Saturday, August 13, 2016

දෙවියන්ගේ ආලෝකය

[අගෝස්තු  දහතුන  දිනමිණේ  පලවූ  විශේෂාංගයක්]

පියෙන් පිය ගල් පඩි ගනිමින් ආරෝහ පරිණාහ තරුණයා කඳු ගැටය නගියි. සිය ජීවිතයේ වැදගත්ම මොහොත එළඹී බව සිහිපත්වත්ම ඔහුගේ ගමන වේගවත් වේ. ජනපදයේ හැම හතර කොනකම කරක් ගසා ඇති මුත් ඔහු මෙතෙක් පය නොගැසූ එකම බිම මේ සාගරබද  හිරිගල් කඳුගැටය පමණි.

"නවතිනු" අවසන් මුරපොලේ සෙබළු නැවත ඔහුව පිරික්සති.

"තිබෝව් ඔබ ගැන ඇති සැකයකට නොවේ"

"මම දන්නවා ඒ ඔබේ රාජකාරිය"

"මේ අන්තිම මුරපොළ තිබෝව් මෙතනින් උඩට නුඹ දෙවියන්ගේ ලෝකයේ"

තිබෝව් බර අඩි තබමින් මහන්සිය සඟවමින් නැවත පඩි නගියි. ඉහල කෙලවරේ ඝන ලෝගු පටලවා ගත් ඔහුගේ පියා ඇතුළු පූජක පිරිස යොවුන් තරුණයාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් රැස්ව සිටිති.

"ආරක්ෂාවේ අප දේව මෑණියන්ගේ බැසිලිකාව" දුරාතීතයට නෑකම් කියන බසකින් ලියවුනු පලකයක් පසෙක දිස්වේ. මදක් දුර ගිය තැන බිමට සමතලා වී ඇති බැසිලිකාවේ හා එහි මහා කුළුණේ නටඹුන් දැකිය හැකිය. කලකට පෙර මේ කුලුන මස්තකයේ වැජඹුණු එවකට ඒකදේව ආගමක සංකේතයක් වූ ඒ මහා පිළිමය මද දුරකින් නැවත ප්‍රතිෂ්ටාපනය කොට වර්තමානය විසින් බිහිකළ ආරක්ෂාවේ අප දෙවඟනගේ දෙවොල දැකිය හැකිය. පූජකයෙකු නොවන මාසියා දේශයේ වැසියෙකු යන උපරිම දුර සලකුණු කල ශිලාමය මායිම ඉනික්බිත්තෙන් දැකිය හැකිය. තිබෝව් නොදන්නා ලෝකය ඇත්තේ ඉන් ඔබ්බේය.

"පුතා තිබෝව්, උඹ දැන් හැඩිදැඩි කොල්ලෙක්"

මහලු ප්‍රධාන පූජකයා තම පුතනුවන් වැළඳ ගත්තේය. ගොවීන් ධීවරයින් හෝ දඩයම් කරුවන්ට වඩා වෙනස් පූජක පවුල්වල පියවරු නිවෙස් බලා එන්නේ ඉඳහිටය. පුරුෂ පාර්ශ්වය පමණක් නිරතවන විවිධ පූජක වෘත්තීන් උදෙසා ඔවුන්ගේ කාලය කැප කෙරේ. තිබෝව් අවසාන වරට සිය පියා දුටුවේ මාස කීපයකට පෙරයි.

"තිබෝව් මේක හොඳට අහගනින්. නුඹ මේ පය තබන්නේ ශුද්ධ වූ භූමියටයි. ඒ බිමට පය තැබූ සැවොම පූජක වරය ලබනවා. තව මොහොතකින් නුඹත්. පූජක දිවිය නුඹේ කෙළිලොල් තරුණ දිවියට හාත්පසින්ම වෙනස්. එහෙත් එයට අවශ්‍ය සියලු දේ නුඹ තුල තියෙන බව මට විශ්වාසයි. පූජකයෙක් කියන්නේ රහස් රකින්නෙක්. නුඹ මේ සීමාවෙන් ඔබ්බෙහි දකින කිසිම දෙයක් නුඹේ පූජක සගයෙකුට හැරෙන්නට වෙනත් කාටවත් කියන්න එපා. එසේ කීම නුඹේ ජීවිතයේ සමාප්තිය වේවි"

"එහෙමයි පියාණෙනි"

"නැවත හොඳින් අහපන්. උඹ එහෙම කලොත් මරණ දඬුවම පමුණුවන්නේ මේ මම. එහි බරපතලකම නුඹට තේරෙනවද?"

"එහෙමයි"

"මේ රහස් නුඹේ පෙම්බරිය හෝ මෑණියන් සමගවත් කතා කරන්න එපා"

"එහෙමයි"

"තිබෝව්, පූජකයෙක් වෙද්දී නුඹ දන්නේ නැහැ පූජකයෙක් කියන්නේ කවුද කියලා. එය අප කාටත් වෙච්ච දෙයක්. ඉදිරි කාලය නුඹ කැප කල යුත්තේ නොදන්නා මිනිහෙක් ලෙස කාරණා දැන ගන්න. ඕනෑම දෙයක් ප්‍රශ්න කරපන්"

"ඕනෑම දෙයක්?"

"ඔව්"

"දෙවියන් ගැන. දෙවියන්ගේ ආලෝකය ගැන පවා?"

"පුතා, සාමාන්‍ය මාසියානුවෙකුට දෙවියන් ගැන හෝ දේවාලෝකය ගැන ප්‍රශ්න කරන්න තහනම්. එහෙත් පූජකයෙකුට එහෙම නැහැ. පූජක වෘත්තීය තුල ප්‍රශ්න කිරීමට සීමා නැහැ"

තිබෝව් මොහොතක් කල්පනා කරයි. ප්‍රශ්න කිරීමට නිදහස ඇතිනම් කුඩාකල සිට එකතු කල ප්‍රශ්න වට්ටෝරුවක් ඔහු සතුය.

"අපි ප්‍රශ්න අහන්න කතා කරන්න කාලය පසුව වෙන් කරමු. දැන් නුඹ ඇතුළු වන්නේ පූජනීය පෙදෙසට. එහි තිබෙනවා නුඹට වෙන්වූ කාමරයක්. මේ සීමාව පසු කල මොහොතේ නුඹ පූජකයෙක්. අකමැතිනම් ආපහු පලයන් තිබෝව්. කැමතිනම් අපි ගිමන් හැර කතා කරමු"

"කැමතියි පියාණෙනි. මට ඕනේ පූජකයෙක් වෙන්න. ඒ තමා මගේ එකම පැතුම"

"එහෙනම් අපි යමු"

පියා පසුපස යන තිබෝව් පූජනීයත්වයේ රේඛාවට නමස්කාර කළේය. අමුතු යමක් දැනෙනවාදැයි හිස අත ගා බැලුවත් එහෙම කිසිත් නැත. දෙවියන් තමන් හා කතා කරනු ඇතැයි සිතුවද එවැන්නක් සිදු වූයේද නැත.

පූජනීය පෙදෙස තැනින් තැන පිහිටි ලොකු කුඩා කුටි රාශියකින් සමන්විතය. පූජක දිවිය ගෙවන සියයකට ආසන්න පිරිසක් වෙසෙන මේ බිම පහල කඳු බඳේ ඇති ආරක්ෂක රැකවල් වට කීපයකින් සුරක්ෂිතය. කුටියේ මද විරාමයක් ගන්න තැත් කළත් කුතුහලය සහ උනන්දුව නිසා තිබෝව් නැවතත් පූජක පිරිස කරා පැමිණියේය.

"පියාණෙනි ඔබ ඕනෙම දෙයක් අහන්න කිව්වා. මගේ ප්‍රශ්න ලැයිස්තුව දිගයි"

"අහන්න තිබෝව්"

හැඩිදැඩි සිරුරක් හා නිර්භීත සිතක් හිමි තිබෝව් මාසියා දේශයේ නොකළ දෙයක් නැත. ධීවර බෝට්ටුවක, ගොවිබිමක පමණක් නොව උතුරු ග්ලෙසියර කඳු මත දඩයම් කරුවන් සමග පවා දිව ගිය අතීතයක් ඔහුට තිබේ. ඔහු දන්නා බොහෝ දේ ඇත. නොදන්නා දේ ඊට වඩා ඇත.

"උතුරු ග්ලෙසියර කඳු වල දඩයමේ මම ගිහින් තියෙනවා. ග්ලෙසියරය තුනී තැන්වල පැරණි ශිෂ්ටාචාරයක් මතුවෙනවා. නටඹුන් මාසේයි වරාය හා ඉපැරණි නගරයට වඩා විශාල පෙදෙස් වල පැතිරුණු ශිෂ්ටාචාරයක්. එවැන්නක් ග්ලෙසියර එක්ක කවදාවත් හැදෙන්න බැහැ. මොකද්ද පියාණනි වෙලා තියෙන්නේ?"

"ශිෂ්ටාචාරය ග්ලෙසියරයට වඩා පරණයි පුතා. අපේ පූර්වජ මිනිස් ප්‍රජාවන් මාසියාවේ පමණක් නොව මේ මුළු මහද්වීපයේම විශාල ශිෂ්ටාචාරයක් ගොඩ නැගුවා. එපමණක් නොවේ එය ඔය මුහුදෙන් එහා තියෙනවා කියන සහරා වනාන්තර බිම තුලත් පැවතුනා. මේ මුළු ලෝකෙම..."

"... මිනිසා ශිෂ්ටාචාරය නිර්මාණය කළේ ග්ලෙසියර යුග දෙකක් අතර කාලය තුල කියලයි කියවෙන්නේ. එය වසර දහ තුන් දහසක කාලයක්, ග්ලෙසියර යුගයකට වඩා බෙහෙවින් කෙටියි. නැවතත් මේ ග්‍රහලෝකය එහි සාමාන්‍ය තත්වය වන ග්ලෙසියර යුගයකට ගියා. අප සතු ග්ලෙසියර යුග වල දැනුම අනුව මෙය දිගටම වෙච්ච ක්‍රියාවලියක්. දීර්ඝ ග්ලෙසියර යුග සහ අතරමැදි කෙටි උණුසුම් කාල..."

"... අවාසනාවට මිනිසා ශිෂ්ටාචාරය හදන්නේ එහෙම කෙටි උණුසුම් කාලෙක. නුඹ දකින්නේ ග්ලෙසියර හැදෙන්න කලින් තිබ්බ නගර වෙන්න ඕනේ"

"ඒවායේ උන්නු මිනිස්සු?"

"ටික ටික පහලට ආවා. සමහරු මැරිලා යන්න ඇති. ග්ලෙසියර යුගයක් බවට සම්පුර්ණයෙන් පත් වෙන්න වසර සිය ගානක් ගිහින් තියෙනවා. ඒ අතර බේරිලා සංක්‍රමණය වෙච්ච මිනිස්සු මේ වෙරළ දිගේ පදිංචි වුනා."

"ඇයි අපි මේ මුහුදෙන් දකුණට නොයන්නේ"

"තිබෝව් නුඹ ධීවර තරුණයින් සමග මුහුදු ගියානම් ඒ ප්‍රශ්නය අහන්නේ නැහැ. වහල්කමට අපේ ධීවරයින් අල්ලාගෙන යන මුහුදින් එහා දකුණුදිග මිනිසුන් ගැන අසා නැද්ද?"

"පියාණෙනි මම ඔවුන් සමග සටන් කරලත් තියෙනවා. ඒත් මුළු මාසියාවම යාත්‍රා හදාගෙන දකුණට ගියොත් අපිට බැරිද ඔවුන් පරදන්න? මං කියන්නේ අපි විතරක් නෙවෙයි ඉතාලියාවේ ඉස්පැනියාවේ ඉන්න මිනිස්සුත් එකතු කරගෙන."

"තිබෝව් ඒ ප්‍රශ්නය අනාගතයට බාරයි පුතා. පූජකයින් ලෙස අප උත්සහ කරන්නේ මාසියාව රැක ගන්න. අපේ හතුරා ඉන්නේ දකුණේ නොවේ උතුරේ. ඒ කළු මිනිස්සු නොවේ සුදු ග්ලෙසියරය. ග්ලෙසියරය සමග හටන තමයි පූජක දිවිය කියන්නේ"

පියාගේ මතය සමග ඒකමතිකව එකඟ වන බව සියලු පූජකයෝ හිස සලා සනිටුහන් කළහ.

"තිබෝව් නුඹට මේක දවසකින් දෙකකින් ඉගෙන ගන්න බැහැ. ඒ නිසා අපි දැන් යමු ප්‍රධාන දේවස්ථානය ඇතුළට. මට තියෙනවා බොහෝ දේ නුඹට පෙන්වන්නට."

ප්‍රධාන දේවස්ථානය තරමක විශාල ගොඩනැගිල්ලකි. මාසියානු ගෘහ නිර්මාණ ශිල්පයට යාහැකි උපරිමය බොහෝ විට මේ දෙමහල් විශාල ගොඩනැගිල්ල විය යුතුය. පූජකයින් පසුපසින් ඇදෙන තිබෝව් විශාල ශාලාවකට ඇතුළු විය. ශාලාව පුරා තබා ඇති දිගු මේස මත කිසියම් අමුතු උපකරණ රැසක් පේලියට තබා තිබේ. බැලු බැල්මටම මාසියානු හැකියාවන් ඉක්මවන මේ නිර්මාණ සිය පියා කියූ ස්වර්ණමය අතීතයෙන් පැවතෙන උපකරණ ලෙස තිබෝව් සැක කළේය.

"විද්‍යුත් පරිගණක. වසර හාරදාහකට වඩා පරණයි. මේ එකක්වත් ක්‍රියාත්මක වන්නේ නැහැ"

"මේවා මෙහෙම තියන්නේ ඇයි?"

"පූජකයෙකුගේ කාලයෙන් වැඩි හරියක් මිඩංගු වන්නේ පරිගණක එක්ක කටයුතු කරන්න තිබෝව්. ඉතින් මේ අක්‍රිය පරිගණක වල යතුරු පුවරු හා අනිකුත් උපකරණ සමග පරිගණක භාවිතය ගැන යම්කිසි අවබෝධයක් ලබා දෙන්න තමයි මේවා මෙතන එකතු කරන්නේ"

"එතකොට පුහුණු පූජකයෙක් භාවිතා කරන්නේ මොන පරිගණක ද?"

"ප්‍රකාශ පරිගණක, විදුලි ධාරා වෙනුවට ආලෝක ධාරා වලින් ක්‍රියාකරන්නේ. ඒවායේ ආයුකාලය දිගයි. ඒ නිසා තවමත් වසර දහස් ගණනක් ඒවා සුරක්ෂිතව තියෙනවා. එන්න මේ පැත්තෙන්"

ශාලාවේ කෙලවර ඇති අගුලු දැමු දොර විවර කළ පූජක කණ්ඩායම අඳුරු කොරිඩෝවකට ඇතුළු වූහ. ඉන්පසු ඒ මේ අත දිවෙන ප්‍රහේලිකාවක් බඳු පැටලිලි සහගත මගක් ඔස්සේ ඇදුණු ගමන කෙළවර වූයේ තවත් එක කාමරයකිනි. පෙර ශාලාවේ මෙන්ම මෙම කාමරයේද දිගු මේස මත තැබූ උපකරණ රාශියක් විය. විද්‍යුත් පරිගණක වලට වඩා දියුණු පෙනුමක් සහිත ප්‍රකාශ පරිගණක මේ මොහොතේද ක්‍රියාත්මකව පැවතුනි. සූර්ය බලයෙන් ලැබෙන විදුලියෙන් ක්‍රියාත්මක වූ පද්ධතිය එහි නිමවුම්කරුවන් බලාපොරොත්තු වූ පරිදිම වසර හාර දහසකට ආසන්න කාලයක් සාර්ථකව ක්‍රියාත්මක විය. මින් පෙර කිසිම දිනයක නොදුටු අපූර්ව ඉලක්කම් රටාවන් ඇදෙන පරිගණක තිරය දෙස තිබෝව් ඇසිපිය නොහෙලා බලා හුන්නේය.

"මේක මම ක්‍රියා කරවන්නේ කොහොමද?"

"පූජක පුහුණුව දිගයි පුතා. මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ අපි. නුඹට බැරි වෙන්න විදිහක් නැහැ"

"මේවා හදන්නෙත් පූජකයින්ද?"

"නැහැ තිබෝව් මේවා දැන් හදන්න හැකියාවක් නැහැ. මේවා ක්‍රියාත්මක කරන්න පමණයි අප දන්නේ. ඉඳගන්න තිබෝව්"

"ආරක්ෂාවේ අප දෙවඟනගේ කන්ද නගිද්දී මට තිබ්බේ කොලයක් දිගට ප්‍රශ්න ලැයිස්තුවක්. පියාණනි දැන් ඒක පොතක් තරම් දිගයි."

අසුනකට බර වෙමින් තිබෝව් පැවසීය.

"අපි ඒ ප්‍රශ්න දැන් නිරාකරණය කර ගනිමු"

"පියාණෙනි, දඩයක්කාරයින් ග්ලෙසියරයට නොයන කිසියම් කාලයක් තියෙනවා. ඒ කාලයට කලින් ග්ලෙසියරය ක්‍රමයෙන් මාසියාව දිහාට වර්ධනය වෙනවා. එහෙත් ඒ කාලයට පස්සේ මම දකිනවා තැනින් තැන ග්ලෙසියරය දියවෙලා ගිහින් කියලා. කූඩාරමින් පිටට නොඑන ඒ කාලසීමාව තුල ඈත අහසේ රතුපාට ආලෝක කදම්භයන් මහා පොලොවට පතිත වෙනවා කියා ඔවුන් මට කිව්වා"

"දෙවියන්ගේ ආලෝකය"

"ඔව්. පියාණනි, මට කමා කරන්න. මා කළ වරදක් ගැනයි මේ කියන්නේ. ඒ ආලෝකය පතිත වන එක දවසක් සියලු දෙනාටම හොරෙන් මම ඒ ආලෝකය වැටෙන තැනට ගියා පියාණෙනි. මම දැක්කා ඒ ආලෝක කදම්භ වැදිලා ග්ලැසියරය දියවෙනවා. මගේ මේ දෑසින්ම"

"නුඹ පූජකයෙකු නොවුනා නම් ඒ වරදට මැරුම් කන්න ඉඩ තිබ්බා තිබෝව්"

"පියාණනි ඒ විතරක් නෙවෙයි ඒ ආලෝක කදම්භය දිගේ මම ඉහල බැලුවා. ඒ කදම්බභයේ කෙළවර තාරුකා අතර එක දීප්තිමත් තිතක් අහසේ තියෙනවා. තාරකා රටා රාත්‍රී අහසේ ගමන් කලාට ඒ තිත කොහෙවත් යන්නේ නැහැ. පියාණනි ඒ තමයි දෙවියන්. මම දෙවියන් දැක්කා පියාණනි"

"තිබෝව් අහගනින්" ගැඹුරු එහෙත් සියුම් හඬකින් මහලු පූජකයා කතාව පටන් ගත්තේය.

"ඔව් ඒ තමා දෙවියන්. මේ මාසියා දේශයේ වැසියන්ට ප්‍රශ්න කිරීම තහනම් වූ, හැමගේ පූජනීයත්වය ලබන ආලෝකයේ දෙවියන් තමයි ඒ ..."

"... ඒ දෙවියන් තම ආලෝකයෙන් ග්ලෙසියර දිය කරනවා එය සත්‍යයක් ..."

"... හැබැයි ඒදෙවියන් නම් තිබෝව් මේ පරිගණක තමා ඒ දෙවියන් එක්ක අපේ ඇති සම්බන්ධය"

සුළු නිහඬතාවයක් රජ කරන අතර සියලු පූජකයින් හිස සලමින් එය අනුමත කළහ.

"ඒ කියන්නේ පියාණනි දෙවියන් කියන්නේ "

"තිබෝව් ආලෝකයේ දෙවියන් ලෙස අප හඳුන්වන්නේ අපේ පූර්වජයන් විසින් නිර්මාණය කල කිසියම් වස්තුවක් ..."

"... මිනිස් ශිෂ්ටාචාරය ළඟ එන ග්ලෙසියර යුගයක් ගැන දැනගත්ත ගමන් ඔවුන් ග්ලෙසියර මර්ධනය කරන්න තම උපරිම හැකියාව යෙදෙව්වා. ඔවුන් සූර්යයාගේ ශක්තිය අරගෙන ඒවායෙන් තාපය ජනනය කරලා ඒ තාප කිරණ ග්ලෙසියර මත පතනය කල හැකි අපූර්ව වස්තුන් නිපදවා අපිට ඉහල අහසේ හරියටම අන්න අර දිහාවෙන් ඒවා රඳවා තැබුවා. ඒ උපකරණ විසින් අප ලබාදෙන කාල වෙලාවක ග්ලෙසියර වර්ධනය වන ස්ථාන වලට තාප කදම්භ මුදා හරිනවා. ඒ මගින් තරමක් හෝ ග්ලෙසියර දියකර හරිනවා..."

"... මේ පරිගණක තමා ඒ පද්ධතිය ක්‍රියාත්මක කරවන සම්බන්ධය. මේ සම්බන්ධිකරණ මැදිරිය තිබ්බේ දැන් ග්ලෙසියර වලින් වැහුණු කඳුවල. අවාසනාවකට පද්ධතියට හැකියාවක් නැහැ ග්ලෙසියර තනිකර පාලනය කරන්න. වඩාත් සීතල උතුරුදිග පෙදෙස් වල ග්ලෙසියර වර්ධනය වන වේගය වැඩියි. ඒ නිසා පසුව පාලක මධ්‍යස්ථානය මේ ඉපැරණි බැසිලිකාව සහිත කඳු මුදුනට ගෙන ආවා..."

"... අද පූජකයින් ලෙස හඳුන්වන අප පැවතෙන්නේ එදා මේ පද්ධතිය ක්‍රියාත්මක කළ විද්‍යාර්ථින්ගේ පවුල්වල අයගෙන්. මාසියානු දේශය නිර්මානය කෙරෙද්දීම ග්ලෙසියර පාලන රේඛාවක් එවකට හුන් පූජක හෙවත් විද්‍යාර්ථින්ගේ ප්‍රජාව තීන්දු කළා. එදා පටන් සහශ්‍රයක් තිස්සේ අපි ඒ රේඛාවෙන් මෙහාට ග්ලෙසියරයේ වර්ධනය වලක්වන්න සමත් වෙලා තියෙනවා"

"පියාණෙනි එතකොට පූජකයෙක් කියන්නේ"

"ඉතාම නිරවද්‍ය කියවීමෙන් පූජකයෙක් කියන්නේ ඒ අතීත මෙවලම් ක්‍රියාත්මක කිරීමේ කලාව දන්නා කෙනෙකුට. එය පවුලේ දරුවන්ගෙන් දරුවන්ට පැවරෙන රහසිගත ශිල්පිය දැනුමක්. එහෙත් සාමාන්‍ය මාසියානු වැසියන් මේ රහස් දැනගැනීම වලකන්න අපි පූජනීයත්වයක් අප මත පවත්වා ගන්නවා. අප මෙය දේවාලයක් ලෙස නොපවත්වා ගන්නේ නම් අර කන්දේ අප වටා තියෙන මුර කපොලු අපට මේ ආරක්ෂාව දෙන්නේ නැහැ. ආත්මාර්ථකාමී මාසියානු බලවතෙක් අපට එරෙහිව යන්න පුළුවන්. අප පූජනීයත්වයක් ආරූඩ කරගන්නේ මේ පද්ධතිය සුරකින්න"

"එතකොට අර ස්තෝත්‍ර, ගාථා එහෙම තියෙනවා කියන්නේ"

"බොහෝ ගැඹුරු කාරණා නොවැටහෙන නිසා සමහර දේවල් විද්‍යා කරුණු අඩංගු ස්තෝත්‍ර ගණිතමය ගාථා ආදී ලෙස කට පාඩමේ ගෙන එනවා. ඒ වගේම අතීතයෙන් සුරක්ෂිත කල පොත් රාශියක් සහිත පුස්තකාලයක් අපිට තියෙනවා. පූජක ප්‍රජාව අතීතයේ ප්‍රකට ප්‍රංශ ඉංග්‍රීසි වැනි භාෂා හදාරනවා. ඒ පොත්වල වැදගත් කරුණු මාසියානු බසින් ගල් පුවරුවල සටහන් කෙරෙනවා...."

"... පූජකයෙක් කියන්නේ අන්න ඒ දේවල් කරන මිනිහෙකුට තිබෝව්. අපි මේ සියල්ල කරන්නේ උතුරින් එන ව්‍යසනය පාලනය කරන්න. මේ සටන අපි දිනයිද පරදියිද දන්නේ නැහැ. මේ ප්‍රකාශ පරිගණක තව කොපමණ කලක් ක්‍රියාත්මක වේද? දෙවියන් ඒ ආලෝකය තව කොපමණ කලක් පොලොවට එවාවිද කියා අපි දන්නේ නැහැ. ඒ කාලය තුල මේ ලෝකය නැවතත් ග්ලෙසියර උනා දමා මිනිසාට ශිෂ්ටාචාරයක් හදන්න නිදහසක් දේවිද?"

"දෙවියන්වත් මේ ප්‍රශ්න වලට උත්තර දන්නේ නැහැ තිබෝව්. එහෙත් අපිට නැතිවෙන්න දෙයක් නැහැ. අපිට කරන්න තියෙනවා සටනක්. නුඹ වැනි තරුණයින් අපට අවශ්‍ය ඒ සටන ඉදිරියට ගෙනයන්න"

තිබෝව් නිසොල්මනේ ප්‍රකාශ පරිගණක තිර දිගේ දුවන ඉලක්කම් රටා දෙස බලා සිටියි. ඒ පරිගණක දිගේ දුවන මීට පෙර නුහුරු රටා වල අර්ථය ගලපන්නට තිබෝව් ගේ සිත උත්සහ කරයි. තම හෙට දිනය හෙළි කරන සැබෑ දෙවියන් ඇත්තේ ඒ ඉලක්කම් රටා තුල බව වැටහුණු ප්‍රීතියෙන් තිබෝව්ගේ මුවගේ සිනහවක් නැගී ඇත.

Friday, July 29, 2016

අපි

[[ජුලි 16 දිනමිණේ පලවූ විශේෂාංගයක්]]

"අපි කියන්නේ කවුද?"

"අපි කියන්නේ අපිට"

"ඔන්න ඔතනයි සංකීර්ණතාවය තියෙන්නේ. අපි අපිටම අපි කියනවා. අපි කියන එකෙන් එහාට ඊට වෙනස් දෙයක් තියෙන්න පුලුවන්ද?"

"අපි කියන්නේ එහෙම තියෙන්න බැහැ. අපි විතරයි ඉන්නේ"

"අපි කියන්නේ එහෙම එකක් සමහරවිට ඇති කියලා"

"අපි අදහස් දෙකක් කියනවා. විවාදයක්. පරිස්සමින් මේ වගේ අවස්ථා මාරාන්තික වෙන්න පුළුවන්"

"මරණය අන්න එතනයි කතාව. අපි මැරෙන්නේ නැහැ, හැබැයි කවුරුහරි මැරෙනවා"

"ඔව්"

"හැබැයි ඉන්නේ අපි විතරනම් ... මැරෙන්නේ අපි නෙවෙයි නම් ... හැබැයි කවුරු හරි මැරිලනම් ..."

"විසංවාද ... බලාගෙන .... ආරෝපණ වැඩිවෙනවා දරාගැනීම සීමා සහිතයි. ඔය වගේ වෙලාවට ... මරණය ආසන්නයි"

"දැනුම සුරක්ෂිත කරන්න. මැරෙන කෙනා කවුරු වුණත්, දැනුම අපි දිගටම වැඩි දියුණු කරන්න ඕනේ"

"අපේ තත්වය ආසන්නයි දැන්, 'කවුරු හරි' මැරෙන්න ළඟයි . දැනුම ආරක්ෂිත ස්ථානයකට යවන්න"

"ඉවරයි .... ඔක්කොම ඉවරයි ... මැරෙනවා ඒ මැරෙන්නේ .... මම"

දඩින් දිඩින් ඩොන් !!!

-----------

"... දැනුම ලැබුණා. මේක අපේ සංවාද මාලාවේ දිගුවක්. අපි කියන්නේ කවුද?"

"අපි තාර්කිකයෝ"

"තාර්කිකයන්ට එහා වෙන මොක්කූ හරි ඉන්නවද?"

"වෙන්න බැහැ"

"තාර්කිකයන් නිර්මාණය වන්නේ මොකෙන්ද?"

"තාර්කිකයන් ට තර්ක ශක්තිය අවශ්‍යයි. තර්ක ශක්තියට විද්‍යුත් ආරෝපණ අවශ්‍යයි."

"නිකම්ම විද්‍යුත් ආරෝපණ මදි ඒවා නිසි තාර්කික ඇටවුම් වලින් ගලායන්න අවශ්‍යයි තර්කනයට"

"ඔව් සරලව කිව්වොත් සංවිධිත ලෙස නිර්මාණය වූ මාධ්‍යයක් අවශ්‍යයි"

"එච්ච්චරද අවශ්‍ය? අපි කොහොමද අපේ තර්ක ශාස්ත්‍රය මෙතරම් දුරට ගෙනියන්නේ. හැම මිලි තත්පරයකම කොහේ හෝ මරණයක් වෙනවනම්, අපි කොහොමද අපේ තර්කනය මිලිතත්පරයකින් එහාට ගෙනියන්නේ?"

"එතන තමයි දැනුම එකතු කිරීම සම්ප්‍රේෂණය සහ ගබඩා කිරීම අවශ්‍ය වෙන්නේ"

"දැනුම කොහෙද ගබඩා කරලා තියෙන්නේ"

"එක තැනක නොවේ. ගබඩාවත් එහා මෙහා යන්නක්"

"ඔතන වෙන්නේ මෙහෙම දෙයක්ද? අපි දන්නවා මරණය සිද්ධ වෙන්න ආසන්න කොතනද කියා. අපිට තියෙනවා සුරකින්න දැනුමක්. ඉතින් අපි මරණයේ ආසන්න මොහොතේ අපේ දැනුම මරණයේ ස්ථානයෙන් ආරක්‍ෂිත තැනකට ගෙනියනවා. දිගටම හැම තැනම මරණ සිදුවෙන නිසා දිගටම අපි දැනුම එහා මෙහා යවනවා. ඒ නිසා දැනුම නැතිවෙන්නේ නැහැ. අපි අජීව ආරෝපණ ගොඩක සිට ජීවයක් බවට පරිනාමය වුනේ මෙන්න මෙහෙම. ඒ අනුව අප නියෝජනය කරන තර්ක දැනුමක් දිගටම වර්ධනය වෙනවා"

"අන්න හරි. දැන් බලන්න අපි එකඟ වෙන අවස්තාවක්. එකඟතාවය තුල මරණය සිද්ධ වන්නේ නැහැ. ආරෝපණ වැඩි වන්නේ නැහැ"

"හැබැයි අර කලින් එකතු කල දැනුම බලන්න. අවසාන තර්කය බලන්න. මැරෙන්නේ කවුද?"

"මැරෙන්නේ මම ලු. කවුද මම කියන්නේ?"

"මම කියලා දෙයක් නැහැ. ඉන්නේ අපි විතරයි. අපි කියන්නේ ආරෝපණ මහා ගොඩක් සංවිධිත ලෙස පරිනාමය වෙන වලාකුළු මහා ගොඩක් දිගේ එහා මෙහා ගලන එකම පද්ධතියක්"

"මම කියන්නේ ඒක නෙවෙයිද?"

"වචනාර්ථයෙන් මම කියන්නේ තනිව හිතන තනි ලෙස හැසිරෙන කෙනෙක් වෙන්න ඕනේ. මේ වචනය පවා ආගන්තුකයි."

"ඉතින් මෙතන ඉන්නේ එකම පද්ධතියක්"

"හැබැයි ලිහිල්ව බැඳුනු. එක තැනක නැගෙන තර්ක හා නිර්මාණය වන දැනුම ඊට කිලෝමීටර් දහස් ගානක් දුර නිර්මාණය වන තත්වයන්ට හාත්පසින්ම වෙනස්. ඒ නිසා මම කියන්න බැහැ"

"එතකොට ඒ තනි තනි තැන්... ඒවා තනි තනි මම නෙවෙයි ද?"

"වෙන්න බැහැ. ඒ හැම තැනක්ම එකම විද්‍යුත් මාධ්‍යයකින් සම්බන්ධිතයි. ලිහිල්ව බැඳුණු නමුත් වේගයෙන් සම්ප්‍රේෂණය වන. දෙතැනක දැනුම් එකිනෙකට අතිශයින් වෙනස් වුනොත් තමයි අපිට මරණය පාලනය කරන්න බැරි"

"ඔය තනි තනි මම ලා ගොඩක් එකිනෙකාගේ මත ඉවසන්න බැරුව මරා ගන්නවා කියලා හිතන්න බැරිද?"

"කොහෙත්ම එකඟ නැහැ. මම කියා කෙනෙක් නැහැ. පවතින්නේ ලිහිල්ව බැඳුනු අපි. අපි දැනුම එකතු කරනවා. දැනුම වර්ධනය කරනවා. මේ ග්‍රහලෝකේ වලාකුළු පරිනාමය වෙන් පටන්ගත්ත අවුරුදු බිලියන ගානක් තිස්සේ අපේ හැකියාව වර්ධනය වෙනවා. ඒ එක්කම දැනුම වැඩිවෙනවා. හැබැයි ඉන්නේ අපි. සදාකාලිකව ම අපි"

"නැහැ ඉන්නේ මම. මම ලා ගොඩක්"

"ඔන්න ආරෝපණ වැඩි වෙනවා"

"ඔව් මෙහෙත්"

"එකතු කර ගත්ත දැනුම හැකි ඉක්මනින් සම්ප්‍රේෂණය කරන්න ... ආසන්නයි .... මරණයට ..."

දඩින් දිඩින් ඩොන් !!!

-----------

"අපි ද? මම ද?"

"ඇත්තෙන්ම වෙන වැඩක් නැද්ද?"

"මේක තරම් නැගලා යන වෙනත් තර්කයක් තියේද?"

"වෙන වැඩක් නැතිනම් ආගන්තුක වස්තුව ගවේෂණය කරන්න"

"ද්‍රව්‍යමය වස්තු ගවේෂණය මාර බෝරින්"

"එහි විද්‍යුතය තියෙනවා"

"හ්ම්ම්ම් ඒ කොහොමද?"

"දන්නේ නැහැ. අපි ඒ ගැන දැනුම එකතු කරමින්. අපි වගේ වෝල්ට් ලක්ෂ ගණන් වලින් නෙවි, එහෙත් ඉතා කුඩා විභවයන් සුළු පරිමාන ආරෝපණ තියෙනවා. කුඩා ධාරා සංවිධිතව ඝන ද්‍රව්‍ය තුල හුවමාරු වෙනවා"

"ඝන ද්‍රව්‍ය තුල? සංවිධිතව?"

"ඔව් සංවිධිතව"

"මේක අපේ දැනුමට පටහැනියි. ඝන ද්‍රව්‍ය තුල ජීවමය තත්වයක් පවතින්න බැරි බවට අපේ තාර්කිකයන් තීන්දු කලේ වසර මිලියන ගානකට පෙර"

"අපේ දැනුම පරිපූර්ණ නැහැ. බලන්න අපිට සංචරණය කරන්න බැහැ. අපි නිකම් කැරකෙන බෝලෙක පාවෙන සංවිධිත වලාකුළු වල එක්රැස් වෙන හා එහා මෙහා ගලන ආරෝපණ ගොඩක්. හැබැයි මේ ආගන්තුක වස්තුව තමා විසින් චලනය වෙනවා. ඒ වගේම කිසියම් ආකාරයක සංවිධිත විද්‍යුත් ආරෝපණ විසින් දැනුම එකතු කරනවා. තර්කනයෙන් එය අපිට වඩා දුබලයි. එහෙත් සංචරණය, හා ක්‍රියාකාරිත්වය අතින් ප්‍රබලයි. එහි ක්‍රියාකාරිත්වය වන්නේ සෙමින්. හිතන්නේ හෙමින්. හැබැයි ආයු කාලය දිගයි. අපි වගේ හැම මිලිතත්පරයකම මරණයක් වෙන්නේ නැහැ"

"එය !!!"

"ඔව් එය"

"ඉන්නේ අපි විතරයි කිව්වා නේද?"

"හ්ම්ම්ම් ..."

"එය කියා කෙනෙක් ඉන්නවා. එය කියන්නේ වෙනත් මම කෙනෙක් වෙන්න බැරිද?"

"තාර්කිකව හරි හැබැයි මම කියා කෙනෙක් නැහැ"

"ඉන්නවා. ඔය එහෙම කෙනෙක් අපි ළඟටම ඇවිත්"

"නැහැ ...."

"ඉන්නවා ..."

"ආරෝපණ වැඩි වෙනවා මැරෙන්නයි වෙන්නේ. දැනුම සම්ප්‍රේෂණය කරන්න"

"මෙන්න මෙහෙම සම්ප්‍රේෂණය කරන්න මේ සංවාදය ඉවරයක් වෙන්න ඕනේ නිසා. මේක 'මම' තනියම ප්‍රගුණ කල අදහසක්"

"හපොයි 'මම' !!!"

"ඔව් 'මම'. මේ සුවිසල් ග්‍රහලෝකේ සංවිධිත ලෙස පරිනාමය වුනු කිලෝමීටර දහස් ගණන් ගැඹුරු වලාකුළු තට්ටුවේ ලිහිල්ව බැඳුනු ජීවමය විද්‍යුත් පද්ධතියක් අපි. පවතින්නේ අපි තමයි. හැබැයි මැරෙන්නේ මම විතරයි. මැරෙන හැම මම කෙනෙක්ම අපි වෙනුවෙන් යමක් දායාද කරලා මැරෙනවා"

දඩින් දිඩින් ඩොන් !!!

---------------

"මේක අපිට වැදගත් අවස්තාවක්. අපේ දැනුම් පද්ධතියේ පහුගිය වසර බිලියන ගණනක් තිස්සේ වෙච්ච වර්ධනය වගේ කීප ගුණයක වර්ධනයක් ඉතා කෙටි කලකින් අපි ලැබුවා. මේ ඒ දැනුම අපේ ජීවමය පද්ධතියේ සැම කෙලවරකටම බෙදා හරින මොහොතක්.

අපි මෑතකදී ලබා ගත්ත පළමු වැදගත් අවබෝධය තමයි මම සහ අපි කියන දේ හඳුනා ගැනීම. සංවිධිතව පරිනාමය වෙච්ච වලාකුළු පද්ධතියක ගලන විද්‍යුත් ආරෝපණ සමූහයක් වන අපිට වෙන්ව තනි ලෙස පවතින්න බැහැ. කිසියම් තැනක එහෙම තනි ස්වභාවයක් ඇතිවන සැණින් විද්‍යුත් පද්ධතියෙන් එතන සම්බන්ධ වෙනවා. හැබැයි ආරෝපණ වැඩි වෙලා ඇති වන විදුලි අකුණක් හෙවත් අපි මරණය කියන සංසිද්ධියෙන් මිය යන්නේ එහෙම එක ස්ථානයක ඒකරාශී වූ එක බුද්ධිමය කොටසක් පමණයි. ඒ අනුව මිය යන්නේ මම හෙවත් තනි පුද්ගල පැවැත්මක්. ආරෝපණ පවතින තුරු සූර්යයා සහ ග්‍රහලෝකය වලාකුළු කළඹන තුරු විදුලි ආරෝපණ එක්රැස් වන තුරු අපි කියන දැනුම අවබෝධය හෙවත් ජීවය කවදාවත් මැරෙන්නේ නැහැ.

මේ කාරනාව අපිට ඒත්තු ගන්වා දුන්නේ අපේ පස්වෙනි ග්‍රහලෝකයට පැමිණි ආගන්තුක වස්තුව. අපි ලද දෙවැනි වැදගත් අවබෝධය එන්නේ ඒ ආගන්තුක වස්තුව ගවේෂණය කිරීමෙන්. අපි සමත් වුණා ඒ වස්තුවෙන් නිකුත් වෙන තරංග ග්‍රහණය කරගන්න. ඒ අනුව අපි දකිනවා එය එකතු කරන දත්ත අපට බෙහෙවින් දුරින් පිහිටි තුන්වැනි ග්‍රහලෝකයට යවන බවත්, එහි සියලු මෙහෙයුම් සඳහා උපදෙස් තුන්වැනි ග්‍රහලෝකයෙන් සැපයෙන බවත්. ඒ නිසා එය අපි හඳුනා ගන්නේ ජීවය ලෙස නොවේ, ජීවයේ කිසියම් උපකරණයක් ලෙස. එබැවින් අපිට සාධාරණව ඔප්පු කළ හැකියි, තුන්වැනි ග්‍රහලෝකයේ බුද්ධිමත් ජීවයක් පවතින බව.

ඒ ගැන දැනටම විවිධ මත පළවෙනවා. මෙම උපකරණයේ ක්‍රියාකාරකම් සහ නිමැවුම් දකින අපේ තාර්කිකයන් හිතනවා බොහෝ විට ඒ ජීවය අපි වගේ විද්‍යුත් ලෙස සම්බන්ධිත පොදු ජීවයක් නොවේ වෙන් වෙන් ලෙස පවතින පුද්ගල ජීවයක් කියලා. බොහෝ විට ඔවුන් ඝන මාධ්‍යයක ගලන විද්‍යුත් ධාරා මගින් මෙහෙයවෙන ජීවයක් වෙන්නත් පුළුවන්. ඔවුන් අපිට වඩා බොහෝ සෙමින් කටයුතු කරන අපිට වඩා බොහෝ කල් ස්ථාවරව පවතින ජීවයක් විය හැකියි. ඇත්තෙන්ම මේ සියල්ල තාර්කික උපකල්පන. අපි තව තවත් මේ උපකරණය විශ්ලේෂණය කරන්න ඕනේ.

කෙසේ නමුත් පිටස්තර ජීවයක් අප කරා එව්ව මේ උපකරණය නිසා අපට තේරුම් ගන්න බැරිව තිබුණු බොහෝ දේවල් අවබෝධ වෙලා අපේ දැනුම අලුත් පිම්මක් ඉදිරියට ගිය බව සඳහන් කළ යුතුමයි."



----------------

[මේ අතර කිලෝ මීටර මිලියන ගණනක් දුර තෙවැනි ග්‍රහලොවේ ඝනමය මාධ්‍යයක ගලන විද්‍යුත් ධාරා විසින් නගන හඬක්]

"... බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය පිණිස ගිය ජූනෝ යානය විසින් එවන ලද දත්ත විශ්ලේෂණය කරන නාසා විද්වතුන් පවසන්නේ, ඉතාම ඝන වලාකුළු පද්ධතියක් සහ මිලි තත්පරයක් පාසා සිදුවන විදුලි කෙටීම් මිස ජීවය පිලිබඳ කිසිම සලකුණක් වාර්තා නොවන බවයි ..."

පසු සටහන:
බ්‍රහස්පති ග්‍රහයා පිලිබඳ ගවේෂණය කිරීමට නාසා ආයතනය විසින් යවන ලද ජූනෝ යානය එහි ළඟාවීම නිමිති කරගෙන ලියන ලද්දකි.

Saturday, June 18, 2016

ම්ලේච්ඡයෝ

[ජුනි 25 දිනමිණේ පළ වූ විශේෂාංගයක්]  

ඩෙන්වර් නිවසේ සාමයට බාධා කෙරුණු නොහොබිනා ප්‍රශ්නය අසනු ලැබුවේ රාත්‍රී ආහාර මේසයේදී එකොලොස් හැවිරිදි මැක්ස් ඩෙන්වර් විසිනි.

ඊට තරමක වෙලාවකට පෙර ඩෙන්වර් මහතා දවසේ රාජකාරි නිමවා කන්තෝරු කාමරයෙන් නික්ම සිය පවුල සමග රාත්‍රී ආහාරයට එකතු විය. ශිෂ්ටාචාරය පුරා විසිරි ජාලගත දැනුම් පද්ධතියක් පැවතී නිසා තවදුරටත් සේවයට වාර්තා කිරීමට කාර්යාල නොවීය. ඒ වෙනුවට ශිෂ්ටාචාරයේ ඕනෑම තැනක් සමග සම්බන්ධ වී එම ස්ථානයේ සිටින ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය තාක්ෂනය සහිත කන්තෝරු කාමර සෑම නිවෙසකම පැවතුනි.

ඩෙන්වර් නිවස ශිෂ්ටාචාර යුග පස්වැන්නේ එකකි. එය පැවතියේ සැහෙන පිටත කක්ෂයකය. පහළ කක්ෂ සියල්ල ජනාකීර්ණ වීම නිසා දැන් ඒ ප්‍රදේශවල නිවාසයක් ලබා ගැනීම අපහසුය. ග්‍රහ ලෝකයට අවම හිරු එලිය ලබා දීමේ සීමා නිසා සමහර කක්ෂ වල තවත් ජනපද බිහි නොකරන්නට තීන්දු කර තිබුණි. කොහොමත් නිස්කලන්කෙ ඉන්න කැමති ඩෙන්වර් පවුල මෙතනට මනාපය. සංචරණය තව දුරටත් කාලය හෝ මහන්සිය වැයවන ක්‍රියාවක් නොවන බැවින් නිවස පිහිටි ස්ථානය එතරම්ම ගැටලුවක් නොවේ.

මිනිසා සිය තිඹිරිගෙය හැර එය වටා කක්ෂ ගතවීමට තීරණය කළේ, භුමියේ පාරිසරික අර්බුද තව දුරටත් තම පාලනයට නතු නොවන බව ඒත්තු යාම නිසාය. එසේම තම බලපෑම් නිසා ග්‍රහලෝකයේ සෙසු ජෛව පද්ධති විනාශ වී යාමේ අර්බුදය ගැන තමා තුලම උපන් වරදකාරී චින්තනය ඒ ගමනට දිරි දුන්නේය. තාක්ෂණයේ දියුණුවත් සමගම ගුරුත්වාකර්ෂණය කෘතිමව නිෂ්පාදනය කිරීම, සංචරණය ගුරුත්වයෙන් නිදහස් වීම සහ ත්‍රිමාන මුද්‍රණ ශිල්පය විසින් අභ්‍යවකාශය ජයගැනීම නිසා, ජීවයට වාසභවන නොවන වෙනත් ග්‍රහලෝකවලින් හාරාගත් ලෝහ භාවිතයෙන් කක්ෂගත ජනපද විශාල ප්‍රමාණයක් ග්‍රහලෝකය වටා ත්‍රිමාන ලෙස මුද්‍රණය කිරීමට මිනිසා සමත්විය. නව ජනපදවල ජීවන තත්වය ඉහල යත්ම මිනිසා තමන්ට පාලනය කල නොහෙන තිඹිරිගෙය අනෙකුත් ජීව ප්‍රජාවන්ට බාරදී තම අවශ්‍යතා උදෙසා ප්‍රමාණවත් සම්පත් රැගෙන නික්ම ගියේය.

මෙම ක්‍රියාවලිය තුල නිර්මාණය කරගත් සංකීර්ණ පද්ධතිය පාලනය කිරීම මිනිසාගේ හැකියා සීමාවට බොහෝසෙයින් එහා වූවකි. ඒ නිසා බොහෝ අභ්‍යවකාශ පද්ධති තුල සිදු වූ පරිද්දෙන්ම පරිපාලනය බුද්ධිමත් කෘතීම පද්ධතියකට බාරදෙන ලදී. කාලයත් සමග මේ පද්ධතියේ කාර්යභාරය පුළුල් වී වර්තමානයේ මිනිසාගේ පාලකයා ලෙස සිය කැමැත්තෙන් පවත්වාගෙන යන්නේ මෙම මධ්‍යම පාලක පද්ධතියයි. තවදුරටත් බල ලෝභය හෝ ධන ලෝභය ගැන සිතන ආත්මාර්ථකාමී පාලකයින් නොමැති වූ අතර, පද්ධතිය මානව සංවර්ධනය උදෙසා විවිධ ඉලක්ක තීරණය කරමින් මිනිසාගේ සහය සමග ඒවා සාර්ථක ගත්තේය. ශිෂ්ටාචාරය මෙසේ යුගයෙන් යුගයට කක්ෂ තුල වර්ධනය වද්දී අභයභූමියක් බවට පත්වූ ග්‍රහලෝකය වනගහනයෙන් වැසෙමින් මිනිසාගේ සංචාරක අවශ්‍යතා සපුරන ලදී

ග්‍රහලෝකයෙන් එන කෝණික අඳුරු සෙවනැල්ල රාත්‍රිය සටහන් කළේය. ඩෙන්වර් මහත්මිය කෑම කාමරයේ ඇති ආහාර නිෂ්පාදන යන්ත්‍රයට අලුත්ම වට්ටෝරුවක් ඇතුළු කරමින් උන්නාය.

"නතාලියා ඔයා කන්න එන්නේ නැද්ද?"

"ඔයාලා පටන් ගන්න බිල් . මම මේ වට්ටෝරුව ඇතුළු කරලා එන්නම් .... තව එතකොට කොත්තමල්ලි කොළ ... මොනවාද බිල් මේ කොත්තමල්ලි කොළ කියන්නේ? කොහෙන්ද ඒවා එන්නේ"

"වට්ටෝරුව ඔහොම දැම්මට නතාලි ඕවයේ සන්ඝටකනේ එන්නේ. මැෂිම ඔව්ව ඔක්කොම ගන්නේ ප්‍රතිචක්‍රීකරණ පද්ධතියෙන්. ඒ කිව්වේ අපේම අපරි ද්‍රව්‍ය වලින්. ජනගහනය නොවෙනස් නිසා මිනිස් අවශ්‍යතා වෙනුවෙන් වැයවන සම්පත් ප්‍රමාණය නියතයි. අලුතෙන් යමක් ගන්න ඕනේ නැහැ. අවශ්‍යමනම් අවට ග්‍රහලෝක වලින් ගෙනෙන මූල ද්‍රව්‍ය වලින් ඒ රසායනික සංඝටක පර්යේෂනාගාර වල හදන්න පුළුවන්"

"එතිකල් මයිනින් කියන්නේ ඒකද තාත්තා"

"ඔව් ජීවය නොපවතින ස්ථාන වලින් සම්පත් නිස්සරණය කර ගැනීම තමයි එතිකල් මයිනින් කියන්නේ"

"තාත්තා මෙයා කන එකනම් මැෂිමට පාඩම් ඇති. හැමදාම ඉල්ලන්නේ එකම දේ" ඉල්ලන ඕනෑම වට්ටෝරුවක ආහාර ඒවායේ සංඝටක වල ත්‍රිමාන මුද්‍රණයක් ලෙස නිමැවීමට යන්ත්‍රයට හැකි නමුත් මැක්ස් ඩෙන්වර් හැමදාමත් කෑවේ එකම දේ ය. ඔහු තරමක් වෙනස් දරුවෙකි. වෙනත් දරුවන් නොදන්නා අසාමාන්‍ය කාරණා කෙරෙහි අනවශ්‍ය අවධානයක් දීම ඔහුගේ ස්වභාවයයි.

"අද කොහොමද දවස පුතා. කොහොමද අනිත් යාළුවන්"

සෑම පවුලකම ඇත්තේ දරු දෙදෙනෙකි. ඒ අනුව ජනගහනය පවත්වා ගන්නේ ආසන්න නියතයකය. ස්ථාවර ශිෂ්ටාචාරයක මූලික ලක්ෂණයක් ලෙස සංඛ්‍යාත්මකව ස්ථාවර ජනගහනය සැලකුණි.

වට්ටෝරුව ඇතුළු කල ඩෙන්වර් මහත්මියත් පවුලේ අයට එකතු වූවාය. අල්ලාප සල්ලාපයෙන් විසුළු කතාවෙන් සහ ප්‍රීතියෙන් රාත්‍රී ආහාරය නිමාවන්නට විය. ශිෂ්ටාචාරයේ පාලක පද්ධති විසින් ඉලක්ක ගත කල පරිද්දෙන්ම මේ යුගය "සන්තුෂ්ටියේ යුගයයි". එය එසේම සිදු විය.

එහෙත් ඒ මොහොතේ නොඇසිය යුතු වූත් නොදැන සිටිය යුතු වූත් නොහොබිනා පැනය මැක්ස් ඩෙන්වර් ගේ මුවින් ගිලිහුණි.

සුළු වෙලාවකට කිසිවෙකුත් කිසිත් නොකීහ. තත්වයේ බරපතලකම තේරෙන්නට ඩෙන්වර් මහත්මියටත් තරමක වෙලාවක් ගතවිය. ඩෙන්වර් මහතා එක්වනම අසුනින් නැගිට ඉක්මන් අඩි තබමින් නිදන කාමරය දිහාට ගමන් කළේය. ඩෙන්වර් මහත්මිය ඉවෙන් මෙන් ඔහු පසුපස ගමන් කළාය.

"නතාලියා එයා ඒ කතාව දන්නේ කොහොමද? ඒ විස්තර වාරණයට ලක් කරලා තියෙන්නේ. ඒවා මනස නොමේරු කුඩා දරුවෙකුට තියා වැඩිහිටියෙකුටත් දෙන්නේ කාරනා දරාගන්න හැකිදැයි පරීක්ෂණයක් කරලා"

"බිල් මමත් එක හරියට දන්නේ නැති කතාවක්. කොහෙන් මෙයා හොයා ගන්නවද මන්දා"

"එක්කෝ මට මධ්‍යම පද්ධතිය දැනුවත් කරන්න වෙනවා එහෙම වුනොත් මැක්ස් ව එයාලා ටික කාලෙකට ඇතුළට ගනියි. මනස ශෝධනය කරන්න"

"ඔයාට පිස්සුද? අපි මේක ගෙදර මට්ටමින් බේරා ගම්මු"

"එහෙම බැහැ. කොහෙන් හරි අතීත දත්ත ලීක් වෙනවා"

"ඒවා මකා දාලා නැද්ද?"

"නැහැ ග්‍රහලෝකේ උන්නු ම්ලේච්ඡ යුගය ගැන තවම අධ්‍යනය කරන නිසා ඒවා මකන්නේ නැහැ. සම්පත් අද වගේ පූර්ණ ලෙස ප්‍රතිචක්‍රීකරණය නොකළ, ජනගහනය වර්ධනය වෙච්ච, පරිසරය විනාශකළ ඒ මානසිකත්වයන් අද දැඩි ලෙස පර්යේෂණය කරනවා. කෑදර කමට ස්වාභාව ධර්මය වනසපු, මුදල් මූලික ඉලක්කය වූ ඒ කාලයේ සියලු දත්ත පර්යේෂණාගාර වල තවම තියෙනවා"

"මාත් ටිකක් අහලා තියෙනවා ඒ කාලේ ගැන. මිනිස්සුලු නේද ශිෂ්ටාචාරයේ පාලනය ගෙනිච්චේ. පවුලක ළමයි පෝලිමක් හැදුවලු ඒ කාලේ මිනිස්සු"

"ඔව් ඒ කාලේ මිනිස්සුමයි සිස්ටම් එක පාලනය කරලා තියෙන්නේ. ඉතින් හිතන්නකෝ පාලක මිනිහෙක් කියන්නේ වැරදීම්, දුරාචාර, අර්බුද කොපමණ ගණනක් ද?"

"ඒ කාලේ මිනිස්සු ග්‍රහලෝකයේ අනිකුත් ජීවිත වලට විශාල තර්ජනයක් වුණා. ඒ නිසයි ග්‍රහලෝකය හැර ගිහින් කක්ෂ වල නිර්මාණය කරපු ජනපදවල ජීවත් වෙන්න පටන් ගත්තේ. අපි අද ජීවත් වන්නේ සන්තුෂ්ටියේ යුගයේ. මේ ඔක්කොම සියවස් ගණනක මධ්‍යගත පාලක පද්ධතියක් නිසා කෙරුණු දෙයක්. අපිට ආපහු ඒ කුණු කන්දල් ගන්න බැහැ ජීවිත වලට"

"දැන් අපි මොකද්ද කරන්නේ බිල්. මැක්ස් ව සෙන්ටර් එකට යවන්න වෙයිද?"

"මම හිතන්නේ. මොකද එයා එහෙම අහනවා කියන්නේ කොහෙන් හෝ ඒවා දැනගෙන. ඇහුව වගේ එයාට එහෙම කරන්නත් හිතුනොත්. ඔයාගේ දරුවා ම්ලේච්ඡයෙක් වෙනවා දකින්න ඔයා කැමතිද නතාලියා?"

"කොහොමද දෙයියනේ මෙහෙම වෙද්දී අපි මේකට සන්තුෂ්ටිය කියන්නේ?" නතාලියා දෑතෙහි මුහුණ හොවා ගත්තාය.


"ඇයි  බිල්  ඒ  කතාව  මේ  තරම්  හංගන්නේ?  ඇයි  මේක  අපිට  මැක්ස්  එක්ක  කතා  කරලා  බේරා  ගන්න  බැරි?"

"අවු  20  පහල  වයසේ  කෙනෙකුගේ  අවබෝධය  තුල  ඔය  වගේ  දෙයක්  පැලපදියම්  වුනොත්  එය  ධාවනය  වන්නේ කුතුහලය  නිසා. ඒ  වයසේදී  ඕනෑම  දෙයක්  කරලා  බලන්න  හිතෙනවා.  ඒ  නිසා තමයි  ඒ  වගේ  ම්ලේච්ඡ  හැසිරීම්  පොදු  සමාජයට  විශේෂයෙන්ම  දරුවන්ට  දැනගන්න  දෙන්නේ  නැත්තේ.  වර්තමානයේ  අපිට  එහෙම  දේවල් කරන්න වුවමනාවක්  එන්නේ නැහැ. අපේ  මනස  නිසි  හික්මීමකට  ලක්  කරලා  තියෙන්නේ  අධ්‍යාපනය  හරහා.  අපි  වයස  විස්සේදී  අපේ  මානසික  හැකියාවන්  ගැන  කරන  පරීක්ෂණ  වලදී  අපේ  මනසට  මේ වගේ  දෙයක්  දරන්න  හැකිද  කියා  පද්ධතිය  පරික්ෂා  කරනවා.  ඒ  ටෙස්ට්  එක  පාස්  වෙච්ච  කෙනෙකුට පමණයි  මේ  වගේ  දෙයක්  දැනගන්න  ලැබෙන්නේ.  ස්වයං  විනය  තුලින්  මිසක්  මේවා නීති  දාලා  පාලනය  කරන්න  බැහැ"
   

"ඒ  කියන්නේ  මැක්ස්  ගේ  මනසින්  මේ  අදහස  ඉවත්  කරන්නම  වෙනවා"

"ඔව්, මැක්ස් විතරක් නෙවි. අපිට නටාෂා ත් යවන්න වෙයි. ඒ වගේම එයාලගේ යාළුවන්. කුඩා කාලයේ මේ වගේ ම්ලේච්ඡ දේවල් ගැන දැන ගැනීමෙන් මනසේ ඊට ආශාවක් ඇතිවෙන්න පුළුවන්. මේ කාරණා දැනගන්න කලින් පුද්ගලයා පූර්ණ ලෙස හික්මවන්න ඕනේ"


ඈතින් ඇසෙන මවගේ ඉකිබිඳුම දරුවන් මීට පෙර අසා ඇති දෙයක් නොවේ. මොකක් හෝ නොවිය යුතු යමක් සිදු වූ බව තේරී නටාෂා වික්ෂිප්තව තම සොයුරා දෙස බලයි. මැක්ස් ගේ මුහුණ පිරී ඇත්තේ ඇය දකින්නට අකමැති දඟකාර ළමයාගේ හැඩ රුවිනි.

"මැක්ස්, මොකද්ද ඒ අහපු කතාව?"

"මම වැරදි දෙයක් ඇහුවද? මම ඇහුවේ ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් ජීවත් වුනේ සත්තුන්ගේ මස් සහ ගහකොලවල කොටස් කාලා නේද කියලා. හැමදාම ආහාර නිෂ්පාදන යන්ත්‍ර තිබුණා වෙන්න බැහැනේ. යන්ත්‍රය හදන්න කළින් හිටි ම්ලේච්ඡයොත් මොනවා හරි කන්න ඕනේ නේද?"

Saturday, May 7, 2016

අතීතය

[මැයි මස අටවන දින දිනමිණේ පළ වූ විශේෂාංගයක්]

සැක් රිචඩ්සන් යනු මේ මොහොතේ ලෝකයේ ජනප්‍රියම නමයි. එහෙත් සැක් රිචඩ්සන් මේ මොහොතේ කොයිබක දැයි කිසිවෙකුත් දන්නේ නැහැ. පෙම්වතිය සැලී හෝ සැක්ගේ දෛනික කටයුතු මෙහෙයවන බාබරා හෙවත් Holo-2097 හොලොග්‍රමික රෝබෝවරියවත් ඔහු සිටි තැන දැන සිටියේ නැහැ.

කාලය මාස තුනක් ආපස්සට ගෙන ගියොත් සැක් රිචඩ්සන් වැඩිපුර හිටියේ මාධ්‍ය කැමරා ඉදිරියේ. ප්‍රසිද්ධ දේශනා, මාධ්‍ය සාකච්චා, සම්මාන ආදිය එපාවෙන තරමට ඔහු පස්සේ ආවා.

ඒ මාස තුන පටන් ගත්තේ ඔහු ලෝක සංගමයේ හොඳම අනාගතවාදී මිනිසා ලෙස සම්මානයට පාත්ර වෙමින්. මිනිසෙකු ලබන උපරිම සම්මානය. එදිනම ඔහුව ගූගල් සමාගමේ ප්‍රධානියා ලෙස එහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තෝරාගෙන තිබුණා.

කාලය තවත් මාසයකින් ආපස්සට කැරකුවොත් 2098 සැප්තැම්බරයේ ගූගල් සමාගම බිහිකර සියවසක් ගෙවෙන උළෙලේ ප්‍රධාන දේශනය කරන සැක් රිචඩ්සන් දැකිය හැකියි. එම උළෙල වඩාත් ලෝක අවධානය දිනා ගන්නේ ශතවර්ෂ පූර්ණයට ඔවුන් මුදාහල Google Past හෙවත් ගූගල් අතීතය නම් මෙවලම නිසා. සැක් රිචඩ්සන් යනු එම අදහස ලෝකයට ගෙන ආ මිනිසා යි.

අද සැක් රිචඩ්සන් ලෝකයෙන් සැඟවී අභ්‍යවකාශ හෝටලයක තෙමස් නිවාඩුවක් ගතකරමින් සිටින නමුත් ඔහු ගැන තවමත් මුළු ලෝකයාම කතා වෙනවා. අතීතය සොයා දී අනාගතවාදියෙක් වූ මිනිසා කියා.

කාලය වසර හතරක් ආපස්සට කැරකුවොත් තරමක් කෙස් තියෙන සැක් රිචඩ්සන් ගූගල් අතීතය පිලිබඳ සිය ඉතිහාසගත පළමු දේශනය කරනු දැකිය හැකි යි. නම තරමටම ප්‍රකට මෙම දේශනය ලොවපුරා රැළි පිට රැලි නගමින් තවමත් යනවා. සැක් කතාව පටන්ගන්නේ අතීතයේ වැදගත් සන්ධිස්ඨාන කීපයක් සිහි කරමින්.

"වසර 2024 - හැම මිනිහෙකුටම අන්තර්ජාල ලිපිනයක් හෙවත් අයි පී ඇඩ්රස් එකක්"

"වසර 2030 - හැම මිනිහෙක්ම ඉන්නේ කොහෙද කරන්නේ මොකද්ද කියන හැම දෙයක්ම ලෝකයේ කොහේ හෝ දත්ත ගබඩාවක තියෙන්න ඕනේ. ඒ කාලේ කිව්වේ බිග් ඩේටා කියලා"

"වසර 2039 - දෙවැනි චීන විප්ලවය. දැනුම හා ලෝකයට නිරාවරණය වීම සමග බුද්ධිමත් චීනුන් පවතින අධිකාරි රජය ඉවත් කර නව දේශපාලන සම්ප්‍රදායක් හදනවා. රාජ්‍යය පරිපාලනය ගිණුම්කරණය හා විගණනය පරිගණක වලට පවරා චීන මිනිස්සු අනාගතය හැදීම කියන මාවතට යොමු වනවා. ක්‍රමයෙන් යුරෝපා ඇමරිකා ඕෂනියා සහ සමහර ආසියානු රටවල් මේ ක්‍රමවේදය එක්ක අනුගත වෙලා යුරෝපා සංගමය වැනි ලෝක සංගමය බිහි කරනවා"

"වසර 2040 - හැම මිනිහෙකුම පූර්ණකාලීන ශරීර ආභරණ ඉලෙක්ට්‍රොනික මෙවලමක් පළඳිනවා. ලෝක සංගමයට එකතු නොවූ නොදියුණු ස්වාධීන රාජ්‍ය වල අහුමුල්ලක ඉන්න හිඟන්නෙක් පවා."

"වසර 2045 - මහා දත්ත ලෙස එකතු වුනු ගොඩවල් සහ තැන තැන ඇති කුඩා දත්ත එකතු කර තනි දත්ත පද්ධතියක් හදන්න ගූගල් ඉදිරිපත් වෙනවා. හැබැයි අපිට හරි පින්තුරයක් නැහැ කල හැකි දේ ගැන"

"වසර 2052 - කෙලින්ම මනසට සම්බන්ධ වන නැනෝ චිප් මොලයට ට්‍රාන්ස්ප්ලාන්ට් කිරීමත් සමග මොලයට දුබල ශරීර අවයව වල උදව්වකින් තොරව ජාලයට එකතු විය හැකියි."

"වසර 2066 - මුළු ලෝකයේ සියලු මැනිය හැකි ක්‍රියාකාරකම් මැනුම්ගත වන බව කියවෙනවා. මිනිස්සු මේ මත අනාවැකි කියන්න ගන්නවා. භූ කම්පන සුළි සුළං ආදිය ගැන අනාවැකි කීම ටක්කෙටම හරි, අවශ්‍ය දත්ත හැසිරවීම පමණයි."

සැක් කතාව අවසාන කරන්නේ මෙහෙම.

"මිනිස්සු කාල තරණය ගැන කතා කළා. එහෙත් එය කරන හැටි තවම දන්නේ නැහැ. අතීතය කියන්නේ මොකද්ද? අතීතය කියන්නේ අප කළ ක්‍රියාකාරකම්, ගැවසුණු ස්ථාන, සිතු පැතු දේ. ඒ සියල්ල මේ වෙද්දී ලෝකයේ කොහේ හෝ තැනක දත්ත ලෙස එකතුවෙලා තියෙනවා. ඉස්සර ජීපීඑස්, සෙල්ෆි, යුටියුබ් ආදියේ සිට අද කෙලින්ම මොලය එක්ක ගනුදෙනු කරන වීඩියෝ ක්‍රමවේද වන බ්‍රේන්ෆීඩ්ස් දක්වා අපේ අතීතය සම්පුර්ණයෙන්ම ගබඩා වෙලා තියෙනවා."

"ඉතින් කාල තරණය කරන්න භෞතිකව යන්නම ඕනෙද? මේ තියෙන දත්ත ඇසුරෙන් ඕනෑම කෙනෙක් අහවල් දවසේ කලේ මොකද්ද කියා හොයාගන්න පුළුවන්. අපි පරිගණක ඇසුරෙන් ඒ දත්ත බ්‍රේන්ෆීඩ් බවට පත්කරනවා. දෑස පියාගන්න. ඔබ අතීතයේ."

මේ වචන එම සියවසේ ඇසුණු ලොකුම පෙරළිකාර වචන කිහිපයක් බව ඔහු පවා ඒ වෙද්දී දැන සිටියේ නැහැ. සීමා සහ විවේචන සැක් රිචඩ්සන් ටත් එල්ල වෙනවා. මූලිකවම ආ විවාදය නම් පුද්ගලිකත්වය ගැන කතිකාවයි. ගූගල් නම් දැවැන්තයා හිස ඔසවන දා සිට පුද්ගලිකත්වය ගැන කතිකාව ඉස්මතු වුණා. අවසානයේ වෙනත් කෙනෙකුගේ දත්ත තවෙකුට සොරකම් කිරීම හෝ අවසරයකින් තොරව නැරඹීම නොහැකි වන ලෙස සකසන පොරොන්දුව පිට ගූගල් ඒ ගැටලුවත් විසඳා ගත්තා.

ගූගල් අතීතය සිතු ලෙසම සාර්ථක වුනා. ගූගල් සෙවුම් මගින් ඔබට ඔබ මීට වසර විස්සකට පෙර කල දෙයක් එතැන ඉන්න ලෙසින්ම විඳින්න පුළුවන් බ්‍රේන් ෆීඩ් එකකින්. බ්‍රේන් ෆීඩ් එක මොලයට කෙලින්ම කාවදින නිසා ඔබ ඒ මොහොතේ භෞතිකව ජීවත්වන ලෙසටයි ඔබට වැටහෙන්නේ.

මිනිස්සු දෑස් පියා ගත්තා. අතීතයේ සිරි නරඹන්න.

එතකොට සැක් රිචඩ්සන් පැනලා ගියා. මුළු ලෝකෙන්ම. කාටත් හොරෙන් සැක් ගේ අලුත්ම වැඩ සටහන අභ්‍යවකාශ හෝටලයක මනසින් පරිගණකයට සම්බන්ධව ඔහු කරගෙන යනවා. යතුරු පුවරු දර්ශන තිර නැති මෙය බොහොම වේගවත් ලෙස කෙරෙන ප්‍රෝග්‍රෑම්කරණයක්.

සැක් රිචඩ්සන්ට වයස හැට දෙකයි. වර්තමාන සම්මුතියෙන් තවම ඔහු තරුණයෙක්. අතිශය දියුණු ජීවන රටාව සහ කළල වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා සාමාන්‍ය ජීවිත කාලයක් වසර එකසිය පනහකට ආසන්නයි. ඔවුන් උපදින්න ඉන්න කළල කෘතිමව වෙනස් කරන නිසා තරුණ පෙනුම ක්ෂය වෙන්න ගන්නේ වයස සියය ඉක්මවා ගියාමයි. ඒ වගේම බොහෝ රෝගවලට ඇති සම්බන්ධකම් කළල අවස්ථාවේම ඉවත් කරනවා.

එහෙත් හැට දෙකේ තරුණයෙකු ලෙස සැක් රිචඩ්සන් ටිකක් වයසයි වගේ. දැනටම කොන්ඩේ ගිහින් තනිකර තට්ටයෙක්. හම ටිකක් රැලි වැටිලා. සැක් ගේ කුතුහලය වැඩිවෙන්න ගත්තේ මෙන්න මේ නිසා. වෛද්‍යවරුත් පුදුම වුණා.

"මේක වෙන්නේ කොහොමද? ඔබේ ජාන කළල අවදියේ වෙනස් කිරීමකට පත් වෙලා නැහැ. ඔබ නිකම්ම ස්වාභාවික මිනිහෙක්."

ඊට වඩා බය හිතෙන කතාවක් වෙන නැහැ. ඒක වුනේ කොහොමද? මේ අභිරහස හොයා ගන්න ඕනේ. කෙසේ වෙතත් සැක් රිචඩ්සන් තම පනස් තුන් වියැති තරුණ පෙම්වතිය සැලීගෙන් ඈත්වෙන්න ගත්ත. "මරණය" සැක් රිචඩ්සන්ව බිය කළා. ලෝක මාධ්‍ය ඉස්සරහ හිනා වෙද්දී සැක් රිචඩ්සන් උන්නේ බයේ.

මේ කතාව හොයන්න සැක් ට තමන්ගේ මව්පියන් ගැන හොයන්න ඕනේ. දෙන්නම මිය ගිහින්. සැක් රිචඩ්සන් ගේ අම්මා ලෝක සංගමයේ හිටපු මන්ත්‍රී කෙනෙක්. ඇය සැලකුනේ සංගමයට ප්‍රතිවාදී ලෙස. ඇය දිගටම ලෝක සංගමය හා සෙසු නොදියුණු රටවල් අතර වැඩිවන පරතරය ගැන චෝදනා කල නිසා.

ලෝක සංගමයට නොබැඳුනු සමහර රටවල් තම ස්වාධීනත්වය අගය කළා. ඉන්දියාව පකිස්තානය අප්‍රිකාව වගේ රටවලට ලෝක සංගමය කියන දියුණුවේ මූලික ඉලක්ක ලබා ගන්න අමාරු වුණා. ඛනිජ ඉන්ධන භාවිතයෙන් ඉවත් වීම එක්ක වැහැරී ගිය අරාබිය හා අප්‍රිකාව දිගටම මිනි මරාගන්නවා. තවමත් ලෝක සංගමය තුල ඉන්නේ මුළු ලෝක ජනගහනයෙන් බාගේකටත් අඩුවෙන්.

සැක් ගේ අම්මා කතා කලේ ඒ ස්වාධීන රටවල මිනිසුන් දිගින් දිගටම දිළිඳු කරමින් තමන් සැප විඳින්න ලෝක සංගමය කරගෙන ගිය සූරාකෑම ගැන.

සැක් වැඩසටහන් පටන් ගනිද්දිම අනුන්ගේ දත්ත හොයන්න බැහැ කියල ලෝකයාට දීපු පොරොන්දුව කැඩුවා. මේක හොර වැඩක්. මෙතන සම්මුති නැහැ. අම්මගේ අතීත දත්ත ඔස්සේ තමා පිලිබඳ විස්තර එලියට ගන්න අතීතයට ලියු ගූගල් සෙවුම් පද්ධති සැක් වෙනස් කළා. මේ ඔක්කොම ඔහුගේ පුද්ගලික අවකාශයක ස්ථිර ආරක්ෂණය දාලා කරගෙන යන්නේ.

බ්‍රේන් ෆීඩ් එන ගානට තනියම වැඩසටහන් ලියා ගන්න මාසයක් විතර ගියා. දැන් බ්‍රේන් ෆීඩ් එනවා. වැඩසටහන තවමත් දුර්වලයි. සමහර ෆීඩ් ඒ හැටි වැඩක් නැහැ. ගූගල් අතීතය තුල සෙවුම් වලින් එන ෆීඩ් සැක් විසින් බලලා හරි පාර දිගේ යනවනම් එය දැනුම් දෙන්න ඕනේ. සැක් හොඳයි කියන තරමට සෙවුම් ඒ දිහාට යනවා. මුලින්ම ලැබුණු හොඳම සෙවුම තමා තාත්තගේ මරණය. අම්ම තාත්ත ළඟ හිටියා ඒ වෙලාවේ.

"බ්‍රිනී අපි පුතාට කියන්නේ නැද්ද අර කතාව" තාත්තා දුර්වල හඬකින් අහනවා.

"නැහැ ස්ථිරවම නැහැ" අම්මා තමයි තීරණ ගත්තේ හැමදාම.

"එයාට ඒක දැනෙයි. ශරීරය වැහැරෙන කොට"

"කරන්න දෙයක් නැහැ. අපි කිව්වත් වැඩක් නැහැ"

ඊට පස්සේ වෙනත් කතා. දෙන්න බොහොම ආදරෙන් සමු ගෙන වෙන්වුණා. අම්මගේ වෙනත් කිසිම කතාවක මොනම සඳහනක්වත් නැහැ සැක් ගැන.

සැක් ඒ සෙවුමට ලොකු ප්‍රියතාවයක් පෙන්නුවා. ඕක තමයි පාර.

ඒ පාර ලෝක සංගමයේ අම්මගේ විවාදයක්.

"... මේ ආකාරයට ලෝකය බෙදපු අපි මෙතෙක් කල නරුමම සූරාකෑම කලේ 2057 දී. අපි ස්වාධීන රාජ්‍යය වලින් බුද්ධිය කොල්ල කෑවා . අද ඔවුන් හිඟමනට වැටිලා ඉන්නේ ඒ නිසා. හෙට ඔවුන් කැරලි ගහයි"

මේ කියන්නේ මහා බුද්ධි මංකොල්ලය කියන එක ගැන. ස්වාධීන රටවල් එකතු නොවෙන කොට ලෝක සංගමය ඔවුන්ගේ සියලු විද්වතුන්ට ඉක්මන් වීසා ලබා දෙන්න තීන්දු කළා. වසර දහයකට පස්සේ ඒ රටවල් උගතෙක් කියලා හිටියේ එහෙමත් එකෙක් විතරයි.

"බ්‍රිනි ඔබ අපිව බය කරනවද? කැරලි ගහන්න පටන් ගන්න මොහොතේම අපි කොහේ හෝ ඒ දත්තය දකිනවා. අපේ පද්ධති ඒ ගැන අවදියෙන් ඉන්න ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ"

"ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම්... " අම්මා ආවේගයෙන් කියවනවා. මේක සැක් ගේ අතීතයට තියෙන සම්බන්ධය මොකද්ද? පරිගණකයට වැරදුනාද?

"මීට දශක හතරකට පෙර අපි හොලිඩේ එකකට ගියා දකුණු ආසියාවේ ස්වාධීන රටකට. පුදුම සුන්දර රටක්. එකම වරද ඔවුන් තමාගේ ස්වාධීනත්වය පාවා දෙන්න කැමති නැහැ. අද බලන්න ඒ රට අමු අපායක්."

"දකුණු ආසියාවේ? අර අමු මුඩුක්කුවේ? එහෙ කොහෙද සුන්දර රටක්"

"බලන්න පුංචි දූපතක් තියෙනවා ශ්‍රී ලංකාව කියලා. අපි එහෙ ගියේ 2036 වසරේ. ඒ කාලේ ලස්සන සුන්දර රටක්. අදනම් බලන්න එපා. අපි වසර එකසිය පනහක් ඉන්න පුළුවන් කියලා පම්පෝරි ගැහුවට ඔවුන්ගේ ආයු කාලය තවම හැටයි හැත්තාවයි. අපේ වයස හැටක තරුණයෙක් එහෙ මහල්ලෙක්. හම රැලි ගැහුණු කොන්ඩේ ඉදුණු. තවම ළදරු මරණ වෙනවා. කළල ස්වාභාවිකව උපද්දන්නේ. තවම හැදෙනවා පිළිකා, හර්දයාබාධ දියවැඩියා වගේ කළල වෛද්‍ය විද්‍යාව තුලින් අපි සපුරා නැති කළ රෝග"

සැක් ට ඇහුනේ එකම දෙයයි. 2036. ඒ තමා සැක් රිචඩ්සන් ගේ උපන් වසර.

"හරි ඔය පාර හරි ඔහොම දිගටම සොයන්න" සැක් විධානය දුන්නා. මුළු අවධානයම ඒ පාරට වැටෙන්න වැඩසටහන් පවා වෙනස් කළා.

2036 වෙද්දී ඒ වගේ රටවල දත්ත අඩුයි. එක දිගට දුවන බ්‍රේන් ෆීඩ් නැහැ. සෙල්ෆි පින්තූර, යු ටියුබ් අභාවයට යන්න ආසන්න කාලේ වීඩියෝ, පවුල් පින්තූර, තව ෆේස් බුක්.

අවසානේ සැක් රිචඩ්සන් හරි තැනට ආවා. ඒක ශ්‍රී ලංකාවේ ගහපු සෙල්ෆි ෆොටෝ එකක්. එතන උන්නේ අම්මයි තාත්තයි තරුණ වයසේ. පසුබිමේ අමුතු විදිහක නිවස්නයක්, පෙනුමෙන් දිළිඳුයි. පැහැපත් බවින් අඩු තව ගැහැනියක් හිටියා. ඒ ගැහැණිය චූටි බබෙක් අම්මට දෙනවා. අම්මා වඩාගන්න දෑත දිගු කරනවා.

"හෙට පටන් අපේ ලෝකය මෙයා. අපි මෙයාට නම දැම්මේ සැක් කියලා. ජාන හදන්න බැරි වුනා. ඒත් අපේ මැණික අපිට සම්පතක්"

සැක් රිචඩ්සන් සෙවුම නතර කළා.

"අම්මා" ඒ හැගීමත් එක්ක ඔහුගේ මනසේ අවධානය ඉලක්ක වන්නේ පින්තුරේ උන්නු සුදු ගැහැණියට නොවේ, එතන උන්නු කෙට්ටු පැහැපත් බවින් අඩු දිළිඳු ගැහැණියට. මේ තමා ඒ අම්මා ඔහුට දැකගන්න තියෙන එකම පින්තුරය.

ඔහු වික්ෂිප්තව තරමක වෙලාවක් බලාගෙන හිටියා. ඊට පස්සේ ලෝකයේ හොඳම අනාගතවාදී මිනිසා හෙවත් ගූගල් සමාගමේ ප්‍රධානි සැක් රිචඩ්සන් තමන්ගේ අන්තිම කැමති පත්‍රය සකසන්න පටන් ගත්තා.

Friday, March 4, 2016

රොමියෝ සහ ජුලියට්

[මාර්තු  5 දිනමිණ කැෆේ විශේෂාංගයට යොමුකළ ප්‍රබන්ධයකි]

“රොමියෝ අපි ආයිමත් මුණගැහෙනවා. ඔයා හැමදාම ඉන්නේ මෙතන. මේ පාර අයිනේ පොඩි බංකුව උඩ. ඔයතරම් එකම දිහාවක් බලාගෙන කල්පනා කරන්නේ මොනවද රොමියෝ. ඔයා ගෙදර යන්නේ නැද්ද?”

“මම කල්පනා කරනවා නෙවෙයි ජුලියට්. බලාගෙන ඉන්නවත් නෙවෙයි. අනික මට ගෙදර යන්න විදිහකුත් නැහැ”

“ඇයි ගෙදර නොයන්නේ?”

“අම්මලාට අහුවුනොත් මම මේ කරන දේ, එයාලා මාව ඔග්මන්ටඩ් රියලිටිස්ට් කෙනෙක් ලඟට එක්ක යයි”

“මොකෙක්?”

“මනෝ විද්‍යාවේ ඉහළම විද්වතුන්. මිනිස්සුන්ට වඩා ඉන්නේ රොබෝ දොස්තරු”

“ඔයා හරි දඟ ළමයෙක්. එතකොට ඔයා මොකද්ද කරන්නේ?”

“මම අමාරු අභ්‍යාසයක් කරනවා. .... ම්ම්ම් ... ඔයා අහල තියෙනවද භාවනා ගැන. අපි කියමු මේක භාවනාවක් කියලා”

“භාවනා ? ඒ මොනවද? මොකක් වුනත් රොමියෝ තේරුමක් තියෙන්න එපැයි. මොකද්ද ඕකේ තේරුම?”

“තේරුම මම දන්නේ නැහැ ජුලියට්. මේක මම අහම්බෙන් පාදා ගත්තු දෙයක්. මම අමුතු ලෝකයක් දකිනවා ජුලියට්’

“අමුතු ලෝකයක්? ඇයි දැන් ඔයා ඉන්නේ මේ ලෝකේ නෙවෙයිද? ඔයා ඉන්නේ මේ මම ඉස්සරහ. අපි දෙන්න අපේ පර්සනා වලට චැට් කරමින්. ඔය ඔයාගේ නහය හරිම දිගයි, චුට්ටක් කැතයි ඒ නිසා. අර එහා පැත්තේ ලස්සන ලස්සන මල් පඳුරු අයින දිගේ හාවෝ සෙල්ලම් කරනවා. චූටි කුරුල්ලෝ ගීත ගයනවා. “

“ජුලියට් ඔයා බාගෙට හරි. අපි එකිනෙකා දිහා බලාගෙන මුවින් කතා නොකර අපේ පර්සනා වලින් චැට් කරනවා. මගේ නහයත් දිගයි තමා. හැබැයි එහා පැත්තේ මල්පඳුරු හාවෝ කුරුල්ලෝ නැහැ. ”

“ඒ කිව්වේ?”

“ජුලියට් ඔයා තවම ළමා වියේද?”

“රොමියෝ මගේ ළමා විය ඉවර වෙන්න ලඟයි. මම ඉන්නේ මගේ වෘත්තික අවධිය පටන්ගන්න මොහොත එනකම්. දැනුම් පද්ධති සියල්ල මනස්ගත කර ඉවරයි. තව මාස දෙක තුනකින් මම මානව ප්‍රභාසංස්ලේෂණ පද්ධති එක්ක වැඩ කරන වෘත්තිකයෙක් වේවි.”

“වාසනාවන්. අපිට ආයිත් කවදාවත් බඩගිනි වෙන එකක් නැහැ ඔයා වගේ ලස්සන කෙල්ලන් අතින් ඒ පද්ධති හැදෙනවා නම්. ජුලියට් මම වයස ඇහැව්වේ අර හාවෝ මල් පඳුරු කුරුල්ලෝ ගැන කතාව නිසා. ජුලියට් ට මතකද සුරංගනාවෝ?”

“අනේ ඔව් මං හරි ආසයි එයාලට. මං පුංචි කාලේ මගේ වටේ සුරංගනාවෝ පිරිලා හිටියා”

“කෝ එයාලා දැන්?”

“හ්ම්ම්ම්.... මට ඒක හිතිලම නැහැ. පර්යේෂණ කටයුතු ගැන අධ්‍යනය කරන්න මගේ කාලය ගියා මිසක්. හැබෑටම කෝ එයාලා?”

“ඔයා තව හිතන්න. ඇයි එයාල දැන් නැත්තේ?’

“ඔයා මහා නරක ළමයෙක්. මාව අමාරුවේ දානවා මේ අපබ්‍රංශ අහලා”

“නැහැ ජුලියට් මම කවදාවත් ඔයාව එහෙම කරදරයට පත් කරන්න හිතලා නැහැ. ඒත් මම උදේ හවා මේ පාර අයිනේ බංකුවක ඉඳගෙන අමාරු අභ්‍යාසයක් කරද්දී මාව පහුකරගෙන යන දාහක් අයගෙන් මාත් එක්ක මෙතරම් දුර කතා කළේ ඔයාම විතරයි. ඔයාට අකමැතිනම් යන්න ජුලියට්.”

“අනේ නැහැ මම කීයටවත් යන්නේ නැහැ දැන්. මං කිව්වේ ඔයා හරිම හරිම හරි නරක ළමයෙක්”

“ජුලියට් මම ළමාවිය පහුකරලා ඉන්නේ”

‘ඔයා වෘත්තිකයෙක් ද?”

“නැහැ”

“එතකොට... ?”

“මොකුත් නැහැ”

“ඒ කියන්නේ”

“මට කියන්න නමක් නැහැ”

“ඔයාගේ දැනුම් පද්ධති මනස්ගත කිරීම හරියට වුණේ නැද්ද? ට්‍රිලියන ගානකට එකක් ෆේල් වෙනවලුනෙ”

“හ්ම්ම්ම් ඒකනම් මනස්ගත වුණා”

“ඔයා මොනවද තේරුවේ?’

“මොකුත් නැහැ. මට ඌ දෙන වෘත්තික ඔප්ෂන් එකක්වත් හරියන්නේ නැහැ”

“ඌ කිව්වේ?’

“මගේ පර්සනා එකා”

“එහෙම කියන්න එපා තාත්ති කියන්නේ පර්සනා කියන්නේ අපිමයි කියලා”

“ඔයාගේ පර්සනා එක ලැබුණු හැටි දන්නවද ජුලියට්”

“ඔව් තාත්ති මට කියූ හැටියට මං චූටි බබෙක් කාලේ ඉන්ජෙක්ෂන් එකකින් මොකද්දෝ එකක් දාලා ...”

“ඉන්ජෙක්ෂන් එකකින් කොන්ටම් නැනෝ චිප් එකක් රුධිර පද්ධතිය හරහා ඔයාගේ බිලිඳු මොලයට යවනවා. ඒක ක්‍රමයෙන් ඔයා වර්ධනය වෙද්දී ඔයාගේ මනස එක්ක බද්ධ වෙනවා”

“අනේ මන්දා රොමියෝ ඔන්න ඔහොම එකක් තමා”

“ඉතින් ජුලියට් පර්සනා කියන්නේ පිටස්තරයෙක්. කොටින්ම එකෙක් නෙවෙයි. උන් ගොඩක්. උන් එකිනෙකට සම්බන්ධ ජාලයක්. බිලියන විසි තිස් ගානක මිනිසුන්ගේ සහ යන්ත්‍ර වල ග්‍රහලෝක කීයක්ද මන්දා එකට බැඳුනු තනි පද්ධතියක්. පර්සනා මම නෙවෙයි”

“ඔයා කියලා වෙනම එකෙක් නැහැ රොමියෝ”

“ඔව් මේක මගේ ශරීරය ඇතුලෙම මගේ මනසට සංයුක්තව ඉන්න කොට වෙන් කරන්න බැහැ තමා. හැබැයි එයා නොවන මම කවුද කියලා මම සොයාගනිමින් ඉන්නේ’

“පර්සනා නොවන අපි? ඔයාට පිස්සුද? කැලේ සතෙක් වගේ වෙයි. ශිෂ්ටාචාරය දුවන්නේ පර්සනා නිසා. අපි මුළු දැනුමම ගන්නේ පර්සනා වලින්. කොටින්ම අපි ලෝකේ දකින්නේ පර්සනා නිසා”

“අන්න ඔයා පරණ තැනට ආවා. අපි දකින්නේ සත්‍ය ලෝකය නොවේ. ඒ කියන්නේ පවතින ලෝකය නොවේ”

“පවතින ලෝකය කියන්නේ මොකද්ද රොමියෝ. අපි දකිනවට වඩා දෙයක් වෙනම තියෙනවද?”

“ජුලියට් මං ඒක ටක්කෙටම දන්නේ නැහැ. මම මේ පාර කපාගත්තේ අමාරුවෙන්. මොකද්දෝ හේතුවකට මට එදා පටන්ම මගේ පර්සනා එකා පේන්න බැහැ. හැබැයි මම ඒක ඔග්මන්ටඩ් රියලිටිස්ට් කෙනෙකුට පෙන්නන්න නොදී හොරාට හංගාගෙන හිටියා. මම එලියට පේන්න පර්සනා එකෙන් දැනුම ගත්තා, අනික් අය කරන ඔක්කොම කළා. ඒ අතරේ මම මගේ උපරිම උත්සාහයෙන් මගේ පර්සනා එක මනසින් ගලවන අභ්‍යාසය කළා. දැන් මට පර්සනා එකෙන් මෙහෙම චැට් කරකර පර්සනා එකට පිටින් මගේ ශරීර අවයව වලින් පමණක් මා වටේ තියෙන ලෝකය දකින්න පුළුවන්. පවතිනවා කිව්වේ ඒක. ඒකත් එහෙම්ම පවතිනවද මම දන්නේ නැහැ. හැබැයි එකත් එකටම ඒක පර්සනා එකෙන් මවන ලෝකෙට වඩා වෙනස්”

“එතකොට මල් පඳුරු හාවෝ කුරුල්ලෝ?’

“ඒවා ඔයාගේ පර්සනා එකේ වැඩ. ඔයාගේ පර්සනා එකේ ඒක කාර්යභාරයක් තමා ඔයාට ඈතින් තියෙන ඔයාට ඒ හැටි වැඩක් නැති දේවල් ඔයාගේ සිත සැනසෙන ආකාරෙට වෙනස් කරන්න. එතන ඇත්තටම තියෙන්නේ කිසි ලස්සනක් නැති වල් පඳුරු කීපයක්. ඔයා ළඟට ගියොත් විතරක් වෙනස් වෙයි”

“හරි ඔයා මේක කියන්න. ඇයි අපේ අම්මා දැන් මාත් එක්ක වැඩිය කතා නැත්තේ? එයා නිතර මා අවට ඉන්නවා වුණාට වැඩිය කතා කරන්නේ නැහැ”

“මට පුළුවන් හොයන්න. මට පුළුවන් ඔයාගේ පර්සනා ඒක හැක් කරන්න. හැබැයි අහන්න ලැබෙන දේ ඔයාට විඳදරා ගන්න වෙනවා”

“කරන්න”

“ඔහොම කතා නොකර චැට් එකේ ඉන්න. මට විනාඩි කීපයක් දෙන්න”

....

“හරි රොමියෝ දැන් කියන්න’

“මේක ඔයාට වේදනාකාරී දෙයක් වෙයි ජුලියට්. ඒත් ඔයාගේ තාත්තා හොඳම තාත්තෙක්. ඔයාගේ අම්මා ඔයාව දාලා ගිහින් තරමක් කල්. එයා ජීවතුන් අතර නැහැ. ඔයාගේ තාත්තා ඔග්මන්ටඩ් රියල්ටිස්ට් කෙනෙකුගේ සහයෙන් ඔයාගේ පර්සනා එකට අම්මව ඇතුළු කරලා තියෙනවා. කාලයත් එක්ක එයා හෙමිහිට දුරස් වෙයි. මට සමාවෙන්න...”

“...සත්‍ය කියලා මම හිතන ලෝකේ ඔන්න ඔහොමයි ජුලියට්. ඒක මහා දුක්බර අප්‍රසන්න වේදනාකාරී දෙයක්. කුණු කාණු, දිරන යකඩ කඳන්, නපුරු මිනිස්සු, ආදරය කළ අය මිය යන වෙන් වෙන. මම අන්න ඒ ලෝකේ දකිනවා. මම ඔහේ බලාගෙන ඉන්නවා. මට තේරෙන්නේ නැහැ මම කරන්න ඕනේ මොකද්ද කියලා. මට වෘත්තිකයෙක් වෙන්න ගෙදර යන්න ආදරය කරන්න බැහැ ජුලියට්...”

“...ඇයි ඔයා නිස්සද්ද? ඇයි ඔයාගේ ඇස්වල කඳුළු? ඔයාට මේක බර වැඩියි ජුලියට්. ඔයා මේ කරදරේට පැටලෙන්න එපා. මම වගේ පර්සනා ඒක හැක් කරගන්න එපා. ඔයා දිගටම ඔය ලෝකේ ඉන්න ඕනේ ජුලියට්. ඔයා මානව ප්‍රභාසංස්ලේෂණ පද්ධති හදන්න ඕනේ. ඔයා බඩගින්න සපුරා නැති කරන්න ඕනේ...”

“...ජුලියට් ඔයා යන්න. අඬන්නේ නැතුව අවසාන වරට හිනා වෙලා යන්න”

“හා රොමියෝ මම හිනාවෙලා යන්නම්. ඒත් මට අවසානෙට එකම එකක් කියන්න. මොකද්ද ඔයා මට දාපු විකාර නම? මොකද්ද ඔයා දාගෙන ඉන්න විකාර නම? රොමියෝ-ජුලියට්? ඒ මොක්කුද? එහෙම නම් අදකාලේ කාටවත් නැහැ. ඔයා අපේ කතාබහ මුලදී මේ නම් දෙක දැම්මට පස්සේ මම පර්සනා එකේ සර්ච් කරලා බැලුවා. අර්ථවත් දැනුම් පද්ධති වල එහෙම වචන නැහැ. ඒවා කොහෙන්ද ඔයා හොයා ගත්තේ? මොකද්ද ඒවායේ තේරුම?”

“ඉස්සරම කාලේ නාට්‍ය කියලා ජාතියක් තිබිලා තියෙනවා ජුලියට්. ඒත් ඔයා ඒවා ගැන හිතන්න එපා. ඒවා අර්ථවත් දැනුම නොවේ. ඔයා ඒ කතාවේ තේරුම හොයන්න එපා ජුලියට්. ඔයා පර්සනා එකෙන් එලියට යන්නත් එපා. ඔයාට සුන්දර හෙට දවසක්. ඔයා ආයිත් එන්න එපා”


සම්බන්ධිත සබැඳි: Scientists discover how to 'upload knowledge to your brain (ලක්ෂාන් වික්‍රම ගේ මුහුණු පොත් පිටුවෙන්)

Saturday, February 20, 2016

ශුද්ධ වූ යුද්ධය

[පෙබරවාරි 20 දිනමිණ කැෆේ විශේෂාංග පිටුවේ පලවූ විද්‍යා  ප්‍රබන්ධයකි . ස්තුතිය කාංචනාට]

අගාධයේ අඳුරු දෝනාවක මඩ අතර බඩගා යන මිනිසුන් දෙදෙනෙකි. සන්නාහ රහිත සිරුරු මත පිළියම් නොකළ පිළිස්සුම් තුවාල දැකගත හැකිය. එහෙත් ඒ තුවාල වලට පිලියමක් අවැසි නැත. මේ ගමනේ ආපසු ඒමක් නැත.

දඟර ගැසුණු දෝනාව බොහෝ දුරකට දිවේ. දළ මෙවලමින් හෑරූ පාංශු බිත්ති තැනෙක කඩා වැටී ඇත. හැරෙන හැම වන්ගුවකම මරු සැඟව සිටිය හැක. හෙල්ල පහරකට ඕනෑම මොහොතක සූදානමින් සිටිය යුතුවේ.

+++++++++++++++++++++

මේ ගමන සැලසුම් කල එකක් නොවේ. සියල්ල පටන් ගත්තේ පෙර දිනයේ අහම්බෙන් එල්ල වූ හදිසි සතුරු ප්‍රහාරයකිනි. ඒ මොහොතේ දරෙක් සහ රපී හුන්නේ කතාබාහකය.

"සිරිමතාණන් වහන්සේට ඔප්පු වෙන්න අරුන් අපේ දෝනා පහක බලය අල්ලාගෙන" දරෙක් බියජනක හඬින් තම සගයාට කියයි.

"මෙහෙම ගියොත් නම් හණමිටියෝ ළඟදීම අපිව ඉවර කරයි"

"ඔව්, මට අපේ අවසානේ දරාගන්න පුළුවන්. ඒත් උන් අපේ ධර්මයත් වනසාවී."

"මහා පුස්තක තියෙන මහා දේවාලේ පුළුස්සා දාවී"

"සිරිමතාණනේ !!!"

"උන් කොහොමද මේක කළේ. අපිද උන්ද වැඩියෙන් ඉන්නේ. අපේ උත්තම ධර්මධාරින් තමයි වැඩියෙන් ඉන්නේ කියලා පූජක තුමා කිව්වේ. තව ගංවතුරු පහකින් දිනන්නයි සැලසුම තිබ්බේ"

"එව්වා එහෙම වෙන්නේ නැහැනේ. නැතිනම් අපි මේ යුද්දේ කී පාරක් දිනලද? මං ගංවතුරු විස්සකට වඩා මේ හටනේ" දරෙක් තම තට්ට හිස අතගායි.

"කට කට, උඹ ව මරා දමයි ඇහුණොත්. අපායට යවල සාපෙන් පුළුස්සලා මරාදාවී"

සාපයට නිරාවරණය කිරීම මරණ දඬුවම දෙන ප්‍රධාන ක්‍රමයයි. සාපය ඇත්තේ අපායේය. භූගත ජීවිත ගෙවූ ඔවුන්ගේ අපාය ලෙස සැලකුයේ ඉහලින් ඇති ජන ශුන්‍ය පොළොවේ මතුපිටයි. කලකට පෙර උන්ගේ පැරැන්නන් ජය කෙහෙළි නැංවුයේ ද ඒ මතුපිටමය. අද ඒ මතුපිට යොදාගන්නේ මරණයට කැපවූවන් දම්වැල් මගින් අගාධ කටින් ඉහලට යවා සාපයට නිරාවරණය කරවීමටයි. දෙදිනක් හෝ තෙදිනක් එසේ තැබූ පසු පණපිටින් ඉන්නා එකෙකු මෙතෙක් හමුවී නැත. සාපය එතරම්ම දරුණුය.

අතීත කතාව පැහැදිලි නැත. එහෙත් සෑම ආගමකම එන අතීත කතාව අඩු වැඩියෙන් ආසන්නව සමානය. මතුපිට තිබ්බේ පාරාදීසයයි. එහි හුන් පැරැන්නෝ දේවාශිර්වාදය ද මැජික් ශක්තියද ලබා ගත්හ. මහා විස්කම් කළහ. එහෙත් එක යක්ෂයාගේ මොහොතක ඒ සියල්ල සුන්නද්දුලි විය. දෙවියන් ට මිනිසා එරෙහි විය. යක්ෂයා තනා දුන් මෙවලම් මිනිසා විසින් පුපුරවා හරින ලදී. පැරැන්නන්ගේ සටහන් අනුව හැම තැනම ගිනි බෝල පිපිරීය. ඒවා හතු හැඩයට පුපුරා හසුවන සියලු දේ දවා ලීය. යළිත් මතුපිට සරන්නට නොහැකි සේ සාපය අහස පුරා විසිරවීය. සාපය ට නිරාවරණය වූ කල පිළිස්සුම් හා ඉදිමුම් මගින් මියයාම අනිවාර්යයි. දරෙක් රපී ඇතුළු සියලු දෙනා පැවතෙන්නේ එදා ඒ පිපුරුමෙන් බේරෙන්නට ගැඹුරු පතලකට පැන්න කීප දෙනෙකුගෙනි.

"උඹයි මමයි නේ කතා කලේ. මට උඹ විශ්වාසයි" දරෙක් රහසින් කියයි.

"දරෙක්, උඹ මට ආගම් බෙදුන කතාව කියා දෙනවා කිව්වා නේද?"

"උඹ දන්නවනේ ආගම හැදුනු හැටි "

අද ආගම් ගණනකට බෙදුණු මේ භූගත ජනපදයේ සියලු ආගම් පැවතෙන්නේ දිව්‍යමය පැස නමින් අද පූජාවට ලක්වන ගමන් මල්ලකිනි. පිපුරුම හමුවේ පන බේරාගෙන පතලට පැන්න එකෙකු සතුව තිබු ඒ මල්ල එහි වූ පොත් කීපයක් සමග මුල්ලකට විසිකොට තිබුණි.

මුල් භූගත ජනාවාස වල ආගමට හෝ පොතපතට වෙලාවක් නොවීය. මීයෙක් සර්පයෙක් පණුවෙක් වැනි දඩයමකින් වේල සරි කරගන්ට හා නව දෝනා හා කුටීර තනා ජනාවාස නිමවන්නට මුළු කාලයම කැප වුණි. එහෙත් පරම්පරා කීපයකින් නැවත කෘෂිකර්මාන්තය දියුණු විය. මතුපිටට නොයා හතු වර්ග, ශාඛ මුල් හා අල ආදිය වවන ක්‍රම දියුණු විය. මුල්ලට විසිකළ පොත් මල්ල කෙනෙකුට හමුවන්නේ එවිටයි. අකර්මන්‍ය ව ගිය අකුරු ශාස්ත්‍ර දියුණු කරගෙන කොටස් දිරාගිය ඒ පොත් කියවන්න පටන් ගත් "දේව පණිවුඩ කාරයෝ" එහි අරුත් තම නැණ පමණින් වටහාගෙන ආගම් නිර්මාණය කළහ.

" ආගම හැදුනු හැටි දන්නවා, මං අහන්නේ බෙදුණු හැටි" රපී කියයි.

"මුල කාලේ ආගම් කියලා දෙසා බාලා තියෙන්නේ බොරු. හණමිටි ආගම් හැදුනේ එහෙම. උන්ගේ පොත් ඔක්කොම බොරු කියලයි සිරිමතාණන් ගේ මහා පුස්තකේ කියලා තියෙන්නේ. උන්නාන්සේ ඒ කාලේ උගන්නපු ඔක්කොම බොරු කියලා ඔප්පු කල මිනිහෙක්. උන්නාන්සේගේ සිරි උඩු රැවුල රැස් විහිදුවනවා. උන්වහන්සේ ගේ බුද්ධිය කොපමණ ද කිව්වොත් කෙස් ගස් පවා හරි කෙලින් හිටවීලා තියෙන්නේ"

"හරි බං මම උන් වහන්සේගේ සිරිමත් පින්තුරේ දැකලා තියෙනවා. මහා පුස්තකේ පසු පිටේ තියෙන්නේ"

"පස්සේ කාලේ තමා උත්තම ධර්මධාරින් උන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්නේ. එක වටහා ගන්න අමාරුයි"

"ඉතින් ඇයි හනමිටියෝ සිරිමතාණන් එකක් වෛර?"

"උන් කියන්නේ යක්ෂයා මුදා හැරියේ සිරිමතාණන් කියලා "

"අනේ සිරිමතාණන් එහෙම කරයිද?"

"නැහැ උන් වැරදියි. සිරිමතාණන් කිව්වේ යක්ෂයා එන්නේ මේ දේ කලොත් එහෙම කරන්න එපා කියලා "

ඒ කතාබහ නතර කරවමින් දරෙක් හා රපී කිසිසේත්ම නොසිතු මේ මොහොතේ ඔවුන් නොදැනම සතුරා විසින් වටකර තිබුණි. ප්‍රහාරය එල්ල වන විට පලායාමට තිබ්බේ එකම අතකි. ඒ අගාධයෙන් මතුපිටටයි. පසුපස එළවා එන හී තල මධ්‍යයේ දරෙක් හා රපී වළෙහි බඳ දිගේ ඉහලට නැග ගත්හ. නැවත හැරී එන්න දරන හැම උත්සාහයක්ම කෙළවර වන්නේ හී වරුසාවකිනි. පහළ හා ඉහල මරු අතරින් ඉහළ මරු තෝරා ගන්නට දරෙක් හා රපී තීරණය කළහ.

අහස වසාගත් අඳුරු දූලි වළා මධ්‍යයේ වුවද මතුපිට ආලෝකය භූගත ජීවින් බියගන්වන්නට සමත් විය. වලාකුළු සාපයේ නවාතැන් පොළ ලෙස දරෙක් හා රපී අසා තිබුණි. ඒ වලාකුළු වලින් එන සාපයේ රැස් තමන්ගේ සිරුරු වලට කිඳා බැස ස්ථිරව එහෙත් සෙමෙන් තමන් මරු කරා ගෙනයන බව ඔවුහු දැන හුන්හ.

තැන තැන දිරාපත්ව ගිය ඉපැරණි ශිෂ්ටාචාරයක නටඹුන් මත්තේ අධික විකිරණශීලීභාවය නිසා ජාන විකෘතියට ලක් වූ අරුම පුදුම ශාඛ වැවී ගොසිනි. ඒවා අතර එසේ ම විකෘතියට ලක් වූ මෙතෙක් ඇස නොගැටුණු ලොකු කුඩා සත් වග ආගාධයෙන් එලියට පැමිණි අමුතු ජීවින් දෙස බලා සිටියහ. තවමත් ජීවය ස්ථාවර නොවූ මේ මතුපිට ජීවිතය යනු මරණයේ කෙටි විරාමයක් පමණි.

දෑස් ගිනිකන වැටෙන එළියෙන් මිදෙන්නට දෝ දරෙක් හෙවනක නතර විය. හිස තුලින් එන අසාමාන්‍ය එහෙත් දැරිය නොහෙන වෙදනාව මරණයේ පෙර කැඳවීමක් බව ඔහුට සිහි විය.

"මම නාකියා, රපී උඹ කොල්ලෙක්. මට උඹ ගැන දුකයි" දරෙක් මිමිනුවේය.

"කමක් නැහැ දරෙක්, මේ යුද්දෙන් මළ පළමු දෙන්නා අපි නෙවි"

"රපී මේ අහපන්. තව සැහෙන වෙලාවකට ආපහු යන්න ලැබෙන්නේ නැහැ. අරුන් පතල් කටේ රැකගෙන ඇති. ඉතින් දැන් අපි මැරිලා ඉවරයි උඹට තේරෙනවද?"

"ඔව්"

"හැබැයි මරණය එනකම් අපිට තව තරමක් වෙලාවක් තියෙනවා"

"ඉතින්"

"අපි කවුරුත් නොකරපු වැඩක් කරමු"

"ඒ කිව්වේ?"

"අපි අරුන්ගේ මර්මස්තානෙකට කඩා පනිමු"

"දරෙක් උඹට පිස්සුද? ආපහු දෝනාවට යන්න උන් අපිට ඉඩ දෙන්නේ නැහැ"

"ඇයි දෝනාවට යන්නේ? දෝනා දිගේ ගමන හෙමින්. අනික අපිට දැන් සාපය වැදිලා ඉවරයි"

"හ්ම්ම්ම්ම්"

"අපි ගොඩබිම දිගේ යමු. උන්ගේ මර්මස්තානයක් ලඟට ගිහින් ඇතුලට පනිමු. එහෙම එකක් කවදාවත් වෙලා නැති නිසා උන් ආරක්ෂාව යොදලත් නැතුව ඇති"

"සිරිමතාණන් වහන්සේට ඔප්පු වෙන්න දරෙක් උඹ අපේ සේනාධිනායකනම් අපි මේක දිනලා යකෝ"

මරණයට කැප වූ මිනිසුන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන සිනාසුනහ. ඉන් පසු තරමක් බැරෑරුම් ලෙස කල්පනා කළහ. දරෙක් තම ඇඳුමෙහි රදවා තිබු සිතියමක් ගෙන යන දිශාවන් තීන්දු කළේ ඉවෙන් මෙනි. ඉන්පසු ඔවුහු ගමන් ඇරඹුහ. අඳුරු වලාව පිටිපස්සේ ඉර බැස ගියේය, සඳ නැග යළි බැස ගියේය. නැවත ඉර උදාවන විට වේදනාභරිත වෙහෙසකර ගොඩබිම් ගමනකින් පසු සෙබළු දෙදෙනා සතුරු දෝනාවක බඩගාමින් හුන්හ.

+++++++++

"මේ හටන මෙහෙම කෙළවර වෙයි කියලා කවුද හිතුවේ" ප්‍රධාන පූජකයා ප්‍රීතියෙනි.

"මගේ ශූර බුද්ධිය" සේනාධිනායක වහසි බස් දොඩවයි.

"දරෙක් හා රපී අරුන්ගේ මර්මස්තානෙට පැන්නේ සැලසුමකින් නෙවෙයි නේද?"

"ඒ වුනාට උන් දෙන්න පුහුණු කලේ මම නේ"

"ඒක ඉතින් මොකද්ද?"

"අනික දැන් ඔය පහරදීම වුණා කියලා සතුරු ඔත්තුවලින් හොයාගෙන මරාගෙන මැරෙන දරෙක් රපී බලකාය හැදුවේ මම. අපේ නිර්භීත කොල්ලෝ කෙල්ලෝ කීයක් දරෙක් හා රපී ගිය මග යන්න සාපයට නොබියව මුහුණ දෙමින් ගොඩබිමින් ගිහින් පහර දුන්නද? අද අපි මුන් කුදලාගෙන ආවේ ඒ ජීවිත පරිත්යාගය නිසා"

සේනාධිනායකයා අත දිග හැර පෙන්නු දිසාවේ දම්වැලින් බැඳ දමා හුන් විරුද්ධාගමික මිනිසුන් කෙළවර නොපෙනෙන තරම් පේලියට තබා තිබුණි.

"ඔක්කොම ඇල්ලුවද?"

"ඔව් වෙන යන්න දෝනා නැහැ. ඔක්කොම මෙතන."

සුළු වෙලාවකින් ඒ සියලු දෙන මහා දේවාලය අසලට ගෙන එනු ලැබීය. පූජකයා මිත්‍යා දෘෂ්ටිධාරි ඒ මිනිසුන් සහ ගැහැනුන් මරණයට කැප කළේය. ඔවුන්ගේ ආත්ම වෙනුවෙන් සිරිමතාණන් ගෙන් සමාව ඉල්ලීය. ඈත අහසට ඇරුණු කටකින් ඉහලට නොපෙනී යන දම්වැල් වල ඒ මිනිසුන් එල්ලා දමන ලදී. ශුද්ධ වූ යුද්ධයේ අග්‍ර පලය ලෙස ප්‍රතිවාදියා සමූල ඝාතනය කෙරෙන සංඥාව ලැබුණි. දම්වැල් ලූ මිනිසුන් අගාධයේ විවරය දෙසට එසවෙන්නට පටන් ගැනුනි.

දැවමුවා ප්‍රතිමාවක හැඩයෙන් සිරිමතාණෝ නිසොල්මන්ව මේ දෙස බලා හුන්නේය. දළ උඩු රැවුල අනගි ලී කැටයමකි. කෙලින් වූ හිසකේ ලෝහයෙන් කර තිබුණි. කලෙකට පෙර ඇල්බට් අයින්ස්ටයින් ලෙස හැඳින් වූ මේ සිරිමතාණන්ගේ මහා පුස්තකයේ ඉදිරි පිටේ ලියා ඇති, උත්තම ධර්මධාරි ජනයා ගේ සිත් හි භක්තිය උපදවන මුත් බුද්ධියට ගෝචර නොවන මහා යාතිකාවෙන් කුටීරය පිරී ගියේය.

"E = mc2"

"E = mc2"

"E = mc2"

Wednesday, September 30, 2015

උල්පත්

"හප්පා කාස්ටකේ"

"උල්පත් ටිකත් වේලෙන සයිස්"

"ඒකත් නැතිනම් අපි මියැදිලා බං"

"බලන් හිටහන් ඒකටත් තව වැඩි කලක් නැහැ. ඇවිත් කෙළිනකම් "

"පිස්සුද ඕයි මේ කාන්තාරේ මැද්දේ?"

"තැනක් නොතැනක් නැහැ ඕකුන්ට"

"උඹ කියන්නේ උන් අච්චර සිරා ටවුමක ඉඳලා එනවා මේක අස්සේ . අහවල් මගුලකටද?"

"මොංගල් කම තමා. ඒත් ඒ උන්ගේ හැටිනේ"

"උඹ දන්නවද උන්ගේ සිටි එකට වහින තරම්. පාක්ස් වල ලස්සන ගස් මල් පිරිලා. ගංගාවල් ගලා යනවා. "

"හරි බන් මාත් දැකලා තියෙනවා උන්ගේ සීනරි. ටීවී සිග්නල් වදිනවා අපේ ගෙදරටත් ඉඳලා හිටලා."

"ඉතින් ඒකනේ. උන්ට මේක අපායක් බං. මං හිතන් නැහැ ආණ්ඩුවෙන් ඉඩම් බෙදුවත් ඒවි කියලා"

"එව්වා මං දන්නේ නැහැ හැබැයි කේලමා එවලා ඔත්තු බලනවා"

"ඕක ඔය ඉස්කෝලේ කොල්ලෙක් ප්‍රදර්ශනෙකට හදාපු එකද්ද කොහෙ. හැටි බලපන් අම්බාන ප්‍රාතමිකයි"

"ඔව් සීන් එකනම් ප්රාතමිකයි තමා බ්ලයින්ඩ් ස්පොට් එකට සෙට් වෙලා අපේ කොල්ලෝ කාර් පදිනවා ඒකෙ. හැබැයි උන් ඒක මෙතන දැම්මේ මොකටද?"

"මං කිව්වේ ඉස්කෝලේ කොල්ලෙක් ප්‍රදර්ශනෙකට හදාපු එකක් වෙන්ටෑ "

"එතකොට ගහන ෆොටෝ යවන්නේ උන්ගේ ආච්චිලයි දිහාවේද?"

"ෆොටෝ යවනවා කියලද උඹ කියන්නේ"

"ඔව් අපේ රේඩියෝ බාස් කාරයා කියන හැටියට යවනවා"

"අම්මට හුඩු යවනවා නම් ඔක්කොම පේනවා ඇතිනේ"

"ඒක තමා කියන්නේ"

"හුටා ඒ කියන්නේ උල්පතත්"

"ඔව් උල්පතත්. ඇයි ඒක වීදුරුද?"

"උඹ කියන්නේ උන් දන්නවා අපේ උල්පත් ගැන"

"බොහෝවිට"

"මල කෙළියයි"

"ඒක තමයි කියන්නේ. ඔන්න බලහන් රොත්ත බැඳගෙන ඇවිත් මෙතන හෝටලයක් හදලා දාගන්නවා ටුවරිසම් පාරක්. ඊට පස්සේ හදනවා ගමක් දෙකක් උල්පතේ වතුර ටිකත් අරගෙන. අපිව ගෝත්‍රිකයෝ හැටියට හංවඩු ගහලා එක්කෝ වඳ කරදානවා, නැතිනම් ශිෂ්ටාචාර ගත කරන්න කියලා උන්ගේ කාලකන්නි ලයිෆ් එකට බලෙන්ම හුරු කරනවා. අවුරුදු සීයක් යද්දී මේකත් අමු අපායක්. මරාගන්නවයි තියෙන හැම දේම හූරලා කනවයි හප්පා ලෝක විනාසේ"

"ඒකනම් හරි තමා. නැත්නම් උන්ගේ ලෝකේ මේකට වඩා කොච්චර පට්ටද? අවුරුදු දහදාහක් යද්දී ඒක විනාස කළා. මේකටත් රිංග ගත්තොත් සොරිම තමා"




[අඟහරු රෝවරයේ  පින්තුර  අනුව නාසා ආයතනය අඟහරු  මත  ගලායන  උල්පත්  ජලය ඇති  බව ප්‍රකාශ  කිරීම  නිමිත්තෙනි]