අනෝරා වැස්ස යන්තමින් තුරල් වී ඇති සෙයකි. රත්නප්‍රිය කුඩය ද ඉහලා ගෙන පය ඉක්මන් කළේය. තෙමීමෙන් පිළිවෙල අවුල් කර ගත නොහේ. එහෙත් සම්මේලනයට තව ඇත්තේ පැය කිහිපයකි. යා යුතු දුර බොහෝය.
රත්නප්‍රිය මේ ගමනට දින කිහිපයක පටන් සූදානම් විය. තියෙන හොඳම කලිසම හා කමිසය අබලන් අල්මාරියෙන් එලියට ගත් ඔහු හීනි ඉරක්වත් නොනගින සේ ඒවා යෙහෙන් මැද ගත්තේය. වෙනදාට අල්මාරිය යට කැරපොත්තන් එක්ක තනි රකිනා පොල්කටු ඉස්තිරික්කයට එලි පහලියට එන්නට ලැබෙන මෙවැනි අවස්ථා සීමිතය. කොටින්ම බාබුලාගේ කඩෙන් ඉස්තිරික්කයට පොල්කටු ගෙනාවෙත් රත්නප්‍රිය යි. වෙනදා ඔහේ රූරා වැටෙන රැවුල් කොන් කපා, වසරක් පුරා වල් බිහිවූ කොණ්ඩය හන්දියේ බාබර් සාප්පුවෙන් කපා ගෙන පිළිවෙලක් වූයේ ද උදක් ම මේ ගමනටයි.
දැන් දැන් රැවුල බොහෝ සෙයින් ඉදී ගොස්ය. අඩ සියවසකටත් වැඩි ඉතිහාසයක් හිමි කොණ්ඩය ඇතැම් තැන් වල අවතැන් වී ඇත. රත්නප්‍රිය පනාවෙන් හිඩැස් පියවා ගන්නට යත්න දරයි.
ගුණවතී මැණිකේ මේ අමුතු පිළිවෙල දකින්නීය. "පුතාගේ වැඩ කටයුත්තක්" ඕ තමාටම කියා ගන්නීය. පුතා මේ විදිහට වැදගත් වැඩ කටයුතු වලට යනවාට ඇය කැමතියි. රැකියාවක් නොකරන රත්නප්‍රිය දේශපාලනය කරන්නේ යයි කියයි. එහෙත් ප්‍රසිද්ධ ක්‍රියාකාරකමකට ලෙහෙසියෙන් සහභාගී නොවන ඔහු බොහෝ විට කරන්නේ කාමරය පුරා අරක්ගෙන සිටින අපිළිවෙලට ගොඩ ගැසූ පොත් ගොඩින් එකක් ගෙන අඳුරු මුල්ලක හිඳ කියවීමයි. එහෙමත් නැතිනම් පුල්ස්කැප් කොලවල මොන මොනවදෝ කුරුටු ගාමින් තැපෑලට දැමීමයි. "ඔහොම හිටියට ළඟදීම කවුන්සිලේ" ගුණවතී මැණිකේ සුභවාදීව සිතන්නීය.
"ඔහොම හිටියට රස්සාවකුයි පරස්සාවකුයි හරි යන්නේ නැතෑ" කලකට පෙර මෙලෙසින්ම ඇය රත්නප්‍රිය ගැන සිතුවාය.
මොකවත් හරියන්නට ඒ වෙනුවෙන් මහන්සි විය යුතුය. නොසොයන්නාට නොසම්භ වේ. නුවුවමනා නම් ලැබුනාට ද පලක් නැත. අද නිකම් ගෙදර උන්නාට රත්නප්‍රිය උපාධිධාරියෙකි. රස්සා කාඩ් තිබූ, රස්සා බැංකු තිබූ යුගයක ධීවර සංස්ථාවේ කාර්යාල නිළයක් ඔහුට අටවා දෙන්නට පොඩි රාලහාමි සමත් විය. එහෙත් ඔහුගේ අභාවයත් සමගම රස්සාවට ආයුබෝවන් කියූ රත්නප්‍රිය ගෙදර නතර විය.
ගුණවතී මැණිකේ එතරම් කලබල වූයේ නැත. පුතා ගෙදර නතර වූ බවක් ද ඒ හැටි නොපෙනුණි. රස්සාවට නොගියාට මනාව හැඳගෙන උදෙන්ම පිටවන ඔහු ගෙදර එන්නේ රෑ දෙගොඩ හරි ජාමෙටය. ඉඳහිට ගෙට ගොඩ වන රැවුල් කාරයෝ කාමර මුල්ලේ කටු කුටු ගාමින් හිඳ පිටව යන්නේ පසුදා පාන්දරය. කාර්යාල පෙනුමින් විවිධ ලාංචන සහිතව ලියුම් ඔහු වෙත ලැබේ. පුතාගේ විරෝධාකල්ප දේශපාලනය ගැන ඉවක් දැනුනත්, දකුණේ වමට බර චින්තනය තුල ඕ එහි වරදක් නොදැක්කාය. මේ හරියේ ලේ ටිකක් වැඩිපුර රතු පාටය.
පුතා කිසියම් වැඩක නිරත වීම ඇයට යම් සතුටක් ගෙන දුනි. "පක්ෂ පූර්ණකාලිනයෙක්" ඔහු ඔහුවම හඳුන්වා ගත්තේය. මෙහි නිරවද්‍යතාවය සෙවීම හෝ අවබෝධ කර ගැනීම ඇයට අපහසු වුවත් පුතා තම විශ්‍රාම වැටුපේ පූර්ණකාලීන යැපෙන්නෙකු වීම මේ බර සාර වචන වලට හිලව් විය.
"ඔය නිකම් ගෙදර උන්නට මිනිහා බී ඒ කාරයෙක්" කඩ පිලේ උන් කියනු ඇයට විටෙක ඇසේ. "එයා දැන් පක්ෂේ වැඩ නේ" ඇය බර කර කියන්නීය. මෙයට ප්‍රති උත්තර දෙන්නට කිසිවෙකු නොපෙළඹෙති.
පුතාටත් තමන්ටත් ජීවත් වෙන්නට වත්ත පිටියේ ආදායමත් පැන්ෂන් පඩියත් ප්‍රමාණවත් ය. "හෙට අනිද්දා හොඳ දෑවද්දක් එක්ක කාව හෝ කසාද බන්දලා දෙන්නට පුළුවන්." ඇයට ඒ කාලේ සිතුනි.
සිතුවා පමණක් නොවේ, ඇය මේ ගැන මගුල් කපුවන්ට ද කීවාය. "ඉඩ කඩම් ඔක්කොම එයාටනේ. අනික ඔය දරුවට රස්සාවක් හොයා ගන්න බැරි කමක් කියලද?" එහෙත් මේ කිසිවකට එන්නේ රත්නප්‍රිය නොවේ.
"අද දවසේ අපට තියෙන වැඩ කොටස ඕක නොවෙයි සහෝදරයා" අම්මා ට කෙලින් කියන්නට බැරි කම නිසා මාමාගේ පුතා ලවා මගුලක අවශ්‍යතාවය කියවූ විට රත්නප්‍රිය කිව්වේ එහෙමයි. "මගේ අනාගතය මං කැප කරලා තියෙන්නේ සටන වෙනුවෙන්"
මොන සටනක් ද? චන්ද කාලෙට රැස්වීම් තියනවා මිසක් ඒ කාලේ කල වෙනත් සටනක් නැත. මේ රත්නප්‍රිය ලාගේ දේශපාලනයේ රොමැන්තික සමයකි. උපන් ගෙයි මල විප්ලවය ජනයාට අමතක වී ගොසිනි. හිර ගත වූ නායකාදින් එලි පහලියට බැස ඇත. ඔවුහු ගම් දනව් වල රැස්වීම් වලට එති. ඒවා සංවිධානය කරන්නේ රත්නප්‍රිය ලා ය. වෙනසක් සමාජගත කරන්නට යත්න දරන මේ අය ඒ වෙනුවෙන් බොහෝ කැපවෙති. බත් පැකට්ටුවට මිනිසුන් ගෙන්නන සිරිතක් ඔවුන්ට නැත. පොරොන්දු දේශපාලනය ඔවුන්ට වහ කදුරුය.
"අද මේ රටේ දුප්පත් මිනිහට කන්න නැහැ. අරයා දෙනවා කිව්වා හඳෙන් හරි හාල්. අන්තිමට අපි නොමැරී උන්නේ බතල මයියොක්කා කාලා. මෙයාට දුන්නා කියලා වෙනසක් උනාද සහෝදර වරුනි?" රත්නප්‍රිය අසයි. පිට්ටනිය ළඟ තාප්පයේ හිඳගෙන අසන්නෝ සාවධානව ඇහුම් කම් දෙති. රත්නප්‍රිය චතුර ලෙස කතා කරයි. ගැඹුරු කරුණු ග්‍රහණය නොවනු ඇත. කතාව කල යුත්තේ මතු පිටිනි.
"...අන්න ඒකයි අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ" දිගු පැහැදිලි කිරීමකින් පසු ඔහු තාවකාලික සමාප්තියකට යොමු වේ. අසන්නෝ කිසිත් නොකියති. මේ පක්ෂ කේඩරය නොවේ. රත්නප්‍රියගේ ඇවිටිල්ලට විස්තර දැන ගන්නට පැමිණි කොලු කුරුට්ටන් පිරිසකි. මේ තාරුණ්‍යය ජව ගැන්වීමෙන් මිසක සටන දිනිය නොහැක. විශේෂයෙන් ම චන්ද සටන දිනිය නොහැක.
එසේ එක්රැස් වූ තරුණ ජවයෙන් ඔහු රැස්වීම් සංවිධානය කළේය. පාක්ෂිකයන්ට වඩා මේවා පිරවුයේ කුතුහලයට එහි ආ තාරුණ්‍යයයි. ඔවුන්ගෙන් සමහරුන් මින් ඔබ්බට ගෙන ගොස් දේශපාලන බෞතීශ්මය ලබා දෙන්නට ඔහු සමත් විය.
කරුණාපාල එවන් එකෙකි. සමුපකාරේ ටැම්පරිය කරගෙන ඉන්නා තරුනයෙකු වූ ඔහු, රත්නප්‍රියගේ රැස්වීම් වලින් පැහැදී විප්ලවයේ මගට පිවිසියේය. මේ කාලේ රත්නප්‍රිය තරමක සංවිධාන වගකීම් දරා හුන් බැවින් පහල පෙලේ කටයුතු වලට ඔහුගේ සහයට කරුණාපාල බෙහෙවින් උදව් වුයේය. "රත්නේ මහත්තයා" කියා ඇමතු එකම සහෝදරයා ඔහුය. සිය පියාට දැක්වූ වැඩ වසම් ගෞරවය එහි තිබීම නිසා රත්නප්‍රිය අකමැත්ත පෙන්නුවත්, කරුණාපාල එය වෙනස් කර ගත්තේ නැත. කරුනාපාලට විප්ලවය යනු රත්නේ මහත්තයා දන්නා දෙයකි. එහෙත් ස්ථිරවම කල යුතු දෙයකි.
සියල්ල උඩු යටිකුරු වන්නට ගත වූයේ දින කිහිපයකි. රටපුරා රුදුරු ජාතිවාදී කලබල පැතිරුණි. රත්නප්‍රියලාගේ ගමෙහි කිසිත් සිදු නොවුවද පත්තර වලින් හා ගුවන් විදුලියෙන් දැනුන පරිදි රට තිබ්බේ අරාජිකත්වයකයි. අහිංසක මිනිසුන් මහා මග පුළුස්සා දැමුණි.
ඒ සමගම මෙතෙක් අහිංසකව දේශපාලනය කරගෙන ආ රත්නප්‍රිය ලා එක රැයින් අව නීතික ත්‍රස්ත රැලක් ලෙස හංවඩු ගසන ලදී.
"උඹට අගේට කරන් කන්න තිබ්බ රස්සාවත් දාලා ගියේ" ගුණවතී මැණිකේ අවලාද නැගුවාය. "දැන්වත් ඕක නවත්තාපන්"
"අම්මේ මේ සටනට එන බාධක බොහොමයි. මේක සුළු දෙයක්. අපි මේක දිනනවා ස්ථිරයි" වෙනදා දහවලේ ප්‍රසිද්ධියේ දේශපාලනය කල රත්නප්‍රිය ක්‍රමයෙන් නිශාචර රහසිගත දිවියකට හුරු විය. පොලිසිය එම නිවසේ කාගේත් බිල්ලා බවට පත් විය. වරෙක දෙකක ප්‍රශ්න කිරීම් හා තාඩන පීඩන වලට ලක් වූ පසු ඔහු නිදහස් කෙරිණි. එහෙත් එන්න එන්නම රටේ තත්වය තවත් නරක අතට හැරෙමින් පැවතුනි.
"ජයපාල මාමා දන්න මහත්තයෙක් ඉන්නවා සවුදියේ. උඹව එව්වොත් ලොකු තනතුරක් දෙන්න පුළුවන් කිව්වා" කෙමෙන් වියපත් වන මව ගමන් මහන්සි හරිමින් කියන්නීය. ඇය දුර බැහැර ඉන්නා ඥාතියෙකු හමුවට ගියේ දිනෙන් දින වැඩිවන පුත්‍රයාගේ ජීවිත අවදානම නිසාවෙනි. වැඩි වියට පත් දුවකටත් වඩා පුතෙකු සුරැකිය යුතු යුගයක් එළඹෙමින් තිබිණ.
කෙමෙන් ගෙදරින් එල්ල වන පීඩනය හා අන්ධකාරයත් එක්කම හිස ඔසවන මරණයේ චායාව හමුවේ රත්නප්‍රිය යමක් කල යුතුව ඇත. අම්මා දෙන විසඳුම තම දේශපාලන දිවියේ අවසානයි. "සටන" පටන් ගත්තේ මෙලෙසින් අතහරින්නට නොවේ. දිවි හිමියෙන් පවත්වා ගන්නටයි.
"මාව පක්ෂෙන් රට යවනවා"
"ඇත්තෙයි" වියපත් අම්මා ඇසුවාය.
"ඔව්"
"කොහෙද?"
"ඒවා රහස්"
"වෙන කොහෙද රුසියාවට වෙන්ටෑ"
රත්නප්‍රිය කිසිත් කීවේ නැත.
ටික දිනකින් ම අම්මාගෙන් සමුගෙන අන්ධකාරයේ ඔහු අතුරුදන් විය. පුතා රට ගිය නිසා අම්මා සැනසුම් සුසුමක් හෙළුවාය. ගුණවතී මැණිකේ විසල් ගෙදර තනි වුනාය.
එදා පටන් උන්නු ගමේ මහා ලොකු තනියක් නම් නැති. අහල පහල අය දුක සැප බැලූහ. වත්ත පිටියේ වැඩ කුලී කාරයින් දමා කෙරුණි. කොහොමත් රත්නප්‍රිය උන්නු කාලෙත් මේවා ඉටු කලේ ඔවුන් විසිනි. රට ගිය පුතා නිතර ලිපි එවමින් අම්මා දැනුවත් කළේය. එහෙත් ඒ සෑම ලිපියක් ම පාහේ ලංකාවේ තැපෑලෙන් තැපැල් කල ඒවා වීය. වෙනස වුයේ තැපැල් කන්තෝරුව වෙනස් වීම පමණි.
පුතා නැති පාලු ගෙදර අම්මාට පෙනුනේ අන්ධකාරය විසින් වෙලා ගන්නා බවයි. ඊට පිටින් මුළු රටම දැවැන්ත අන්ධකාර භීෂණයකින් වෙලා ගති. රත්නප්‍රිය වැනි කොලු කෙල්ලන් ටයර් මත මිය යද්දී පොඩි රාලහාමි වැනි පළාතේ නම ගිය මිනිස්සු නාඳුනන තුවක්කු වලින් වෙඩි කා දනිස්සට පහලින් එල්ලී අවසාන ගමන් ගියහ. පුතා නම් දිගටම ලියුම් එවන බැවින් අම්මා මේ ගැන එතරම් බිය වූයේ නැත. "මේ රටෙන් ඔහෙට එන අය අතේ එවන්නේ තැපැල් ගාස්තුව අඩු කරන්න" රත්නප්‍රියට ඕනෑම දෙයක් පැහැදිලි කළ හැක. අම්මා කාටවත් හසු නොවන සේ ලිපි පුළුස්සයි.
මරණයේ ගොම්මන් චායාවෙන් පටන් ගත් භීෂණ රාත්‍රිය රුධිර ගංගාවක සලකුණු සමග අහවර විය. දැවැන්ත ජීවිත හා දේපොළ විනාශයකි. දෙපැත්තේම ලොකු ලොක්කෝ බොහොමයක් මිය පරලොව ගියහ. උන්ගේ අණ පනත් යට පොඩි සොක්කෝ නොගිනිය හැකි තරම් විශාල ගණනින් වැනසුනි. වනයේ නීතියෙන් ඇරඹු සටන වනයේ සම්මතයෙන් සමාප්ත විය. රත්නප්‍රියගේ පාර්ශ්වයේ සියලු නායකත්වය සුන්නද්දුලි වී තිබුණි. සාමයේ ඉර පායා ආවේ මරණයේ ලේ උණුහුම සමගයි.
අම්මාට දිගටම ලිපි ලැබේ. රටේ තත්වය සමනය වූ විට පුතා ඉක්මනින් එන බවක් කියවේ.
මුලින්ම රත්නප්‍රිය ආවේ ගියේ රෑ පානේ ය. පසුව කෙමෙන් එය සාමාන්‍ය සිද්ධියක් විය. තවත් එක දවසක ඔහු නැවත ස්ථිර පදිංචියට පැමිණුනි. අම්මා බෙහෙවින් ම තුටු වූවාය.
"ඔය හැත්තෑ එකේ එවුන් ඉන්නේ අගේට කසාදයක් එහෙම බැඳලා" කඩේ මුදලාලි කියයි. "මිනිහට වෙන මොකුත් ඕනේ නැහැ. ටියුෂන් එකක් දා ගත්තනම් ඇති. ඉන්ග්ලිෂ් කාරයෝ නේ".
අලුත් බලාපොරොත්තු අම්මාගේ හිතේ මෝදු වේ. තවම හතලිහයි. කසාදයක් කර ගන්නත් ගැටලුවක් නැහැ.
"මේක මගේ පුද්ගලිකත්වය ගැන ප්‍රශ්නයක්. අම්මට අයිතියක් නැහැ මට බල කරන්න" මුරන්ඩුභාවය එන්න එන්න ම වැඩි වේ.
"හප්පා මං අහ ගත්ත හරියක්" මුදලාලි පවසන්නේ සිනහ සෙමිනි. "සුළු ධනේශ්වරයා කියලා මටත් බැන්න. අපි හදන්නේ කසාදයක් කරලා දීලා එයාගේ විප්ලවය අවුල් කරලා මේ ක්‍රමය දිගටම තියා ගන්නලු" ගුණවතී මැණිකේ නෑසුනා සේ උන්නාය.
"මිනිහ දැන් ඉස්සරට වඩා ගුප්තයි නේද? මොන විදිහේ වැඩකට ලක ලැහැස්ති වෙනවද දන්නේ නැහැ"
"වෙන මොනවාද? දැන් ඒ මිනිස්සු පාර්ලිමේන්තුවේත් ඉන්නේ" ඇය නුරුස්නා ස්වරයෙන් කියයි.
රත්නප්‍රිය ඇත්තෙන්ම ගුප්ත චරිතයක් වී ඇත. වෙනදා මෙන් ගම පුරා බයිසිකල් පදිමින් රැස්වීම් සංවිධානය නොකරයි. කොටින්ම ඔහු කා සමගවත් කතා බහක් නොකරයි. කාමරය කෙමෙන් පොත් ගුලක් බවට පත් වේ. ඔහු බොහෝ විට කරන්නේ මුල්ලකට වී ඒවා කියවීමයි. විටින් විට අම්මාට කියා ගෙන්වා ගන්න පුල්ස්කැප් කොළ වල ලියන ලිපි අම්මාගෙන් මුදල් ඉල්ලා ගෙන තැපෑලට දැමේ. ඉඳහිට බොහොම ජැන්ඩියට ඇඳගෙන කොළඹ යන ඔහු එන්නේ පොත් මිටියක් සමගයි. අම්මාට මේ බර පැන වැඩි වියදමක් වුවද දරාගත නොහැක්කක් නොවුනි. ඉඳහිට හෝ පුතා සමාජයට යාම ඇයට සතුට උපදවන්නක් විය.
"පාර්ලිමේන්තුවේ ඉන්න අය තෝරන්නේ මනාපෙන් නෙවේ. ඒවා ඉහළින් ලු තෝරන්නේ." ඇය ගමේ උන්ට නොකියා කියන්නීය. "අපේ පවුල් වල ඔය දේශපාලනේ එදා ඉඳං ම තිබ්බා. අපේ මාමා ඒ කාලේ ගම් සබාවේ උන්නේ. පොඩි රාලහාමිගේ අයියා තමයි සමුපාකාරේ සබාපති. මැතිනිගේ මිනිස්සුනේ" ළඟදී ගමට ආ පවුලකට ඇය පැහැදිලි කරයි.
ක්‍රමයෙන් රත්නප්‍රිය දැවැන්ත ප්‍රහේලිකාවක් විය. ඉඳහිට හෝ එකෙකු කතා බහ කලත් වැඩිම වුනොත් සිනහවෙන් ඔබ්බට යන උත්තරයක් නම් නොලැබේ.
"පිස්සුද කොහෙද? නැන්දේ කාට හරි පෙන්නන්න." කට පුරා හිනා වූ විට අහක බලාගෙන ගිය බැවින් පොඩි කොල්ලෙක් අවලාද නගයි.
"ඔය පක්ෂේ ඉන්නවලු සැඟවුණු ක්‍රියාකාරීන්. උඹ සද්ද නොකර හිටහන්" කඩ පිලේ උන් තරවටු කරති.
"කාටද දන්නේ නැහැ ඔය ලියුම් යවන්නේ" තවත් එක් ඕපාදූප සොයයි.
"අනේ මන්දා පුතේ. මං හිතන්නේ අපේ ළමයාගේ උපදෙස් වලින් තමයි මේ කට්ටිය වැඩ කරන්නේ. දැන් මේ ගොල්ලෝ පරණ කට්ටිය නේ. ඒ කාලේ ඉඳං වැඩ කරපු අයගෙන් කී දෙනා ද බේරිලා ඇත්තේ"
මේ කතා වලින් සිදු වූයේ රත්නප්‍රිය තවත් ගුප්ත ලෙස දැකීමට ගම්මුන් පෙළඹීමත් ඔහුට යම්කිසි බය පක්ෂපාත කමක් පෙන්නුම් කිරීමත් ය.
කරුනාපාල ගමේ ආවේ මේ කාලයේය. භීෂණ සමයේ රැයක ආ කළු හැඳගත් පිරිසක් විසින් රැගෙන ගිය ඔහු එවකට උන් වෙනස් වමක පළාත් සබා මන්ත්‍රී වරයෙකු නොසිටින්නට අද ජීවතුන් අතර නැත. විප්ලවයේ කොඩිය මාරු කල හේ අලුත් වමේ දේහාරක්ෂකයෙක් වුවේය. වම දකුණ මාරු කරන දේශපාලන රැල්ලට හසුව ඉහල පහල ගිය දේහාරක්ෂකයා දැන් පාලක පක්ෂයේ ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ධුරයෙන් පිදුම් ලබා ඇත.
"මෙහෙමයි නැන්දේ. ඇමතිතුමාට මං කියලා බලන්නම්" රත්නප්‍රිය ට රස්සාවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටි විට ඔහු කීය. "හැබැයි රත්නේ එන්න ඕනේ අපේ පැත්තට"
"පාලකයින්ට කඩේ යන නිවට හැත්ත..." රත්නප්‍රිය බුරාගෙන කාමරයට වැදුනි. තවත් බොහෝ දේ කීවද ගුණවතී මැණිකේ ට ඒවා වැටහුනේ නැත.
කාලයේ සුළඟ ජීවිත පොතේ පිටු පෙරලාගෙන ගියේය. ගුණවතී මැණිකේ බොහෝ සෙයින් වියපත් වුවාය. ගමෙන් පිට ගමනක් යාමට නොහැකි තරමට ඇද වැටෙන විට ක්‍රමයෙන් වත්ත පිටිය ද අයාලේ යන්නට විය. ආදායම් ද පිරිහුණි.
වයසට යාම හිරිහැර කලේ ඇයට පමණක් නොවේ. කොන්ඩය සහ රැවුල රත්නප්‍රිය මහල්ලෙකු මෙන් වෙස් ගැන්වීය. කොහොමත් ඔහු දැන් මැදි විය පසු කරමින් සිටියි.
"මැණිකේ නැන්දේ මං කියන්න උන්නේ" පහල ගෙදර නන්දනී ගුණවතී මැණිකේ ව පැත්තකට කර යම්කිසි රහසක් කුටු කුටු ගායි.
"මොකක්? සමන්තිකාට? ලියුමක්?"
සමන්තිකා යනු වයස විසි පහක පමණ කෙල්ලකි. නන්දනී ගේ දුවනියයි. නන්දනී රත්නප්‍රියට වඩා වසර කිහිපයක් ඉහළින් ඒ පාසලේම උන්න කෙනෙකි. රත්නප්‍රිය සමන්තිකාට ආදරය පවසා ලිපයක් දී ඇත.
"ඒත් අපේ කෙල්ල කිව්වේ, අම්මේ ඒ මාමා එහෙම කලාට මං තරහ නැහැ කියල"
"කෙල්ල කැමති නැහැ. හැබැයි නැන්දේ මල්ලි දැන් ලොක්කෙක් ලු නේද? හෙට අනිද්දා හදන අලුත් දේශයකට මග පෙන්වන්න එයාට අත දෙන්න කියලයි කියා තිබ්බේ"
මේ සිද්ධියත් එක්ක දෙගොල්ල අතර කතා බහ අඩු විය, ගුණවතී මැණිකේ විපිළිසර ව උන්නාය. ඇය මේ ගැන පුතාගෙන් අහන හැටියක් හිතුවාය. මේ තරම් ලොක්කෙක් නම් බැන වැදීම නොහොබී. සමන්තිකා නම් ආයෙත් ඒ පැත්තේ වත් පස් පෑගුවේ නැත.
තිරිංග විරහිත නන්දනී ගේ කට වැට පැන්න නිසා හන්දියේ මේ කතාව ප්‍රසිද්ධ රහසක් බවට පත් වුනි.
"ඇයි අර ඒ කාලේ මොන මහත්තයා ද කියලා හැංගිලා උන්නේ. පොලිසියෙන් අල්ල ගන්නකම් අහල පහල උන් වත් දන්නේ නැහැ මිනිහා තමයි නායකයා කියලා"
එකෙක් අඩු වැඩිය දමයි.
"ලව් සික් ගහලා බයිලා ලියන්න ඇති බං" අලුත් ගැටයෙක් එය බිඳ දමන්නට සැරසේ.
රත්නප්‍රිය තවදුරටත් ප්‍රහේලිකාවකි.
"උඹල කරන දේ වලින් අපට තමයි පාරේ බැහැලා යන්න බැරි" ගුණවතී මැණිකේගේ ඉවසීමේ සීමාව පැන ගොස් ඇත.
"අම්ම දන්නවද මාඕ සහෝදරයාගේ කෙල්ලගේ වයස? එයාට එකකට වඩා හිටියා කොටින්ම"
"දැන් උඹත් එහෙමද කොර ගන්න යන්නේ. කල වයස තියෙනකම් උඩ බලන් ඉඳලා. දැන් එනවා එක එකාගෙන් බලු වෙන්න. නව නින්ගිරාවේ බැහැ"
පක්ෂයේ මහා පිපිරුම ආවේ ඔය කාලයේය. විවිධ රහසිගත නායකයින් එලියට එන්නට විය. රත්නප්‍රිය හිටි ගමන ගමේ ජනප්‍රිය චරිතයක් විය. මේ ඇහෙන කතා එක්ක නම් ඔය කියන ලොකු නායකයෙක් රත්නප්‍රිය වීමට බොහෝ ඉඩක් ඇති බව ගම්මුන්ගේ මතයයි.
වෙනදා නැති වෙනසක් රත්නප්‍රියගෙන් පෙනුනි. තැපෑලට දමන ලිපි ගණන වැඩි විය. ඒවා බොහොමයක් පක්ෂයේ ප්‍රධානින් වෙත යොමු වන බව ලියුම් එකතු කරන කෙනෙක් පවසා ඇත. මෙතෙක් ගේ මුල්ලේ හුන් විප්ලවවාදියා එලි පහලියට යන්නට විය. වෙනදා මෙන් නිහඬව ගුප්තව නොසිට කොයි කාටත් විප්ලවීය කතා කියා දේ.
"රත්නේ ඇත්ත කියන්න. ඔයා නේද රහසිගත නායකයා" දිනක් මුදලාලි අසයි.
"නායකයා මා ද කවුද කියන එක තීරණය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව." ඔහු කියයි.
"අපිට කියයිද බං" පසු පෙලින් මිමිනේ.
"හරි දැන් ඔය පක්ෂෙට මොනවාද කියලා යවන්නේ?"
"කරන්න තියෙන දේවල්. මේ රටේ මේ ලෝකේ දුක විඳින මිනිසුන් වෙනුවෙන්"
මහා සම්මේලනය කැඳවා සියල්ල සමතයකට පත් කරන්න පක්ෂය සිතුවේ මෙන්න මේ මොහොතේය. සම්මේලන කතාව දුටු වහාම මිනිස්සු රත්නප්‍රිය වට කර ගති.
"සහෝදරයා යනවා නේද මේකට?" දැන් හැම එකාම විප්ලව කාරයෙකි.
"ඔයා නේ ඔය වැඩේ පස්සේ ඉන්නේ?"
"ගිහිල්ල මොනවාද කියන්නේ?"
"ඔව් මං යනවා. ගිහින් උන්ට කියා දෙනවා මේ සටන කරන හැටි. ඒ විතරක් නොවේ සහෝදර වරුනි අපි මේ ක්‍රමය වෙනස් කරනවා"
කවුදෝ ජයවේවා කියා කියනවා ද යන්තමින් පසුපසින් ඇසුනි.
ලැහැස්තිය පටන් ගත්තේ එතන සිටයි. දින කිහිපයක් පේවී සැරසුණු ඔහු අද මේ වැසි ද නොබලා දුවන්නේ මහා සමුළුවටයි.
අම්මාගෙන් ගත් මුදලින් රත්නප්‍රියට සමුළුව ලඟට යා නොහැක. දැන් දැන් අම්මා ළඟ සල්ලිත් හිඟයි. කෝච්චියේ උපරිම දුර ගිය පසු ඔහු ඉතිරිය පා ගමනින් යන්නට තීරණය කළේය. මුළු නගරය ම පිම්මේ පෙරට දුවයි. රත්නප්‍රිය පය ඉක්මන් කළේය. ශාලාව ආසන්න වත්ම රතු කමිස කාරයින් වැඩි වේ. රත්නප්‍රිය ලා ඒ කාලේ පටන් අඳින ගොරෝසු ප්ලේන් රතු කමිස වලට වඩා බෙහෙවින් සුමට කමිස වල රතු ඉරි හා රතු කොටු වලින් විප්ලවය සටහන් වී ඇති සෙයකි. විටෙක මෝටර් රියක ආ සාමාජිකයෙක් එය ඈත කොනක නවත්තා පයින් ගාටයි. මේවා නම් තවමත් පක්ෂයට හුරු නැති දේවල්ය.
අද මේ කතාව ඉවරයක් කර ගත යුතුවේ. වසර විස්සකට පමණ පෙර අළු ගොඩේ නිවී ගිය ගිනි අඟුරක් මෙන් හුන් මේ පිරිස මෙහෙය වන්නට කවුරුත් උන්නේ නැත. එය තම වගකීම ලෙස රත්නප්‍රිය සිතීය. පක්ෂය මුලින්ම මතු වන විටම විප්ලවයේ පාඩම කියා දෙන්නට ලිපි ලිවීම ඔහු ඇරඹුවේ එබැවිනි. මේ තාරුණ්‍යයට වඩා තම අත්දැකීම් ප්‍රබලය.
එහෙත් ඔහුගේ කතාවට කිසි දා ඉඩක් ලැබුනේ නැත. එකදු ලිපියකට වත් පිළිතුරක් නොලැබුණි.
වේගයෙන් පැමිණි දෙපා ගේට්ටුම ලං වත්ම කෙමෙන් කම්මැලි විය. ගේට්ටුව ළඟ අලුත් සාමාජිකයෙක් හිඳියි. පක්ෂ සාමාජිකත්වය කියා පෙන්නන්නට දෙයක් නැතත් එන යන අය ගැන ඔහු විමසිලිමත් වේ. ඇතුලට යාමට අවහිරයක් නොමැති මුත් රත්නප්‍රිය සෙමෙන් නතර විය.
පක්ෂය ඔහු දමා බොහෝ දුර ගොස් ය. පක්ෂය තුල තමා දැරිය යුතු නායකත්වය තමාට දෙනවා තියා ලිපියකට වත් උත්තර එවා නැත. පක්ෂයේ උන් කල කී දේ හා තමා ලියු දේ අතර ලොකු වෙනසක් තිබුණි. එහෙත් ඔවුන් වැරදිය. නිවැරදි විප්ලවයේ පාර දන්නේ තමා පමණි.
කියන්නට බොහෝ දේ සිතෙහි ඇත. එහෙත් ඒ සඳහා මේ ගේට්ටුව පැන ගොස් අනවසරයෙන් අර පෙනෙන වේදිකාවේ මයික්‍රෆෝනය කරා යා යුතුය. එය සිතන තරම් ලෙහෙසි නැත. ගමේ කඩ පිලේ වහසි බස් කියූ තරම් ලෙහෙසි ද නැත.
එහෙත් එය අවශ්‍ය ද නැත. ශාලා පරිශ්‍රයට පිටතින් වූ මාර ගහ යට ඇති කොට තාප්පය උඩට ඇතුලේ වන දේ මැනවින් ඇසේ. රත්නප්‍රිය එතනට නැග්ගේය.
පහලින් හිඟන්නෙක් කොහෙන්දෝ ලැබුණු බත්පතක් ගිජුව ගිල දමයි.
"ඔය සහෝදරයා දන්නවද ලෙනින් සහෝදරයා ගැන?"
රත්නප්‍රිය දේශනාව ඇරඹීය.