Thursday, July 19, 2012

කවුන්ටර් මාකටින්

නිවසක් කුලියට දීමට තිබේ.

"හෙලෝ... ඔයාලගේ ගෙදරක් කුලියට දෙන්න තියෙනවද ... ... හරියේ?" කාන්තාවක් අසන්නීය.

" ආ ඔව්"

"කියන්නකෝ විස්තර"

"කාමර තුනයි. .... .... ... ලොකු වත්තක්. ලස්සන නිස්කලංක හරියක්"

"මෙහෙමයි, අපි හොයන්නේ මේක බිස්නස් එකකට. ආයුර්වේදයක් දාන්න. අවුලක් නැද්ද?"

මට ඒ ගැන හරියටම නොවැටහේ.

"ඒ කියන්නේ මොන වගේ බලපෑමක් ද ගෙදරට වෙන්නේ?"

"නැහැ මොකුත් වෙන්නේ නැහැ. අපිට ඔයාලගේ කැමැත්ත විතරයි අවශ්‍ය"

"බලපෑමක් නැතිනම් මට අවුලක් නැහැ"

"අපි එන්නද බලන්න එහෙනම්."

"හරි අවුලක් නැහැ"

හමුවට කාල නීර්ණය කරගෙන දුරකථනය විසන්ධි විය.

පළාත ගැන නොදන්නා බව කියූ නිසා එන්නට කීවේ දුර බැහැර හන්දියකටයි. එතන සිට යන හැටි අනාගත කුලී කාරිය දැන හුන්නේ නැත. බස් විස්තර ද නොවැටහෙන බවක් කී නිසා ද මා ද ඒ මගෙහිම යන නිසාද ලිෆ්ට් එකක් දීමට අවසානයේ එකඟ වීමි.

කියූ තැන රිය නවතා විපරමින් බැලුවද ආයුර්වේද වෙදෙකු හෝ එවැන්නෙකු පෙනෙන්නට නැත. අවසානයේ නැවත ඇය ඇමතුවෙමි.

හිඳ ගෙන හුන් තැනින් නැගිට කෙල්ලෝ තිදෙනෙක් සිනහවතින් ආහ. තරුණ වෙද කෙල්ලන්!!! කළු, සුදු, පුෂ්ටිමත්, කෙසඟ විවිධ ස්වරූප වලින් යුතු සියල්ලෝම ජැන්ඩි පහට හැඳපැළඳ හුන්හ. නිවසට යන පාරට රිය හැරවීමි.

එකියකගේ ජංගමය නදදෙන්නට විය.

"හලෝ, හානේ ඔයා ගාලු ගිහින් ආවාද? ඔච්චර ඉක්මනට. නැහැ අනේ. මට තව පැය එකාමාරක්‌ විතර යාවි. ඉවර වෙලා කෝල් කරන්නම්" ඇය කීවාය.

"ඔයාල හොඳට බලන්න මෙතැන ඔයාලාට ගැලපෙන තැනක් ද කියා. මොකද අපේ ගේ ප්‍රධාන පාරට කිලෝ මීටරයක්‌ විතර දුර තියෙන්නේ." කුකුස විසින් සිහි කැඳවන ලද මගේ කවුන්ටර් මාකටින් චින්තනය අවදි වූයේ එලෙසිනි.

"අපි පත්තරේ නේ ඇඩ් එක දාන්නේ. අවුලක් නැහැ සර්" වෙනත් එකියක් කියයි.

සර්? මේ මට?

"ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඔයාගේ ගේ ළඟ බෝඩ් එකක් දානවානේ." කෙල්ලන්ගේ ලොක්කිය පවසන්නීය.

තවත් ජංගමයක් හඬ දේ.

"ඔව් ඔව් ඉන්න කියන්න. තව පැය දෙකක් යාවි. ඉන්න කියන්න"

මෙයාකාරයෙන් සුළු කිලෝ මීටර ගණනට බොහෝ දෙනෙකු කතා කළහ. කෙල්ලන්ට වැඩ අධික හවසක්‌ වගෙයි.

"පාර අයිනේ නැති උනාම ආයුර්වේදෙට ලෙඩ්ඩු එන්නේ කොහොමද?" තවත් කවුන්ටර් මාකටින් පාරක් කරමි.

"අපේ ඉන්නේ එකම කස්ටමර්ස් ලා. එයාලා පුරුදු උනාම එනවා"

"කොහොමත් ගොඩක් අය අරගන්නේ නැහැ අපි" ලොක්කිය පැහැදිලි කරයි.

"ඔයාලා කරන්නේ පාරම්පරික වෙදකම ද?"

"මෙහෙමයි. මේ ඔක්කොම පාරම්පරික තමා. පංච කර්ම කියන්නේ. වෙදකම එක්කම අපි සම්බාහන ක්‍රම එහෙමත් කරනවා."

"ආහ්, ඇත්තද?"

සුපැහැදිලි කරුණ බොරුවට විස්මයට නගන්නට වෙර දැරීමි. හරි නැහැනේ මම මේක කෙලින් කියන එක. උදේ ආපු එක්කෙනෙක් ඇඩ්වාන්ස් කරපු බව අද රෑට කියනවා. ඉවරනේ කේස් එක.

"මෙන්න මේක තමා ගෙදර"

කෙල්ලෝ මා පසුපස එති. නිවස පරීක්ෂා කරති. එකිනෙකාට කුටු කුටු ගාති.

"මේකයි වැඩේ. මෙතන රෙසිඩේන්ෂල් තැනක්. ඔයාලාට පාඩුයි"

මම තවමත් උත්සාහ කරන්නේ ආපසු හැරෙන්නටයි.

"ඒක අපිට අවුලක් නැහැ. අපිට මේ වගේ දුර තැනක් තමා හොඳ. අනික මේ වත්තත් තියෙනවා එතන වෙයිකල් ඔක්කොම දාන්න පුළුවන්." ලොක්කි කියන්නීය.

"මෙහෙමයි සර්, අපේ කස්ටමර්ස් ලා කැමති නැහැ එයාලගේ වාහන කවුරුවත් දකිනවට. ඉතින් පාරේ තියන්න බැහැ"

"මෙතන හරියටම හරි තැන"

අනික් කෙල්ලෝද කියති.

කෙලින්ම කීමේ අපහසුව නිසා මම ඉවසා උන්නෙමි.

"මේ පැත්තේ තාප්පේ පාතයි මැඩම්"

යාන්තම් කොස්සක් හසු වී.

"එහෙ කවුද ඉන්නේ"

"අපේ හිතවත් ම පවුලක්"

"එ ගොල්ලෝ කැමති වෙයි ද මෙතන ආයුර්වේදයක් කරනවට"

"මම දන්නේ නැහැ. අහන්න ඕනේ"

ලොක්කි මැඩම් මා දිහා රවා බලයි. තමුසෙට තේරෙන්නේ නැද්ද ඕයි. මැඩම් ලා සැරයි.

"මේකයි අයියේ, අපේ කස්ටමර්ස් ලා ඇතුලට ගන්නේ ටවල් එකේ. ඉතින් අර කට්ටියට ඒක පේනවනේ."

"අනික පිරිමි කස්ටමර්ස් ලා විතරයි එන්නේ. මේක කරන්නේ අපි ගර්ල්ස් ලා සෙට් එකක්. ඉතින් මේල් අය විතරයි නේ එන්නේ."

කෙල්ලෝ ලොකු කළු ලෑල්ලේ තඩි පොල් ගෙඩි අකුරින් ලියා කියා දෙති. මේ වගේ දෙයක් තේරුණු බව මෙයාලට තේරුම් කරන්නේ කොහොමද?

"ඒක තමා මම කිව්වේ මෙතන හරි යන එකක් නැහැ කියා"

තරමක නිහැඬියාවකි.

"ඒත් අනික් ඔක්කොම ගානට ගැලපෙනවා. අපිට පිටි පස්සෙම පාකින් හදතැකි. එතකොට පේන්නෙම නැහැ."

"මම කියන්නම්, ඔයා එයාලගෙන් අහන්න. කෙලින්ම කියන්න පංච කර්ම මසාජ් කරන තැනක් කියලා. ඔයා හෙට උදේ කියන්න. අපි ගන්න කැමතියි" ලොක්කි මැඩම් තීන්දුව දුන්නාය.

"ඔයාට බැරිද තාප්පේ උස්සලා හදන්න?"

"අම්මෝ හෙන ගානක් යාවි. මේ දවස් වල වෙන වැඩ ගොඩකුත් හිර වෙලා" මම වහා කීවෙමි.

අන්තිමේදී කෙල්ලන් තිදෙනා නැවත පෙර හුන් තැනටම හැරලන්නට මට සිදු විය.

අපරාදේ කිසිම හෙට්ටුවක්‌ නැතුව සෙට් උන ටෙනන්ට්ස් ලා. ඔන්න ඔහේ හෙට උදේම බැහැ කියනවා, එන ගමන් හිත සැහැල්ලු කර ගත්තෙමි.

---------------------------------

ප.ලි. [දිග ප.ලි.යක්]

"හෙලෝ මේ කතා කරන්නේ අර ඔයාලා ඊයේ බලන්න ආපු ගෙදරින්"

"අර .... ගෙදරද?"

"ඔව් ඔව්"

"මෙහෙමයි ඇත්තම කිව්වොත්..."

"කියන්න"

"මම මේක ගෙදරත් කතා කළා"

"හා"

"අපි අහල පහල අයත් ගැනත් කතා වුනා."

"ඉතින්"

"මේකයි සීන් එක"

මේ වනවිට සැහෙන්න ලොකු වලක් මහපටගිල්ලෙන් හාරා තිබුනද තවම කියන හැටි නොතේරේ.

"කියන්න කියන්න" එයාට මාර බිසී ද කොහෙද?

"දැන් ඔයාලා කරන්නේ හරිම හරි ආයුර්වේද මසාජ් ම වුණාට..."

"ඔව් ..."

"දන්නවනේ අද කාලේ හැටි. ඉතින් ඒකයි මං කල්පනා කලේ"

"ඔයාගේ නේබර්ස් ලා අප්සෙට් යනවනේ නේද? ඔව් අපිත් ඕක ගැන හිතුවා. අපිටත් බිස්නස් එකට ප්‍රශනයක් කරගන්න ඕනේ නැහැනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අපි වෙන ගෙයක් හොයා ගන්නම්"

"ඒක තමා මම කියන්න හැදුවෙත්"

"හරි හරි අවුලක් නැහැ. එහෙනම් බොහොම ස්තුතියි"

"ඒක තමා... මොකද ඔයාල කොච්චර හරියට කලත් අදකාලේ ..."

දුරකථනය විසන්ධි විය.