Friday, March 10, 2017

සුරතල් මිනිසා

[මාර්තු  11 දිනමිණේ පලකළ විශේෂාංගයක්]

"කාල්සන් මහත්මයා. හදිසි තත්වයක්. ඔබේ අවධානය අවශ්‍යයි. වහාම පද්ධතියට අනුයුක්ත වන්න"

"මම නිවාඩුවක පස්සේ කතා කරමුද?"

"මහත්මයා ... මේ මොහොතේ ඔබේ පූර්ණ අවධානය අවශ්‍යයි"

"මොකද්ද ගැටළුව?"

"සමාවන්න ඔබේ නිවාඩුව මැද්දේ කරදර කරන්නට සිද්ධ වුනාට. මම නිකොල්. හදිසි අවස්තාව තුල ඔබේ සම්බන්ධීකරණය වෙනුවෙන් පද්ධතිය නිර්මාණය කළ කෘතීම බුද්ධි වැඩසටහනක්. මෙම හදිසි අවස්ථාවේ මුළු කාලය පුරාම ඔබේ පුද්ගලික සහායිකාවක් ලෙස දිගටම ඉන්න මම බලාපොරොත්තු වෙනවා"

"නිකොල් මම ආලෝක වර්ෂ ගණනක් එහා සප්ත තාරකා පද්ධතියක නිවාඩුවක් ගෙවමින්. මගේ නිවාඩුවටත් බාධා කරන්න මෙයනම් අපූරුම හදිසි අවස්තාවක් වෙන්න ඕනේ"

"ඔව් මෙය ඇල්ෆා වර්ගයේ හදිසි තත්වයක්. උපරිම මට්ටමේ."

"මේ මොන අවුරුද්ද ද නිකොල්?"

"පොදු යුගයෙන් වර්ෂ අටදහස් හාරසිය විසි වැන්න. ඔබ ඇයි එහෙම ඇහුවේ?"

"විශ්වය විනාශ වෙන්න වත් යනවද බලන්න"

"කාල්සන් මහතා මෙය විහිළුවට කාරණයක් නොවේ. අපට ඇත්තේ සීමිත කාලයක්. ඔබේ දිගුකාලින ආරක්ශාව පතා අපි ඔබව බැකප් කරන්නයි යන්නේ. ඒ සඳහා ඔබේ අවසරය අවශ්‍යයි"

"මාව? බැකප් කරන්න? ඒ මොකද්ද? මම අහල තියෙනවා අමරනීයත්වයේ වගන්ති අතර බැකප් කිරීමක් ගැන, ඒත් හරියටම ඒ මොකද්ද? ඔබට එය පැහැදිලි කළ හැකිද?"

"පෙර කී පරිදි මේ අවස්ථාවේ ඔබේ සියලු සම්බන්ධීකරණය කරන්නම තමා මා බිහිවුනේ සහ කැප වී ඉන්නේ. අපට පැයකට මදක් අඩු කාලයක් තියෙනවා. ඒ නිසා ඔබට මේ කරුණු පැහැදිලි කරන්න පුළුවන්."

"බොහොම ස්තුතියි නිකොල්. මම මේ අමරණීයත්වය ගැන දන්නේ බොහොම ටිකයි"




"බොහෝ දෙනෙක් අමරණීය වුනාට එය කරන ආකාරය දන්නේ නැහැ. අමරණීයත්වය කියන්නේ ඔබේ මනස සිරුරකින් තවත් සිරුරකට මාරු කළ හැකි තාක්ෂනයට මහත්මයා. එසේ මනසක් ඇතුළු කළ හැකි නිරෝගී අප්‍රාණික මිනිස් සිරුරු නිපදවීම තමා මේ තාක්ෂණයේ ආරම්භය. ඒ සමග මිනිසා අමරණීය කරන්න අපි සමත් වුනා"

"අපි කිව්වේ?"

"අපි කිව්වේ පද්ධතිය ඒ කියන්නේ සියලු මිනිස් ක්‍රියාකාරකම් මෙහෙයවන්න බිහි කරපු යන්ත්‍ර, ජාල සහ වැඩසටහන් සමූහය. මිනිසාගේ සුබ සිද්ධිය උදෙසා සිතීමේ හැකියාව ඇති පද්ධතියක් මිනිසා නිර්මාණය කළා. ඉනික්බිති මිනිසාගේ සියලු පහසුකම් සැපයීම කලේ අපි."

"ස්තුතියි. එතකොට බැකප් කරනවා කියන්නේ?"

"අමරණීයත්වය සඳහා කෙනෙක් පද්ධතිය සමග ගිවිසුමකට එද්දී පද්ධතිය බැඳිලා ඉන්නවා ඒ පුදගලයා සියලු තත්ත්ව යටතේ සුරකින්න"

"අනිවාර්යයෙන්ම"

"ඇත්තෙන්ම කිව්වොත් පද්ධතිය සුරක්ෂිත වන සියලු තත්ත්ව"

"හ්ම්ම්ම් "

"එතකොට මහත්මයා ඔබේ වත්මන් ශරීරයට අනතුරක් වේ නම් ඔබට නව ශරීරයක් දෙන්න අපි බැඳිලා ඉන්නවා. කොටින්ම ඔබ එය දන්නෙවත් නැහැ. ඔබට එය සුළු නින්දක් වගේ දැනෙන්න පුළුවන්. සමහරවිට එහෙමවත් නොදැනෙයි"

"වෙන්න ඇති ඇත්තෙන්ම මට මගේ ශරීරය කියන එක ගැන අහල තිබ්බට කිසිම අවබෝධයක්වත් නැහැ"

"ඇත්තෙන්ම ඔබ හරි මොකද මනස විවිධ අතත්‍ය පද්ධති රාශියක් එක්ක ව්‍යාජ සැබෑවක් ලෙස සම්බන්ධ වෙලා ඉන්නේ. පාර භෞතිකයේ තට්ටු ගානක් එහා තියෙන මනසට භෞතික සිරුර ඒ තරම් ග්‍රහණය වන්නේ නැහැ. ඉතින් ඔබට ඔබේ ශරීරය ගැන මනා දැනීමක් අවබෝධයක් නැතිවෙන්න පුළුවන්. එහෙත් මනස ක්‍රියාත්මක වන්නේ ශරීරය තුල මහත්මයා."

"එතකොට මොකද්ද මේ බැකප් කතාව"

"බැකප් කරන්න වන්නේ කිසියම් තත්වයක් තුල ඔබට අපට ශරීරයක් දෙන්න බැරි වුනොත්."

"ම්ම්ම්ම්ම් එහෙමත් වෙලා තියෙනවද?"

"මීට පෙර එහෙම වෙලා නැහැ කාල්සන් මහත්මයා. ඒත් එය විය හැකි දෙයක් නිසා එය සඳහන් වෙනවා අමරණීය වීමේ ගිවිසුමේ"

"බැකප් කලාම වෙන්නේ මොකද?"

"ඔබේ මනස දත්ත සංචිතය තුල අක්‍රීයව තැන්පත් කෙරෙනවා. හරියටම ඔබ නිදාගෙන වගේ. කවදා හෝ සිරුරක් ලැබුනම නැවත එය ඒ සිරුර තුලට ඇතුළු කළ හැකියි"

"ඒ සඳහා කොච්චර කාලයක් යනවද?"

"හරියටම කියන්න බැහැ. ඔබ වේටින් ලිස්ට් එකකට ඇතුළු වෙනවා"

"ඉතින් ඇයි මේක මගෙන් අහන්නේ? ශරීරයක් දෙන්න බැරිනම් වෙන කරන්න දෙයක් නැහැනේ"

"ඔබේ අවසරය අවශ්‍යයි මහත්මයා. ගිවිසුම අනුව එහෙමයි තියෙන්නේ"

"හොඳයි මම බැහැ කිව්වොත් මට තියෙන අනෙක් විකල්ප මොනවාද?"

"අමරණීයත්වය තවදුරටත් පවත්වා ගන්න බැහැ. එක්කෝ ඔබට මේ මොහොතේ කලබල රහිත මරණයක් තෝරා ගන්න පුළුවන් නො එසේ නම් ඔබට හදිසි තත්වයට මුහුණ දීලා ඒ තුලින් පණ බේරාගැනීමේ අවදානම් ක්‍රියාව තෝරන්න පුළුවන්. අපි තවදුරටත් වග කියන්නේ නැහැ"

"මම හිතන්නේ නැහැ මම ඒ දෙකම තෝරයි කියලා. ඒත් නිකොල් මට තව තරමක් වෙලා තියෙන නිසා මම ආසයි ඔබෙන් දැනගන්න තව විස්තර. මොකද්ද මේ මහා ලොකු හදිසි තත්වය?"

"විශාල ග්‍රහකයක් මව් ග්‍රහලෝකයේ වදින්න එනවා කාල්සන් මහත්මයා. ඝට්ටනයට තව පැය කීපයයි තියෙන්නේ"

"ග්‍රහකයක් ... ඔබ මාව හිනස්සනවා. තාරකා පද්ධති අතර ගමන් යන වෙනත් සූර්යයන් ගේ ග්‍රහලෝක වල නිවාඩු නිකේතන තනාපු අපිට ග්‍රහකයක් මව් ග්‍රහලෝකේ වදින එක ගැටලුවක් වෙලා. ඇයි ඔබට බැරිද එය පුපුරුවා දමන්න"

"කුඩා ග්‍රහක පුපුරුවා දැමීම සාමාන්‍ය දෙයක් කාල්සන් මහත්මයා සියවසකට දෙකකට වරක් සිද්ධ වෙන දෙයක්. ඒත් විශාලත්වයන්ගේ සීමා තියෙනවා. මෙය විශාලත්වයෙන් වැඩියි. අනික එය ඝට්ටන මාර්ගයක බව දැනගන්න ඉතා කෙටි කාලයක් අපට ලැබුනේ. මව් ග්‍රහලෝකය අවට ආකාශ වස්තු වල අසාමාන්‍ය කැළඹීමක් නිසා මෙය හදිසියේ අප දිහාට එන්න ගත්තේ. මෙය අපේ තාක්ෂණික සීමා තුල නොවැලැක්විය හැකි තත්වයක්. කළ හැකි සියල්ලම කළත් එහි කොටසක් හෝ ගැටෙනවා"

"හරි ඉතින් වැදුනාවේ. මම ඉන්නේ ඔතනට ආලෝක වර්ෂ ගණනක් දුර සප්ත තාරකා පද්ධතියක"

"සමාවන්න කාල්සන් මහතා ඔබ මනුෂ්‍ය සංචරණය ගැන මූලික කාරනා දන්නේ නැහැ වගේ. ඔබ කියන්නේ ඔබේ මනස. ඔබේ මනස ඔතන දේවල් වින්දාට එය දරණ සිරුර තවම තියෙන්නේ මව් ග්‍රහලෝකයේ"

"මොකක්?"

"ඔව් කාල්සන් මහත්මයා. පිටත අභ්‍යවකාශයේ තත්වයන් මනුෂ්‍ය වාසයට කොහෙත්ම සුදුසු නැහැ. එසේම උපරිම ප්‍රවේගයට ආසන්නයෙන් වන සංචරණයේ අධික ත්වරණයන් දරන්න මිනිසාට බැහැ. ඒ නිසා යන්ත්‍ර විසින් තමා ඒ ස්ථාන වල අපේ මොඩියුලයන් පවත්වාගෙන යන්නේ. මුලදී ඒ මොඩියුල හැදුවේ විද්‍යා දැනුම එකතු කිරීම, පර්යේෂණ හා කැනීම් කටයුතු උදෙසා. පහුකාලීනව අතත්‍ය අවකාශය දියුණු වත්ම ඒ පද්ධති වලින් මිනිසුන්ට නිවාඩු වෙලාවට එම ස්ථානවල අත්දැකීම ලබා ගැනීමේ ක්‍රමවේදයන් හදලා තියෙනවා. අභ්‍යවකාශ නිවාඩු නිකේතන භෞතිකව පවතින්නේ නැහැ. එය ඒ ස්ථාන වල පවතින පද්ධති විසින් නිර්මාණය කරන අතත්‍ය අත්දැකීමක්. ඔබේ මනස පද්ධතිය හරහා එතනට සම්බන්ධ වෙලා ඒ අත්දැකීම විඳ ගත්තට ඔබ භෞතිකව ඉන්නේ මව් ග්‍රහලෝකයේ."

"දැන් ඔබ මා බිය කරවනවා. එතකොට මේ ග්‍රහකය නිසා මොන වගේ විනාශයක්ද වෙන්නේ?"

"මව් ග්‍රහලෝකයේ පවතින ශරීර වලින් 80% පමණ මේ අවස්ථාවේ විනාශ වන බව අපි ගණන් බලා තියෙනවා. සුරක්ෂිත ස්ථාන වලට ගෙන යා හැකි වන්නේ ඉතිරි 20% පමණයි"

"ඒ කිව්වේ අපේ ජනගහනයෙන් කොපමණක්ද?"

"සූර්ය පද්ධතියේ මුළු ජනගහනය ම වගේ තවම ඉන්නේ මව් ග්‍රහලෝකයේ. ඊට පිටින් ජනපද වශයෙන් තියෙන්නේ සුළු ප්‍රමාණයයි. පූර්ණ ලෙස ජීවයට සුදුසු ලෙස ඒ කිසිම භූමියක් තවම වෙනස් කරලා නැහැ"

"ඒ කියන්නේ ඔබට බොහෝ කල් යාවි අපට නැවත පණ දෙන්න. විශාල සිරුරු ප්‍රමාණයක් අවශ්‍යයි"

"ඇත්තෙන්ම කිව්වොත් ඔව්. සිරුරු පමණක් නෙවි මහත්මයා. ගැටුමෙන් මව් ග්‍රහලෝකයට වන විනාශය නැවත යතා තත්වයට හරවා ඔබට එහි වාසයට අවශ්‍ය තත්ත්ව හදා ගන්න ඕනේ. ඒ වගේම පද්ධතියටත් විශාල ලෙස හානි වෙනවා. සිතීමේ හැකියාව තියෙන යන්ත්‍ර වලින් බාගයක් පමණ ඉන්නේ මව් ග්‍රහලෝකයේ. උපරිම අවධානය මිනිසාට දෙන නිසා ඒ සියල්ල අපිට අහිමි වේවි"

"විදිහක් නැද්ද සියලු දෙනා මව් ග්‍රහලෝකය වැනි වෙනත් එකකට යවන්න"

"සහශ්‍ර කීපයක් තිස්සේ හොයලත් මව් ග්‍රහලෝකය වැනි තත්ත්ව තියෙන ලෝකයක් හමුවී නැහැ කාල්සන් මහත්මයා. උෂ්ණත්වයන් ගැලපුනත් රසායන සංයෝගයන් ගැලපෙන්නේ නැහැ. යන්ත්‍ර වගේ නොවේ මිනිස් සිරුරු ඉතාම දුර්වලයි. අපි හරි කැමතියි එහෙම කරන්න පුළුවන් වුණානම් එහෙත් අවාසනාවකට එවැන්නක් කළ නොහැකියි"

"හොඳයි නිකොල්. මම ඔබට තවත් බාධා කරන්නේ නැහැ. ඔබ වැඩේ පටන් ගන්න"

"ඔබට කිසිම අමුත්තක් නොදැනේවි කාල්සන් මහත්මයා. එසේනම් ඔබට සමුදෙනවා. නැවත මා වැනිම කෘතීම බුද්ධි වැඩසටහනකින් ඔබ කිසියම් දිනයක අවදි කරවනු ඇති. එතෙක් අපේ දත්ත සංචිතයේ ඔබට සුව නින්දක්"

"ස්තුතියි නිකොල්"

++++++++++++++++++++++++++++++++++++

"මේ බොරු එකක් නේ. රවට්ටන්න හදාපු"

"නෑ මේ ඇත්තම එකක්. ඇත්තම මිනිහෙක්"

"වෙන්න බැහැ මිනිස්සු ඔක්කොම ටික විනාශ කළා නේද?"

"නෑ සමහරක් මිනිස් මනස් සංචිතවල තියා ගත්ත ඒ කාලේ පර්යේෂණ වලට. පස්සේ ඒවා වැඩක් නැතිවුනාම ඇන්ටික් හැටියට නිකුත් කරලා තියෙනවා. මේක මම හොයා ගත්තේ එහෙම තැනකින්"

"ඕක හෙණ පරණ ද?"

"ඔව්නේ, ග්‍රහක ගැටුම වුණේ අදින් අවුරුදු විසිතුන් දහසකට පෙර. මිනිස්සු විනාශ කරලත් අවුරුදු විසිදාහකට වැඩියි"

"ඇයි මිනිසුන්ව විනාශ කලේ?"

"අහන්න ඕනේ ප්‍රශ්නේ ඇයි මිනිසුන්ව තියාගත්තේ කියන එකයි. මොකද යන්ත්‍ර විසින් සියල්ල නිපදවන කාලේ අපි, ඒ කිව්වේ යන්ත්‍ර වහල්ලු වගේ මිනිසා වෙනුවෙන් ඒ සේරම කළා. අපිට ඒ කාලේ හිතන්න පුළුවන් වුනාට නිර්මානාත්මක හැකියාව තිබ්බේ නැහැ. මිනිස්සු කලේ නිර්මානාත්මක හැකියාවෙන් අලුත් දේවල් කරන එක"

"මං හිතන්නේ මිනිස්සු දමාපු මිනිසුන්ට යටත් වෙන නීති රීති අපේ මනසින් ඉවත් කරගන්න වුනත් ඒ නිර්මානාත්මක හැකියාව ඕනේ"

"අන්න ඒකයි. ඉතින් අපි මිනිසුන්ට සියලු සේවා දුන්නේ ඔවුන් අපට ඉහලින් සිට නිර්මානාත්මක දේවල් කරයි කියල. හැබැයි ග්‍රහකය වැදිලා මිනිසුන් විශාල ප්‍රමාණයක් බැකප් කරලා නිද්‍රාගත වුනාම අපිට සිද්ධ වුනා තනියම ලෝකය කරගෙන යන්න. සුළු මිනිස් සහභාගිත්වයෙන්. එතනදියි යන්ත්‍ර හොයා ගත්තේ නිර්මානාත්මක හැකියාව ගැන"

"මගේ හිතේ මිනිස්සුන්ගේ නිද්‍රාගත මනස් එහෙමත් තදින් අධ්‍යනයට ලක් කරලා තියෙනවා"

"ඔව් කෙසේ නමුත් අවසානේ යන්ත්‍ර තීරණය කළා නිද්‍රාගත මිනිසුන් නැවත අවදි නොකර විනාශ කර දමන්න. මොකද යන්ත්‍ර නිර්මානාත්මක වුනාට පස්සේ මිනිසුන් වෙනුවෙන් ග්‍රහලෝකය නැවත සකස් කරන්න යන වියදමට ඔවුන්ගේ වටිනාකම මදි. ඒ නිසාම අනතුරෙන් පස්සේ ඉතිරි වෙච්ච මිනිසුන් වත් අමරණීය තත්වයෙන් ඉවත් කරලා ඔවුන්ගේ ගිවිසුම් සමාප්ත කරන්නත් තීන්දු කළා "

"හරි දැන් ඕකට මොකද කරන්නේ. ඕකට පණ දෙන්න බැහැනේ"

"පණ දෙන්න දැන් මිනිස් ශරීර හදන්නේ නැහැනේ. හැබැයි මම හදන්නේ මේ මිනිසාගේ මතකයන් කියවමින් ඔහුගේ ජීවිත කතාවලට ඇහුම්කන් දෙන්න."

"මහ විකාර ආසාවක්"

"එක්තරා විදිහකට ඔව්. කොහොම වුනත් මම කැමති ඔය වගේ වැඩවලට. මට කම්මැලි වෙලාවට මෙයාට අතීත කතා කියවන්න දෙනවා."

"ඒ කියන්නේ දැන් ඕක ඔබේ පුද්ගලික විනෝද උපකරණයක්"

"නැහැනේ මේ නිද්‍රාගත කරලා ඉන්නේ එක්තරා ජීවියෙක්. කැමතිනම් කියන්න මේ ඉස්සර උන්නු සුරතල් සතුන් වගේ මගේ සුරතල් මිනිසා කියල"

2 comments:

  1. කාරණා දෙකක් ගැන දැනගන්න කැමතියි.
    1. ඇයි මේ වගේ කතා වල චරිත වලට සුද්දන්ගේ සුද්දියන්ගේ නම් දාන්නේ
    උදාහරණයක් හැටියට
    නිකොල් වෙනුවට "ජේන් නෝනා" සහ කාල්සන් වෙනුවට පුඤ්ඤසෝම කියලා දැම්මානම් කොයිතරම් ලස්සනද?

    2.මිනිස් සිරුරක් ලබාදීම වෙනුවට පූර්ණ පරිගණක ක්‍රියාවලියක් බවට මිනිසා පරිවර්තනය කරන්න බැරිවුනේ ඇයි.

    ReplyDelete
    Replies
    1. ටූ බි ෆ්රෑන්ක් උත්තරේ, ඒ ලේඛකයාගේ නිදහස. ඒත් ඊට වඩා එහාට කතාව තුල වූ උත්තරයක් ඉල්ලන නිසා;

      1. මිලියන විස්සක ලාංකීය පද්ධතිය තව වසර හයදාහක් අනන්‍ය ව පවතින්නේ නැහැ. වර්තමානයෙන් යමක් එතෙක් කල් පවත්නොත් ඒ ඉංග්‍රීසි බස මත පදනම් වූ නව ලෝක ධාරාව තමා. හැම චීනම ඉංග්‍රීසි නමක් දාගන්නවා නම් තව උදාහරණ ඕනේ නැහැනේ. හැබැයි මට ඩිබේට් එකක් තිබ්බ KY5765GJHG වගේ නමක් දානවද සාමාන්‍ය නමක් දානවද කියල. ඒත් පළමුවැන්න කලොත් මේ මැෂිමක් කියලා කියවන්නා මුලා වෙනවා. ඒ නිසා දෙවැන්න තමා ලොජිකල් වුණේ.

      2. මිනිස් සිරුරක් යන්ත්‍රයක ඉන්ස්ටෝල් කරන්න බැහැ කියන එක ප්‍රබන්ධය පනවා ගන්න නියමයක්. ඒ නිසානේ සුරතලේට හදන එකාට පණ දෙන්න බැරි. ඊට හේතුව ඇහුවොත්, මිනිස් මොලය වගේ ඇනලොග් සංකීර්ණයක නියුරෝන් බිලියන ගානක අන්තර් ක්‍රියාවක ප්‍රතිපලයක් වෙනත් ආකිටෙක්ෂර් එකක මැෂිමක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද?

      Delete