Friday, August 4, 2017

ගල් කැටයම

[ජුලි 29 සහ අගෝස්තු 5 දෙදින දිනමිණ විශේෂාංග අතිරේකයේ පලවූ විද්‍යා ප්‍රබන්ධයකි. නැවතත් විශේෂ ස්තූතිය ලිවීම නතර නොකරන්නට අප දිරිමත් කරන කාංචනාට සහ මීට අවශ්‍ය විද්‍යාත්මක සංවාදය සයිබරයේ මතු කළ රිටිගල ජයසේන ව්‍යාජනාමධාරියාට]



"විනෝදාංශ: නිදහස් ගුරුත්වයේ සර්ෆ් කිරීම, මනසින් සම්බන්ධිත සාමුහික ගේම්, ගල් කැටයම් - මොකක් ?? ගල් කැටයම්? තමුසේ මාර යකෙක් නේ" පතල් කණ්ඩායමට අලුතෙන් එකතු වූ තරුණ සාමාජිකයා වන ජේසන් ගේ ජීව දත්ත නිරික්සන කණ්ඩායම් නායකයා කියයි.

"ඇයි බොස් එහෙම කිව්වේ?"

"නෑ මේ ගල් කැටයම් ... මන් කියන්නේ .... හරි ජේසන් ඉස්සෙල්ලම කියනවා ගල් කැටයම් කියන්නේ මොකද්ද කියල. මම හිතාන ඉන්න එකනම් හද්ද ගොන් වැඩක්. මං හිතුවේ මිනිස්සු ඒවා නතර කරලා කියල"

"ගල් කැටයම් කියන්නේ ඒක තමා. ගලක් අරගෙන ගල් කටුවෙන් කඩා දාලා මූර්තියක් හදන එක."

"ඉස්සර කාලේ වැඩක් නේ. හොලොග්රාම් තියෙද්දී මොකටද ඕව කරන්නේ. සති ගානක් කට්ට කනවා ඇති එකක් හදන්න "

"මෙහෙමයි බොස්, මේවට ස්කිල් එක ඕනේ. හැමෝටම බෑ. සති නෙවි මාස ගණන් යනවා. හැබැයි එකක් හැදුවොත් එන ජොලිය මාස නෙවි අවුරුදු ගානක් තියෙනවා."

"මට ඇත්තෙන්ම ආසයි මේක කරන හැටි බලන්න, අවාසනාවකට මෙහෙ කළුගල් නෑ. මේක ලෝහමය ලෝකයක්"

"හරි බොස් ප්‍රශ්නයක් නෑ. මේ දැනුත් බාගෙට කරපු එකක් මගේ බෑග් එකේ තියෙනවා. එන්න මගේ රූම් එකට මම පෙන්වන්න" තරුණයා සිය නායකයා කැටුව යයි. අලුත් නවාතැන් පොළේ බර රහිත සංචරණය තවමත් ඔහුට නුහුරු සෙයකි.

"මොනවා... තමුසේ ගල් ගෙඩියක් ගෙනාවා? පොළොවෙන් කක්ෂයට කිලෝග්රෑම් එකක් ගෙනියන්න යන වියදම දන්නවද? එතකොට එතන සිට මෙතනට තියෙන මහා දුර"

"ගැටලුවක් නෑනේ. ගෙනාවේ මට දීපු කිලෝ ගණනේ ලිමිට් එක ඇතුලේ. අනික දැන් මේක ගල් ගෙඩියක් නොවේ. මේ බලන්න"

ඉතාම පරිස්සමින් වටිනා සම්පතක් එලියට ගන්නා මෙන් අඩක් නිමවූ ශිලා නිර්මාණය ඔහු මේසය මත ඇති රඳවනයේ සිර කරයි.

"මේ මමයි මගේ අන්තිම කෙල්ලයි දෙන්න මනසට සම්බන්ධ නැනෝ චිපයෙන් ගත් ස්මෘති සෙල්ෆියක් ස්මරණයට අරගෙන හදාපු එකක්. කෙල්ලගේ කොන්ඩේ රැළි තව ලස්සනයි බොස්. ඒවා තවම ඉවර නෑ. මේ පාවෙන ලෝකේ ඉවසීමෙන් ඒවා ඉවර කරන්න කාලයක් ලැබේද මන්දා"

පැතලි ගල් තලයෙන් ඉස්මතු කරන ලද සම්පුර්ණ මිනිස් රූ දෙක ආදරයෙන් වැලඳ ගෙන සිටිති. නායකයා ගෝලයාගේ හැකියාව ගැන විස්මයට පත් ව බලා සිටියි.

"දැන් මේ පසුබිමේ මොකද්ද තියෙන්නේ ජේසන්?"

"සූර්යයා මැද්දේ. මේ ග්‍රහලෝක. මේ තුන්වෙනි එක ඒ කිව්වේ පොළොව. මේ කොයි මොහොතේ ඇවිලෙයි ද දන්නේ නැති න්‍යෂ්ටික ආයුධ පොලොව මත. අපි ජීවත්වෙන අවදානම් යුගය ගැන එයින් කියන්නේ. අපි දෙන්න ඊට ඉහළින් සත්‍ය ආදරය දේශපාලන සහ යුධ විකාර වලට වඩා උසස් නිසා අපි එසවී ඉන්නේ, මේ අනිකුත් ග්‍රහලෝක. මේ තමා බොස් ඇස්ටරොයිඩ බෙල්ට් එක. මේ පතල සහ සයිකී ඇස්ටරොයිඩය. ඔය දම්වැල සංකේතවත් කරන්නේ පතල විසින් මාව එලීසා ගෙන් වෙන් කරලා ඇදලා ගන්නවා කියන එක."

"හ්ම්ම්ම් හැගීම්බර මොහොතක්. මට තේරෙනවා ඒක .... ඒත් පුතා අපි මේ හාරන යකඩ නැත්නම් කොහොමද අපේ රටවල් පොළොවෙන් ඉහලට එසවුණු කක්ෂගත වාසස්ථාන හදන්නේ? බිලියන හැත්තෑ පහක ජනගහනයක් තවත් මෙහෙම පැටව් ගැහුවොත් ලෝක යුද්ධයක් අනිවාර්යයි. ඊට කලින් අපි පොළොවෙන් අහසට යන්න ඕනේ. මේ පතල එහෙම බැලුවම සාමය වෙනුවෙන් කරන දෙයක්"

"බොස් මම එතරම් උගතෙක් නෙවි, ලෝකය ගැන ලොකුවට මම දන්නෙත් නෑ. හැබැයි එකක් කියන්නම්. මේ වැඩේ තේරුමක් නෑ. ඔය ලෝක යුද්දේ වෙනවා කොහොමත්. අපි මෙහෙම හිතුවට බොස් උන් එහෙම හිතන්නේ නෑ. න්‍යෂ්ටික ආයුධ සහිත රටවල් පනහකට වඩා තියෙනවා. ත්‍රස්ත කල්ලි කීපයක් ඒ තාක්ෂණය ආසන්නයේ ඉන්නවා. උන්ට සමහර රටවල් සපෝට්. මේක හරියන්නේ නෑ බොස්. න්‍යෂ්ටික යුද්දේ කෝමද දන්නවද තියෙන්නේ. මේම මේම මේම මේම අත ළඟ"

අතේ ඇඟිලි අතුල්ලමින් කොලුවා කරන සද්දය නායකයාට ඇසුනේ කාල බෝම්බයක කාල ගැනුම් කරන ටික් ටොක් සද්දයක් මෙනි. මෝඩ තාලෙට කිව්වට කොලුවා නිවැරදිය.

ඉදිරි සති කිහිපය ගෙවී ගියේ නව සාමාජිකයාට පද්ධතිය පෙන්නීමට සහ මූලික පුහුණුව ලබා දීමටයි. ඔවුන්ගේ ජනපදය පිහිටුවා තිබුනේ ඇස්ටරොයිඩ බෙල්ට් එකේ 16 සයිකී ලෙස නිල වශයෙන් නාමකරණය කරන ලද ඇස්ටරොයිඩය මතය. බොහෝ විද්වතුන්ට අනුව සයිකී යනු පුපුරා ගිය ග්‍රහලෝකයක හරි මැද මදයයි. එය පාශානිකරණය සිදු නොවූ පිරිසිඳු ලෝහ ගුලියකි. සූර්යග්‍රහමන්ඩලයේ නිරාවරණය වී ඇති විශාලම ලෝහ කුට්ටිය එයයි. ඒ නිසාම එය ඩොලර් ට්‍රිලියන මිලියන ගණනක් ලෙස වටිනාකම් ඇස්තමේන්තු කරන ලද්දේ 2020 දශකයේ සිදුකළ ගවේෂණයකින් අනතුරුවය.

කිමි දෙසිය ගණනක අරයක් පැවතියද සයිකී ඇස්ටරොයිඩ ගුරුත්වාකර්ෂණය පොළොවෙන් සියයට එකක් පමණ හෙවත් නොගනිය හැකි තරම් කුඩාය. ජනපදය පිහිටුවා තිබ්බේ ලෝහ බඳට විශාල අර්ධ ගොලාකාර වහල් සවි කිරීමෙනි. සයිකී ගෙන් එලියට නෙරන විශාල බිබිලක් සේ පෙනෙන ඒවායේ මුළු ජනගහනය දැන් පනස් දහසකට ආසන්නය. යකඩ සහ නිකල් තොගය හාරා සූර්ය ගුරුත්වාකර්ෂණය මගින් පොළොව දෙසට වැටෙන්න සලස්වා න්‍යෂ්ටික බූස්ටර් රොකට් මගින් පෘථිවිය වටේ කක්ෂයකට යොමු කිරීම ඔවුන්ගේ කාර්යය විය. ඒ ලෝහ යොදාගෙන පොලොව වටේ කක්ෂගත නව වාසස්ථාන තැනීම දැන් ආරම්භ වී ඇත.

ජනපදය සහ පොලොව අතර ඇති දුර සහ එහි අධික ජනගහනය නිසා ජනපදය බොහෝ දේවලින් ස්ව්‍යන්පොෂිත ලෙස පවත්වා ගන්නට සිදුවිය. 100% ප්‍රතිචක්‍රීකරණය වන ජලය සහ කාබනික ද්‍රව්‍ය දුර්ලභ දේවල් දෙකකි. නව අවශ්‍යතා සපුරන්නට ඒවා ඇතැම්විට ධූම කේතුවකින් හෝ ඒවා සුලභ ඇස්ටරොයිඩයකින් ලබා ගැනුණි. අමතර ජල සංචිත හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බවට හැරවූ අතර ඒ හයිඩ්‍රජන් න්‍යෂ්ටික විලයනය කර බලශක්ති අවශ්‍යතාවය සපුරා ගන්නා ලදී. සූර්යාලෝකය අතිශයින් අඩු නිසා කෘතීම ආලෝක තත්ත්ව යටතේ ප්‍රභාසංස්ලේෂණය හරහා තවත් ඔක්සිජන් නිපදවීමට ඔවුන්ට සිදු විය, එහි අතුරු පලයක් ලෙස ලැබෙන ග්ලුකෝස් ඇතුළු කාබනික ද්‍රව්‍ය භාවිතා කර සියලු ආහාර ත්‍රිමාණව මුද්‍රණය කර ගැනුණි.

සියල්ල රඳා පැවතියේ එක වැදගත් යන්ත්‍රයක් මතයි. ඒ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයයි. ඔවුන්ගේ සියලු අවශ්‍යතා ත්‍රිමාණව මුද්‍රණය කරන්නට යන්ත්‍රය සමත් විය. එපමණක් නොව තම සියලු අමතර කොටස් නැවත ත්‍රිමාණව මුද්‍රණය කිරීමට ද ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය සමත් වීම නිසා ඕනෑම වෙලාවක එවැනි තවත් යන්ත්‍රයක් නිපදවිය හැකි විය. ඒ නිසාම අවැසිනම් පොළොවෙන් මිදී ඕනෑම කාලයක් ජීවත් වන්නට අවශ්‍ය සියල්ල ඔවුන් සතුව පැවතුනි.

"බොස් දැන් හෙට න්‍යෂ්ටික යුද්දේ පටන් ගෙන ඔක්කොම සප්ලයි නැවතුනත් අපිට මොකුත් වෙන්නේ නෑ නේද?"

"අනිවාර්යයෙන්ම, පනස්දාහකට ආපසු යන්න ප්‍රමාණවත් යානා නැතිකම හැරෙන්න වෙන කිසිම ගැටලුවක් නෑ. මේක වෙනම ලෝකයක් කියා හිතන්න ජේසන්"

"වාසනාවන්"

"හැබැයි තමුසේ ඔච්චර බය වෙන්න එපා. හෙට එහෙම වෙන්නේ නෑ"

"මට ෂුවර් නෑ බොස්. අවන්කෙන්ම ෂුවර් නෑ"

හෙට එහෙම වුණේ නැත. එහෙත් වැඩි කල් යාමට පෙර එහෙම වන බව දැනෙන්නට විය. අවසන් වරට ලැබුණු රතු වාර්තාව කීවේ න්‍යෂ්ටික යුද්ධය මේ මොහොතේ ඇතිවීම නොවැලක්විය හැකි බවයි. 


එතැන් සිට ගෙවුණු කෙතරම්දැයි කවුරුත් නොදන්නා එහෙත් එතරම් දිග නැති කාලය පුරා සිදුවූයේ කලබගෑනියකි. පතල් කටයුතු නතරවිය. ජනපදයේ ප්‍රධාන පණිවුඩ ජාලය සහ අන්තර්ජාලය හරහා දත්ත එකතු කිරීමට එහි ක්‍රියාකරුවන් කටයුතු කරද්දී මනසින් සම්බන්ධිත සමාජ ජාල හරහා හිතවතුන්ගෙන් විස්තර එකතු කරන්නට අන් සියල්ලෝ කටයුතු කළහ. බියජනක කෑගැසීම්, හඬා වැටීම්, එකිනෙකා වැළඳ වැළපීම් ආදියෙන් පිරුණු ඒ කාල පරිච්චේදයේ ඈත ග්‍රහලෝකයේ නගරයෙන් නගරය මියැදෙමින් පැවතුනි. යුද්ධය පටන් ගත්තේ කවුද, පාර්ශ්ව කීයක් ද, ආදිය ගැන නිවැරදි දත්තයන් සපයා ගැනීම අසීරු විය. එහෙත් සියලු දෙනා දැනසිටි එක දෙයක් විය. ඩොමිනෝ පෙළක් සේ පෙළ ගැස්සී තිබු මව් ග්‍රහලෝකයේ එදිරිවාදිකම් අවසන ඉතුරුවෙන කිසිම රටක් නොමැති බවයි. යුද්ධය වසංගත රෝගයක් මෙන් ග්‍රහලෝකය වෙලා පැතිරුණි.

න්‍යෂ්ටික යුද්ධයක ඇති යහපත් පැත්තනම් වේදනාව දීර්ඝකාලීන නොවීමයි. කෙටි කලෙකින් සියල්ල නිමාවී තිබුණි. ඉනික්බිති ජනපදයට ඉතුරු වූයේ සම්බන්ධතාවය බිඳ වැටුණු අන්තර්ජාලය සහ මනස් ජාලයේ සම්බන්ධයන් බිඳී ගොස් වික්ෂිප්ත වූ මිනිසුන් පනස් දහසක් පමණි. වේදනාකාරී සහ ඝෝෂාකාරී කෙටි කාල පරිච්චේදයකට පසු දීර්ඝ නිහැඬියාව සියල්ල වෙලා ගත්තේය.

වසර මිලියන ගණනක් ගෙවී ගිය ද ඒ නිහැඬියාව එලෙසින්ම පැවතුනි.

------------------------------------

වසර මිලියන ගණනකට පසු දිනෙක සයිකී ඇස්ටරොයිඩය මත නැවතුණු යානය ද පිටස්තර එකක් නොවීය. එය ගමනාරම්භ කළේ ආසන්න වෙනත් ඇස්ටරොයිඩයක සිටයි. ජනශුන්‍ය සයිකි ලෝහ මතුපිට මත යානයක් නවත්වන්නේ එහෙමත් දවසක පමණි, එහි සිටි අපුර්ව ජීවින් දෙදෙනා සිය යානයේ දොරගුළු විවර කර වායුගෝලයක් නැති නිරුවත් ඇස්ටරොයිඩ මතුපිටට පැන ගත්හ.

යානයට අමතරව ඔවුන්ගේ ශිෂ්ටාචාරමය සලකුණු කීපයක් විය. පළමුවෙන්ම උන් විලි වසා ගැනීමට ඇඟලුම් යොදාගත්හ. නිතර වායුගෝල රහිත පරිසරවල ජීවත්වීම නිසා කථනය ට අමතරව තොල් සහ මුහුණේ විවිධ පේශීන් ගේ චලනය සහ වර්ණ වෙනස්වීම් මගින් සන්නිවේදනය සඳහා නිර්මිත ද්විතීයික භාෂාවක් උන් සතුවිය. දුර සූර්යයා ගෙන් එන මන්දාලෝකයේ එකිනෙකා ගේ මුහුණු සහ ඇස්ටරොයිඩ මතුපිට වළ ගොඩැලි හෙල් කඳු ආදිය පෙනෙන සේ මනාව හුරුවූ දෑස් බකමූනෙකු මෙන් විශාලය. රික්තයට  ආසන්න  පරිසරය තුල  ශාරීරික පීඩන තත්ත්ව  පවත්වා  ගැනීමට  හම ඝන වී  රළු වී   කැටි ගැසී  ගොසිනි.

නිරුවත් ඇස්ටරොයිඩ මතුපිටක රැඳීම පහසු කාර්යයක් නොවේ. එහෙත් මතුපිටට කාවදින ලෙස උල් වී කොකු මෙන් වක ගැසුණු තද අස්ථිමය පසු ගාත්‍රා තුඩු ඒ ගැටලුව විසඳන්නට සමත්විය. කෙලින් සිටගැනීම අසීරු කාර්යයක් වන පරිසරයක ස්වාභාවයෙන් කුදු ගැසුණු සිහින් දිග සිරුරු ඔවුන්ට ගෙන දුන්නේ පහසුවකි, ජිම්නාස්ටික් කරුවෙකු සතු නම්‍යශීලිත්වය උපකාරයෙන් සිරුර ගුරුත්වාකර්ෂණ සහයකින් තොරව මතුපිට රඳවා ගන්නට උහු සමත් වූහ. වඩාත් ශක්තිමත් බාහු සහිත පෙර ගාත්‍රා යමක් අල්ලා ගත හැකි ඇඟිලි සහිත අත්ලකින් කෙළවර විය. ඒ සියල්ලට වඩා වැදගත් සලකුණක් විය. ඒ නම් ඇස්ටරොයිඩ මත අසීරු ගමනකදී සිරුරේ සමතුලිතතාවය උදෙසා වැදගත්වන වලිගයයි. බර එතරම් වැදගත් සාධකයක් නොවුනත් පසු ගාත්‍රා මත සමතුලිත වන්නට සිරුරේ කොටස් දෙකක අවශ්‍යතාවය වැදගත් විය. අධික කෝණික ගම්‍යතාවයකින් කැරකී යන විට වලිගය අනෙක් අතට හැරවීමෙන් එය සමනය විය.

පස්සා ගාත් වල කොකු වලින් ඇස්ටරොයිඩ බඳේ ලෝහ පැලුම් වල එල්ලෙමින් වලිගයේ උපකාරයෙන් සිය සිරුරු සමතුලිත කරමින් ජීවින් දෙදෙනා ගමන් කළහ. උන්ගේ සිරුරු ශක්තිය නිපදවූයේ ඔක්සිජන් වලිනි. එහෙත් අවැසි විටෙක සංචිත ලෙස ඔක්සිජන් රඳවන බැලූන වැනි ව්‍යුහයන් උන්ගේ පෙනහළු වල දිගුවක් ලෙස උදරය දෙපසින් මතුවී තිබුණි. එක් සම්පුර්ණ පිරුමකින් සැලකිය යුතු කාලයක් නිරුවත් ඇස්ටරොයිඩ මතුපිටක ජීවත් විය හැකිය. මෙය අවදානම් වැඩකි. එහෙත් ඇස්ටරොයිඩ මත ජීවිතය මීට වඩා අඩුවෙන් අවදානම් වැඩක් නොවේ.

දැන් සයිකි ජනපදයේ හැඳිනිය හැකි ශේෂ අභ්‍යවකාශයේ අනේකවිධ අතවරයන්ට කෙළින්ම නිරාවරණය වී අවසන් ගමන් ගොසිනි. සයිකි ඇස්ටරොයිඩය මත හෑරු පතල් වල කුහර තවමත් දැක ගත හැකිය. එහෙත් ඒ සඳහා භාවිතා කල කිසිම යාන්ත්‍රික මෙවලමක් හෝ ජනපදයේ බිබිළි වැනි වහලවල් එහි නොවීය.

දීර්ඝ අඳුරු කාල පරිච්චේදයේ මුල් යුගයේම තමන් සතු සියල්ල රැගෙන ජනපදිකයෝ සයිකිය හැර ගියහ. ඩොලර් ට්‍රිලියන මිලියන ගණනක ඇස්තමේන්තු ගත වටිනාකම තවදුරටත් ඉතිහාසයක් වූ පසු වාසයට අසීරුම තැන වනුයේ මේ ලෝහ කුට්ටියයි. සියලු දෙනා එකවර ගෙන යන්නට දුරගමන් හැකියා සහිත යානා නොතිබූ නිසා වරකට කිහිප දෙනා බැගින් අසල්වැසි විශාල ඇස්ටරොයිඩය කරා ගෙන ගියේ තාවකාලිකවය. කවදා හෝ මුදාගැනීමේ මෙහෙයුමක් එනතුරු ය. ඉන් පසුව සිදු වූ කිසිවක් කවුරුත් දන්නේ නැත.

"පාරෝ උඹ කොතනදීද ඒක දැක්කේ?"

"එහෙම ලෙහෙසියෙන් කියන්න බැහැ හාප්"

"බැලුන් එක මදිනම් අපිට ඔක්සිජන් අරගෙන එන්න වෙයි"

"නැහැ මදි නැහැ"

නොකඩවා වේගයෙන් සැලෙන මුහුණු පේශීන් සහ ඒවායේ විවිධ වර්ණ රටා සංකීර්ණ කතාබහක් වේගයෙන් සිදු කරයි.

"උඹ අර කතාව මට කියන්නේ නැද්ද හාප්"

හාප් ප්‍රජාවේ විද්‍යා ලෝලියෙකි. විද්‍යාඥ යන වචනය ලබා දෙන්න තරම් දියුණුවක් හෝ කේෂ්ත්‍ර විශේෂිකරණයක් නැති ප්‍රජාව තුල පැවැත්ම හැර අන් සියල්ල විනෝදාංශ පමණි.

"මොන කතාවද? මම උඹත් එක්ක කීයක් දේවල් කතා කරලා ඇද්ද?"

"අපි කවුද කියන එක. දෙවියන් ගේ මැවුම ගැන"

"මේවා කියල මට දඬුවම් විඳින්න වෙන්න පුළුවන්. දේව ඇදහිල්ලට මදක් හෝ වෙනස් මතයක් එනවට කවුරුත් කැමති නෑ"

"විශ්වාස කරපන් හාප් මම උඹේ ප්‍රාණසම මිත්‍රයා"

"හරි හරි හැබැයි මේ කතාව රහසක් උඹ කාටවත් කියනවා හේම නෙවි"

"අනිවාර්යයෙන්ම රහස රකිනවා"

"මේකයි කතාව. දැන් අපි කවුද? අපි කොහොමද මේ ලෝක වලට ආවේ?"

"දෙවියන් පළමුව මහා මැවුම් යන්ත්‍රය මැව්වා. ඉන් පසුව විලයන එන්ජිම සහ අභ්‍යවකාශ යානය මැව්වා. ඉන් පසු අප මැව්වා. ඕක පැහැදිලි නැද්ද උඹට"

"ඕක හොඳ පැහැදිලි කිරීමක්. හැබැයි ඕක මදි"

"ඔහොම නැතුව මහා මැවුම් යන්ත්‍රය හැදෙන්නේ කොහොමද? අප පාවිච්චි කරන සියලු දේ එතකොට ආහාර, එතකොට අර බිබිළි වගේ තඩි පියසි මේ ඔක්කොම මවන්නේ මහා මැවුම් යන්ත්‍රයෙන්. එපමණක් නොවේ මහා මැවුම් යන්ත්‍රයේ කොටස් ටිකත් එයින්ම මවන්න පුළුවන් නිසා එක යන්ත්‍රයක් අබලන් වෙද්දී තව එකක් හැදෙනවා. පූජකයා නිසි යතුරු එබුවොත් අපිට ඕනෑම දෙයක් එයින් ලබා ගත හැකියි. උඹ කියන්නේ පූජකයා මේ ඔක්කොම හැදුවා කියලද?"

"හරි මහා මැවුම් යන්ත්‍රය මට ලොකු අභියෝගයක්." කලකට පෙර හාරන ලද පතල් වලකට පසු ගාතයක් ගසාගෙන මද විවේකයක් ගනිමින් හාප් පැවසීය.

"අපි ටික ටික හිතමු. අභ්‍යවකාශ යානය සහ අනිකුත් සියල්ල මහා මැවුම් යන්ත්‍රය විසින් නිර්මාණය කරනවා. ඒ නිසා එය ගැටලුවක් නෑ පාරෝ"

"ගැටලුවක් තවම තියෙනවා. අභ්‍යවකාශ යානා නිකම් අපිට හිතල හදන්න බෑ. විලයන එන්ජිම සංකීර්ණයි. මේවා හදන්න තරම් දැනුමක් එකම ප්‍රජාවකටවත් නැහැ. අනික උඹ දන්නවද මම ඇස්ටරොයිඩ කීපයක ඉඳල තියෙනවා, ප්‍රජාවන් කෙතරම් වෙනස් වුනත් මහා මැවුම් යන්ත්‍රය විලයන එන්ජිම සහ යානය සම්පුර්ණයෙන්ම සමානයි. වෙනස් ප්‍රජාවන් රාශියක් කොහොමද හාප් එකම යන්ත්‍ර ඒ විදිහටම හදන්නේ. අනික ඉස්සර යුද්ධ වලින් වෙන් වෙලා එකිනෙකා අතර ගනුදෙනු වෙලාම නැහැ. අපි වෙනස් ජීවින්. හැබැයි යන්ත්‍ර සමානයි."

"හ්ම්ම්ම් හැබැයි උඹ හරි කතාව කිව්ව. අපි වෙනස් ජීවින්. ඇස්ටරොයිඩ එකින් එකට අපේ ස්වරූප වෙනස්. විශාල ඇස්ටරොයිඩ වලට යද්දී අපේ ඇඟ තැලෙනවා. ඒවායේ ඉන්න උන් අපි තරම් හොඳින් මේ වගේ මතුපිට ඇවිදින්නේ නැහැ. උන්ට ඇස්ටරොයිඩය දිහාට අදින ඇදිල්ල අවශ්‍යයි. අපි වඩාත් සිහින් දිගටි. උන් අපිට වඩා පොඩියි. ඒ විතරක් නෙවි පාරෝ උඹ දන්නවද අපිට සරු ජනිතයන් හදන්න පුළුවන් සමහර ඇස්ටරොයිඩ වල ඉන්න අය සමග පමණයි. අපි අභිජනනය කරන්නේ සමහරු එක්ක විතරයි. ඒකෙ තේරුම තේරුණාද?"

"ඔව් අපි වෙනස් සත්තු"

"හරි. ඕකයි කතාව. දැන් දෙවියෙක් අපි මැව්වා නම් ඇයි මෙහෙම වෙන වෙනස් සත්තු ගොඩක් මැව්වේ. ඊට ලෙහෙසි නැද්ද එකම ජාතියේ උන් හැමතැනම මැව්වා නම්"

"දැන් උඹ මාව අමාරුවේ දානවා. ඒත් උඹට තව වැඩි වෙලාවක් නැහැ, මොකද මම පාර හොයා ගත්ත. මේ ගැඹුරු වලේ කොණක තමා ඒ වස්තුව තියෙන්නේ. උඹට ඕනේ කතාවක් කියන්න තව ටිකයි වෙලාව ලැබෙන්නේ"

"මගේ කතාව මේකයි පාරෝ. අපේ ස්වරූප වෙනස් වෙනවා. අපි ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙනවා. අපිව මවලා නැහැ. පාරිසරික හේතු මත ටික ටික වෙනස් වෙවී අපිම තමයි අපි බවට පත්වුණේ."

"ඒක මරු කතාව ලස්සනට ගොතන්න පුළුවන්. තව කියපන්"

"නිකමට හිතපන් අපේ පූර්වජයෙක් - ඌ අපට වඩා වෙනස් එකෙක් - ඌ තමා අර ලොකු ඇස්ටරොයිඩයෙ හිටියෙ. පස්සේ ඌ පුංචි ඇස්ටරොයිඩ වලට ගියා. උඹ දන්නවා ලොකු ඇස්ටරොයිඩයෙ ඉන්නකොට ඇඟ තැලෙනවා. ඇඟේ වර්ධනය අඩුයි. නමුත් කුඩා ඒවායේ එහෙම නෑ. ඉතින් අපි උන්ට වඩා ලොකුයි. උන් තවම ඉන්නවනේ ඇහැට පෙනෙන වෙනස බලාගන්න"

"හරි උඹේ කතාව තවම දුවනවා සාර්ථකව"

"අපි ඉන්න පරිසරය අනුව හැඩ ගැහෙනවා. ඒ අනුව අපි වෙනස් වෙනවා,. ඕකයි මම කියන්නේ"

"හැබැයි මහා මැවුම් යන්ත්‍රය එතකොට අපේ ආහාර නිෂ්පාදන, විලයන එන්ජිම් අභ්‍යවකාශ යානය - ඔව්ව කොහෙන්ද ආවේ"

"පාරෝ මට උත්තරයක් තියෙනවා. මම ඒක හිතාගෙන ඉන්නවා. හැබැයි මම ඒකට සාක්කියක් හෙව්වා. උඹ වගේ දඩාවතේ යන යාලුවෙක් මට ඉන්න එක වටින්න්නේ ඒකයි. උඹ දැන් මාව මෙච්චර දුර එක්කගෙන ආවේ යමක් පෙන්නන්න. ඒ පෙන්නන දේ ගැන උඹ කියූ විස්තර අනුව මම ඔය කතාව ගලපන්නම්"

"ඒක මේ කොහේ හරි තියෙන්න ඕනේ. හාප් ඒකෙ තියෙන ඒවා මට තේරෙන්නේ නෑ. හැබැයි උඹ ඒක ගැලපුවොත් මම උඹව අදහනවා. පූජකයා මාව මැරුවත්."

"උඹ ඒක හොයපන්. මම ඒ අතරේ මගේ කතාවේ ඉතිරිය කියන්නම්. හොඳට බලපන් මේ මතුපිට දිහා, ඇයි මෙතන මේ වලවල්. මෙතන මොකෙක් හරි ඉඳල තියෙනවා. මෙතන වෙන්න ඇති අපි දකින පැරණිම තැන. මෙතන හිටපු අය කවුද?"

"හ්ම්ම්ම් ..."

"එතකොට අපේ හැම ජනාවාසයකම තියෙනවා දේව පණිවුඩ යන්ත්‍රය කියල එකක්. පූජකයා කියන්නේ අපිව මවපු දෙවියන් එක්ක පණිවුඩ හුවමාරු කරගන්නේ එතනින් කියලා."

"ඔව් හැබැයි ඒක ඔහේ තියෙනවා. සම්බන්ධය විසන්ධි වෙලා කියලයි පූජකයා කියන්නේ"

"ඒ සම්බන්ධය විසන්ධි වෙලා කියල තමා ඒ තිරයේ තියෙන්නේ. අර අමුතු සලකුණු පෞරාණික සංකේත වර්ගයක්. ඒ සංකේත වල අර්ථය ඒකම තමයි. මැවුම් යන්තරය අලුතෙන් ජනපදයක් හැදුවම පණිවුඩ යන්ත්‍රයක් ඉබේම හදනවා. ඒක සම්බන්ධය හදන්න උත්සහ ගන්නවා, පූජකයා ස්තෝත්‍ර ගී ගයද්දී. ඒත් හැමදාම ඉවර වෙන්නේ ඔය සංකේත වලින්"

"පූජකයා දිනපතා ඒකට වතාවත් කරන්නේ කවදාහරි ඒ සම්බන්ධය හැදිලා දෙවියන් අප දුකින් මුදා ගනීවි කියලයි"

"කවුරුහරි ඉස්සර අපි එක්ක පණිවුඩ හුවමාරු කරගෙන. ඒ කිසියම් ජීවියෙකුගේ මධ්‍යස්ථානයක් වෙන්න බැරිද?"

"දෙවියන්??"

"කැමති නමක් දාගනින් මම හොයන්නේ ඒ කවුද කියලා. මම හිතන්නේ ඒ අය තමා පස්සේ අපි වුණේ. නිකමට හිතපන් ඒ අය මේ ඇස්ටරොයිඩ මත අතරමන් වුණා නම් මොකද වෙන්නේ කියලා. ක්‍රමයෙන් අප බවට වෙනස් වෙනවා, පරිසරයට හැඩ ගැහෙනවා. පාරෝ අපේ දුරේක්ෂ වලින් දැනට විශාල ග්‍රහ වස්තුන් අටක් සහ කුඩා වස්තු අසීමිත ගණනක් හොයාගෙන තියෙනවා. මේ ඕනෙම එකක තව ජීවින් ඉන්න පුළුවන්"

අවසාන කොටස පාරෝ ගේ හිතට දැනුනේ නැත. සෙවූ දෙය සම්බ වී ඇත. පාරෝ එය රැගෙන වේගයෙන් මතුපිටට පැන ගියේය. හාප් ඔහු පසුපසිනි.

ඇස්ටරොයිඩයේ තනිකර ලෝහභාවය නිසා එහි ස්වරූපය මදක් වත් වෙනස් වී නැත. කළුගල් පුවරුව වසර මිලියන ගණනකට පෙර කලබලේ දමා ගිය තැනක තිබු ලෙසම සුරක්ෂිතව පැවතුනි. ඒ මත නෙලන ලද සූර්යයා සහ ග්‍රහයෝ එදා ද අදද නොවෙනස් ය. ඒවා හඳුනා ගැනීමට හාප් සහ පාරෝ දුරේක්ෂ වලින් ලද දැනුම ප්‍රමාණවත්ය. එහෙත් වඩාත් ඔවුන් කුතුහලයට පත් කලේ ඒ පසුබිම මත නිමවූ ජීවී රූප දෙකයි. ඒ කුතුහලය පසුපස එන විශ්මය ඔවුන්ගේ සිහින් දිගටි සිරුරු වලට දරාගත නොහැකි තරම් විය. දෙවියන් ද දෙවියන් ගේ වාසස්ථානය ද හමුවී තිබේ.

වසර මිලියන ගණනකට පෙර සුන්දර දවසක මනසට සම්බන්ධ නැනෝ චිපයකින් ගත් ස්මෘති සෙල්ෆියක සිනහවකින් මුව සරසා ගෙන ජේසන් සහ එලිසා තෙවැනි ගෝලය මත ආදරයෙන් වැළඳ ගෙන සිටිති. එලීසා ගේ ලස්සන කැරළි කොණ්ඩය සම්පුර්ණයෙන්ම හිතේ හැටියට නිමවන්නට ජේසන්ට කාලය ලැබී තිබුණි.

10 comments:

  1. එක හුස්මට කියෙව්වා.
    විච්ඡේදනය කරල බලන්නෙ පස්සෙ..!

    ReplyDelete
  2. 1.උල්කාවක් තුල මිනිසුන් 50 000ක් පදිංචි කිරීමට තරම් දියුණු ශිෂ්ඨාචාරයකට සඳ සහ අඟහරු මත මිනිස් ජනපද පිහිටුවීමට බැරි කමක් නෑ.
    ඇස්ටරොයිඩයේ අයට ඒවා සමඟ සම්බන්ධ විය හැකියි.
    2. පෘථිවිය වටා පිහිටුවා තිබුණ අභ්‍යවකාශ මධ්‍යස්ධාන වලට සිදුවුනේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. 1. අභ්‍යවකාශ ජනපදයක් කියන්නේ අධික වියදම් වැඩක්. සඳ හෝ අඟහරු මත ජනපද බිහි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? පොළොවේ වගේ ජනාවාස ඒවායේ හදන්න බෑ. අවශ්‍ය තත්වයන් නෑ. හදන්න වෙන්නේ කිසියම් වාණිජ වටිනාකමක් ඇත්නම් පමණයි.

      2. අභ්‍යවකාශ ජනාවාස පද්ධතියක් හදන්න පටන් ගත් බව පමණයි කිව්වේ. ඒවා නිමවලා මිනිස්සු පදිංචි වෙලාද කියා කිව්වේ නැහැ. ඒවා වල මිනිස්සු උන්නත් ඔවුන්ට ප්‍රහාර එල්ල නොවෙන්න හේතුවක් නෑ. අනික බේරුණත් ඔවුන්ට වෙන්නෙත් මොවුන්ට වෙන දේම නේද? තනිව පවතින්න ඔවුන්ටත් බෑ.

      මේ ප්‍රබන්ධය තුල බොහෝ දේවල් වල දෙවෙනි කොටස් ගැන හරියට කියා නැහැ. උදාහරන්නේකට පනස් දාහෙන් කීපයක් යානා දියුණු කරගෙන ආපහු පොලොවට ගියා වෙන්න පුළුවන්. ඒ වගේම න්‍යෂ්ටික යුද්ධයකින් මිනිස් වර්ගයා වැනසී යන්නේ නෑ. පොළොවේ වුනත් සැලකිය යුතු පිරිසක් ඉතුරු වෙන්න ඇති. හැබැයි ඒ සිස්ටම් එක බිඳ වැටෙනවා යුද්ධය නිසා. අඩුම ගානේ අවුරුදු දෙතුන් සීයකටවත් ආයෙත් නැගිටින්නේ නෑ. සමහර විට දෙතුන් දාහකට. ඒ ඔක්කොම වෙලා ඉවර වුනාම සයිකී වලට රෙස්කියු මිෂන් එකක් එවන එක වෙන්නේ නෑ. ඒක මගහැරී යන්න පුළුවන් සදහටම.

      පොළොවෙන් ස්වායත්ත ස්ථාවර වෙනත් ජනපද තිබ්බනම් තත්වය වෙනස්. එහෙත් බොහෝ දෙනා කිව්වට අඟහරු හෝ සඳ මත පොළොවේ වගේ ජනාවාස හදන්න බෑ. පතල් හෝ වෙනත් ආර්ථික පද්ධති හදල වැඩක් නෑ කොමාෂලි වයබල් නැතිනිසා [කක්ෂයට දේවල් එවන්න යන වියදම නිසා]. වැඩිම වුනොත් හෝටලයක් තමා.

      ඔය කතාව මැද ඇදපු මිලියන කීපයේ මොන මොන දේවල් වුනාද කියන එක මම හිතාමතා මගහරිනවා.

      -----------------

      බදවේ ඔබ මාර වැදගත් පොයින්ට් එකක් ටච් කරනවා. මම මේ ප්‍රබන්ධය ලියන්න ගත්තේ ගල් කැටයම හමුවෙලා එයාලා ආපහු පොලොවට එන හැටිත් ආවම තම පුර්වජයන් හමුවෙන හැටිත් එක්ක. ඒත් පස්සේ ගැටළු කීපයක් ආවා.

      1. ග්‍රහලෝකයක් මොවුන්ට දැනෙන්නේ අපිට සූර්යය වගේ. ගුරුත්වයට හුරුව නැති වෙච්ච ජීවියෙකුට ආයේ ග්‍රහලෝකෙකට එන්න බෑ මිය යනවා ඒ ආසන්නයේ දී .

      2. ගල් පුවරුව හමුවීමෙන් පස්සේ සෙස්ස ස්ට්‍රේට් ෆෝවඩ් . නිකම් ම ගෙස් කල හැකියි. එක්සයිට්මන්ට් එක ඉවරයි.

      3. දිග වැඩිවීම. එඩිටර් තුමිය ඕනෙම කතාංග ගණනකට ඉඩ දෙනවා වුනත් මට කම්මැලියි අප්පා දිගට ලියන්න.

      ඔය හේතු නිසා ප්‍රබන්ධය ඔතනින් නතර කලේ.

      Delete
  3. පසුබිම:

    NASA announces 2022 mission to explore metal asteroid so valuable it could crash the world economy

    ඇස්ටරොයිඩය තරම්ම ප්‍රොජෙක්ට් එක කරන සයන්ටිස්ට් ඉන්ටරස්ටින්. වයස තිස් ගානක් වෙද්දීත් ඇය හයි ටෙක් සෙක්ටර් එකේ බිස්නස් ප්ලානර් කෙනෙක් ලෙස ජොබ් එකක් කල සිංගල් අම්මෙක්. ඊට පස්සේ පී එච් ඩී කරන්න හිතලා තියෙන්නේ.

    KEDtalks with Lindy Elkins-Tanton: Psyche

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. මේම බ්ලොග් අඩවියේ දමන අදාළ නොවන කොමෙන්ට් [ආසිරි රෝහලේ දන්ත වෛද්‍යවරයෙකු කාටදෝ අතවර කිරීම වැනි] මකා දමනු ලැබේ.

    ReplyDelete
  6. Replies
    1. තව ප්‍රබන්ධ තියෙනවා මේ බ්ලොග් එකේ. ඉඩක් ලද වෙලාවක කියවන්න

      Delete