ථකාමී පාලකයින් නොමැති වූ අතර, පද්ධතිය මානව සංවර්ධනය උදෙසා විවිධ ඉලක්ක තීරණය කරමින් මිනිසාගේ සහය සමග ඒවා සාර්ථක ගත්තේය. ශිෂ්ටාචාරය මෙසේ යුගයෙන් යුගයට කක්ෂ තුල වර්ධනය වද්දී අභයභූමියක් බවට පත්වූ ග්‍රහලෝකය වනගහනයෙන් වැසෙමින් මිනිසාගේ සංචාරක අවශ්‍යතා සපුරන ලදී

ග්‍රහලෝකයෙන් එන කෝණික අඳුරු සෙවනැල්ල රාත්‍රිය සටහන් කළේය. ඩෙන්වර් මහත්මිය කෑම කාමරයේ ඇති ආහාර නිෂ්පාදන යන්ත්‍රයට අලුත්ම වට්ටෝරුවක් ඇතුළු කරමින් උන්නාය.

"නතාලියා ඔයා කන්න එන්නේ නැද්ද?"

"ඔයාලා පටන් ගන්න බිල් . මම මේ වට්ටෝරුව ඇතුළු කරලා එන්නම් .... තව එතකොට කොත්තමල්ලි කොළ ... මොනවාද බිල් මේ කොත්තමල්ලි කොළ කියන්නේ? කොහෙන්ද ඒවා එන්නේ"

"වට්ටෝරුව ඔහොම දැම්මට නතාලි ඕවයේ සන්ඝටකනේ එන්නේ. මැෂිම ඔව්ව ඔක්කොම ගන්නේ ප්‍රතිචක්‍රීකරණ පද්ධතියෙන්. ඒ කිව්වේ අපේම අපරි ද්‍රව්‍ය වලින්. ජනගහනය නොවෙනස් නිසා මිනිස් අවශ්‍යතා වෙනුවෙන් වැයවන සම්පත් ප්‍රමාණය නියතයි. අලුතෙන් යමක් ගන්න ඕනේ නැහැ. අවශ්‍යමනම් අවට ග්‍රහලෝක වලින් ගෙනෙන මූල ද්‍රව්‍ය වලින් ඒ රසායනික සංඝටක පර්යේෂනාගාර වල හදන්න පුළුවන්"

"එතිකල් මයිනින් කියන්නේ ඒකද තාත්තා"

"ඔව් ජීවය නොපවතින ස්ථාන වලින් සම්පත් නිස්සරණය කර ගැනීම තමයි එතිකල් මයිනින් කියන්නේ"

"තාත්තා මෙයා කන එකනම් මැෂිමට පාඩම් ඇති. හැමදාම ඉල්ලන්නේ එකම දේ" ඉල්ලන ඕනෑම වට්ටෝරුවක ආහාර ඒවායේ සංඝටක වල ත්‍රිමාන මුද්‍රණයක් ලෙස නිමැවීමට යන්ත්‍රයට හැකි නමුත් මැක්ස් ඩෙන්වර් හැමදාමත් කෑවේ එකම දේ ය. ඔහු තරමක් වෙනස් දරුවෙකි. වෙනත් දරුවන් නොදන්නා අසාමාන්‍ය කාරණා කෙරෙහි අනවශ්‍ය අවධානයක් දීම ඔහුගේ ස්වභාවයයි.

"අද කොහොමද දවස පුතා. කොහොමද අනිත් යාළුවන්"

සෑම පවුලකම ඇත්තේ දරු දෙදෙනෙකි. ඒ අනුව ජනගහනය පවත්වා ගන්නේ ආසන්න නියතයකය. ස්ථාවර ශිෂ්ටාචාරයක මූලික ලක්ෂණයක් ලෙස සංඛ්‍යාත්මකව ස්ථාවර ජනගහනය සැලකුණි.

වට්ටෝරුව ඇතුළු කල ඩෙන්වර් මහත්මියත් පවුලේ අයට එකතු වූවාය. අල්ලාප සල්ලාපයෙන් විසුළු කතාවෙන් සහ ප්‍රීතියෙන් රාත්‍රී ආහාරය නිමාවන්නට විය. ශිෂ්ටාචාරයේ පාලක පද්ධති විසින් ඉලක්ක ගත කල පරිද්දෙන්ම මේ යුගය "සන්තුෂ්ටියේ යුගයයි". එය එසේම සිදු විය.

එහෙත් ඒ මොහොතේ නොඇසිය යුතු වූත් නොදැන සිටිය යුතු වූත් නොහොබිනා පැනය මැක්ස් ඩෙන්වර් ගේ මුවින් ගිලිහුණි.

සුළු වෙලාවකට කිසිවෙකුත් කිසිත් නොකීහ. තත්වයේ බරපතලකම තේරෙන්නට ඩෙන්වර් මහත්මියටත් තරමක වෙලාවක් ගතවිය. ඩෙන්වර් මහතා එක්වනම අසුනින් නැගිට ඉක්මන් අඩි තබමින් නිදන කාමරය දිහාට ගමන් කළේය. ඩෙන්වර් මහත්මිය ඉවෙන් මෙන් ඔහු පසුපස ගමන් කළාය.

"නතාලියා එයා ඒ කතාව දන්නේ කොහොමද? ඒ විස්තර වාරණයට ලක් කරලා තියෙන්නේ. ඒවා මනස නොමේරු කුඩා දරුවෙකුට තියා වැඩිහිටියෙකුටත් දෙන්නේ කාරනා දරාගන්න හැකිදැයි පරීක්ෂණයක් කරලා"

"බිල් මමත් එක හරියට දන්නේ නැති කතාවක්. කොහෙන් මෙයා හොයා ගන්නවද මන්දා"

"එක්කෝ මට මධ්‍යම පද්ධතිය දැනුවත් කරන්න වෙනවා එහෙම වුනොත් මැක්ස් ව එයාලා ටික කාලෙකට ඇතුළට ගනියි. මනස ශෝධනය කරන්න"

"ඔයාට පිස්සුද? අපි මේක ගෙදර මට්ටමින් බේරා ගම්මු"

"එහෙම බැහැ. කොහෙන් හරි අතීත දත්ත ලීක් වෙනවා"

"ඒවා මකා දාලා නැද්ද?"

"නැහැ ග්‍රහලෝකේ උන්නු ම්ලේච්ඡ යුගය ගැන තවම අධ්‍යනය කරන නිසා ඒවා මකන්නේ නැහැ. සම්පත් අද වගේ පූර්ණ ලෙස ප්‍රතිචක්‍රීකරණය නොකළ, ජනගහනය වර්ධනය වෙච්ච, පරිසරය විනාශකළ ඒ මානසිකත්වයන් අද දැඩි ලෙස පර්යේෂණය කරනවා. කෑදර කමට ස්වාභාව ධර්මය වනසපු, මුදල් මූලික ඉලක්කය වූ ඒ කාලයේ සියලු දත්ත පර්යේෂණාගාර වල තවම තියෙනවා"

"මාත් ටිකක් අහලා තියෙනවා ඒ කාලේ ගැන. මිනිස්සුලු නේද ශිෂ්ටාචාරයේ පාලනය ගෙනිච්චේ. පවුලක ළමයි පෝලිමක් හැදුවලු ඒ කාලේ මිනිස්සු"

"ඔව් ඒ කාලේ මිනිස්සුමයි සිස්ටම් එක පාලනය කරලා තියෙන්නේ. ඉතින් හිතන්නකෝ පාලක මිනිහෙක් කියන්නේ වැරදීම්, දුරාචාර, අර්බුද කොපමණ ගණනක් ද?"

"ඒ කාලේ මිනිස්සු ග්‍රහලෝකයේ අනිකුත් ජීවිත වලට විශාල තර්ජනයක් වුණා. ඒ නිසයි ග්‍රහලෝකය හැර ගිහින් කක්ෂ වල නිර්මාණය කරපු ජනපදවල ජීවත් වෙන්න පටන් ගත්තේ. අපි අද ජීවත් වන්නේ සන්තුෂ්ටියේ යුගයේ. මේ ඔක්කොම සියවස් ගණනක මධ්‍යගත පාලක පද්ධතියක් නිසා කෙරුණු දෙයක්. අපිට ආපහු ඒ කුණු කන්දල් ගන්න බැහැ ජීවිත වලට"

"දැන් අපි මොකද්ද කරන්නේ බිල්. මැක්ස් ව සෙන්ටර් එකට යවන්න වෙයිද?"

"මම හිතන්නේ. මොකද එයා එහෙම අහනවා කියන්නේ කොහෙන් හෝ ඒවා දැනගෙන. ඇහුව වගේ එයාට එහෙම කරන්නත් හිතුනොත්. ඔයාගේ දරුවා ම්ලේච්ඡයෙක් වෙනවා දකින්න ඔයා කැමතිද නතාලියා?"

"කොහොමද දෙයියනේ මෙහෙම වෙද්දී අපි මේකට සන්තුෂ්ටිය කියන්නේ?" නතාලියා දෑතෙහි මුහුණ හොවා ගත්තාය.


"ඇයි  බිල්  ඒ  කතාව  මේ  තරම්  හංගන්නේ?  ඇයි  මේක  අපිට  මැක්ස්  එක්ක  කතා  කරලා  බේරා  ගන්න  බැරි?"

"අවු  20  පහල  වයසේ  කෙනෙකුගේ  අවබෝධය  තුල  ඔය  වගේ  දෙයක්  පැලපදියම්  වුනොත්  එය  ධාවනය  වන්නේ කුතුහලය  නිසා. ඒ  වයසේදී  ඕනෑම  දෙයක්  කරලා  බලන්න  හිතෙනවා.  ඒ  නිසා තමයි  ඒ  වගේ  ම්ලේච්ඡ  හැසිරීම්  පොදු  සමාජයට  විශේෂයෙන්ම  දරුවන්ට  දැනගන්න  දෙන්නේ  නැත්තේ.  වර්තමානයේ  අපිට  එහෙම  දේවල් කරන්න වුවමනාවක්  එන්නේ නැහැ. අපේ  මනස  නිසි  හික්මීමකට  ලක්  කරලා  තියෙන්නේ  අධ්‍යාපනය  හරහා.  අපි  වයස  විස්සේදී  අපේ  මානසික  හැකියාවන්  ගැන  කරන  පරීක්ෂණ  වලදී  අපේ  මනසට  මේ වගේ  දෙයක්  දරන්න  හැකිද  කියා  පද්ධතිය  පරික්ෂා  කරනවා.  ඒ  ටෙස්ට්  එක  පාස්  වෙච්ච  කෙනෙකුට පමණයි  මේ  වගේ  දෙයක්  දැනගන්න  ලැබෙන්නේ.  ස්වයං  විනය  තුලින්  මිසක්  මේවා නීති  දාලා  පාලනය  කරන්න  බැහැ"
   

"ඒ  කියන්නේ  මැක්ස්  ගේ  මනසින්  මේ  අදහස  ඉවත්  කරන්නම  වෙනවා"

"ඔව්, මැක්ස් විතරක් නෙවි. අපිට නටාෂා ත් යවන්න වෙයි. ඒ වගේම එයාලගේ යාළුවන්. කුඩා කාලයේ මේ වගේ ම්ලේච්ඡ දේවල් ගැන දැන ගැනීමෙන් මනසේ ඊට ආශාවක් ඇතිවෙන්න පුළුවන්. මේ කාරණා දැනගන්න කලින් පුද්ගලයා පූර්ණ ලෙස හික්මවන්න ඕනේ"


ඈතින් ඇසෙන මවගේ ඉකිබිඳුම දරුවන් මීට පෙර අසා ඇති දෙයක් නොවේ. මොකක් හෝ නොවිය යුතු යමක් සිදු වූ බව තේරී නටාෂා වික්ෂිප්තව තම සොයුරා දෙස බලයි. මැක්ස් ගේ මුහුණ පිරී ඇත්තේ ඇය දකින්නට අකමැති දඟකාර ළමයාගේ හැඩ රුවිනි.

"මැක්ස්, මොකද්ද ඒ අහපු කතාව?"

"මම වැරදි දෙයක් ඇහුවද? මම ඇහුවේ ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් ජීවත් වුනේ සත්තුන්ගේ මස් සහ ගහකොලවල කොටස් කාලා නේද කියලා. හැමදාම ආහාර නිෂ්පාදන යන්ත්‍ර තිබුණා වෙන්න බැහැනේ. යන්ත්‍රය හදන්න කළින් හිටි ම්ලේච්ඡයොත් මොනවා හරි කන්න ඕනේ නේද?"

Saturday, May 7, 2016

අතීතය

[මැයි මස අටවන දින දිනමිණේ පළ වූ විශේෂාංගයක්]

සැක් රිචඩ්සන් යනු මේ මොහොතේ ලෝකයේ ජනප්‍රියම නමයි. එහෙත් සැක් රිචඩ්සන් මේ මොහොතේ කොයිබක දැයි කිසිවෙකුත් දන්නේ නැහැ. පෙම්වතිය සැලී හෝ සැක්ගේ දෛනික කටයුතු මෙහෙයවන බාබරා හෙවත් Holo-2097 හොලොග්‍රමික රෝබෝවරියවත් ඔහු සිටි තැන දැන සිටියේ නැහැ.

කාලය මාස තුනක් ආපස්සට ගෙන ගියොත් සැක් රිචඩ්සන් වැඩිපුර හිටියේ මාධ්‍ය කැමරා ඉදිරියේ. ප්‍රසිද්ධ දේශනා, මාධ්‍ය සාකච්චා, සම්මාන ආදිය එපාවෙන තරමට ඔහු පස්සේ ආවා.

ඒ මාස තුන පටන් ගත්තේ ඔහු ලෝක සංගමයේ හොඳම අනාගතවාදී මිනිසා ලෙස සම්මානයට පාත්ර වෙමින්. මිනිසෙකු ලබන උපරිම සම්මානය. එදිනම ඔහුව ගූගල් සමාගමේ ප්‍රධානියා ලෙස එහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තෝරාගෙන තිබුණා.

කාලය තවත් මාසයකින් ආපස්සට කැරකුවොත් 2098 සැප්තැම්බරයේ ගූගල් සමාගම බිහිකර සියවසක් ගෙවෙන උළෙලේ ප්‍රධාන දේශනය කරන සැක් රිචඩ්සන් දැකිය හැකියි. එම උළෙල වඩාත් ලෝක අවධානය දිනා ගන්නේ ශතවර්ෂ පූර්ණයට ඔවුන් මුදාහල Google Past හෙවත් ගූගල් අතීතය නම් මෙවලම නිසා. සැක් රිචඩ්සන් යනු එම අදහස ලෝකයට ගෙන ආ මිනිසා යි.

අද සැක් රිචඩ්සන් ලෝකයෙන් සැඟවී අභ්‍යවකාශ හෝටලයක තෙමස් නිවාඩුවක් ගතකරමින් සිටින නමුත් ඔහු ගැන තවමත් මුළු ලෝකයාම කතා වෙනවා. අතීතය සොයා දී අනාගතවාදියෙක් වූ මිනිසා කියා.

කාලය වසර හතරක් ආපස්සට කැරකුවොත් තරමක් කෙස් තියෙන සැක් රිචඩ්සන් ගූගල් අතීතය පිලිබඳ සිය ඉතිහාසගත පළමු දේශනය කරනු දැකිය හැකි යි. නම තරමටම ප්‍රකට මෙම දේශනය ලොවපුරා රැළි පිට රැලි නගමින් තවමත් යනවා. සැක් කතාව පටන්ගන්නේ අතීතයේ වැදගත් සන්ධිස්ඨාන කීපයක් සිහි කරමින්.

"වසර 2024 - හැම මිනිහෙකුටම අන්තර්ජාල ලිපිනයක් හෙවත් අයි පී ඇඩ්රස් එකක්"

"වසර 2030 - හැම මිනිහෙක්ම ඉන්නේ කොහෙද කරන්නේ මොකද්ද කියන හැම දෙයක්ම ලෝකයේ කොහේ හෝ දත්ත ගබඩාවක තියෙන්න ඕනේ. ඒ කාලේ කිව්වේ බිග් ඩේටා කියලා"

"වසර 2039 - දෙවැනි චීන විප්ලවය. දැනුම හා ලෝකයට නිරාවරණය වීම සමග බුද්ධිමත් චීනුන් පවතින අධිකාරි රජය ඉවත් කර නව දේශපාලන සම්ප්‍රදායක් හදනවා. රාජ්‍යය පරිපාලනය ගිණුම්කරණය හා විගණනය පරිගණක වලට පවරා චීන මිනිස්සු අනාගතය හැදීම කියන මාවතට යොමු වනවා. ක්‍රමයෙන් යුරෝපා ඇමරිකා ඕෂනියා සහ සමහර ආසියානු රටවල් මේ ක්‍රමවේදය එක්ක අනුගත වෙලා යුරෝපා සංගමය වැනි ලෝක සංගමය බිහි කරනවා"

"වසර 2040 - හැම මිනිහෙකුම පූර්ණකාලීන ශරීර ආභරණ ඉලෙක්ට්‍රොනික මෙවලමක් පළඳිනවා. ලෝක සංගමයට එකතු නොවූ නොදියුණු ස්වාධීන රාජ්‍ය වල අහුමුල්ලක ඉන්න හිඟන්නෙක් පවා."

"වසර 2045 - මහා දත්ත ලෙස එකතු වුනු ගොඩවල් සහ තැන තැන ඇති කුඩා දත්ත එකතු කර තනි දත්ත පද්ධතියක් හදන්න ගූගල් ඉදිරිපත් වෙනවා. හැබැයි අපිට හරි පින්තුරයක් නැහැ කල හැකි දේ ගැන"

"වසර 2052 - කෙලින්ම මනසට සම්බන්ධ වන නැනෝ චිප් මොලයට ට්‍රාන්ස්ප්ලාන්ට් කිරීමත් සමග මොලයට දුබල ශරීර අවයව වල උදව්වකින් තොරව ජාලයට එකතු විය හැකියි."

"වසර 2066 - මුළු ලෝකයේ සියලු මැනිය හැකි ක්‍රියාකාරකම් මැනුම්ගත වන බව කියවෙනවා. මිනිස්සු මේ මත අනාවැකි කියන්න ගන්නවා. භූ කම්පන සුළි සුළං ආදිය ගැන අනාවැකි කීම ටක්කෙටම හරි, අවශ්‍ය දත්ත හැසිරවීම පමණයි."

සැක් කතාව අවසාන කරන්නේ මෙහෙම.

"මිනිස්සු කාල තරණය ගැන කතා කළා. එහෙත් එය කරන හැටි තවම දන්නේ නැහැ. අතීතය කියන්නේ මොකද්ද? අතීතය කියන්නේ අප කළ ක්‍රියාකාරකම්, ගැවසුණු ස්ථාන, සිතු පැතු දේ. ඒ සියල්ල මේ වෙද්දී ලෝකයේ කොහේ හෝ තැනක දත්ත ලෙස එකතුවෙලා තියෙනවා. ඉස්සර ජීපීඑස්, සෙල්ෆි, යුටියුබ් ආදියේ සිට අද කෙලින්ම මොලය එක්ක ගනුදෙනු කරන වීඩියෝ ක්‍රමවේද වන බ්‍රේන්ෆීඩ්ස් දක්වා අපේ අතීතය සම්පුර්ණයෙන්ම ගබඩා වෙලා තියෙනවා."

"ඉතින් කාල තරණය කරන්න භෞතිකව යන්නම ඕනෙද? මේ තියෙන දත්ත ඇසුරෙන් ඕනෑම කෙනෙක් අහවල් දවසේ කලේ මොකද්ද කියා හොයාගන්න පුළුවන්. අපි පරිගණක ඇසුරෙන් ඒ දත්ත බ්‍රේන්ෆීඩ් බවට පත්කරනවා. දෑස පියාගන්න. ඔබ අතීතයේ."

මේ වචන එම සියවසේ ඇසුණු ලොකුම පෙරළිකාර වචන කිහිපයක් බව ඔහු පවා ඒ වෙද්දී දැන සිටියේ නැහැ. සීමා සහ විවේචන සැක් රිචඩ්සන් ටත් එල්ල වෙනවා. මූලිකවම ආ විවාදය නම් පුද්ගලිකත්වය ගැන කතිකාවයි. ගූගල් නම් දැවැන්තයා හිස ඔසවන දා සිට පුද්ගලිකත්වය ගැන කතිකාව ඉස්මතු වුණා. අවසානයේ වෙනත් කෙනෙකුගේ දත්ත තවෙකුට සොරකම් කිරීම හෝ අවසරයකින් තොරව නැරඹීම නොහැකි වන ලෙස සකසන පොරොන්දුව පිට ගූගල් ඒ ගැටලුවත් විසඳා ගත්තා.

ගූගල් අතීතය සිතු ලෙසම සාර්ථක වුනා. ගූගල් සෙවුම් මගින් ඔබට ඔබ මීට වසර විස්සකට පෙර කල දෙයක් එතැන ඉන්න ලෙසින්ම විඳින්න පුළුවන් බ්‍රේන් ෆීඩ් එකකින්. බ්‍රේන් ෆීඩ් එක මොලයට කෙලින්ම කාවදින නිසා ඔබ ඒ මොහොතේ භෞතිකව ජීවත්වන ලෙසටයි ඔබට වැටහෙන්නේ.

මිනිස්සු දෑස් පියා ගත්තා. අතීතයේ සිරි නරඹන්න.

එතකොට සැක් රිචඩ්සන් පැනලා ගියා. මුළු ලෝකෙන්ම. කාටත් හොරෙන් සැක් ගේ අලුත්ම වැඩ සටහන අභ්‍යවකාශ හෝටලයක මනසින් පරිගණකයට සම්බන්ධව ඔහු කරගෙන යනවා. යතුරු පුවරු දර්ශන තිර නැති මෙය බොහොම වේගවත් ලෙස කෙරෙන ප්‍රෝග්‍රෑම්කරණයක්.

සැක් රිචඩ්සන්ට වයස හැට දෙකයි. වර්තමාන සම්මුතියෙන් තවම ඔහු තරුණයෙක්. අතිශය දියුණු ජීවන රටාව සහ කළල වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා සාමාන්‍ය ජීවිත කාලයක් වසර එකසිය පනහකට ආසන්නයි. ඔවුන් උපදින්න ඉන්න කළල කෘතිමව වෙනස් කරන නිසා තරුණ පෙනුම ක්ෂය වෙන්න ගන්නේ වයස සියය ඉක්මවා ගියාමයි. ඒ වගේම බොහෝ රෝගවලට ඇති සම්බන්ධකම් කළල අවස්ථාවේම ඉවත් කරනවා.

එහෙත් හැට දෙකේ තරුණයෙකු ලෙස සැක් රිචඩ්සන් ටිකක් වයසයි වගේ. දැනටම කොන්ඩේ ගිහින් තනිකර තට්ටයෙක්. හම ටිකක් රැලි වැටිලා. සැක් ගේ කුතුහලය වැඩිවෙන්න ගත්තේ මෙන්න මේ නිසා. වෛද්‍යවරුත් පුදුම වුණා.

"මේක වෙන්නේ කොහොමද? ඔබේ ජාන කළල අවදියේ වෙනස් කිරීමකට පත් වෙලා නැහැ. ඔබ නිකම්ම ස්වාභාවික මිනිහෙක්."

ඊට වඩා බය හිතෙන කතාවක් වෙන නැහැ. ඒක වුනේ කොහොමද? මේ අභිරහස හොයා ගන්න ඕනේ. කෙසේ වෙතත් සැක් රිචඩ්සන් තම පනස් තුන් වියැති තරුණ පෙම්වතිය සැලීගෙන් ඈත්වෙන්න ගත්ත. "මරණය" සැක් රිචඩ්සන්ව බිය කළා. ලෝක මාධ්‍ය ඉස්සරහ හිනා වෙද්දී සැක් රිචඩ්සන් උන්නේ බයේ.

මේ කතාව හොයන්න සැක් ට තමන්ගේ මව්පියන් ගැන හොයන්න ඕනේ. දෙන්නම මිය ගිහින්. සැක් රිචඩ්සන් ගේ අම්මා ලෝක සංගමයේ හිටපු මන්ත්‍රී කෙනෙක්. ඇය සැලකුනේ සංගමයට ප්‍රතිවාදී ලෙස. ඇය දිගටම ලෝක සංගමය හා සෙසු නොදියුණු රටවල් අතර වැඩිවන පරතරය ගැන චෝදනා කල නිසා.

ලෝක සංගමයට නොබැඳුනු සමහර රටවල් තම ස්වාධීනත්වය අගය කළා. ඉන්දියාව පකිස්තානය අප්‍රිකාව වගේ රටවලට ලෝක සංගමය කියන දියුණුවේ මූලික ඉලක්ක ලබා ගන්න අමාරු වුණා. ඛනිජ ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම එක්ක වැහැරී ගිය අරාබිය හා අප්‍රිකාව දිගටම මිනි මරාගන්නවා. තවමත් ලෝක සංගමය තුල ඉන්නේ මුළු ලෝක ජනගහනයෙන් බාගේකටත් අඩුවෙන්.

සැක් ගේ අම්මා කතා කලේ ඒ ස්වාධීන රටවල මිනිසුන් දිගින් දිගටම දිළිඳු කරමින් තමන් සැප විඳින්න ලෝක සංගමය කරගෙන ගිය සූරාකෑම ගැන.

සැක් වැඩසටහන් පටන් ගනිද්දිම අනුන්ගේ දත්ත හොයන්න බැහැ කියල ලෝකයාට දීපු පොරොන්දුව කැඩුවා. මේක හොර වැඩක්. මෙතන සම්මුති නැහැ. අම්මගේ අතීත දත්ත ඔස්සේ තමා පිලිබඳ විස්තර එලියට ගන්න අතීතයට ලියු ගූගල් සෙවුම් පද්ධති සැක් වෙනස් කළා. මේ ඔක්කොම ඔහුගේ පුද්ගලික අවකාශයක ස්ථිර ආරක්ෂණය දාලා කරගෙන යන්නේ.

බ්‍රේන් ෆීඩ් එන ගානට තනියම වැඩසටහන් ලියා ගන්න මාසයක් විතර ගියා. දැන් බ්‍රේන් ෆීඩ් එනවා. වැඩසටහන තවමත් දුර්වලයි. සමහර ෆීඩ් ඒ හැටි වැඩක් නැහැ. ගූගල් අතීතය තුල සෙවුම් වලින් එන ෆීඩ් සැක් විසින් බලලා හරි පාර දිගේ යනවනම් එය දැනුම් දෙන්න ඕනේ. සැක් හොඳයි කියන තරමට සෙවුම් ඒ දිහාට යනවා. මුලින්ම ලැබුණු හොඳම සෙවුම තමා තාත්තගේ මරණය. අම්ම තාත්ත ළඟ හිටියා ඒ වෙලාවේ.

"බ්‍රිනී අපි පුතාට කියන්නේ නැද්ද අර කතාව" තාත්තා දුර්වල හඬකින් අහනවා.

"නැහැ ස්ථිරවම නැහැ" අම්මා තමයි තීරණ ගත්තේ හැමදාම.

"එයාට ඒක දැනෙයි. ශරීරය වැහැරෙන කොට"

"කරන්න දෙයක් නැහැ. අපි කිව්වත් වැඩක් නැහැ"

ඊට පස්සේ වෙනත් කතා. දෙන්න බොහොම ආදරෙන් සමු ගෙන වෙන්වුණා. අම්මගේ වෙනත් කිසිම කතාවක මොනම සඳහනක්වත් නැහැ සැක් ගැන.

සැක් ඒ සෙවුමට ලොකු ප්‍රියතාවයක් පෙන්නුවා. ඕක තමයි පාර.

ඒ පාර ලෝක සංගමයේ අම්මගේ විවාදයක්.

"... මේ ආකාරයට ලෝකය බෙදපු අපි මෙතෙක් කල නරුමම සූරාකෑම කලේ 2057 දී. අපි ස්වාධීන රාජ්‍යය වලින් බුද්ධිය කොල්ල කෑවා . අද ඔවුන් හිඟමනට වැටිලා ඉන්නේ ඒ නිසා. හෙට ඔවුන් කැරලි ගහයි"

මේ කියන්නේ මහා බුද්ධි මංකොල්ලය කියන එක ගැන. ස්වාධීන රටවල් එකතු නොවෙන කොට ලෝක සංගමය ඔවුන්ගේ සියලු විද්වතුන්ට ඉක්මන් වීසා ලබා දෙන්න තීන්දු කළා. වසර දහයකට පස්සේ ඒ රටවල් උගතෙක් කියලා හිටියේ එහෙමත් එකෙක් විතරයි.

"බ්‍රිනි ඔබ අපිව බය කරනවද? කැරලි ගහන්න පටන් ගන්න මොහොතේම අපි කොහේ හෝ ඒ දත්තය දකිනවා. අපේ පද්ධති ඒ ගැන අවදියෙන් ඉන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ"

"ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම්... " අම්මා ආවේගයෙන් කියවනවා. මේක සැක් ගේ අතීතයට තියෙන සම්බන්ධය මොකද්ද? පරිගණකයට වැරදුනාද?

"මීට දශක හතරකට පෙර අපි හොලිඩේ එකකට ගියා දකුණු ආසියාවේ ස්වාධීන රටකට. පුදුම සුන්දර රටක්. එකම වරද ඔවුන් තමාගේ ස්වාධීනත්වය පාවා දෙන්න කැමති නැහැ. අද බලන්න ඒ රට අමු අපායක්."

"දකුණු ආසියාවේ? අර අමු මුඩුක්කුවේ? එහෙ කොහෙද සුන්දර රටක්"

"බලන්න පුංචි දූපතක් තියෙනවා ශ්‍රී ලංකාව කියලා. අපි එහෙ ගියේ 2036 වසරේ. ඒ කාලේ ලස්සන සුන්දර රටක්. අදනම් බලන්න එපා. අපි වසර එකසිය පනහක් ඉන්න පුළුවන් කියලා පම්පෝරි ගැහුවට ඔවුන්ගේ ආයු කාලය තවම හැටයි හැත්තාවයි. අපේ වයස හැටක තරුණයෙක් එහෙ මහල්ලෙක්. හම රැලි ගැහුණු කොන්ඩේ ඉදුණු. තවම ළදරු මරණ වෙනවා. කළල ස්වාභාවිකව උපද්දන්නේ. තවම හැදෙනවා පිළිකා, හර්දයාබාධ දියවැඩියා වගේ කළල වෛද්‍ය විද්‍යාව තුලින් අපි සපුරා නැති කළ රෝග"

සැක් ට ඇහුනේ එකම දෙයයි. 2036. ඒ තමා සැක් රිචඩ්සන් ගේ උපන් වසර.

"හරි ඔය පාර හරි ඔහොම දිගටම සොයන්න" සැක් විධානය දුන්නා. මුළු අවධානයම ඒ පාරට වැටෙන්න වැඩසටහන් පවා වෙනස් කළා.

2036 වෙද්දී ඒ වගේ රටවල දත්ත අඩුයි. එක දිගට දුවන බ්‍රේන් ෆීඩ් නැහැ. සෙල්ෆි පින්තූර, යු ටියුබ් අභාවයට යන්න ආසන්න කාලේ වීඩියෝ, පවුල් පින්තූර, තව ෆේස් බුක්.

අවසානේ සැක් රිචඩ්සන් හරි තැනට ආවා. ඒක ශ්‍රී ලංකාවේ ගහපු සෙල්ෆි ෆොටෝ එකක්. එතන උන්නේ අම්මයි තාත්තයි තරුණ වයසේ. පසුබිමේ අමුතු විදිහක නිවස්නයක්, පෙනුමෙන් දිළිඳුයි. පැහැපත් බවින් අඩු තව ගැහැනියක් හිටියා. ඒ ගැහැණිය චූටි බබෙක් අම්මට දෙනවා. අම්මා වඩාගන්න දෑත දිගු කරනවා.

"හෙට පටන් අපේ ලෝකය මෙයා. අපි මෙයාට නම දැම්මේ සැක් කියලා. ජාන හදන්න බැරි වුනා. ඒත් අපේ මැණික අපිට සම්පතක්"

සැක් රිචඩ්සන් සෙවුම නතර කළා.

"අම්මා" ඒ හැගීමත් එක්ක ඔහුගේ මනසේ අවධානය ඉලක්ක වන්නේ පින්තුරේ උන්නු සුදු ගැහැණියට නොවේ, එතන උන්නු කෙට්ටු පැහැපත් බවින් අඩු දිළිඳු ගැහැණියට. මේ තමා ඒ අම්මා ඔහුට දැකගන්න තියෙන එකම පින්තුරය.

ඔහු වික්ෂිප්තව තරමක වෙලාවක් බලාගෙන හිටියා. ඊට පස්සේ ලෝකයේ හොඳම අනාගතවාදී මිනිසා හෙවත් ගූගල් සමාගමේ ප්‍රධානි සැක් රිචඩ්සන් තමන්ගේ අන්තිම කැමති පත්‍රය සකසන්න පටන් ගත්තා.

Friday, March 4, 2016

රොමියෝ සහ ජුලියට්

[මාර්තු  5 දිනමිණ කැෆේ විශේෂාංගයට යොමුකළ ප්‍රබන්ධයකි]

“රොමියෝ අපි ආයිමත් මුණගැහෙනවා. ඔයා හැමදාම ඉන්නේ මෙතන. මේ පාර අයිනේ පොඩි බංකුව උඩ. ඔයතරම් එකම දිහාවක් බලාගෙන කල්පනා කරන්නේ මොනවද රොමියෝ. ඔයා ගෙදර යන්නේ නැද්ද?”

“මම කල්පනා කරනවා නෙවෙයි ජුලියට්. බලාගෙන ඉන්නවත් නෙවෙයි. අනික මට ගෙදර යන්න විදිහකුත් නැහැ”

“ඇයි ගෙදර නොයන්නේ?”

“අම්මලාට අහුවුනොත් මම මේ කරන දේ, එයාලා මාව ඔග්මන්ටඩ් රියලිටිස්ට් කෙනෙක් ලඟට එක්ක යයි”

“මොකෙක්?”

“මනෝ විද්‍යාවේ ඉහළම විද්වතුන්. මිනිස්සුන්ට වඩා ඉන්නේ රොබෝ දොස්තරු”

“ඔයා හරි දඟ ළමයෙක්. එතකොට ඔයා මොකද්ද කරන්නේ?”

“මම අමාරු අභ්‍යාසයක් කරනවා. .... ම්ම්ම් ... ඔයා අහල තියෙනවද භාවනා ගැන. අපි කියමු මේක භාවනාවක් කියලා”

“භාවනා ? ඒ මොනවද? මොකක් වුනත් රොමියෝ තේරුමක් තියෙන්න එපැයි. මොකද්ද ඕකේ තේරුම?”

“තේරුම මම දන්නේ නැහැ ජුලියට්. මේක මම අහම්බෙන් පාදා ගත්තු දෙයක්. මම අමුතු ලෝකයක් දකිනවා ජුලියට්’

“අමුතු ලෝකයක්? ඇයි දැන් ඔයා ඉන්නේ මේ ලෝකේ නෙවෙයිද? ඔයා ඉන්නේ මේ මම ඉස්සරහ. අපි දෙන්න අපේ පර්සනා වලට චැට් කරමින්. ඔය ඔයාගේ නහය හරිම දිගයි, චුට්ටක් කැතයි ඒ නිසා. අර එහා පැත්තේ ලස්සන ලස්සන මල් පඳුරු අයින දිගේ හාවෝ සෙල්ලම් කරනවා. චූටි කුරුල්ලෝ ගීත ගයනවා. “

“ජුලියට් ඔයා බාගෙට හරි. අපි එකිනෙකා දිහා බලාගෙන මුවින් කතා නොකර අපේ පර්සනා වලින් චැට් කරනවා. මගේ නහයත් දිගයි තමා. හැබැයි එහා පැත්තේ මල්පඳුරු හාවෝ කුරුල්ලෝ නැහැ. ”

“ඒ කිව්වේ?”

“ජුලියට් ඔයා තවම ළමා වියේද?”

“රොමියෝ මගේ ළමා විය ඉවර වෙන්න ලඟයි. මම ඉන්නේ මගේ වෘත්තික අවධිය පටන්ගන්න මොහොත එනකම්. දැනුම් පද්ධති සියල්ල මනස්ගත කර ඉවරයි. තව මාස දෙක තුනකින් මම මානව ප්‍රභාසංස්ලේෂණ පද්ධති එක්ක වැඩ කරන වෘත්තිකයෙක් වේවි.”

“වාසනාවන්. අපිට ආයිත් කවදාවත් බඩගිනි වෙන එකක් නැහැ ඔයා වගේ ලස්සන කෙල්ලන් අතින් ඒ පද්ධති හැදෙනවා නම්. ජුලියට් මම වයස ඇහැව්වේ අර හාවෝ මල් පඳුරු කුරුල්ලෝ ගැන කතාව නිසා. ජුලියට් ට මතකද සුරංගනාවෝ?”

“අනේ ඔව් මං හරි ආසයි එයාලට. මං පුංචි කාලේ මගේ වටේ සුරංගනාවෝ පිරිලා හිටියා”

“කෝ එයාලා දැන්?”

“හ්ම්ම්ම්.... මට ඒක හිතිලම නැහැ. පර්යේෂණ කටයුතු ගැන අධ්‍යනය කරන්න මගේ කාලය ගියා මිසක්. හැබෑටම කෝ එයාලා?”

“ඔයා තව හිතන්න. ඇයි එයාල දැන් නැත්තේ?’

“ඔයා මහා නරක ළමයෙක්. මාව අමාරුවේ දානවා මේ අපබ්‍රංශ අහලා”

“නැහැ ජුලියට් මම කවදාවත් ඔයාව එහෙම කරදරයට පත් කරන්න හිතලා නැහැ. ඒත් මම උදේ හවා මේ පාර අයිනේ බංකුවක ඉඳගෙන අමාරු අභ්‍යාසයක් කරද්දී මාව පහුකරගෙන යන දාහක් අයගෙන් මාත් එක්ක මෙතරම් දුර කතා කළේ ඔයාම විතරයි. ඔයාට අකමැතිනම් යන්න ජුලියට්.”

“අනේ නැහැ මම කීයටවත් යන්නේ නැහැ දැන්. මං කිව්වේ ඔයා හරිම හරිම හරි නරක ළමයෙක්”

“ජුලියට් මම ළමාවිය පහුකරලා ඉන්නේ”

‘ඔයා වෘත්තිකයෙක් ද?”

“නැහැ”

“එතකොට... ?”

“මොකුත් නැහැ”

“ඒ කියන්නේ”

“මට කියන්න නමක් නැහැ”

“ඔයාගේ දැනුම් පද්ධති මනස්ගත කිරීම හරියට වුණේ නැද්ද? ට්‍රිලියන ගානකට එකක් ෆේල් වෙනවලුනෙ”

“හ්ම්ම්ම් ඒකනම් මනස්ගත වුණා”

“ඔයා මොනවද තේරුවේ?’

“මොකුත් නැහැ. මට ඌ දෙන වෘත්තික ඔප්ෂන් එකක්වත් හරියන්නේ නැහැ”

“ඌ කිව්වේ?’

“මගේ පර්සනා එකා”

“එහෙම කියන්න එපා තාත්ති කියන්නේ පර්සනා කියන්නේ අපිමයි කියලා”

“ඔයාගේ පර්සනා එක ලැබුණු හැටි දන්නවද ජුලියට්”

“ඔව් තාත්ති මට කියූ හැටියට මං චූටි බබෙක් කාලේ ඉන්ජෙක්ෂන් එකකින් මොකද්දෝ එකක් දාලා ...”

“ඉන්ජෙක්ෂන් එකකින් කොන්ටම් නැනෝ චිප් එකක් රුධිර පද්ධතිය හරහා ඔයාගේ බිලිඳු මොලයට යවනවා. ඒක ක්‍රමයෙන් ඔයා වර්ධනය වෙද්දී ඔයාගේ මනස එක්ක බද්ධ වෙනවා”

“අනේ මන්දා රොමියෝ ඔන්න ඔහොම එකක් තමා”

“ඉතින් ජුලියට් පර්සනා කියන්නේ පිටස්තරයෙක්. කොටින්ම එකෙක් නෙවෙයි. උන් ගොඩක්. උන් එකිනෙකට සම්බන්ධ ජාලයක්. බිලියන විසි තිස් ගානක මිනිසුන්ගේ සහ යන්ත්‍ර වල ග්‍රහලෝක කීයක්ද මන්දා එකට බැඳුනු තනි පද්ධතියක්. පර්සනා මම නෙවෙයි”

“ඔයා කියලා වෙනම එකෙක් නැහැ රොමියෝ”

“ඔව් මේක මගේ ශරීරය ඇතුලෙම මගේ මනසට සංයුක්තව ඉන්න කොට වෙන් කරන්න බැහැ තමා. හැබැයි එයා නොවන මම කවුද කියලා මම සොයාගනිමින් ඉන්නේ’

“පර්සනා නොවන අපි? ඔයාට පිස්සුද? කැලේ සතෙක් වගේ වෙයි. ශිෂ්ටාචාරය දුවන්නේ පර්සනා නිසා. අපි මුළු දැනුමම ගන්නේ පර්සනා වලින්. කොටින්ම අපි ලෝකේ දකින්නේ පර්සනා නිසා”

“අන්න ඔයා පරණ තැනට ආවා. අපි දකින්නේ සත්‍ය ලෝකය නොවේ. ඒ කියන්නේ පවතින ලෝකය නොවේ”

“පවතින ලෝකය කියන්නේ මොකද්ද රොමියෝ. අපි දකිනවට වඩා දෙයක් වෙනම තියෙනවද?”

“ජුලියට් මං ඒක ටක්කෙටම දන්නේ නැහැ. මම මේ පාර කපාගත්තේ අමාරුවෙන්. මොකද්දෝ හේතුවකට මට එදා පටන්ම මගේ පර්සනා එකා පේන්න බැහැ. හැබැයි මම ඒක ඔග්මන්ටඩ් රියලිටිස්ට් කෙනෙකුට පෙන්නන්න නොදී හොරාට හංගාගෙන හිටියා. මම එලියට පේන්න පර්සනා එකෙන් දැනුම ගත්තා, අනික් අය කරන ඔක්කොම කළා. ඒ අතරේ මම මගේ උපරිම උත්සාහයෙන් මගේ පර්සනා එක මනසින් ගලවන අභ්‍යාසය කළා. දැන් මට පර්සනා එකෙන් මෙහෙම චැට් කරකර පර්සනා එකට පිටින් මගේ ශරීර අවයව වලින් පමණක් මා වටේ තියෙන ලෝකය දකින්න පුළුවන්. පවතිනවා කිව්වේ ඒක. ඒකත් එහෙම්ම පවතිනවද මම දන්නේ නැහැ. හැබැයි එකත් එකටම ඒක පර්සනා එකෙන් මවන ලෝකෙට වඩා වෙනස්”

“එතකොට මල් පඳුරු හාවෝ කුරුල්ලෝ?’

“ඒවා ඔයාගේ පර්සනා එකේ වැඩ. ඔයාගේ පර්සනා එකේ ඒක කාර්යභාරයක් තමා ඔයාට ඈතින් තියෙන ඔයාට ඒ හැටි වැඩක් නැති දේවල් ඔයාගේ සිත සැනසෙන ආකාරෙට වෙනස් කරන්න. එතන ඇත්තටම තියෙන්නේ කිසි ලස්සනක් නැති වල් පඳුරු කීපයක්. ඔයා ළඟට ගියොත් විතරක් වෙනස් වෙයි”

“හරි ඔයා මේක කියන්න. ඇයි අපේ අම්මා දැන් මාත් එක්ක වැඩිය කතා නැත්තේ? එයා නිතර මා අවට ඉන්නවා වුණාට වැඩිය කතා කරන්නේ නැහැ”

“මට පුළුවන් හොයන්න. මට පුළුවන් ඔයාගේ පර්සනා ඒක හැක් කරන්න. හැබැයි අහන්න ලැබෙන දේ ඔයාට විඳදරා ගන්න වෙනවා”

“කරන්න”

“ඔහොම කතා නොකර චැට් එකේ ඉන්න. මට විනාඩි කීපයක් දෙන්න”

....

“හරි රොමියෝ දැන් කියන්න’

“මේක ඔයාට වේදනාකාරී දෙයක් වෙයි ජුලියට්. ඒත් ඔයාගේ තාත්තා හොඳම තාත්තෙක්. ඔයාගේ අම්මා ඔයාව දාලා ගිහින් තරමක් කල්. එයා ජීවතුන් අතර නැහැ. ඔයාගේ තාත්තා ඔග්මන්ටඩ් රියල්ටිස්ට් කෙනෙකුගේ සහයෙන් ඔයාගේ පර්සනා එකට අම්මව ඇතුළු කරලා තියෙනවා. කාලයත් එක්ක එයා හෙමිහිට දුරස් වෙයි. මට සමාවෙන්න...”

“...සත්‍ය කියලා මම හිතන ලෝකේ ඔන්න ඔහොමයි ජුලියට්. ඒක මහා දුක්බර අප්‍රසන්න වේදනාකාරී දෙයක්. කුණු කාණු, දිරන යකඩ කඳන්, නපුරු මිනිස්සු, ආදරය කළ අය මිය යන වෙන් වෙන. මම අන්න ඒ ලෝකේ දකිනවා. මම ඔහේ බලාගෙන ඉන්නවා. මට තේරෙන්නේ නැහැ මම කරන්න ඕනේ මොකද්ද කියලා. මට වෘත්තිකයෙක් වෙන්න ගෙදර යන්න ආදරය කරන්න බැහැ ජුලියට්...”

“...ඇයි ඔයා නිස්සද්ද? ඇයි ඔයාගේ ඇස්වල කඳුළු? ඔයාට මේක බර වැඩියි ජුලියට්. ඔයා මේ කරදරේට පැටලෙන්න එපා. මම වගේ පර්සනා ඒක හැක් කරගන්න එපා. ඔයා දිගටම ඔය ලෝකේ ඉන්න ඕනේ ජුලියට්. ඔයා මානව ප්‍රභාසංස්ලේෂණ පද්ධති හදන්න ඕනේ. ඔයා බඩගින්න සපුරා නැති කරන්න ඕනේ...”

“...ජුලියට් ඔයා යන්න. අඬන්නේ නැතුව අවසාන වරට හිනා වෙලා යන්න”

“හා රොමියෝ මම හිනාවෙලා යන්නම්. ඒත් මට අවසානෙට එකම එකක් කියන්න. මොකද්ද ඔයා මට දාපු විකාර නම? මොකද්ද ඔයා දාගෙන ඉන්න විකාර නම? රොමියෝ-ජුලියට්? ඒ මොක්කුද? එහෙම නම් අදකාලේ කාටවත් නැහැ. ඔයා අපේ කතාබහ මුලදී මේ නම් දෙක දැම්මට පස්සේ මම පර්සනා එකේ සර්ච් කරලා බැලුවා. අර්ථවත් දැනුම් පද්ධති වල එහෙම වචන නැහැ. ඒවා කොහෙන්ද ඔයා හොයා ගත්තේ? මොකද්ද ඒවායේ තේරුම?”

“ඉස්සරම කාලේ නාට්‍ය කියලා ජාතියක් තිබිලා තියෙනවා ජුලියට්. ඒත් ඔයා ඒවා ගැන හිතන්න එපා. ඒවා අර්ථවත් දැනුම නොවේ. ඔයා ඒ කතාවේ තේරුම හොයන්න එපා ජුලියට්. ඔයා පර්සනා එකෙන් එලියට යන්නත් එපා. ඔයාට සුන්දර හෙට දවසක්. ඔයා ආයිත් එන්න එපා”


සම්බන්ධිත සබැඳි: Scientists discover how to 'upload knowledge to your brain (ලක්ෂාන් වික්‍රම ගේ මුහුණු පොත් පිටුවෙන්)

Saturday, February 20, 2016

ශුද්ධ වූ යුද්ධය

[පෙබරවාරි 20 දිනමිණ කැෆේ විශේෂාංග පිටුවේ පලවූ විද්‍යා  ප්‍රබන්ධයකි . ස්තුතිය කාංචනාට]

අගාධයේ අඳුරු දෝනාවක මඩ අතර බඩගා යන මිනිසුන් දෙදෙනෙකි. සන්නාහ රහිත සිරුරු මත පිළියම් නොකළ පිළිස්සුම් තුවාල දැකගත හැකිය. එහෙත් ඒ තුවාල වලට පිලියමක් අවැසි නැත. මේ ගමනේ ආපසු ඒමක් නැත.

දඟර ගැසුණු දෝනාව බොහෝ දුරකට දිවේ. දළ මෙවලමින් හෑරූ පාංශු බිත්ති තැනෙක කඩා වැටී ඇත. හැරෙන හැම වන්ගුවකම මරු සැඟව සිටිය හැක. හෙල්ල පහරකට ඕනෑම මොහොතක සූදානමින් සිටිය යුතුවේ.

+++++++++++++++++++++

මේ ගමන සැලසුම් කල එකක් නොවේ. සියල්ල පටන් ගත්තේ පෙර දිනයේ අහම්බෙන් එල්ල වූ හදිසි සතුරු ප්‍රහාරයකිනි. ඒ මොහොතේ දරෙක් සහ රපී හුන්නේ කතාබාහකය.

"සිරිමතාණන් වහන්සේට ඔප්පු වෙන්න අරුන් අපේ දෝනා පහක බලය අල්ලාගෙන" දරෙක් බියජනක හඬින් තම සගයාට කියයි.

"මෙහෙම ගියොත් නම් හණමිටියෝ ළඟදීම අපිව ඉවර කරයි"

"ඔව්, මට අපේ අවසානේ දරාගන්න පුළුවන්. ඒත් උන් අපේ ධර්මයත් වනසාවී."

"මහා පුස්තක තියෙන මහා දේවාලේ පුළුස්සා දාවී"

"සිරිමතාණනේ !!!"

"උන් කොහොමද මේක කළේ. අපිද උන්ද වැඩියෙන් ඉන්නේ. අපේ උත්තම ධර්මධාරින් තමයි වැඩියෙන් ඉන්නේ කියලා පූජක තුමා කිව්වේ. තව ගංවතුරු පහකින් දිනන්නයි සැලසුම තිබ්බේ"

"එව්වා එහෙම වෙන්නේ නැහැනේ. නැතිනම් අපි මේ යුද්දේ කී පාරක් දිනලද? මං ගංවතුරු විස්සකට වඩා මේ හටනේ" දරෙක් තම තට්ට හිස අතගායි.

"කට කට, උඹ ව මරා දමයි ඇහුණොත්. අපායට යවල සාපෙන් පුළුස්සලා මරාදාවී"

සාපයට නිරාවරණය කිරීම මරණ දඬුවම දෙන ප්‍රධාන ක්‍රමයයි. සාපය ඇත්තේ අපායේය. භූගත ජීවිත ගෙවූ ඔවුන්ගේ අපාය ලෙස සැලකුයේ ඉහලින් ඇති ජන ශුන්‍ය පොළොවේ මතුපිටයි. කලකට පෙර උන්ගේ පැරැන්නන් ජය කෙහෙළි නැංවුයේ ද ඒ මතුපිටමය. අද ඒ මතුපිට යොදාගන්නේ මරණයට කැපවූවන් දම්වැල් මගින් අගාධ කටින් ඉහලට යවා සාපයට නිරාවරණය කරවීමටයි. දෙදිනක් හෝ තෙදිනක් එසේ තැබූ පසු පණපිටින් ඉන්නා එකෙකු මෙතෙක් හමුවී නැත. සාපය එතරම්ම දරුණුය.

අතීත කතාව පැහැදිලි නැත. එහෙත් සෑම ආගමකම එන අතීත කතාව අඩු වැඩියෙන් ආසන්නව සමානය. මතුපිට තිබ්බේ පාරාදීසයයි. එහි හුන් පැරැන්නෝ දේවාශිර්වාදය ද මැජික් ශක්තියද ලබා ගත්හ. මහා විස්කම් කළහ. එහෙත් එක යක්ෂයාගේ මොහොතක ඒ සියල්ල සුන්නද්දුලි විය. දෙවියන් ට මිනිසා එරෙහි විය. යක්ෂයා තනා දුන් මෙවලම් මිනිසා විසින් පුපුරවා හරින ලදී. පැරැන්නන්ගේ සටහන් අනුව හැම තැනම ගිනි බෝල පිපිරීය. ඒවා හතු හැඩයට පුපුරා හසුවන සියලු දේ දවා ලීය. යළිත් මතුපිට සරන්නට නොහැකි සේ සාපය අහස පුරා විසිරවීය. සාපය ට නිරාවරණය වූ කල පිළිස්සුම් හා ඉදිමුම් මගින් මියයාම අනිවාර්යයි. දරෙක් රපී ඇතුළු සියලු දෙනා පැවතෙන්නේ එදා ඒ පිපුරුමෙන් බේරෙන්නට ගැඹුරු පතලකට පැන්න කීප දෙනෙකුගෙනි.

"උඹයි මමයි නේ කතා කලේ. මට උඹ විශ්වාසයි" දරෙක් රහසින් කියයි.

"දරෙක්, උඹ මට ආගම් බෙදුන කතාව කියා දෙනවා කිව්වා නේද?"

"උඹ දන්නවනේ ආගම හැදුනු හැටි "

අද ආගම් ගණනකට බෙදුණු මේ භූගත ජනපදයේ සියලු ආගම් පැවතෙන්නේ දිව්‍යමය පැස නමින් අද පූජාවට ලක්වන ගමන් මල්ලකිනි. පිපුරුම හමුවේ පන බේරාගෙන පතලට පැන්න එකෙකු සතුව තිබු ඒ මල්ල එහි වූ පොත් කීපයක් සමග මුල්ලකට විසිකොට තිබුණි.

මුල් භූගත ජනාවාස වල ආගමට හෝ පොතපතට වෙලාවක් නොවීය. මීයෙක් සර්පයෙක් පණුවෙක් වැනි දඩයමකින් වේල සරි කරගන්ට හා නව දෝනා හා කුටීර තනා ජනාවාස නිමවන්නට මුළු කාලයම කැප වුණි. එහෙත් පරම්පරා කීපයකින් නැවත කෘෂිකර්මාන්තය දියුණු විය. මතුපිටට නොයා හතු වර්ග, ශාඛ මුල් හා අල ආදිය වවන ක්‍රම දියුණු විය. මුල්ලට විසිකළ පොත් මල්ල කෙනෙකුට හමුවන්නේ එවිටයි. අකර්මන්‍ය ව ගිය අකුරු ශාස්ත්‍ර දියුණු කරගෙන කොටස් දිරාගිය ඒ පොත් කියවන්න පටන් ගත් "දේව පණිවුඩ කාරයෝ" එහි අරුත් තම නැණ පමණින් වටහාගෙන ආගම් නිර්මාණය කළහ.

" ආගම හැදුනු හැටි දන්නවා, මං අහන්නේ බෙදුණු හැටි" රපී කියයි.

"මුල කාලේ ආගම් කියලා දෙසා බාලා තියෙන්නේ බොරු. හණමිටි ආගම් හැදුනේ එහෙම. උන්ගේ පොත් ඔක්කොම බොරු කියලයි සිරිමතාණන් ගේ මහා පුස්තකේ කියලා තියෙන්නේ. උන්නාන්සේ ඒ කාලේ උගන්නපු ඔක්කොම බොරු කියලා ඔප්පු කල මිනිහෙක්. උන්නාන්සේගේ සිරි උඩු රැවුල රැස් විහිදුවනවා. උන්වහන්සේ ගේ බුද්ධිය කොපමණ ද කිව්වොත් කෙස් ගස් පවා හරි කෙලින් හිටවීලා තියෙන්නේ"

"හරි බං මම උන් වහන්සේගේ සිරිමත් පින්තුරේ දැකලා තියෙනවා. මහා පුස්තකේ පසු පිටේ තියෙන්නේ"

"පස්සේ කාලේ තමා උත්තම ධර්මධාරින් උන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්නේ. එක වටහා ගන්න අමාරුයි"

"ඉතින් ඇයි හනමිටියෝ සිරිමතාණන් එකක් වෛර?"

"උන් කියන්නේ යක්ෂයා මුදා හැරියේ සිරිමතාණන් කියලා "

"අනේ සිරිමතාණන් එහෙම කරයිද?"

"නැහැ උන් වැරදියි. සිරිමතාණන් කිව්වේ යක්ෂයා එන්නේ මේ දේ කලොත් එහෙම කරන්න එපා කියලා "

ඒ කතාබහ නතර කරවමින් දරෙක් හා රපී කිසිසේත්ම නොසිතු මේ මොහොතේ ඔවුන් නොදැනම සතුරා විසින් වටකර තිබුණි. ප්‍රහාරය එල්ල වන විට පලායාමට තිබ්බේ එකම අතකි. ඒ අගාධයෙන් මතුපිටටයි. පසුපස එළවා එන හී තල මධ්‍යයේ දරෙක් හා රපී වළෙහි බඳ දිගේ ඉහලට නැග ගත්හ. නැවත හැරී එන්න දරන හැම උත්සාහයක්ම කෙළවර වන්නේ හී වරුසාවකිනි. පහළ හා ඉහල මරු අතරින් ඉහළ මරු තෝරා ගන්නට දරෙක් හා රපී තීරණය කළහ.

අහස වසාගත් අඳුරු දූලි වළා මධ්‍යයේ වුවද මතුපිට ආලෝකය භූගත ජීවින් බියගන්වන්නට සමත් විය. වලාකුළු සාපයේ නවාතැන් පොළ ලෙස දරෙක් හා රපී අසා තිබුණි. ඒ වලාකුළු වලින් එන සාපයේ රැස් තමන්ගේ සිරුරු වලට කිඳා බැස ස්ථිරව එහෙත් සෙමෙන් තමන් මරු කරා ගෙනයන බව ඔවුහු දැන හුන්හ.

තැන තැන දිරාපත්ව ගිය ඉපැරණි ශිෂ්ටාචාරයක නටඹුන් මත්තේ අධික විකිරණශීලීභාවය නිසා ජාන විකෘතියට ලක් වූ අරුම පුදුම ශාඛ වැවී ගොසිනි. ඒවා අතර එසේ ම විකෘතියට ලක් වූ මෙතෙක් ඇස නොගැටුණු ලොකු කුඩා සත් වග ආගාධයෙන් එලියට පැමිණි අමුතු ජීවින් දෙස බලා සිටියහ. තවමත් ජීවය ස්ථාවර නොවූ මේ මතුපිට ජීවිතය යනු මරණයේ කෙටි විරාමයක් පමණි.

දෑස් ගිනිකන වැටෙන එළියෙන් මිදෙන්නට දෝ දරෙක් හෙවනක නතර විය. හිස තුලින් එන අසාමාන්‍ය එහෙත් දැරිය නොහෙන වෙදනාව මරණයේ පෙර කැඳවීමක් බව ඔහුට සිහි විය.

"මම නාකියා, රපී උඹ කොල්ලෙක්. මට උඹ ගැන දුකයි" දරෙක් මිමිනුවේය.

"කමක් නැහැ දරෙක්, මේ යුද්දෙන් මළ පළමු දෙන්නා අපි නෙවි"

"රපී මේ අහපන්. තව සැහෙන වෙලාවකට ආපහු යන්න ලැබෙන්නේ නැහැ. අරුන් පතල් කටේ රැකගෙන ඇති. ඉතින් දැන් අපි මැරිලා ඉවරයි උඹට තේරෙනවද?"

"ඔව්"

"හැබැයි මරණය එනකම් අපිට තව තරමක් වෙලාවක් තියෙනවා"

"ඉතින්"

"අපි කවුරුත් නොකරපු වැඩක් කරමු"

"ඒ කිව්වේ?"

"අපි අරුන්ගේ මර්මස්තානෙකට කඩා පනිමු"

"දරෙක් උඹට පිස්සුද? ආපහු දෝනාවට යන්න උන් අපිට ඉඩ දෙන්නේ නැහැ"

"ඇයි දෝනාවට යන්නේ? දෝනා දිගේ ගමන හෙමින්. අනික අපිට දැන් සාපය වැදිලා ඉවරයි"

"හ්ම්ම්ම්ම්"

"අපි ගොඩබිම දිගේ යමු. උන්ගේ මර්මස්තානයක් ලඟට ගිහින් ඇතුලට පනිමු. එහෙම එකක් කවදාවත් වෙලා නැති නිසා උන් ආරක්ෂාව යොදලත් නැතුව ඇති"

"සිරිමතාණන් වහන්සේට ඔප්පු වෙන්න දරෙක් උඹ අපේ සේනාධිනායකනම් අපි මේක දිනලා යකෝ"

මරණයට කැප වූ මිනිසුන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන සිනාසුනහ. ඉන් පසු තරමක් බැරෑරුම් ලෙස කල්පනා කළහ. දරෙක් තම ඇඳුමෙහි රදවා තිබු සිතියමක් ගෙන යන දිශාවන් තීන්දු කළේ ඉවෙන් මෙනි. ඉන්පසු ඔවුහු ගමන් ඇරඹුහ. අඳුරු වලාව පිටිපස්සේ ඉර බැස ගියේය, සඳ නැග යළි බැස ගියේය. නැවත ඉර උදාවන විට වේදනාභරිත වෙහෙසකර ගොඩබිම් ගමනකින් පසු සෙබළු දෙදෙනා සතුරු දෝනාවක බඩගාමින් හුන්හ.

+++++++++

"මේ හටන මෙහෙම කෙළවර වෙයි කියලා කවුද හිතුවේ" ප්‍රධාන පූජකයා ප්‍රීතියෙනි.

"මගේ ශූර බුද්ධිය" සේනාධිනායක වහසි බස් දොඩවයි.

"දරෙක් හා රපී අරුන්ගේ මර්මස්තානෙට පැන්නේ සැලසුමකින් නෙවෙයි නේද?"

"ඒ වුනාට උන් දෙන්න පුහුණු කලේ මම නේ"

"ඒක ඉතින් මොකද්ද?"

"අනික දැන් ඔය පහරදීම වුණා කියලා සතුරු ඔත්තුවලින් හොයාගෙන මරාගෙන මැරෙන දරෙක් රපී බලකාය හැදුවේ මම. අපේ නිර්භීත කොල්ලෝ කෙල්ලෝ කීයක් දරෙක් හා රපී ගිය මග යන්න සාපයට නොබියව මුහුණ දෙමින් ගොඩබිමින් ගිහින් පහර දුන්නද? අද අපි මුන් කුදලාගෙන ආවේ ඒ ජීවිත පරිත්යාගය නිසා"

සේනාධිනායකයා අත දිග හැර පෙන්නු දිසාවේ දම්වැලින් බැඳ දමා හුන් විරුද්ධාගමික මිනිසුන් කෙළවර නොපෙනෙන තරම් පේලියට තබා තිබුණි.

"ඔක්කොම ඇල්ලුවද?"

"ඔව් වෙන යන්න දෝනා නැහැ. ඔක්කොම මෙතන."

සුළු වෙලාවකින් ඒ සියලු දෙන මහා දේවාලය අසලට ගෙන එනු ලැබීය. පූජකයා මිත්‍යා දෘෂ්ටිධාරි ඒ මිනිසුන් සහ ගැහැනුන් මරණයට කැප කළේය. ඔවුන්ගේ ආත්ම වෙනුවෙන් සිරිමතාණන් ගෙන් සමාව ඉල්ලීය. ඈත අහසට ඇරුණු කටකින් ඉහලට නොපෙනී යන දම්වැල් වල ඒ මිනිසුන් එල්ලා දමන ලදී. ශුද්ධ වූ යුද්ධයේ අග්‍ර පලය ලෙස ප්‍රතිවාදියා සමූල ඝාතනය කෙරෙන සංඥාව ලැබුණි. දම්වැල් ලූ මිනිසුන් අගාධයේ විවරය දෙසට එසවෙන්නට පටන් ගැනුනි.

දැවමුවා ප්‍රතිමාවක හැඩයෙන් සිරිමතාණෝ නිසොල්මන්ව මේ දෙස බලා හුන්නේය. දළ උඩු රැවුල අනගි ලී කැටයමකි. කෙලින් වූ හිසකේ ලෝහයෙන් කර තිබුණි. කලෙකට පෙර ඇල්බට් අයින්ස්ටයින් ලෙස හැඳින් වූ මේ සිරිමතාණන්ගේ මහා පුස්තකයේ ඉදිරි පිටේ ලියා ඇති, උත්තම ධර්මධාරි ජනයා ගේ සිත් හි භක්තිය උපදවන මුත් බුද්ධියට ගෝචර නොවන මහා යාතිකාවෙන් කුටීරය පිරී ගියේය.

"E = mc2"

"E = mc2"

"E = mc2"

Wednesday, September 30, 2015

උල්පත්

"හප්පා කාස්ටකේ"

"උල්පත් ටිකත් වේලෙන සයිස්"

"ඒකත් නැතිනම් අපි මියැදිලා බං"

"බලන් හිටහන් ඒකටත් තව වැඩි කලක් නැහැ. ඇවිත් කෙළිනකම් "

"පිස්සුද ඕයි මේ කාන්තාරේ මැද්දේ?"

"තැනක් නොතැනක් නැහැ ඕකුන්ට"

"උඹ කියන්නේ උන් අච්චර සිරා ටවුමක ඉඳලා එනවා මේක අස්සේ . අහවල් මගුලකටද?"

"මොංගල් කම තමා. ඒත් ඒ උන්ගේ හැටිනේ"

"උඹ දන්නවද උන්ගේ සිටි එකට වහින තරම්. පාක්ස් වල ලස්සන ගස් මල් පිරිලා. ගංගාවල් ගලා යනවා. "

"හරි බන් මාත් දැකලා තියෙනවා උන්ගේ සීනරි. ටීවී සිග්නල් වදිනවා අපේ ගෙදරටත් ඉඳලා හිටලා."

"ඉතින් ඒකනේ. උන්ට මේක අපායක් බං. මං හිතන් නැහැ ආණ්ඩුවෙන් ඉඩම් බෙදුවත් ඒවි කියලා"

"එව්වා මං දන්නේ නැහැ හැබැයි කේලමා එවලා ඔත්තු බලනවා"

"ඕක ඔය ඉස්කෝලේ කොල්ලෙක් ප්‍රදර්ශනෙකට හදාපු එකද්ද කොහෙ. හැටි බලපන් අම්බාන ප්‍රාතමිකයි"

"ඔව් සීන් එකනම් ප්රාතමිකයි තමා බ්ලයින්ඩ් ස්පොට් එකට සෙට් වෙලා අපේ කොල්ලෝ කාර් පදිනවා ඒකෙ. හැබැයි උන් ඒක මෙතන දැම්මේ මොකටද?"

"මං කිව්වේ ඉස්කෝලේ කොල්ලෙක් ප්‍රදර්ශනෙකට හදාපු එකක් වෙන්ටෑ "

"එතකොට ගහන ෆොටෝ යවන්නේ උන්ගේ ආච්චිලයි දිහාවේද?"

"ෆොටෝ යවනවා කියලද උඹ කියන්නේ"

"ඔව් අපේ රේඩියෝ බාස් කාරයා කියන හැටියට යවනවා"

"අම්මට හුඩු යවනවා නම් ඔක්කොම පේනවා ඇතිනේ"

"ඒක තමා කියන්නේ"

"හුටා ඒ කියන්නේ උල්පතත්"

"ඔව් උල්පතත්. ඇයි ඒක වීදුරුද?"

"උඹ කියන්නේ උන් දන්නවා අපේ උල්පත් ගැන"

"බොහෝවිට"

"මල කෙළියයි"

"ඒක තමයි කියන්නේ. ඔන්න බලහන් රොත්ත බැඳගෙන ඇවිත් මෙතන හෝටලයක් හදලා දාගන්නවා ටුවරිසම් පාරක්. ඊට පස්සේ හදනවා ගමක් දෙකක් උල්පතේ වතුර ටිකත් අරගෙන. අපිව ගෝත්‍රිකයෝ හැටියට හංවඩු ගහලා එක්කෝ වඳ කරදානවා, නැතිනම් ශිෂ්ටාචාර ගත කරන්න කියලා උන්ගේ කාලකන්නි ලයිෆ් එකට බලෙන්ම හුරු කරනවා. අවුරුදු සීයක් යද්දී මේකත් අමු අපායක්. මරාගන්නවයි තියෙන හැම දේම හූරලා කනවයි හප්පා ලෝක විනාසේ"

"ඒකනම් හරි තමා. නැත්නම් උන්ගේ ලෝකේ මේකට වඩා කොච්චර පට්ටද? අවුරුදු දහදාහක් යද්දී ඒක විනාස කළා. මේකටත් රිංග ගත්තොත් සොරිම තමා"




[අඟහරු රෝවරයේ  පින්තුර  අනුව නාසා ආයතනය අඟහරු  මත  ගලායන  උල්පත්  ජලය ඇති  බව ප්‍රකාශ  කිරීම  නිමිත්තෙනි]

Monday, June 1, 2015

කුටුම්බ

කුඩා  දරුවන්  රැගෙන  යන  ප්‍රෑම්  එකක  දරුවාට  අමතරව එළවළු  මල්ලක්  පාන්  ගෙඩියක් ටිෂූ  පෙට්ටියක්  එහෙමත්  අරගෙන  යන්න  පුලුවන්ද?

බැරි වෙන්න  බැහැ  මොකද කෙනෙක්  එහෙම  ගෙනාපු  නිසා. හැබැයි  ඊට  අමතරව  ප්‍රෑම්  එක  උඩ හයිය  රාමුව  හරියේ  කාමර  රත්  කරන්න ගන්න අලුත්ම  අලුත්  ඔයිල් හීටරයක් සහිත  පෙට්ටියත්  පටවලා  මදිවට  බබාගේ  ඔළුවට  උඩින්  නිදහස්  රෙද්දේ  අයිසින්  කේක්  එකකුත්  සස්පෙන්ෂන්  එකට තියාගෙන යන්න  පුළුවන්  කිව්වම.  එහෙමත්  තිබ්බ. ඒ  අම්මගේ අතේ  තඩි බෑග්  එකකුයි  මොප්  කරන්න ගන්න  අලුත් කොස්සක්  හා  භාජනයකුයි.

අවුරුද්දක  එකහමාරක  විතර  චූටි  එකී  ප්‍රෑම්   බෙල්ට්  එකේ  විතන්‍යතාවය උපරිමයට  ටෙස්ට්  කරමින්  අයිසින්  කේක්  එක  ගන්න  පොරේ.

එතකොට තව  අම්මෙක්  එතනම  ඒ  වගේම  බඩු  ගොඩක්  එයාගේත්  ප්‍රෑම්  එකේ. එයාගේ  මාසගානක  චූටි  එකා  හරිම  හුරතලයා  වගේම  මහා  ඇට්ටරයා.  ප්‍රෑම්  එකට  කැමති  නැහැ.  ඒ  නිසා ඔක්කොම  අස්සේ  ඒ  අම්මා  එයාවත්  කරගහගෙන.

බස්  එක  ආවේ  එතකොට.

ඔෆිස් ඉවර  වෙච්ච  වෙලාවත්  පහු  වෙලා, හැබැයි  තාමත්  දුර  නගරයෙන්  එන  මිනිස්සු  ගෙවල්  බලා  ඇදෙනවා.  මහා රාත්තිරියේ  පුංචි  එවුනුයි  "නිවසකට  අවශ්‍ය සියලු  දේත්"  උස්සගෙන  යන  එක  ලෙහෙසි  නැහැ. ඒකත් ඇට  මිදුළු  හෑරෙන  සීතලේ. හුඟක්  දුරට  අම්මලා  සේවා මුරය  ඉවර  වෙනකම්  කොහේ  හෝ  තැනක  රඳවා  තිබ්බ  පුංචි පැටව් දෙන්නෙක්.  සීතල  කාලේ  නිසා  හීටර්  එක  බබාට  අවශ්‍ය  දෙයක්. පොඩි  එකෙක්  ඉන්න  ගෙදරකට  මොප්  එකකුත් ඕනේ තමා. තනි අම්මෙකුට  මෙව්වා  ගේන්න  සිය  පාරක්  එන්න  අමාරුයි.

සමහරවිට  පඩි  දවස  වෙන්නැති  දෙන්නටම. හම්බු  කරන  තුට්ටු  දෙකෙන්  දරුවාගේ  ඕනා  එපාකම්  බලලා  මාසේ අන්තිම  වෙද්දී  සතේ  නැතුව  ඉන්න තත්වය  නුහුරු  දෙයක්  නොවේ  මේ  පළමු  ලෝකයේ  පිටත  පෙනුමට ධනයෙන් ආඩ්‍ය සමාජයටත්.  මාසයක්  පොඩි  එකා  හීතලේ  ඉන්නවා  බලා ඉන්න බැරි අම්මෙකුට  සල්ලි  ලැබුන  ගමන් හදිස්සියට  හීටරයක්  ගන්න ඕන  වෙන  එක  පුදුමයට  හේතුවකුත්  නොවේ.

කෝ  හැබෑටම  තාත්තලා?  කවුරුත්  ඇහුවේ  නැහැ.  ගැහැණියට  පවතින්න  පිරිමියාගේ  සහයක්  ආරක්ෂාවක්  ඕනේ  කියන  කතාව නම්  බයිලාවක්.  හැබැයි  ළමයෙකුත්  අතට  දීලා මාරු  වුනාම?

මිනිස්සු  හැකි  පමණින්  උදව්  කලත්  බඩු  ටික  පටව  ගන්න  අම්මල  දෙන්නට  සැහෙන  ෆයිට්  එකක්  දෙන්න  වුනා.  කීප  පාරක් බැහැලා  නැගලා  පටවන  අතරේ  චූටි  බබී  අම්ම  දාල  ගියා  කියලා බයවෙලා,  කෑ  ගහලා,  එක  නාට්ටියයි.


දැන්  මේ  නාට්ටිය  නරඹන්න  සහ  බඩු ඔසවා  උදව්වෙන්න ඉබේ  ම  සෙට් වුණ ප්‍රේක්ෂක  ප්‍රජාව  හෙවත්  බසයේ  සෙසු  මගීන්ට මේක  නොබලා තමන්ගේ  වැඩක්  බලාගෙන  යන  ආකාරය  ගැන  පුද්ගලිකත්වයන්  සුරැකීම  ගැන  විශේෂඥ උපදෙස්  දෙන  කෙනෙකුගෙන්  උපදෙස්  ගන්න වෙයි.  කාට  නැතත්  අපි  දෙන්නට.  මොකද  ඔෆිස්  ඇරිලා  ගෙදර  යන  මා යි මගේ  යාළුවයි  දෙන්නට  ඉඩ ලැබුණේ  හරියටම  එයාලට  පස්ස  සීට්  එකේ.

"පිස්සු  පීකුදු  යකෝ. පොඩි  එවුනුයි  ගෙදරකට  ඕනේ  ඔක්කොමයි"  ඌට  වැඩේ  ටිකක්  අවුල්  වගේ.  දැන්  මෙතන  සිංගල්  අම්මලාගේ  අර්බුද  ගැන  මූත්  එක්ක  වාද  කරනවට  වඩා  ගෙදර  ඇවිත්  බ්ලොග්  එකේම  ලියනවා  කියලා  මම  හිත  හදා  ගත්තා.

බසය හිමීට  ඉස්සහරට  ඇදුනා.  ගැහැණු  දෙන්නා  කතාව  පටන්  ගත්ත.

සාමුහික  වානර  පවුලේ  එකාලා  ඔලුවේ  උකුණෝ  බලබලා  වානර  බාසාවෙන්  තමන්ගේ  ආගත  නාගත  ඕපාදූප  කියවපු  එක අපේ  ජානවල  තියෙනවා.  ශිෂ්ටාචාරේ  පුද්ගලිකත්වය වගේ  එව්වා පස්සේ  ආවට.  දැන්  මේ  දෙන්නට  ඔහේ  කියවගෙන  යනකොට  උන්ගේ  පුද්ගලික  කතාද  වටේ  උන්ට  ඇහෙනවද  කියලා  ගානක්  නැහැ.

"මට  ඒ  යකා  පෙන්නන්න  බැහැ.  සුපවයිස්  කරනවා  කිව්වට  කිසිම  සහනයක්  දෙන්නේ  නැහැ.  පොඩි  හරි  ස්ටේන්  එකක්  තිබ්බොත්  ආයිත්  සුද්ද  කරන්න ඕනේ"

"මොකද්දෝ  එකකට  මට  නම්  ශේප්"

"ඔව්  ඌ  මූණු  බලලා  තමා  සුපවයිස්  කරන්නේ"

ඔන්න ඔහොම  එදිනෙදා  ජීවිතයේ  ප්‍රශ්න.  පොඩි  එකීට  මේක  අල්ලන්නේ  නැතුව  අනිත්  කොලු පැටියට  සමාන  අයිතිය  හෙවත්  අම්මගේ  උකුලට  එන්න  ඕනෙලු.  බැරිම  තැන  ඒක  පිළිගන්න  වුණා  ඒ  අම්මට. පොඩි  එකී  බස්  එකටම  කතා  කරනවා.  තේරෙන්නැති  බාසාවෙන්  මොනවදෝ  කියනවා.  වටේට   කැරකෙනවා . බස්  එකේ  සීනුවේ  ස්විච් එක  එබීම තමා  සැලසුම.  උස  පොඩ්ඩක්  මදි.

අම්මලා  ඔපාදූපේ.

"ඔය  ළමයා  අල්ලගන්න"  ඩ්‍රයිවර්  බෙල්ල  දාලා  කිව්වා.  ඒත් ඒක  ඇහුනේ අපිට  විතරයි.

"මටනම් තේරෙන්නේ  නැහැ  බං  හදාගන්නත්  අමාරුවේ  මොකට  ළමයි  හදනවද  කියලා" ඒ  අස්සේ  මගේ  ළඟ ඉන්න එකා කියවනවා.  වැඩේ  තියෙන්නේ  ඕක  ඒ  දවස්වල වැටහෙන්නේ  නැහැ.  කොහොමත්  දෙන්නෙක්  ඕනේ  ළමයෙක්  හදාගන්න.  හැබැයි  කොච්චර එකට  කිව්වත්  මිනිස්සු  කොහොමත්  සිංගල්.  එකෙක්  දාලා  ගියාම  අනිකා  අනාතයි.

එතැන්සිට ඒක  පුද්ගල  නාට්‍යයක්. ගමරාලගේ  චරිතෙයි  ගමමහගේගේ  චරිතෙයි  දෙකම  කරන්නේ  එක්කෙනක්.  ඒ  පීඩනයත්  එක්ක  දරුවෙක්  ආදරෙන්  බලාගන්න  එකට  තෑගී  දෙන්න  ඕනේ.

"එකත්  එකටම  ආණ්ඩුවෙන්  සල්ලි  දෙන  නිසා.  ෂුවර්  එකටම  ඇෆ්ගනියෙක්  වෙන්න  ඇති  තාත්තා"

ඔය  කතාවේ  පොඩි  ඇත්තක්  තියෙනවා.  දරුවන්  කීපයක්  ඉන්න  තනි  අම්මෙකුට  රජයෙන්  ටිකක්  වැඩි  [ඒත්  මේ  නගරේ  පොළොවේ  හැප්පෙන්න නම්  මදි]  ආධාරයක්  දෙනවා.  සමහර  ඇෆ්ගානි  සරනාගාත පිරිමින්  [සමහරවිට  වෙන  රටවල  උනුත්  කරනවා  ඇති]  ගෑනු තුන  හතරක්  සෙට්  කරගෙන  උන්ට  ළමයි  සෙට්  එකක්  හදා  දීලා  උන්ට  සිංගල්  මදර්  බෙනිෆිට් අරගෙන  දීලා  උනුත්  ගානක්  කපාගෙන  ඒකෙන්ම  යැපෙනවලු. ඒත්  මේ  බබා  බ්ලොන්ඩ්  බබෙක්.

කොහොම  උනත්  මම  ඒ  ගැන මොකුත්  කිව්වේ  නැහැ.  ඇෆ්ගානි  කිව්වා  ගමන්  ඒ  අම්මා හැරිලා  බැලුවා.  අම්මලා  දෙන්නා  ටික  වෙලාවකට  නිහඬ  වුනා.

"සල්ලි  තාම  ලැබුනේ  නැද්ද?"  ටිකකින්  එක්කෙනෙක්  ඇහුවා.

"නැහැ.  එක  ලැබෙන  එකක්  නැද්ද  මන්දා.  ඒ මිනිහ  සුයිසයිඩ්  කලේ  යුද්ධෙට  ගිය  වෙලාවේ  නෙවෙයි.  හමුදාවෙන්  අයින්  වෙලා බේබදුකමට  වැටිලා.  ඒක  ඔප්පු  කරගන්න  බැහැ."

"බැරිවෙන්න  බැහැ.  වන්දිය  ලොකු  ගානක්"

"අනේ  මන්දා.  තව  මෙව්වෙකක්  අඩුයි"

"මොකද්ද?"

"ඔෆිස්  එකේ  ගෑනි  කිව්වේ  තව  මෙව්වෙකක්  අඩුයි  කියලා.  මෙව්වෙකක්,  මං  දන්නේ  නැහැ  හරියට.  අනේ  මට  මේ  වැඩ  එක්ක  ඔව්වට  වෙලාවක්  නැහැ.  ඒ  ඔෆිස්  වල  ඉන්නේ  උන්ගේ  අම්මලට  *$@#$@#$  ගෑණු"

"හ්ම්ම්ම්"

 "ඒ මිනිහගෙන්  ගැලවීමම  මදැයි. අන්තිම  කාලේ  බබයි  මමයි  අමාරුවෙන්  උන්නේ"

ලෝක  බාගයක්  එහා පැත්තේ  අර්බුද  වල  මානසික  පීඩනය  සමාජයට  කරන  බලපැමක  හැටි.  පුංචි  කාරනාවක්  එහා  මෙහා වෙලා  ත්‍රස්තවාදී  උණ්ඩයකින්  මළානම්  මිනිහා  රණවිරුවෙක්.  විරු  බිරියටයි  විරු  දියණියටයි  වන්දි.

දැන්  මගේ  යාලුවගේත්  කට  වැහිලා.

"ඉන්න  බැරිනම්  පොඩි  එකත්  අරගෙන  යන  එක  ලේසියි.  පුලුවන්නම්  එළවලා  දාන්න මේ  මම  වගේ" අනිත්  අම්මා  ටිකක්  හයේ  හතරේ  ගෑණි.

"ඒක  තමා"

"මං  උන්දැට  අන්තිමට  කිව්වේ,  තමුසේ  මෙතන  ළමයෙකුටයි  මටයි  වදයක්  වේවි  ඉන්නවට  වඩා වෙන  තුත්තුකුඩියක  ඕන  බැල්ලියෙක්  එක්ක  යනවා  මගෙන්  බාධාවක්  නැහැ  කියලා. මට  පුළුවන්  ළමයා  හදාගන්න කොහොම හරි"

අම්මලාගේ  කතාවේ  ගෑස්  පවර්  එක  අඩුවෙද්දී  බබ්බු  දෙන්නගේ  කතාවේ  පවර්  එක  වැඩිවුනා.  සාමානයෙය්න්  පුංචි  ළමයි  කියන්නේ  අනුනාද  දෙන  කට්ටිය.  මේ  දෙන්නත්  කෑ  ගැසීමේ  තරගයක.

"වෙලාවකට  ඔක්කොම  එපා වෙනවා.  දවසකට  පැය  දහයක්  විතර  වැඩ.  එහෙන්  ළමයින්ගේ  දේවල්"

"ඔව්ව  ඔහොම තමා.  මාත් ඒ  කට්ට  තමා  කන්නේ"

මෙතැනදී  ලංකාවේ  ආච්චිලා  සීයලාගේ  කාර්යභාරය  කතාවෙන්  ඉවත්  කලාම  තමයි දිග  පළල  තේරෙන්නේ. මමවත්  මගේ  යාලුවවත්  එහෙම  කිව්වෙනම්  නැහැ.

හිටිගමන්  අම්මලා  දෙන්නා  බහින  තැනට  ආවා.  සීනුව ගහලා  දැන්  ආපහු  බඩු  ටික  බාගන්න  සැලසුම.

"කෝ  දෙන්න මට  කේක්  එක" අනිත්  අම්ම උදව්වට  කේක් එක  අතට  ගත්තා.  එයාගේ  බබා  අනිත්  අතේ.

මේ  වගේ  කතන්දර  සුඛාන්ත  වලින්  ඉවර  වෙන්නේ  නැහැ.  සමහර  ඛේදාන්ත  වලට පොඩි  පැටලවිලි  ප්‍රමාණවත්.  අර  උදව්වට  කේක්  එක ගත්ත  අම්මගේ  අතේ  වැදුණේ  අනිත්  අම්මගේ ම  අතේ  තිබ්බ  කොස්ස.  ඒ  වැදුන  පාර  අයිසින්  කේක්  එක  බිමට  වැටුනා.

"මොකද්ද  ඒ  කල  වැඩේ.  ළමයාගේ  උපන්දිනේට  ගත්ත  කේක් එක"  වැටිච්ච  කේක්  එක  අහුලන්නෙත්  නැතුවම  ඒ  අම්මා  අනිත්  අම්මට  කඩා  පැන්නා.

"මම  උඹට  උදව්වක්  කරන්න ගියේ"

ඒ  වුනාට  අනිත්  අම්මා  විනාඩි  පහක්  විතර  ආඩපාලි  කිව්වා.  කරන්න  දෙයක්  නැතුව  ඩ්‍රයිවර්  බලා උන්නා. හැබැයි  අන්තිමේ  බැණුම්  අහපු  ගෑණි  ගිල්ට් එකටත්  එක්ක  අහුලලා  බලද්දී  කේක්  එකේ  ලොකු  අවුලක්  නැහැල්ලු. ඊට  පස්සේ  ආයෙත්  පෙර  සුහදාතාවය  වර්ධනය  වෙන්න  ගියේ  සුළු  තප්පර  ගානක්.

ලොකු  බරක්  හෑල්ලු  කරගත්ත  පාරට  ඩ්‍රයිවර්  බොහොම  වේගයෙන්  ඇදෙන්න වුණා.  මිනිහටත්  නියමිත  වෙලාවක්  ඇතිනේ.

වෙච්ච  කලබල වලට ද කොහෙද  වමට  හරවන්න  ඕනේ හන්දියකින්  මිනිහා  දකුණට  හරෝගෙන. දැන් ඉතින් මේ  පටු  පාර දිගේ බස්  එක  රිවස්  කරනකම් ඉන්න වෙනවා.

සිංගල්  පේරන්ට්  කෙනෙක්  නොවුනට  මම  එනකනුත්  කෙනෙක්  බලා  ඉන්නවා. ඉක්මනට රිවස්  කරමු.

Monday, April 14, 2014

ලෙජර පොත

අරක්කුවත්ත දිහාවෙන් පොසොන් කාලෙට කැරකෙන හුළඟ සුබෝධියට දූවිලි බිඳක් පිම්බේය. අත් කොස්සක් ගෙන වහා දිව ආ ජයසිරි වීදුරු පිස දැම්මේ දේවකාරියක් මෙනි. සුබෝධියට වදින හැම දූවිලි පාරක් ගානේම මකුළු දැලක් සෙලවුනු විට දුව එන මකුළුවෙකු මෙන් ජයසිරි දුව එයි. ඒ එන හැම ගමනකදීම ලාච්චුවේ ඇති පඬු පැහැ  ගැනුන බොහොම ගනකම පොතක් අතට ගන්නට අමතක නොකරයි. ඒ පොතේ ඉදිරි පිටේ ගැලවීගිය පතුරු අතර කළු පාට ප්ලැටිග්නම් පෑනකින් "ලෙජර පොත" කියා ලියා තියේ.

ජයසිරිගේ උනන්දුව නිසාම සුබෝධිය කඩ වීදියේ බැබලේ. කොහොමත් සුබෝධිය කඩ වීදියට අමුත්තකි. දුරාචාරයටම පමණක් ප්‍රසිද්ධ වූ අරක්කුවත්ත අයිනේ කඩ වීදියක පිරිකර හා පූජා භාණ්ඩ කියා බෝඩ් ලැල්ලක් දැකීම පුදුමයට කරුණකි. කඩ දෙකක් එහායින් ඇත්තේ අස්වර් ගේ මස් කඩයයි. තව දෙක තුනක් එහායින් රේස් බුකියයි. අතර මැද්දේ ඇත්තේ ගිනි ගානට බඩු විකුණන සිල්ලර කඩ කීපයකි. තව උකස් බඩු එකතු කරන කඩයක් සහ පත්තර තට්ටුවක් කෙලවරට වන්නට තිබේ. පත්තර තට්ටුව කිව්වට දුවන්නේ පත්තර මිටි අස්සේ හැංගු පනහේ සීයේ කෑලි වලිනි.

සුබෝධිය වැජඹෙන්නේ මෙහෙම තැනකය. කඩේ වීදුරු පෙට්ටි පුරවා ඇත්තේ පිරිකර, කුඩ, සුවඳ දුම් ආදී විවිධ පූජා භාණ්ඩ වලිනි. සුබ නැකතට ගෙට මුල්ගල තියන තැන සිට ගෙහිමියාගේ පාංශුකූලය දක්වා සෑම පූජා භාණ්ඩයක්ම මේ වහල යටින් ගත හැකිය.

සුබෝධියට නොදෙවැනි අමුත්ත ජයසිරිය. අරක්කු වත්ත අයිනේ තිබ්බට කඩ වීදියේ සෙල්ලම් කරන්නෝ පිටස්තරයෝය. ගාල්ල මාතර දිහාවෙන් ද නුවර මාතලේ දිහාවෙන් ද යාපන මන්නාරම් දිහාවෙන්ද ආ වෙළෙන්දෝ කඩ වීදිය පාලනය කරති. අරක්කුවත්තෙන් එකෙක් ඒ දිහාට එන්නේ එක්කෝ බඩු ගන්නටය. නැතිනම් කප්පම් ගන්නටය. ඒ දෙකටම නැතුව අරක්කුවත්තෙන් කඩ වීදියට ආවේ ජයසිරිම පමණි.

ජයසිරි අඳින්නේ සුදු සරම හා සුදු කමිසයකි. කොළඹ යන දවසක් වෙතොත් සුදු කලිසමක් අඳියි. හීනි රවුල් පේලියක් හනු දිගේ ඉතුරු කර හෙළි පෙහෙළි කල දෙකම්මුල ශේෂ කඳු ගහන කලාපයකි. නිදිබර වන්නට තතනන නමුත් හැමවිටම අවදියෙන් ඉන්න දෑස් සියවස් හතරකට වඩා දිග දශක හතරක කතාවක් සඟවා ගන්නට වෙර දරයි. තවම හිසකේ සුදු වී නැති තට්ටය ද පෑදී නැති ජයසිරි තමන්ට වඩා දස වසක් බාල තරුණයෙකු හා රූ සිරියෙන් තරග කරයි. තවම පිළිවෙලක් වී නැති මුත් අම්මා ළඟදීම සහකාරියක් සොයා දෙනු ඇති බවට ජයසිරිට විශ්වාසය. ඔහු කරන්නේ දන්නා දේවල් පමණි. නොදන්නා දේ අම්මා සොයා දෙනු ඇත.

"අපේ මුදලාලි මහත්තයෝ තමන්ගේ දේ තමන් රැක බලා ගන්න ඕනේ"

පිණ්ඩපාතේ වඩින අත්තදස්සි හාමුදුරුවෝ කතාබහක් පටන් ගන්නට තතනති.

"හාමුදුරුවනේ පොඩ්ඩක් ඔහොම ඉන්න." ජයසිරි කඩය තුලට දුවයි. සීයේ නෝට්ටුවක් ගෙන විත් පාත්තරයට දමයි. පිණ්ඩපාතේ වඩින්නේ දානය බලාගෙන වුවද  අත්තදස්සි හාමුදුරුවන්ට දන් බෙදන්නට කවුරුවත් අරක්කු වත්තේ නොමැත. ඒ නිසා ලද දෙයින් තුටු වී සංඝ සීලයක අහුමුල්ලක් පලුදු කර ගන්නට සිදු වීම පාපයක් ලෙස උන් වහන්සේ නොතකති. පන්සලේ වැඩ වලට දෙන්න වෙන්නේ සල්ලිය. ටවුන් වල පන්සල් වගේ මේවාට සල්ලි දෙන්න කවුරුවත් නැත. කොටින්ම පන්සලේ වැඩ කටයුතු වලින් බාගෙකට පිරිවැය දරන්නේ හැමදාම නොවැරදී ලැබෙන ජයසිරිගේ නෝට්ටුවයි. ඒ නිසාම විනාඩි පහක කෙටි බනකින් තම අනේ පිඬු සිටු වරයාව තුටු කරන්නට උන් වහන්සේට අමතක නොවේ. කඩේ එලි පත්තේ සිමෙන්ති පඩියේ ඇන තියාන දොහොත් මුදුන් දී ඒ බන අහන්නට ජයසිරි කැමතිය. බණ කියා හාමුදුරුවන් නික්ම ගිය පසු හෙමිහිට කවුන්ටරය දිහාට යන ජයසිරි හොරෙක් මෙන් ලෙජර පොත දිග හරියි.

ලෙජර පොත කීවාට ජයසිරි දන්නා ලෙජරයක් නැත. ලෙජර නොදත් මුත් ඔහු බිස්නස් දනියි. ඒ නිසා සෑම භාන්ඩයකටම පොතේ පේලි දෙකක් ඇත. වැය වූ මිල එක පෙළකි. අය වූ මිල අනික් පෙළයි. වෙනස පහලින් එකතු වේ.

පන්සලට - 100/-

ඒකට පේලි දෙකක් නැත. දානය දෙනුවකි. ගනුවක් නැත.

දුරකථනය නාද වේ. පොඩි අක්කා හෑල්ලක් කියවයි. දිගු කතාව කෙටි කරන්නට ජයසිරි තතනයි.

"හරි බං දැන් කීයක් ඕනෙද?"

අනුන්ගේ ෆෝන් එකකින් ගත්තත් අක්කගේ උවමනා දිගය. පියරත්න අයියා දරුවන් තිදෙනෙකු සමග පාරට දමා ගිය පසු අක්කාට කොට කතා නැත. කාලයක් පාර අයිනේ ලයිට් කණු යට රස්තියාදු වුණත් වයසට දෙගුණයක් මහලු අක්කාට දැන් ඒ හැටි අවධානයක් නොලැබේ. ඒ අඩුව පියවන්නේ  ලෙජර පොතයි.

අක්කට - 2500/-

තවත් තනි පේලියකි.

සෑම ව්‍යාපාරිකයෙකුටම මැණිකක් සේ රකින රහසක් ඇත. ජයසිරිගේ රහස  ලෙජර පොතයි. කවුන්ටරයෙන් එහාට යන හැම වෙලාවකම පොත අතට ගනියි. කඩය වසා ගෙදර යන හැම මොහොතකම පොත දැඩි ගෞරවයෙන් මල්ලේ දමා ගනියි. කිසිවෙකු තමා අසල ගැවසේ නම් පොත විවර නොකරයි.

සෑම ව්‍යාපාරිකයෙකුටම අනියත බියක් ඇත. ජයසිරිගේ බිය කවදා හෝ ආදායම් බදු නිලධාරියෙකු හෝ වෙනත් නිලමක්කරුවෙකු පැමිණ මේ  ලෙජර පොත විවර කරයි ද යන්නයි. ඒ නිසාම ඔහු කල්පනාවෙන් ගනුදෙනු සටහන් කර ගනියි.

දවස ගෙවෙන්නේ හෝන්දු මාන්දු ආකාරයටය. නාගරික පැල්පත් ආශ්‍රිත අරක්කු වත්ත අවට පළාතේ කඩවීදී ජනී ජනයාගෙන් පිරී පවතියි. එහෙත් සුබෝධියට ගොඩ වදින්නේ එහෙමත් එකෙකි. මිනිසුන්ගේ ඉපයුම වියදමට ළඟාවන තරමට පින දහම සුබ අසුබ දේවල් වලට දරන පිරිවැය අඩුය. එන සුළු පිරිසෙන් වැඩිම පිරිසක් එන්නේ අට පිරිකර ගන්නටය.

"ඔය අට පිරිකර කෙරුවාව කොරන්න නම් එපා ගොයියෝ" කොළඹ තොග වෙළෙන්දෙක් අනතුරු ඇඟවූ හැටි ජයසිරිට මතකය. "ඔව්ව තමුසේ කීයට දුන්නත් අහල පහල පන්සලේ දෙන ගානට එන්න බැහැ"

මේ වගේ කතා වලින් පසු බලන්නේ ජයසිරි නොවේ. එහෙම පස්සට හැරුනා නම් මේ සුබෝධියත් නැත. අරක්කුවත්තෙන් ඇවිත් පූජා භාණ්ඩ කඩයක් දැමීම ම සෙල්ලමක් නොවේ. එහෙත් හැම ඉරිදාම දහම් පාසල් ගිය පෝයට නොවරදි පන්සල් ගිය ජයසිරිට ඕනේ කම තිබ්බේ මේ සුබෝධියම දාන්නය.

ඉරිදාට දහම් පාසල් ගියාට ජයසිරි පාසල් ගියේ හතේ පන්තියට පමණි. එතැන් පටන් ජීවිත රෝදේ ස්පෝක් කම්බි තල්ලු කරන්නට ඔහුට සිදු විය. කඩේක බේකරියක දර මඩුවක ආදී ලෙස නොයෙකුත් ශිල්පයෙන් කෙල පැමිණි මුත් ලද අවසරයකින් දුටු පත්තර කෑල්ලක් කියවන්නට ඔහු පැකිලුනේ නැත. එමෙන්ම අඩුම ගානේ දහම් පාසලට නොවරදි යන්නට ඔහු කාලය වෙන් කර ගත්තේය. ඒ නිසාම නිසි පාසල් අධ්‍යාපනයකින් තොරව අරක්කුවත්තේ ඇසු පිරු ඇත්තෙකු වීමට ඔහුට හැකි විය. වෙන එකක් තියා සුබෝධියට නම දැම්මේද ඔහුය. අම්මා කේන්දර කාරයින්ගෙන් ගෙනා අකුරු ගලපා ගැලපෙන නමක් දාන්නට ඔහුට හැකි වීම සුබෝධිය තරම්ම ජයසිරිට ආඩම්බරයකි.

කිව්වා වාගේම අට පිරිකර අර්බුදය වෙළඳාම වසා ගත්තේය. විකුණන සෑම අට පිරිකරක් ම රවුමේ යන බව ජයසිරිට වැටහුණි. පන්සල හා දායකයා අතර ඒ රවුම කැරකෙන්නේ තමා ඊට පිටින් තබාය. බිස්නස් කාරයෙකු හැටියට මෙය දරා ගත හැකි දෙයක් නොවේ. ඒ නිසා ජයසිරි අපූරු සටන් මගකට වන්නේය.

"පන්සලෙන් ඔබ මිලදී ගන්නා මිලට වඩා අඩුවෙන් අපෙන් අට පිරිකර"

බැනරයක් සුබෝධිය උඩින් පළ විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සුරැකි ඔහු කිසියම් පන්සලක විකුණන මිලක් වෙතොත් ඊට අඩුවෙන් පිරිකර වික්කේය. පිරිකර නොවිකිනී ගොඩ ගැහෙන නිසා පන්සල් වලට ගොස් ඒවා අඩුවට ගත්තේය. ලාබ ද පාඩු ද කියා නිනව්වක් නැති මුත් ටික කලකින් පළාතේම පන්සල් වලින් එකතු කරන සියලු පිරිකර ඉතාම අඩු මිලට සපයන එකම වෙළෙන්දා බවට ජයසිරි පත් විය.

ලාබ ද පාඩු ද කියා නිනව්වක් තියෙන්නේ ලෙජර පොතටයි. හොඳින් බැලුවොත් ජයසිරිට පාඩු වූ දින ගණන ලාබ වලට වඩා වැඩිය.

මෙසේ නිතර පාඩු ලැබූවද පළාතේ සියලු පොදු වැඩ සඳහා ඔහු නොමසුරුව දායක විය. පෝය දාට හිඟන්නන්ට දානයක් දෙයි. හදවතේ සිදුරක් ලියුකේමියා තැලසීමියා රෝගී දරුවෙකුට සම්මාදම් එකතු කලොත් ජයසිරි ඉදිරියෙන්ම සිටියි. පාසල් දරුවන්ට කොපි පොත් බෙදා දේ. හැම වෙසක් එකටම දන්සැලක් තනි වියදමෙන් කරයි. ගිය වර තොරණේ ප්‍රධාන අනුග්රාහකයාය. ඊළඟ පාර තනියම තොරණ කරන්නට ජයසිරි සිතා සිටියි.

මේ සෑම සමාජ සේවයකින්ම ලෙජර පොත වැහැරේ. එහෙත් ඔහුගේ කිතු ගොස පැතිරේ. සමිති සමාගම් වල ලොකුම පුටුව ලැබේ. අවුරුද්දට කොටහළු මගුලකට මේස ඉඳුල් කරන්නට ආරාධනා එමටය. වරක් සාර්ථක ව්‍යාපාරිකයින්ගේ රහස් පල කරන ව්‍යාපාරික පුවත්පතක ලේඛකයෙකු ජයසිරිගේ කතාව එහි පළකරන්නට ඉල්ලා සිටියේය. වෙන ඕනෑම දෙකට ඉඩ දෙන මුත් ඔහු මේකට ඉඩ දුන්නේ නැත. ජයසිරිගේ රහස ලෙජර පොතයි. ඔහු එය මැණිකක් සේ රකියි.

නගර සබා චන්දෙට චන්දය ඉල්ලන ලෙස පීරිස් මන්ත්‍රී තුමා කීප වතාවක්ම ඔහුට පැවසීය. එහෙත් ජයසිරි ඊට කැමති වුනේ නැත. ඊට හේතුව බූරුගොඩේ කපිල ය. තමා මෙන්ම පැල්පත් සමූහයකින් පැමිණ සල්ලිකාරයෙකු වූ කපිල ජයසිරිව නොරුස්සයි. දෙන්නටම ඉල්ලුම ඇත්තේ ආණ්ඩු පක්ෂයෙනි. එහෙත් ජයසිරිට කපිල හා තරගයක් නැත.

තමා හා සම වූවන් සමග තරග කිරීමට ජයසිරි කැමැත්තක් නොදක්වයි. එක වගේ දෙන්නෙකුට පැවැත්මක් නැත. එය ජයසිරිට කීවේ අරක්කු වත්තේ ගුණයා ය. පොඩි පොඩි කප්පම් එකතුවෙන් නමක් දිනා හුන් ගුණයා ඒ රස්සාවම කරගෙන ගිය ජයසිරිගේ තාත්තා සමග නිතර ගැටුනේය. ජයසිරි අම්මාගේ ගවුම පස්සේ හැංගී උන්නු පුංචි කාලයේ ගෙදරටම කුණුහරුප කියාගෙන ආ ගුණයා ඒ කතාව කියා යන්න ගියේය. බොහොම දිගට ඇවිලුණු ඒ කතාව අහවර වූයේ ජයසිරිගේ තාත්තා සුදු යකඩ අඟල් හයක් බස්සවා ගෙනය. ඒ ජයසිරි හතේ පන්තියට සමත් වූ වසරයි.

සම වූවන් හා තරග කිරීම ජයසිරි නුරුස්සන්නේ එහෙයිනි. ඒ නිසාම ඔහු කපිලට ඉඩ දී පස්සට විය. අපායට ගියත් ඉස්සර වන්න කියා ජයසිරි අසා තිබේ. එහෙත් මෝඩයින් ඉස්සර වන බවට පිටරට පිරුලක් පත්තරේක කියවා ඇත. ජයසිරි තේරුවේ දෙවැන්නයි. නගර සබාව ඉක්මවා බලය සහිත පළාත් සබා චන්දය ළඟ ඒ. කපිලයා නගර සබාවට ගිය පසු පීරිස් මහත්තයාට වතු පැත්තෙන් ඉන්නේ තමන් පමණි. ජයසිරි සිහින දකින්නේ පළාත් සබාවේ තව වසරකින් දිවුරුම් දෙන්නටය.

මේ සෑම දෙයකින්ම තව තවත් අඩු වන්නේ ලෙජර පොතේ එකතුවයි. දවසේ එකතුව ගණන් කලොත් රිණ දහස් බර ගානකි. ඒ නිසාම ජයසිරි දැන්ම එකතු නොකරයි. සියල්ල දවස ඉවර වෙන තුරු කල් දමයි.

වැඩිපුර සිදුවීමක් නොවී දවස හමාර විය. ජයසිරි සුබෝධිය වසා ලෙජර පොත  මල්ලේ දමා ගෙන මෝටර් බයිසිකලයේ නැගී අරක්කු වත්ත දිහාට පියඹා ගියේය. ලෙජර පොත කවුරුන් හෝ දකී යන බය හිත හොල්මන් කරයි. මේ වෙද්දී ශුද්ධ පාඩුව බර ගානකි. මෙහෙම බිස්නස් නොදුවන බව ඕනෑම එකෙකුට වැටහෙනු ඇත.

දවසේ ඉතිරිය ද හැමදාම ගෙවෙන්නේ එකම ආකාරයටය. ජයසිරි බයිසිකලය නවතා අම්මා හදා දෙන තේ එක බී කමිසය වැලට දමා බැනියම පිටින් පිළිකන්න දිහාට යයි. ඒ පැත්තට ගඟට වෙනකම් ඇත්තේ පුරන් වූ වෙල් යායකි.

"මුදලාලි මහත්තයා විවේකෙට වෙල දිහාට යනවා වගෙයි. අනේ හොඳයි හුස්මක් අරගෙන එන්න අපේ මහත්තයෝ" රේකොඩින් එකක් වගේ අම්මා කියවයි. අම්මා මෙහෙම කටපාඩමේ කියවන්නේ තමන් ව ම රවටා ගන්නට ද කියා ජයසිරි  සිතා නැත. අම්මා මේ කතාවේ දිග පළල දන්නේ නැතිවා වන්නට බැරිය. එහෙත් මේ වෙලාවේ තම පුතා වෙල් එළියේ විවේක සුවයෙන් ඉන්නා හැටි දකින්නට මේ අම්මා ආස ය. අඩුම ගානේ මෙහෙම කීමෙන් ඒ චිත්ත රූපය ක්ෂණයකින් සිතේ මැවීම ඇයට ප්‍රීතියකි. ඒ ප්‍රීතිය බිය පහ කරන නිසාවෙනි.

අම්මාගේ කතාව මෙන්ම වෙල් එළියේ ඇති සුවය ද පට්ටපල් බොරුවකි . තැන තැන පල් වූ නාගරික අපද්‍රව්‍ය ගහන මේ වෙළට පිටස්තරයෙක් එන්නේ එහෙමත් වෙලාවකටය. තැනින් තැන ඒ ඒ තැනට ආවේනික වූ දුගඳ හමයි. මහ රූස්ස පඳුරු බිමින් නැගී ගොම්මන් අඳුරේ හොල්මන් කරති. ඒවා අතර ජයසිරිට ලැබෙන විවේක සුවයක් නැත.

මීටර දෙතුන් සියයක් අමනුස්ස වාසය දිහාට යනවිට අඳුරු මුල්ලකින් හෙවනැල්ලක් මතුවේ. වෙනකෙකු දුටුවොත් බියේ සැලෙන රෞද්‍ර පෙනුමැති මිනිසෙක් ජයසිරි හා සිනාසේ.

"පියදාස අයියේ" ජයසිරි නතර වේ.

"ජයසිරි මහත්තයෝ මස්ත බාල්දුයි. බොරුවක් නෙවෙයි" පියදාස අතේ ඇති මිටියක් ජයසිරි අතට දේ. ජයසිරි මිටිය ගනියි. විසිපන්දාහකි.

"පාලම පනින කොටම බෝතල් දාගෙන ගිය වීල් එක ඇල්ලුවා. සෝමෙය මාළුවා වගේ ගැහෙනවා. වෙලාවට ජරාදිගොඩ යා හිටියේ පොලිසියේ. එතනම බාගයක් ඉවරයි"

"එකනේ බං උඹට කියන්නේ බෝතල් ගහන්න එපා කියලා. පොලිතීන් පැකට් ගහපන් අයියේ. එක ඕන අස්සක දාගෙන යන්න පුළුවන්"

"මහත්තයා කියනවා තමා. කොල්ලන්ට ඔව්ව පිළිවෙලක් කොර කොර ඉන්න බැහැ. මේවා දුවන සෙල්ලම්"

"හිටහන් මං පොලිතීන් පුරුද්දන මැසිමක් ගෙනත් දෙන්න"

"අන්න එහෙම එන්න"

"ජරාදිගොඩයා කාලකන්නියා. එත් ඌ නැත්නම් අපි මේක දුවන්නේ කොහොමද?" ලාබය අඩු වීම ජයසිරි සාධාරණය කරයි. ජනාධිගොඩ කියන්නේ පළාතේ පොලිසියේ සාජන් ටය.

"ආන් ඌවත් මාරු කරන්න යනවලු. මයෙන් ඇහුවා පීරිස් මහත්තයට කියලා පොඩි සප් එකක් දෙන්න බැරිද කියලා"

පළාත් සබාවේ වටිනාකම ඇත්තේ මෙතනය. ජයසිරි ඇතුලට ගියොත් පීරිස් අවශ්‍ය නොවේ.

"මං කතා කරලා බලන්නම්"

සමු දීමකින් තොරව දෙදෙනා වෙන් වේ. ජයසිරි ඉනතුරේ පැස සඟවයි. ඉනතුරේ සගවා හුන් ලෙජර පොත  එලියට ඒ.

පිරිකර (අය) - 25000/-

හිටි ගමන් ශේෂය ධන වේ. මෙතෙක් බියෙන් සලිත වූ සිත නිදහස් වේ. හොරෙක් මෙන් සැඟව හුන් ජයසිරි ගේ ආත්මය සිනා සී කතා කරන්නට පටන් ගනියි. දැන් මේ ලෝකයේ ඕනෑම ජගතෙකුට ලෙජර පොත  කියවන්නට හැකිය. මෙතැන් සිට හෙට උදෑසන දක්වා ජයසිරි අවංක මිනිසෙකි.