Thursday, February 2, 2012

චතුරශ්‍රය

ඔහුට ඇය මුණ ගැසුනේ අහම්බෙනි. සෙනග තෙරපෙන බස් රථයට ගොඩ නැගුණු මොහොතේම අසුනක් හිස් වී හිඳ ගන්නට ලැබීම පවා සිකුරාදා ගම බලා ඇදෙන කෙනෙකුට ලොකු අහම්බයකි. අසුනේ හුන් සිහින් දිගු දෑස දුටුවේ තවත් කිලෝමීටර කිහිපයක් ගිය පසුවයි.

දහදිය ගඳ ගහන දවසේ මහන්සියෙන් අවුල් වුනු මිනිසුන් ගැහැණුන් අතර, නොයෙක් ආලේපනයෙන් පැහැබර වී සුවඳවත් වී හුන් ඇය ඔහුට පෙනුනේ රණමොනරියක් ලෙසිනි. බැලුම් සිනහ වී
, සිනහ කතා වී, කතා කෙඳිරිලි වී මුවට මුව ලං වන්න ගතවුයේ ද තවත් කිලෝ මීටර කිහිපයක් ම පමණි.

ඔහුට ඇය අතිශයින් ම ප්‍රසන්න කෙල්ලක යයි සිතුනි. ඇය ඔහුගේ උණුසුමෙන් මන්මත් වුවාය. දෙදෙනාගේ සල්ලාපයෙන් තුටු වූ බසය පසු අසුන හිස් කර බලා හුන්නේය.

"අපි යමු ද
?" ඔහු ඇසුවේ නැත. ඇය ද ඇසුවේ නැත. පසු අසුනට නැගිට ගියේ කතා බහකින් ද තොරවයි. සිහින් හිනාවක් පාගෙන බසය නැවතත් ගමන් ඇරඹීය.

වසර කිහිපයක් පෙමින් වෙලී හුන් යුවලක් සේ ඔවුන් පෙනුනි. ආදරයට කවදත් පොදු ගැරහුම් ද ඇතැම් සිතකට එන්නට ඇත. එහෙත් ඒ වනවිට ඔවුන් සිටියේ බසයේ නොවේ.

වරෙක සොඳුරු දිය ඇල්ලක සීතල මිහිදුමකින් ඔවුන් වෙලා ගැනුනි. ඈ ඔහුට ගුලි වූවාය. තවත් වරෙක පෙම්වතුන්ටම වෙන්වූ අනාගත උද්‍යානයක ඔවුහු තනිවූහ. ඔහු ඇයව පිරිමැද්දේය. සීමා මායිම් බිඳී  විවිධ ප්‍රේමාලිංගනයෙන් ඔවුහු මත් වූහ. බසය දෑස් පියාගෙන පෙරට ඇදේ. ඇතැම් සිත් ඔරවාගෙන අහක බලා ගනිති. එහෙත් ඒ බව දැනෙන්නට ඔවුන් බසයේ නැත.

ගතවූ ඒ දෙපැය තුල කතා නොකළ දෙයක් නැත. නොසිතු ආදර හැඟීමක් නැත. නැවුම් බව මෙන්ම හිතාදර බවත් ඒ පුංචි කැදැල්ලේ තිබුණි.

තම ආයතනයේ ගැටළු ගැන ඔහු ඇයට කීවේ දශකයක් ජීවිතය බෙදා ගත් සහකාරියකට කියන්නාක් මෙනි. තමන්ට අම්මා විවාහ යෝජනා ගෙනෙන සැටිත් තමන් ඒවා අවලාදයෙන් ඉවත දමන සැටිත් ඇය කීවේ උපහාසයෙනි. තමන් තවම විවාහ වෙන්න සිතා නැති බවත්, ජීවිතයට විවාහය අත්‍යාවශ්‍ය ද යන්න තවමත් සිතන බවත් ඔහු දාර්ශනිකව පැවසීය. තමන් කැමති ඒ වගේ කොල්ලන්ට බව ඇය විවෘතවම කීවාය. නූතනයේ සුළඟක් කවුළුව අතරින් විත් ඔවුන්ගේ සුවඳ ගෙන පිටව ගියේය.
බසය ගමනාන්තයට ලඟා විය.

ඔහු ඇයට සමු දුන්නේ දුරකථන අංක හුවමාරු කර ගනිමිනි. ඇය ඔහුට දුන් ප්‍රේමවන්ත සමුදීම පළමු දිනයකට වඩා බොහෝ සමීප වූවකි. ඇය නොපෙනී යන තුරු ඔහු බලා හුන්නේ ප්‍රේම වියෝගය පිරුණු දෑසින් බව හැරී හැරී ගිය ඇය සිතුවාය.

අනෙකා තමන් ගැන ආලයෙන් මත් වී ඇතැයි දෙදෙනාම සිතූහ.


++++++++++++++

ඔහු ආපහු හරවා එන එම බසයටම නැග්ගේ බැසිය යුතු තැන පසුවී බොහෝ දුර බැවිනි. ජීවිතය ආයෝජන සමූහයක්. කාර්යාලයෙන් එන විට ඔහුට සිතා තිබුණි. ජීවිතය ඇත්තේ විඳින්නයි කියා දැන්  ඔහුට සිතේ. වසරක දෙකක වින්දනයට ආයෝජනයක් සිදු කරන්නට යෙදුනු බැවිනි.

"
හරියට වැඩ තිබ්බා. සිකුරාදානේ" ගෙට ගොඩ වෙන ගමන් ඔහු බිරිඳට පැවසීය.

"
ඔය වැඩ කරන තරමට ඔයාට ප්‍රොමෝෂන් එකක් දෙන්නැති එක හරි අසාධාරණයි" බිරිඳ  පැවසුවාය. .

++++++++++++++
ඇය පැමිණියේ ත්‍රීරෝද රියකිනි. ඇයට ද ඔහුට මෙන්ම බහින තැන අමතකව ගොස් ඇත. ගෙට ගොඩ වී මොහොතින් නාන කාමරයට වැදුනේ මුවගට නැගෙන සිනහව සඟවා ගන්නටයි.

කන්නාඩියෙන් ඇයට ඇගේ රුව පෙනේ. පුංචි කොල්ලන් දැලේ වැටෙන තවමත් නොවැහැරුණු ලාබාල පෙනුම ගැන ඇය තුටු වූවාය.

"
අද ඕකෙන් එන්නේ නැද්ද?" රූපවාහිනියේ ක්‍රිකට් තරගය බලමින් හුන් සැමියා පැමිණ ඇගේ සොඳුරු දැහැන බිඳින ලදී.

++++++++++++++

තවත් දවසක තවත් තැනක තවත් ආදර කැදැල්ලකි. තවත් අහම්බයක් පමණක් නොව දෛවයේ අපූර්ව සරදමක් ද වූ ඒ හමුව මතු දිනයක සම්පුර්ණ වනු පිණිස ආදර චතුරශ්‍රයේ කොටසක් කලකට පෙර ම අඳින ලදී.

"බිරිඳ" "සැමියා"ට  ගුලි වූවාය. මේ කාමරය ඔවුන්ට හිමි වූවක් නොවේ. එයට ගෙවා ඇති කාලය නිමා වෙන්නට නියමිතයි. කලක් තිස්සේ සිදුවන ඔවුන්ගේ තවත් එක හමුවක අවසානයත් ලං වී ඇත.

"
වෙලාවකට මට වයිෆ් ගැන දුකයි" වරදකාරී හඬකින් "සැමියා" පැවසීය.

"
එයා මාව ඉම්ප්රෙස් කරන්න ගන්න මහන්සියක්. ඔෆිස් එකෙන් එලියට එන්නෙත් මේක් අප් දා ගෙන රූප රාජිනියක් වගේ"

"
බිරිඳ" ද සුසුමක් හෙළුවාය.

"
අනේ පව් අපේ හස්බන්ඩ් නම් කෙල්ලෙක් දිහාවත් බලන් නැතුව ඇති. එයාට මාරෙට වර්ක් මෙයා. ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. වහලෙක් වගේ වැඩ"

[පෙබරවාරි  03 දිනමිණේ "කෙටිම කෙටි කතා" තීරුවේ පලවූ කතාවකි. ස්තුතිය කාංචනාට]

[කතාවට වස්තු විෂය සැපයු බස් සෙක්ස් ගැන කියා දුන් පෝස්ට් හා කොමෙන්ට් ලියු හැමට "අති විශේෂ ස්තුතිය" හිමි විය යුතුය]