Friday, May 5, 2017

ක්‍රීඩකයා

[දිනමිණ අප්‍රේල්  29  සහ  මැයි  06  දෙදින  පළ වූ විශේෂාංගයකි]

කොලින් ඩෙනිස් සමරදිවාකර කාර්යාල කාමරයේ හිඳගෙන සිටියි. වැඩිපුර කඩදාසි නැති මේසය මත තරුණයින් දෙදෙනෙකුගේ චායාරූප හිටුවා ඇත. පසෙකින් විසල් ගේ අධිෂ්ටාන පූර්වක ජයග්‍රාහි මුහුණය. අනෙක් පසින් නිසල්ගේ අහිංසක සිනාව පිරුන මුහුණය. ඒ මැද්දේ මේ දැන් රියදුරු විසින් ගෙනෙන ලද සීල් තැබූ ලියුම් කවරෙන් එලියට ගත් රෝහල් වාර්තාව ඇත.

ඔරලෝසුව කාලයේ හිරි කඩයි. තව වැඩිපුර ඉතිරි වී නැත.

කළුවර ලී ලෙස බොහෝ දෙනා සිතන කාල වර්ණ ලීයෙන් කළ මේ ඔරලෝසුව වසර තිහකට පෙර දවසක ඔහොමම කාලයේ හිරි කඩමින් හිටි හැටි සමරදිවාකරට සිහි වේ. එදා ඒ අසල දොන් ආනෝල්ඩ් සමරදිවාකර ආදරණීය පියාගේ මළසිරුර ගාම්බීර ලෙස ඇත්දළ යුවලක් මැද සාලයේ තැන්පත් ව තිබුණි. රාජ රාජ මහාමාත්‍යයෝ ඊට හිස් නවා පැමිණ එවකට මැදිවිය කරා එළඹෙන පුත්‍ර සමරදිවාකර හා අලුත් හිතවත්කම් ඇති කර ගන්නට මෙන් කතා කළහ. සල්ලිකාරයාගේ පුත්‍රයා සල්ලිකාරයා වී ඇත. පරම්පරාවෙන් ද ශූර බුද්ධියෙන් ද කූට උපායෙන් ද සමරදිවාකර වලව්ව මත බිහි වූ දැවැන්ත ප්‍රාග්ධන අධිකාරියේ රියදුරු අසුන පියාගෙන් පුතාට පැවරී ඇත. ඒ වගකීම සහ බලය එහි වූ මරණයේ සීතල මකා දැමීය.

මරණයේ සීතල පමණක් නැවත පැමිණ ඇත. අඩුම ගානේ ළඟ එන බවට පණිවුඩයක් එවා ඇත.

කාලයේ කෙටි ගිණුම් ශේෂය තුල ලබා ගන්නට ලොකු ඉලක්ක නොතිබුණි. සමරදිවාකරට අල්ලන්නට අමුතු ඉරක් හෝ හඳක් නැත. දැනට ඒවා කැරකෙන්නේ ඔහු වටාය. කරන්නට බැරි වූ යමක් වී නම් ඒ පාර්ලිමේන්තුව හා ක්‍රිකට් ආයතනයේ මහා පුටුව පමණි. සමරදිවාකර පාර්ලිමේන්තු නොගියේ එහි ඉන්න අය සමරදිවාකර වලව්වට ගෙන්වා ගත හැකි නිසාය. ඔහු ක්‍රිකට් ආයතනයේ මහ පුටුවට නොගියේ සිය පුත්‍රයා එහි යැවිය යුතු නිසාය.

ක්‍රිකට් ආයතනයේ මහ පුටුව කොහෙත්ම ඔහුට නොහැක්කක් නොවේ. සමරදිවාකර ඉල්ලුවා නම් සුද්දාත් ගුවන් ටිකට් පතක් ගෙන ඇවිත් චන්දය දෙනු ඇත. සමරදිවාකර යනු පාසල් ක්‍රීඩකයෙකි. පළමුපෙළ ක්‍රීඩා නොකළේ ක්‍රීඩා සමාජ වල අගුපිල්හි ලගින්නට හද්දීබ්බාගෙන් ආ නායකයන්ගෙන් පන්දු යවන්නට පිති කරන්නට අවස්ථා ඉල්ලන්නට තිබූ අකමැත්ත නිසාවෙනි. එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල ලකුණු පුවරුවල ඔහුගේ නම ඇත. මේ ඇඟේ දුවන ලේ වල ක්‍රිකට් ඇත. ඒ ලෙයින් හැදුනු විසල් සමරදිවාකර පියා නොයා තමන්ට ඉතිරි කළ ඒ මග ජය කෙහෙළි නැංවීය.

පරම්පරාව ගොඩ ගැසූ ඉලක්කම් නිසා කොලින් ඩෙනිස් සමරදිවාකර වටා මිලියන විස්සක දූපත් වැසියා දණ නවන මුත්, වසර දහ අටක ක්‍රිකට් දිවියක ගොඩ ගැසූ ඉලක්කම් නිසා විසල් කැලම් සමරදිවාකර ළඟ ලෝක ජනගහනයෙන් පහෙන් එකක් දණ නවතී. අයිසීසීයේ මහා ක්‍රීඩක ලයිස්තුවේ ඉහලින්ම මෙන්ම කොල්කටාවේ දේවාලයක දේව රූප අතර ද විසල් සිටියි. ක්‍රිකට් විස්තර විචාරකයෝ නවකයින්ගේ විසල් සළකුණු හඳුනා ගනිති. එහෙත් ඒ එකෙක්වත් විසල් කෙනෙකු නොවීම ගැන විස්සෝප වෙති. දෙවසරකට පෙර ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් ඔහු විශ්‍රාම යනවිට මිනිස්සු මගට බැස උද්ඝෝෂණය කළහ. එය පුදුමයක් නොවන්නේ ඔහු එදා ද ද්විත්ව ශතකයකින් සිය සමුගැනීම සැමරු බැවිනි.

ටෙස්ට් ද්විත්ව ශතක විස්සක්. ටෙස්ට් ශතක අසූ අටක්. එක්දින ශතක සියයකට වඩා. ටෙස්ට් තරග එකසිය හතලිහකදී ලකුණු විසිපන්දාස් ගණනක්. සාමාන්‍යය එකසිය විස්සයි. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සචින් තෙන්ඩුල්කාර් ගාෆිල්ඩ් සෝබර්ස් කුමාර් සංගක්කාර මේ ඕනෑම එකෙක් යම් කිසි දෙයකට ලොව ප්‍රමුඛයන් වී නම් අද ඔවුන් හැම එක සමරදිවාකර නමකට පසුපසිනි.

"මේ තරුණ ක්‍රීඩකයාගේ වාර්තා පුදුමාකාරයි" මීට වසර පහළොවකට පමණ පෙර විසල් සිය විසල් ගමන අරඹද්දී නවකයින් අගයන ඇතැමුන් කියන්නට විය. "ශ්‍රී ලංකාවේ තෙන්ඩුල්කාර්" ඉන්දියන් කාරයෝ තමන්ගේ අවමානය කල්තියා වසා දමන්නට උත්සහ කළහ. "මොහුගේ පිත්ත ජාත්‍යන්තර මිනුම් නීති වලින් පිටස්තරද?" ආඩම්බරකාර සුද්දෝ අහුකොන් සොයන්නට විය. "අක්ෂි ආබාධයකින් පෙනෙන මේ කන්නාඩි පොළඟා දෙනෙත් අගේට පෙනෙන එකාලට වඩා හොඳට ගහන්නේ කොහොමද?" අවලම් විචාරකයෝ විචාරයේ සම්මුති බිඳ දැමූහ. "පන්දුව දෙකට පලන්නට විසල්ට කන්නාඩිය අපෙන්" දෘෂ්ටි විශේෂඥයෝ දැන්වීම් පල කළහ.

එය දැක කොලින් ඩෙනිස් සමරදිවාකර සිනාවිය.

"තාත්තා මට ස්කොල් එකක් වුනත් දෙන්න එයාල කැමතියි" ඒ තවත් වසර පහළොවකට පෙරයි. ඒ වෙද්දී විසල්ට වඩා සය අවුරුද්දක් වයසැති නිසල් ලන්ඩන් උසස් පෙළ යහමින් සමත් වූවා පමණි.

"මෙයාව නම් කීයටවත් යවන්න බැහැ" සමරදිවාකර මැතිණිය පුත්‍රයා ගේ හිස අතගාමින් පැවසුවාය.

"අම්මා එහෙ යුනිවර්සිටි වල මෙහෙ වගේ නෙවි. ස්පෙෂල් නීඩ්ස් සපෝට් කරනවා. රෝද පුටුවකින් ඕනෙම තැනකට යන්න පුළුවන්."

"ඒ වුනාට තනියම ඔහොම ටවුමක ඔයාට ඉන්න බැහැ" අම්මා අම්මාය. තීන්දු දෙන්නේ ඇය යි.

කොලින් ඩෙනිස් සමරදිවාකර මේ දෙබස අසා සිටියා පමණි. මේ බිත්ති හතර ඇතුල ඔහු විසින් මුදා නොගත් එකම කලාපයයි. ඇය එහි පාලනය ගෙන ගියාය.

"තාත්තයි අම්මයි නිසා මට ජීවිතයක් නැහැ" දරාගන්න බැරි වූ විට යොවුන් තරුණයා හඬයි. කවදාවත් කඳුලක් නොසැලු මුත් කොලින් ඩෙනිස්ගේ හිතද ඊට අනුනාද දෙයි. මීට දස වසරකට පෙර මේ විවාදයම ආවේ පුතා පාසලකට දැමීම ගැනයි. ඒ කලක් තිස්සේ ලොව පුරා රෝහල් රාශියක ශල්‍යකර්ම ප්‍රතිකාර තෙරපි ආදියෙන් හෙම්බත්ව හුන් කාලයකි. නිසල් ලෝකයට ආවේ කලාතුරකින් පිහිටන විශේෂ අවශ්‍යතා රාශියක් කැටුවයි. පළමුවෙන්ම ඔහුගේ දෙපා අක්‍රිය විය. එසේම මනසේ කිසියම් සුවිශේශිතාවයක් නිසා ඔහුට සාමාන්‍ය කෙනෙකු මෙන් ජීවත් වීම අසීරු විය. බුද්ධියේ අඩුවක් නොවුවත් ඔහු ජීවත් වූයේ වෙනස් මානසිකත්වයකය. ලොව පුරා වෙදුන් ගෙන් ලද උපකාරයෙන් ඒවා සමහරක අඩුපාඩු මකා ගත් මුත් කොලින් ඩෙනිස් ගේ මහාමේරු බූදලයටත් කළ හැකි දේ සීමා විය.

අවසානයෙ පුත්‍රයාට පාසලකට යා නොහැකි නිසා කොලින් ඩෙනිස් පාසල ගෙදරට රැගෙන ආවේය. නිසල් ලන්ඩන් අධ්‍යාපන ක්‍රමයට නිවසේ උගත්තේ රටේ උසස්ම ගුරුවරුන්ගේ සේවය සමගය. නිසල් ලන්ඩන් උසස් පෙළ සමත් වූයේ ඉහලම මට්ටමිනි.

"what is your dream?" විදෙස් අධ්‍යාපන අවස්තාව අහිමිව හඬන පුත්‍රයා අසළට යන පියා අසයි. ඒ හඬ අනුකම්පා භරිත හෝ ආදර භරිත එකක් නොවේ. සමාගමක විධායකයෙකු පහල සේවකයෙකුට දෙන විධානයක් වැනිය. එහෙත් එහි නොදැනෙන ආදරය නිසල් දනියි.

"I don't know තාත්තා. something engineering"

"huh engineers... do you know how many of them I have in my businesses?"

නිසල් වචන අහුලයි.

"ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙනම් මම සහතිකේ අරගෙන දෙන්නම්. ඒක ජීවිතේට ලොකු දෙයක් නෙවි. අවුරුදු දහයේ පොඩි මල්ලි කියනවා එයා දවසක සචින් තෙන්ඩුල්කාර් ගේ වාර්තා කඩනවලු"

"oh you and your cricket" නිසල් සිය රෝද පුටුව හරවාගෙන යයි.

ලෝකය නම් පිරමීඩයේ මුදුනේ හිඳගෙන සිටීම මිනිසෙකු අමනයෙකු කරතැයි කොලින් ඩෙනිස් සිතයි. නො එසේ නම් සීමාරහිත සිය කටින් රෝද පුටුවේ යන පුත්‍රයාට ක්‍රිකට් ගැන කියන්නේ නැත. උවමනා වුනත් සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තා කඩන්නට නිසල් ට නොහැක.

"son you still have to tell me, what your dream is" පුත්‍රයා පසුපස යමින් කොලින් ඩෙනිස් පවසයි. දැන් හඬ බාල ය.

"ඇයි ඉංජිනේරුවෙක් වෙන්නේ. තියෙන සිස්ටම් බලා ගන්න ද?"

"හ්ම්ම්ම් නැහැ තාත්තා මට අලුත් සිස්ටම් හදන්න ඕනේ. මට මේ ලෝකය වෙනස් කරන්න ඕනේ. my dreams are bigger than that Indian cricketer, will you let me go there and achieve them?"

නිසල් සුපුරුදු තනිකම පිරුණු කාමරයට ඇතුළු වේ.

"tell me that dream son. I will make it happen" පියා ඒ උත්තරය දුන්නේ ඊට මාස හතරකට පසු දිනකයි. ඒ නිසල්ගේ දහ හත්වන උපන්දිනයයි.

නැවතත් මතකය වර්තමානයට පැමිණේ. කොලින් ඩෙනිස් ගේ මහා මේරු බූදලයට කළ නොහැකි තව දෙයක් මේසය මත වේ. ඒ එහි වූ රෝහල් වාර්තාවේ රතු පාට ඉලක්කම් කීපයක් සංඛ්‍යාත්මකව වෙනස් කර කලුපාට කිරීමයි. සමහරවිට සිංගප්පුරුවේ හෝ ඇමරිකාවේ ගියොත් ... එහෙත් කොලින් ඩෙනිස් ඒ ඉලක්කම් වල අර්ථය දනියි. ඒ ඉලක්කම් මේ දිවයිනේ නොව ලොව කොහේ ගියත් දැන් වෙනස් කළ නොහැක.

එහි නොලියවුණු අනිත් ඉලක්කම ද ඔහු දනියි. ඒ මාස හතරකි. ඔහුට තව ඇත්තේ මාස හතරකි. ඒ මාස හතරේ ඔහුට විසඳන්නට ඇත්තේ එකම එක ගැටලුවකි. එහෙත් එය පියෙකුට මුහුණ දෙන්නට ලැබෙන අසීරුම අවස්ථාවකි. එහි පසෙක විසල් ය. අනෙක් පසෙහි නිසල් ය. දැන් වසර හයකින් තම පියා හා කතා නොකරන කාමරයෙන් එලියට නො එන නිසල් ය.

කොලින් ඩෙනිස් නැවත අතීතයට යයි.

"තාත්තා මේක තමයි මම අහපු පිස්සුම කතාව. MIT ලැබ්ස් හදල තියන්නේ ලෝකේ හොඳම තාක්ෂනය එක්ක. සමරදිවාකර වලව්වේ එහෙම එකක් හදන්න? are you mad?"

"යනවා දැන් ගූගල් එකට. ගිහින් බලනවා ඔය යුනිවසිටියේ ෆයිනන්ෂල් වැලියු එක. ඊට පස්සේ එනවා ඔෆිස් රූම් එකට මගේ වෙල්ත් එක පෙන්නන්න"

"ඔව් බිස්නස් කීපයක් විකුණන්න වෙයි එහෙම එකක් හදන්න"

"I will do that. In fact I am doing that"

""මොකක්? මට ගෙදර ලැබ් එකක් හදල දෙන්න තාත්ත බිස්නස් විකුනනවා. මම හිතුවේ තාත්ත කරන්නේ බිස්නස් සල්ලිවලට ගන්න එක විතරයී කියල"

"මිනිස්සු ඕනෙම දෙයක් එක පාරක් හරි කරන්න එපැයි. හරි දැන් කියමු බලන්න මොන ෆීල්ඩ් එකේ ද රිසර්ච් කරන්නේ"

නිසි නමක් නොමැති මුත් විසල් ඔලොක්කුවට සමරදිවාකර ලැබ්ස් කියා කියන වලව් වත්තෙ පසෙක පිහිටි ගොඩනැගිල්ල හැදුනේ එහෙමය. එතරම් ජයට නැතුව නිකම් බිල්ඩිමක් වගේ හැදුනට එහි ඇතුලේ තිබ්බ තාක්ෂනය ඒ දිවයිනේ රජයෙන් නඩත්තු වන ඉහලම විශ්ව විද්යාලයකවත් නොතිබුණි. කිසිම ශ්‍රේණිගත කිරීමකට ඇතුලත් නොවන නිසා කවුරුත් නොදන්නා මුත් එහි පර්යේෂණ කළ නිසල් සිතු පරිදි එහි තාක්ෂනය සමහරවිට ලෝකයේ කොහෙවත් තිබ්බේ නැත.

නිසල් සමරදිවාකර ජීවත් වුණේ එහිය. කන බොන නිදියන සනීපාරක්ෂා වැනි සුළු කාලයක් හැරෙන්නට ඔහු කලේ පර්යේෂණ පමණි. සාමාන්‍ය යයි කියවෙන වෙනත් බොහෝ මිනිසුන්ට නොමැති හැකියාවක් එකාග්‍රතාවයක් සහ ආසාවක් නිසල්ට කිසියම් දෙයක් ගැන ඇතිකරගත හැකිය. ඔහුගේ පරිගණක ඉංජිනේරු තාක්ෂණ උනන්දුව ඒ මානසික තත්වයට ගැලපුණි. අන්තර්ජාලයෙන් ලෝකයේ හොඳම පර්යේෂණ ගැන හදාරමින් විදෙස් රටවලින් නවතම පරිගණක නිර්මාන ගෙන්වා ගනිමින් ඔහු තනිව සිය ගමන ගියේය.

ඒ ගොඩනැගිල්ලේ අංශ දෙකක් තිබුණි. Photonics Computers හෙවත් ප්‍රකාශ පරිගණක එක අංශයකි. Augmented Reality හෙවත් ආවර්ධිත තත්‍යය එහි අනෙක් අංශයයි.

විසල් මේ ගොඩනැගිල්ල දැක්කේ තම ක්‍රිකට් පිටියේ හරහට ඉදිකළ අනවසර ඉදිකිරීමක් ලෙසිනි. එකොළහෙන් පහළ දහතුනෙන් පහල පහළොවෙන් පහල ආදී ලෙස පියාගේ ලේ උරුමයෙන් ලද ක්‍රිකට් මාවතේ සන්ධිස්ඨාන පසු කරන පුත්‍රයාට සිය සහෝදරයා කරන දෙයෙහි අරුතක් වැටහුනේ නැත. ඒ වෙද්දී ඔහුගේ ලෝකය ක්‍රිකට් ය. එසේම ඔහු එහි කිරුල කරා යමින් හුන්නේය.

සහෝදරයා ගේ පර්යේෂණ වල අරුත විසල්ට වැටහුනේ අහම්බයකින් එක නිමේෂයක එහා මෙහාවකින් ඒ කිරුල හා ක්‍රිකට් ලෝකය ඔහු මත කඩා වැටුණු විටයි. පාසල් පුහුණුවකදී පිත්තේ කොනක වැදී පන්දුව දකුණු ඇසේ වැදුණු පසුවයි. රෝහල් කාමරයේ සිහි එද්දී ඇස වෙලා ඇති රෙදිපට කොලින් ඩෙනිස් ගේ බැරෑරුම් මුහුණ සැඟවූ නමුත් දෙකණට ඇහෙන වචන වැළකිය නොහැකි විය.

"doctor you mean it is permeneant? විසල් ට ක්‍රිකට් ගහන්න බැරි වෙයිද?"

"yes, it is permeneant. මෙහෙමයි මිස්ට සමරදිවාකර, ඔය ඇහැට පෙනීම දෙන්න පුළුවන් ඒත් අඩුපාඩු එක්ක. ක්‍රිකට් නම් ඉතින් අමාරු වෙයි. very low chance. "

"even if we go abroad? ඩොක්ට දැන් කන්නාඩියට කොම්පියුටර් හයි කරන කාලයක්. ගූගල් ග්ලාස් කියල ආවේ"

"හ්ම්ම්ම්ම්.... අපි දැනුවත්ව නම් විදිහක් නැහැ. ඉතින් එහෙනං ගූගල් ගිහින් හදාගන්න වෙයි. කන්නාඩි කොම්පියුටරයෙන් පෙනුම දෙන එකක්"

"ක්‍රිකට් ගහන්න බැහැ තාත්තා එව්වා දාගෙන. නීති තියෙනවා" ලෝකය කඩා වැටුණු වේදනාවෙන් විසල් කී බව කොලින් ඩෙනිස් ට ඇසුණේ නැත.

"තාත්තා මට ඉක්මනින් ම ගූගල් ග්ලාස් එකක් ගන්න ඕනේ" විසල් ගේ අකරතැබ්බය ගැන දැනගත් පසු නිසල් කීවේ එපමණකි. ඉල්ලු වෙනත් සියල්ලක් මෙන්ම එය ද වහාම ගෙන්වන ලදී. ඉන් පසු ගෙවුණු කාලයේ නිසල් ඒ ඇසේ පළඳින පරිගණකය සම්පුර්ණයෙන්ම අධ්‍යනය කළේය.

ඉහළම දෘෂ්ටි විශේෂඥයින්ගෙන් විසල්ට ඉක්මනින් ම උපැස් යුවලක් ලැබුණි. එහි ආධාරයෙන් ඔහු නැවත ක්‍රීඩා කරන්නට උත්සහ කළද එය සාර්ථක නොවීය. සිහිනය බිඳවැටුණු විසල් මානසිකව අසරණ විය. ඔහු දිගින් දිගටම ඒ ගැන සිතීම නිසා විශාද අවස්ථාවකට මුහුණ දී ඇතිදැයි නිවැසියෝ කතා කළහ.

"මට ඔය කණ්නාඩියෙ තව කොපියක් ගන්න බැරිද?" පර්යේෂකයා කිසියම් සැලසුමක් මත ක්‍රියාකරන බව කොලින් ඩෙනිස් ට ඒත්තු ගියේ එදාය.

"ඕක හරියන්නේ නැහැ" අයියාගේ වැඩ ගැන තාත්තා කියූ විට විසල් ඒ ගැන විශ්වාස කලේ නැත. "අනික හරි ගියත් ඕක අහුවෙන්න පුළුවන්"

"do not underestimate him son. මිනිහ හදල තියෙනවා තනිකර light rays වලින් වැඩ කරන කම්පියුටරයක්. ඉලෙක්ට්‍රොනික් මොකවත් නැහැ"

"ඉතින් ..."

"ඒ ටෙක්නොලොජිය තමා මේකට ගන්නේ. ඒ කියන්නේ ඔය කන්නාඩිය කිසිම කෙනෙකුට සැක කරන්න පුළුවන් එකක් නෙවෙයි. පිටින් කිසිම වෙනසක් නැහැ"

සහෝදරකමට යා හැකි සීමා නොමැත. තෙවසරක් නිදිවර්ජිතව ලෝකය පෙරළු නිසල් විසල්ට දුන්නේ අරුම කන්නාඩියකි. තාත්තා කියූ සේම එය ගූගල් ග්ලාස් වැනි පරිගණකයකි. එහෙත් එය ගූගල්ට වඩා ආලෝක වර්ෂ ගණනක් ඉදිරියට ගොස් තිබුණි.

දෘෂ්ටි විශේෂඥයින් තැනු වීදුරු මෙවලම මත සුවිශේෂී ප්‍රකාශ සංවේදී පාරදෘශ්‍ය තට්ටුවක් අතුරා තිබුණි. ඒ මත ඇතිරෙන ආලෝක කිරණ මගින් ඇසට පරිගණක තිරයක් සපයයි. කන්නාඩිය සවිකළ කළු පැහැති රාමුව බාහිර ආලෝකය සීල් තබන ලද ප්‍රකාශ පරිගණකයකි. එහි ඇති ප්‍රකාශ තන්තුමය සංකීර්ණ ව්‍යුහයන් පරිගණක ලොජික් ගේට්ටු සේ ක්‍රියාකරන්නට සමත් ය. එහි සියලු කටයුතු සිදු වූයේ ආලෝක කිරණ වලිනි. එහි ඉලෙක්ට්‍රොනික චිපයන් තිබුනේ නැත.

වේගයෙන් එන පන්දුව දකින්නට ආබාධිත ඇසට අවශ්‍ය වෙනස් කම් පමණක් නොව පන්දුව සූම් කරන්නට, එහි දෝලනය ඉරි ගසා පෙන්වන්නට, එහි වේගය ගැන ඉලක්කමක් පසෙක පෙන්වන්නට ආදී ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සියලු උපාංග එහි විය. පෙනුමෙන් එය නිකම්ම නිකම් කන්නාඩියකි. ක්‍රීඩාවේ නිලමක්කාරයෙක් කවදාවත් සැක නොකරන කන්නාඩියකි.

එයට නමක් නොවීය. එවැන්නක් ලොව කොහෙවත් හදා නැත. එවැන්නක් එම ගොඩනැගිල්ලෙන් පිටට කවදාවත් ගොස් නැත.

විසල් තව වසර පහකින් ජාත්‍යන්තර පිටියේ බෝල පලද්දී ඒ ගොඩනැගිල්ල ද තවදුරටත් එතන තිබුනේ නැත. කණ්ණාඩියේ බලයෙන් සහ පියාගේ හයියෙන් දහනවයෙන් පහල සිට ටෙස්ට් කණ්ඩායම දක්වා පැමිණි පසු රහස රහසක් සේ වැළලීමට සමරදිවාකර පියාට අවශ්‍ය විය. ඒ සියල්ල සැබෑ කළ පර්යේෂණාගාරය එහි ම ගොදුරක් විය.

නිසල් කාමරයට තල්ලු විය. ඔහුගේ පර්යේෂණ වල ප්‍රධාන සැපයුම්කරු සියලු සැපයුම් අකාරුණික ලෙස කපා දැමීය. නිසල් ගේ ආශාවේ අන්තය සමරදිවාකර දැක්කේ නැත. සල්ලි ඕනෙනම් නිසල්ට බූදලයක් තිබේ. බිල් ගේට්ස් කෙනෙකු සර්ජි බ්රින් කෙනෙකු හා තමන් අතර ඇති ඉලක්කම් වෙනස අර්ථ විරහිතය. ඔවුන් ලොව යමක් ගන්නේ නම් තමාටද එය ගන්නට පිළිවන. ඉතින් මේ පර්යේෂකයා නිදි වර්ජිතව කරනුයේ සිය මනසේ අනවශ්‍ය ලෙස වර්ධිත ෆැන්ටසි සැපිරීමක් ලෙස පියා සිතීය. එහෙත් ඔහු අතින් බිහි වූ නිර්මාණය පළඳින බාල පුතු ලෝකය ආක්‍රමණය කර ජුලියස් සීසරයෙකු මහා ඇලෙක්සන්දරයෙකු සේ එහි තම නම සනිටුහන් කරයි. පළමුවරට පියා එක පුතෙකු හඬවා අනිකා සතුටු කළේය.

කාලයක් තිස්සේ සිය නිර්මාණය ලෝකයට හෙළි කොට එහි වටිනාකම් ගන්නට නිසල් ඉල්ලීය. එහෙත් එය සහෝදර ප්‍රේමයෙන් නහවා යටපත් කරන්නට ශූර ව්‍යාපාරිකයා සමත් විය. කාලය ඉදිරියට ගොස් විසල් විසල් ලෙස ලොව මත එසවෙද්දී නිසල්ගේ සිත තුල ඇති ආදරය යටින් ඊර්ෂ්‍යාව මතුවිය. තම සහෝදරයා තම නිර්මාණයෙන් ලෝකය දිනද්දී තමා තම සිහිනය අහිමිව නිවාස අඩස්සියේය. එය සාධාරණ ඊර්ෂ්‍යාවකි.

නිසල් පියාට වෛර කළේය. කතා බහ නතර කළේය. තම සහෝදරයා සමග සහයෝගයෙන් ඉන්නට නොහැකි බව දුටු විසල් ඔහු මගහැර අතහැර දැම්මේය. නිසල්ගේ අස්ථාවර මනස බිඳ වැටුණි. ඔහුගේ තත්වය සමාන වූයේ මානසික වියවුලකින් පෙලෙන්නේකුටයි. නිතර මනෝ වෛද්‍යවරු ඔහු බැලීමට ආහ. ඔහු නිතර කියවන සමරදිවාකර ලැබ්ස්, ෆොටෝනික්ස්, ඔග්මන්ටඩ් රියලිටි මේවා කිසියම් උමතුවක විකාරරූපී දර්ශන ලෙස ඔවුන්ගේ වාර්තාවල සටහන් විය.

දැන් මේ අවසාන මොහොතයි. යම්හෙයකින් තමා ලෝකයාට ඇත්ත කිවහොත් නිසල් ගේ තත්වය සාමාන්‍ය වී ඔහු ලෝකයේ ඉදිරිගාමිම මිනිසෙකු ලෙස සනිටුහන් වීමට ඉඩ ඇතිබව කොලින් ඩෙනිස් සිතයි. ඔහු දිනෙක එවැන්නක් කිරීමට සිතා උන් නමුත් ක්‍රිකට් වාර්තා පොත් වලින් විසල් ගොඩ නැගු ලෝකය ඒ අදහස යටපත් කළේය. නිසල් ට ඒ ගෞරවය දුන්නොත් එදාට විසල් නම් කූට දුෂ්ටයා ක්‍රිකට් ලෝකයේ අවමන මැද වනසා දැමෙනු ඇත. නැවත ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සචින් තෙන්ඩුල්කාර් ගාෆිල්ඩ් සෝබර්ස් කුමාර් සංගක්කාර තමන් හිටි තැනට එනු ඇත.

කළ යුත්තේ කුමක්ද? ඇලපතින් එන වේදනාව දරාගනිමින් කොලින් ඩෙනිස් සමරදිවාකර මේසය මත හිස තබා ගත්තේය.

4 comments:

  1. මාර විදිහට දුක හිතෙනවා විසල් ගැන - එ් වුනත් ලැබ් එක තිබියදීම මේ රහස තබා ගන්නට හැකියාව නොතිබුනායැයි කියන්න බැහැ

    ReplyDelete
    Replies
    1. අවදානම දරන්න බය වීම. නිකම් හරි ලැබ එකේ ටෙක්නොලොජි ගැන විස්තර ලීක් වුනොත්.

      ඒ වගේම නිසල් ට වැඩේ කරගෙන යන්න දුන්නනම් මිනිහ ප්‍රොඩක්ට් එකක් හදනවා ඊට පස්සේ මාට්ටු.

      මාර විදිහට දුක හිතෙනවා කිව්වේ ජයග්‍රාහකයා වන විසල් ගැන ද කතාවේ වින්දිතයා වන නිසල් ගැන ද ?

      Delete
    2. නිසල් ෙලස නිවැරදි විය යුතුයි

      Delete