Saturday, December 17, 2016

මරණය

[දෙසැම්බර් දහහත් වැනිදා දිනමිණ විශේෂාංග අතර පලවූ ප්‍රබන්ධයකි]

"අර ජීවියා මැරිලා"

"ඔව් මට ආරංචියි"

"දැන් ඒක අපිට පාඩුවක් නෙවෙයිද?"

"නැහැ. දැන් ඒ ජීවියාගෙන් අපිට ඒ හැටි වැඩක් නැහැ"

"හොඳටම විශ්වාසද?"

"අනිවාර්යයෙන්ම. ඒක ඒ දවස්වල වැදගත් සිද්ධියක් වුණාට දැන් ඒකෙ වැදගත්කම ගිහින්"

"මං හිතුවේ අපි දිගටම ඒ ජීවියාට ආරක්ෂාව දෙන්න ඕනේ කියල"

"ඔව් ඒ ඒ කාලේ. ඒ ජීවියා අවශ්‍ය වුනා අප විසින් සිදු කල පරීක්ෂණයක ප්‍රතිපල විදිහට විශාල ව්‍යසනයක් ඇතිවීම වලක්වා ගන්න"

"ඔන්න ඕක තමයි මට නොතේරෙන සිද්ධිය. මේ වගේ තනි ජීවියෙක් කොහොමද ව්‍යසනයක් නතර කළේ. මම හිතන්නේ තව නූලෙන් වැඩේ ගැස්සිලා යනවා කියලා"

"අපිත් බය වුණා . ඒ වෙලාවේ අවදානම් තත්වයක් තිබ්බේ. අපි ලොකු වැරදීමක් කළා මේ පර්යේෂණය එක්ක"

"ඔබ ඒ කාලේ ජීවත් වුන කෙනෙක් මට මේ ගැන ටිකක් කියා දෙනවද?"

"මේ ජීව ප්‍රජාව හයවැනි මට්ටමේ ප්රාතමික ප්‍රජාවක්. එහෙත් අපි පළමු මට්ටමේ උසස් තාක්ෂණික දැනුමක් ඔවුන් අතට ලබා දුන්න. විශාල ව්‍යසනයක් කරන්න කොටින්ම මුළු ජීව ගහණයම වනසන්න ඒ තාක්ෂණයට පුළුවන්"

"මම ඒක දන්නවා. ඒක දෙනකොට අපි එය හරියට හසුරුවන්න ඔවුන්ට අවශ්‍ය බුද්ධිය දුන්නේ නැද්ද?"

"මේක සුහදතාවයට වඩා පර්යේෂණාත්මකව වැදගත් හේතුවකට වෙච්ච ගනුදෙනුවක්. ගනුදෙනුවක් කිව්වට අපි ගත්ත දෙයක් නැහැ. අපි ඔවුන් සමග තවම කතා කරලත් නැහැ, මොකද ඒ වගේ දෙයක් දරාගන්න තරම් ඔවුන් බුද්ධිමය ලෙස මෝරා නැතිනිසා. කොටින්ම ඔවුන් දන්නෙත් නැහැ තාක්ෂනය දුන්නේ අපි කියලා. අපි මේ සේරම කලේ ඔවුන්ට නොදැනෙන්න."

"ඒ කොහොමද?"

"අපි ඔවුන්ගේ පර්යේෂණ සුළුවට වෙනස් කළා. ඒ හරහා ඔවුන් තාක්ෂනය හොයා ගත්ත. සාර්ථක වෙනකම් අපි රහසිගතව ඔවුන්ව ඒ දිහාට අරගෙන ගියා. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ගවේෂණ වලින් වෙච්ච දෙයක් කියල"

"ඉතින් ඇයි ඒක දුන්නේ?"

"..."

"මොකෝ සද්ද නැත්තේ?"

"දන්නවනේ ඒ කාලේ රිසර්ච් ටීම් එකේ ලොක්ක ගැන. පිස්සු වැඩ වලට ප්‍රසිද්ධ කෙනෙක්. මම එයාට කීප පාරක් කිව්වා ඔය තාක්ෂනය දුන්නොත් ඕකුන් මරාගෙන මැරෙනවා කියල. එයාට ඕනේ කලේ ඒ වගේ ජීවින් පිරිසක් මේ වගේ තාක්ෂණයක් එක්ක ගණුදෙණු කරන ආකාරය පරීක්ෂණයට ලක් කරන්න. උන්ගේ ගෝත්‍රික ගැටුමක් මැද්දේ තමා එක පාර්ශ්වයකට ඕක දුන්නේ"

"අපිට එහෙම පාර්ශ්වීය සහයක් දෙන්න බැහැ නේද?"

"චක්‍රාවාට විද්‍යා මණ්ඩපයේ නීති අනුව එහෙම බැහැ. ඒ නිසාම තමයි මම හිතන්නේ ලොක්කට සේවා දිගුවක් නොදුන්නේත්"

"ඉතින් ඒ ජීවින් මොකද කරගත්තේ"

"හප්පා උන් මාර ප්‍රාතමිකයි. තාක්ශනේ දුන්නු ගමන් පටන් ගත්ත ඒකෙන් ප්‍රතිවාදීන්ට ගහන්න. එක ගෝත්‍රයක විශාල ජනපද දෙකක් ඉවරම කළා. ඒ කාලේ අපේ හදිසි බෝඩ් මීටින් එක දිගට. කලාපිය පර්යේෂක කණ්ඩායම හදිසි තත්වයක් ප්‍රකාශ කළා. අපි තීරණ කීපයක්ම ගත්ත"

"ඒ මොනවාද?"

"මුලින්ම අපි මේ සිද්ධියට කෙලින්ම මැදිහත් වෙන්න අවසර ගත්ත. තව දුරටත් පාර්ශ්ව වලට වැඩියෙන් සහය නොදී ස්වාධීනව ඉන්න බැහැ, මොකද අපි ඒ වෙද්දී පාර්ශ්වීයව සහය දීලා ප්‍රශ්නය නිර්මාණය කරගෙන"

"ඊට පස්සේ"

"ඊට පස්සේ කලේ කලින් ගෝත්‍රයට සමාන ලෙස බලවත් වෙන්න පුළුවන් තවත් ගෝත්‍රයකට ඒ තාක්ෂනය දීම. එකෙකුට විතරක් දුන්නොත් ඒකා ප්‍රතිවාදීන් වනසාගෙන යද්දී බේරන්න කෙනෙක් නැහැ. දෙන්නෙක් උන්නොත් දෙන්නම අනිකාට බයේ පහර දෙන්නේ නැතුව ඉන්නවා."

"මාර සැලසුමක්. හරි ගියාද?"

"අපිට ෂුවර් තිබ්බේ නැහැ. අපි බොහොම ලඟින්ම මොනිටර් කළා තත්වය. ටික කාලයක් ගියත් කාරනා අපට ඕනේ තැනට ආවේ නැහැ. ඉතින් අපි බයවුනා අර ප්‍රධාන ගෝත්‍ර දෙක ඇත්තෙන්ම ඒ තාක්ෂනය යොදාගෙන එකිනෙකා නසා ගනීවි කියල. මොකද උන් පිස්සෝ වගේ රහසිගතව ඒ තාක්ෂනය දියුණු කළා. ඒ රහසිගත භාවය දිගටම ගියානම් මහා යුද්දයකින් කෙළවර වෙන්නේ"

"ඒ පාර?"

"අන්න එතනදියි මේ ජීවියා අපට අවශ්‍ය වුනේ"

"මේ ජීවියා එතරම් බලවත් ද?"

"අයියෝ නැහැ, ඔහු යටතේ තිබ්බේ ඉතා කුඩා කල්ලියක්. එහෙත් අර පෙර කී එක බලවත් ගෝත්‍රයකට බොහොම ආසන්නව උන්නේ. ස්තානිය වැදගත්කම නිසා අපි මේ ජීවියා මත සැලසුමක් හැදුවා. අපි මුලින්ම ඔහුට ඔහුගේ කුඩා ගෝත්‍රයේ බලය ගන්න උදව් කළා. තවමත් කවුරුත් දන්නේ නැහැ අපි උදව් කළ බව. ඔවුන් වත් දන්නේ නැහැ සුළු පිරිසක් වෙලා ඔවුන් බලය ගත්තු හැටි. ඔවුන් දක්ෂ සටන්කරුවන් කියලයි බොහෝ දෙනා හිතන්නේ, ඔවුන් පවා හිතන්නේ එහෙම. මේ නිසා මේ ජීවියා ඒ ග්‍රහලෝකේ ලොකු වීරයෙක්"

"ඇයි මෙයාවම තේරුවේ?"

"මෙයා හිටියේ පළමුවැනි ප්‍රධාන ගෝත්‍රය ආසන්නයේ වුනාට මෙයා සහය දුන්නේ දෙවැනි ප්‍රධාන එකට"

"ඒකෙ වාසිය මොකද්ද?"

"ඒ හරහා අපිට කුඩා සිද්ධියක් නිර්මාණය කල හැකියි, ඒ ප්‍රධාන ගෝත්‍ර දෙක අතර"

"ඉතින් එහෙම කළාද?"

"ඔව් ඉතාමත් අවදානම් එහෙත් නොකර බැරි වැඩක්. අපි ඒක කළා. අපි මේ කුඩා ජීවී කණ්ඩායම යොදාගෙන යුද්ධයකට ආසන්න අවස්තාවක් හැදුවා"

"ඉතින් යුද්ධයකට ආසන්න අවස්තාවක් හැදුවා නම් එක හොඳ දෙයක් වෙන්නේ කොහොමද?"

"මෙහෙමයි. අනාගතය ගැන අනාවැකි කියන අපේ කෘතීම බුද්ධි පද්ධති ගැන සැහෙන විශ්වාසයක් අපිට තිබ්බ. ඒ අනාවැකි අනුව, ඔය කියන මොහොතේ යුද්දයකට ආසන්න තත්වයකට ගියාට පාර්ශ්ව දෙකම යුද්දයට සූදානම් නැහැ. ඒ නිසා යුද්දයක් ඇතිවන්නේ නැහැ. අපි මොකුත් නොකර හිටියනම් ඉබේම එහෙම තත්වයක් තව කාලෙකින් එනවා. වඩාත් යුදමය ලෙස සූදානම් මොහොතක එහෙම වුනානම් විශාල විනාශයක් නවතන්න බැහැ"

"හිතපු දේ එහෙමම වුනා ද ?"

"ඔව්, ග්‍රහලෝකයේ භ්‍රමණ වාර දහතුනක් එක දිගට යුද්දයකට ආසන්න අවස්තාවක් තිබ්බ . ඊට පස්සේ ගෝත්‍ර දෙක ම තේරුම් ගත්ත අවදානම. ඔවුන් යුද්දය වලකා ගත්ත"

"එහෙනම් අපේ අනාවැකි හරි"

"ටක්කෙටම. ඒ වගේම ඒ හරහා ඔවුන් තේරුම් ගත්ත මේ අවදානම් තාක්ෂනය තව තවත් වර්ධනය කිරීම විනාශයකට මගක් කියලා. ඒ තුලින් ඔවුන් පර්යේෂණ සීමා කරන්න සහ අවිහරණය ගැන උනන්දු වෙන්න සාකච්චා කරන්න පටන් ගත්ත. මේ නිසා තරමක් සංහිඳියාවක් ඒ ග්‍රහලෝකෙට ලැබුණා. තවම අපේ ඒ උපක්‍රමය සාර්ථකයි"

"අර ජීවියට මොකද වුනේ?"

"අපි කාලයක් හිතුවා ඔහුව ආරක්ෂා කල යුතුයි කියලා. මොකද මේ වැඩසටහනේ ඔහු කල කාර්යය ඉහල එකක් බැවින්. එක ගෝත්‍රයක් ඔහුව මරන්න දිගටම උත්සහ කළා. අපි දිගටම බේරුවා"

"ඒක මම අහල තියෙනවා . ඝාතන සැලසුම් හයසීයක්ද කොහෙද නේද?"

"ඔව් විශාල ගණනක්"

"හ්ම්ම්ම් ඉතින් දැන් ඒ ජීවියාගෙන් වැඩක් නැද්ද?"

"ඒ දේවල් ඉවරවෙලා දැන් බොහෝ කල්. දැන් එයාව මරන්න කාටවත් ඕනේ නැහැ. ඔය නිසි වයස් ආයු වළඳා තමයි ඒ ජීවියා ස්වාභාවිකව මිය ගිහින් තියෙන්නේ. කොටින්ම දැන් ඒ ග්‍රහලෝකේ ඒ යුගයට එහා ගිහින්"

"ඒ කියන්නේ අපේ පරණ ලොක්ක කරපු පිස්සු පරීක්ෂණය නිසා ව්‍යසනයක් වෙන්න ඉඩක් දැන් නැහැ"

"අන්න එතනයි අවුල. ඇත්තෙන්ම කිව්වොත් අනතුර එහෙමම තියෙනවා. වෙනස් මුහුණුවරකින් දැන් එලියට එන්නේ. නැවතත් ඒ වගේ ව්‍යසනයකට ඇති ඉඩ වලකන්න සුදුසු උපක්‍රමයක් මේ දවස්වලත් ක්‍රියාත්මකයි"

"ඇත්තට. ඒ මොකද්ද ඒ?"

"අර ලඟදි උන්ගේ ලෝකේ චන්දෙකින් කවදාවත් දිනන එකක් නැහැ කියල හිතපු කෙනෙක් බහුතර චන්දය නැතුවත් පොඩි පොඩි කෑලි වල චන්ද කණ්ඩායම් වල බලයෙන් චන්දයක් දින්නේ. අන්න එයා දිනවපු එක තමයි අපේ අලුත් උපක්‍රමය "

[විප්ලවීය නායක  ෆිදෙල් කැස්ත්‍රෝට සුව නින්දක් පතමු]