Friday, January 20, 2017

විප්ලවය

[ජනවාරි දහ හතර සහ ජනවාරි විසි එක දිනමිණේ පලවූ ප්‍රබන්ධයකි]

මාර්ගය අන්ධකාර ය. ශිශිරයේ හිම තැන තැන මිදී තිබේ. කෙටි දිවාකාලයේ අවසානය උදාවත්ම මිනිස්සු නිවෙස් කරා ගොසිනි. දිනයේ මගීන් ගමනාන්ත වෙත හැර ලූ ස්වයන් ධාවක මෝටර් රථ තම රාත්‍රී ලැගුම් පොළවල් සොයා ඇදෙති.

හිම අතර මනාව පෙනෙන දිලිසෙන ලුමිනස් තැඹිලි හිම කබායක් අඳුරු ගුඩ සෙවනැලි අතර සෙමෙන් ගමන් කරනු හොඳින් බලන්නෙකුට පෙනෙනු ඇත. ඉනික්බිති ඒ කබාය පසෙක වූ අපවහන උමගකට විවර වන සිදුරක් හැර එහි කුඩා ඉනිමග දිගේ අතුරුදන් වී යයි.

කාර්මික නිලධාරියෙක්. බිස්නස් ඈස් යුසුවල්!!!

තාක්ෂනය මෙතරම් දියුණු වුවද සියල්ල ස්වයංක්‍රීය වුවද තවමත් මිනිසුන් අපවහන උමං තුල රිංගන්නේ මන්දැයි එසේ බලන්නෙකු විමසිය හැකිය. ඇත්තෙන්ම අපවහන පද්ධති වල දිය හිරවූ තැන් වී නම් ඒවා මුදාලීමට සමත් ස්වයංක්‍රීය රොබෝ උමං තුල ම පැවතුණි.

"ඔය කිව්වට රෝබෝවා හිර වුනොත්" කාර්මික නිලධාරි කමට හුරු වෘත්තීය බවකින් ව්ලැඩ් අසනු ඇත.

දැන් රෝබෝවා හිර වී ඇත. ඇත්තෙන්ම කිව්වොත් හිර වන සේ කිසිවෙකු කටයුතු කර ඇත. ඒ නිසා කාර්මික නිලධාරි ව්ලැඩ් හට උමග තුලට ගමන් කරන්නට සිදු වී ඇත. හෙවත් එසේ සිදුවන සේ ඔවුන් කටයුතු යොදා ඇත.

"ඔවුන්" ඒ ඔවුන්ගේ නමයි. උමං පද්ධතිය තාවකාලිකව ඔවුන්ගේ නිවස්නයි.

බිත්ති වලටත් කන් තිබුණා කීවේ අතීතයේය. දැන් බිත්ති වලට ඇස් තිබේ. ඒ ඇස් දිවා රාත්‍රී නොකඩවා ඒ ගමන් අවකාශය නිරික්ෂනය කරයි. එසේ එකතු කෙරෙන වීඩියෝ ෆීඩයන් කොහේදෝ ඇති දත්ත සංචිත වල එකතු කරයි. ඒ සංචිත හාරන පරිගණක වැඩ සටහන් අවැසි සියල්ල උකහා ගනියි. මිනිස් ක්‍රියාකාරකම්, ස්වාභාවික සංසිද්ධි, සත්ව චර්යා රටා, දූෂණ, වංචා, සොරකම් මෙකී නොකී සියල්ල සීතල කාමරයක සිටින කවුරුන් හෝ මිනිසෙකුට වාර්තා වනු ඇත.

ඉන්ටනෙට් ඔෆ් තින්ස් සහ බිග් ඩේටා යන නමින් පටන් ගත් තාක්ෂණික විප්ලවය අහවර වූයේ කුණු කානුවක යන කාර්මික නිලධාරියෙකු වුවද පරිස්සමින් පියවර තබන්නට වන තැනකයි. ඇත්තෙන්ම වෙන කිසිවෙකුත් මේ ගැන ඒ හැටි මායිම් කලේ නැත. "පද්ධතිය" කියන්නාක් මෙන් ඔබ සොරෙකු නොවේනම් ඔබ වන්චනිකයෙකු නොවේනම් ඔබට බිය වීමට දෙයක් නැත. ඔබේ පුද්ගලිකත්වය කිසිම මිනිසෙකුට නොපෙනේ. ඒවා දකින්නේ පරිගණක වැඩ සටහන් විසිනි. ඒවා මිනිසුන් දකින්නේ ඔබ කිසියම් දුශ්චර්යාවක නියැලෙන්නේ නම් පමණි. එහි වරදක් නැත.

එහෙත් "ඔවුන්" සිතන පරිදි එහි වරදක් ඇත. කොටින්ම පුද්ගල නිදහස හාරන වැඩසටහන් කුඩා ගැටලුවකි. "පද්ධතියේ" මීට වඩා සුවිසල් බරපතල වැරදි ඇත.

පරිස්සමින් ඇවිද යන ව්ලැඩ් රෝබෝවා අසලට පැමිණේ. රෝබෝවා තවමත් හිර වෙලා ය. ඔහු රෝබෝවා පරික්ෂා කරයි. එහි කොටස් ගලවා නැවත එලෙසින්ම සවි කරයි. මෙය තේරුමක් නැති වැඩකි. එහෙත් පරිගණක වැඩ සටහනක් ගොනාට ඇන්දීමට තව පැයක් වත් මේ තේරුමක් නැති වැඩය කල යුතුය.

ඒ නීරස පැය එතන ගෙවූ පසු ඔහු සෙමෙන් එතනින් ඉවත් වේ. තවම නිසි  ලෙස නිරීක්ෂණය නොකරන සාවිය ඇත්තේ ඉන් එහාය.

"ඔවුන්" සිටින්නේ එතැන් ය.

"ව්ලැඩ් සහෝදරයා. දැකීම ප්‍රීතියක්" ඔවුන් එකා බැගින් ඔහුව වැළඳ ගනියි. මෙතනට ඒමට මේ කිහිප දෙනා විවිධ ක්‍රම වේද යොදා ඇත. කොටින්ම හිර වූ රෝබෝවා හැදීමට පවා කාර්මික ශ්‍රේණියේ විවිධ නිලධාරින් එවා ඇත. ඒ සියලු දෙනා ම "ඔවුන්" ය.

ස්ථිරවම ඉංජිනේරුවෙකු වන්නට හැකියාව තිබු ව්ලැඩ් කාර්මික රස්සාවක් තෝරා ගත්තේ මේ පාතාලය තුල "ඔවුන්" සඳහා ඔහු දුටු වැදගත්කම නිසාය. ඒ වන විටත් පෙරළිකාර දේශපාලන අදහස් ඔහු තුලට කාන්දු වෙමින් පැවතුනි.

"දියුණුයි කිව්වට ලෝකේ ඇති නැති පරතරය අති විශාලයි. ඒක එන්න එන්නම වැඩිවෙලා"

"හැමෝටම කන්න තිබ්බට තාක්ෂනය හැමෝටම නැහැ. තවම පූර්ණ කාලීනව පළඳින නැනෝ චිපයකින් 'බුද්ධි ජාලය' සමග සම්බන්ධ වෙන්න  පුළුවන් ජනගහනයෙන් 22% කට පමණයි."

"ස්වයන් ධාවන වාහන තිබ්බට තවම මිනිස්සු පයින් යනවා. මොකද වාහන සමාගම් වල මෙම්බර්ෂිප් ගන්න හැමෝටම සල්ලි නැහැ. පෙර පැවති පොදු ප්‍රවාහන සේවා නැවත ඇති කරව්"

"තාක්ෂනය දියුණු වෙලා ඔක්කොම ඔටෝමැටික් උනාම මිනිසුන්ට රස්සා  කොහෙන්ද? රැකියා වියුක්තිය සමග එන දරිද්‍රතාවය ලෝකය පුරා පැතිරෙනවා"

"අතීතයේ තිබ්බ ජාතික රාජ්‍ය වෙනුවට 'පද්ධතිය' හදද්දී කිව්වේ ආණ්ඩුවක් රාජ්‍යයක් ඕනේ නැහැ. මිනිස් නිදහස තමා අගයන්නේ කියල. ඒත් හොඳින් බලන්න. දැන් මේක පාලනය කරන්නේ හයි ටෙක් කොම්පැනි කීපයක් නේද?"

"රාජ්‍යයක් නැතිනම් හමුදාවක් මොකටද? තවදුරටත් මිනිසුන් ඝාතනය කරන්නේ නැතිනම් ඔවුන් මිනිසුන් අල්ලන්නේ ඇයි? අල්ලාගෙන ගිය සමහරුන් නැවත පැමිණ නැත. මේ නම් ශාපලත් යුගයකි"

මේ එවැනි අදහස් කීපයකි. "බුද්ධි ජාලයේ" අහුමුල්ලක, හඳුනා ගත නොහෙන ලෙස සැකසු පණිවුඩ කරුවන් අතින් විප්ලවයේ පණිවුඩය පැතිරේ. ඔවුන් කියන පරිදි ලෝකයේ විශාල ප්‍රමාණයක් "ඔවුන්" ය. විප්ලවයට අවශ්‍ය පසුබිම බිහිව තිබේ. දවසක් නැගෙන මේ මහා කැරැල්ලෙන් සමාගම් අත ඇති "පද්ධතිය" බිඳ දමා නව ලෝකයක් බිහි කල හැකිය.

ඇත්තෙන්ම ඔවුන්ගේ පිරිස් බලය ගැන හරි හැටි අවබෝධයක් කාටවත් නොවීය. මිනිසුන් ගණින තාක්ෂනය ඇත්තේ "පද්ධතියට" පමණි. එයින් ස්වායත්ත ව සෑම මිනිසෙකුටම ඇත්තේ ලෝකය කියා ඔවුන් සිතන සීමාවක අවබෝධයකි. එය බොහෝ විට පවුල අසල්වාසීන් වෘත්තීය ස්ථානවල සගයින් හැරුණුවිට බුද්ධි ජාලයේ ප්‍රෝෆයිල ගොඩකි.

හමුදාව තවමත් වීදි සරයි. තනි ප්‍රහාරක ත්‍රස්තවාදින් ලෝකය බිය ගැන්වූ අතීත යුගයේ එවකට පැවතී රාජ්‍යයන් තේරුම ගත්තේ මිනිසුන් මරා දැමීමෙන් ඒවා පාලනය කල නොහැකි බවයි. මරාගෙන මැරෙන්නාට මරණය ගැටලුවක් නොවේ. ඒ නිසා මිනිසුන් නිෂ්ක්‍රීය කිරීමේ ක්‍රමවේද අවශ්‍ය විය. තුවක්කු බෝම්බ වැනි දේ වෙනුවට වඩාත් ප්‍රබල එහෙත් අඩුවෙන් හානිකර දියුණු අවි සංවර්ධනය වූයේ ඒ නිසාය. ඕනෑම මට්ටමේ  සන්නද්ධ පුද්ගලයෙකු ක්ෂණිකව නිෂ්ක්‍රීය කරන්නට හමුදාවට පිළිවන. ඒ  නිෂ්ක්‍රීය කල මිනිසුන් අල්ලාගෙන යනු ලැබේ. එසේ අල්ලාගෙන යන සමහරු නැවත නිදහස් වී පැමිණෙති. තව සමහරු දීර්ඝ කාලයකට පසු එලියට එති. සිර ගෙවල් කියා දෙයක් නැති මුත් විවිධ මට්ටම් වල පුනුරුත්තාපන කඳවුරු ගැන අසන්නට ලැබේ. එහෙත් කවදාවත් නොපැමිණි මිනිසුන් ඇත. "ඔවුන්" ලෙස හැඳින්වෙන රහසිගත කල්ලියෙන් අතරින් අල්ලාගෙන ගිය බොහෝ දෙනෙකු ආපසු පැමිණ නැත.

කෙටි සතුටු සාමිචයකින් පසු නායකයෙකු ලෙස සැලකිය හැකි එකෙකු "ඔවුන්" අමතන්නට විය. කෙටි එහෙත් උද්වේගකර කතාවක අවසන් ඔහු  හැරුණේ පසෙක ආරක්‍ෂිත ලෙස සඟවා තිබු යමක් එලියට ගන්නා ව්ලැඩ් දෙසටයි.

"ව්ලැඩ් සහෝදරයා, අපිට පිරිස් බලය තියෙනවා. බුද්ධි ජාලයේ අපේ ප්‍රෝෆයිල එකින් එකට අපි සංගණනයක් යැව්වා. එයින් ලද ඉලක්කම් ඇත්තෙන්ම පුදුම කරවන සුළුයි. අපිට නැත්තේ තාක්ෂනය. ඒ නිසා ඔබේ  උත්සාහය අපිට වටිනවා"

"මගේ උත්සාහය ගැන දැනට සෑහීමකට පත්වෙන්න පුළුවන්. මෙන්න බලාගන්න බෝම්බයක්" පෙට්ටියක් තුල සැඟවූ යමක් අතට ගන්නා ව්ලැඩ් ආඩම්බරයෙන් කියයි.

"මොනවාද බෝම්බ කියන්නේ?" පසෙක හුන් සගයෙක් අසයි.

"බෝම්බ කියන්නේ පුපුරන ද්‍රව්‍ය යොදා සාදන ප්‍රහාරක අවියක්. ඉස්සර මේවා කැරලි කාරයින් සහ ආගමික අන්තවාදීන් නිතර යොදාගෙන තියෙනවා. ඒත් තාක්ෂණය දියුණු වත්ම 'පද්ධතිය' සමත් වෙනවා ඒවායේ  හැකියාව ඉක්මවා යන්න. ඒ නිසා තමයි ඒවා අභාවයට යන්නේ"

"ත්‍රස්තවාදය මුලිනුපටා දැම්මලු නේ. උන් කියන්නේ එහෙම"

"ඔව්. උන් හිතන්නේ එහෙම. ඒත් අපේ ශක්තිය උන් දන්නේ නැහැ"

"ව්ලැඩ් සහෝදරයා කොහොමද මේවායින් අපි දිනන්නේ. උන් ළඟ අපිට වඩා ආයුධ තියේනම්"

"මෙහෙමයි, එක මිනිහෙක් හෝ කීපයක් මේවා යොදා ගත්තට වැඩක් නැහැ. ඒ තනි උත්සාහයන් ව්‍යර්ථ කළ හැකියි. එහෙත් ලෝක ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් කොහොම හරි මේවායින් සන්නද්ධ කලොත්, අපිට එකවර පහර දෙන්න පුළුවන්. අපි දිනන්නේ සංඛ්‍යාත්මකව"

"අපි කොහොමද මේවා බෙදා හරින්නේ?"

"අපිට මේවා බෙදන්න ඕනේ නැහැ. මේවා හදන විදිහ මම සම්පුර්ණයෙන්ම රෙකෝඩ් කරලා තියෙනවා. අවශ්‍ය වන්නේ එය ආරක්ෂිතව 'බුද්ධි ජාලය' හරහා බෙදා හැරීම."

බොහෝ දෙනා ඔහු සමග එකඟ විය. ඊට වඩා කාලයක් ගෙන කොහේ හෝ තැනක පරිගණක වැඩසටහනක සැකයට පාත්‍ර වීමට නොහැකි නිසා හමුව එතනින් අහවර විය. දැන් හැමෝටම සැලසුමක් තියේ. ව්ලැඩ් සහෝදරයා අතීතයෙන් ගෙනා තාක්ෂනය ලොව පුරා සහෝදරයින් අතට පත්කළ යුතුය.

දෙවැනි හමුව පැවතියේ මාසයකට වඩා කලකට පසුවයි. ඒ වෙද්දී තම කේඩරය නව ආයුධයෙන් සන්නද්ධ වී ඇති බව ප්‍රීති ඝෝෂා මත හෙළි කෙරුණි. විප්ලවයේ තීරණාත්මක කාර්යභාරයක් සිදු කිරීමේ ප්‍රීතියෙන් ව්ලැඩ් ඉපිල ගියේය.



හමුදා රෝබෝවක් ඈත කොනකින් මතු වූයේ ඒ මොහොතේය.


එතැන් සිට සිදු වූ දේවල් ව්ලැඩ් ට අපැහැදිලිය. පරාජය හමුවේ එන අධි ක්‍රියාකාරිත්වයත්, නිෂ්ක්‍රීය කරණ ප්‍රහාරයේ බලපෑමත් නිසා මතකයන් මැකී ගොසිනි. කෙසේ නමුත් විප්ලවකාරයින් සපුරා අසරණ නොවන බව ව්ලැඩ් ට ඒ මොහොතේ සිහි වූ එකම දෙයයි. තමන් සතු බෝම්බ වලින් පහර දීමට ඔවුන්ට ගත වූයේ සුළු මොහොතකි.

නොසිතු ලෙස හමුදා රොබෝව කුඩු විය. නිෂ්ක්රීයකරන ප්‍රහාරය සාර්ථක  ලෙස සිදු නොවුනි. පළමු ප්‍රහාරය සාර්ථක විය. කැරැල්ල පටන් ගැනුණි.

අපවහන උමගක ප්‍රහාරයකින් පටන් ගත් කැරැල්ල ලොව පුරා විප්ලවයක්  ලෙස පැතිර ගිය ආකාරය ව්ලැඩ් ට මතකය. එහෙත් විප්ලවය අතරතුර තමන් කල කී බොහෝ දේ ව්ලැඩ් ට අමතකය. ඒ කාර්ය බහුල වීම නිසා කියා ඔහු සිතුවේය. "පද්ධතිය" නොසිතු මට්ටමේ ප්‍රහාර හැම තැනම සිදු වූ බව "බුද්ධි ජාලය" හරහා ව්ලැඩ් නිරීක්ෂණය කළේය.

විප්ලවය ජය ගනිමින් තිබුණි.

ඉනික්බිති විප්ලවය ජයගෙන තිබුණි.

නව ලෝකය බිහිවී තිබුණි. සැමට සමානත්වය, පද්ධතියෙන් නිදහස, තාක්ෂණයෙන් නිදහස ලබාගෙන තිබුණි. නව ක්‍රමයක් බිහිවිය. අත්‍යාවශ්‍ය මට්ටමේ කාර්මික පද්ධති වල ස්වේච්චාවෙන් සේවය කරන සාමුහිකයන් බිහිවිය. ආහාර නිෂ්පාදනය කෙරෙන සමූහ ගොවිපොළවල් හැදුනි. විප්ලවයේ සම්මාන රාශියකින් පිදුම් ලද ව්ලැඩ් සහෝදරයා එවැනි එක් සමූහ ගොවිපොලකට එකතු වී තම ශ්‍රමය නව ලෝකය වෙනුවෙන් පුදන්නට තීන්දු කළේය. විශාල තාප්පයකින් වට වූ ඒ ගොවිපොළෙන් එලියට යාමට ව්ලැඩ් කවදාවත් නොසිතීය. විප්ලවය දිනා ඇත. එහා මෙහා ඇවිදින්නට වුවමනාවක් නැත. විප්ලවයේ ජයග්‍රහණයත් සමගම එක්වරම පෙර පවතී දූෂිත "බුද්ධි ජාලය" නැතිව ගොස් වඩාත් නිරවද්‍ය හා  ජනතාවාදී නව බුද්ධි ජාලයක් පසුව ඇති වූ නිසා ලෝකය සමග මනසින් සම්බන්ධ විය හැකිය.

සියල්ල එසේ නිමා විය. සියල්ලෝ ඉනික්බිති සතුටින් විසූහ.

-------------------------

"ප්‍රොෆෙසර් වෑන් බ්රූගන් මට මුන් ගැන දුකයි ඇත්තෙන්ම" කර්නල් අහ්මඩ් බින් අල් සෙයිඩ් තම තට්ට හිස අතගාමින් පවසයි. "මගේ ළමයින්ගේ වයස"

"මේක නරකම දෙයක් නොවේ" පුනුරුත්තාපන වැඩසටහනේ පියා ලෙස නම් ලද මහාචාර්ය වෑන් බ්රූගන් මිනිස් හැගීම් සමග සෙල්ලම් කළ ද සංවේදී මිනිසෙකි. "ඉස්සර කාලේ මේ වගේ මිනිස්සු මරා දැම්මා. ඒක මහා අපරාධයක්. මේ නරක මිනිස්සු නෙවෙයි. මේ මිනිස්සු කිව්ව දේවල් ඇත්ත. ඇත්තෙන්ම ලෝකේ තියෙන ප්‍රශ්න"

"ඒ වුනාට මුන් කරන්න ගිය එක කලානම් මහා විනාශයක් වෙන්නේ. එදා අපි ටනල් එක රේඩ් නොකරන්න මුන් බෝම්බ හදලා හදන හැටි ලෝකේ  පුරා යවලා මහා වින්නැහියක් කරන්න හිටියේ"

"කර්නල් තනි මිනිස්සු කල්ලි කීපයකට ඊට එහා හිතන්න බැහැ. වැරැද්දක්  දකිනවා. පද්ධතියේ කොච්චර වැරදි තියේද? මනෝ විද්‍යාත්මකව බැලුවොත් සමහරු මේවා මැදහත්ව දරාගෙන ක්‍රමිකව වෙනසක් කරන්න සමත්. සමහරු එහෙම නැහැ. ඔවුන්ට සියල්ල ගලපා විසඳන උත්තර කෙටි කාලයකින් අවශ්‍යයි. අපිට ඒකට බණින්න බැහැ. තමන් බොහොම සුළු පිරිසක් බව තේරෙන්නේ නැහැ, සන්ක්යාත්මකව ගොඩක් ඉන්නවා කියලා හිතෙනවා. මේ සියල්ල ස්වාභාවික හැසිරීම්"

"ඒකටනම් එක හේතුවක් අපි දාලා තිබ්බ ප්‍රෝග්‍රෑම්. 'බුද්ධි ජාලයේ' වෙස් වලාගත්ත ස්පයි ප්‍රොෆයිල් සැහෙන්න තියෙනවා. ප්‍රොෆෙසර් මට තේරෙන්නේ නැත්තේ ඔබට පුළුවන් වුනාට ඔවුන්ගේ මනසේ නිෂ්ක්‍රීය කරන අවස්තාව මකලා විප්ලවය දින්නා කියලා බොරු පින්තූරයක් මවන්න ඇයි ඔබට බැරි ඔවුන්ගේ මනසේ තියෙන විප්ලවීය කතා මකලා සාමාන්‍ය මිනිස්සු ලෙස එලියට දාන්න"

"මේක අමාරු විද්‍යාවක් කර්නල් " මහාචාර්යවරයා හිසට තට්ටු කරයි. "මේක ඇතුලේ තියෙන්නේ අපි දන්නා සංකීර්ණම මැෂිම. තවම අපි දන්නේ ඔච්චරයි. ඒත් දවසක අපි එතනට ඒවි"

"එතකල් මේ මිනිස්සු හැමදාම මෙතනද?"

"එහෙමම නැහැ කර්නල්. සමහරුන්ට ටික කලකින් මේක වැටහෙනවා. ඔවුන්ගේ චර්යා හරහා හඳුනා ගන්න ඒ අය සමාජගත කරන්න අපිට වැඩසටහනක් තියෙනවා."

"අනිත් එවුන් ?"

"එයාලා හෙට දවසේ වඩාත් දියුණු ක්‍රමයකින් එලියට යවන්න ඕනේ. හැබැයි කර්නල්, අපි ලොකු අසාධාරණයක් කරලා නැහැ. මේ මිනිස්සු ලෝක ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙනවා. සමූහ ගොවිපොළවල්, සාමුහික ගම්මාන, කර්මාන්ත ශාලා, පර්යේෂණ ආයතන, මේවා ලෝකේ පුරාම තියෙනවා. ඔවුන්ගේ මනස තුල විප්ලවයෙන් පස්සේ කරන්න හිතා උන්නු දේවල් ම තමා අපි ඔවුන් ලවා කරවන්නේ. ලෝකය කියන්නේ මනසේ නිමවුමක් නම්, අපි ඔවුන්ට ඔවුන්ගේ ලෝකය හදා දීලා තියෙනවා. ඉතින් අපි වැරදිද?"

8 comments:

  1. දැන් ඔය බුද්ධි ජාලය හසුරවන්නට පරිගණක වලට අමතරව විශාල නිලධාරීන් පිරිසක් අවශ්‍යයි. එයාලා කැරලිකරුවන් හා එක්‍වුනොත් මොකද කරන්නේ?

    මේක ටෙලිනාට්‍යයක් හදන්න හොඳ කතාවක්. වැඩි වියදමක් නැතුව හදතහැකි.

    ජාලයට සහ කැරලි කරුවන් යට දෙපිරිසටම තියෙන්නේ කොමියුනිස්ට් හැදියාව. ඒ හින්දා ‍උනුත් එකයි, මුනුත් එකයි :)

    ReplyDelete
    Replies
    1. ඔබේ මිම්මෙන් කොමියුනිස්ට් නොවන පද්ධතියකට උදාහරණයක් දෙන්න පුලුවන්ද? මොකද ටෙක්නොක්රසි මත දුවන අරාජික පද්ධතියක තියෙන "කොමියුනිස්ට් ලක්ෂණ" ගැන හිතාගන්න බැහැ. එය මූලික වශයෙන් ප්‍රාග්ධනය සහ ලාභය මත පදනම් වෙන්න ඕනේ නිසා. කෝපරේට් සෙක්ටර් එක දැනුත් ඔය කියා ඇති ඩේට කලෙක්ෂන් මයිනින් බිග් ඩේටා වැඩ කරනවා. ඒවා අ මේ මොහොතේත් විවිධ හැසිරීම් අධ්‍යනයට යොදා ගන්නවා. මම මේ කතාවේ කියන ටෙක්නොක්රසිය විසින් පාලනය කරන ලෝකයේ ඔබ දුටු කොමියුනිස්ට් ලක්ෂණ දැනගන්න කැමතියි

      Delete
    2. දත්ත එකතු කිරීම නෙමෙයි ගැටළුව ඊට පස්සේ ඒවා හරහා මිනිසුන් හැසිරවීමයි කොමියුනිස් හැදියාව කිව්වේ.

      Delete
    3. ඔයවගේ තාක්ශණ තිබුනා නම් සමාජවාදය කාඩා නොවැටී තියාගන්න තිබුනා.

      Delete
  2. ලෝකය කියන්නේ මනසේ නිමවුමක් නම්, අපි ඔවුන්ට ඔවුන්ගේ ලෝකය හදා දීලා තියෙනවා. ඉතින් අපි වැරදිද?

    මරු එකට තියනවනේ ...

    ReplyDelete
    Replies
    1. විප්ලවය දින්න තැන්වල උනෙත් ඔහොම එකක් තමා. ලෝකය කියා දෙයක් මනසින් මවාගෙන ලෝකයෙන් හුදෙකලා බ=වෙනවා. කාලෙකින් විප්ලවීය දේශය තමා ලොකේ හොඳම රට. සන්තුට්ටි පරමං ධනං නිසා තමා තමා රවටාගෙන සන්තුට්ටිය උදාකරගන්න පුළුවන්

      Delete
  3. අම්මෝ මේක ..........................! 

    ReplyDelete
    Replies
    1. 2020 වෙඩි කාල මැරෙන්නයි වෙන්නේ

      Delete