Friday, April 7, 2017

ගමන

[අප්‍රේල් අට දිනමිණ විශේෂාංග අතිරේකයේ පළවූවකි]


සමාරම්භක සටහන:

මෙය අපේ ඉතිහාසයේ අද්විතීය මොහොතකි. මේ සාඩම්බර මොහොතේ පෙර ගමන් කරුවෙක් වන්නට ඉඩ ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. අප විසින් අරඹන දිගු ගමන මෙහි අද සිටින අප කිසිවෙකුට නිමා කළ හැක්කක් නොවේ. මේ ගමනට අඩුම ගණනේ පරම්පරා හතක් පමණ අවශ්‍යය. ඒ නිසාම මියයන අය වෙනුවට අලුත් අය එකතුකරමින් පරපුරින් පරපුර හුදු කුතුහලය විසින් ඇදගෙන යන අපූර්ව ගමනකි මෙය. එහි අනෙක් කෙලවරේ අප පිලිගන්නේ හිතවත් සහෝදර ප්‍රජාවක් විසින් ද නො එසේ නම් නපුරු රාක්ෂයින් පිරිසක් විසින්ද කියා අප දන්නේ නැත. අප කවදාවත්ම දැන ගන්නේද නැත.

එහෙත් ඉතිහාසය පුරා අප මෙහෙයවූ ඒ මහා කුතුහලයේ බලවේගය හෙවත් දැනුම එකතු කිරීම උදෙසා මගේ ඉතිරි මුළු ජීවිතයම මේ ගමන් කරන සිර මැදිරිය තුල සිර කර ලන්නෙමි, දිනක මගේ මළ සිරුර මෙම යානය තුල ප්‍රතිචක්‍රීකරණය වී කෙළවර වුවද කවදාවත් මා නොදකින ඒ අනාගත මොහොත වෙනුවෙන් ජීවත් වන්නෙමි. යානයේ අරුම පුදුම එන්ජින් ක්‍රියාත්මක වන හඬ සමග අපගේ සියලු මතකයන් රැගෙන අපෙන් ඈත් වන ඒ සොඳුරු මව් තාරකාවට අවසන් වරට සමුදෙන්නෙමි ආදරයෙන්.



දෙවැනි පරපුර:

විද්‍යාව වෙනුවෙන් උපන් පරපුර අප වන්නෙමු. අපේ සිරුරු තුල දිවෙන මූල ද්‍රව්‍යයන් විද්‍යාව වෙනුවෙන් මියගිය අපේ පූර්වජයන්ගේ සිරුරු වලින් ප්‍රතිචක්‍රීකරණය වූ ඒවාය. කිසිදා නොදුටු අපේ ලෝකයක් ගැන සුරංගනා කතාවක් අසමින් අපි ඉපදුනෙමු. කිසිදා නොදකින ඔවුන්ගේ ලෝකයක් ගැන සුරංගනා කතාවක් සිතා ගනිමින් අප මියෙනු ඇත. ඒ ලෝක දෙක අතර මේ විසල් යානයේ බලාපොරොත්තු සහ සිහින වෙනුවෙන් අප ජීවත් වන්නෙමු.

"මා මේ අඩ අඳුරු කොරිඩෝ තුලින් අනාගතය දකිමි" යානයේ නව නියමු ධුරය භාර ගනිමින් අපේ කණ්ඩායම් නායකයා පැවසීය. "අප එහි යන්නේ ඇයිදැයි නො විමසන්න. අප එහි නොයා යුත්තේ ඇයිදැයි පමණක් විමසන්න. විසල් අහස යට තනිව තනිවූ ප්‍රජාවක් ලෙස දිවි ගෙවූ අප විශ්වීය සහෝදරයෙකු සොයා යන නොතිත් ආශාවෙන් පෙලුනෙමු. එවැන්නෙක් නොපවතී ද අප මේ විශ්වයේ තනිවූ ප්‍රජාවක්ද යන බියකරු සිතිවිල්ලෙන් අප බියට පත්වීමු. ඈත තරුවක් පායා අපට ආලෝකය දුන්නේ එවිටයි. ඇත්තෙන්ම අපට ඔවුන් දුන්නේ අඳුරකි. තාරකාවේ දීප්තිය විටින් විට අඩු කරවන අඳුරකි. එහෙත් බලාපොරොත්තු ඒකාලෝක කරන්නට ඒ අඳුර සමත් විය. තාරකාවක ආලෝකය විටෙන් විට අඩු කරන ඒ දැවැන්ත ආකෘතික ව්‍යුහයන් නිර්මාණය කලේ කවුද? කවදා හෝ මේ යානය තුල උපදින්නෙකු එය දැනගනු ඇත. ඒ වෙනුවෙන් ඔබ අප මේ කරන කැප කිරීම විද්‍යාව වෙනුවෙන් උපන් පළමු පරපුරේ සාමාජිකයෙකු ලෙස ආඩම්බරයෙන් සිහිපත් කරමි."


අතරමග:

මා කවුද යන්න මා ද නොදන්නා කරුණකි. ජීවියෙකු ලෙස ඉපදුනද යන්ත්‍රයක් සේ මියයන බව නම් ස්ථිරවම දනිමි. මා පුරවැසියෙක් ද යන්ත්‍රයක් ද යන විවාදය ලෝකය දැනගත්දා සිට මා පෙළන ලද්දකි. කොටින්ම ලෝකය නම් භාෂාමය ප්‍රයෝගයේ සැබෑ අර්ථය පවා දිගු සිලින්ඩරාකාර කුහර සහිත මේ යානය පමණි. මා මේ සිර මැදිරියේ කරන්නේ කුමක්ද? මා එහි ප්‍රාදුර්භූත වූයේ ඇයි? මම සිතමි. මගේ උපතට බොහෝ පෙර තීන්දු කරන ලද මගේ මරණින් බොහෝ පසු අරුත් ගැන්වෙන හෝ නොවන මට කිසිම තේරුමක් නැති එදිනෙදා කාර්යයන් අතරේ හැමදාමත් මා කවුද යන පැනය ගැන සිතමි. ජීවිතය යනු මෙයද? අන්ධකාර කොරිඩෝ දිගේ කෘතීම ක්‍රීඩාගාර අස්සේ ගෙවෙන මේ කාලය මීට වඩා අර්ථවත් විය හැකිද? හෙට දවසේ අප නොවන අපේ අනාගත පරපුර හමුවන කවුදෝ අමුත්තෙකු ගැන මිත්‍යා විශ්වාසයක එල්බ අපේ ජීවිත මෙසේ ගෙවී යා යුතුද?

පෙර පරපුරු දෙකක් කුතුහලයෙන් වෙළා දමන ලද ඒ බලාපොරොත්තු ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතියි. අප මේ ගැන යමක් කළ යුතුද නො එසේ නම් දෛවයට ඉඩ දී ඔහේ නිකම් සිටිය යුතුද?


කැරලි:

මේ යානයේ සිදු වූ තෙවැනි කැරැල්ලයි. එය ද සාර්ථක ලෙස මර්දනය කළෙමු. පෙර අවස්ථාවල මව් තාරකාව සමග සම්බන්ධතා පවත්වා තීන්දු ගන්නට මෙන්ම කැරලි කරුවන්ගේ මොළ ශෝධනය සඳහා අවැසි නව වැඩසටහන් ගෙන්වා ගන්නට අපේ පූර්වජයෝ සමත් වූහ. එහෙත් සිව්වන පරපුරේ අප සිටිනුයේ මව් තාරකාවෙන් සැලකිය යුතු දුරකය. ඒ නිසා සියල්ල අප විසින් විසඳා ගත යුතුවේ. මව් තාරකාවෙන් ලැබෙන දෑ යෙදවිය හැක්කේ ඊළඟ පරපුර වෙනුවෙන් පමණි.

ආගාධයේ මේ තනිකම නිසා මා දරදඬු වූවා දැයි නොදනිමි. සහෝදර විද්‍යාර්ථින් තිදෙනෙකු ප්‍රතිචක්‍රීකරණ පද්ධතියට පණ පිටින් ඇතුළු කිරීම මින් පෙර නොකළ අධම ක්‍රියාවකි. එහෙත් ඒ මොළ තවදුරටත් ශෝධනය කළ නොහැක.

ඔවුන් ඉල්ලන්නේ කුමක්ද? ආපසු යාමට ගමනාරම්භයට ඇති දුර ගමනාන්තය ඇති දුර තරම්ම වූවකි. මේ කිසිවෙක් ඒ දිගු ගමන නිමා කරන්නේ නැත. වෙනත් යා හැකි මගක් කෙටි ගමනාන්තයක් හෝ වෙනස් වූ ජීවිතයක් ගැන කිසිම විකල්පයක් නොමැත. යානයේ ඉපිද යානයේ මියෙන අප අතර මේ බෙදුම් කෝලාහල ඇතිවන්නේ ඇයි?

නොවැලැක්විය හැකි දරදඬු තීන්දු ගැන පසුතැවෙන එකම නායකයා මා නොවනු ඇත. එහෙත් මේ අනවශ්‍ය චිත්ත වේදනා අපේ ගමනේ අරමුණෙන් අප තවත් ඈත් කරනු ඇත.


මස්තබාල්දු:

අපි උපන්නේ ඇයි? ඉන්න ටිකේ ඔහේ ජොලියේ ඉන්න. ජොලිය කිව්වට ලොකු ජොලියක් නෙවි. මේ පුංචි පාවෙන හිරගෙදර මහා දෙයක් කරන්න බැහැ. අපි පස්වෙනි පරපුර. උත්තරීතර අරමුණු ගැන හිතුවේ පළමු පරපුර. විද්යාව වෙනුවෙන් උපන්නේ දෙවැනි පරපුර. පැවැත්ම ගැන ප්‍රශ්න කලේ ඒ ප්‍රශ්න කිරීම් මත කැරලි ගැහැව්වේ තෙවැනි හා සිව්වෙනි පරපුරවල්. කවදා හෝ මේ ගමනේ කෙළවර දකින්නේ අපිට පස්සේ එන හත්වැනි පරපුර.

අපි පස්වෙනි පරපුර. අපි කැරලි ගහන්නේ නැහැ. ඊට අවශ්‍ය මානසිකත්වය නැතිවෙලා. පශ්වාත් කැරලි යුගවල අපේ ජීවිත ඔහේ නිකම් ගෙවෙනවා. අපි ඔහේ නිකම් ඉන්නවා. මව් තාරකාවෙන් එව්ව මොළ ශෝධනයන් ලැබෙද්දී පෙර පරම්පරාවල් කැරලි වලින් මරාගෙන හිටියේ. දැන් හැමෝටම ඒවා ලබා ගැනීම අනිවාර්යයි. ඒවා හරි ප්‍රබල කතා. කවදාවත් නොදුටු මව් තාරකාවෙ ජීවිතය ගැන විද්‍යාවේ අරමුණු ගැන උත්තරීතර කැපකිරීම් ගැන. ඒත් මේවා අපිට කාන්දු වෙන්නේ නැහැ. හැබැයි මේවා නිසා අපි ඔහේ කාලය කා දමමින් අපිත් නොදන්නා මේ ගමනේ අපේ යුගය ගෙවනවා.


අවිශ්වාසය:

"උඹ හිතන්නේ උන් මොනවගේ ජීවින් කියලද?" මගේ සගයා අහනවා.

"අනේ මන්දා. මම හිතන්නේ ඔය උෂ්ණත්වයේ ජීවයට අවශ්‍ය ප්ලාස්මා තත්වයන් පවතින්න මාර අමාරුයි. ඇත්තෙන්ම ඕක ස්වාභාවික සංසිද්ධියක් වෙන්න බැරිද? මං කිව්වේ අජීවී එකක්"

"ඒ චින්තනය වැරදියි. ප්ලාස්මා වලින් අපි හැදුනට ....."

"ඔහොම හිටින්. මම ප්ලාස්මා වෙන්නම ඕනේ කියන්නේ අපි ප්ලාස්මා වලින් හැදුනු නිසා නොවේ. ප්ලාස්මා තමයි විශ්වයේ සුලබම ද්‍රව්‍යය"

"තාර්කිකව නිවැරදියි එහෙත් එපමණකින් ප්ලාස්මා ම වෙන්න ඕනේ නැහැ නේද?"

"අපි දකින්නේ අපට ග්‍රහණය කළ හැකි දේවල්. ප්ලාස්මා නොවන ජීවයක් ගැන උඹට පැහැදිලි කරන්න පුලුවන්ද? මට හිතාගන්න බැහැ. ජීවය ඇත්නම් එය ප්ලාස්මා තුල තියෙන්න ඕනේ කියා මම හිතනවා."

"වැඩක් නැහැ වාද කරලා. අපි හයවෙනි අවාසනාවන්ත පරපුර. ඉලක්කය නූලෙන් අහිමිවන. අපි කවදාවත් ඒ ජීවින් දකින්නේ නැහැ"

"අනේ මන්දා බං. උඹත් එක්ක මෙව්වා වාද කරනවා. ඒ වුනාට ඇත්තෙන්ම මට ඔය මෙලෝ දෙයක් විශ්වාස නැහැ."

"හ්ම්ම්ම් ..."

"නැහැ මම කියන්නේ දැන් ඔහොම කතාවක් අපිට කිව්වේ කවුද? මව් තාරකාව කියන්නේ කොහේ තියෙන එකක් ද ? තවත් තාරකාවක් වටේ කැරකෙන විශාල ව්‍යුහයන් හදාපු ජීවින් ඉන්නවද? මේ ඔක්කොම මහා බොරුවක් වෙන්න බැරිද?"

"ඇත්තම කිව්වොත් මටත් මේවා විශ්වාස නැහැ. මේ සියල්ල දැන් පරපුරෙන් පරපුරට ආපු ප්‍රබන්ධ වගේ. අපි මොකද්ද කරන්න ඕනේ. ආගමක් වගේ මේවා අදහනවද? නැතිනම් ..."

"නැතිනම් මොකද්ද කරන්නේ? ඔහේ තර්ක කර කර ඉන්න එක"

"හ්ම්ම් ..."


නො හමුව:

විශ්වයේ ඇත කෙළවරක සිට ජීවයේ සළකුණු දැක මේ සා දුරක් ගෙවා ආවෙමු. බොහෝ දෙනා කී පරිදි අප වාසනාවන්ත පරපුරකි. එහෙත් සත්‍යය වෙනස්ය.

වාසනාව නම් අප මේ දුර ගෙන්වන ලද ඒ විසල් ලෝහමය ආකෘති කරා ලඟා වීමට අප සමත්වීමයි. මධ්‍යම ප්‍රමාණයේ සූර්යයයෙකු වටා යන ග්‍රහ පද්ධතියක තෙවැනි ග්‍රහයා මූලික කරගෙන අභ්‍යවකාශයේ නිර්මාණය වූ විශාල ආකෘති අධ්‍යනය කිරීමේ භාග්‍යය අපට හිමි විය. ස්ව්‍යන්ක්රිය යාන්ත්‍රික පද්ධතියකින් මෙහෙයවෙන ඒ ආකෘති අදටත් ක්‍රියාත්මක වේ.

එහෙත් ඒවා හිස් ය. තෙවැනි ග්‍රහලෝකය සහ ඒ අවට ඉදි වූ විශාල ආකෘති කිසිවක යාන්ත්‍රික නොවන ජීවය ලෙස හඳුනාගත හැකි කිසිවක් අප දුටුවේ නැත. මෙම පද්ධතිය නිමවූ බුද්ධිමත් ජීවින් කොහිද? කිසියම් ව්‍යසනයකින් ඔවුන් සපුරා වඳ වී ගොස් ද?

ජීවය පවතින ප්ලාස්මා මෙහි කොහෙවත් නොමැත. එසේ නම් අප හට ග්‍රහණය නොවන ලෝහ කාබන් සහ සිලිකන් අතර කොහේ හෝ බුද්ධිමත් ජීවයක් පවතීද?

සිත් තැවුලින් අපේ ගමන නිමා කරන්නෙමු. අටවැනි පරපුරකට අවශ්‍ය ශක්ති ප්‍රභවයන් යානයේ නොමැත. අවසන් වරට මව් තාරකාවට දැනුම් දීමට ඇත්තේ බුද්ධිමත් ජීවයක සළකුණු ඇති නමුත් අප අතර කිසිම හමුවක් සිදු නොවූ බවයි.


6 comments:

  1. "අතරමග:" කොටසේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ගමන ගැන මාර භක්තියකින් ඉන්න පළමු සහ දෙවෙනි පරම්පරා සහ ඒ ගැන ස්කෙප්ටිකල් පසු පරම්පරා අතර චින්තන විපර්යාසය පෙන්නන එක. ඕනෑම වැඩසටහනක් දීර්ඝ කාලයක් ඇදෙද්දී මිනිසුන්ගේ ඔපිනියන් වෙනස් වෙන හැටි.

      Delete
  2. මේ සන්කල්පය ගැන කලින් කොහේදි හෝ කියවලා තිබුනත්, මම හිතන්නෙ ක්ලාක් ගෙ පොතක , පරම්පරාවෙන් පරම්පරාවට ගමන හුවමාරුව වෙද්දි ඇතිවිය හැකි ගැටලු සහ විශේෂයෙන්ම පසු පරම්පරාවල මානසික තත්වය.. ආපසු නොහැරිය හැකි අනිවාර්ය ජීවිත අරමුන ක් වෙනුවෙන් ජීවත් වීම යන තත්වය විසින් ඔය කුඩා සමාජයට ඇතිකල හැකි ප්ලස් හෝ මයිනස් බලපෑම ගැන හිතන්න අපූරු උත්තේජනයක් සුජීව දීල තියෙන්නෙ.. මීට කලින් ඔය සන්කල්පය ගැන ප්‍රබන්ධයක් කවුරුවත් කරල තියනවද...?? එහෙම ඇතත් නැතත් සුජීව ට මේ ගැන ශෝට් කතාවකට එහා ගිය දෙයක් ලියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ක්ලාක් පටන් ගෙන ජේ පී එල් එකේ ස්පේස් සයන්ටිස්ට් කෙනෙක් ලියා ඉවර කළ රාමා සීරිස් එකේ 2,3,4 [ක්ලාක් නොවේ මේ ටික ලිව්වේ] කතාවෙන්නේ ඔය ගැන.

      ඒක මීට වඩා සංකීර්ණයි. මොකද විද්‍යාඥයින් එක්ක යවන ඉතිරි පිරිස හිරකාරයින්. ඔවුන්ගෙන් එකෙක් ඒකාධිපතියෙක් ලෙස පාලනය කොල්ල කන්න හදනවා. කොහොම වුනත් මේ තින්කින් එක ඒ අස්සෙත් තියෙනවා. ඕන ලොකු වැඩක් පටන් ගනිද්දී තියෙන මතය නෙවි මැද දී තියෙන්නේ. විශේෂයෙන්ම පරම්පරා දෙකක් නම් කරන්නේ

      Delete
  3. Interstellar ෆිල්ම් එකේ අන්තිමට මෙහෙම ගමනක් ගැන තියෙනවා - ඇත්තෙන්ම පිටසක්වල ජීවය සෙවීම‍් අප්‍රායෝගිකත්වට සම්බන්ධ කාරණා තමයි මේ

    ReplyDelete
    Replies
    1. ලක්ෂාන් මේකේ වැඩි දෙනා නොදකින කොටස නම් "නොහමුව" ඔය වචනේ අස්සේ තියෙනවා ජීවය යනු කුමක්ද, ගොල්ඩිලොක් කලාපයේ අර්ථයක් තියේද, ජීවය හඳුනාගන්නේ කෙසේද ආදී ගැටළු. ප්‍රබන්ධය ලියන්න ඉන්ස්පරේෂන් එක වුණේ ගොල්ඩිලොක් කලාපයේ ජීවය ගැන ෆේස්බුක් සංවාදයක් [සහ මගේ වෙනත් බ්ලොග් එකක පෝස්ට් එකක ගිය සංවාදයක්]

      Delete