Friday, July 29, 2016

අපි

[[ජුලි 16 දිනමිණේ පලවූ විශේෂාංගයක්]]

"අපි කියන්නේ කවුද?"

"අපි කියන්නේ අපිට"

"ඔන්න ඔතනයි සංකීර්ණතාවය තියෙන්නේ. අපි අපිටම අපි කියනවා. අපි කියන එකෙන් එහාට ඊට වෙනස් දෙයක් තියෙන්න පුලුවන්ද?"

"අපි කියන්නේ එහෙම තියෙන්න බැහැ. අපි විතරයි ඉන්නේ"

"අපි කියන්නේ එහෙම එකක් සමහරවිට ඇති කියලා"

"අපි අදහස් දෙකක් කියනවා. විවාදයක්. පරිස්සමින් මේ වගේ අවස්ථා මාරාන්තික වෙන්න පුළුවන්"

"මරණය අන්න එතනයි කතාව. අපි මැරෙන්නේ නැහැ, හැබැයි කවුරුහරි මැරෙනවා"

"ඔව්"

"හැබැයි ඉන්නේ අපි විතරනම් ... මැරෙන්නේ අපි නෙවෙයි නම් ... හැබැයි කවුරු හරි මැරිලනම් ..."

"විසංවාද ... බලාගෙන .... ආරෝපණ වැඩිවෙනවා දරාගැනීම සීමා සහිතයි. ඔය වගේ වෙලාවට ... මරණය ආසන්නයි"

"දැනුම සුරක්ෂිත කරන්න. මැරෙන කෙනා කවුරු වුණත්, දැනුම අපි දිගටම වැඩි දියුණු කරන්න ඕනේ"

"අපේ තත්වය ආසන්නයි දැන්, 'කවුරු හරි' මැරෙන්න ළඟයි . දැනුම ආරක්ෂිත ස්ථානයකට යවන්න"

"ඉවරයි .... ඔක්කොම ඉවරයි ... මැරෙනවා ඒ මැරෙන්නේ .... මම"

දඩින් දිඩින් ඩොන් !!!

-----------

"... දැනුම ලැබුණා. මේක අපේ සංවාද මාලාවේ දිගුවක්. අපි කියන්නේ කවුද?"

"අපි තාර්කිකයෝ"

"තාර්කිකයන්ට එහා වෙන මොක්කූ හරි ඉන්නවද?"

"වෙන්න බැහැ"

"තාර්කිකයන් නිර්මාණය වන්නේ මොකෙන්ද?"

"තාර්කිකයන් ට තර්ක ශක්තිය අවශ්‍යයි. තර්ක ශක්තියට විද්‍යුත් ආරෝපණ අවශ්‍යයි."

"නිකම්ම විද්‍යුත් ආරෝපණ මදි ඒවා නිසි තාර්කික ඇටවුම් වලින් ගලායන්න අවශ්‍යයි තර්කනයට"

"ඔව් සරලව කිව්වොත් සංවිධිත ලෙස නිර්මාණය වූ මාධ්‍යයක් අවශ්‍යයි"

"එච්ච්චරද අවශ්‍ය? අපි කොහොමද අපේ තර්ක ශාස්ත්‍රය මෙතරම් දුරට ගෙනියන්නේ. හැම මිලි තත්පරයකම කොහේ හෝ මරණයක් වෙනවනම්, අපි කොහොමද අපේ තර්කනය මිලිතත්පරයකින් එහාට ගෙනියන්නේ?"

"එතන තමයි දැනුම එකතු කිරීම සම්ප්‍රේෂණය සහ ගබඩා කිරීම අවශ්‍ය වෙන්නේ"

"දැනුම කොහෙද ගබඩා කරලා තියෙන්නේ"

"එක තැනක නොවේ. ගබඩාවත් එහා මෙහා යන්නක්"

"ඔතන වෙන්නේ මෙහෙම දෙයක්ද? අපි දන්නවා මරණය සිද්ධ වෙන්න ආසන්න කොතනද කියා. අපිට තියෙනවා සුරකින්න දැනුමක්. ඉතින් අපි මරණයේ ආසන්න මොහොතේ අපේ දැනුම මරණයේ ස්ථානයෙන් ආරක්‍ෂිත තැනකට ගෙනියනවා. දිගටම හැම තැනම මරණ සිදුවෙන නිසා දිගටම අපි දැනුම එහා මෙහා යවනවා. ඒ නිසා දැනුම නැතිවෙන්නේ නැහැ. අපි අජීව ආරෝපණ ගොඩක සිට ජීවයක් බවට පරිනාමය වුනේ මෙන්න මෙහෙම. ඒ අනුව අප නියෝජනය කරන තර්ක දැනුමක් දිගටම වර්ධනය වෙනවා"

"අන්න හරි. දැන් බලන්න අපි එකඟ වෙන අවස්තාවක්. එකඟතාවය තුල මරණය සිද්ධ වන්නේ නැහැ. ආරෝපණ වැඩි වන්නේ නැහැ"

"හැබැයි අර කලින් එකතු කල දැනුම බලන්න. අවසාන තර්කය බලන්න. මැරෙන්නේ කවුද?"

"මැරෙන්නේ මම ලු. කවුද මම කියන්නේ?"

"මම කියලා දෙයක් නැහැ. ඉන්නේ අපි විතරයි. අපි කියන්නේ ආරෝපණ මහා ගොඩක් සංවිධිත ලෙස පරිනාමය වෙන වලාකුළු මහා ගොඩක් දිගේ එහා මෙහා ගලන එකම පද්ධතියක්"

"මම කියන්නේ ඒක නෙවෙයිද?"

"වචනාර්ථයෙන් මම කියන්නේ තනිව හිතන තනි ලෙස හැසිරෙන කෙනෙක් වෙන්න ඕනේ. මේ වචනය පවා ආගන්තුකයි."

"ඉතින් මෙතන ඉන්නේ එකම පද්ධතියක්"

"හැබැයි ලිහිල්ව බැඳුනු. එක තැනක නැගෙන තර්ක හා නිර්මාණය වන දැනුම ඊට කිලෝමීටර් දහස් ගානක් දුර නිර්මාණය වන තත්වයන්ට හාත්පසින්ම වෙනස්. ඒ නිසා මම කියන්න බැහැ"

"එතකොට ඒ තනි තනි තැන්... ඒවා තනි තනි මම නෙවෙයි ද?"

"වෙන්න බැහැ. ඒ හැම තැනක්ම එකම විද්‍යුත් මාධ්‍යයකින් සම්බන්ධිතයි. ලිහිල්ව බැඳුණු නමුත් වේගයෙන් සම්ප්‍රේෂණය වන. දෙතැනක දැනුම් එකිනෙකට අතිශයින් වෙනස් වුනොත් තමයි අපිට මරණය පාලනය කරන්න බැරි"

"ඔය තනි තනි මම ලා ගොඩක් එකිනෙකාගේ මත ඉවසන්න බැරුව මරා ගන්නවා කියලා හිතන්න බැරිද?"

"කොහෙත්ම එකඟ නැහැ. මම කියා කෙනෙක් නැහැ. පවතින්නේ ලිහිල්ව බැඳුනු අපි. අපි දැනුම එකතු කරනවා. දැනුම වර්ධනය කරනවා. මේ ග්‍රහලෝකේ වලාකුළු පරිනාමය වෙන් පටන්ගත්ත අවුරුදු බිලියන ගානක් තිස්සේ අපේ හැකියාව වර්ධනය වෙනවා. ඒ එක්කම දැනුම වැඩිවෙනවා. හැබැයි ඉන්නේ අපි. සදාකාලිකව ම අපි"

"නැහැ ඉන්නේ මම. මම ලා ගොඩක්"

"ඔන්න ආරෝපණ වැඩි වෙනවා"

"ඔව් මෙහෙත්"

"එකතු කර ගත්ත දැනුම හැකි ඉක්මනින් සම්ප්‍රේෂණය කරන්න ... ආසන්නයි .... මරණයට ..."

දඩින් දිඩින් ඩොන් !!!

-----------

"අපි ද? මම ද?"

"ඇත්තෙන්ම වෙන වැඩක් නැද්ද?"

"මේක තරම් නැගලා යන වෙනත් තර්කයක් තියේද?"

"වෙන වැඩක් නැතිනම් ආගන්තුක වස්තුව ගවේෂණය කරන්න"

"ද්‍රව්‍යමය වස්තු ගවේෂණය මාර බෝරින්"

"එහි විද්‍යුතය තියෙනවා"

"හ්ම්ම්ම් ඒ කොහොමද?"

"දන්නේ නැහැ. අපි ඒ ගැන දැනුම එකතු කරමින්. අපි වගේ වෝල්ට් ලක්ෂ ගණන් වලින් නෙවි, එහෙත් ඉතා කුඩා විභවයන් සුළු පරිමාන ආරෝපණ තියෙනවා. කුඩා ධාරා සංවිධිතව ඝන ද්‍රව්‍ය තුල හුවමාරු වෙනවා"

"ඝන ද්‍රව්‍ය තුල? සංවිධිතව?"

"ඔව් සංවිධිතව"

"මේක අපේ දැනුමට පටහැනියි. ඝන ද්‍රව්‍ය තුල ජීවමය තත්වයක් පවතින්න බැරි බවට අපේ තාර්කිකයන් තීන්දු කලේ වසර මිලියන ගානකට පෙර"

"අපේ දැනුම පරිපූර්ණ නැහැ. බලන්න අපිට සංචරණය කරන්න බැහැ. අපි නිකම් කැරකෙන බෝලෙක පාවෙන සංවිධිත වලාකුළු වල එක්රැස් වෙන හා එහා මෙහා ගලන ආරෝපණ ගොඩක්. හැබැයි මේ ආගන්තුක වස්තුව තමා විසින් චලනය වෙනවා. ඒ වගේම කිසියම් ආකාරයක සංවිධිත විද්‍යුත් ආරෝපණ විසින් දැනුම එකතු කරනවා. තර්කනයෙන් එය අපිට වඩා දුබලයි. එහෙත් සංචරණය, හා ක්‍රියාකාරිත්වය අතින් ප්‍රබලයි. එහි ක්‍රියාකාරිත්වය වන්නේ සෙමින්. හිතන්නේ හෙමින්. හැබැයි ආයු කාලය දිගයි. අපි වගේ හැම මිලිතත්පරයකම මරණයක් වෙන්නේ නැහැ"

"එය !!!"

"ඔව් එය"

"ඉන්නේ අපි විතරයි කිව්වා නේද?"

"හ්ම්ම්ම් ..."

"එය කියා කෙනෙක් ඉන්නවා. එය කියන්නේ වෙනත් මම කෙනෙක් වෙන්න බැරිද?"

"තාර්කිකව හරි හැබැයි මම කියා කෙනෙක් නැහැ"

"ඉන්නවා. ඔය එහෙම කෙනෙක් අපි ළඟටම ඇවිත්"

"නැහැ ...."

"ඉන්නවා ..."

"ආරෝපණ වැඩි වෙනවා මැරෙන්නයි වෙන්නේ. දැනුම සම්ප්‍රේෂණය කරන්න"

"මෙන්න මෙහෙම සම්ප්‍රේෂණය කරන්න මේ සංවාදය ඉවරයක් වෙන්න ඕනේ නිසා. මේක 'මම' තනියම ප්‍රගුණ කල අදහසක්"

"හපොයි 'මම' !!!"

"ඔව් 'මම'. මේ සුවිසල් ග්‍රහලෝකේ සංවිධිත ලෙස පරිනාමය වුනු කිලෝමීටර දහස් ගණන් ගැඹුරු වලාකුළු තට්ටුවේ ලිහිල්ව බැඳුනු ජීවමය විද්‍යුත් පද්ධතියක් අපි. පවතින්නේ අපි තමයි. හැබැයි මැරෙන්නේ මම විතරයි. මැරෙන හැම මම කෙනෙක්ම අපි වෙනුවෙන් යමක් දායාද කරලා මැරෙනවා"

දඩින් දිඩින් ඩොන් !!!

---------------

"මේක අපිට වැදගත් අවස්තාවක්. අපේ දැනුම් පද්ධතියේ පහුගිය වසර බිලියන ගණනක් තිස්සේ වෙච්ච වර්ධනය වගේ කීප ගුණයක වර්ධනයක් ඉතා කෙටි කලකින් අපි ලැබුවා. මේ ඒ දැනුම අපේ ජීවමය පද්ධතියේ සැම කෙලවරකටම බෙදා හරින මොහොතක්.

අපි මෑතකදී ලබා ගත්ත පළමු වැදගත් අවබෝධය තමයි මම සහ අපි කියන දේ හඳුනා ගැනීම. සංවිධිතව පරිනාමය වෙච්ච වලාකුළු පද්ධතියක ගලන විද්‍යුත් ආරෝපණ සමූහයක් වන අපිට වෙන්ව තනි ලෙස පවතින්න බැහැ. කිසියම් තැනක එහෙම තනි ස්වභාවයක් ඇතිවන සැණින් විද්‍යුත් පද්ධතියෙන් එතන සම්බන්ධ වෙනවා. හැබැයි ආරෝපණ වැඩි වෙලා ඇති වන විදුලි අකුණක් හෙවත් අපි මරණය කියන සංසිද්ධියෙන් මිය යන්නේ එහෙම එක ස්ථානයක ඒකරාශී වූ එක බුද්ධිමය කොටසක් පමණයි. ඒ අනුව මිය යන්නේ මම හෙවත් තනි පුද්ගල පැවැත්මක්. ආරෝපණ පවතින තුරු සූර්යයා සහ ග්‍රහලෝකය වලාකුළු කළඹන තුරු විදුලි ආරෝපණ එක්රැස් වන තුරු අපි කියන දැනුම අවබෝධය හෙවත් ජීවය කවදාවත් මැරෙන්නේ නැහැ.

මේ කාරනාව අපිට ඒත්තු ගන්වා දුන්නේ අපේ පස්වෙනි ග්‍රහලෝකයට පැමිණි ආගන්තුක වස්තුව. අපි ලද දෙවැනි වැදගත් අවබෝධය එන්නේ ඒ ආගන්තුක වස්තුව ගවේෂණය කිරීමෙන්. අපි සමත් වුණා ඒ වස්තුවෙන් නිකුත් වෙන තරංග ග්‍රහණය කරගන්න. ඒ අනුව අපි දකිනවා එය එකතු කරන දත්ත අපට බෙහෙවින් දුරින් පිහිටි තුන්වැනි ග්‍රහලෝකයට යවන බවත්, එහි සියලු මෙහෙයුම් සඳහා උපදෙස් තුන්වැනි ග්‍රහලෝකයෙන් සැපයෙන බවත්. ඒ නිසා එය අපි හඳුනා ගන්නේ ජීවය ලෙස නොවේ, ජීවයේ කිසියම් උපකරණයක් ලෙස. එබැවින් අපිට සාධාරණව ඔප්පු කළ හැකියි, තුන්වැනි ග්‍රහලෝකයේ බුද්ධිමත් ජීවයක් පවතින බව.

ඒ ගැන දැනටම විවිධ මත පළවෙනවා. මෙම උපකරණයේ ක්‍රියාකාරකම් සහ නිමැවුම් දකින අපේ තාර්කිකයන් හිතනවා බොහෝ විට ඒ ජීවය අපි වගේ විද්‍යුත් ලෙස සම්බන්ධිත පොදු ජීවයක් නොවේ වෙන් වෙන් ලෙස පවතින පුද්ගල ජීවයක් කියලා. බොහෝ විට ඔවුන් ඝන මාධ්‍යයක ගලන විද්‍යුත් ධාරා මගින් මෙහෙයවෙන ජීවයක් වෙන්නත් පුළුවන්. ඔවුන් අපිට වඩා බොහෝ සෙමින් කටයුතු කරන අපිට වඩා බොහෝ කල් ස්ථාවරව පවතින ජීවයක් විය හැකියි. ඇත්තෙන්ම මේ සියල්ල තාර්කික උපකල්පන. අපි තව තවත් මේ උපකරණය විශ්ලේෂණය කරන්න ඕනේ.

කෙසේ නමුත් පිටස්තර ජීවයක් අප කරා එව්ව මේ උපකරණය නිසා අපට තේරුම් ගන්න බැරිව තිබුණු බොහෝ දේවල් අවබෝධ වෙලා අපේ දැනුම අලුත් පිම්මක් ඉදිරියට ගිය බව සඳහන් කළ යුතුමයි."



----------------

[මේ අතර කිලෝ මීටර මිලියන ගණනක් දුර තෙවැනි ග්‍රහලොවේ ඝනමය මාධ්‍යයක ගලන විද්‍යුත් ධාරා විසින් නගන හඬක්]

"... බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය පිණිස ගිය ජූනෝ යානය විසින් එවන ලද දත්ත විශ්ලේෂණය කරන නාසා විද්වතුන් පවසන්නේ, ඉතාම ඝන වලාකුළු පද්ධතියක් සහ මිලි තත්පරයක් පාසා සිදුවන විදුලි කෙටීම් මිස ජීවය පිලිබඳ කිසිම සලකුණක් වාර්තා නොවන බවයි ..."

පසු සටහන:
බ්‍රහස්පති ග්‍රහයා පිලිබඳ ගවේෂණය කිරීමට නාසා ආයතනය විසින් යවන ලද ජූනෝ යානය එහි ළඟාවීම නිමිති කරගෙන ලියන ලද්දකි.

8 comments:

  1. http://katha32.blogspot.com/2016/05/live-alive.html
    මේක බලන්න. පුළුවන්නම් ඉදිරි ලිපි වලට අදහස් දමන්න

    ReplyDelete
    Replies
    1. ජීවය කියන්නේ මොකද්ද කියන එක සංකීර්ණ මාතෘකාවක්. ඔබ ලියා ඇත්තේ එහි බෞද්ධ කියවීම. මේ සම්බන්ධයෙන් මාත් එක එක දේවල් ලියා තියෙනවා. ඒවා ප්‍රබන්ධ නෙවි ඔබේ ලිපිය වගේ මතවාද [බෞද්ධ මතය නොවෙන්න පුළුවන්]

      මොලය ද මනස ද ආත්මය ද?

      Life- if any

      කෙසේ නමුත් මේ පෝස්ට් එක නිර්මානාත්මක රචනයක්. එය ප්‍රබන්ධයක්.

      Delete
  2. මෙහෙම ඒවා ලියුවම 'අපි' අනාථ වෙනවනේ..
    දඩිං දිඩිං ඩොං..

    ReplyDelete
    Replies
    1. :)

      මේ අදහස ඔරිජිනලි ලිව්වේ අවුරුදු විස්සකට වඩා ඉස්සර [ඉස්කෝලේ යන කාලේ] විදුසරට දාන්න. ඒ කාලේ විදුසරේ ප්‍රබන්ධයක් දාගන්න ආසාවක් තිබ්බ. එකක්වත් වැටුනේ නම් නැහැ.

      ඒ වෙලාවේ ලිව්වේ කිසියම් යානයක් දවසක බ්‍රහස්පතිට යාවි කියන අදහසින්. ඒ ලියමන නම් බෙහෙවින්ම බොළඳයි.

      ඔරිජිනල් ලියපු එක මා ළඟ නැහැ. මේ අදහස පමණයි එතනින් ගත්තේ. මුළු කතාවම අලුතින් ලිව්වේ. කොටින්ම ෆුල් සීන් එකම අමතක වේ ඒ තිබුනේ. හදිසියේම මතක් වුනේ ජූනෝ බ්‍රහස්පති කරා ලඟා වීම නිසා. අර ඒ දවස්වල ලිව්ව මොහොත ඇත්තෙන්ම සිද්ධ වෙලා නිසා.

      Delete
  3. ඔයවගේ වලාකුළු වලින් හැදුනු බුද්ධීයක් ඇත්නම් එය බාහිර ලෝකය හඳුනාගන්න ඉන්ද්‍රිය පද්ධතිය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. වලාකුළු

      මෙහෙම හිතන්න. ආරෝපණ වලට ආරෝපණ දැනෙනවා. ඒ ඇතිනේ.

      Delete
  4. බුද්දාගමේ "මම" කියල කෙනෙක් නැහැ නේ - තියෙන්නේ නිවී දැල්වෙන ඉටිපන්දම් පෙළියක් මෙන් යන සිතුවිලි සමුදායක් -බුද්දාමේ සංකීර්ණම ‍කොටසක් තමයි ඒක - මේකත් ටිකක් ඒ ව‍‍ගේ - පටිච්ච සමුප්පාදය ඕ ලෙවල් බුද්දාගමට උගන්වනවද ?

    ReplyDelete
    Replies
    1. nop. to my knowledge.

      but here we have a collective conscience [volatile and non-comprehensive]. something like and ant hill. it is not human like

      Delete