Friday, September 30, 2016

ලියන්නා


"ප්‍රමිත, මට කතා කරන්න පුලුවන්ද?"

ප්‍රමිතගේ මනසේ කොනකින් මතු වූ කුඩා පණිවුඩය ඔහු බිය ගැන්වීය. හැකිනම් මෙය නොසලකා ඉන්නට අගෙයි. එහෙත් එසේ කිරීමේ හැකියාවක් ප්‍රමිතට නොමැත. පණිවුඩය පසෙකින් එවන්නාගේ නම හැඟවෙන මනස් නෙමොනිකය (හෙවත් ස්මෘතිය) පීටර් රස්මන් ලෙස කියවේ. පීටර් රස්මන් ප්‍රමිත මේ මොහොතේ දකින්නට අකමැතිම නම ය. එහෙත් කතා නොකර බැරි ම නම ය.

"සර් පුළුවන්"

"ප්‍රමිතට මම කී පාරක් කියන්න ඕනෙද? සර් කියන්න අවශ්‍ය නැහැ කියන එක"

"ඕකේ පීටර් සොරි"

"සමාවක් ඉල්ලන්න ඕනේ නැහැ. මේක දැන් සමාන ලෝකයක්. හොඳයි ප්‍රමිත වැඩිය වෙලාව නොගෙන පොයින්ට් එකට එන්නම්. ආටිකල් එක ලිව්වද?"

"සර් ... අ අ පීටර්, මම තවම ලියමින් ඉන්නවා"

"ලියමින් ඉන්නවා? මොකද්ද මාතෘකාව?"

"මාතෘකාව ... මේ .. තවම හිතනවා පීටර්"

"හ්ම්ම්ම් ඒ කියන්නේ මම හරියට කිව්වොත් ඔබ කිසිවක් ලියල නැහැ"

"ඇත්තම කිව්වොත් ඔව්"

"සඟරාවට ආටිකල් එකතු කරන අන්තිම වෙලාවට තව පැය දෙකයි"

"මම දන්නවා"

"ප්‍රමිත ඔබ මාව ලොකු අපහසුතාවයකට පත් කරනවා. ඔබට දැනුත් ලියන්න පුළුවන් බව ඇත්ත. හැබැයි මාසයක් නොලියු ඔබට පැය දෙකකින් ලිවිය හැකිද?"

"පීටර් මම උත්සහ කරන්නම්. දැන් පටන් ගන්නම්"

"නැහැ ප්‍රමිත සඟරාවේ ඔබේ කොටස හිස්ව ගියත් මේකේ දෙකෙන් එකක් බේරෙන්න ඕනේ. මොකද්ද ඔබේ ප්‍රශ්නය? අපි විශාල මුදලක් වියදම් කරලයි ලෝකේ අනිත් කෙලවරේ රටකින් ඔබව මේ වෘත්තියට බඳවා ගත්තේ. ඔබේ පුහුණුව, ඉලෙක්ට්‍රොනික උපකරණ, ට්‍රාන්ස්ප්ලාන්ට් කරන වියදම මේ ඔක්කොම අපි දරනවා. ඔබට තියෙන්නේ ලියන්න විතරයි. ඔබ මනසින් දකින ලෝකය ගැන"

"මේකයි පීටර් වැඩේ ... මට මේ මාතෘකා එක්ක ... ඒ හැටි .. මං කිව්වේ අකමැත්තක් නෙවි ... ගැලපීමක් නැහැ වගේ"

"ප්‍රමිත ඔබට මාතෘකා වල සීමාවක් නැහැ. ඔබට හැකියි අත්ලාන්තික් පතුලේ හෝටලයක ගෙවුන දිනක් ගැන හෝ එවරස්ට් මුදුනේ සිට වටේ බැලුවම හඳුනා ගත හැකි මිනිස් සලකුණු ගැන ලියන්න. ග්‍රහක වළල්ලේ විසිරි ඇති ජනාවාස අතර ස්පේස් ඩයිවින් අත්දැකීමක් හෝ අඟහරුගේ ඔලිම්පස් කඳු මුදුනට බේස් කෑම්ප් එකේ සිට ගිය දෙසතියක දිගු පාගමන, ඔබට මාසයක්ම තිබ්බ නිසා ඒවා කරන්න තිබ්බා ප්‍රමිත ඔබේ කාමරයේ සිට මනසින්"

"පීටර් මේ ඔක්කොම මම කරන්නේ මේ කාමරේ ඉඳගෙන මනසින්"

"ඒ නිසා තමයි අපි සඟරාවට ලියන්න ඔබේ රටින් බඳවා ගත්ත හැමෝටම මනසින් බුද්ධි ජාලය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නැනෝ චිප් එකක් ට්‍රාන්ස්ප්ලාන්ට් කළේ. ඒ හරහා ඔබට 'ෆීල් ඉට්' ක්‍රමවේදය යටතේ ඒ ස්ථානයේම ඉන්නවා වගේ දැනෙනවා. ඔබේ ඇස් කන්, නාසා පමණක් නෙවී ඔබට එතන සුළඟ හෝ ජලය පවා ඇඟට වදින්න අවශ්‍ය විදිහේ සෙන්සරි පද්ධතියක් ඒ තැන්වල තියෙනවා. හරියට ඔබේ ඉන්ද්‍රීයන් එතනට සවි කළා වගේ. හරියටම ඔබ ඒ ස්ථානයේ ඒ අත්දැකීම ගන්නවා වගේමයි. ඔබට තියෙන්නේ එකම එක දෙයයි. ලියන්න ඕනේ අත්දැකීම ගැන. යන්ත්‍ර වලට බැරි එකම දේ මිනිස් අත්දැකීමක් මනසින් විඳින එක පමණයි ප්‍රමිත"

"ඒත් පීටර් මේ ඔක්කොම භෞතික දේවල් නෙවි. මම භෞතික ලෝකය විඳපු කෙනෙක්. මම වැල්ලේ රැල්ල එක්ක සෙල්ලම් කල කෙනෙක්. වෙල් එළියේ සරුන්ගෝල යවපු කෙනෙක්"

"භෞතික? මොකද්ද ප්‍රමිත භෞතික කියන්නේ. ඉස්සර මේ මනසින් වින්ද ලෝකෙට පාර භෞතික කිව්වට ඔබ දන්නවද දැන් ඒ වචනය භාවිතා වෙන්නේ වත් නැහැ කියලා. ඔබ වින්දා කියන ඔය භෞතික ලෝකය අද හැදෙන දරුවෙකුට මේ මම ඉන්න තැන වගේ ජනාකීර්ණ නගරයක ගන්න බැහැ. තව දුරටත් ඕක ලබා ගැනීම අවශ්‍යත් නැහැ. මගේ පුංචි පුතා මනසින් සම්බන්ධ වෙලා ලෝකය විඳින තරම මම තවම විඳලා නැහැ ප්‍රමිත. වෙල් එළියේ සරුන්ගෝල යවපු එක ඉස්සර කිව්වේ ලක්සරියක් කියලා. අද මේ පවතින තාක්ෂණයත් එක්ක මිනිස් වින්දනය යන දිහාව බැලුවම ඒක මහා කාලකන්නි මූසල අත්දැකීමක්. කිසිම විශේෂත්වයක් නැති."

"ඒත් අපේ ශරීරයට ඕනේ ඒ භෞතික ලෝකය නෙවිද පීටර්"

"ඉස්සර නම් එක්සසයිස් කියල දෙයක් තිබ්බ. ඒත් දැන් ඒ සියල්ල පොඩි පෙත්තකින් පාලනය කරන්න පුළුවන් නිසා. ඇත්තෙන්ම මොකටද ප්‍රමිත ඒ අත්දැකීම්? මනසින් ඔය දේවල් වල වින්දනය ගන්න පුළුවන් එලෙසින්ම. ආයෙත් ඕනෙනම් අපි දෙන්නම මනසින් ගිහින් ඔබේ වෙල් එළියේ සරුන්ගෝල යවමු. මේ ආටිකල් එක ලිව්වම"

"ඒත් තවම ඒ ලෝකය එහෙමම තියෙනවා පීටර්. මගේ මේ බෝඩිම් කාමරයෙන් එලියට බැස්සම තවම ඉන්නවා මිනිස්සු බුලත් විටක් හප හපා ඇවිත් සතිපතා කඩදාසි පත්තරේ අරගෙන ඇවිදගෙන යන. ඒ මිනිසුන්ට කන්න බොන්න පොඩි පෙට්ටි කඩ මේ හන්දියේ තියෙනවා. පීටර් මම ඒ ගැන ලිව්වොත් පාටකයා සමහර විට ආසා වෙයි."

"නැහැ ප්‍රමිත, බුද්ධි ජාලයේ පලවෙන මනසින් පමණක් කියවන සඟරාවක පාටකයෙක් ඔය ලෝකයේ අහුමුලු වල වෙසෙන ජීවිත ගැන හොයන එකක් නැහැ"

"අහුමුල්ලක් වෙන්නේ කොහොමද? තවම ලෝකයේ ජනගහනයෙන් 75% ක් බුද්ධි ජාලයේ නැහැ"

"හැබැයි මිලදී ගැනීමේ හැකියාවෙන් ඔවුන්ට හිමි 5% ක ප්‍රමාණයක්. අපිට වැදගත් ඉතිරි 95%. සංඛ්‍යාත්මකව කී දෙනෙක් වුනත් මුදල් ඇත්තේ ඔවුන් අතේ. ඔබෙත් මගෙත් පඩි ගෙවන්නේ ඔවුන්"

"ඒ වුණාට ඔය කියන මනසට දැනෙන දේවල් ඇත්තම එව්වද? බොරු මවාපෑම් වෙන්න බැරිද?"

"ප්‍රමිත ඔබ අඟහරු මත ජනාවාස නැහැ අඟහරු තරණය බොරුවක් කියන පිස්සන්ගේ ගොඩේ ඉන්න කෙනෙක් නොවේවා කියා හිතනවා. ඊයේ මට මිනිහෙක් හම්බු වුනා අපි අභ්‍යවකාශයේ සූර්ය බල පද්ධතියකින් බලශක්තිය ලබා නොගන්න තවම ෆොසිල ඉන්ධන පුච්චන මිනිස්සු කියා හිතා ඉන්න. මිනිහා කියනවා අභ්යවකාශයෙන් එක රැහැනක් වත් එන්නේ නැහැල්ලු. ඒක කොන්ස්පරසියක් ලු. මේ මිනිහා ඒක කියන්නේ කිරණ ලෙස ලබා ගන්න අභ්‍යවකාශ බල ශක්තියෙන්ම බුද්ධි ජාලයට ගිහින්. දැන් සිකුරු කක්ෂය ආසන්නයේ ක්ලොරෆිල් වගාව සාර්ථක වුනාම ඒකත් බොරුයි කියන්න පිරිසක් ඉඳියි. එහි හදන ආහාර ම අනුභව කරන ගමන්."

"පීටර් කියන දේ මට තේරෙනවා ..."

"මම කියන්නේ නැහැ වාණිජ අරමුණින් මේ අත්දැකීම පොඩ්ඩක් වෙනස් කරන්නේ නැහැ කියලා. හැමදාමත් වාණිජ අරමුණු මත මිනිස් දැනුම වෙනස් කළා ප්‍රමිත. බුලත් හපන පත්තර කියවන ලෝකෙත් එහෙමයි."

"ඔව් මට තේරෙනවා පීටර්"

"හොඳයි ප්‍රමිත අපිට කාලය පොඩ්ඩයි තියෙන්නේ. මේකත් එහෙනම් තේරුම් ගන්නවා. මට මේක තදින් කියන්න වෙනවා. මෙච්චර තාක්ෂනය දියුණු කාලෙක තවම අපි සඟරාවක් ලියන්නේ ලියු දේ මනසින් හෝ කියවන්න ආසා මිනිස්සු ඉන්න නිසා. ලියමනක භාෂා ප්‍රයෝග, විස්මය, පන්ච් ලයින් එක, ඔව්වට කැමති වියපත් සුළු පිරිසක් තවම ග්‍රහ පද්ධතියේ ඉන්නවා. මගේ පුතා අපේ සඟරාව කියවයි කියලා හිතන්න එපා ප්‍රමිත. ඒ වගේම එයාලා ලියන්නෙත් නැහැ. එයාලට අකුරු එක්ක ගනුදෙනුවක් ඕනේ නැහැ තව දුරටත්. ඔබ මේ වෘත්තීය සඳහා ලෝකේ අනිත් කෙළවරෙන් අපි තෝරා ගත්තේ දැන් අපේ රටවල ලියන පිරිස නැතිම ගානට ඇවිත් නිසා. එහෙත් ඔබ දීර්ඝ කාලයක් ඔය දේ කරන එකක් නැහැ. එන්න එන්නම සඟරාවේ ඉල්ලුම අඩු වෙනවා. ඔබේ හෙට දවස තීන්දු වෙන්න මීට වඩා නව ලෝකයත් එක්ක යාවත් කාලින වෙන්න වෙයි. පෙට්ටි කඩෙන් කන බුලත් හපයෝ ඔහෙට ගෙවන්නේ නැහැ ප්‍රමිත. මේ අවස්තාව ඉතා කුඩා කාලෙකට ලැබෙන මහගු වරප්‍රසාදයක්. තේරුණාද?"

".... අ ඔව් පීටර්"

" ඒ නිසා ඔහේ ලියන්න ඕනේ මිනිස්සු ඉල්ලන දේ. ඒ සඳහා තාක්ෂණික මෙවලම් සියල්ල ඔහේගේ බෝඩිම් කාමරයේ තියෙනවා. භෞතික ද පාර භෞතිකද මායා යතාර්ථය ද මට වැඩක් නැහැ. ඒ වෙනුවෙන් ලියන්න තමයි ඔහෙලව අපි ගත්තේ. අපිට ඔය රටේ නීති නිසා ආටිකල් ගානට කොන්ත්‍රාත් විදිහට ගන්න බැහැ. ලිව්වත් නැතත් මාසේ පඩියක් දෙන්න වෙනවා. ලිව්වත් නැතත් මේ මාසේ පඩිය ලැබෙයි. හැබැයි තව මාසයක් ගැන බලාපොරොත්තුවක් තියේනම් මට ආටිකල් එක දෙන්න තව පැය දෙකකට අඩු කාලයයි තියෙන්නේ. මට කනගාටුයි මෙහෙම කියන වුණාට. ඒත් මේක තමා රියලිටිය."

"හරි පීටර්"

" ඔබට සුබ දවසක් කියනවට වඩා, ඔබ කෙසේ හෝ මේ පැය දෙකේ එය සුබ දවසක් කරගන්න ප්‍රමිත. ස්තුතියි එහෙනම්. "

"සුබ දවසක් පීටර්. ස්තුතියි"

ඉදිරි හිස් බිත්තිය මත මනසින් ප්‍රක්ෂේපනය කල ලියන කඩදාසියේ හිස් මුහුණත ප්‍රමිතට ඔච්චම් කරයි. ජනේලයෙන් එන සීත උඳුවප් සුළඟ සිරුර කිති කවයි. ජනේලයෙන් බැලු විට පෙනෙන හන්දියේ රුපියල් පන්සීයෙන් පාන් ගෙඩියක් ගෙන පහළොවක ඉතිරි මුදල නොලද මිනිහෙක් පෙට්ටි කඩේ ගැහැණියට දෝෂාරෝපණය කරයි.

සුළු කාලයක් දෙලොවක් අතර තනිව හුන් ප්‍රමිත ජනේලය වසා දැම්මේය.